“මාක්ස්වාදය ඉදිරි සියවසටත් වලංගුයි”

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

ඔහු ව්ලැදීමීර් ලියකොව් (Vladimir Lyakhov)

1941 ජුලි 20 වන දින යුක්‍රේනයේ උපත ලද ලියකොව් කලෙක පුහුණුව ලත් අජටාකාශගාමියෙක් විය. ගගාරින් අභ්‍යවකාශ පුහුණු ආයතනයේ පුහුණු අජටාකාශ චාරිකා 16කට සහභාගී වූ ඔහු, 1979දී සිය පළමු අජටාකාශ ගමනට සහභාගී වූයේ ය. එය දින 175ක චාරිකාවකි. අනතුරුව ‘82 සහ ‘83 වසරවල අජටාකාශ පර්යේෂණ සඳහා ගුවන්ගත වූ ලියකොව් සෝවියට් දේශයේ වීරයකු ලෙස දෙවරක්ම සම්මාන ලැබී ය. මීර් අභ්‍යවකාශ ව්‍යාපෘතියේ සේවය කළ ලියකොව් දින 343ක් අජටාකාශයේ ගත කර ඇත. ‘සැලියුට් – 6’ සහ ‘සැලියුට් – 7’ හා එක්ව ප්‍රධාන ගවේෂණවල දිගුකාලීන අභ්‍යවකාශ ගමන් සිදු කළේ ය.

2018 අප්‍රියෙල් 19 වන දින මිය යන විට ව්ලැදීමීර් ලියකොව් 77 වන වියේ පසුවිය.  

සෝවියට් අභ්‍යවකාශගාමීන්ගේ පළමු පරම්පරාවට අයත් අයකු වූ ව්ලැදීමීර් ලියකොව් රුසියානු ‘මීර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවත් වෙමින් පර්යේෂණ සිදු කළ ගගනගාමියෙකි. මිනිසුන් සහිත රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථාන නිර්මාණය අභ්‍යවකාශගාමීන්ගේ ඉතිහාසයේ දීප්තිමත් පරිච්ඡේදයක් ලෙසයි සැලකෙන්නේ.

දියණියක සහ පුතකුගේ පියකු වූ ලියකොව් මේ සාකච්ඡාව සිදු කළ 1999 වන විට එක් මුණුපුරෙක් හිමි අයෙකි. 60 දශකයේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු වූ ඔහු ඉදිරි සියවස සඳහාත් මාක්ස්වාදයේ වලංගුභාවය පිළිබඳව විශ්වාසසහගතව බලාපොරොත්තු තබා තිබූ මොහොතක කළ සාකච්ඡාවකි පහත පළ වන්නේ. ව්ලැදීමීර් ලියකොව් 1999දී ලංකාවට පැමිණි අවස්ථාවේ දී රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී කළ මේ සම්පූර්ණ සාකච්ඡාව 1999 ඔක්තෝබර් මාසයේදී ‘කැණිමඬල’ මාසික සඟරාවේ පළ වූවකි.

ඔබව හඳුන්වන්න කැමති මොන ආකාරයට ද?

මම අජටාකාශගාමියෙක්.

අජටාකාශ ඉතිහාසයේ වඩාත් සුවිශේෂී කාර්යයක් ඉටු කළ ‘මීර්’ අභ්‍යවකාශ ව්‍යාපෘතියෙහි වර්තමාන තත්ත්වය මොන වගේ ද?

‘මීර්’ කියන වචනයේ අර්ථය සාමයයි. මම සැලියුට් 6 සහ 7 යන යානාවලින් දෙවතාවක් ‘මීර්’ මධ්‍යස්ථානය වෙත ගිහින් තියෙනවා. දින 183ක් ‘මීර්’ හි නැවතිලා යම් යම් කටයුතු කළා.

1986 පෙබරවාරි 09 වෙනිදා අභ්‍යවකාශයට නැංවු ‘මීර්’ පසුගිය අගෝස්තු 27 දක්වා පර්යේෂණ කටයුතු කළා. ඒ මිනිසුන් සහිතව. මගේ මිත්‍රයන් වන වික්ටර් අෆනස්යෙෆ් ඒ වන විට එහි නියමුවා ලෙස වැඩ කළා. ඊට අමතරව සර්ජි අව්දයෙෆ් ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙසත්, ප්‍රංශ ජාතික ජින් – පියරේ හයිජිනියර් ද එහි සිටියා. මේ අය අතුරින් හිතවත් සර්ජි අව්දයෙෆ් වඩාත් ඓතිහාසික පුද්ගලයෙක්. ඊට හේතුව ඔහු ‘මීර්’ වෙතින් ඉවත් වන විට සම්පූර්ණයෙන් දින 740ක් අසන්න වශයෙන් අවුරුදු දෙකක් ‘මීර්’ මධ්‍යස්ථානයේ වැඩ කළා. එය මානව ඉතිහාසයේ දී මිනිසෙක් අභ්‍යවකාශ ගතවී සිටි වැඩිම කාලය.

දැන් ‘මීර්’ මිනිසුන් රහිතව ස්වයංක්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරනවා.

එය ‘මීර්’ ව්‍යාපෘතිය අතහැර දැමීමක්..?

නැහැ ! කවුද එහෙම කියන්නේ…?

තවමත් රුසියානු බලධාරීන් තීරණය කරලා නැහැ ‘මීර්’වලට මොකද කරන්නේ කියලා. තාමත් තත්ත්වය සාකච්ඡා කරමින් පවතිනවා.

මේ තත්ත්වය සෝවියට් දේශය සහ රුසියාව අතර (සෝවියට් දේශය බිඳවැටුණ පසු) අභ්‍යවකාශ වැඩපිළිවෙළ අතර වෙනසක් ලෙසයි මාධ්‍ය හඳුන්වන්නේ…?

නැහැ ! අභ්‍යවකාශ ක්‍රියාවලීන් සම්බන්ධව තාමත් එහෙම වෙනසක් දකින්න නැහැ. අභ්‍යවකාශ වැඩපිළිවෙළ පෙර ලෙසම හොඳින් ක්‍රියාත්මක වෙනවා.

සෝවියට් දේශය බිඳවැටීමට පෙර අභ්‍යවකාශය තුළත්, පෘථිවිය මතුපිට දී මෙන්ම ‘සුවිශේෂ තරගයක්’ පැවතුණා…?

ඔව් ! ඒක ඇත්ත.

එම නිසාම සෝවියට් දේශයේ යූරී ගගාරින් අභ්‍යවකාශය ජය ගැනීමත් සමඟ ඇමරිකානු නීල් ආම්ස්ට්‍රෝන් සඳ වෙත ගියා…?

ඔව් !

මේ තරගයෙහි අද තත්ත්වය…?

අද යථාර්ථයක් ලෙස සෝවියට් දේශය නැහැ. ඒ නිසා ඔය කියන ආකාරයේ තරගයක් අපි අතර දැනට නැහැ. දැන් අපි එකතු වෙලා අභ්‍යවකාශයේ වැඩ කරනවා. හැබැයි තරගයක් නැහැ කියලා අභ්‍යවකාශ වැඩපිළිවෙළෙහි රුසියානු සංවර්ධනය නතර වෙලා නැහැ. අපි එදා වගේම අදත් විවිධ පර්යේෂණ කරනවා. සමහර වෙලාවට ඒ සඳහා ඇමෙරිකානු, ප්‍රංශ, ඉන්දියානු අජටාකාශ පර්යේෂකයන් සහභාගි වෙනවා.

මීර් හී ඇතුළත

ඔබ ‘මීර්’ මධ්‍යස්ථානය ගැන වඩාත් ප්‍රශ්න කළ නිසයි මම කියන්නේ, අපේ මුළු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පදනම වුණේ ‘සාමය’. ජාතීන් අතර මිත්‍රත්වය. ‘මීර්’ එහි අර්ථය ලෙසම ගුවන්ගත කළේ සාමය වෙනුවෙන්. මුළු යුරෝපයෙන් ම, ඇමෙරිකාවෙන්, ආසියානු ඇෆ්ගනිස්ථානයෙන් මිනිසුන් ‘මීර්’ මධ්‍යස්ථානය වෙත ගියා. අපි අතර වෙනසක් තිබුණේ නැහැ.

මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් ! ඇයි ඔබ ‘මීර්’ ගැන ප්‍රශ්න කරන්නේ?

සෝවියට් දේශය පිළිබඳ පොළොව මතුපිට නොවූ යථාර්ථය ගුවනේ දී සංකේතවත් කළේ ‘මීර්’. එය නවතා දැමීම පිළිබඳ තොරතුරු අපට ඉතාමත් සංවේගදායක තොරතුරක්.

ස්තූතියි ! ඇත්තට ‘මීර්’ නවතා දැමුවොත් ඔබට වඩා විශාල සංවේගයක් අපටත් දැනෙයි. ඒත් දැනට ඒක එහෙම වෙන්නේ නැහැ.

ඒත් අනාගත ලෝකය දකින්නෙක් වන ආතර් සී ක්ලාක් පවා කියා තිබෙනවා ‘මීර්’ සමහර විට අභ්‍යවකාශගත පළමු සංචාරක නිකේතනය වෙයි කියලා ?

ඔව් ! ඔව් ! ක්ලාක් කියූ බොහෝ දේ සිද්ධ වුණා. ඔහු පෞද්ගලිකව මගේ හොඳ මිත්‍රයෙක්.

තුන්වන ලෝකයේ අප වැනි බොහෝ රටවලට සිහිනයක් බඳු අභ්‍යවකාශය පිළිබඳ ඔබ දුටු චිත්‍රය මොන වගේ ද?

තුන්වන ලෝකය අභ්‍යවකාශය තුළ ඒ තරම් ම දුප්පත් නැහැ. සෞදි අරාබිය, සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ ඔබේ අසල්වැසි ඉන්දියාව මේ වන විටත් අභ්‍යවකාශයට ඇතුළු වෙලා. ඒ අය තම තමන්ට අවශ්‍ය ක්ෂේත්‍රවල දැනට වැඩ කරනවා. අවශ්‍යතාව සහ වැඩපිළිවෙළක් තියෙනවා නම් ශ්‍රී ලංකාවට වුණත්, අභ්‍යවකාශය ඒ තරම්ම දුර නෙමෙයි.

ඈත ගුවනේ දී ඔබ මහපොළොවත්, සඳත් එක විට දැක්කා. තෙරක් නොපෙනෙන අඳුර තුළ පෘථිවිය සුන්දර නිල්පාට වස්තුවක්. මෑත අහසේ දී මහ සයුරු, ඇමෙරිකානු යුද රථ, සුවිශාල ක්‍රීඩාංගණ මම දැක්කා. මේ සේරම විචිත්‍රවත් දෙයක්. ගුවනේ දී පෘථිවිය පිළිබඳ අපිට ගැඹුරු හැඟීමක් දැනෙනවා. විශාල වශයෙන් වැදගත් දේ තමයි අනන්ත ගගන තලයේ දී මම මොන තරම් කුඩා ජීවියෙක් ද කියලා දැනෙන හැඟීම. ඒ හැඟීම ඇසින් දුටු සියල්ලට වඩා වැදගත්.

1983 නොවැම්බරයේ දිනක Salyut-7- අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත රැඳී ව්ලැදීමීර් ලියකොව්

රුසියානු අජටාකාශගාමීන්ගේ එකතුවක්, සංවිධානයක් තියෙනවා ද?

නැහැ. නිල වශයෙන් එහෙම දෙයක් නැහැ. ඒත් අපි නිතර හමු වෙනවා. කතාබහ කරනවා.

රුසියාව ගැන කෙසේ වෙතත්, සෝවියට් දේශය ගැන කතා කරද්දී මඟනොහැරිය හැකි මාතෘකාව දේශපාලනය. ඔබ අද රුසියානුවෙක් වුණත්, ඔබ ඉපදී, හැදී වැඩුණේ සෝවියට් සමූහාණ්ඩු සංගමය තුළ. ඔබ කැමති ද දේශපාලන මාතෘකා ගැන කථා කරන්න ?

ඔව්. ඉතාමත් කැමතියි.

ඔබ මොන විදියේ දේශපාලන චරිතයක් ද?

මම මාක්ස් – ලෙනින්වාදියෙක්; කොමියුනිස්ට්වාදියෙක්. 60 දශකයේ ඉඳන් මම කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙක්.

ඒත් කොමියුනිස්ට් පක්ෂය රුසියාව තුළ දුර්වලයි..?

නැහැ ! කවුද එහෙම කියන්නේ ? රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් කොමියුනිස්ට් පාක්ෂිකයෝ. විශේෂයෙන් සුකර්ණෝ පක්ෂයට සම්බන්ධව විශාල වැඩ කොටසක් කරනවා. පක්ෂ සාමාජිකයන්, හිතවතුන්, ආධාරකරුවන් මුළු රුසියාව පුරා ම වැඩ කරනවා. බොහෝ වෙලාවට මී ළඟ මැතිවරණයේ දී කොමියුනිස්ට් පක්ෂය සැලැකිය යුතු තත්ත්වයක් බිහි කරයි.

ලියකොව්, සෝයුස් අභ්‍යවකාශ යානය ඇතුළත

ඔබ සෝවියට් දේශය ‘සමාජවාදය’ යටතේ සමූහාණ්ඩුවක් ලෙස පැවැති කාලයේ ඉපිද, ඒ කාලයේ ම සෝවියට් දේශයේ සංවර්ධනය සඳහා වෙහෙසුණ පුද්ගලයෙක්. ඉන් පසුව බිඳවැටුණු සෝවියට් රුසියාව තුළ ජීවත් වන කෙනෙක්. මේ කාල අන්තර දෙක තුළ වෙනස…?

මේ කාල අන්තර දෙක කියන්නෙ පාලන ක්‍රම දෙකක්. පළමු ක්‍රමය සමාජවාදී පාලන ක්‍රමය. අපි රටක් විදිහට ඉතාමත් ඉහළ, ශීඝ්‍ර සංවර්ධනයක් ඒ කාලයේ දී ලබා ගත්තා. මිනිස් ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් අපි එක් කළා.

ඒත් දැන් තත්ත්වය ඊට වෙනස්. මේක වෙනස් පාලනයක්.

මේ ක්‍රමය රුසියාව තුළ පටන් අරන් අවුරුදු දහයකට වඩා නැහැ. මේක හෙමින් යන්නේ. මේ ක්‍රමය තාමත් අවසන් නැහැ. අපි මේ දිහා බලා ඉන්නවා. මේ වෙන කොට අපි එදාට වඩා වෙනස් තැනක ඉන්නේ.

පැහැදිලිවම ක්‍රම දෙකෙන් වඩා හොඳ, වඩා යහපත් එදා පැවැති සමාජවාදී ක්‍රමයයි. එදා අපි හොඳින් දිවි ගෙව්වා.

එදා පැවැති වෙනස් වීම් සමඟ හුගක් දෙනෙක් උත්සාහ කළා අපේ කොමියුනිස්ට් පක්ෂය වහල, තහනම් කරන්න. ඒත් රුසියානු ජනතාව ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම මේ තත්ත්වයත් දිගටම පවතින එකක් නැහැ. අනිවාර්යයෙන්ම තත්ත්වය වෙනස් වෙයි.

ඒත් ඔබ කියන ජනතාවම ලෙනින්ගේ පිළිරූ බෙල්ලෙන් එල්ලා ඉවත් කළා…?

ඒ මොස්කව්වල නෙමෙයි. රුසියාවේ එවැනි දේ සිදු වුණේ නැහැ. වෙනත් තැන්වල සමහර කනගාටුදායක දේවල් සිද්ධ වුණා.

අද වෙන විට ලෙනින්ගේ මෘතදේහය පවා අලෙවි කරන්න සුදානම් වන බවට තොරතුරු ලැබෙනවා…?

ඔබට ඔය තොරතුරු ලැබෙන්නේ අපෙන් නෙමෙයි. වෙනත් තැන්වලින්. ඒත් ඇත්ත ඊට වෙනස්. ලෙනින්ගේ සිරුර ඉතාමත් හොඳින් සුරක්ෂිතව තියෙනවා.

සමාජවාදී සෝවියට් දේශය එදා කිව්ව කිසි ම දෙයක් වෙනස් වෙලා නැහැ. ඒවා අදටත් වලංගුයි. අනාගතය සඳහාත් ඒවා එලෙසම පවතිනවා.

වර්තමාන රුසියාව යනු සිය දිවි නසා ගැනීම් අතින් ඉහළ, මත්පැන් පරිභෝජනය අතින් ඉහළ, වෘත්තීය ගණිකාවන් සංඛ්‍යාව අතින් ඉහළ අගයන් දක්වන රටක් ලෙසයි අපට තොරතුරු ලැබෙන්නේ…?

තත්ත්වය ඒ තරම් ම නරක නැහැ. යකා කියන තරම් කළු නැහැ. අපි ඒ කාලේ මත්ද්‍රව්‍ය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒත් අද ඒවා තියෙනවා. ඒක ඇත්ත. ඒත් තත්ත්වය සෙමින් වෙනස් වෙනවා. ඉදිරි සියවසේ දී වඩා යහපත් දේ සිද්ධ වෙයි.

රුසියානු විප්ලවයක්..?

කියන්න බැහැ. හෙට වෙන දේ ගැන අද ස්ථීර අනාවැකි වලංගු වන්නේ නැහැ. එදා අපි මාක්ස්වාදීන්, කොමියුනිස්ට්වාදීන් විදිහට ලෝකයාට විශාල පණිවිඩයක් දුන්නා. සියවසක් අවසානයේත් ඒ පණිවිඩය වලංගුයි. අද කවුරු මොන මොනවා කිව්වත්, විමසිල්ලෙන් ඉන්නේ. තත්ත්වය යහපත් කිරීම වෙහෙසකර දෙයක්. ඒත් එහි වලංගුභාවයක් තියෙනවා.

ඔබ කියන්නේ මාක්ස්වාදය පිළිබඳව ද?

ඔව්. මාක්ස්වාදය ඉදිරි සියවසටත් වලංගුයි. එය ජයග්‍රහණය කරයි. මම පෞද්ගලිකවත් ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ සදහා වෙහෙසෙන්නත්, කැපවෙන්නත් මම ලෑස්තියි.

සංවාදය : සිසිර යාපා

රුසියානු භාෂා පරිවර්තන සහය

ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමි

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit