පරිසරය හා සමාජවාදය

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

පරිසරය සහ සමාජවාදය
මිනිසා සමාජීය සත්වයෙකි. නමුත්, ඔහු එයට පෙර ස්වභාව දහමට අයත් ජීවියෙකි. මිනිසා ස්වභාව දහමේ පාලනයෙන් මිදෙන්නට උත්සාහ ගත් තැන් සිට ඔහු එය ඉක්මවන සත්වයෙකි. පළමුව ස්වභාව දහම ඔහුගේ පරිසරය විය. එය නිර්මිත වන්නේ ස්වභාව දහමේ මූලධර්ම යන්ට එකඟ ව ය. ස්වභාව දහම තමන්ට නතු කර ගැනීමට මිනිසා ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු වටා තමා විසින් දැනුම්වත් ව තමන් උදෙසා නිර්මිත පරිසරයක් ද බිහි කර ගන්නා ලදි. ඒ අනුව මිනිසා තමන් වෙසෙන පරිසරය ස්වාභාවික සහ කෘතිම යන කොටස් දෙකෙන් සංයුක්ත ය. ඔහු විසින් නිර්මිත පරිසරය පවා යළි ස්වාභාවික තත්ත්වයන් වෙනස් කරමින් කර ගන්නා ලද ජෛව පරිසරයකින් ද සමන්විත ය. මේ අනුව මිනිසා තමන් ද අයත් පරිසරය හා ඉන් පිටස්තර ව සිටිමින් අරගලයක නිරත විය. සැබැවින් ම මිනිසාගේ ආරම්භක පැවැත්ම එයයි.
මිනිස් සමාජය බිහි වන්නේ පංති රහිත තත්ත්වයක් වශයෙන් ය. පංති රහිත ප්‍රාථමික සාමූහික සමාජය යැයි මිනිසා විසින් මුලින් ම පසු කළ සමාජ ආර්ථික ක්‍රමය තුළ මිනිසා සෘජු ලෙස ගැටුණේ පරිසරය සමඟ ය. නැතිනම් තමන් ද, තම පරිසරය ද අයත් ප්‍රකෘතිය සමඟ ය. මිනිසා තම පැවැත්ම අරමුණු කොට ගෙන ස්වාභාවික පරිසරයෙන් උපකරණ නිපදවන්නට උගත්තේ ය. ඒවා මඟින් තම සිරුරෙහි හැකියාව වර්ධනය කර ගන්නට විය. දණ්ඩ, මුගුර, ගින්න සහ ජලය වැනි ස්වාභාවික පරිසරයෙන් සොයා ගන්නා උපකරණයන් හා මාධ්‍යයන් ඉක්මවමින් ඔහු ස්වාභාවික පරිසරයේ පවතින දේවල් අවශ්‍ය දේවල් බවට දැනුම්වත් ව වෙනස් කළේ ය. දණ්ඩ පසුව හෙල්ල බවටත්, හෙල්ල ද ඉක්මවමින් දුන්න බවටත් පත් විය. තම අත දිගු කර ගැනීමේ මෙම ප්‍රාථමික පියවර අද දිග දුර මිසයිල දක්වා ඉදිරියට ගොස් ඇත. ජලය වැනි මාධ්‍යයන් හරහා තම සීමිත විශ්වය තරණය කරන්නට ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් ඔහු විශ්වයේ නො පෙනෙන ග්‍රහ වස්තු හඹා යන අභ්‍යාවකාශ තාක්ෂණය වර්ධනය කොට ගත්තේ ය. ගින්දර ස්වාභාවික මිතුරකුගේ තත්ත්වයෙන් එහාට ගොස් තම සේවකයෙකුගේ තත්ත්වයට පත් කොට ගත්තේ ය. ආලෝකය මැඬලීම, ආරක්ෂාව, ආහාර මෘදු කොට ගැනීම වැනි සරල කාර්යයන් ඉක්මවමින් ගින්දර ලෝහ උණු කොට වෙනත් උපකරණයන් සකස් කර ගන්නා තත්ත්වයට පත් කොට ගත්තේ ය. ගින්දර නිපදවා ගන්නා වියළි දඬු දෙකක් පිරිමදිනා ප්‍රාථමික ක්‍රමය වෙනුවට කම්බි දඟරයක් ඔස්සේ විද්‍යුතය යවමින් ගින්දර නිම වන්නට උගත්තේ ය. මෙය නිෂ්පාදනය නම් වේ.
මේ ආකාරයෙන් මිනිසා තම පරිසරයෙන් සොයා ගන්නා ලද උපකරණ හා මාධ්‍යයන් යළි තම අවශ්‍යතා වෙනුවෙන් දැනුම්වත් ව වෙනස් කරමින්, තම පරිසරයේ නිර්මාණකරුවා බවට පත් විය. ප්‍රාථමික සාමූහික සමාජය පංති සමාජයක් බවට පත් තැන් සිට නිෂ්පාදන මාධ්‍ය හිමිකාරිත්වය සාමූහික බවින් මිදිණ. ඒවා බලය සහිත පංති සතු විය. ඉන් නිෂ්පාදන මාධ්‍ය අහිමි එහෙත් ශ‍්‍රමය පමණක් හිමි පංතියක් ද බිහි විය. නිෂ්පාදන මාධ්‍යයන් හා උපකරණයන් හිමි පංතීන් විසින් ඒවා අහිමි ශ්‍රමික පංතින් යොදවමින් නිෂ්පාදනයේ පුළුල් මෙහෙයුමක යෙදෙන්නට විය. නිෂ්පාදනයේ අරමුණ මිනිස් සමාජ පැවැත්ම වඩාත් යහපත් කිරීම වෙනුවට සුළුතරයක් වන පීඩක පංතීන්ගේ සුඛවිහරණය උදෙසා කෙරෙන භාවිතයක් බවට පත් විය. එතැන් පටන් අසීමිත අතිරික්ත වටිනාකම් නිපදවීමේ උමතුවෙන් යුතුව නිෂ්පාදනය පාවිච්චි වන්නට විය. වහල් හෝ ආසියාතික සමාජයන් වෙනස් වෙමින් වැඩවසම් සමාජය පසු කොට මිනිසා එළඹෙන්නේ පවතින ධනේශ්වර ආර්ථික ක්‍රමයටයි. එය ඉතා විවෘත හා කෲර සූරාකෑමක් හා උමතු අතිරික්ත වටිනාකම් රැස් කිරීමක් බවට පත් විය. මේ තත්ත්වය තුළ බහුජාතික සමාගම් විසින් මිනිසා වෙසෙන පරිසරය හා ප්‍රාථමික සාමූහික සමාජය අතර පැවති සතුරු නොවන අරගලය අතිශය සතුරු ගැටුමක් බවට පත් කරන ලදී. එය විසින් පෙරළා පරිසරය දක්වන බියකරු ප‍්‍රතිචාරයන් මිනිස් සමාජයට අතිශය අනතුරුදායක හා විනාශකාරී වී ඇත.
විවිධ පරිසරවේදීන් සහ පරිසර සංවිධානයන් පවතින සමාජ අර්ථික ක්‍රමය තුළ ම පවතිමින් පරිසරය හා පංති සමාජය අතර වන සතුරු ගැටුම සමහන් කරන්නට නිරර්ථක උත්සාහයක යෙදුණ ද, පරිසරය යන්න බහුජාතික සමාගම්වල ඒකාධිකාරී බලයට නතු කොටගෙන සිටීම වැළැක්විය නොහැකිව අසරණව ඇත. මෙම තත්ත්වය දිගින් දිගට ම පැවැත්ම යනු මිනිසා බියකරු අවදානමක හෙළීමක් ය. එය පරාජය කළ හැක්කේ සමාජවාදය තුළ ය.
සමාජවාදය යනු පංති අහෝසි කරමින් පවතින තත්ත්වයකි. එහි අවසන පංති රහිත සමාජයක් බිහි වේ. පංති රහිත අර්ථයෙන් එය ප්‍රාථමික සාමූහික සමාජයට සමාන වුව ද, නිෂ්පාදන මාධ්‍යයන් හා උපකරණයන්ගේ දියුණුව හා නිෂ්පාදන හිමිකමෙහි සාමුහික බව විසින් එය ප‍්‍රථමික සාමුහික සමාජයට වඩා අතිමහත් දැවැන්ත ඉදිරියකින් යුක්ත ය. පළමුව සමාජවාදී නිෂ්පාදනය සැලැසුම් සහගත ය. නිෂ්පාදනය යන්න ලාභය සඳහා නොව මානව වර්ගයාගේ පැවැත්ම සහ පහසුව සඳහා වන්නක් බැවින් එහි කෲර බව සහ වියරු බව ඉවත් වේ. එතැන් සිට නිෂ්පාදනය යන්නට තම පරිසරය සුරක්ෂිත කිරීම ද අයත් වේ. සැලසුම් සහගත ආර්ථිකයක් වන සමාජවාදයේ දී පරිසරය සුරැකීම හා වර්ධනය යන්න ද එම සැලැස්මට ම අයත් ය.
ගම සහ නගරය අතර වන විෂමතාවය පරදවන සමාජවාදී සැලැස්ම ගමෙන් ඉවත් කරනුයේ පසුගාමීත්වය සහ දරිද්‍රතාවයි. අසරණභාවයයි. විෂමතාවයේ කෲර පීඩනයයි. එනිසා ධනවාදී නාගරීකරණයෙන් මිනිසා ස්වාභාවික පරිසරයෙන් තොර ව ගොඩනඟන ලද කොන්ක්‍රීට් වනාන්තර වෙනුවට ස්වාභාවික පරිසරය මැද නිම වන නගර ඉදි කරනු ලබයි. එසේ ම ගම්වල නොවන පහසුකම් හා විද්‍යුත්කරණය වැනි අංගයන් ව්‍යාප්ත කරයි. එහි දී ස්වාභාවික පරිසරයට අත තබන්නේ නැත. ගම ද නගරය ද යන්න ඉවත්ව ස්වාභාවික පරිසරය මැද මිනිසා උදෙසා ලෝකයක් නිර්මාණය කරයි. එහෙත්, යළි මිනිසා වනාන්තර ගත කර ම්ලේච්ඡයෙක් කරන්නේ නැත.
එමෙන්ම මිනිස් සමාජය පෘථිවිය තුළට සීමා නො කර විශ්වයේ තම ඉඩකඩ සොයා යන දියුණු අවධියක් කොමියුනිස්ට් සමාජය තුළ දැකගන්නට හැකි ය. හිතකර ග්‍රහලෝකවල පදිංචි වන මිනිසා අහිතකර ග්‍රහලෝක හිතකර තත්ත්ව යන්ට පත් කරවන්නට පවා තරම් සමත් වනු ඇත. එනිසා මිනිසා සහ ප්‍රකෘතිය අතර වන අරගලය සතුරු නොවන එකිනෙකා පෝෂණය කරන එකක් බවට පත් වනු ඇත. ඒ අනුව මිනිසා ග්‍රහයන්ට යටත් පහත් සත්වයෙකු නොව ග්‍රහයන් ද හසුරුවන්නකු බවට තම පරිසරය ජය ගන්නා දැවැන්තයකු බවට පත් වනු ඇත. පවතින විද්‍යා දැනුම හා තාක්ෂණය පවා පෞද්ගලික දේපළ අර්ථයෙන් මිදෙන්නේ නම් එය ද මිනිසා දැවැන්ත තත්ත්වයකට ඔසවා තබන්නට ප්‍රමාණවත් ය. එනිසා අනාගත කොමියුනිස්ට් දැනුම හා තාක්ෂණය ද සමාජ සම්බන්ධතාවයද මානව වර්ගයා දැවැන්ත පරිසර හිතකාමී ජයග්‍රහණයන්ට ගෙන යාම පිළිබඳ සැකයක් තිබිය නොහැකි ය.
ඩී.එච්. වික‍්‍රමසිංහ

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit