පසුගාමීත්වය යනු….

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

විවිධ අවස්ථාවල අපි මේ පසුගාමීත්වය යන වචනය භාවිත කරනවා. උදාහරණ වශයෙන් ලංකාව පසුගාමී ධනපති රටක් ලෙස හඳුන්වනවා. ග්‍රාමීය ප්‍රදේශ මෙන් ම විවිධ සමාජ බලවේග විශේෂයෙන් ලංකාවේ කාන්තාවන්, ඇතැම් අවස්ථාවල ලංකාවේ කම්කරු පන්තිය, ගොවි ජනතාව හැඳින්වීමේ දීත් පසුගාමී නමැති වචනය විශේෂණයක් ලෙස යොදා ගන්නවා. මේ නිසා ම මේ පසුගාමී යන වචනය කුමක් ද යන්න දේශපාලනිකව හඳුනා ගත යුතු වෙනවා. ඒ, මේ වචනය වැරදි ලෙස යොදා ගැනීමට ඇති හැකියාව වැළැක්වීම සඳහායි.

පසුගාමී යන පදයට විරුද්ධ පදය ලෙස බොහෝ විට භාවිත වෙන්නේ පෙරගාමී, පෙරටුගාමී වැනි වචනයි. එයින් හැඟවෙන්නේ මෙය සාපේක්‍ෂ අර්ථයක් ඇති වචනයක් බවයි. දැන් අප තෝරා ගත යුතු වන්නේ එය සාපේක්‍ෂ වන්නේ කුමකට ද යන්නයි. මෙය වඩාත් පුළුල්ව තේරුම් ගත යුතු වෙනවා. සමාජය ඉදිරියට ගමන් කරමින් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ප‍්‍රාථමික සාමූහික සමාජයේ සිට විවිධ සමාජ ක්‍රම මෙන් ම සංවර්ධනයේ විවිධ අවධි පසු කරමින්, සිදු වන මෙම ක්‍රියාවලිය පොදුවේ සමාජ සංවර්ධනය ලෙස අප හඳුන්වනවා. මිනිස් සමාජය ප්‍රපංචයක් ලෙස ගත් විට මූලික ප්‍රතිවිරෝධය තිබෙන්නේ නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතා අතරයි. මෙම පාර්ශ්ව දෙකේ ගැටුම විසින් සමාජය ඉදිරියට යනවා. මෙම ක්‍රියාවලියේ දී අපට ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක පරිවර්තනයන් ද දැක ගැනීමට පුළුවන්.

ඒ වාගේ ම මෙම ක්‍රියාවලියේ දී සමාජයේ පැරැණි ස්වභාවය අභාවයට යාමෙන් අලූත් සබඳතා සහිත සමාජයක් බිහි වෙනවා. එලෙස බිහි වන අලූත් සමාජය ඒ මොහොතේ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය (මට්ටම) මත තීරණය වෙනවා. තව දුරටත් පුළුල්ව තේරුම් ගන්නවා නම්, නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයේ මට්ටමට සාපේක්‍ෂව සමාජය තුළ වන සියලූ ම බලවේග සහ මිනිස් සම්බන්ධතාවල මට්ටම සකස් වෙනවා.

නමුත්, මිනිස් සමාජය තුළ වන මෙම වර්ධනය මුළු ලෝකය පුරා ම එක විට සමගාමීව හා සමානව සිදු වන්නේ නැහැ. භූගෝලීය මෙන් ම තවත් බොහෝ සාධක හේතු කොට ගෙන ලෝකයේ එක් ප්‍රදේශයක නැත්නම්, එක් රටක සමාජ සංවර්ධනය සිදු වන විට තවත් ප්‍රදේශයක හෝ රටක සංවර්ධනය ඊට පිටුපසින් තිබෙන්න පුළුවන්. තවත් විදියකින් තේරුම් ගන්නවා නම්, නිෂ්පාදන බලවේගයන් ලොව පුරා ම එක විට හෝ සමාන ලෙස සංවර්ධනය වෙන්නේ නෑ. එවිට ලෝකය තුළ වේගයෙන් ඉදිරියට යන රටවල්, ජනතාවන් හා බලවේගයන් මෙන් ම ඊට සාපේක්‍ෂව හෙමින් ඉදිරියට යන හෝ එක තැන පල් වෙන (තාවකාලිකව) රටවල් හා ජනතාවන් පවතිනවා.

උදාහරණයක් ලෙස ලෝකයේ යුරෝපීය රටවල් ධනවාදයට යන විට වෙනත් කලාපවල බොහෝ රටවල් වැඩවසම් හෝ ඊටත් පහත් සමාජ අවධිවල පැවතුණා. අදටත් ගෝත්‍රික ලක්‍ෂණ පවා තිබෙන රටවල් තිබෙනවා. ඒවා වර්ධනය වෙන්නේ ඉතාමත් හෙමින්. මෙවැනි රටවල්වල සමස්ත සමාජ ක්‍රියාවලිය ම වේගයෙන් ඉදිරියට යන රටවලට සාපේක්‍ෂව බොහෝ පිටුපසින් තමයි, සිදු වන්නේ. ඒ අනුව එම රටවල් හෝ එහි ජනතාව හඳුන්වන විට පසුගාමී යන විශේෂණය යොදනවා.

මේ අනුව ඔබට පැහැදිලි ඇති සමාජ සංවර්ධනයේ දී එක පෙළට ගමන් නොකරන, දියුණු නොවී, වර්ධනය නොවී හෙමින් වර්ධනය වන, පිටුපසින් ගමන් කරන දේ අප පසුගාමී දේ ලෙස හඳුන්වනවා. කෙටියෙන් පැවසුවහොත්, සමාජ සංවර්ධනයේ දී පසුපසින් ගමන් කිරීම පසුගාමීත්වය ලෙස හඳුනා ගැනීමට අපට පුළුවන්.

ඒ අනුව යම් රටක හෝ ජනතාවකගේ පසුගාමීත්වය හෝ පෙරටුගාමීත්වය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ නිෂ්පාදන බලවේගවල ස්වභාවයයි. යම් රටක නිෂ්පාදන බලවේග වේගයෙන් සංවර්ධනය නොවී අනෙක් රටවලට පසුපසින් ගාටන විට එම සමාජයත්, එය තුළ වන බලවේගත් සාපේක්‍ෂව පසුගාමී වෙනවා. ඒ වාගේ ම එම සමාජයේ ජීවත් වන ජනතාවගේ ද්‍රව්‍යමය ජීවිතය (සමාජ සත්තාව) ද පසුගාමී වෙනවා. ඒ නිසා ම ඒ මත ගොඩනැඟෙන මානසිකත්වය නැත් නම්, සමාජ විඥානය ද පසුගාමී වීම වළක්වන්න බැහැ.

ලෝකයේ ඇතැම් රටවල් ඉදිරියෙන් ගමන් කරන විට සමහර රටවල් පසුගාමීව ගමන් කිරීම සමස්ත සංවර්ධනයට බාධාවක් වෙනවා. ධනවාදය තුළ පවා දියුණු හා පසුගාමී ලෙස රටවල් පැවැතීම තුළ පිළිබිඹු වන්නේ පන්ති සමාජයේ අසමාන සංවර්ධනයයි; සූරාකෑමයි. කෙසේ නමුත්, මෙම පසුගාමීත්වය පරාජය කළ හැකි වන්නේ ද නිෂ්පාදන බලවේග වඩාත් හොඳින් සංවර්ධනය වීම තුළින් ම නිසා නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයට බාධා කරන බලවේග ද පරාජය කළ යුතු වෙනවා. අවසාන වශයෙන් අප තේරුම් ගත යුතු වන්නේ ‘පසුගාමීත්වය’ යන්න සමාජ සංවර්ධනයේ ක්‍රියාවලිය තුළ ඊට සාපේක්‍ෂව තේරුම් ගත යුත්තක් බවයි.

විමර්ශන

 

 

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit