සාවද්‍ය පරාවර්තනයේ හේතු

හැකියාව හා තාත්විකත්වය
February 24, 2020
දැනුම විකිණිය හැකිද?
February 24, 2020
Show all

සාවද්‍ය පරාවර්තනයේ හේතු

දැනුම සමාජය හා චින්තනය

14

        මානව සමාජයේ ප්‍රගතියට, ප්‍රගමනයට විශාල වශයෙන් බාධාකරන කරුණක් වී ඇත්තේ, මිනිසුන් ලෝකය නිවැරදිව අවබෝධකර නොගැනීමය. මිනිසා තමාත් තමා අවට සියල්ලත් නිවැරදිව පරාවර්තනය කර ගැනීමට සමත් නම් බොහෝ ගැටලු විසදීම පහසුය. එහෙත් පොදුවේ මිනිසුන් තුළ සිදුවන වැරදි වටහා ගැනීම හෙවත් සාවද්‍ය පරාවර්තනය නිසා මානව සමාජයත්, සොබා දහමත් ගැටලු රැසකට මුහුණ දී සිටින අතර එම ගැටලු විසඳා ගැනීමද ප්‍රමාදකර ගනිමින් සිටී. මිනිසාට තමා අවට ලෝකය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි කාලයක් තිබිණි. ඒ, මිනිසා බිහිවීමෙන් පසු එලඹි මුල් යුගයයි. විද්‍යාව හෝ දර්ශනය වර්ධනය නොවී තිබූ එම අවදියේ ලෝකය තේරුම් ගැනීම දුෂ්කර වුවත් වර්තමානය එසේ නොවේ. මේ වනවිට විද්‍යාව, තාක්ෂණය, පිමි පනිමින් වර්ධනයවී තිබෙන අතර මිනිසාට ලෝකය අවබෝධකර ගැනීමට පහසු කරවන දර්ශනයක් ලෙස මාක්ස්වාදයද බිහිවී තිබේ. එහෙත් මානව සමාජය තවමත් සාවද්‍ය පරාවර්තනයක් තුළ සිටී. එය එසේ වන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම ඉතාම වැදගත්ය.

ගතානුගතික බව

        මෙයට පෙරද මෙම ලිපි මාලාවේදී අප සඳහන් කළ පරිදි මිනිසා තුළ සිදුවන සාවද්‍ය පරාවර්තනයට බලපාන ප්‍රධාන සාධක වන්නේ,  මිනිසා තුළ පවතින සම්ප්‍රදායක බව හෙවත් ගතානුගතික බවත්, අනෙක් අතට ධනවාදය විසින් තම පංති පාලනයේ පහසුව සඳහා මිනිසුන් අතාර්කික හා වැරදි මතවාද තුළ සිරකොට තබනු ලැබීමත්ය. ගතානුගතිකත්වය නිසා, පාරම්පරික සම්ප්‍රදායික චින්තනය නිසා නව දේවල් තේරුම් ගැනීමට, නව මානයකින් ලෝකය දෙස බැලීමට, ලෝකය නිවැරදිව අවබෝධකර ගැනීමට මිනිසාට බාධාකරයි. එසේම ධනවාදී දෘෂ්ටිවාදය පතුරවන ආගමික ආයතන, පාසල්, මතවාද බිහිකරන හා බෙදාහරින ආයතන (ජනමාධ්‍ය) විසින්ද ජනතාව කිසිවක් නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි අය බවට පත්කොට ‘පඹ ගාලක’ පැටලවීම කරගෙන යයි. මේ නිසාම ජනතාව වෙත විද්‍යාව හා දර්ශනය තුළ ඇති ලෝකය නිවැරදිව තේරුම් ගැනීමේ ආකාර ගෙනයාමත් අනෙක් අතට ධනවාදය පැරදවීමත් මානව ප්‍රගතිය සඳහා අත්‍යාවශ්‍ය සාධක බවට පත්ව තිබේ.

       කිසියම් ගැටලුවක සියලු පැති විමසා බැලීම, එම ගැටලුව ඓතිහාසිකවත්, විෂයමූලිකවත්, ඒ වටා ඇති විවිධ සම්බන්ධතාවන් තුළත් තබා තේරුම් ගැනීම, තාර්කිකව කල්පනා කිරීම, හදිසි නිගමනවලට නොයා සත්‍ය සාධක මත තීරණ ගැනීම නිවැරදි පරාවර්තනයක් සඳහා අවශ්‍ය වේ. ඒ සඳහා මඟ පෙන්වන දයලෙක්තික අධ්‍යයන ක්‍රමය අපට හමුවන්නේ මාක්ස්වාදය තුළිනි. අප පසුගිය ලිපි මගින් සාකච්ඡා කළ ප්‍රකෘතිය තේරුම් ගැනීමේ පොදු ආකාර අපට වැදගත් වන්නේ එහිදීය.

සාර සංග්‍රහවාදය

       ධනවාදය තුළදී ධනවාදී දෘෂ්ටියේ බලපෑම සමාජය තුළ පවතින්නේ විවිධ ආකාරයෙන්ය. අධ්‍යාපනික නොවන සාමාන්‍ය ජනයා තුළ එය පවතින්නේ ගතානුගතික, අතීත සම්ප්‍රදායන් තුළ එල්බගත් මතවාදයන් තුළය. නැතිනම් ආගමික මතවාදයන් ලෙසය. ඒ අතර ධනේශ්වර අධ්‍යාපනය ලැබූ, දාර්ශනික ආකාරයෙන් සිතන බව පෙන්වන අය තුළ පවතින මතවාදයක් වන්නේ සාරසංග්‍රහවාදයයි. සාරසංග්‍රවාවාදය යනු විවිධ මත (එකිනෙකට නොගැලපෙන පරස්පර විරෝධී මත පවා) එකම ගොඩකට දමා කලවම්කර සකස්කරගත් මතවාදයකි. එය එකම අවුල් ජාලයකි. ඒ තුළ ධනවාදී අදහස්ද, සමාජවාදී ලෙස පෙනෙන අදහස්ද, ආගමික මතද, විද්‍යාවේ ඉගැන්වීම්ද, විඥානවාදයද, අතීත සම්ප්‍රදායන්ද ආදී සියල්ල එකට කලතා තිබේ. මෙය බැලූ බැල්මට දර්ශනික දෘෂ්ටිවාදයක් ලෙස පෙනුණද, මෙම මතය ප්‍රකාශකරන අය හැම දේම දන්නා අය ලෙස පෙනුණද, කිසියම් පාණ්ඩිත්‍යයකින් හෙබි පෙනුමක් තිබුණද එය ලෝකය අවබෝධකර ගැනීමට මිනිසාට විශාලතම බාධාව නිර්මාණය කරන හා මිනිසුන් අවුල් ජාලාවක පටලවා අතරමං කරන මතවාදයක් වේ. ධනවාදය තුළ මෙවැනි පුද්ගලයින් බොහෝවිට මුණගැසේ. විශේෂයෙන්ම උගතුන් ලෙස පෙනී සිටින සමහර අය මෙම ගණයට වැටේ. කිසිම දර්ශනයක්, මතවාදයක් නිවැරදිව හා හරියාකාරව අවබෝධකර නොගෙන බොහෝ වර්ගයේ මතවාද දෘෂ්ටීන් උඩින් පල්ලෙන් අහුලාගෙන එක ගොඩකට දමා ඒ මගින් දේවල් විග්‍රහ කිරීම මෙම වර්ගයේ අයෙගේ ස්වභාවය වේ. මෙවැනි අය හැමදේම දන්නා අය ලෙස පෙනුණද සැබවින්ම කිසිවක් ගැඹුරින් හා සම්පූර්ණයෙන් නොදන්නා අය නිසා ඔවුන්ගෙන් සිදුවන හානිය විශාලය.

සංශයවාදයට වැටීම

        ධනවාදී දෘෂ්ටිය මගින් කරනු ලබන තවත් හානිකර දෙයක් වන්නේ, මිනිසා සංශයවාදයට ඇද දැමීමය. සංශයවාදය යනු සියල්ල සැක කිරීම මගින් මතුවන දෘෂ්ටිමය ප්‍රවණතාවයකි. සැකකිරීම නරක නැත. විද්‍යාවේ එක් පදනමක් වන්නේද ‘සැක’ කිරීමය. මාක්ස්ගේ එක් පාඨයක් වූයේද “සියල්ල සැක කරනු” යන්නය. එහෙත් එම සැක කිරීම සහ සංශයවාදය යනු දෙකක් මිස එකක් නොවේ. ලෝකය නිවැරදිව තේරුම් ගැනීමට, නව දැනුම සොයා ගැනීමට, දැනුමේ ගැඹුරට යාමට ‘සැක’ කිරීම අවශ්‍ය වේ. දැනට පවතින තහවුරු නොකළ දේ සැක කිරීම නව දේ සොයා ගැනීමට අවශ්‍යය. එම සැක කිරීම බැඳී ඇත්තේ, විද්‍යාත්මක ගවේෂණයත් පර්යේෂණයත් හා නිරීක්ෂණයත් සමගය. එහෙත් සංශයවාදය යනු සියල්ල සැක කරමින් නිෂ්ක්‍රිය වීමය. සංශයවාදයේ සැක කිරීම හැම විටම පවතින පැරණි දෙයට අනියමින් සේවය කරයි.

        ධනවාදී ක්‍රමය තුළ ධනපති ආණ්ඩු කාලයක් තිස්සේ ජනතාව රවටා තිබෙන තත්වය තුළ “කවුරු ආවත් ඔහොම තමයි” යනුවෙන් වන මතයට විශාල ඉඩක් ලැබේ. සැබවින්ම එය සංශයවාදී මතයකි. “බලයට ආවම කවුරුත් ඔහොම තමයි” යනුවෙන් පැවසෙන්නේද එයමය. එය සේවය කරන්නේ කාටද? සැබැවින්ම එම මතය සේවය කරන්නේ, පවතින ආණ්ඩුවටය. මන්ද ඉහත මතය විසින් නව අත්හදා බැලීමකට ඇති ඉඩ අහුරන නිසාය. පවතින ධනවාදී සමාජය වෙනුවට මීට වඩා හොඳ වඩා සාධාරණ සමාජවාදී සමාජයක් නිර්මාණය කළ හැකිය යන්න සංශයවාදය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් කියන්නේ “ඕව කරන්න පුළුවන් දේවල් නොවෙයි” යනුවෙනි. එය නව දේවල් හා නවසමාජයක් නිර්මාණය කිරීමේ මිනිස් හැකියාව සැකයට භාජනය කරන නිසා ප්‍රතිගාමී වේ.

          මෙම මතවාදය සමාජ සංවර්ධනය සමාජයේ ප්‍රගතිය ප්‍රතික්ෂේප කරන අතර එය අසුබවාදී සිතිවිලි ඇතිකරයි. අසුබවාදය පෝෂණය කරයි. මිනිසුන් අභියෝග දිනීමට සටන් කරන පිරිසක් බවට පත් කරනවා වෙනුවට ඔවුන් අක්‍රීය පිරිසක් බවට, පරාධීන පිරිසක් බවට පත් කරයි.

         ලෝකය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වූ විට සමාජ සංවර්ධනය හා එහි නියාමනයන් වටහාගැනීමට නොහැකිවූ විට බිහිවන වැරදි මතවාදයන් හා දෘෂ්ටිවාදයන් විසින් සමාජයට කරන හානිය විශාලය. එය පවතින සමාජ ක්‍රමය රකින එකකි. සමාජ සංවර්ධනයට බාධා පමුණුවන එකකි. ලෝකය නිවැරදිව වටහා ගැනීමේ ආකාරයත් උගත යුත්තේත්, ඒවා ජීවිතය තුළ භාවිතයට ගැනීමට හුරුවිය යුත්තේත් මේ නිසාය.

Next – දැනුම විකිණිය හැකිද?