කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

නිර්ධනයෝ සහ කොමියුනිස්ට්වාදියෝ

කොමියුනිස්ට්වාදීන් සහ පොදුවේ නිර්ධන පංතිය අතර ඇති සබඳතාවය කුමක්ද ?

කොමියුනිස්ට්වාදිහු වෙනත් කම්කරු පංතික පක්ෂවලට විරුද්ධව දේශපාලන පක්ෂ නොසාදති.

සමස්තයක් වශයෙන් නිර්ධන පංතියේම වුවමනාවන් හැර ඒවාට වෙනස් වූත්, ඒවායින් පරිබාහිර වූත් වෙනත් කිසිදු වුවමනාවන් කොමියුනිස්ට්වාදීන්ට නොමැත.

නිර්ධන පංතික ව්‍යාපාරය හැඩ ගස්වා වාත්තු කිරීම සඳහා කොමියුනිස්ට්වාදියෝ තමන්ගේම
නිකායවාදී මූලධර්ම කිසිවක් ඇති නොකරති.

කොමියුනිස්ට්වාදීන් අනිකුත් නිර්ධන පංතික පක්ෂ වලින් වෙන්වී පෙනෙන්නේ මේ කරුණු වලින්
පමණකි. එක් අතකින් කොමියුනිස්ට්වරු විවිධ රටවල නිර්ධනීන්ගේ අරගල වලදී, ජාතිය කුමක් වුවද, එයට ස්වාධීනව පවතින මුළු මහත් නිර්ධන පංතියේම පොදු වුවමනාවන් වෙන්කොට පෙන්වමින් ඒවා පෙරමුණට ගෙන එති. අනිත් අතින්, ධනපති පංතියට විරුද්ධව ඇති කම්කරු පංති සටන් අරගල ගමන් ගන්නා වූ විවිධ සංවර්ධන අවධි වලදී කොමියුනිස්ට්වරු සෑම විටමත්, සෑම තැනකදීමත් සමස්තයක් වශයෙන් මුළු ව්‍යාපාරයේ වුවමනාවන් නියෝජනය කරන්නෝ වෙති.

මෙම හේතුව නිසා කොමියුනිස්ට්වාදීන් ව්‍යවහාරික වශයෙන් හැම රටකම කම්කරු පංති පක්ෂවල
ඉතා අධිෂ්ඨාන සහගත සහ ඉදිරි ගමනට ආස්වාදය ලබා දෙන පුරෝගාමී කොටස වේ. න්‍යායික
වශයෙන් ඔවුනට නිර්ධන පංතික ව්‍යාපාරයේ තත්වය, ගමන් මාර්ගය හා පොදු ප්‍රතිඵල ගැන පැහැදිලි අවබෝධයක් ඇති බැවින් ඔවුනට නිර්ධන පංතියේ සෙසු බහු ජනතාවට නැති වාසියක් ඇත්තේය.

කොමියුනිස්ට්වාදීන්ගේ ක්ෂණික අරමුණ, අන් සියළු නිර්ධන පංතික පක්ෂ වල ක්ෂණික අරමුණමය. එනම්, පංතියක් වශයෙන් නිර්ධනීන් සංවිධානය කිරීමය, ධනවාදී ආධිපත්‍යය මුලිනුපුටා දමා, නිර්ධන පංතියට දේශපාලන බලය ලබා දීමය.

විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයෙකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූලධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම්වී නැත.

හුදෙක් වාස්තවික ලෙස පවතින පංති අරගලයක් තුලින්, අපේ ඇස් ඉදිරියේම කෙරී ගෙන යන,
ඓතිහාසික ක්‍රියාදාමයක් තුලින් පැන නගින සබඳතාවයන් පොදුවේ ප්‍රකාශ කිරීම පමණක් මේ න්‍යායික නිගමනයන් කෙරේ. දැනට පවතින දේපොළ සබඳතාවයන් අහෝසි කර දැමීම කිසිසේත්ම කොමියුනිස්ට්වාදයේ විශේෂ ලක්ෂණයක් නොවේ.

අතීතයේ සියළු දේපොළ සබඳතාවයන් ඓතිහාසික තත්වයන්ගේ වෙනස් වීමේ විපාකයක් වශයෙන් ඓතිහාසික වෙනස් වීම් වලට අවිච්චින්න ලෙසම භාජනය වී ඇත.

ප්‍රංශ විප්ලවය නිදසුනක් වශයෙන්, ධනපති දේපොළ ක්‍රමය ඇති කරලීමෙන්, රදළවාදී දේපොළ ක්‍රමය අහෝසි කලේය.

දේපොළ පොදු වශයෙන් අහෝසි කර දැමීම නොව ධනවාදී දේපොළ ක්‍රමය අවලංගු කර දැමීම
කොමියුනිස්ට්වාදයේ විශේෂ ලක්ෂණය වේ.

එහෙත් සමකාලීන ධනවාදී පෞද්ගලික දේපොළ ක්‍රමය, පංති ප්‍රතිවිරෝධතා මත, ටික දෙනෙකු විසින් දෙනෙකු සූරා කෑම මත පදනම් වූ නිෂ්පාදනය කිරීම සහ නිෂ්පාදිත භාණ්ඩ අයත් කර ගැනීම පිළිබඳව අවසාන වූත් අති පූර්ණවූත් ප්‍රකාශනයයි.

මේ අර්ථයෙන් කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායයට මෙවැනි අර්ථ කථනයක් දිය හැකිය. එනම්,
පෞද්ගලික දේපොළ ක්‍රමය අහෝසි කර දැමීමය.

කොමියුනිස්ට්වාදීන් වන අපට දෝෂාරෝපණයන් එල්ල කොට ඇත්තේ, සියළු පෞද්ගලික නිදහසේ, ක්‍රියාකාරිත්වයේ සහ ස්වාධීනත්වයේ පදනම යැයි කියනු ලබන, මිනිහකුට තම ශ්‍රමයේ ඵලයක් වශයෙන් පෞද්ගලික අයිති කර ගත හැකි දේපොළ අයිතිය අහෝසි කර දැමීමේ අභිලාෂයක් අප තුල තිබෙන බැවිනි.
අමාරුවෙන් දිනාගත්, ස්වයං උපාර්ජිත, ස්වයං ශ්‍රමයෙන් ලබාගත් දේපොළ! ඔබ කියන්නේ ධනවාදී දේපොළ ක්‍රමයට පෙර පැවති, කුඩා හස්ත කර්මාන්ත ශිල්පියාගේ සහ කුඩා ගොවියාගේ දේපොළ ගැනද? එම දේපොළ විනාශ කරලීමට අපට කිසිදු වුවමනාවක් නැත. කර්මාන්ත සංවර්ධනය විසින් අති විශාල වශයෙන් මෙය විනාශ කර ඇත. එය දැනටමත් දිනපතා එය විනාශ කරමින් සිටී.

නැතිනම්, ඔබ සමහර විට කතා කරන්නේ සමකාලීන ධනපති පංතියේ දේපොළ ගැනද?

එහෙත් වැටුප් ශ්‍රමය, නිර්ධනයාගේ ශ්‍රමය ඔහුට කිසියම් දේපොළක් නිර්මාණය කරයිද? කොහෙත්ම නැත. එය නිර්මාණය කරන්නේ ප්‍රාග්ධනයයි. එනම්, එය වැටුප් ශ්‍රමය සූරා කන දේපොළ නිර්මාණය කරයි. අළුතින් සූරා කෑම සඳහා අළුත් වැටුප් ශ්‍රම තොගයක් ලබා ගැනීමේ තත්වය යටතේ මිස අන් ලෙසකින් වැඩිවීමට නොහැකි දේපොළය. වත්මන් ආකාරය සහිත දේපොළ පදනම් වී ඇත්තේ ප්‍රාග්ධනයත්, වැටුප් ශ්‍රමයත් අතර වූ ප්‍රතිවිරෝධීතා මතය. අපි දැන් මේ ප්‍රතිඝතතාවයේ දෙපැත්ත පිරික්සා බලමු.

ධනපතියෙකු වීමට නිෂ්පාදනයෙහි හුදෙක් පෞද්ගලික තත්වයක් පමණක් නොව, සමාජීය
තත්ත්වයක්ද අවශ්‍ය වේ. ප්‍රාග්ධනය සාමූහික ඵලයකි. එය නිර්මාණය කොට ක්‍රියා කරවිය හැක්කේ සමාජයේ සාමාජිකයින් බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරිත්වය තුලින් පමණකි. එපමණක් නොව, අවසානයේදී, සමාජයේ සාමාජිකයින්ගේ එක්සත් ක්‍රියාකාරීත්වය තුලින් පමණකි.

එබැවින් ප්‍රාග්ධනය පෞද්ගලික නොව සමාජ බලයකි.

එම නිසා, ප්‍රාග්ධනය පොදු දේපොළ බවට, සමාජයේ සියළු සාමාජිකයින්ගේ දේපොළ බවට
පරිවර්තනය කරන විට එමගින් පෞද්ගලික දේපොළ සාමාජීය දේපොළ බවට පරිවර්තනය නොවෙයි. දේපොළවල සමාජමය ස්වරූපය පමණක් වෙනස් වෙයි එහි. පංති ස්වරූපය නැතිවෙයි.


දැන් අපි වැටුප් ශ්‍රමය ගෙන බලමු.
වැටුප් ශ්‍රමයේ සාමාන්‍ය මිළ නම්, අවමය වැටුපයි, එනම් කම්කරුවා හුදු කම්කරුවකු ලෙස යම්තම්
ජීවත් කොට තබා ගැනීමට අවශ්‍ය, නිරපේක්ෂ යැපුම් මාධ්‍යයන්ගේ සමස්තයයි. එබැවින් වැටුප්
ශ්‍රමිකයා තම ශ්‍රමය මගින් අයත් කර ගන්නේ තම ජීවිතය දිග්ගැස්සවීමට සහ එය ප්‍රතිනිෂ්පාදනය
කිරීමට අවශ්‍ය අවම ප්‍රමාණයක් පමණකි. මේ ආකාරයේ ශ්‍රම ඵලයක් විනාශ කර දැමීමට අප
කොහෙත්ම අදහස් නොකරන්නේ, එය මිනිස් ජීවිතය පවත්වාගෙන යාම සඳහාත් මිනිස් ජීවිතය ප්‍රති නිෂ්පාදනය කිරීම සඳහාත් වැය වන අතර එය අනුන්ගේ ශ්‍රමය සූරා කන පාලනයක් ඇති කරන අතිරික්තයක් ඉතිරි නොකරන බැවිනි. අපට විනාශ කිරීමට වුවමනා වී ඇත්තේ මේ අයත් කර ගැනීමේ කාලකණ්ණි ස්වරූපය පමණකි. මේ අයත් කර ගැනීම යටතේ කම්කරුවා ජීවත් වන්නේ හුදෙක් ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහාය. එමෙන්ම පාලක පංතියේ වුවමනාවන්ට අවශ්‍ය වන තෙක් ඔහුට ජීවත් වීමට ඉඩදී ඇත.

ධනපති සමාජය තුල ජීවමාන ශ්‍රමය, සමුච්චගත කරන ලද ශ්‍රමය වැඩි කරලීමේ මාධ්‍යයක් පමණකි. කොමියුනිස්ට්වාදී සමාජයක් තුල සමුච්චගත කරන ලද ශ්‍රමය කම්නරුවාගේ පැවැත්ම පුළුල් කිරීමටත්, එය පොහොසත් කරලීමටත්, පහසු කරීමටත් යොදන මාධ්‍යයක් පමණකි.

ඒ අනුව ධනවාදී සමාජය තුල වර්තමානය මැඩ අතීතය ආධිපත්‍යය උසුලයි. කොමියුනිස්ට්වාදී
සමාජය තුල අතීතය මැඩ වර්තමානය ආධිපත්‍යය උසුලනු ඇත. ධනවාදී සමාජය තුල ප්‍රාග්ධනය
ස්වාධීනය, පෞද්ගලිකත්වයෙන් යුක්තය, එහෙත් ජීවමාන වැඩ කරන පුද්ගලයා පරාධීනය,
පෞද්ගලිකත්වයෙන් තොරය.

මෙවැනි සබඳතාවයන් විනාශ කරලීම ධනපති පංතිය හදුන්වන්නේ පෞද්ගලිකත්වය සහ නිදහස නැති කරලීසක් ලෙසිනි. ඔවුන් නිවැරදිය. අත්ත වශයෙන්ම මෙහිදී අපේ අරමුණ වී තිබෙන්නේ, ධනවාදී පෞද්ගලිකත්වයත්, ධනවාදී නිදහසත්, ධනවදී ස්වාධීනත්වයත් නැති කර ලීමය.

නිෂ්පාදනය පිළිබඳ අධ්‍යතන ධනපති තත්වයන් යටතේ නිදහස යනු වෙළදාමේ නිදහසය, අලෙවි
කිරීමේ නිදහසය, මිළදී ගැනීමේ නිදහසය.

එහෙත් අලෙවි කිරීම සහ මිළදී ගැනීම අතුරුදහන් වන්නේ නම්, නිදහස් වෙළදාම සහ නිදහස් මිළදී ගැනීමත් අතුරුදහන් වෙයි. නිදහසේ අලෙවි කිරීම සහ මිළදී ගැනීම අරඹයා වූ මේ කතාවේත්, පොදුවේ නිදහස අරඹයා වූ අපේ ධනපති පංතියේ අන් සියළු “පම්පෝරි කතා වලත්” කිසියම් තේරුමක් ඇතොත්, ඇත්තේ එම මධ්‍ය කාලීන යුගවල පැවැති ස්වාධීනත්වයෙන් තොරවූ සීමා සහිත අලෙවි කිරීම හා මිළදී ගැනීම සහිතව වහල් තත්වයේ සිට් වෙළෙන්දන් සමඟ සන්සන්දනය කරන විට පමණකි. එහෙත් අලෙවි කිරීම සහ මිළදී ගැනීමත්, නිෂපාදනය කිරීමේ ධනවාදී සබඳතාවයන් සහ ධනපති ක්‍රමයත් විනාශ කරලීමේ කොමියුනිස්ට් ක්‍රමය සමඟ සනසන්දනය කරන විට එහි කිසිදු තේරුමක් නැත.

ඔබ තැතිගෙන සිටින්නේ පෞද්ගලික දේපොළ නැති කර දැමීමේ අපගේ අභිප්‍රාය ගැනය. එහෙත්
දැනට පවතින ඔබේ සමාජය තුල දහයෙන් කොටස් නවයකටම පෞද්ගලික දේපොළ දැනටමත් නැති කර දමා ඇත. සමාජයේ දහයෙන් කොටස් නවයකටම පෞද්ගලික දේපොළ නැති හේතුව නිසාම ස්වල්ප දෙනෙකුට එය ඇත්තේය. එබැවින්, සමාජයේ අති බහුතරයට කිසිදු දේපොළක් නොතිබීම, ස්වකීය පැවැත්ම සඳහා අවශ්‍ය තත්වය වශයෙන් පවතින දේපොළ ක්‍රමය නැති කර දැමීමට අප අදහස් කරන නිසා ඔබ අපට දොස් පවරන්නෙහිය.

එක වචනයකින් කියතොත්, ඔබේ දේපොළ නැති කිරීමට අදහස් කිරීම ගැන ඔබ අපට දොස්
පවරන්නෙහිය. සත්තකින්ම එසේය. අපි ඇත්තවශයෙන්ම එසේ කිරීමට අදහස් කරමු.


ශ්‍රම ශක්තිය, ප්‍රාග්ධනය, මුදල්, ඉඩම් බදු කුලිය බවට තවදුරටත් පරිවර්තනය කිරීමට නොහැකි,
කෙටියෙන් කියතොත්, ඒකාධිකාරී බලයකට නතු කල හැකි සමාජීය බලයට පරිවර්තනය කළ
නොහැකි මොහොතේ සිට එනම්, පෞද්ගලික දේපොළ ධනවාදී දේපොළ බවට තවදුරටත් පරිවර්තනය කල නොහැකි මොහොතේ සිට, පෞද්ගලිකත්වය විනාශ වෙතියි ඔබ කියන්නෙහිය.

එබැවින් පුද්ගලයා යනුවෙන් ඔබ අදහස් කරන්නේ ධනපතියා හැර, නැතහොත් ධනවාදී දේපොළ
හිමියා හැර අන් කිසිවකු නොවන බව ඔබ නොසඟවා පිලිගත යුතුය. මෙවැනි පුද්ගලයෙකු සැබවින්ම නැති කර දැමිය යුතුය.

කොමියුනිස්ට්වාදය සමාජයේ ඵල අයත් කර ගැනීමේ හැකියාව කිසිවකුගෙන් පැහැර නොගනී. එවැනි අයත් කර ගැනීම් මගින් අනුන්ගේ ශ්‍රමය වහල් කර ගැනීමේ හැකියාව ඔහුගෙන් උදුරා ගැනීම පමණක් එය ඉටු කර ලයි.

පෞද්ගලික දේපොළ අහෝසි කර දැමීමෙන් ඉක්බිතිව, හැම වැඩක්ම නතර වී, සමස්ත ලෝක
අලසභාවයක් රජ කරනු ඇතැයිද යනුවෙන් විරුද්ධත්වයක් මතු කොට ඇත.

මෙය සත්‍යයක් නම්, අලස කම නිසා ධනවාදී ලෝකය විනාශවී යා යුතුව තිබුනේ මීට බොහෝ කලකට පෙරය. මන්ද යත්, එම සමාජය තුල වැඩ කරන අය සතුව කිසිවක් නොතිබුණු බැවිනි. සියළු දේපොළ අයත්කර ගෙන සිටින වුන් වැඩ නොකරන බැවිනි. ප්‍රාග්ධනය තවදුවරටත් නොපවතින කල්හි, වැටුප් ශ්‍රමයකටද පැවතිය නොහැකි යැයි කියන විට මුළු මහත් විරුද්ධත්වය අන් කිසිවක් නොව පුනර්වාචකයේ තවත් ප්‍රකාශනයක් පමණකි.

ද්‍රව්‍යමය භාණ්ඩ නිපදවීමේ සහ අයත් කර ගැනීමේ කොමියුනිස්ට්වාදී ආකාරයට එරෙහිව ඉදිරිපත්
කරන සියළු විරුද්ධත්වයන් බුද්ධිමය ඵල නිපදවීමේ සහ අයත් කර ගැනීමේ කොමියුනිස්ට්වාදී ආකාර වලට එරෙහිවද එලෙසම ඉදිරිපත් කර ඇත. ධනපති පංතියට අයත් දේපොළ අහෝසි කර දැමීම, මුළුමහත් නිෂ්පාදනයම අහෝසි කර දැමීමක් ලෙස ධනපතියා විසින් ගණන් ගනු ලබන්නේ යම් සේද එසේම ධනපති පංතියට අයත් සංස්කෘතිය අහෝසි කර ලීම, සංස්කෘතිය සමස්තයක් වශයෙන් අහෝසි කරලීමක් සේ ඔහු සලකයි.

නැතිවී යාම නිසා ඔහුගේ දොම්නසට භාජනය වී ඇති ඒ සංස්කෘතිය අති මහත් බහුතරයට නම්,
යන්ත්‍රයක් වශයෙන් ක්‍රියා කිරීම සඳහා දෙනු ලබන පුහුණුවක් පමණකි.

එහෙත් ධනවාදී දේපොල අහෝසි කරලීම මැන බැලීම පිණිස ස්වාධීනත්වය, සංස්කෘතිය සහ නීතිය ආදිය පිළිබඳවූ ඔබේ සංකල්ප යොදන තුරු ඔබ අප සමඟ විවාද නොකරන්න. ඔබගේ නීති සංග්‍රහය, සියළු දේ මත බලපාන නීතියක් දක්වා උසස් කරන ලද ඔබ පංතියේම අභිමතය වන්නාසේ ම, ඔබේ පංතියේ පැවැත්ම පිළිබදව වූ ද්‍රව්‍යමය තත්වයන් මඟින් තීරණය කරනු ලබන අභිමතයක් වන්නා සේම, ඔබේ සංකල්පද ධනපති නිෂ්පාදන සබඳතාවයන් සහ ධනපති දේපල අයිතිය පිළිබඳ ධනවාදී සබඳතාවයන්ගේ ඵලය වේ.

නිෂ්පාදන සබඳතාවයන් ගෙන් සහ දේපල පිළිබඳ සබඳ තාවයන්ගෙන් පැන නගින සාමාජීය ස්වරූපයන් නිෂපාදන සංවර්ධන ක්‍රියාදාමයේදී ඇති වී, නැති වී යන ඓතිහාසික සබඳතාවයන්
ස්වභාව ධර්මයේ සහ ප්‍රබුද්ධත්වයේ සදාකාලීන නීති බවට පරිවර්තනය කිරීමට ඔබ පොළඹවාලන ඒ ආත්මාර්ථකාමී සාවi විකල්පනය ඔබට පමණක් සීමා වූවක් නොව, ඔබට කලින් පැවැති සහ
අභාවයට ගිය හැම පාලක පංතියකටම පොදු වූවකි. පෞරාණික දේපොළ පිළිබඳවත්, රදළවාදී
දේපොළ පිළිබඳවත් ඔබේ වැටහීම හා ඔබේ පිළිගැනීම ධනවාදී දේපොළ සම්බන්ධයෙන් ඔබ වටහා ගැනීමට කොහෙත්ම පිළිගැනීමට සූදානම් නැත.

පවුල විනාශ කර දැමීම! අති රැඩිකල්වාදී පුද්ගලයා පවා මෙම ඉතා අපකීර්තිමත් අභිප්‍රාය නිසා
කෝපාන්විත වෙයි.
සමකාලීන, ධනවාදී පවුල පදනම්වී තිබෙන්නේ කුමන අත්තිවාරමක් මතද? ප්‍රාග්ධනය මතය,
පෞද්ගලික ලාභය මතය. සම්පූර්ණ ලෙස වර්ධනය වූ ස්වරූපයකින් මේ පවුල පවතින්නේ ධනපති පංතිය සඳහා පමණකි. එහෙත් මේ තත්වයෙහි අනුපූරකය වී ඇත්තේ නිර්ධනීන් අතර නියම පවුල් ජීවිතයක් නොමැති වීමත් ප්‍රසිද්ධ ගණිකා වෘත්තියක් තිබීමත්ය.

මේ අනුපූරකය අතුරුදහන් වන විට, ධනවාදී පවුලද ස්වභාවයෙන්ම අතුරුදහන් වෙයි. ප්‍රාග්ධනය
අතුරුදහන් වීමත් සමඟ මේ දෙකම අතුරුදහන් වන්නේය.

ඔබ අපට චෝදනා කරන්නේ, දරුවන් ස්වකීය දෙමාපියන් විසින් සූරා කෑම නවත්වාලීමට අපට
වුවමනා නිසාද? මේ අපරාධයට වැරදිකරුවන් බව අපි පිළිගනිමු.

එහෙත් ගෘහමය අධ්‍යාපනය නැති කර දමා ඒ වෙනුනට සාමාජීය අධ්‍යාපනයක් ඇති කරන විට,
මිනිසාට අතිශයින්ම වටනා සබඳකම් අප විනාශ කරතියි ඔබ පවසන්නෙහිය.

ඔබේ අධ්‍යාපනය සාමාජීය නොවන්නේද? නියම හෝ අනියම් හෝ වශයෙන් කෙරෙන සමාජයේ
මැදහත් වීම මඟින් පාසල් මාධ්‍යයෙන් ඔබ අධ්‍යාපනය දෙන්නේ යම් සාමාජීය තත්වයන් යටතේද, එම සාමාජීය තත්වයන් මගින් එය තීරණය නොවන්නේද? අධ්‍යාපනය දීමේදී සමාජයේ බලපෑම
කොමියුනිස්ට්වාදීන් විසින් මවනු ලැබූ දෙයක් නොවේ. එම අධ්‍යාපනයේ ස්වරූපය පමණක් වෙනස් කිරීම කොමියුනිස්ට්වාදීන්ගේ වෑයම වෙයි. පාලක පංතියේ බලපෑමෙන් අධ්‍යාපනය ගලවා ගැනීම පමණකි.

සමකාලීන මහා පරිමාණ කර්මාන්තයේ සංවර්ධනය මගින් නිර්ධනීන් අතර ඇති සියළු පවුල්
සබඳතාවයන් ඉරා දමන තරමට නිර්ධනීන්ගේ දූ දරුවන් සරල වෙළඳ භාණ්ඩ බවට හා ශ්‍රම උපකරණ බවට පරිවර්තනය කරන තරමට, පවුල සහ අධ්‍යාපනය ගැනත් දෙමාපියන් සහ දූ දරුවන් අතර මෘදු සබඳකම් ගැනත් වූ ධනවාදී පංතියේ රැවටිලි සහගත හිස් ප්‍රලාප තවදුරටත් පිළිකුල් සහගත වෙයි.

එහෙත් කොමිනියුස්ටිවාදීන් වන නුඹලා ස්ත්‍රීන් පොදුවේ පාරිභෝග කිරීමකට ඉදිරිපත් වී ඇතැයි
ධනපතීහු එකහඬින් බෙරිහන් දෙති.

ධනපතියා සිය බිරිඳ සලකන්නේ ද හුදෙක් නිෂ්පාදන උපකරණයක් ලෙසටය. සියලු නිෂ්පාදන
උපකරණ පොදුවේ පාවිච්චි කිරීමට යන බවක් ඔහුට ඇසෙයි. ඒ අනුව ස්වභාවයෙන්ම පොදු
පාරිභෝජනයේ ඉරණම එලෙසම ස්ත්‍රීන්ටද බලපාතියි යන අදහස හැර වෙනත් දෙයක් සිතා ගැනීමට හෝ අපොහොසත් වෙයි.

ස්ත්‍රීන් හුදෙක් නිෂ්පාදන උපකරණ පමණක් හැටියට සිතීමේ තත්ත්වයෙන් ඔවුන් මුදවාලීම අපේ
අරමුණ යැයි අනුමාන වශයෙන් කල්පනා කිරීමට තරම්වත් ඔහුට ශක්තියක් නැත.

කොමියුනිස්ට්වරුන් නිල වශයෙන් පිහිටුවාලීමට යතියි ධනපතීන් කියන ස්ත්‍රීන් පොදුවේ
පාරිභෝජනය කිරීමේ ක්‍රමය කෙරෙහි ධනපතීන් දක්වන උසස් අධ්‍යාත්මික කෝපයට වඩා හාස්‍යජනක දෙයක් තවත් නැත. ස්ත්‍රීන් පොදුවේ පාරිභෝජනය කිරීම කොමිනියුස්ටිවරුන්ට අළුතින් ඉදිරිපත් කිරීමට වුවමනාක් නැත. එය අනාදිමත් කාලයක සිට පැවත එන්නකි.


අපේ ධපතියෝ ප්‍රසිද්ධ ගණිකාවන් හැරුණු විට, නිර්ධනීන්ගේ බිරියන් හා දූවරුන් ද තමනට රිසි සේ පාවිච්චි කරති. ඔවුනොවුන්ගේ බිරියන් සමග අනාචරයේ හැසිරෙමින් ඉන් සමහරක් තෘප්තියක් ලබති.

ධනවාදී විවාහය සැබවින්ම පොදුු භාර්යා ක්‍රමයකි. එබැවින් කොමියුනිස්ටිවාදීන්ට විරුද්ධව ධනපතීන්ට කළ හැකි උපරිමය දෝෂාරෝපනය වන්නේ වංචනික ලෙස සගවා ඇති පොදු භාර්යා ක්‍රමය නිල වශයෙන් විවෘත ලෙස කිරීමට යන්නේය කියාය. වත්මන් නිෂ්පාදන ක්‍රමය අහොසි කර දැමීමත් සමගම ඒ සමාජ ක්‍රමයයෙන් පැන නැගි පොදු භාර්්‍යා ක්‍රමයත්, එනම් ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ කැරෙන ගණිකා වෘත්තියත් අහෝසි විය යුතු යැයි මින් ප්‍රත්‍යක්ෂ ලෙසම පැහැදිලි වෙයි.

කොමියුනිස්ට්වාදීන් වෙත එල්ල කරන තවත් දෝෂාරෝපනයක් නම්, රට, ජාතිය අහෝසි කර දැමීමට ඔවුන් ඉදිරිපත් වී සිටින බවය.

වැඩ කරන කම්කරුවන්ට රටක් නැත. ඔවුනට නැති දෙයක් ඔවුන්ගෙන් පැහැර ගත නොහැකිය.
නිර්ධන පංතිය ප්‍රථම කොටම, දේශපාලන ආධිපත්‍ය ලබාගත යුතු බැවින්, මත ජාතියෙන් ම සමන්විත විය යුතු බැවින්, එතරම් දුරට එය ජාතික විය යුතුය. එහෙත් ධනවාදී අර්ථය අනුව ජාතික ලෙස නොවේ.

ධනපති පංතියේ වර්ධනයද, නිදහස් වෙළඳාමද, සමස්ත ලෝක වෙළඳ පොළද, කර්මන්ත
නිෂ්පාදනයේ ඒකතානමය භාවයද, ඊට අනුරූපී ජීවන තත්තවයන් ද හේතු කොට ගෙන, ජනතාවන් අතර ජාති වෙනස්කම් සහ ප්‍රතිඝතිතයන්ද වඩ වඩාත් අතුරුදහන් වෙමින් පවතී.

නිර්ධන පංතික ආධිපත්‍ය විසින් මේ අතුරුදහන් වීම වඩාත් වේගවත් කරනු ඇත. යටත් පිරිසෙයින්
සභ්‍ය රටවල ඒකීය ක්‍රියාකාරීත්වය නිර්ධන පංතියේ විමුක්තිය සඳහා අවශ්‍ය මුල් කොන්දේසිවලින් එකකි.

එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයකු සූරාකෑම අවසන් කර දමන ප්‍රමාණයට සමානුපාතිකව එක්
ජාතියක් තවත් ජාතියක් සූරාකෑමද අහෝසිකර දමනු ඇත.

එක් ජාතියක් තුළ පංතීන් අතර ඇති විරෝධය අතුරුදහන් වන ප්‍රමාණයට සමානුපාතිකව ජාතිනී
අතර ඇති සතුරු ආකල්පයන්ද අඩුවනු ඇත.

ආගමික, දාර්ශනික සහ දෘෂ්ටිමය ස්ථාවරයන් මත පිහිටා කොමිනියුස්ටි වාදයට විරුද්ධව එල්ල කරන චෝදනා බැරෑරුම් පිරික්සුමට හසු කිරීමට තරම් සුදුසු ඒවා නොවේ.

ජීවන තත්ත්වයන් සමග, එහි සාමාජීය සබඳතාවයන් සමග, සාමාජීය ජීවිතයෙහි ඇති වන හැම
වෙනස්වීමක් සමග මිනිසාගේ අදහස්, දෘෂ්ටිය සහ සංකල්පනා, එක වචනයකින් කියතොත්, ඔහුගේ සවිඥනය වෙනස් වන බව වටහා ගැනීමට විශේෂ ගැඹුරු බුද්ධියක් අවශ්‍ය වන්නේද ?
ද්‍ර්‍රව්‍යමය නිෂ්පාදනය වෙනස් වන තරමට, ඊට සමානුපාතිකව අධ්‍යාත්මික නිෂ්පාදනය වෙනස් වන්නේ යැයි හැරුණු විට, සංකල්ප පිලිබඳ ඉතිහාසය වෙන කුමක් ඔප්පු කරන්නේද? හැම කාලයකටම බලපෑ අදහස් එම කාලයේ පාලක පංතියේ අදහස් විය.

මුළු මහත් සමාජය විප්ලවයට හසු කරන සංකල්පය ගැන පවසති! එයින් අදහස් කරන්නේ අන්
කිසිවක් නොව, පැරණි සමාජයක් තුළ අළුත් සමාජයක බීජයක් හටගෙන තිබෙන බවය, ජීවත්වීමේ පැරණි තත්ත්වයන් අභාවයට යන අතර එයත් සමග අත්වැල් බැඳගෙන පැරණි සංකල්පයන් ද අභාවයට යන බවය.

පැරණි ලෝකය විනාශයේ ගැට්ට වෙත ලංවූ විට, පැරණි ආගම් පරදවා ක්‍රිස්තියානි ආගම ජය
ගත්තේය. 18 වැනි ශතවර්ෂයේදී ක්‍රිස්තියානි සංකල්ප තාර්කික හේතුවාදී සංකල්පයට යටවී අභාවයට යත්ම, රදළවාදී සමාජය එවකට විප්ලවවාදී වැ සිටි ධනවාදී පංතියට විරුද්ධව මාරක සටනක යෙදුනේය. ආගමික නිදහස සහ හෘදය සාක්ෂියේ නිදහස අරභයා වූ සංකල්ප පිළිබඳව ක්ෂේත්‍රයේ නිදහස් තරඟයේ ආධිපත්‍යය පමණක් ප්‍රකාශ කළේය.

“ඓතිහාසික සංවර්ධන ක්‍රියාදාමයේ දී ආගමික, සදාචාරාත්මක, දාර්ශනික, දේශාපලනමය සහ
නීතිමය සංකල්ප විකරණයට භාජනය වූ නමුදු ආගම, සදාචාරය, දර්ශනවාදය, දේශාපාලන විද්‍යාව සහ නීතිය මේ වෙනස් වීමට හසු නොවී ආරක්ෂා වී ඇතැ” යි අපට කියනු ඇත.

“එපමණක් නොව, සමාජ සංවර්ධනයේ සියලු අවධිවලට පොදු වූ නිදහස, සාධාරණත්වය, ආදී
සදාකාලික සත්‍යයන්ද ඇත. එහෙත් කොමියුනිස්ට්වාදය සියලු සදාකාලික සත්‍යයන් අවලංගු කරයි. ආගම් සහ සදාචාරයන් නව පදනමක් මත පුනxස්ථාපනය කරනවා වෙනුවට කොමින්යුස්ටිවාදය ඒවා සියල්ල අවලංගු කරයි. ඒ අනුව එය මෙතෙක් පැවති සියලු ඓතිහාසික ක්‍රියාදාමයේ අත්දැකීම්වලට විරුද්ධය.”

මේ චෝදනාවේ තේරුම කුමක්ද? සියලු අතීත සමාජවල ඉතිහාසය, විවිධ යුගවලදී විවිධ ස්වරූපයන් ගත් පංති ප්‍රතිඝතවල සංවර්ධනයෙන් සමන්විත වී තිබීමය.

එහෙත් අතීත යුග කිනම් ස්වරූපයක් ගත්තද, ඒ සියලු යුගවලට පොදු වූයේ සමාජයේ එක්
කොටසක් අනිත් කොටස් සූරාකෑමයි. එබැවින් අතීත යුගවල සමාජීය විඥානය අනේක විවිධත්වයක් සහ නානාත්වයක් ප්‍රදර්ශනය කළද, එය පංති ප්‍රතිඝතිතයන්ගේ පූරණ අතුරුදහන් වීමක් සමග මිස, සම්පූරණයෙන් අතුරුදහන් විය නොහැකි යම් පොදු ආකාරයන් තුළම මිස, පොදු සංකල්පයන් තුළම ගමන් කිරීම මවිතයට කරුණක් නොවේ.

කොමියුනිස්ට් ව්ප්ලවය සාම්ප්‍රදායික දේපොළ සබඳතාවලින් සම්පූර්ණයෙන්ම කැඩී යාමක් ඇති කරයි. එය සිය සංවර්ධනයේදී සාම්ප්‍රදායික අදහස්වලින් හාත්පසින්ම කැඩී වෙන්වී යාමක් ඇති කිරීම විමතියට හේතුවක් නොවේ.

එසේ වුවද කොමිනියුස්ට්වාදයට විරුද්ධව හඩනගන ධනවාදී චෝදනාවලට පිළිතුරු සැපයීම මින්
නවත්වමු.

කම්කරු පංති විප්ලවයේ ප්‍රථම පියවර වන්නේ නිර්ධන පංතිය පාලක පංතිය බවට නගා සිටුවීම
බවත්, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම බවත් අපි ඉහතින් දුටිමු.

පියවරෙන් පියවර සකල විධ ප්‍රාග්ධනය ධනපති පංතියෙන් උදුරා ගැනීමටද, රාජ්‍ය හස්තයෙහි, එනම් පාලක පංතිය ලෙස සංවිධානය වන නිර්ධන පංතිය අතෙහි සියලු නිෂ්පාදන උපකරණ මධ්‍යගත කිරීමටද, හැකි තරම් අධික වේගයකින් නිෂ්පාදන බලවේග සමස්තය වැඩි කරලීමටද නිර්ධන පංතිය ස්වකීය දේශපාලන ආධිපත්‍ය පාවිච්චි කරනු ඇත.

සත්තකින්ම පටන් ගැනීමේදී දේපොලවල අයිතිවාසිකම් තුළට, ධනවාදී නිෂ්පාදන සබඳතාවයන් තුළට ඒකාධිපති ලෙස කඩා වදින්නේ නැතිව, එනම් ආර්ථික වශයෙන් නොසෑහෙන සහ තහවුරු කළ නොහැකි ඒවා සේ පෙනෙන, එනමුදු ව්‍යාපාරය ගෙනයාfමිදී තවදුරට් ඉදිරියට ගමන් කරන, පැරණී සමාජ ක්‍රමය තුළට තවදුරටත් කඩා වැදීම අවශ්‍ය කරන්නා වූ පියවරවල් නොගෙන, මෙය සපුරාලිය නොහැකිය.

සත්තකින්ම මේ පියවරවල් විවිධ රටවල විවිධාකාර වන්නේය.
එසේ වුවද, පහත සටහන් පියවරයන් ඉතා දියුණූ රටවල් වලට පොදුවේ බොහෝ දුරට ගැළපේ.

  1. ඉඩම් අයිතිය අහෝසි කරලීම සහ ඉඩම්වලින් ලැබෙන සියලු බදුකුලී රජයේ වියදම් සඳහා යෙදවීම.
  2. ඉහල මට්ටමේ අනුක්‍රම අය බද්දක් හෝ ක්‍රමාංකික අයබද්දක් පැනවීම.
  3. ජන්මයෙන් දේපොල අයිතිවිමේ සියලු අයිතිය අහෝසි කරලීම.
  4. සියලු විශ්‍රාමිකයන්ගේ සහ සියලු කැරළි කරුවන්ගේ දේපොල රාජසන්තක කිරීම.
  5. රාජ්‍ය ප්‍රාග්ධනයෙන් සහ සුවිශේෂ ඒකාධිකාරයකින් යුත් ජාතික බැංකුවල මාධ්‍යයෙන් ණය ගනු දෙනු රජය අත මධ්‍යගත කිරීම.
  6. ප්‍රවාහන මාධ්‍යයන් රාජය අත මධ්‍යගත කිරීම.
  7. රජය සතු කර්මාන්ත ශාලාවලත්, නිෂ්පාදන උපකරණවලත් සංඛ්‍යාව වැඩි කිරීම, පොදු
    සැලැස්මයකට අනුකූලව මුඩු බිම් වගා කිරීම සහ පස සශ්‍රික කිරීම.
  8. සියලු දෙනාටම එක හා සමාන ශ්‍රම වගකීමක් ඇති කරලීම. කෘෂිකර්මය සඳහා විශේෂ වූ සහ
    වෙනත් කාර්මික හමුදාද පිහිටුවාලීම.
  9. කෘෂිකර්මය කර්මාන්ත සමග සම්බන්ධ කරලීම. ජනගහනය වඩාත් සමාන ලෙස රට පුරා විසුරුවා හැරීම මගින් නගරයත් ගමත් අතර ඇති වෙනස තුරන් කරලීම.
  10. සියලු ළමයින්ට ප්‍රසිද්ධ පාසල්වල නොමිලේ අධ්‍යාපනය ලබාදීම, කර්මාන්ත ශාලාවල ළමයින්ගෙන් වැඩ ගැනීමේ අද්‍යතන ක්‍රමය අහෝසි කිරීම” අධ්‍යාපනය කාර්මික නිෂ්පාදනය සමග සංයෝජනය කරලීම, ආදිය වේ.

සංවර්ධන ක්‍රියා සන්තතියේදී පංති ප්‍රභේද නැති වී මුළු මහත් නිෂ්පාදනයම පුද්ගලයින්ගේ දැවැන්ත
සමාගමයක් තුළ සංකේන්ද්‍රනය වූ විට, පොදු බලයේ දේශපාලනමය ස්වරූපය අහෝසි වී යනු ඇත. වචනයේ පරිසමාප්ත අර්ථය අනුව දේශපාලන බලය යනු එක් පංතියක් විසින් තවත් පංතියක් පෑගීම සඳහා සාදා ඇති සංවිධානාත්මක බලයයි. නිර්ධනීන් ධනපති පංතියට විරුද්ධව කරන අරගලයේදී අනිවාර්‍යයෙන්ම පංතියක් වශයෙන් සමගි වන්නේ නම්, පාලක පංතිය ලෙස එය පැරණි නිශ්පාදන සබඳතාවයන් බලාත්කාරයෙන් ඉවත ලන්නේ නම් එවිට නිර්ධන පංතිය, පංති ප්‍රතිඝතයන් පැවත්වීමේ තත්තවයන් නැති කරලයි, පොදුවේ පංතීන්ගේ පැවැත්මද අහොසි කර දමයි. එසේ කිරීමෙන් පංතියක් වශයෙන්, ස්වකීය ආධිපත්‍යද අහෝසි කරලයි.


පංතිවලින් සහ පංති ප්‍රතිඝතවලින් සමන්විත පැරණි ධනවාදී සමාජය වෙනුවට, හැම කෙනෙකුගේම ස්වාධීන සංවර්ධනය, සියලු දෙනාගේම ස්වාධීන සංවර්ධනයේ කොන්දේසියක් බවට පත්වන සමාගමයක් ඇති වන්නේය.

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය