විල්පත්තුව පරිසර හිතකාමීත්වය සහ ජාතිවාදය

නූතන පවුල හා පෞද්ගලික දේපළ
July 15, 2019
සමාජවාදී රටක පවුලක වියදම් රටාව “සෝවියට් අත්දැකීම ඇසුරින්”
July 15, 2019
Show all

විල්පත්තුව පරිසර හිතකාමීත්වය සහ ජාතිවාදය

කාර්මීකරණය මෙන්ම අනෙකුත් ක්‍රියාකාරම් නිසාවෙන් මිනිසා විසින් පරිසරයට සිදු කරනු ලබන බලපෑම දිනෙන් දින ඉහළ යයි. ඇතැම් ශක්‍යවාදීන්ට අනුව එය සාධාරණ වුවත් එසේ සිතීම වත්මන් මිනිසාට පමණක් නොව ඔහුගේ අනාගත පරපුරටද සිදු කරන බලවත් අසාධාරණයක් බව මේ වන විටත් ලෝක ප්‍රජාව පිළිගෙන හමාරය. තිරසාර සංවර්ධනය පිළිබද සංකල්පය බිහිවන්නේ ඒ අනුවය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් පාරසරික උරුමයක් සහිත රටක් බව අවිවාදිත කරුණකි. මෙම පරිසරයද ආරක්ෂා කරමින් සංවර්ධනය කරා පියමං කිරීම මෙරට පාලකයන්ගේ සේම මහජනතාවගේද වගකීමකි. එහෙත් එම වගකීම පිළිබඳ තිබෙන අවධානය ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය අප සිතට නැගෙන්නේ දිනපතාම පරිසරයට සිදු කෙරෙන හානි සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැබෙන නිසාය.

Image result for wilpaththu wild life

මේ සිදු වන සෑම පරිසර විනාශයක් ගැනම අවධානය යොමු විය යුතු වුවද ඒ සියල්ල අභිබවමින් පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට පෙර සමාජ මාධ්‍ය තුළත්, මාධ්‍ය සාකච්ඡාවලත් ප්‍රධාන මාතෘකාවක් බවට ‘විල්පත්තු වන විනාශය’ පත් වී තිබුණි. චන්ද්‍රිකා ඡායාරූප, මිනින්දෝරු සිතියම් පවා ඊට සාක්ෂි වශයෙන් ඉදිරිපත් විය. ඒ නිසා මේ කතාව ආරම්භ කළ යුත්තේද එතැනිනි.

විල්පත්තු ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ පුත්තලම සහ අනුරාධපුරය දිස්ත්‍රික්ක දෙකේය. විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව මෝදරගං ආරුවෙන් අවසන් වේ. කැලේ කපා ජනතාව පදිංචි කළ බව කියන ප්‍රධානම ගම්මානය වන මරිච්චිකට්ටි ගම්මානය පටන් ගන්නේද එතැනින්ය. ඊට අමතරව විලත්තිකුලම්, වේප්පන්කුලම්, කරඩික්කුලි යන ප්‍රදේශවල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර විනාශ කරමින් නැවත පදිංචි කිරීම් සිදු කරන බව ඇතැම් පිරිස් මාධ්‍ය මගින් රටට කියති. මෙහි ඇත්ත නැත්ත කුමක්ද?Image result for wilpaththu wild life

2001 වසරේ දී ගැසට් පත්‍රයක් මගින් රජයේ කැලෑ සියල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. ඉහතින් කී ගම්මාන පිහිටා ඇත්තේ එසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරුණු රජයේ කැලෑ තුළය. මෙම ප්‍රදේශ අතරින් මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශවල පැරණි ගම්මාන පැවති බවට සාධක ඇත. 1980 ජූලි 21 දින ජාතික ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද නිවාස 10ක නටබුන් සහ එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ ඵලකය ඊට එක් උදාහරණයකි. මරිච්චිකට්ටි ගම්මානයේ ඇති කැලෑවට යට වූ පැරණි ඉස්ලාම් පල්ලියද එසේමය. වේප්පන්කුලම් ගම්මානයෙන් එවැනි සාධක කිසිවක් හමුවන්නේ නැත. සමස්තයක් ලෙස 1990 සහ 91 කාලයේ ජනශූන්‍ය වූ ප්‍රදේශයක්, එයින් වසර 11කට පසු කැලේට යටවීමෙන් පසු රජයේ කැලෑ බවට පත් වී තිබේ. ඒ අනුව ඒවා 2001 වසරෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරිණි. එහෙත්, ඒ වන විට පැවැති යුදමය තත්වය නිසා තමන්ගේ දෙපාර්තමේන්තුව යටතට පැවරුණද, කිසිදු අවස්ථාවක මේ කැලෑ නිරීක්ෂණය කිරීමක් හෝ ඒවායේ සීමා ලකුණු කිරීමක් සිදු කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැත. එයිනුත් වසර 11කට පසු එනම්, මේ ප්‍රදේශය ජනශූන්‍ය වීමෙන් වසර 22කට පසු මෙම කැලෑ සහිත ප්‍රදේශය 2001 රජයේ කැලෑ පැවරීමේ තීරණය ප්‍රකාරව රක්ෂිත තුනක් ලෙස 2012 වසරේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

එසේ ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදීම විලත්තිකුලම් ප්‍රදේශයේ අක්කර 650ක් සහ මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශවල අක්කර 770ක් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා වෙන් කර ඇත. ඒ අනුව අදාළ ඉඩම් අක්කර 650 සහ 770 යන කොටස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් භාරයට පත් කර තිබේ. එනම්, එම කොටස් රක්ෂිතවලට අදාළ නැත.

එහෙත් මේ කටයුතු සිදු වී ඇත්තේ ඉතාමත් අවිධිමත් ආකාරයෙනි. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විගණන වාර්තාවට අනුව මෙම ඉඩම් නිදහස් කිරීමේ දී විධිමත් පරිසර ඇගයීම් වාර්තාවක් පවා සකස් කර නැත. මේ ඉඩම් නිදහස් කිරීමෙන් සිදු එමගින් මාවිල්ලු සංරක්ෂිත වනාන්තරයට වන බලපෑම තක්සේරු කළ යුතු බව අදාළ වාර්තාවේ සඳහන් වුවද මෙතෙක් එවැන්නක් කර නැත. අනෙක් අතට මේ ඉඩම් වෙන් කිරීම් සිදු කර ඇත්තේද අවතැන් ජනතාව කොපමණ සිටීද, ප්‍රධාන පවුල් සහ අනු පවුල් කොපමණ සිටීද යන කරුණු පිළිබඳ විධිමත් සමීක්ෂණයකින් තොරවය. එම නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති කැලෑ ඉඩම් රැසක්

අනවශ්‍ය ලෙස රක්ෂිත ගැසට් කිරීමේදී නිදහස් කර ඇත. මෙසේ නිදහස් කරන ලද ඇතැම් ඉඩම් ප්‍රදේශයේ දේශපාලකයන්ගේ සමීපතමයන් අතරේ බෙදා ගෙන ද තිබේ.

Related image

කෙසේ වෙතත් තවදුරටත් නිදහස් කරන ලද අදාළ ඉඩම් කැලෑවට යට වෙමින් තිබී ඇත්තේ අවතැන්වූවන් නොපැමිණීම නිසාය. වේප්පන්කුලම් ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව සතුව මීට අදාළව 2014 වසරේ ඔක්තෝබර් 13 වැනිදා ලබා දුන් ඉඩම් ඔප්පු තිබේ. උතුරු පළාත් ඉඩම් පාලන දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මීට මැදිහත් වී ඇත. ඒවා හඳුන්වා ඇත්තේ ඉඩම් හිමිකම තහවුරු කිරීමේ බලපත්‍ර හෙවත් දීමනා පත්‍ර ලෙසය. එක් දිනක් ඇතුළත පමණක් මෙසේ ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව විසිදහසකි. එනම්, පවුල් විසිදහසකට මේ ප්‍රදේශයේ යළිත් පදිංචි වීම සඳහා රජය විසින් ඉඩම් අයිතිය තහවුරු කර දී ඇත.

කෙසේ වෙතත් මේ අවිධිමත් කටයුතු, මතභේද සහ විවේචන මැද්දේ කල්ගත විය. ඉන්පසු 2017 මාර්තු 24 වැනිදා ඉහත සඳහන් රක්ෂිත තුන එක්කොට, මාවිල්ලු සංරක්ෂිතය ප්‍රකාශයට පත්කරන ලදී. ඊට හෙක්ටයාර් 32,505ක් අයත්ය. ඒ අනුව සංරක්ෂිතය තුළට අවසරයකින් තොරව ඇතුළු වීම පවා අත්අඩංගුවට ගත හැකි වරදකි. මේ සංරක්ෂිතයට, පෙර අවතැන් වූවන් සඳහා නිදහස් කරන ලද ඉඩම් අක්කර 650 සහ 770 අදාළ නොවේ. මේ වන විට යළිත් අදාළ ඉඩම් බලපත්‍ර ලැබුණු ජනතාවගෙන් කොටසක් තම නිවාස ඉදිකිරීම ආරම්භ කර තිබේ. ඒ සදහා ආධාර ලැබෙන බවත්, රජයෙන් ණය ලැබෙන බවත් එම ජනතාව පවසති. එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත සීමාවේ කිසිදු විනාශයක් සිදු කර නැත. කිසිවකු එම සීමාවේ නැවත පදිංචි වී නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද එම කරුණු තහවුරු කරයි. ගුවන් හමුදාව මගින් සතිපතා මේ කලාපයේ සිදු කරන ගුවන් නිරීක්ෂණ වාර්තාවල ද අලුතින් කැලෑ එළිකිරීමක් ගැන සඳහන් වන්නේ නැත. විල්පත්තුව පාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ලිකුලම් කාර්යාලය මෙන්ම නොච්චියාගම පිහිටි වනෝද්‍යාන භාරකාර කාර්යාලයද එය තහවුරු කරයි.

එසේ තිබියෙදී රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටසකින් හෙක්ටයාර් 75ක් ඉල්ලා ඇත. ඒ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා යැයි පවසමිනි. එසේ ඉල්ලා ඇත්තේ කොන්ඩච්චි ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් භූමියකින් කොටසකි. මුහුදු ප්‍රදේශයට වන්නට පිහිටි මෙම භූමිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වුව ද, එම ප්‍රදේශයේ මෙතෙක් විධිමත්ව සීමා ලකුණු කර නැත. එසේම එම ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කර නොමැති නිසා සංවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් එම භූමිය ලබා ගැනීමේ බාධාවක් නීතිමය වශයෙන් නැත. එහෙත්, මීට පෙර නිදහස් කරන ලද, ජනතාව පදිංචි නොවූ ඉඩම් අක්කර සිය ගණනක් තිබියෙදී, එම ඉඩම්වල අදාළ ව්‍යාපෘතිය සිදු කිරීමට දේශපාලකයන් එකඟ නොවීම ගැටලුවකි. 2019 පෙබරවාරි 18 වැනිදා මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී රජයේ නිලධාරීන් මේ බව පෙන්වාදී ඇතත් රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාගේ පාර්ශ්වය එය ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ අදාළ නිදහස් නොකරන ලද, වන සංරක්ෂණ ඉඩම් කොටසම තමන්ට අවශ්‍ය බවයි.

විල්පත්තුව පෙන්වමින් කෙරෙන කතාවේ ඇතුළාන්තය, බෝම්බ පුපුරන විට තිබුණේ එවැනි තත්ත්වයකය.

undefinedවිල්පත්තුව අප විසින් රැක ගත යුතු රක්ෂිතයකි. ඒ පිළිබඳ විවාදයක් නැත. ඉහත කී සිදුවීම් තුළ කරන ලද අවිධිමත් කටයුතු නිසා විල්පත්තුවට අත තබා නොතිබුණද ඒ අවට අනවශ්‍ය පරිදි කැලෑ එළි පෙහෙළි කිරීමක් සිදු වී ඇති බවද පැහැදිලිය. ඒ නිසා විල්පත්තුව පමණක් නොව ඒ අවට වනාන්තර විනාශ කරන්නේනම් ඊටද එරෙහි විය යුතුය. එහෙත් මෙහි ඇති ගැටලුවනම් විල්පත්තුව සම්බන්ධයෙන් විරෝධය පළ කරන ඇතැමුන් ඊට විරුද්ධ වන්නේ පාරිසරක ප්‍රශ්නය නිසා නොව ජාතිවාදය නිසා වීමය.

මේ රටේ පවතින එකම රක්ෂිතය විල්පත්තුව නොවේ. එහෙත් අනෙක් රක්ෂිතවල සිදු කරන වන විනාශය, අනවසර සත්ව දඩයම් කිරීම් යනාදිය ගැන මේ පිරිස සංවේදී නැත. යාල රක්ෂිතයට සමීප නිල්ගල කැලය විනාශ කරන බවට මාධ්‍ය මගින් සවිස්තරාත්මකව හෙළිදරව් කොට දැන් අවුරුදු දෙකකට ආසන්නය. එහෙත් ඒ ගැන මහා පරිමාණ සංවාදයක් තියා සුළු කසුකුසුවක් හෝ ඇති වූයේ නැත.  ඇතැම් විට ඊට හේතුව චූදිත ඇමතිවරයා හා ඔහුගේ සහචර පිරිස සිංහල වීම නිසා විය හැකිය. සිංහරාජයේ සිදු කරන වන විනාශය පිළිබඳව ඇති වූ කතිකාවද ඉක්මනින්ම යටපත් වී ගියේය.

එක් පසෙකින් හන්තාන ආශ්‍රිතවත්, තවත් පසෙකින් පුත්තලමේ වන්නියාගම ආශ්‍රිතවත් සිදුවන වනාන්තර විනාශ කිරීම් පිළිබඳවද පසුගිය දිනවල තොරතුරු වාර්තා විය. පොලොන්නරුවේ ජල ගැලීම් නිම්න වනෝද්‍යානයේ අක්කර 2000ක් මේ වන විටත් විනාශ කර අවසන්ය. ඒ ගැන ද කිසිදු කතාවක් නැත. වැල්ලවාය ප්‍රදේශයේ හේන් වගා බිම් අත්පත් කරගනිමින් උක් වගාව සඳහා ඒවා ඩෝසර කර දමන ලද්දේ මීට බොහෝ කාලයකට පෙරය. ඒ ජනතාව විදින දුක් ගැන අදටද කතාබහක් ඇත්තේ නැත. මින්නේරිය රක්ෂිතය මැද්දෙන් අඩි විස්සක පාරක් කිලෝමීටර් 18ක් දුරට කපමින් වනාන්තරය දෙබෑ කරන ලද්දේ මාස කිහිපයකට පෙරය. හම්බන්තොට වරාය සෑදූ පසු රන්න වැනි ප්‍රදේශවල ධීවරයන් පාරම්පරිකව භාවිතා කළ වැල්ලට අද බෝට්ටු දමන්නට බැරිය. අඩි 10ක් පමණ වෙරළ ප්‍රදේශය ඛාදනය වී ඇත. එවා ගැන මෙහේ අය තියා එහේ අයවත් කතා කරන්නේ නැත.

ලියනවා නම් මේ ආකාරයේ ලැයිස්තුවක්ම ලිවිය හැකිය.  පරිසර ඇසින් නොව ජාතිවාදී ඇසින් බලන බොහෝ දෙනෙකුට  පේනෙන්නේ විල්පත්තුව පමණකි. ප්‍රශ්නය ඇත්තේ එතැනය.

විල්පත්තු රක්ෂිතය විනාශ කර නොතිබුණද රිෂාඞ් බදියුදීන්ලා කර ඇති පරිසර විනාශයත්, ඊනියා පරිසර හිතකාමීන්ගේ ‘පරිසරය සුරැකීම’ත් දෙකම මේ වන විට ජාතිවාදය වැපිරීමට ආයුධක් කර ගනු ලැබ ඇත. එහෙත් සැබෑ ලෙස පරිසරය ආරක්ෂා කරන්නෙකුට පක්ෂයක්, ආගමක්, ජාතියක් වැඩක් නැත. වරදක් වරදක්මය. හානියක් හානියක්මය. එයට පක්ෂයක්, පාටක්, ජාතියක්, ආගමක් තිබිය නොහැක. ගිය ආණ්ඩුවෙන් සිදු කළද මේ ආණ්ඩුවෙන් සිදු කළද වරදක් නම් වරදක්මය.

විල්පත්තුව පමණක් නොව මෙරට රක්ෂිත වනාන්තර සෑම එකකම පාහේ විශාලත්වය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. ඒ අනවසර මෙන්ම අවසර ලද එළිපෙහෙළි කිරීම් නිසාය. සෑම වන හායනයක්ම පරිසර විනාශයකි. එරෙහි විය යුත්තේ සමස්ත පරිසර විනාශයට විනා එහි කොටසකට නොවේ.

විමර්ශන