පිවිසුම

ජාතික ගැට‍ළුව යනු කුමක්ද?

ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් හා ඊට අමතරව බර්ගර් හා මැලේ ජන කොටස් ජීවත් වෙන බහුජාතික ධනේෂ්වර රාජ්‍යයක් වශයෙන් හඳුනා ගත යුතුව ඇත. උපතේ පටන්ම දුබල හා පසුගාමී ධනේෂ්වර ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමානාත්මතාවයේ පදනමින් ලංකාවේ ජාතික ගැට‍ළුව විසඳීමට සිය දශක හතකටත් වඩා වැඩි පාලන සමය තුළ අසමත් වී ඇති බව පැහැදිලිය. ලංකාවේ ජාතික ගැට‍ළුවට අදාළව ගොඩ නැගී ඇති වර්තමාන සංකීර්ණ දේශපාලන වටපිටාව ඊට සාක්ෂි දරණු ඇත. දශක තුනකට අධික කාලයක් පුරා දස දහස් ගණනින් ජීවිත හා දැවැන්ත දේපළ විනාශයක් සිදු කරමින්, වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණ  පෙරදැරි කර ගනිමින් දිග හැරුණු බෙදුම්වාදී යුද්ධයේ සමාප්තියත් සමගින්, ලංකාවේ ජාතික ගැට‍ළුවට අදාළ එක් සංකීර්ණ කාල පරිච්ඡේදයක් නිමාවට ලක් වූයේ, ජාතික ගැට‍ළුවට අදාළව නව සංකීර්ණ හා දේශපාලන අර්බුද ගණනාවක් ද ලාංකීය සමාජය අභිමුව තබමිණි. එනම් පසුගිය 2009 වසරේ මැයි මාසයේදී කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වීමත් සමගම,  දෙමළ ඊලාම් ව්‍යාපාරයේ සන්නද්ධ පෙරමුණ දුර්මුඛ වීම සැබෑවක් වුව ද, ලංකාවේ ජාතික ගැට‍ළුව සඳහා හේතු වූ කාරක වූ දේශපාලන මූලයන් සඳහා කිසිදු පිළිතුරක් සැපයී නොමැත. ඒ වෙනුවට තවදුරටත් සිංහල – දෙමළ හා අනෙකුත් ජන කොටස් අතර අන්‍යෝන්‍ය සැකය, අවිශ්වාසය හා සතුරුභාවය වර්ධනය වන අයුරින් කටයුතු සිදු වෙමින් පවතී. වත්මන් ධනේෂ්වර හා සුළු ධනේෂ්වර දේශපාලන ව්‍යාපාරයන්හි දේශපාලන කටයුතු ඊට සැලකිය යුතු පිටුබලයක් සපයයි.

අවසන් වී ඇත්තේ, ලංකාවේ ජාතික ගැට‍ළුව පදනම් කර ගත් ජාතිවාදී යුද්ධයේ එක් පරිච්ඡේදයක් පමණි. එනිසා, ලාංකීය ජාතික රාජ්‍යයේ ස්වාභාවික දේශසීමා වෙනුවට, වාර්ගික දේශපාලන දේශසීමා ආදේශ කිරීමේ, බෙදුම්වාදී වුවමනාව පෙරදැරි කර ගත්, ජාතික ගැට‍ළුවේ මූලික ලක්ෂණය, ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිගාමී බලවේගයන්ගේ මැදිහත්වීමෙන් තවමත් ක්‍රියාත්මකය. අනෙක් අතට ලංකාව බහුජාතික රාජ්‍යයක්ය යන පැහැදිලි සත්‍යය ප්‍රතික්ෂේප කිරීමෙන්, ලංකාව තුළ වෙසෙන සියළුම ජන කොටස්වලට සමානව සැලකීම ප්‍රතික්ෂේප කිරීමෙන්, තම ජන කොටස්වලට පමණක් විශේෂ වරප්‍රසාද ලැබිය යුතු බවට හා සෙසු ජන කොටස්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය යෙදීම මගින් ප්‍රකාශයට පත් වන සිංහල ජාතිවාදයේ ප්‍රකාශනයත්, සිංහල ජන කොටස් කෙරෙහි සැකයත්, අවුස්සන ලද වෛරත්,සිංහල ජන කොටස් සමග එකතුවීමට දක්වන විරෝධයත් පදනම් කර ගත් දෙමළ හා මුස්ලිම් ධනපති ජාතිවාදයේ මූලයන් තවමත් නොනැසී පවතින අතර ඒවා වැඩි වර්ධනය වෙමින් ද පවතී. ලංකාවේ ජාතික ගැට‍ළුව අද පවතින තත්වයට සංකීර්ණ වීමට බලපෑ බටහිර අධිරාජ්‍යවාදී දේශපාලනය ප්‍රමුඛ කර ගත් ඉන්දීය දේශපාලන මැදිහත්වීම්වල ද ක්‍රමානුකූල තීව්‍ර වීමක් මිස, එහි බලපෑම පහව යාමක් දක්නට නොමැත. යුද්ධය තාවකාලිකව අවසන් වී ඇති නමුත් ජාතික ගැට‍ළුවේ සමස්ත ඉතිහාසමය ක්‍රියාවලිය තුළ පීඩාවට පත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ජන ජීවිතයේ තත්වය නගාසිටුවීමක් පිළිබඳව බලාපොරොත්තුවක් රඳවා ගත නොහැකි තත්වයක් මතු වී තිබේ. එහි ඍජු ගොදුරු බවට පත් වී ඇති උතුරේ හා නැගෙනහිර අවතැන් කඳවුරුවල හා තමන් උපන් භූමියෙහි අවතැන් වී ඇති, තම ආර්ථික ස්වාධීනත්වය කෙසේ වෙතත්, මූලික මිනිස් අයිතිවාසිකම්වල පවා හිමිකම් අහිමි කොට ඇති දෙමළ ජනතාවගේ තත්වය කියා පාන්නේ ජාතික ගැට‍ළුවේ වත්මන් සංකීර්ණත්වයයි.

දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ ඊට අවම හෝ විසඳුම් සහිත වැඩ පිළිවෙලක් නොමැති ලාංකීය ධනපති ක්‍රමයේ සුක්කානම හසුරුවන දේශපාලකයින් තවදුරටත් උත්සාහ දරමින් සිටින්නේ, දෙමළ ජනතාවට එරෙහිව ඊනියා දේශප්‍රේමයේ නාමයෙන් සිංහල ජනතාව ජාතිවාදී කෙවිටෙන්ම තව දුරටත් දක්කා ගෙන යෑමට ය. අසාර්ථක, ප්‍රජාතන්ත්‍ර විරෝධි දූෂිත පාලනයට එරෙහි විය හැකි සමාජ බලවේගයන් ජාතිවාදයේ ජනප්‍රිය උගුලට හසු කිරීම මොවුන්ගේ ඒකායන අරමුණ ය. අනෙක් පැත්තෙන් මෙතෙක් කාලයක් සිදු කළ අයුරෙන්ම, දෙමළ ජනතාවට අයිතිවාසිකම් දීම වෙනුවට, ජාතිවාදී හා යුදවාදී දෙමළ ධනපති නායකයින්ට වරදාන හා වරප්‍රසාද පිදීම මගින්ම තම පැවැත්ම සහතික කර ගැනීම සඳහා ඔවුනොවුන් සමග එකඟතාවලට පැමිණේ.
අප ජාතික ගැට‍ළුව පිළිබඳව අධ්‍යනය කිරීමට පිවිසෙන මේ මොහොතෙත් සිට ඊට අදාළ සංකීර්ණත්වය අප අබිමුව දිග හැරෙන්නේ මෙසේ ය. ධනේෂ්වර ආර්ථික අර්බුදයට විසඳුම සමාජවාදය වූවා සේ ම, ජාතික ගැට‍ළුව විසඳිය හැක්කේ ද සමාජවාදයට ය. නමුත් මේ පිළිබඳ මතවාදය අද වන විට බරපතළ  ලෙස ව්‍යාකුල වී ඇත. ධනේෂ්වර, සුළු ධනේෂ්වර හා වාමාංශික කියා ගන්නා දේශපාලන පක්ෂ විසිනුත් රාජ්‍ය නොවන සංවිධාන හා සමහර සිවිල් බුද්ධිමතුන් විසිනුත් ඉදිරිපත් කරනු ලබන නිර්මාක්ස්වාදී හා අවිද්‍යාත්මක මතවාදයන් හේතු කොට ගෙන ලංකාවේ ජාතික ගැට‍ළුව පිළිබඳ බරපතළ  මතවාදී ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ. එනිසා ලංකාවේ ජාතික ගැට‍ළුව අරභයා වඩාත් පූර්ණ දේශපාලන අධ්‍යනයක් අවශ්‍යව ඇත. මෙම සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට ය.

ජාතික ගැට‍ළුව හැදෑරීම කළ යුත්තේ කෙසේද?

යම්කිසි  ගැට‍ළුවක් හුදකලා කොට වෙන් වෙන්ව අධ්‍යනය කළ නොහැක. එසේ උත්සාහ කිරීම ඉතාම වැරදි ක්‍රමයකි. ප්‍රතිඵලය වන්නේ මංමුලාවීමයි. කිසිම සිදුවීමක් හුදකලාව නොපවතී. ඒ නිසා අනෙකුත් සියළුම සිදුවීම් සමස්තය සමග ඊට ඇති සම්බන්ධතාවය තුළ එම ගැට‍ළුව වටහා ගත යුතුය. එමගින් සිදුවීම වටහා ගැනීමේ හැකියාවත්, ගැට‍ළුවට විසඳුම් සොයා ගැනීමේ හැකියාවත් ලැබේ.
ඕනෑම ගැට‍ළුවක් වටහා ගැනීමේ විද්‍යාත්මක විධි ක්‍රමයක් ලෙස එම ගැට‍ළුව –

  1. ඓතිහාසිකවත්
  2. විෂය මූලිකවත්
  3. සංයුක්තවත්
    විමසා බැලිය යුතුය.

ඕනෑම ගැට‍ළුවක් පැන නැගීමේ ‌ඓතිහාසික තත්වයන් හා එයට හේතු පාදක වූ සමස්ත කරුණු පද්ධතියම සොයා බැලිය යුතුය.

ජාතික ගැට‍ළුව යනු කුමක්ද?

ජාතික ගැට‍ළුව යනු ජාතීන්ගේ විමුක්තියේ හා නිදහස් සංවර්ධනයේ ගැට‍ළුවයි. ජාතික ගැට‍ළුවට ප්‍රවේශ විය යුත්තේ  ඓතිහාසික වශයෙනි. මන්ද? විවිධ යුගයන්වලදී එහි අඩංගුව හා වැදගත්කම එක සමාන නොවන හෙයිනි.

ජාතික ගැට‍ළුව පිළිබඳ දර්ශනයේ ශබ්දකෝෂයේ සඳහන් වන්නේ එසේය.

ධනවාදයේ මුල් අවධියේදී එනම් ජාතීන් බිහිවීමේ යුගයේ දී ජාතික ගැට‍ළුව යනු වැඩවසම් ක්‍රමය පෙරලා දමමින් ධනේෂ්වර ජාතික රාජ්‍ය බිහිවීම හා වැඩවසම් ආධිපත්‍යයේ පීඩනයෙන් මිදී ජාතියක් ලෙස සංවර්ධනය වීම හා සම්බන්ධ කාරනාවක් විය. අධිරාජ්‍ය යුගයේ දී එය යටත් විජිත හා පරාධීන ජාතීන්ගේ විමුක්තිය හා බැඳුණු ප්‍රශ්නයක් විය.

මේ අනුව ධනපති ක්‍රමය තුළ එක් එක් වකවානුවල දී ජාතික ප්‍රශ්නයෙහි ස්වභාවය මෙන්ම වැදගත්ම එකිනෙකට වෙනස් ආකාරයක් ගන්නා බව පැහැදිලිය. එනිසා ලංකාවේ ජාතික ගැට‍ළුවද  හඳුනා ගත යුත්තේ මෙම ඓතිහාසික තත්වයන් සැලකිල්ලට ගනිමින් කෙරෙන ඇගයීමක් තුළිනි. ඒ අනුව ලංකාවේ ජාතික ප්‍රශ්නය අරබයා ධනේෂ්වර ක්‍රමයේ සංවර්ධනය පැහැදිලි ලෙසම බලපා තිබෙන බව පැහැදිලිය. මෙරට ධනේෂ්වර ක්‍රමය එය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති වකවානුව තුළ ගොඩ නැගුණු අතර එහි ධනපති ප්‍රතිඵලයක් ලෙස එකිනෙකට වෙනස් ස්වභාවයන්ගෙන් යුක්ත වූත්, ධනපති ක්‍රමය ගොඩ නැගෙන විට එක් ජාතියක් ලෙස ස්වීකරණය වී නොතිබුණා වූත්, වෙනස් ජන කොටස් කීපයක් ලෙස සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් වෙන වෙනම පැවතුනා වූත් ධනේෂ්වර ජාතික රාජ්‍ය නිර්මාණය විය.

කෙටියෙන් පවසන්නේ නම් ‘ලංකාවේ ජාතික ගැට‍ළුව’ යනු ලංකාවේ ධනේෂ්වර ක්‍රමය බිහිවීමේ දී සියළු ජාතිකත්වයන් ස්වීකරණය වී ඒක ජාතික රාජ්‍යයක් බිහි වෙනවා වෙනුවට ජාතිකත්ව වෙනස්කම් ඉතිරි කර ගනිමින් හා පවත්වා ගනිමින් බහුජාතික රාජ්‍යයක් බවට පත්වීම තුළ බිහි වූ ගැට‍ළුව ය.

 

ජාතියක් නිර්මාණය වීම දක්වා මිනිසාගේ ගමන් මඟ කුමක්ද?

ජාතික ගැට‍ළුව හැදෑරීමේ දී එය තුළ විමසුමට ලක් කෙරෙන ජාතිකත්වය හා ජාතිය වැනි යෙදුම් සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම වැදගත් වේ. ඒ නිසා ඉතිහාසය තුළ මානව ප්‍රජාව සංවිධානය වූ ආකාරයන් පිළිබඳ කෙටියෙන් හෝ හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
ඉතිහාසය, මානව ප්‍රජාව සංවිධානය වූ ආකාරයන් තුනක් ගැන දනී. එනම්

  1. ගණය හා ගෝත්‍රය (Tribe)
  2. ජාතිකත්වය (Ethnic group)
  3. ජාතිය (Nation)

ගණය හා ගෝත්‍රය යනු කුමක්ද?

මිනිසා බිහිවීමත් සමග නිර්මාණය වූ ප්‍රාථමික සාමුහික සමාජයට අනුරූපී මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාරය ගණය හා ගෝත්‍රයයි. පොදු සම්භවයක්භාෂාවක්සිරිත් විරිත්ඇදහිලි හා එදිනෙදා ජීවිතයේ හා සංස්කෘතියේ පොදු ලක්ෂණවලින් යුත් ප්‍රාථමික නිෂ්පාදන සමාජය හා මානව වර්ග කණ්ඩායමක් වූද එහි සියළුම වැඩ කටයුතුවල දී ලේ නෑකම මෙන්ම නිෂ්පාදන සම්බන්ධතාවයන්ද ප්‍රාථමික වැඩ කොටසක් ඉටු කළා වූ කණ්ඩායමක් වූදපොදු වාසභූමි හා පොදු දඩබිම් සහිත කණ්ඩායමක් වූද ගණයේ ආර්ථික පදනම වූයේ ප්‍රාථමික පොදු ‌දේපළක්‍රමයකි.මාක්ස් ලෙනින්වාදී දර්ශනයේ මූලයෝ – මොස්කව්

නිෂ්පාදනයේ පැවති අඩු දියුණු හා ප්‍රාථමික ස්වරූපය නිසා කණ්ඩායම ලෙස සාමුහිකව පැවතීම එකල අනිවාර්‍ය විය. පුද්ගලික දේපළ හා පංතීන්ගෙන් තොරව ගණය තුළ සියල්ල තීරණය වූයේ සාමුහික ශ්‍රමය මත ය. නිෂ්පාදනය සංවර්ධනය වීමත් සමග මාතෘ මූලික ගණ කීපයක් සහෝදර සංගම් තුළට ඒකරාශී වීමෙන් ගෝත්‍ර සෑදුණි. ගණය, ගෝත්‍රය තුළ ස්වාධීන නිෂ්පාදන ඒකකයක් වශයෙන් පැවතුණු අතර ගණයේ දේපළ මෙන්ම ගෝත්‍රයේ දේපළද එක විටම පවතින්නට විය. එකල නිෂ්පාදනය යනු සොබාදහම විසින් නිර්මාණය කළ දේ යළි සකස් කිරීම හා ඒ සඳහා මෙවලම් සෑදීමයි. නව ශිලා යුගයේ දී සත්ත්ව පාලනය හා කෘෂි කර්මාන්තය අතර ප්‍රධාන සමාජමය ශ්‍රම විභජනය හට ගැනීමත්, ගණය තුළ කාන්තාව සතු වැඩ කොටසේ වැදගත්කම පහත වැටීමත්, පිරිමියා සමාජයේ ප්‍රධාන නිෂ්පාදන බලය බවට පත්වීමත් සමග පුද්ගලික දේපළ හිමිකමේ වර්ධනයන් සඳහා අවශ්‍ය විෂය මූල වටපිටාවක් නිර්මාණය වූ අතර ප්‍රාථමික සාමුහික සමාජය බිඳී විසිරී ගොස් ආසියාතික හෝ වහල් හිමි සමාජ ක්‍රම කරළි ගත වීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය විය.

ජාතිකත්වයක් (Ethnic) යනු කුමක්ද?