දේශපාලනය යනු…?

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

දේශපාලනය යනු පන්තීන් අතර සබඳතාවය වේ

ඒ ලෙනින් දේශපාලනයේ සමස්ථ අර්ථය ඉතාමත් සැකවින් කැටිකර දැක් වූ ආකාරයයි. එහෙත් ඉහත වාක්‍ය තුලින් පමණක් දේශපාලනය යනු කුමක්දැයි තේරුම් ගැනීම අපහසු විය හැකිය. වත්මන් සමාජය තුල දේශපාලනය පිළිබඳව කතා නොකරන කෙනෙක් නොමැති වුවත් එහි සැබෑ දාර්ශනික අර්ථය වටහා ගත් ඉතාමත් විරල විය හැකිය. දේශපාලනය යනු දේශය පාලනය කිරීම යැයි යමෙකු සරළව සිතන්නේ නම් එය සත්‍යයක් නොවේ. එය එතරම් සරල නැත.

දේශපාලනය හා පන්ති අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකි. මන්ද දේශපාලනය කරලියට එන්නේ පන්ති බිහිවීමත්, ඒ සමග රජය බිහිවීමත් රජය උපයෝගී කර ගනිමින් එක් පන්තියක් විසින් තවත් පන්තියක් පාලනය කිරීමත් සමග බැවිනි. මුල්ම පන්ති සමාජවල දේශපාලනය තරමක් සැඟවී පැවති ප්‍රපංචයක් වුවද ධනේෂ්වර ක්‍රමය තුල එය මතුපිටට පැමිණ සියළුම මිනිසුන් හා සියළු අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය ප්‍රපංචයන් ද සිය ග්‍රහනයට ගෙන තිබේ. දේශපාලන පක්ෂ ලෙසට සමාජමය පන්ති සංවිධාන වූයේ ද ධනපති ක්‍රමය තුල ය. වත්මන් ලෝකයේ දේශපාලනයෙන් තොර හෝ ඉන් නිදහස් වූ කිසිවක් අපට සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ මේ අනුව ය.
ඉතින් දේශපාලනය යනු කුමක් දැයි ගැඹුරින් තේරුම් ගැනීමට දැන් උත්සාහ කරමු.

රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හෝ රාජ්‍ය බලය රැක ගැනීම සඳහා විවිධ පන්ති කණ්ඩායම් (විශේෂයෙන් ප්‍රතිවිරුද්ධ පන්තීන් අතර) එකිනෙකා සමග කරන අරගලය, එකිනෙකා සමග දක්වන සම්බන්ධතා හා එකිනෙකා වෙන් කරන බලපෑම් ක්‍රියාවලියෙහි සමස්ථය දේශපාලනය වේ.
– ලෙනින්

ඒ අනුව දේශපාලනය යනු පන්තීන් සමග මෙන්ම රාජ්‍ය බලය සමග ද බැඳී පවතී. පන්ති සමාජය තුල යම් පන්තියක් රාජ්‍ය බලය දරන විට එම පන්තිය සිය පන්තිඋවමනාව උදෙසා රාජ්‍ය බලයත් ඒ හරහා නිර්මාණය වූ භෞතික ආයතන හා උපකරණත් හසුරුවනු ලබයි. ඊට අමතරව ජනතාවගේ විඥ්ඥාණයට සම්බන්ධ මතවාදී ක්ෂේත්‍රයද හසුරවනු ලබයි. එවිට ඉන් පීඩාවට පත් වෙන පත්නි බලවේග ඊට එරෙහිව ක්‍රියාත්මක වීම ද සිදු වේ. මේ අතර වන අරගලය හා ගොඩ නැගෙන සම්බන්ධතා දේශපාලනය බවට පත් වේ. මෙහිදී එකම පන්තිය පවා බලය සඳහා වෙනම සංවිධානය වී දේශපාලන අරගලවල  යෙදෙනු නිරීක්ෂනය කළ හැකිය.
අප ජීවත් වෙන ලෝකය තුල පන්තීන්ට අයත් නොවන කිසිදු මිනිසෙක් නැතිවා මෙන්ම පන්ති පාලනයට නැතිනම් රාජ්‍යයේ බලයට හසු නොවූ කිසිදු දෙයක් ද නොමැත. පන්තිසමාජය තුල දේශපාලනයෙන් තොර කිසිවක් නැතැයි මාක්ස්වාදීන් පවසන්නේ ඒ නිසා ය. මිනිසා මුහුණ දෙන සෑම ප්‍රශ්නයකම ඔහුගේ විඥ්ඥාණය තුල පවතින සෑම සිතුවිල්ලක්ම, මතයක්ම ඔහු පරිහරණය කරනු ලබන සෑම භෞතික වස්තුවකම දේශපාලනය ගැබ් වී තිබේ.
ඕනෑම සටන් පාඨයක් පිටුපස තිබෙන පන්ති උවමනාවන් තේරුම් ගැනීමට අසමත් වෙන දේශපාලනයේ දී ස්වයං වංචාවේ ගොදුරු බවට පත්වන බැව් ලෙනින් පැවසුවේ එබැවිනි.
මේ අනුව සමාජය තුල පන්ති ප්‍රතිවිරෝධතාත්, සූරා කෑමත් රාජ්‍යයත් පන්ති පාලනයත් යන සියල්ලම දේශපාලනයේ පදනම වී තිබෙන බව පැහැදිලි ය.

සරලව ගත් විට දේශපාලනය යනු පන්ති සමාජය තුල රාජ්‍ය බලය දිනා ගැනීම සඳහාත්, ලබා ගත් රාජ්‍ය බලය පවත්වා ගෙන යාම සඳහාත්, එම බලය උපයෝගී කර ගනිමින් නව පන්තියේ පන්ති අරමුණු ඉටු කර ගැනීම සඳහාත් විවිධ පන්තීන් එකිනෙකා සමග කරන අරගලය, දක්වන සම්බන්ධතාවය හා දරන උත්සාහයන්ගේ සමස්ථය ලෙස අපට සැලකිය හැකිය.

විමර්ශන

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit