කේරල මැතිවරණයෙන් නැවතත් වමට විශිෂ්ට ජයක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ඉන්දියාවේ ප්‍රාන්ත සභා මැතිවරණවලට සමගාමීව පසුගිය අප්‍රේල් 06වැනි දින කේරලයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල පසුගිය මැයි 02වැනි දින ප්‍රකාශයට පත් වූ අතර එහිදී පිනරායි විජයන්ගේ නායකත්වයෙන් යුතු වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විශිෂ්ට ජයක් ලබා තිබේ. ඒ, ප්‍රාන්ත සභාවේ 140ක ආසන ප්‍රමාණයෙන් 2016දී ලැබූ 91ක ආසන ප්‍රමාණය 99 දක්වා ආසන 08කින් ඉහළ නංවා ගනිමින් ජය ලැබීමෙනි. ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමන්විත වන අතර 1982 මැතිවරණයෙන් පසු එක් සන්ධානයක් විසින් කේරල ප්‍රාන්ත මැතිවරණය අඛණ්ඩව දෙවරක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේද මෙවරය.

විශේෂයෙන් ඉන්දියාව කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටියෙදී භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ අගමැති මෝදි තමන්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට උත්සාහ දරන ලද්දේ ‘මෝදි සමඟ නව කේරලයක්’ නමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමිනි. කෙසේ වුවද පසුගිය මැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට කේරල ප්‍රාන්ත සභාවේ හිමිව තිබූ එකම ආසනයද මෙවර අහිමි විය. පවතින තත්වය හමුවේ කේරලයේ මෝදි විරෝධය තීව්‍ර වී ඇති අතර, මහ ඇමැති පිනරායි විජයන් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය අලෙවියට දැමූ බවය.

ඉන්දියානු ජාතික කොන්ග්‍රසය ප්‍රමුඛ විපක්ෂයේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පසුගිය වාරයේ දිනා තිබූ ආසන 47ක ප්‍රමාණය 41 දක්වා පහළ බැස තිබීමද මෙහි විශේෂත්වයකි.

කොවිඩ් වසංගතය මර්දනය කිරීමේදී සහ ජනතාවට සහන ලබාදීමේදී කේරල ආණ්ඩුව විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන්ට ජනතා අනුමැතිය පළ වීමක් මෙම මැතිවරණ ප්‍රතිඵලය තුළ දැකිය හැකි බව විචාරකයෝ පවසති.

කේරල මැතිවරණයෙන් නැවතත් වමට විශිෂ්ට ජයක්