ලාභය වෙනුවෙන් ජීවිත බිල්ලට

ම්ලේච්ඡත්වය ඉදිරියෙන්
July 3, 2019
අර්බුදය සහ අරාජිකත්වය
July 9, 2019
Show all

ලාභය වෙනුවෙන් ජීවිත බිල්ලට

“වඩේ වඩේ වඩේ වඩේ … පනහට දහයයි… උණු උණු වඩේ වඩේ වඩේ… දැන් බැදපු උණු උණු පරිප්පු වඩේ… පනහට දහයයි උණු උණු වඩේ වඩේ වඩේ…”

කොළඹ බසය බස් නැවතුම්පොළේ නැවැත්වීමටත් පෙර, බසයට ගොඩවීමට පොරකන මගීන් අභිබවා වඩේ වෙළෙන්දා කෙසේ හෝ පළමුව බසයට ගොඩවූයේ වැලමිටෙන් නැවී එසවුණ වම් අතේ අත්ල මත රැඳි විශාල වඩේ භාජනයද සමඟිනි. තප්පර කිහිපයකට පසු  තවත් වඩේ වෙළෙන්දෙකුද තම්බපු කඩල වෙළෙන්දෙකුද ආදී ලෙස බසයට ගොඩවුණ වෙළෙන්දන් කිහිප දෙනා බසයේ තෙරපි තෙරපී ගමන් කරන මගීන් එහාට මෙහාට තල්ලූකරමින්, බසය තුළ ඉදිරිපස සිට පිටුපසටත් පිටුපස සිට ඉදිරියටත් ගියේ මහා ඝෝෂාවක් නඟමිනි.

පැය කිහිපයක ගමන් වෙහෙසින් අඩනින්දේ, තද නින්දේ මෙන්ම කාන්සියේ සිටි මගීන් අතුරින් කිහිප දෙනෙක්ම කඩිමුඩියේ තම සාක්කුවලට, ගමන් මලූවලට අතදමා ඇදගත් මුදල් පසුම්බි දිගහැර වඩේ හෝ කඩල මිලදී ගත්තේ කළින් කළ සැලසුමකටත් වඩා හදිසියේ බසයට ගොඩවූ වෙළෙන්දන්ගේ කටකම සෙයියාවේ ඵලදැරීමක් ලෙසිනි.

විනාඩි කිහිපයක මෙහෙයුමෙන් වඩේ පැකට් දෙකතුනක් විකුණාගත් වඩේ වෙළෙන්දා බස් ස්ටෑන්ඞ් එකෙන් පිටවී තරමක් වේගයෙන් ඉදිරියට ඇදෙන බසයෙන් පැනගත්තේ වඩේ භාජනය වම් අත්ල මතම සුරැකිව සමබර කරගනිමිනි. එකදු නිමේෂයක් හෝ අපතේ යවන්නට ඔහුට නොහැකිය. තවත් මෙහෙයුමකට ඊළග බසය පොරොත්තුව නැවත සුපුරුදු තැනට හේ දුවන්නට විය.

මේ වඩේ වෙළන්දාගේ දිනචරියාව දිගහැර බැලූවිට එක් අතකින් බස්පොළේ වඩේ විකිණීමද එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ යැයි නිසැකවම සිතෙනු ඇත. යමෙකුට යමක් විකුණා ආදායමක් ලැබීම හෙවත් ‘වෙළඳාම’ අර්ථයෙන් බැලූවිට බසයකට නැගී වඩේ විකිණීම යනු වෙළඳාමේ සරලතම ආකාරයයි. එහෙත් එයද සරල හෝ පහසු නැත. ඒ සඳහා ‘බිස්නස් මයින්ඩඞ්’ විය යුතු මෙන්ම ‘බිස්නස් ට්‍රික්ස්’ දැනගත යුතුය. බස් රථය නැවැත්වීමෙන් පසු මඟීන්ට කරදරයක් නොවන සේ බසයට ගොඩ වී සාන්තදාන්තව වඩේ විකිණීම යනු මනෝරාජික දෙයක්ම පමණි. අනෙකුත් වෙළඳුන්ට පෙර මඟීන් පෙරළාගෙන හෝ බසයට ගොඩවිය යුතුය. බසයට නැගීමට පොරකන මඟීන් අපහසුතාවයට පත් කිරීම හෝ බසයේ තෙරපෙන මඟීන් තල්ලූකරමින් පාගමින් එහා මෙහා යාම පිළිබඳව සානුකම්පිතව සිතුවහොත් දවසට වඩේ දහයක් වත් විකුණා ගැනීමට හැකිවේදැයි සැක සහිතය. මඟීන්ට වඩේ මිලදී ගැනීමට පෙළඹවීමක් ඇති නොකළහොත් වඩේ මිලදී ගනු ඇත්තේ කලාතුරකින් එක් හෝ දෙන්නෙකු පමණකි. දැන් බාන ලද, ‘දුම් දමන උණු උණු වඩේ’ ලෙස චිත්තරූපයක් පාරිභෝගිකයාගේ මනසේ චිත‍්‍රණය නොකළහොත් වඩේ විකුණා හමාරය. ඒ සඳහා උදේ පිළියෙළ කළ වඩේවලට හවස හතර පහටත් ‘දැන් බැදපු උණු උණු වඩේ’ යැයි නොකියා වෙන කුමක් කියන්නද? සමහරදාක උදේ නැවත බදින්නේ කලින් දවසේ නොවිකිණී ඉතිරිවුණ වඩේ බව දන්නේ පාරිභෝකයින් අතරින් කීයෙන් කීදෙනාද? එහෙත් ඒවා  ‘දැන් බැදපු උණු උණු වඩේ’ ලෙස  පාරිභෝගිකයාට ඇඟවිය යුතුය.

සරලව කිවහොත් වෙළඳ සමාජයක ‘වෙළඳාම’ යනු මෙයයි. මෙවැනි සුළු වෙළෙන්දන්ගේ වෙළඳාම, ජීවිතය ගැට ගසා ගැනීම සඳහා ඔවුන්ට කරන්නට සිදුවී තිබෙන රස්සාව වුවත් මහා පරිමාණ වෙළඳාමේ යෙදෙන සමාගම් එසේ කරන්නේ බිලියන ගණනින් වන ලාභ අපේක්ෂාවෙනි.

ලොව වෙසෙන බිලියන 07කට අධික මානව සමාජයේ සියලූම දෙනාගේ සෑම අවශ්‍යතාවයක් සඳහාම පාහේ භාණ්ඩ හා සේවා සැපයෙන්නේ වෙළඳාම තුළිනි. (නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආදී සුභසාධක සේවාවන් මගින් මෙන්ම තමන්ගේ පරිභෝජනය සඳහා තමන් නිපදවා ගැනීම තුළින් සැපිරෙන්නේ ඉතාම සොච්චම් ප‍්‍රතිශතයක් පමණකි.)  එසේ ලෝක පරිමාණ මට්ටමේ වෙළඳාම සිදුවන්නේ මහා පරිමාණ වෙළෙඳ සමාගම් මගිනි. ධනේශ්වර සමාජයේ මූලික පදනමම එයයි. ලොව භාණ්ඩ හා සේවා අලෙවි කරන මහාපරිමාණ මට්ටමේ සමාගම් සියදහස් ගණනකි. ඒ අතරිනුත් ගෝලීය භාණ්ඩ හා සේවා නිපදවීමේ මෙන්ම වෙළඳාමේ විශාල පංගුවක ඒකාධිකාරීත්වය අත්පත්කරගෙන තිබෙන්නේ දැවැන්ත බහුජාතික සමාගම් රොත්තක් විසිනි.

උදාහරණයක් ලෙස Fortune සඟරාව මඟින් වාර්ෂිකව සිදුකරනු ලබන Fortune Global 500 නම් වසරේ වැඩිම වෙළදාමක්, ලාභයක් මෙන්ම වත්කම් ප‍්‍රමාණයක් සහිත සමාගම් 500 ශ්‍රේණිගත කිරීමට අනුව 2013 වසරේ අංක එක හිමිවූයේ Royal Dutch Shell හෙවත් අප කවුරුත් දන්නා Shell සමාගමටය. සේවකයින් 92,000ක් සේවයේ යොදවා සිටින මෙම දැවැන්ත බහුජාතික සමාගමේ 2013 වසරේ ලාභය පමණක්  ඇමෙරිකානු ඩොලර් බිලියන 16.371ක් ලෙස දැක්වේ.

එම ශ්‍රේණිගත කිරීම අනුව 2013 වසරේ දෙවන ස්ථානය හිමිකරගත්, ඇඟලූම් ක්ෂේත‍්‍රයේ විශාල සමාගමක් වන වෝල්මාර්ට් සමාගමේ සේවක සංඛ්‍යාව ලක්ෂ 22 අධිකය. 2013 වාර්ෂික ලාභය ඇමෙරිකන් ඩොලර් බිලියන 16.022කි.

බස්පොළේ වඩේ විකුණන වෙළෙන්දා දවසේ ගතමනාව සොයාගැනීමට වඩේ කිහිපයක් විකුණා ගැනීමට ජනතාව රවට්ටන, ජනතාව පොළඹවන, ජනතාව පීඩාවට පත්කරනු ලබන ප‍්‍රමාණය එතෙක් නම් ලෝකය වෙළාගත් මහා දැවැන්ත බහුජාතික සමාගම් ජාලය ලාභය අරභයා කොතෙක් දේ සිදුකරනු ඇත්ද?

ඇත්ත වශයෙන්ම ඔවුන් සිදුකරන්නේ, මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් සඳහා භාණ්ඩ හෝ සේවා සැපයීම නොව ලාභය අපේක්ෂාවෙන් ඔවුන් නිපදවනු ලබන භාණ්ඩ හා සේවා සඳහා ජනිත කරනු ලබන වෙළඳපොළ සපිරීම සඳහා වෙළඳාමයි. ඔවුන් ඒ සඳහා මිනිසුන්ගේ රුචිකත්වය වෙනස් කරයි. නව චර්යාවන් සඳහා පොළඹවයි. සංස්කෘතිය, සදාචාරය, මෙන්ම සම්ප‍්‍රදායයන්ද වෙනස් කරයි. මානව සමාජයේ සෞඛ්‍යය, යහපැවැත්ම හෝ තම වෙළඳාම නිසා සිදුවන සමාජ ඛේදාන්තයන් හෝ ඔවුන්ට කිසිසේත් අදාල නැත.

කෘෂිකර්මාන්තය ලෝක ප‍්‍රමාණයෙන් ගත්කළ ඉතාවිශාල ක්ෂේත‍්‍රයකි. එහි වෙළඳපොළ අත්පත් කරගත් කුප‍්‍රකට බහුජාතික සමාගම වන්නේ මොන්සැන්ටෝ සමාගමයි. පසුගිය දශක කිහිපය තුළ තම වෙළඳපොළ වර්ධනය කරගැනීම, ඒකාධිකාරය  රඳවා ගැනීම හා ලාභ ඉපැයීම සඳහා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සියලූ අංශයන්හි අයිතිය තමා වෙත රඳවා ගැනීමට  විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවද යොදාගනිමින් මොන්සැන්ටෝ සමාගම නොකළ දෙයක් නැත. සමස්තයක් වශයෙන් ඒ සියල්ල පොළොව නුහුලනා අපරාධයන් මිස අන් යමක් නොවේ.

නවීන ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතකරමින් තැනූ ‘මරාගෙන මැරෙන බීජ’ තාක්ෂණයෙහි හිමිකරුවා මොන්සැන්ටෝ සමාගමයි. මොන්සැන්ටෝ සමාගමේ නිපදවන බීජ වගාකර ඉහළ අස්වැන්නක් ලබා ගතහැකි වුවත් එම බීජ නැවත පැළවීමේ හැකියාවෙන් තොරය. ඒ මගින් බීජ ඒකාධිකාරය හා ලාභය ගැන පමණක් ඔවුන් සැලසුම් සකස් කළත් මෙම තාක්ෂණය නිසා පරිසරයටත් සාම්ප‍්‍රදායික බීජ වඳවීම හා ගොවියාගේ බීජ අයිතියටත් එල්ලවන්නේ මරු පහරකි. සුප‍්‍රසිද්ධ ජාන විකෘති ආහාර නිෂ්පාදනයේ වගඋත්තරකරුවා වන්නේද මෙම සමාගම වන අතර එකී ජාන විකෘති ආහාර මිනිස් ආහාර දාමයට එක්වීමේ අනිටු ඵලවිපාකවලට වන්දි ගෙවන්නට සිදුවන්නේ අනාගත පරපුරටය. එළදෙනුන්ගෙන් නිපදවෙන කිරිප‍්‍රමාණය වැඩිකිරීම සඳහා මොන්සැන්ටෝ සමාගම මෑතක දී නිපදවූ BST නම් හෝර්මෝනයද කිරි දෙනුන්ට මෙන්ම පරිභෝගිකයන්ගේ සෞඛ්‍යයටද ඉතා හානිකර බැව් සොයාගෙන තිබේ. මිනිසුන්ගේ පියයුරු පිළිකා බඩවැල්වල පිළිකා මෙන්ම පුරස්ථි ග‍්‍රන්ථි පිළිකා සඳහා සෘජුවම බලපාන මෙම රසායනිකය යුරෝපය තුළ තහනම් කරනු ලැබූවත් මොන්සැන්ටෝ සමාගම එම තහනම ඉවත්කර ගැනීමට විශාල පරිශ‍්‍රමයක් දරමින් සිටී.

සිදුකරනු ලබන පරිසර හානි, මිනිස් සෞඛ්‍යයට එල්ලකරනු ලබන තර්ජනය හා සදාචාර විරෝධී වෙළඳ උපක්‍රම පිළිබඳව චෝදනා ලැබූ තවත් බහුජාතික සමාගමක් වන්නේ කොකා කෝලා සමාගමයි.

මෙම සමාගම්වල නිෂ්පාදන අලෙවිය ඉහළ දමාගැනීම සඳහා සිදුකරනු ලබන ප‍්‍රචාරක ව්‍යාපෘති සඳහා මුදල් වෙන්වන්නේ බිලියන ගණන්වලිනි. කලාව, ක්‍රීඩාව ආදී ජනතාවට සමීප ක්ෂේත‍්‍ර ඔස්සේ සිදුකරනු ලබන ප‍්‍රචාරක මාෆියාව මගින් ‘කොකාකෝලා උන්මාදයක්’ ඇතිකිරීමට ඔවුන් සමත්ව ඇති අතර ඒ තුළින් සමාගමේ ලාභය ඉහළ යන්නේ, කොකාකෝලා සඳහා ඇබ්බැහිවූවන්ට ඉතාමත් නරක සෞඛ්‍ය ගැටලූ උරුමකරමිනි. ඇමෙරිකාව වැනි රටක අධික සෝඩා සහ සිසිල් පැන් පානයට හුරුවීම නිසා විශේෂයෙන්ම නව යොවුන් වියේ දරුවන්ට සමබල ආහාර වේලක් මගින් ලැබිය යුතු පෝෂ්‍ය කොටස් නොලැබීයාමේ තත්වයක් උද්ගතව ඇතැයි පර්යේෂණවලින් හෙළිවී තිබේ. කොකාකෝලාවල අඩංගු ‘පොස්පොරික්’ අම්ලය නිසා වැඩිහිටි කාන්තාවන් අතර ‘ඔස්ටියෝ පොරෝසිස්’ වැළඳීමේ ප‍්‍රවණතාවයද ඉහළ ගොස් ඇති අතර එහි ඇති කැෆේන් මත්ද්‍රව්‍යයක් ආකාරයෙන් ක‍්‍රියාකිරීම නිසා අධිකව මෙම පානයන් සඳහා ඇබ්බැහි කරගෙන ඇති බව කියැවේ. දත් දිරායාම සඳහාද මෙම පානයන් සෘජු ලෙසම බලපා ඇති අතර ‘Fructose’ වැඩිපුර අඩංගුවීමෙන් ස්ථූලතාවය හා දියවැඩියාව සඳහා වැඩි ප‍්‍රවණතාවයක් ඇති බවද අදහසයි.

කෘෂි රසායන ද්‍රව්‍යද ලොව බොහෝ රටවල ජන ජීවිතය විනාශ කළ නිෂ්පාදනයන් වේ. කෘෂි රසායන විකුණා ගැනීම සඳහා පරිසරයටත් සෞඛ්‍යයටත් හිතකර නොවන රසායනික එකතුකිරීම, වඩා හොඳ ප‍්‍රතිඵල ලැබෙන බව පෙන්වීමට විවිධ රසායනිකයන්  පිළිගත් ප‍්‍රමාණයට වඩා එක් කිරීමෙන් මෙන්ම කෘෂි රසායන භාවිතය අනිවාර්යයක් කරවීමට අදාල කෘෂි රසායනයට පමණක් මියයන වල් පැලෑටි කෘෂි බිම්වල හොර රහසේ  ව්‍යාප්ත කිරීමද කෘෂි රසායන සම්බන්ධ ප‍්‍රසිද්ධ රහසකි. මිනිස් සිරුරට එක්වීම නිසා මානව සංහතියට ඇතිවන විවිධාකාරයේ ලෙඩ රෝග පිළිබඳව එකී සමාගම්වලට කිසිසේත්ම ප‍්‍රශ්නයක් නොවන අතර එම සමාගම්වල ඒකායන අරමුණ තම වෙළඳ ඒකාධිකාරය හා ලාභයයි.

කිසිදු සදාචාරයක් නොමැතිව ලාභය තකා මිනිස් ජීවිත බිල්ලට ගන්නා තවත් ක්ෂේත‍්‍රයකි ඖෂධ නිෂ්පාදනය. කුඩා දරුවන්ගේ ලෙඩරෝග සඳහා නිපදවන සෑම ඖෂධයකම පාහේ මිල ගණන් ඉතා ඉහළ මට්මක පවත්වා ගන්නේ ලාභාපේක්ෂාව අරමුණු කරගනිමිනි. එම ඖෂධ මිලදී ගැනීමට නොහැකිව දරුවන් කී දෙනෙක් මියයනවාද යන්න එම සමාගම්වලට අදාල නොවේ. බාල ප‍්‍රමිතියෙන් යුතු ඖෂධ, විශේෂයෙන්ම ප‍්‍රතිජීවක ඖෂධ නිපදවීම කෙටිකාලීනව මෙන්ම දීර්ඝ කාලීනවද සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ අර්බුද ගණනාවක් ඇතිකරයි. ඉතා සුළු විෂබීජයකට පවා නිරාවරණය වී මාරාන්තික සෞඛ්‍ය තත්වයන් පවා ඇතිවීමේ මහා ඛේදනීය ඉරණමක පෙරනිමිති දැන් දැන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දක්නට ලැබේ. මේ අන් කිසිවක් නොව ජාවාරම්කාර ඖෂධ සමාගම්වල හුදු වෙළඳපොළ මාෆියාවේ නොවෙනස් කළ හැකි ප‍්‍රතිඵලයන්ය.

 ඕනෑම සමාජයකට මෙන්ම  ඕනෑම ආර්ථික ක‍්‍රමයකදී වෙළඳපොළක් අත්‍යාවශ්‍යය. ඒ වෙළඳපොළ සැකසෙන්නේ මිනිසාගේ අවශ්‍යතා සඳහා භාණ්ඩ හා සේවා සැපයීම සඳහා නම් එහි වෙළඳ මාෆියාවන් ක්‍රියාත්මක විය නොහැක. නමුත් මානව අවශ්‍යතා හා මානව සමාජයේ ඉදිරි ගමනද බිල්ලට තබා ලාභය පමණක් ඒකායන පරමාර්ථය කරගත් වෙළඳපොළකදී එකී මෙකී නොකී සියලූම අපරාධයන් සමාගම් විසින් සිදුකරනු ඇත. එය ධනේශ්වර ක‍්‍රමයේ අනිවාර්යයක් මිස අහම්බයක් නොවේ.

නියමුවා