ධනවාදය ගිනියම් කරන ගෝලීය උණුසුම

CAN SOCIALISM SAVE THE PLANET?
March 12, 2017
WOULD A COMMUNIST SOCIETY PROTECT THE ENVIRONMENT?
March 12, 2017
Show all

ධනවාදය ගිනියම් කරන ගෝලීය උණුසුම

වත්මන් මොහොත වනවිට ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයන්ගෙන් මුළුමහත් ලෝකයම උණුසුම් වෙමින් තිබේ. 2008 සැප්තැම්බර් මාසයේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇරඹුණු ආර්ථික අර්බුදය, මේවන විට බොහෝ ධනපති රටවල් දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වීමත් වත්මන් මොහොත වනවිටත් එය මුළුමහත් යුරෝපයම නව වටයකින් උණුසුම් කරමින් තිබෙන බවත් පිළිගත යුතු සත්‍යයකි. විරැකියාව, වැටුප් කප්පාදුව, රැකියා අහිමි වීම, සාගතය වැනි පැතිකඩයන් හරහා මෙම අර්බුදයේ පරාවර්තනයන් වඩාත් සංවේදීව දැනෙන නමුත් සමස්ත මානව සංහතියේම පැවැත්ම අභියෝගයට ලක්කරමින් පැන නැගී ඇති පාරිසරික ප‍්‍රශ්න බොහෝවිට සමාජ අවධානයෙන් දුරස්ව පවතී.

ධනපති ක‍්‍රමයේ ජාති ලක්‍ෂණයක් වන ලාභය සඳහා නිෂ්පාදනය කිරීමත් (විශේෂයෙන් පොසිල ඉන්ධන දහනය හා කාර්මික නිෂ්පාදන) ඒ සඳහා වන අනවරත තරගයත් විසින්, මානව සංහතියේ අනාගත පැවැත්ම මේවන විට බරපතළ අනතුරකට ඇද දමන පාරිසරික ගැටලූ ගණනාවකට මුළුමහත් පෘථිවි ගෝලයම ලක්කර තිබේ. පසුගිය කාලපරිච්ඡේදය පුරාවටම ඇතිවූ ස්වාභාවික විපත් ගණනාවකට වූ හේතුන්ගෙන් වැඩි ප‍්‍රතිශතයක් උරුමකර ඇත්තේ, අර්බුදයට ගිය ධනපති ක‍්‍රමයේම ජාති ලක්‍ෂණ විසිනි. අත්ලාන්තික් ඉතිහාසයේ විශාලතම චණ්ඩ මාරුතය වන සැන්ඩි සුළි කුණාටුව, ඇමරිකා එක්සත් ජනපදය හරහා හමා යමින් ඇතිකළ දේපළ හා ජීවිත හානිය මීට ආසන්නතම උදාහරණය වේ.

-ගෝලීය උණුසුම ඉහළ යෑම-

පසුගිය දින කටාර් රාජ්‍යයේ ඩෝහා නගරයේ පැවැත්වූ ජගත් පරිසර සමුළුවේදී ප‍්‍රකාශනය කරනු ලැබුවේ 2012 වසරේදී ගෝලීය උණසුම වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් ඇති බවය. මීට මාස කීපයකට පෙර ඇමරිකානු එක්සත් ජනපදයට, යුරෝපයට හා රුසියාවට බලපෑ දරුණු නියඟ එහි ප‍්‍රතිඵල බවද තවදුරටත් එම සමුළුව විසින් අනාවරණය කරනු ලැබීය. ගෝලීය උණුසුම ඉහළ යෑමේ සෘජු ප‍්‍රතිඵලයක් ලෙස මේවන විට ග‍්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දිය වීමට පටන්ගෙන ඇති බවත් ඇන්ටාටිකාවෙන් කැඞී වෙන් වී ඇති අයිස් තට්ටුව ඇමරිකා එක්සත් ජනපදය තරම් විශාල එකක් බවද, එය වර්ග කිලෝමීටර මිලියන 11.83 ක වර්ගඵලයකින් යුත් අතිවිශාල එකක් බවත් ජගත් කාලගුණ විද්‍යා සංවිධානය ඉදිරිපත් කළ වාර්තාව පෙන්වා දෙයි. මෙම සමුළුවට සහභාගී වී සිටි ජගත් කාලගුණ විද්‍යා සංවිධානයේ මහ ලේකම් මයිකල් ජුරාඞ් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඇමරිකාවට කඩා වැදුණු සැන්ඩි සුළි කුණාටුව මෙම ගෝලීය උණුසුම ඉහළ යාමේ ප‍්‍රතිඵලයක් බවත් කියෝතෝ ප‍්‍රඥප්තියට අනුව ගෝලීය උණුසුම පිටු දැකීමට මානව වර්ගයා කටයුතු කළේනම් මෙවැනි ව්‍යසනයන්ට මානව වර්ගයාට මුහුණදීමට සිදු නොවන බවත් දැන් ආපසු හැරීමට ප‍්‍රමාද වැඩි බවත්ය.

-ගෝලීය උණුසුම ඉහළ යන්නේ ඇයි?-

සූර්යයාගේ සිට පෘථිවිය කරා ළඟා වන සුර්ය කිරණ (විශේෂයෙන් අධෝරක්ත කිරණ) පෘථිවි පෘෂ්ඨය මත පතිත වන අතර, එහි අඩංගු තාපය පෘථිවි පෘෂ්ඨය මගින් උරාගනී. නමුත් එසේ උරාගන්නා තාපයෙන් වැඩි ප‍්‍රතිශතයක් නැවත වායු ගෝලය වෙත පරාවර්තනය කෙරේ. එසේ වායු ගෝලයට පරාවර්තනය වන තාපය, වායු ගෝලයේ ඇති හරිතාගාර වායුන් (H2O ( g) – ජලවාෂ්ප, CO2 – කාබන්ඩයොක්සයිඞ්, CH4 – මීතේන්, N2O – නයිට‍්‍රස් ඔක්සයිඞ්, O3 – ඕසෝන්) මගින් අවශෝෂණය කර නැවත පෘථිවි පෘෂ්ඨය වෙත මුදාහරී. මිහිතලයේ උණුසුම පවත්වා ගනු ලබන්නේ මෙම ස්වභාවික ක‍්‍රියාවලිය විසිනි. හරිතාගාර ආචරණය නමින් හඳුන්වන්නේද මෙම ස්වභාවික ක‍්‍රියාවලියයි. මෙම හරිතාගාර ආචරණ ක‍්‍රියාවලියට ඉහත සඳහන් කළ මූලික හරිතාගාර වායූන්ට අමතරව, CF4 – ටෙට‍්‍රෆ්ලූවොරෝ මෙතේන්, C2F6 – හෙක්සාෆ්ලූවොරෝ එතේන් SF6 – සල්ෆර් හෙක්සාෆ්ලූවොරයිඞ්, HFC – හයිඩ්‍රොෆ්ලූවොරො කාබන්, PFC – පර්ෆ්ලූවොරොකාබන් වැනි සංයෝගද දායකවෙති.
මූලික හරිතාගාර වායුන් හරිතාගාර ආචරණය කෙරෙහි දක්වන දායකත්වය (විකිපීඩියා විශ්වකෝෂයට අනුව)

මෙම ස්වාභාවික ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස පෘථිවිය මතුපිට පවතින සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම ගෝලීය උණුසුම ඉහළ යාම ලෙස හඳුනාගනු ලබයි. ඒ සඳහා බලපාන මූලිකම හේතුව ලෙස අනාවරණය කරගෙන ඇත්තේ, වායුගෝලයේ පවතින මෙම හරිතාගාර වායුන්ගේ සංයුතිය ඉහළ යාමයි. මිනිස් ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස වනාන්තර විශාල වශයෙන් හෙළිපෙහෙළි කිරීම හා CO2 වායුව ඇතුළු හරිතාගාර වායුන් විශාල වශයෙන් වායු ගෝලයට මුදාහැරීම මගින් එහි සංයුතිය වැඩි වී මෙම සමතුලිතතාවය බිඳවැටී තිබේ. 16 වැනි සියවසෙන් ඇරඹි ධනේෂ්වර විප්ලවයන්ගේ පැන නැගීමත්, කාර්මිකකරණයේ වර්ධනයත් විසින් පොසිල ඉන්ධන දහනය සීඝ‍්‍රයෙන් වර්ධනය විය. මෙමගින් මිනිස් ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස වායුගෝලීය සමතුලිතතාවය බිඳ වැටීමේ ගුණාත්මක වෙනසක් ඇති කරනු ලැබීය.

ස්වභාවික ක‍්‍රියාවලිය මගින් වායුගෝලයට මුදාහරින CO2 ප‍්‍රමාණය මිනිස් ක‍්‍රියාවලිය මගින් මුදාහරින ප‍්‍රමාණය මෙන් 20 ගුණයක් පමණ වුවද, එම ප‍්‍රමාණය ශාක හා මුහුදේ ප්ලැන්ක්ටන්වල (මුහුදු ශාක විශේෂයක්) සිදුවන ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රියාවලිය මගින් තුළනය කෙරේ. මේ නිසාම කාර්මීකරණය ආරම්භයට පෙර වසර දහස් ගණනක් තිස්සේ වායු ගෝලීය CO2 ප‍්‍රමාණය (260 ppm – 280 ppm) අතර නියත අගයක පැවතුණි. නමුත් අදවන විට වායු ගෝලීය CO2 සාන්ද්‍රණය 390 ppm ලෙස ගණනය කොට තිබේ. (ppm – Parts Per Million වායු අණු මිලියනයකට කාබන් ඩයොක්සයිඞ් කොටස් ගණන)

පොසිල ඉන්ධන දහනය හා වනාන්තර විනාශ කිරීම මගින් CO2 සාන්ද්‍රණය ඉහළ යන අතර කෘෂිකාර්මික කටයුතු මගින් CH4 හා N2O වායුන් ද ශීතකරණ පද්ධතිවලින් CFC පිටවීම මගින්ද මෙම හරිතාගාර වායුන්ගේ සාන්ද්‍රණය වැඩිවෙමින් තිබේ.

-ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග,-

01. අයිස් තට්ටු දියවී මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා ඇතැම් දූපත් මුහුදු ජලයෙන් යටවී යාම
02. විශේෂයෙන් ධ‍්‍රැව ප‍්‍රදේශවල අයිස් ආවරණ දියවී යාම නිසා සත්ව වාසස්ථාන අහිමිවීම (හිමවලසා වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටී)
03. වර්ෂාපතන රටාවේ සිදුවන වෙනස්කම් විසින් නියඟ හා ගිනිගැනීම්, ජලගැලීම්, සුළි කුණාටු ඇතිවීම
04. පරිසර උෂ්ණත්වය ඉහළ යාම විසින් මැස්සන්, මදුරුවන් වැනි සතුන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය වීමෙන් රෝග බෝවීමේ සම්භාවිතාව ඉහළ යාම
05. මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග කාබනික ඇසිඞ් සෑදීම හේතුවෙන් මුහුදු ජලයේ ආම්ලික තත්වය ඉහළ යන අතර, කොරල් පර හා කොරල් ආශ‍්‍රිත ජීවී විශේෂ විනාශ වී යාම සහ (මේවන විට කොරල් පරවලින් 1/3 විනාශ වී ඇති බව ගණන් බලා තිබේ.) බොහෝ සමුද්‍ර ජීවින්ගේ ප‍්‍රධාන ආහාරය වන ප්ලවාංගද විනාශ වන නිසා තල්මසුන් මුහුදු සිංහයන් මුහුදු ඉත්තෑව සහ මත්ස්‍ය ගහණ ක‍්‍රමයෙන් වඳ වෙමින් පවතී.

හරිතාගාර වායුවක් වන ජල වාෂ්ප H2O( g) සාන්ද්‍රණය වැඩිවීම ගෝලීය උණුසුම වැඩි වීමට වැඩි ප‍්‍රතිශතයකින් දායක වන අතර උණුසුම වැඩිවූ විට ජලය වාෂ්ප වන ප‍්‍රමාණයද වැඩි නිසා මෙම ක‍්‍රියාවලිය එකිනෙක ප‍්‍රතිපෝෂණය වෙමින්ද තිබේ.

ඉහළ යන සෑම සෙල්සියස් අංශයක් සමගම වායු ගෝලයේ ජල ධාරිතාව 7%කින් ඉහළ යයි. තෙතමනය නිවර්තික කුණාටු සඳහා සැපයෙන ඉන්ධනයක් බඳුය. සාමාන්‍ය තත්වයක් හා සන්සන්දනය කළ විට එය වර්ෂාපතනය දෙගුණ කරවනු ලැබේ. සැතපුම් 1040ක විෂ්කම්භයක් සහිත සැන්ඩි සුළි කුණාටුව මීට ප‍්‍රබල සාක්‍ෂියක් සපයන්නේ ෆ්ලොරිඩාවේ සිට කැනඩාව දක්වා සෙල්සියස් අංශක 3කට වඩා ප‍්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි වීමක් වාර්තා වීමත් සමගය.

පරිසර දූෂණය අවම කිරීමේ උත්සාහයන්

1950 දශකයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මේ පිළිබඳව සාකච්ඡාව නොවැළැක්විය හැකි මාතෘකාවක් බවට පත්විය. ජර්මනියේ බර්ලින් නුවරට ලොව පළමු අම්ල වැස්සේ අත්දැකීම් එකතුවීමත් සමග මෙම කතිකාව වඩාත් තියුණු විය.

එක්සත් ජාතීන්ගේ, මානව පරිසරය පිළිබඳ සමුළුව (1972 ජුනි 5-16 අතර ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී)
පරිසර හා සංවර්ධන පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව හෙවත් මිහිතල සමුළුව (1972 බ‍්‍රසීලයේ රියෝද ජනයිරෝ නුවර)
මේ සඳහා උදාහරණ වන අතර විශේෂ සමුළුවක් ලෙස සැලකිය හැක්කේ 1997 ජපානයේ කියෝටෝ නුවර පැවති සමුළුවයි. එහිදී එළඹි ප‍්‍රධාන එකඟතාවය වූයේ කාර්මික රටවල් ඔවුන්ගේ CO2 මුදා හැරීමේ ප‍්‍රමාණය 1990 තිබූ ප‍්‍රමාණයට සමාන ප‍්‍රතිශතයකින් අඩුකරගත යුතු බවය. මෙය කියෝටෝ ප‍්‍රඥප්තිය (Kyoto Protocol) ලෙස හැඳින්වේ. නමුත් ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව එයට අත්සන් තැබීම ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

2002 වර්ෂයේදී තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව දකුණු අප‍්‍රිකාවේ ජොහාන්ස්බර්ග් නුවර පැවැත්විය. එහිදී මේ පිළිබඳව එකඟතාවයකට පැමිණීමට නොහැකි විය. මේ තත්වයේ බරපතළකම නිසාම මෙම අන්තර් ජාතික සංවිධානවලට ප‍්‍රශ්නය කර හරිමින් සිටීමට නොහැකි වීමේ ප‍්‍රතිඵලයක් ලෙස 1995 දී පළමු අම්ල වැස්ස වැටුණු ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වූ සමුළුවක් මගින් දේශගුණික විපර්යාස පිළිබඳ ප‍්‍රඥප්තිය (United Nation Framework Convention on Climate Chang- UNFCC) බිහිවිය. මේවන විටත් අන්තර්ජාතික පිළිගැනීම වන්නේ වායුගෝලයට වැඩිම CO2 ප‍්‍රමාණයක් මුදා හරින්නේ ඇමරිකා එක්සත් ජනපදය බවයි. එය වායුගෝලයට මුදාහරින සමස්ත CO2 ප‍්‍රමාණයෙන් 25%කි.

චීනයද ප‍්‍රමාණාත්මකව වැඩි CO2 ප‍්‍රමාණයක් පිටකළද එය ජනගහනයට සාපේක්‍ෂව ඇමරිකාවට වඩා පහළ අගයකි. ඒ අනුව ලොව අංක එකේ පරිසර දූෂකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ගෝලීය උණුසුම වැඩිවීම පිළිබඳ මුළුලෝකයෙන්ම 25%ක්ම වගකිව යුතු වන්නේ එක්සත් ජනපදයයි. ඔලිම්පික් උළෙලේදී අප‍්‍රිකානු හා ලතින් ඇමරිකානු ක‍්‍රීඩකයින් මුදලට ගෙන ඇමරිකාව වෙනුවෙන් ක‍්‍රීඩාකර පදක්කම් ප‍්‍රමාණය වැඩි කරගන්නා සේ වෙනත් රටවලට අයිති වනාන්තර ද මිළට ගෙන තමන්ට හිමි වනාන්තර ප‍්‍රමාණය වැඩිකර පෙන්වීමෙන් තමන් නිකුත් කරන CO2 ප‍්‍රමාණය උරාගැනීමට අවශ්‍ය වනාන්තර තමන් සතුව ඇතැයි පෙන්වීම එක්සත් ජනපදයේ කූට උපක‍්‍රමය වේ. පෘථිවිය වටකිරීමට ප‍්‍රමාණවත් නල මාර්ගයක් එලීමට කැප වී සිටින වත්මන් ඇමරිකානු ඔබාමා පාලනයද සමස්ත මානව වර්ගයාම පරදුවට තබමින් කටයුතු කරමින් සිටී. බොරතෙල් හා ජෛව ඉන්ධන ඇතුලත් අනෙකුත් හයිඩ්‍රොකාබන් වල එක්සත් ජනපද ඊළඟ වසරේ ඉලක්කය දිනකට බැරල් මිලියන 11.4 වනු ඇතැයි බලශක්ති දෙපාර්තමේන්තුව පුරෝකථනය කරඇත. (සවුදි අරාබියේ නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 11.6). 2020 වනවිට උතුරු ඇමරිකාව නව මැදපෙරදිග බවට පත් කිරීම ඉලක්ක කර දිනකට බැරල් මිලියන 13 සිට 15 දක්වා ප‍්‍රමාණයකට ලඟාවිය හැකි බවද පුරෝකතනය කර තිබේ.

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ද 160000ක් ජනයා විසින් අත්සන් කරන ලද පෙත්සමකින් දේශගුණික වෙනස් වීම් පිළිබඳ ප‍්‍රශ්නයක් මැතිවරණ විවාදයන්හි අඩංගු කරන ලෙස ඉල්ලා සිටියද ඒ කිසිත් සැලකිල්ලට ගෙන තිබුණේ නැත.

2001 සැප්තැම්බර් 11 දින තමන් විසින්ම කිරිපොවා ඇතිදැඩි කළ අල්කයිඩා සංවිධානයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් මගින් ඇමරිකානු ආර්ථික හා ආරක්‍ෂක මර්මස්ථාන සුණු විසුණු විය.

2008 සැප්තැම්බර් මස ඇමරිකාවෙන්ම ආරම්භ වූ ආර්ථික කඩාවැටීම මේ දක්වාම යුරෝපය පුරා සුළි කුණාටුවක් බවට පත්වෙමින් තිබේ.

ඉවක් බවත් නැතිව පුද්ගලික ලාභය අපේක්‍ෂාවෙන් කරනු ලබන පොසිල ඉන්ධන දහනයේ (ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අවනත නොවෙමින්) ප‍්‍රතිඵලයක් ලෙස සැන්ඩි කුණාටුව හරහා ඇමරිකාවට තවත් කනේ පහරක් වැදුණි.
මේ සමස්ත ක‍්‍රියාදාමයන් මගින් කියවෙන්නේ කුමක්ද? ඒ අන්යමක් නොව ධනපති ක‍්‍රමය සමාජ ක‍්‍රමයක් ලෙස තවදුරටත් යථාර්ථයක් නොවන බවත් එය සමාජ ක‍්‍රමයක් ලෙස පතුලෙන්ම අර්බුදයට ගොස් ඇති බවත් අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රස්ථානය වන ඇමරිකාවම එහි ප‍්‍රතිඵල මගින් බැටකමින් පවතින බවය. බරපතළකම වන්නේ එය ඇමරිකාවට පමණක් නොව සමස්ත මානව වර්ගයාගේ විනාශයට පාර කපමින් සිටින බැවිනි. සුළි කුණාටුවක් බවට පත්වෙමින් යන ආර්ථික අර්බුදයට අමතරව වර්ධනය වන පාරිසරික ගැටලූ මගින්ද තහවුරු කරනු ලබන්නේ ධනවාදයේත්, අධිරාජ්‍යවාදයේත් නග්න ස්වරූපයයි.