නව ලිබරල් ධනවාදයේ අන්තයට තල්ලු කෙරෙන ලංකාවේ ආර්ථිකය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෑත කාලීනව මුහුණ දෙන අර්බුදයේ ස්වභාවයන් අවස්ථා කිහිපයකදී අපි සාකච්ඡාවට ලක් කළෙමු. විටෙක කෘෂි නිෂ්පාදනයේ අර්බුදයක් ලෙසත්, තවත් විටෙක ආදායම හා ණය අර්බුදයක් ලෙසත් විවිධ පැති මගින් අප දැක ඇත්තේ දුබල ධනවාදී සමාජ ක්‍රමය ලංකාවේදී ලබා ඇති අසාර්ථකත්වයයි. අවුරුදු 73ක් පක්ෂ දෙකකට බෙදී පවත්වාගෙන ආ ධනපති ක්‍රමය තවත් දශමයකින් හෝ ජනතාවගේ ගැටලුවලට විසඳුම් නොදෙන සමාජ ක්‍රමයක්ය යන්න ඔප්පුකර හමාරය.

මීට කලින් පිළිනොගත් කටවල්වලින්ම දැන් මේ ක්‍රමය අසාර්ථක බව පිළිගනිමින් සිටිනු දැකිය හැකිය. ණය ගැනීම තමන් මුහුණ දෙන අර්බුදයට විසඳුම ලෙස දක්වමින් තමන්ගේ පාලන කාලයේ ණය ගැනීමට හැකිවීම තම ආණ්ඩුවේ දක්ෂතාවයක් යැයි පාරම් බෑ පාලකයෝම දශකයකට පසුව තමන් ණය අර්බුදයකට මුහුණ දී ඇතැයි පවසති. විපක්ෂයේ සිටින විට පෞද්ගලීකරණයට විරුද්ධව සටන් පාඨ කියමින් වීදි බසිමින් සිට බලයට පැමිණි විගස එක්කෝ මානුෂික මුහුණුවර, ජනතාකරණය ආදී විවිධ නම් යොදා ගනිමින් රාජ්‍ය සම්පත්, කර්මාන්ත, ආයතන විකුණා දැමූ පාලකයින්ම අද රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය අසාර්ථක බව කියමින්ම තවත් විකිණීමට යමක් ඇත්දැයි සොයා බලති.

නාස්තිය, දූෂණය පැවති හා පවතින සෑම පාලනයකම ජාති ලක්ෂණයක් බවට පත්ව ඇත. මෙම කුණුවීම නිසා දේශපාලන ධූරාවලියද නිලධාරී යාන්ත්‍රණයද ඉහළ සිට පහළටමද ඕජස් ගලා හමාරය.

කලකදී ධනවාදී රාජ්‍යයේ දුබලකම වසා ගැනීමට අවශ්‍ය වූ ශක්තිමත් නීති හා ආයතන නව ලිබරල් ධනවාදයේ වත්මන් අවශ්‍යතාවයට අනුව ඔවුන්ටම බාධාවක් වී ඇත. ඒ නිසා ඒ ආයතන හා නීති අහෝසි කිරීමට දැන් යෝජනා කරන්නේද එම නීති හා ආයතන පිහිට වූ ඔවුන්මය. මේ හැම ක්‍රියාමාර්ගයක්ම දැනටමත් කෙළවර වී ඇත්තේ ධනවාදී ආර්ථික අර්බුදයට උත්තර සොයනු වෙනුවට විසඳුම අර්බුදයේම ප්‍රකාශනයක් බවට පත් කරමිනි.

එදා කර්මාන්ත – මෙදා ඉඩම්, වනාන්තර

ලංකාව තුළ උත්තරාරෝපිත ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගුණේ පියවර කිහිපයකිනි. එසේම සමාන ගුණාංග සහිතව වගේම එක් එක් පාලන කාලයන් තුළ විවිධත්වයන් සහිතවය. 1977ට පෙර පැවැති රාජ්‍ය ඒකාධිකාරී පාලනය තුළ ඉඩම්, රාජ්‍ය ව්‍යාපාර, කර්මාන්ත රජය ඒකාධිකාරය මූලික පිරිසක් අත පාලනය කේන්ද්‍ර විය. ඔවුන් පාලනයට යොදාගත්තේ සංස්ථා මණ්ඩල ආකෘතියයි. 1977 න් පසුවද සංස්ථා මණ්ඩල පැවැතියද එම යාන්ත්‍රණය දුර්වල කරමින් වඩාත් ලිහිල් ප්‍රතිපත්ති මත එම රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය මගින් තම ගජමිතුරන්ට විකුණන ලදී. ඒ යටතේ වානේ, ටයර්, පිඟන්, තුනීලෑලි, සිමෙන්ති, සීනි ආදී වශයෙන් ලංකාවට විදේශ විනිමය ඉතිරි කළ හැකි ජාතික සම්පත් රැසක් ඉතාම අඩු අගයන්ට හා අසාර්ථකම ක්‍රමයන්ට විකිණීම සිදුවිය. රාජ්‍ය ඒකාධිකාරයේදී මෙන්ම එම විකිණීමෙන්ද වාසි ලද්දේ සුළු පිරිසකි; ආණ්ඩුවලට සමීප ගජ මිතුරන් පිරිසකි.

කර්මාන්තවලට අමතරව, සෞඛ්‍ය යටතේ රෝහල්ද අධ්‍යාපනය යටතේ පෞද්ගලික අධ්‍යාපන කඩ සහ ජාත්‍යන්තර පාසල් ක්‍රමයද ගමනාගමන සේවය යටතේ බස් සේවය හා ගුවන් සේවයද පෞද්ගලීකරණයට ගොදුරු විය.

අද එහි තර්කානුකූල ඉදිරි පියවර වී ඇත්තේ ජනතාව (ඉතිරිව ඇති කර්මාන්ත නොමැති නිසා) සතු ඉඩම් හා වනාන්තර සහිත අනාගත පරපුරට සුරැකිව තිබිය යුතු ස්වාභාවික සම්පත් මිල කිරීමය. කොළඹ නගරයේ වටිනා ආර්ථික මර්මස්ථානයන්හි ඉඩම්වල සිට ඈත ආදිවාසී වැදි ජනතාව ජීවත්වන සාම්ප්‍රදායික වන බිම් තීරු දක්වා අද මේ ඉඩම් මංකොල්ලය රට පුරා දියත් කරනු ලැබ ඇත.

විදුලිය හා මහජන උපයෝගීතාවය

විදුලිබලය, ඛණිජ තෙල්, ජල සැපයුම ජනතාවගේ අත්‍යාවශ්‍යම මහජන අවශ්‍යතාවයන්ය. රජයේ කාර්යභාරය වන්නේ සාධාරණ ක්‍රමයකට එම මහජන වුවමනාවන් ඉටු කිරීමය. ජනතාව වක්‍රව හා ඍජුව ආණ්ඩුවට බදු ගෙවන්නේ ඒ වෙනුවෙනි. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව හා ජල සම්පාදන මණ්ඩලය පිහිටුවා ඇත්තේ රාජ්‍ය ව්‍යාපාර ලෙස පීඩාවකින් තොරව ජනතාවට විදුලිය, ඉන්ධන හා ජලය භුක්ති විඳීමේ වුවමනාව ඉටු කර දීමටය.

මහජන උපයෝගීතා කොමිසම රාජ්‍ය ආයතනයක් වුවත් රාජ්‍ය ව්‍යාපාරයක් නොවේ. මහජන උපයෝගීතා කොමිසමේ කාර්යභාරය වන්නේ රාජ්‍ය ව්‍යාපාර ලෙස විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය (එසේම තෙල් සංස්ථාවටද)  තම සේවාවන් අසාධාරණ කොන්දේසි හා මිල ගණන් යටතේ සැපයීම වළක්වා මහජනතාව හිතසුව පිණිස සාධාරණ මිල හා ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමය. විදුලිය, ජලය, ඉන්ධන සැපයීමේ කටයුතු කරන්නේද ආණ්ඩුව විසින් පත්කළ ඇමතිවරයා හා රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම යටතේම නම් රජයේම තවත් නිලධාරීන් පත්කර එම කටයුතු සොයා බැලීමට යාන්ත්‍රණයක් (ප්‍රමිති ආයතනය, මහජන උපයෝගීතා කොමිසම වැනි) අවශ්‍ය වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවිය හැකිය. එසේ එවැනි ආයතන පිහිටුවීමේ අරමුණ වූයේ රාජ්‍ය යාන්ත්‍රණය ජනතාවට සාධාරණයක් ඉටු නොවන පරිදි ව්‍යාපාර කරන බව ඔවුන්ටම පැහැදිලි නිසාය. නමුත් දැන් රාජපක්ෂවරුන් ධනවාදයේ මේ පරාජිත ඉනිමේදී යෝජනා කරන්නේ විදුලිය, ජලය පෞද්ගලීකරණය කිරීමට ඉඩක් ඇත්තේ නැතිනම් ඒවායින් තම ගජ මිතුරන්ට හොරාකෑමට බාධා කරන, එම ආයතනයන්හි ගුණාත්මක සේවයක් ජනතාවට ලැබීම සහතික කරන ආයතන ව්‍යුහයන් අහෝසි කිරීමටය.

මහජන උපයෝගිතා කොමිෂම අහෝසි කිරීමට ‘සෞභාග්‍යයේ ගෝඨාභය දැක්ම’ ආණ්ඩුව පසුගියදා කැබිනට් අනුමැතිය ඉල්ලමින් ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එහි ‘අපූරුවට’ දක්වා ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම “ආයෝජකයින්ට අහිතකර පරිසරයක් නිර්මාණය කර ඇති” බවයි. ඉදිරි මාස 02ක කාලය තුළ ඇ. ඩොලර් මිලියන 2000ක පමණ විදුලි බල ක්ෂේත්‍රයේ සිදු කරනු ලබන ආයෝජන කඩිනම් කිරීම ඉලක්ක කරගෙන ඒ සඳහා බාධා වී ඇති මහජන උපයෝගිතා කොමිසම ඉවත් කිරීමට අවශ්‍ය නීති හැදීමේ බලය එයින් ඉල්ලා ඇත. කාරණය ඉතා පැහැදිලිය. ධනවාදය මුල් යුගයේ ස්ථාපිත කළ රාජ්‍ය ව්‍යාපාර, කර්මාන්ත ඊළඟ පියවරේදී විකිණීමට අවශ්‍ය විය. ආණ්ඩුවලට ඒ ඒ මොහොතේ පැවති ඡන්ද පදනමේ බලය හමුවේ සැලකිය යුතු ප්‍රමාණයක් විකිණීමට හැකි විය. නමුත් කම්කරු පංති බලය හා වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ශක්තිමත් තැන්වලදී ඒ ඉලක්ක එලෙසම  ඉටු කරගත නොහැකි විය.

දැන් ඒ අවශ්‍යතාවයම ඉටු කරන්නේ පොත්ත තිබියදී මදය කන්නාක් මෙන් ආයතන ලෙස විදුලිය ජලය තෙල් සංස්ථා තිබියදී ඒවා තම ගජමිතුරන්ට හා විදේශීය බහුජාතික සමාගම් වලට “ආයෝජන” මුවාවෙන් සූරාකෑමට මඟ සකස් කර දීමය. ඒ සඳහා බාධා ලෙස ඇති ආයතන ඉවත් කිරීමට දැන් 69 ලක්ෂයේ ඡන්ද බලය හා 20වැනි සංශෝධනයේ 2/3 බලය යොදා ගැනීම අරඹා ඇත.

කොටස් වෙනුවට ඩොලර් කරකැවීම

අද ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පවතින්නේ දැඩි අර්බුදකාරී වටපිටාවකය. ගෙවිය යුතු විදෙස් ඩොලර් ණය පංගුව විදේශ වත්කම් සංචිතයද ඉක්මවා ගොසිනි. මේ අර්බුදය කලින් දකින කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ විදේශ ආයෝජකයින් මෙම අස්ථාවර වාතාවරණය තුළ තම ආයෝජන කොටස් වෙළඳපොළේ තවදුරටත් රඳවා තබා ගන්නේ නැත. ඔවුන් මුලින්ම අස්ථාවර මූල්‍ය වෙළඳපොළින් ඉවත්වේ. ෆිච් (සෙඑජය) මූඩීස් (පදදාහි) හා එස් ඇන්ඩ් පී (ී)ඡ) වැනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව තවදුරටත් මූල්‍ය සුරක්ෂිත රටක් වෙනුවට දැඩි අවදානම් රටක් ලෙස නම් කිරීමත් සමග තත්වය තවත් බරපතළ විය.

ආණ්ඩුව දැන් උපක්‍රමය මාරුකර ඇත්තේ කොටස් වෙළඳපොළට ඩොලර් කැඳවීම වෙනුවට ඉඩම් වෙළඳපොළට ඩොලර් ගෙන්වා ගැනීම ලෙසටය. අසාර්ථක මූල්‍ය වෙළපොළට ඒමට අකමැති ධනවාදී ආයෝජක ‘ගිජුලිහිණීන්’ සාර්ථක ආයෝජන ලෙස කුණු කොල්ලයට මිලදී ගත හැකි වරාය, ගුවන්තොටුපොළ, රක්ෂිත වනාන්තර, මෙන්ම විදුලිබල, ජලය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවාවන්හි ආයෝජන සඳහා ඩොලර් ගෙන ඒමට සූදානම්ය.

ධනවාදයේ ස්වභාවය මිල කළ හැකි සමස්තය විකිණීම බව අපට අරුමයක් නොවේ. ගැටලුව වී ඇත්තේ විකිණීම වෙනුවට දේශප්‍රේමී සටන්පාඨ භාවිතා කරමින් කලින් ආණ්ඩුවද විකුණා ඇති ආර්ථිකය අපි ඇවිත් කණපිට හරවා හදන්නේ යැයි කියූ පිරිසක්ම අද ඒ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය හොඳින්ම කර තියාගෙන යාමය. ඒ සඳහා ජනතාව කිසිදු හිරිකිතයකින් තොරවම මුලා කර තිබීමය. ඒ නිසා පාලකයින්ට තවත් නිවැරදිවීමේ ක්‍රියාමාර්ග ඇත්තේ නැත. ඔවුන්ට ඇත්තේ කඹේ දිග තරමට උලාකන ගවයා මෙන් කෙළවරටම විකිණීමය. අර්බුදයේ කරවටක් හිරවී ඇති රටක ආර්ථිකයක් යළි කෙලින් කර ශක්තිමත් කළ හැක්කේ දුබල මිය යමින් තිබෙන ලෝකයේ බොහෝ කලකට පෙරදීම යල්පැනීමට ලක් වූ මේ නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්තිවලින් නොව නවීන සමාජවාදී දැක්මක් හා වැඩපිළිවෙළක් තුළම පමණි. ඒ පරම සත්‍ය බව තේරුම් ගත යුත්තේ මේ සියලු අහිමිවීම හා පීඩාවන් භුක්තිවිදින අපේම පංතියේ ජනතාවය. කඩා වැටෙන ආර්ථිකයට පමණක් නොව මුළු මහත් සමාජයටම නැවුම් බලාපොරොත්තුව ඇත්තේ එම තේරුම් ගැනීම සංවිධානාත්මක බලයක් බවට පත්කර මේ රටට සතුරු කුමන්ත්‍රණ පරාජය කිරීමෙන්ම පමණි.

නියමුවා – ජනවාරි

නව ලිබරල් ධනවාදයේ අන්තයට තල්ලු කෙරෙන ලංකාවේ ආර්ථිකය