ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංස්කරණවාදය පිළිබඳ දේශපාලනික කියවීමක්

විමර්ශන – 2019 අප්‍රේල්
May 2, 2019
Red Power – 2018 March
May 3, 2019
Show all

ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංස්කරණවාදය පිළිබඳ දේශපාලනික කියවීමක්

මානව සමාජයේ සමස්ත ඉතිහාසය දෙස බලනවිට පෙනී යන ප්‍රධාන කරුණක් වනුයේ මානව සමාජය විවිධ යුග පසුකරමින් විවිධ සමාජ ක්‍රම හරහා පෙරට ගමන් කරමින් තිබෙන බවය. එකී මානව ඉතිහාසයේ විකාශනය සඳහා යෝධ පිමි ලෙස සලකන සමාජ විප්ලව මෙන්ම ක්‍රමික වෙනස්කම් ලෙස සැලකිය හැකි සමාජ ප්‍රතිසංස්කරණද දායක වී තිබේ. කෙටියෙන් පවසන්නේ නම් මානව ඉතිහාසය පෙරට යන්නේ, විප්ලව හා ප්‍රතිසංස්කරණ මගින්ය යන්න පිළිගත් සත්‍යයකි.

පසුගිය මාස කිහිපය පුරා ලාංකේය දේශපාලනය තුළද දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා විශාල උනන්දුවක් හා ඉල්ලුමක් පැවතුණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උද්ඝෝෂණ, 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම, ආදී යෝජනා හා ක්‍රියාමාර්ග කිහිපයක් මගින් මෙය ප්‍රකාශයට පත්විය. ඉතිහාසය පුරා ලොව බොහෝ රටවල මතුවූ ආකාරයෙන්ම මෙහිදීද එකිනෙකට පරස්පර මත දෙකක් නැතිනම් ප්‍රවණතා දෙකක් මතු විය. ඉන් එකක් වන්නේ, සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන “ප්‍රතිසංස්කරණ එපා” යයි කියන ප්‍රවණතාවයයි. අති වාමවාදය නියෝජනය කරන මෙම පිරිස ඉතා කුඩාය. ඒ අතර ප්‍රතිසංස්කරණවලින්ම පවතින සමාජයේ බරපතල වෙනස්කම් කළ හැකි යයි සිතන, පවතින ක්‍රමයේ සියලු ගැටලුවලට ඒ මගින් විසඳුම් ලබා ගත හැකි යයි සිතන පිරිසක්ද සිටිති. මෙම පිරිස සාපේක්‍ෂව විශාලය. ඔවුන් වමේ ව්‍යාපාරය වෙතද මෙම ප්‍රතිසංස්කරණ සඳහා වූ බලපෑම එල්ල කරමින් සිටී. මේ නිසා වමේ දෘෂ්ටියකින් සමාජය දෙස බලන අය මේ පිළිබඳ මාක්ස්-ලෙනින්වාදී ස්ථාවරය නිවැරදිව තහවුරු කරගත යුතුව ඇත.

සමාජ විප්ලවය හඳුනාගැනීම

සමාජ විප්ලවයක් යනු සමාජයේ ඇතිවන ප්‍රබල වෙනසකි. සමාජ සංවර්ධනයේ ක්‍ෂණික පිම්මකි. න්‍යායිකව ගත් විට සමාජ විප්ලවයක් යනු එක් පංතියක් අතින් තවත් පංතියකට බලය මාරුවීමකි. එය සමාජයේ ප්‍රමාණාත්මක පමණක් නොව ගුණාත්මක වෙනසකි. ගුණාත්මක පරිවර්තනයකි. මෙහිදී අනිවාර්යයෙන්ම රාජ්‍ය බලයේ වෙනසක් සිදුවේ. එනම් රාජ්‍ය බලය එක් පංතියක් අතින් වෙනත් පංතියකට මාරුවේ. උදාහරණයක් ලෙස ධනවාදය වෙනස්කර සමාජවාදී විප්ලවය සිදුවන්නේ නම් එවිට රාජ්‍ය බලය ධනපති පංතිය අතින් නිර්ධන පංතියට, නැතිනම් පීඩිත පංතියට මාරුවේ. සමාජ විප්ලවයකදී සිදුවන වෙනස සමාජ ආර්ථික දේහයේ අභ්‍යන්තර චලිතය අනුව වටහා ගන්නේ නම් එය නිශ්චිත සමාජ ආර්ථික රටාවක් තුළ පවතින මූලික ප්‍රතිවිරෝධය විසඳීම මගින් සිදුවේ. මෙය තවත් පැහැදිලි කර ගතහොත් ඕනෑම සමාජ ක්‍රමයක ඊට අනුරූපී නිෂ්පාදන මාදිලියක් තිබේ. එම සමාජය පන්ති සහිත සමාජයක් වනවිට එම නිෂ්පාදන මාදිලියේ පවතින ප්‍රතිවිරෝධය සතුරු ගැටුමක් දක්වා වර්ධනය වේ. නිෂ්පාදන මාදිලිය තුළ පවතින මෙම ප්‍රතිවිරෝධය සිදුවන්නේ එහි ඇති නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතා අතරය. මෙහිදී පවතින නිෂ්පාදන බලවේගයන්ට එම නිෂ්පාදන සබඳතා බාධා කරන විට හා ඒ නිෂ්පාදන සබඳතා නිෂ්පාදන බලවේගවලට විලංගු බවට පත්වන විට එකී නිෂ්පාදන බලවේග විසින් පැවති නිෂ්පාදන සබඳතාවය  බිඳ දමා නව සබඳතාවයක් ගොඩනගා ගනී. සමාජ විප්ලවයක් ලෙස අප දකින්නේ එයයි. එබැවින් එය සමාජයේ ආර්ථික සබඳතාවල අභ්‍යන්තරයෙන්ම සිදුවන වෙනස්කමක් වේ. පවතින සමාජයේ සියලු ප්‍රතිවිරෝධතා හා අර්බුද විසඳෙනුයේ සමාජ විප්ලවයක් විසින් ඇති කරන නව නිෂ්පාදන සබඳතාවය තුළය.

සමාජ ප්‍රතිසංස්කරණ යනු මොනවාද?

සමාජ ප්‍රතිසංස්කරණ යනු කිසියම් සමාජයක හරය තුළින්, ගැඹුරින් ඇතිකරන වෙනසක් නොව එහි මතුපිටින් ඇතිකරන වෙනස්කම්ය. එය සමහර වෙනස්කම් සමාජයේ හරය හා බැඳී තිබුණද ඒවා හරය මුළුමනින් වෙනස් කරන හෝ ඒ තුළ සිදුවන ක්‍ෂණික වෙනසක් හෝ පරිවර්තනයක් නොවේ. සමාජ ප්‍රතිසංස්කරණවලදී රාජ්‍ය බලය මාරුවීම වැනි දෙයක් සිදුවන්නේ නැත. ධනවාදය වෙනුවට සමාජවාදය නිර්මාණය වීමේදී එය ප්‍රතිසංස්කරණ මගින් කළ නොහැක. එහෙත් එක්තරා පංති සමාජයක් තවත් එවැනිම පංති සමාජයකට මාරුවන විට, එවැනි සමාජ පරිවර්තනවලදී එක්තරා සූරාකෑමේ ක්‍රමයක් තවත් එවැනිම සූරාකෑමේ ක්‍රමයකට මාරුවන විට ප්‍රතිසංස්කරණ මගින් සමහර විට එය සිදුව තිබුණත් පංති සමාජයක් පංති රහිත සමාජයක් බවට පත්කරන, සූරාකෑම සහිත සමාජය සූරාකෑම රහිත සමාජයක් බවට පත්කරන, පෞද්ගලික දේපළ සහිත සමාජයක් පොදු දේපළ සහිත සමාජයක් බවට පත්කරන සමාජ වෙනසකදී එනම් සමාජවාදී පරිවර්තනයකදී එය සිදුවන්නේ විප්ලවීය පරිවර්තනයක් ලෙස මිස ප්‍රතිසංස්කරණ මගින් ක්‍රමානුකූලව නොවේ.

යුරෝපා වැඩවසම් ක්‍රමය තුළ ධනවාදී දේපළ බිහිවී වැඩවසම් ක්‍රමය වෙනස්කර ධනවාදය නව සමාජයක් ලෙස කරළිගත වීමේදී විප්ලවීය නැගිටීම් මගින් (ප්‍රංශයේ මෙන්) සමහර රටවල එය සිදුවෙද්දී  එංගලන්තයේ එය සිදුවූයේ විටින් විට සිදුකළ ප්‍රබල ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කිහිපයක් මගිනි. එහෙත් එම ක්‍රමය එනම් ‘ප්‍රතිසංස්කරණ’ ධනවාදය පෙරළා සමාජවාදය බිහිකිරීමේදී රාජ්‍ය බලය ගැනීම සඳහා වලංගු වන්නේ නැත. මන්ද ධනවාදයත් සමාජවාදයත් ප්‍රතිවිරුද්ධ පංතීන් මත හා වෙනස් දේපළ ක්‍රම මත පදනම් වන නිසාය.

එමෙන්ම දේශපාලනයේදී බොහෝ විට ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වන්නේ ජනතාවගේ එදිනෙදා වුවමනාවන් වෙනුවෙන් කරනු ලබන ආර්ථික සහන වැනි ඉල්ලීම්වලට වඩා දේශපාලනමය ලෙස සිදුකරන වෙනස්කම්ය. එවැනි වෙනස්කම් සඳහා වන ඉල්ලීම්ය.

ප්‍රතිසංස්කරණ කා වෙනුවෙන්ද?

ආර්ථික, දේශපාලන හා සමාජ සංස්ථාවේ වෙනස්කම් සිදුකරන ප්‍රතිසංස්කරණ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන්කොට හඳුනාගත හැක. ඉන් එකක් වනුයේ පවතින ක්‍රමය රැකගැනීම සඳහා, එම ක්‍රමය පෙරළා දැමීමට උත්සාහ කරන බලවේග නොමග යැවීම හෝ ඔවුන් නිහඬ කරවීම අරමුණු කර ගනිමින් පාලක පංතිය විසින්ම සිදුකරන ප්‍රතිසංස්කරණය. එනම් පවතින සමාජ ක්‍රමය අර්බුදයට ගොස් ඊට බරපතළ අභියෝග එල්ලවූ විට පවතින ක්‍රමය ආරක්‍ෂාකර ගනිමින් ඊට එරෙහිව සටන්වදින පංති හෝ කණ්ඩායම් අස්වසාලීමේ, තාවකාලිකව සතුටු කිරීමේ අරමුණින් නිර්මාණය කරන ප්‍රතිසංස්කරණය. එබැවින් එම ප්‍රතිසංස්කරණ පාලක පංතියේ පංති වුවමනා වෙනුවෙන්  පාලක පංතිය විසින්ම ගෙන එන ඒවා වේ. මේ පිළිබඳ උදාහරණ රැසක් ඉතිහාසය තුළ තිබේ. ඉන් එකක් නම් 1905 වැඩවසම් රුසියාවේ සාර් පාලනයට එරෙහිව කම්කරු නැගිටීමක් සිදුවූ විට සාර් පාලනය රාජාණ්ඩුව තබා ගනිමින් ඩූමාව නම් පාර්ලිමේන්තු ක්‍රමයක් ලබා දීමය. 1905 ඇතිකළ එම දේශපාලන ප්‍රතිසංස්කරණය හෙවත් ධූමාව ඒ මොහොතේ ලෙනින් ඇතුළු බෝල්ෂෙවික්වරුන් විසින් වර්ජනය කරන ලදී. ඒ, ඒ මොහොතේ ධූමාව මගින් කම්කරුවන්ගේ අරගලය දුර්වල කරන නිසාය. එහෙත් පසුව වෙනස් තත්වයක් තුළ බෝල්ෂෙවික්වරුන් ඊට සහභාගි විය යුතු බවද ලෙනින් පැවසීය.

ඒ අනුව පවතින ක්‍රමය රැකගැනීම සඳහා පීඩිත පංති ජනතාවගේ ප්‍රබල අරගල යටපත් කොට ඔවුන් නොමග යැවීම සඳහා පාලක පංතීන් විසින්ම ඇති කරනු ලබන ප්‍රතිසංස්කරණවලදී වමේ ව්‍යාපාරයන් ඒ දෙස බැලිය යුත්තේ ජනතාවගේ  අරගලයේ පැත්තෙනි. ඒවා  පොදු ජන අරගලයට හානිකරන්නේ නම් ඒවා පිළිගැනීම හෝ ඒ මත විශ්වාසය තැබීම නොකළ යුතුය.

එසේම අනෙක් අතට පවතින සමාජ ක්‍රමයට එරෙහිව පීඩිත පංති විසින් කරනු ලබන අරගලයේදී පීඩිත පංතියට තම අරගලය පහසුකර ගැනීම සඳහා පංතිය සංවිධානය කිරීම පහසුකර ගැනීම සඳහා හා පාලක පංතියේ බලය දුර්වල කිරීම සඳහාද, ප්‍රතිසංස්කරණ යොදා ගත හැක. එවිට එම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ පීඩිත පංතීන්ගේ සංවිධාන විසින් හෝ සමාජය විසිනි. පාලක පංතීන් ඒවා බොහෝ විට ලබා නොදෙන අතර ලබා දෙන්නේ නම් එසේ කරන්නේත් නොකර බැරි තත්වයට පත් වූ විටය. සමහර විට පාලක පංති කණ්ඩායම් අතර ඇතිවන ප්‍රතිවිරෝධතා, බල කඳවුරු අතර ගැටුම් පාලක පංතියේ අර්බුද නිසා ඔවුන් දුර්වලවන අවස්ථාවලදී හා පාලක කණ්ඩායම්වල ආණ්ඩු බලය මාරුවන අවස්ථාවලදී තමන්ට හිතකර ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා වමේ ව්‍යාපාරයන් ඉදිරිපිට අවස්ථා මතුවන අතර, එවැනි අවස්ථා උපයෝගී කරගෙන තම පංති දේශපාලනය සඳහා වාසිදායක ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට වම සමත්විය යුතුය. වම එවැනි අවස්ථාවල අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම හා දිනා ගැනීම වරදක් නොවන අතර අත්‍යාවශ්‍යද වේ.

පොදු ජනතාවට ඡන්ද බලය ලබා ගැනීම, දේශපාලන පක්‍ෂ පිහිටුවා ගැනීම, වෘත්තීය සමිති පිහිටුවා ගැනීම වැනි සංවිධානය වීමේ අයිතිය දිනා ගැනීම, පාලක පංතියේ තනි ඒකාධිපති බලය තුලනය කරන වෙනස්කම් ඇතිකර ගැනීම, මර්දන නීති ඉවත්කර ගැනීම වැනි දේ එවැනි ප්‍රතිසංස්කරණවලට නිදසුන්ය.

ලංකාවේ මෙන්ම ලෝකය තුළද, සාමාන්‍ය වමේ පක්‍ෂ පමණක් නොව විප්ලවකාරී වමේ ව්‍යාපාර පවා එවැනි ප්‍රතිසංස්කරණ සඳහා සටන් කර තිබේ. එබැවින් සමාජ විප්ලවයක් සඳහා පංතිය සූදානම් කරන වමේ ව්‍යාපාර තම කාර්යට අවශ්‍ය කරන  මඟ පහසු කර ගැනීමට හේතුවන, පාලක පංතියේ බලය යම් තරමින් හෝ දුබල කිරීමට හේතුවන හා සමාජය, සමාජයක් ලෙස, වර්ධනය වීමට හා ජනතාවගේ දේශපාලන වර්ධනයට උදව්වෙන ප්‍රතිසංස්කරණ සඳහා සටන් කළ යුතු අතර, ඒවා දිනාගත යුතුද වේ. එහෙත් ඒ අතර ප්‍රතිසංස්කරණවාදයට නොවැටී සිටිය යුතු වේ.

ප්‍රතිසංස්කරණවාදය කුමක්ද?

ධනවාදය තුළ සමාජවාදී සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කටයුතු කරන වමේ ව්‍යාපාරයක් තම දේශපාලන අරමුණු වෙනුවෙන් හා සමාජයේ ඉදිරිගමන වෙනුවෙන් දේශපාලන ප්‍රතිංස්කරණ ඉල්ලා සිටිීම හා ඒවා දිනා ගැනීම කළ යුතු වුවද, නොකළ යුතු වන්නේ ප්‍රතිසංස්කරණවාදයට වැටීමය. ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංස්කරණවාදය යනු එකක් නොව දෙකකි. ප්‍රතිසංස්කරණ යනු කුමක්දැයි ඉහතදී අපි කතා කළෙමු. එසේ නම් ප්‍රතිසංස්කරණවාදය යනු කුමක්ද?

ප්‍රතිසංස්කරණවාදය යනු පවතින සමාජයේ රාජ්‍ය බලය වෙනස් නොකොට එහි ගැඹුරේ හා හරයේ වෙනස්කම් නොකොට විවිධ ප්‍රතිසංස්කරණ මගින් සමාජය වෙනස් කළ හැකිය හෝ යහපත් කළ හැකිය යනුවෙන් විශ්වාස කිරීමේ දේශපාලන ප්‍රවණතාවය වේ. උදාහරණයක් ලෙස ධනපති ක්‍රමය තුළ ධනපති රාජ්‍ය බලය වෙනස් නොකොට, නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ගැනීමෙන් තොරව ධනපති පංතිය අත රාජ්‍ය බලය පවතිද්දීම, ධනවාදයේ පුළුල් වෙනස්කම් ක්‍රමානුකූලව කළ හැකි යැයිද ඒ මගින් එකී සමාජයේ ගැඹුරු වෙනස්කම් කළ හැකි යැයිද කවුරුන් හෝ විශ්වාස කරන්නේ නම්, ඒ සඳහා විවිධ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඔහු ප්‍රතිසංස්කරණවාදයට වැටී තිබේ. ප්‍රතිසංස්කරණවාදය යනු සමාජ විප්ලවය සඳහා ප්‍රතිසංස්කරණ යොදා ගැනීම නොව ප්‍රතිසංස්කරණ පිළිබඳව විශ්වාස කොට ඒ වෙනුවෙන් සමාජ විප්ලවය අතහැර දැමීමය. සෝවියට් දේශයේ මුද්‍රිත “පංති සහ පංති අරගල යනු කුමක්ද?” නම් පොත් පිංචේ 156වැනි පිටුවේ මේ ගැන මෙසේ සඳහන් වේ.

“කෙසේ වුවද, පැරණි සමාජ ක්‍රමයේ නියමුවන් එම සමාජ ක්‍රමය ශක්තිමත් කිරීමට සහ එහි විනාශය මගහැරවීමට ප්‍රතිසංස්කරණ පාවිච්චි කරන හෙයින් විප්ලවවාදීන්ද ඒවා ප්‍රතික්‍ෂේප කළ යුතු බවක්, අදහස් නොවේ. කිසිදු ප්‍රතිසංස්කරණ දෙකක් එක සමාන නොවේ. ප්‍රතිසංස්කරණවාදීහු ප්‍රතිසංස්කරණ සහ විප්ලවය වෙන් කරන රේඛාවක් අඳිමින්, ප්‍රතිසංස්කරණම අවසාන අරමුණක් වශයෙන් සලකති. එසේ කිරීමෙන් ඔවුහු කම්කරුවන් ක්‍රියාකාරී අරගලයෙන් ඉවතට ඇද ගැනීමට සහ විප්ලවීය බලවේග භේද භින්න කිරීමට ප්‍රයත්න දරති. ඒ සමගම ධනවාදයේ කොන්දේසි තුළ ක්‍රියාකරමින් විප්ලවවාදීහු, ප්‍රතිසංස්කරණ විප්ලවයේ අතුරු නිෂ්පාදනයක් (ඵලයක්) ලෙස සලකති. ඔවුහු විප්ලවයේ උන්නතිය සඳහා ප්‍රතිසංස්කරණවලට ආධාර කරමින්, ප්‍රතිසංස්කරණ උදෙසා අරගලය, විප්ලවයේ සහ පංති අරගලයේ ප්‍රධාන ගැටලු විසඳීමට පාවිච්චි කරති.”

අන්තවාදය හා ලෙනින්

ප්‍රතිසංස්කරණවලින් වෙනස්කම් කළ හැකි බව සැබෑ නමුත් ඉන් ධනවාදී රාජ්‍ය බලයක පංති ස්වරූපය වෙනස් කළ නොහැක. ඒ නිසා රාජ්‍ය බලයේ පංති ස්වරූපය වෙනස් කරන සටනක් වෙනුවට, රාජ්‍ය බලය එලෙසම තිබියදී ඉන් මෙහා වෙනස් කම් (පංති වෙනස්කම් නොවේ.) කරන ප්‍රතිසංස්කරණ ආදේශ කළයුතු නැත. මේ ප්‍රශ්නයේදී දේශපාලනයේ අන්ත දෙකක් හමු වේ. ඉන් එකක් නම් ප්‍රතිසංස්කරණ මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන අතිවාමවාදී අවස්ථාවාදයේ අන්තය වන අතර, අනික විප්ලවය නොසලකා හරින ප්‍රතිසංස්කරණවාදයට වැටීමේ දක්‍ෂිණාංශික අවස්ථාවාදයේ අන්තය වේ. මේ දෙකම  එක ලෙස වැරදිය. වමේ ව්‍යාපාරයන් තම අරමුණු වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිය යුතු අතර, ඒ සඳහා යා හැකි දුරට සීමාවක් තිබෙන බවද, ඒ වෙනුවෙන් තම විප්ලවීය අරමුණු අත්හැර දැමිය නොහැකි බවද අවබෝධ කරගත යුතුය. මන්ද ඒ ප්‍රතිසංස්කරණ තුළ යා හැකි දුරේ සීමාවක් පවතින බැවිනි. එකී සීමා හඳුනා ගැනීමට වමේ ව්‍යාපාර සමත් විය යුතුය. කෙටියෙන් පවසන්නේ නම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පංති අරගලය අත්හැර දැමීම වරදක් වේ. ප්‍රසංස්කරණ වෙනුවෙන් පංතිය සංවිධානය කිරීම අත්හැරීම වරදක් වේ. පන්ති සටන විප්ලවීය අරගල බවට පත්ව නිර්ධන පංතියට බලය ගත හැකි තත්වයන් තුළ ඒ වෙනුවට ධනපති පංතිය ඉදිරිපත් කරන බැලූ බැල්මට ජයග්‍රහණය ලෙස පෙනෙන ප්‍රතිසංස්කරණ පිළිගැනීම දේශපාලන වරදක් වේ. එහෙත් පංති අරගලයේ වර්ධනය සඳහා පංතිය සංවිධානය කරගැනීමේ හා ජනතාවට දේශපාලන දැනුම ලබාදීමේ බාධා ඉවත්කොට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ යොදාගැනීම නිවැරදිය. ප්‍රතිසංස්කරණවලට යා හැකි දුරේ සීමාව එය වේ.

මෙම ප්‍රශ්නයේදී ලෙනින් ඉතාම නිරවුල් ලෙස වමේ දේශපාලන ස්ථාවරය ප්‍රකාශකර තිබේ. ලෙනින් මෙසේ පවසයි. “අපි ප්‍රතිසංස්කරණ සඳහා අරගලයට විරුද්ධ නොවෙමු. එහෙත් සමාජ විප්ලවය සඳහා වන අරගලය ප්‍රතිසංස්කරණ සඳහා වන අරගලයට යට කිරීමට හා ප්‍රතිසංස්කරණ සඳහා වන අරගලය වෙනුවෙන් සමාජ විප්ලවය සඳහා වන අරගලය අතහැර දැමීමට විරුද්ධ වෙමු.”

ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංස්කරණවාදය අතර වෙනස එයයි. මේ පිළිබඳව මාක්ස්වාදීන්ගේ ස්ථාවරය විය යුත්තේ එයයි.

විමර්ශන