සනීපාරක්ෂාව

10 Shocking Facts about the Health Dangers of Wi-Fi
March 12, 2017
සෞඛ්‍යය – සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් ලෙස
March 12, 2017
Show all

සනීපාරක්ෂාව

සනීපාරක්ෂාව (Sanitation) මාතෘකාව ඉතා පුළුල් එකක් වුව ද, රටක ජනතාවගේ සනීපාරක්ෂාවේ තත්ත්වය මත එරට ජනතාවගේ ජීවන තත්ත්වයත්, පරිසරයත්, සෞඛ්‍ය තත්ත්වයත්, රජය ජනතාවගේ සුභසාධනය සම්බන්ධයෙන් මැදිහත් වන ප‍්‍රමාණයත් වැනි බොහෝ කරුණු නිරූපණය වේ. ධනේශ්වර රටක දීත් සමාජවාදී රටක දීත් එක සේ වැදගත් වන ජනතාවගේ සනීපාරක්ෂාව එරට ආර්ථිකයේ පිළිබිඹුවක් වන අතර, ජනතාවගේ අධ්‍යාපන මට්ටම ද එමඟින් පිළිබිඹුු වේ. එනිසා ම ලෝකයේ බොහෝ රටවල් සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවක් දක්වති. එහෙත්, දුර්වල ආර්ථිකයන් සහිත දුප්පත් රටවල තත්ත්වය සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ගත් කල ඉතා පහළ මට්ටමක පවතින අතර, එය දකුණු ආසියාව සම්බන්ධයෙන් කෙසේ දැයි විමසා බලමු.

මෙහි දී ලංකාවේ තත්ත්වය ඉතා වැදගත් වේ. ලංකාවේ සනීපාරක්ෂක දත්තයන් සලකා බලන කල සමහර දර්ශකයන් ආසියාවේ අනෙක් රටවල් සමඟ සසඳන කල හොඳ මට්ටමක පවතී. එහෙත්, ලංකාවේ පාසල්වල සනීපාරක්‍ෂක තත්ත්වය සලකා බලන කල එය ලංකාවේ බලාපොරොත්තු විය යුතු මට්ටමක් නොවේ.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2013 වසරේ ලංකාවේ රජයේ පාසල් ප‍්‍රමාණය 10,002ක් වූ අතර, වැඩි ම පාසල් සංඛ්‍යාව අයත් වන්නේ මධ්‍යම පළාතටයි. එය පාසැල් 1,530ක් වන අතර බස්නාහිර පළාතේ පාසල් ප‍්‍රමාණය 1,368කි. ඒ අනුව අපට හැ`ගීයන්නේ නාගරික ප‍්‍රදේශවලට වඩා ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල් ප‍්‍රමාණය වැඩි බවයි. එය සනාථ වන්නේ ලංකාවේ වැඩි ම පාසල් ප‍්‍රමාණය අයත් වන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයට වීමයි. එය පාසැල් 882කි. ඒ අනුව ලංකාවේ 2013 වසරේ පාසල් සිසුන් සංඛ්‍යාව 40,00,000ක් පමණ වූ අතර වාර්තාවලට අනුව ග‍්‍රාමීය සිසුන් සංඛ්‍යාව 30,00,000 ක් පමණ වේ.

මේ හේතුවෙන් ලංකාවේ සිසුන්ගෙන් 75%ක් පමණ ග‍්‍රාමීය වර්ගීකරණයට අයත් වන අතර සනීපාරක්ෂාව යන කාරණයට මෙය බෙහෙවින් වැදගත් වේ. ලංකාවේ පාසල් සිසුන්ගේ සහ සිසුවියන්ගේ අනුපාතය සිසුන් 49.59%ක් සහ සිසුවියන් 50.41%ක් වශයෙනි. එය ද පාසල් සිසුන්ගේ සනීපාරක්‍ෂක තත්ත්වය සලකා බැලීම සදහා තීරණාත්මක සාධකයක් වේ. පාසල් සිසුන්ගේ වැසිකිළි අවශ්‍යතාවය ජාත්‍යන්තර සම්මතයන් අනුව තීරණය කර ඇත්තේ, සිසුන් 50 දෙනෙකුට එක් වැසිකිළියක් ලෙසත්, ගුරුවරුන් 10 දෙනෙකුට 01ක්
ලෙසත් සනීපාරක්‍ෂක වැසිකිළි තිබිය යුතු බවයි. එහෙත්, ලංකාවේ එක ම වැසිකිළියක්වත් නොමැති පාසල් ද ඇති බව අපි දනිමු. ලංකාව ආසියාවේ අශ්චර්යයට රැගෙන යනවා යැයි වහසි බස් දෙඩූ පාලකයන්ට පාසලකට වැසිකිළියක් සාදා දීමට නොහැකි වුයේ ඇයි දැයි යන පැනය ඇසිය යුත්තේ ඡන්ද දායකයන්ගෙන් ම ය. 2013 වසරේ පාසල්වල වැසිකිළි සහ මූත‍්‍රා කිරීමේ පහසුකම් තත්ත්වය ගැන සලකා බලන කල පාසල් 10,000කින් පාසැල් 3,317ක පමණ සම්පූර්ණයෙන් එම පහසුකම තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව පාසල්වලින් 33%ට පමණක් ප‍්‍රමාණවත් සනීපාරක්‍ෂක පහසුකම් ඇති බවට වාර්තා වේ. පාසල් 518කට සනීපාරක්‍ෂාව ලැබිය යුතු මට්ටමෙන් 25%ක ප‍්‍රමාණයක් ලැබෙන අතර, කිසිදු පහසුකමක් නොමැති පාසල් සංඛ්‍යාව 188ක් බව වාර්තා වේ. එය 2015 වන විට පාසල් 74 දක්වා අඩු වී ඇති අතර, අප සැලකිල්ලට ගත යුත්තේ වැසිකිළි පහසුකම් නොමැතිව සිසුවෙකු හෝ ආචාර්යවරයෙකු පැය 06ක පමණ කාලයක් පාසලේ සිටින්නේ කෙසේ ද යන්නයි. මේ අතර වතු ආශ‍්‍රිත පාසල් 449ක් ඇති අතර, එයින් පාසල් 307ක් පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ය. ඒවායේ සිසුන්ටසපයා ඇති සනීපාරක්‍ෂක තත්ත්වය ද ප‍්‍රමාණවත් නොවේ.

විශේෂයෙන් සිසුවියන් සම්බන්ධයෙන් සලකා බලන කල බොහෝ පාසල්වල සනීපාරක්‍ෂක තුවා මාරු කිරීමට සහ ඉවතලෑමට ප‍්‍රමාණවත් පහසුකම් නොමැති අතර, ඒ නිසා ම එම සිසුවියන් තම මාස් ශුද්ධිය සිදු වන දිනවල දී පාසල් නොයන තත්ත්වයට පත් වී ඇත. පාසල් දරු දැරියන්ගෙන් 50%කට ආසන්න ප‍්‍රමාණයක් සිසුවියන් වන අතර, පාසල් බලධාරීන් හා සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබදව අවධානය යොමු නොකිරීම ලංකාවේ තවමත් සිදු වේ.

සනීපාරක්‍ෂාව සම්බන්ධයෙන් තවත් වැදගත් නිර්ණායකයක් වන පිරිසිදු පානීය ජලය ලැබීමේ තත්ත්වය ද ලංකාවේ එතරම් දියුණු මට්ටමක නොමැත. 2015 වසර වන විට ජලසම්පාදන මණ්ඩලය විසින් ලබා දී තිබු ජල සම්බන්ධතා ප‍්‍රමාණය 16,00,000ක් පමණ වීමෙන් ඒ බව තහවුරු වේ. එය ලංකාවේ ජනගහනයෙන් 32%ක පමණ ප‍්‍රමාණයකි. (පවුලකට පුද්ගලයන් 04 දෙනෙකු යැයි උපකල්පනය කළහොත්) මළාපවාහන පහසුකම් ලංකාවේ තවමත් සපයා ඇත්තේ ජනගහනයෙන් 3%ක පමණ ප‍්‍රතිශතයකට ය. ඒ අනුව ප‍්‍රමාණවත් සනීපාරක්‍ෂක පහසුකම් ලංකාවේ තවමත් නොලැබෙන බවට මෙය කදිම උදාහරණයකි.

ඒ අතර, ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ වැසිකිළි භාවිතය ආසියාවට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතුණ ද, තවමත් එළිමහනේ මළපහ කරන (Open Defecation) ප‍්‍රතිශතය ජනගහනයෙන් 1.7% ක් වේ. වෙනත් ලෙසකින් පැවසුවහොත්, 3,40,000ක් පමණ ජනතාවක් තවමත් වැසිකිළි භාවිතා කරන්නේ නැත. එහෙත් ප‍්‍රමාණවත් පහසුකම් සහිතව වැසිකිළි පාවිච්චි කරන ජනගහනයේ ප‍්‍රතිශතය 89% කි. මෙය ආසියාවේ අනෙකුත් රටවල එළිමහනේ මළපහ කරන ප‍්‍රතිශතය සමග සසඳන විට ඉහළ මට්ටමක පවතී. එළිමහනේ මළපහ කරන අයගේ ප‍්‍රතිශතය ඉන්දියාවේ 45%ක් පමණ වන අතර නේපාලයේ එය 32%කි. පකිස්ථානයේ එය 25%ක් පමණ වන අතර, දකුණු ආසියාවේ ප‍්‍රතිශතය 34%කි. මෙසේ දකුණු ආසියාවේ අගය ඉහළ ප‍්‍රතිශතයක් ගැනීමට හේතුව ඉන්දියාවේ අගය ඉහළ යාමයි. ‘යුනිසෙෆ් ඉන්දියා’ ආයතනයේ දත්තවලට අනුව ඉන්දියාවේ මිලියන 595ක ජනගහනයක් තවමත් එළියේ මළපහ කරති. මෙය බොහෝ දුප්පත් ප‍්‍රාන්තවල දී ඉහළ ප‍්‍රතිශතයක් ගන්නා අතර, බිහාර් සහ ඔරිස්සා ප‍්‍රාන්ත මෙසේ ඉහළ අගයන් ගන්නා ප‍්‍රාන්ත බවට පත් වී ඇත. ඒ අතර මිලියන 22ක් පමණ වන පාසල් සිසුවියන් සදහා සනීපාරක්‍ෂක පහසුකම් නොමැති බව ද සදහන් වේ. ඒ අනුව ඉන්දියාවේ දී පාසල් සිසුවියන් පත් වන අපහසුතාවය ගැන අවබෝධයක් ලබා ගත හැක. ශුද්ධ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 19ක් ඉක්මවන මුකේශ් අම්බානිලා සිටින්නේ ද මෙරටෙහි ම බව ධනවාදය හදාරන්නන්ට මතකයට නැඟිය යුතු කරුණකි.

‘යුනිසෙෆ්’ වාර්තාවලට අනුව ලෝකයේ වයස අවු 05ට අඩු ළමුන් ලක්ෂ 59ක් 2015 වසරේදීත් මියගොස් ඇති අතර, එයින් 16%ක් ම මියගොස් තිබුණේ පාචනය රෝගී තත්ත්වයෙනි. මෙම පාචන රෝගී තත්ත්වය සහ එළිමහනේ මළපහ කිරීම අතර ඇත්තේ ඉතා ළ`ග සම්බන්ධතාවයක් නිසා මෙම දත්තයන් මඟින් මිනිසුන්ගේ සනීපාරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වය අවබෝධ කර ගත හැක. ලෝකයේ එක් අන්තයක මිනිසුන් වෙනත් ග‍්‍රහලෝක සොයා ගනිද්දී, වෙනත් ග‍්‍රහලෝකවලට ගමන් කරද්දී තවත් අන්තයක මිනිසුන් වැසිකිළි පහසුකම්වත් නොමැතිව පාචනය වැනි රෝගවලින් මිය යතිි. ධනවාදයේ අසාධාරණ බව ලොවට කියාපෑමට මෙම කරුණුු කොතරම් ප‍්‍රමාණවත් දැයි අපට වැටහෙන්නේ එබැවිනි.