ධනවාදය තුළ ‘පවුල’

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

නූතන ධනවාදය මේ වනවිට පූර්ව ධනවාදී ලක්‍ෂණ හා බැඳීම් සියල්ල පුපුරුවා හරිමින් සියලු ස්ත්‍රීන් හා පුරුෂයන් ශ්‍රම වෙළඳපොළට කැඳවා තිබේ. ශ්‍රම වෙළඳපොළේ විකිණීම සඳහා අධ්‍යාපනයද අත්‍යාවශ්‍ය බැවින් සියලු තරුණ තරුණියන් අධ්‍යාපන කඩ හෙවත් ටියුෂන් පංති වෙතද කැඳවා තිබේ. එබැවින් දැන් අතීතයට වඩා ප්‍රේම සබඳතා මත සිදුවන විවාහයන් වැඩිවීද තිබේ. එහෙත් ඉන් කියවෙන්නේ ධනපති පවුල අර්බුදයකට මුහුණපා නැතැයි යන්න හෝ ධනවාදී පවුලේ අර්බුදය විසඳී ඇතැයි යන්න නොවේ.


ධනවාදය තුළ අතීතයේදී විවාහයන් සිදුවූයේ, දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ පූර්ණ මැදිහත්වීම තුළය. ඉඳහිට ‘හඳපානේ පැනයාම්’ තිබුණද බහුතර විවාහයන් සිදුකර දෙනු ලැබුවේ දෙමාපියන් විසිනි. එවිට ආදරය හෝ ආධ්‍යාත්මික බැඳීම් ද්වීතියික විය. ඒ අතරම වැඩිහිටියන්ගේ මැදිහත්වීමත් සමාජ සම්ප්‍රදායනුත් සමාජ ආකල්පත් නිසා එවැනි පවුල් බොහෝ විට දික්කසාදයෙන් කෙළවර වූයේද නැත. එහෙත් ඉන් කියවෙන්නේ එම පවුල ඉතාම හොඳ ‘ශුද්ධ වූ පවුලක්’ වූ බවද නොවේ. ඒ තුළ බොහෝ විට ස්ත්‍රිය සිය පීඩාව දරා සිටි අතර එය ඇගේ ඉරණම ලෙස සලකා ඊට අවනත විය.

යෝජිත විවාහයේ අරමුණු


මෑත අතීතයේ විශාල වශයෙන් පැවති දැන් පවා පවතින යෝජිත විවාහයන්ගේ අරමුණ වූයේ, දෙදෙනෙකුගේ අධ්‍යාත්මික බැඳීම් මත නිදහස් පවුලක් ගොඩනැගීම නොව මහ පවුලේ වුවමනාවන් ඉටුකර ගැනීමකි. අපේ සමාජයේ ගෙදරකට තරුණියක් ‘බරක්’ විය. එබැවින් දියණියක් දීග දීම යනු බරකින් නිදහස් වීමකි. ඇයට රැකවරණය ඇති ආර්ථිකමය ශක්තිය ඇති තැනකට දියණිය දීග දීම දෙමාපියන්ගේ වුවමනාව විය. එබැවින් තම දියණියට මනාලයෙක් සොයන දෙමාපියන් ඒ සඳහා සෙවූයේ උගත්, රැකියාවක් හෝ දේපළ ඇති (යුරෝපීය ඇඳුම් අඳින) සුරා සූදුවෙන් තොර අයෙකි. ඒ අතර තම පුතුට මනාලියක් සොයන අයද ඒ සඳහා සෙවූයේ ගේදොර වැඩකටයුතු කළ හැකි, දායාද හිමි, උගත්, රූමත් තරුණියකි. සතිපතා පුවත්පත්වල පළවන මංගල දැන්වීම් දෙස බලනවිට මෙම සත්‍යය හොඳින් පැහැදිලි වේ. මෙම මංගල දැන්වීම් හා උසස් වර්ගයේ බලු පැටවුන් විකිණීම සඳහා පළකරන දැන්වීම් අතර විශාල වෙනසක්ද දැකිය හැකි නොවේ. තත්වය මෙලෙස වූ විට ධනේශ්වර පවුලේ පදනම දේපළ හා වටිනාකම් නොවේ යයි තර්ක කළ හැක්කේ කාටද? පැහැදිලිවම එය දේපළ හා වටිනාකම් මත පදනම්වූ පවුලක් විය. දේපළවලට දේපළත් සමාජ තත්වයන්ට සමාජ තත්වයනුත් එක් කිරීම අරමුණු කරගත්තක් විය.යෝජිත විවාහයකදී දෙරකට බිරිඳක් ගෙන ඒම යනු ළමයි හදන, උයන පිහන, ගෙදර දොරේ වැඩ කරන, රෙදි සෝදන මැෂිමක් ගෙන ඒමකට සමාන නොවූයේ නම් ඒ බිරිඳ පණ ඇති සත්වයෙක් වීම නිසාය. ඒ තුළ බොහෝ විට ගැහැනියකට සිදුවූයේ සියලු කරදර දරාගෙන ළමයි නිසා ඉවසාගෙන ජීවත්වීමටය. මෙය පොදු තත්වය විය.

ප්‍රේමය හා විවාහය

මේ වනවිට ඉහත තත්වය තරමක් වෙනස් වී ප්‍රේම සම්බන්ධතා මත සිදුවන විවාහයන් වැඩිවී තිබේ. එය ඉදිරිගාමී ප්‍රවණතාවයකි. එහෙත් එම ප්‍රේම සබඳතා වුවද ධනේශ්වර ආකල්ප හා දේපළ සබඳතාවයන්ගෙන් මුළුමනින්ම වියුක්තවී නැත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ දික්කසාද වීම් වැඩිවීමය. නඩත්තු නඩු වැඩිවීමය. අනියම් සබඳතා ඉහළ යාමය. මිනිසුන් ආත්මාර්ථකාමීන් බවට පත්කර තිබෙන සමාජයක් තුළ මෙය බොහෝ විට පුදුමයක්ද නොවේ. ගැඹුරු අධ්‍යාත්මික බැඳීමකින් තොව සරල බාහිර වටිනාකම් මත ගොඩනැගෙන ‘ආදරය’ එම සරල වටිනාකම් බිඳවැටෙන විටම බිඳවැටේ. මේ සරල පවුල අස්ථාවර එකක් බවටද පත්ව තිබේ. පවුලේ ප්‍රතිවිරෝධයන් විවිධ සමාජ විරෝධී ක්‍රියා හා අපරාධ හරහා ප්‍රකාශයටද පත්වේ. සිය අනියම් බිරිඳ සමඟ එක්ව තම බිරිඳ මරා දැමීම පිළිබඳ, තම අනියම් සැමියා සමඟ එක්ව සැමියා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්ති කොතෙක් අප දකිමින් සිටිමුද? ඉන් කියවෙන්නේ කුමක්ද? ධනවාදය තුළ පවුල මුහුණදී ඇති ඛේදවාචකය නොවේද? මේ අප දන්නා දේය. එහෙත් සමාජ සම්මතයන්ට හා සදාචාරයන්ට ඇති බිය නිසා, දරුවන් හා ඇති බැඳීම් නිසා, ලෝක අපවාදයන්ට මුහුණදීමට නොහැකි නිසා පීඩාවන් දරාගෙන ගැටුම් මැද පවතින පවුල් ප්‍රමාණය කොතෙක්ද? නූතන පවුල මුහුණදී සිටින සත්‍ය තත්වය එයයි. මෙලෙස නොවන පවුල් විශේෂයෙන්ම පීඩිත පංති පවුල් තිබිය හැකි වුවත් එය විශේෂයන් මිස පොදු දේ නොවේ.

ධනවාදයේ අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස


නූතන පවුලේ අර්බුදය මගින් මේ ප්‍රකාශ වන්නේ, අන් කිසිවක් නොව ධනවාදයේ ප්‍රතිවිරෝධය හා අර්බුදයයි. ලාභ ලැබීම සිය එකම අරමුණ බවට පත්කරගෙන සිටින, ඒ වෙනුවෙන් සියල්ලටම මිල නියම කරන, මූල්‍යමය වටිනාකම් මගින් සියල්ල දෙස බැලීමට පෙළඹවා තිබෙන ධනවාදය නරුම සමාජයක් නිර්මාණය කර තිබේ. එකී ධනවාදය තුළ ආදරය ඇතුළු සියලු මිනිස් සබඳතා “ආත්මාර්ථකාමී ගණන් බැලීම් නැමති අයිස් වතුරේ ගිල්වා දමා” තිබෙන විට ඒ තුළ “ශුද්ධ වූ සියල්ල කෙලෙසා” තිබෙන විට පවුල පමණක් ශුද්ධත්වයට පත්විය හැකි නොවේ. ‘පිවිතුරු ආදරය’ නවකතා පොත්වලට, චිත්‍රපටවලට පමණක් සීමාවන දෙයක් වීම පුදුමයක් නොවේ. මෙලෙස ධනවාදයේ සියලු දුර්ගුණයන් පවුල තුළින්ද ප්‍රකාශයට පත්වේ. සත්‍යය එයයි. මිනිසෙක් තවත් මිනිසෙක් දෙස බලන්නේ මනුෂ්‍යත්වය පදනම් කොට නොවේ නම්, සමාජයේ වටිනාකම් ලෙස සලකන්නේ මිනිස් ගතිවලට වඩා දේපළ, ප්‍රසිද්ධිය, රූප සොබාව, වැනි කරුණු නම් එවැනි සමාජයක ආදරය පවා එම මිනුම් දඬුවලින් නිදහස් නැත. ආදරය යනු යමක් පෞද්ගලිකව අත්පත්කර ගැනීමේ මනෝභාවයක් වූ විට එය “ආදරය” වන්නේ නැත. පෞද්ගලිකව තමන්ට අවශ්‍ය දේ අත්පත්කර ගැනීමට ඇති ආශාව ආදරය ලෙස වරදවා සලකන සමාජයක තමන්ට අකමැතිවූ පෙම්වතියට ඇසිඩ් ගහන, පිහියෙන් ඇන මරන ඊනියා පෙම්වතුන් හිඟ වන්නේ නැත. එම ඊනියා ආදරය පදනම්කරගත් පවුල් සාර්ථක පවුල් වන්නේ නැත. එබැවින් ධනවාදය තුළ වත්මන් පවුලේ අර්බුදයට විසඳුමක්ද නැත. ඒ සඳහා ධනවාදී සබඳතාවයන්ගේ වෙනසක් අවශ්‍ය වේ.

යථාර්ථයට බිය වන්නෝ

මෙම ගැටලුවේදී පවුල පිළිබඳ පවතින මෙම යථාර්ථය පිළිගැනීමට සමහරු සූදානම් නැති බවක්ද දැකිය හැක. තමන් දිනපතා මුහුණ දෙන සත්‍යය පිළිගැනීමට සමහරු අකැමැති වන්නේ එය තමන්ටද ගැලපේ යැයි සිතන නිසා විය හැක. එහෙත් එක් එක් පුද්ගලයාගේ හුදකලා අත්දැකීම් පසෙක තබා පොදුවේ බලන විට පවුලේ මෙම ඛේදවාචකය කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැක. මෙය ස්ත්‍රීන්ගේ හෝ පුරුෂයන්ගේ පෞද්ගලික දුර්ගුණයක් ලෙස වටහා නොගත යුතු අතර නූතන පවුල බිහිවූ හේතුව විසිනුත් වත්මන් සමාජ ක්‍රමයේ දේපළ හා සමාජ සබඳතා විසිනුත් ඇති කරනු ලබන තත්වයකි.


නූතන ඒකභාර්යා ව්‍රතය සහිත පවුලේ සත්‍යය පැහැදිලි කරන විට, ඊනියා සදාචාරයේ ‘අවි’ අතට ගන්නන් විසින් කෝපයෙන් අපට දෝෂාරෝපණය කරන්නට පුළුවන. එහෙත් මෙය එංගල්ස්ගේ හෝ මාක්ස්වාදීන්ගේ සදාචාර විරෝධී උපකල්පනයක් නොව මිනිසා වසර දහස් ගණනක් තිස්සේ අත්දකින අදද පවතින සත්‍යයකි. ඈත අතීතයේ පැවති අවිචාරවත් ලිංගික සබඳතා නූතන සදාචාරයේ කෝව තුළ බහා තේරුම් ගැනීම මුග්ධකමකි. එසේම එය සත්‍යයට බිය වීමකි. ඊනියා සදාචාරවාදීන්ට පිළිතුරු දිය නොහැකි ගැටලු රැසක් වත්මන් පවුල හා තවමත් බැඳී පවතින බව පැහැදිලිය. අසල්වැසි ඉන්දියාවේ අද පවා පවතින ළමා විවාහ පිළිබඳ සදාචාරවාදීන්ට පැවසිය හැක්කේ කුමක්ද? ගැහැනු ළමයෙක් ඉපදී කෙටි කලකින්ම ඇගේ අවබෝධයෙන් තොරව ඇයගේ විවාහය දෙමාපියන් විසින් තීරණය කිරීමේ සම්ප්‍රදාය ගැනත්, කුඩා ගැහැනු ළමුන් තමන්ගේ පියා වැනි වයසක අයට විවාහ කරදීම් ගැනත්, එවැනි විවාහ පිටුපස මූල්‍යමය ගනුදෙනු පැවතීම පිළිබඳවත් ඊනියා සදාචාරවාදීන් පවසන්නේ කුමක්ද? ඒවා නොතිබිය යුතු එහෙත් නූතන පවුල හා බැඳී ඇති දේවල්ය.


ඉන්දියාවේම පැවති ස්වාමියා මළ විට බිරිඳ ඔහුගේ දර සෑයට පැන දිවි තොරකර ගැනීමේ ‘සති පූජාව’ සභ්‍ය සමාජයට නොගැලපෙන එකකි. සැබවින්ම මෙහිදී සිදුවන්නේ බිරිඳ කැමැත්තෙන් දර සෑයට පැනීම නොව පුරුෂයාගේ ඥාතීන් විසින් ඒ සඳහා ඇයට බලකිරීම හා බොහෝ විට ඇය බලෙන් දර සෑයට ඇද දැමීමය. එම ම්ලේච්ඡ සම්ප්‍රාදයද බැඳී ඇත්තේ පවුල සමඟය. පකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා සමහර මැදපෙරදිග රටවල පවුලේ කැමැත්තට පිටින් විවාහ වූ විට පවුලේ ඥාතීන් එකතුවී එසේ විවාහ වූවන්ට පහරදී මරා දැමීම සුලබ දසුනක්ව තිබේ. එම ම්ලේච්ඡ ක්‍රියාවද නූතන පවුල හා සමාජය සම්ප්‍රදායන් සමඟ බැඳී තිබේ. වෙනත් පිරිමින්ට පෙනීමට ඉඩ නොතබා බිරිඳගේ හිස සිට දෙපතුල දක්වා ඇඳුමකින් වසා ඇය සඳළුතලයක සිරකාරියක් බවට පත්කර ඇති අවස්ථාවලදී මෙන්ම මුදල් කීයක් හෝ සොයා ගැනීමට තම බිරිඳ ගණිකා වෘත්තියේ යොදවන අවස්ථාවලදීද අප දකින්නේ පවුලේ අර්බුදය මිස අන් යමක් නොවේ.


නූතන පවුල විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතාවයක් සහිතව පවතින බවත් එය අර්බුදයකට මුහුණ දී තිබෙන බවත් පැවසීමෙන් අදහස් වන්නේ ‘පවුල’ පොදු වශයෙන් අහෝසිකර දැමිය යුතු බවක් හෝ අවිචාරවත් ලිංගික සබඳතා පැවැති අතීතයට ආපසු යා යුතු බවක් නොවේ. වත්මන් පවුල සැබෑ පවුලක් දක්වා උසස් කරලීමට අවශ්‍ය බවය. නීතියේ යදමින් බැඳුණු පවුලක් වෙනුවට ආදරයේ රන් හුයෙන් බැඳුණු පවුලක්, පිරිමියා විසින් ස්ත්‍රිය යටත්කරගත් හෝ ස්ත්‍රිය විසින් පිරිමියා යටත් කිරීමට වෙර දරන පවුලක් වෙනුවට ස්ත්‍රී, පුරුෂ සමානතාවය මත ගොඩනැගුණු පවුලක්, ලෝක අපවාදයන්ට මුහුණ දීමට බිය නිසා රණ්ඩුසරුවල් මැද පවතින පවුලක් වෙනුවට, සමගිය හා සහයෝගය සැබෑ ලෙසම ඇති එකිනෙකාට ගරු කරන පවුලක් සමාජයට අවශ්‍යයය.

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit