ඉතිහාසයට මගහැරුණු 1871 ඇල්ජීරියානු “කොමියුනය”..!

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1871 දී ඇවිලී ගිය ප්‍රංශ හා ජර්මාණු යුද්ධයේදී තම එයතිහාසික සතුරා ඉදිරියේ දණ ගසා නිවට ලෙස සාම ගිවිසුමකට එක්වූ ප්‍රංශ ධනපති පන්තියට එරෙහිව ප්‍රංශ කම්කරු පන්තිය අවි ඔසවද්දී ඒ හා සමගාමිව ප්‍රංශ යටත් විජිතයක් වූ ඇල්ජීරියාවේ ජනතාවද නිදහස ඉල්ලා සටන් කළහ. 1857 දී සිදුවන දැවැන්ත සටනකින් පසුව ඇල්ජීරියාව ප්‍රංශයට යටත් විණි. 1871 දී ඇල්ජීරියානු ජනතාව පැරිස් කොමියුනයට දින දෙකකට පෙර එනම් මාර්තු 16 වැනිදා ජර්මනිය සමග ඇතිවූ යුද්ධය නිසා හෙම්බත් වී සිටි ප්‍රංශ හමුදාවට මාස නමයක් පුරා පහර දුන්හ.

මෙම සටන ඉතිහාසයේ අහඹු සිදුවීමක් නොවේ. 1871 ජනවාරි මාසයේ ප්‍රංශ හමුදාවේ ඇල්ජිරියන් ජාතික සොල්දාදුවන් මුලින්ම තම බැරැක්ක තුලින් පිටවී කැරලිගසනුයේ ලුවී නැපෝලියන් වෙනුවෙන් ජර්මනිය සමග සටන්කිරීමට යාම ප්‍රතික්‍ෂේප කරමිනි. නැපෝලියන්ගේ අධිරාජ්‍යය අවසන්වී පැරීසියේ බලය සමුහාණ්ඩුවාදීන් අතට පත් වීමත් සමග 1848 හා 1852 ජනතා නැගිටීම් වලට සහභාගී වී පිටුවල් කර ඇල්ජීරියාවේ ජිවත් වූ ප්‍රංශ විප්ලවවාදීන් ඇල්ජීරියානු දේශීය ජනතාව සමග එක් වී ප්‍රීති උත්සව පවත්වන ලදී.

ඉන්පසුව පැරීසියේ කම්කරු පන්තිය බලය අත්පත් කරගැනීම සැලවීමත් සමග පැරිස් කොමියුනයේ නායකයන් සමග සම්බන්ධකම් ඇතිකරගනු ලබන ඔවුන් ප්‍රංශ හමුදාවට පහර දීම සඳහා ඇල්ජීරියානු සටන්කාමීන් සමග අත්වැල් බැඳ ගති. ඉතාමත් කෙටි කාලයකදී දේශීය ජනතාවගෙන් ලක්ෂ දෙකක සටන් කාමීන් පිරිසක් වංශවත් පවුලකට අයත් වූ Mohammed El Mokrani වටා එක් වුයේ තම මව්බිම ප්‍රංශ අධිරාජ්‍යවාදයෙන් මුදා ගැනීම අරමුණු කරගනිමිනි. රට පුරාම ඉතා වේගයෙන් පැතිරී ගිය මෙම ජනතා නැගිටීම නිසා ජර්මනිය සමග යුද්ධයෙන් පරාජය වී දුර්වල වී සිටි ප්‍රංශ හමුදාව තුෂ්නිම්භූත විය.

කෙසේවෙතත් Mohammed El Mokrani 1871 අප්‍රියෙල් 22 වනදා සිදුවූ අත්වැරැද්දක් හේතුවෙන් සටනේදී මරණයට පත් වීමත් සමග අරගලය දුර්වල විනි. මේ දක්වා මුහුණට මුහුණ සිදුවූ යුද්ධය ඉන්පසුව දීර්ඝ කාළීන ගරිල්ලා යුද්ධයක් බවට පත්විණි. මේවනවිට ජර්මන් හමුදා සහය මත පැරිස් කොමියුනයද මර්දනය කර අවසන්වීමෙන් අනතුරුව ප්‍රංශ රජය හමුදා ඇල්ජිරියාවට යැවීමට සමත්වීම නිසා ඇල්ජීරියානු පළමු නිදහස් සටන පරාජය කිරීමට ප්‍රංශ අධිරාජ්‍යවාදීන් සමත්විණි.

ඇල්ජීරියානු ජාතික විමුක්ති සටන මර්දනයේදී ඇඩොල්ෆ් තියෙර්ගේ පැරිස් කොමියුනයේ අළුගෝසුවා වූ ජෙනරල් මක්මහෝන් ක්‍රියා කලේ අමු තිරිසෙනෙකු ලෙස බව ප්‍රංශ ඉතිහාසය සාක්ෂි දරයි. සටන්කාමීන්ගේ කුඩා දරුවන්, කාන්තාවන්, දෙමව්පියන් ඉතා ම්ලේච්ඡ ලෙස සංහාරය කරන ලදී. ඔවුන්ගේ දේපල රාජසන්තක කරන ලදී. ආහාර ගබඩා, වගාබිම් ගිනිතබා විනාශ කරන ලදී. ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් බලෙන් හිඟමනට ඇද දමන ලදී. මරා දැමුණු ප්‍රමාණය 30000ක් පමණ වේ. අල්ලාගන්නා ලද සටන්කාමීන් විශාල පිරිසක් නව-කැලිඩෝනියාවට පිටුවහල් කරන ලද අතර එහිදී ඔවුන් පැරිස් කොමියුනයට සහභාගිවීම නිසා පිටුවහල් කර සිටි එහි කීර්තිමත් නායිකා ලුවිස් මිෂෙල් හමුවී තම විප්ලවීය අත්දැකීම් හුවමාරු කරගත් බව පැවසේ. තමන් වෙනුවෙන් ඇල්ජීරියාවේ සංචාරය කරන ලෙස ඔවුන් කළ ඉල්ලීම ඉටුකිරීමට ඇය ඔවුනට පොරොන්දු වුවාය.

ඒ අනුව 1904 දී ලුවීස් මිෂෙල් ඇල්ජීරියාවට ගොස් ආගමට, හමුදාකරණයට, යටත් විජිතභාවයට, සුරා කෑමට එරෙහිව නැගී සිටින ලෙස ඇල්ජීරියානු ජනතාවගෙන් ඉල්ලා සිටිමින් දේශණ රාශියක් පවත්වනු ලැබූවාය. ඇයගේ මෙම අවසාන විප්ලවීය මැදිහත්වීමෙන් පසුව ලුවිස් මිෂෙල් 1905 දී මෙලොවින් සමු ගත්තාය.

ඉතිහාසයට මගහැරුණු 1871 ඇල්ජීරියානු “කොමියුනය”..!