දැනුම යනු කුමක්ද?

February 20, 2020
මොළය පාවිච්චි කිරීම
February 20, 2020
Show all

දැනුම යනු කුමක්ද?

දැනුම සමාජය හා චින්තනය

02

 

         මා දන්නා එකම දෙය මා කිසිවක් නොදන්නා බව යැයි වරක් දාර්ශනිකයෙක් පවසා තිබුණි. සියල්ල දන්නේ යැයි සිතන මිනිසාට කිසිවක් ඉගෙනගත හැකි වන්නේ නැත. ඒ ඔහු සියල්ල දන්නේ යැයි සිතන නිසාය. එහෙත් තමා බොහෝ දේ නොදන්නා බව දන්නා අයට ඉගෙනීම පහසුය. ඒ, තමන් නොදන්නා දේ ඉගෙන ගැනීමට ඔහු යොමුවන නිසාය. සෙන් බුදුදහම නමින් දහමක් චීනය, ජපානය වැනි රටවල පැවතී තිබේ. එහි හිමිවරුන් බොහෝ දැනුම ඇති අය ලෙස සැලකිණි. වරක් සෙන් ගුරු හිමිනමක් වෙත ඉගෙනීමට ගිය පුද්ගලයෙකුට එම හිමිනම පවසා තිබුණේ වතුර පිරවූ භාජනයකට තවත් ජලය පිරවිය නොහැකි බවත් ජලය පිරවිය හැක්කේ හිස් බඳුනකට බවත්ය. ඒ නිසා ඉගෙනීමට පෙර ඔබේ මනසේ ඒ සඳහා ඉඩ තබා ගන්නා ලෙසත්ය. මිනිසුන් ඉගෙන ගැනීමට පෙළඹෙන්නේ තමන් නොදන්නා නිසා වන බැවින් දැනුම ආරම්භ වන්නේ නොදැනුමේ සිටය.

නිර්වචනයක් සොයා

         සැබැවින්ම දැනුම යනු කුමක්ද? මේ පිළිබඳව විවිධ අයට විවිධ නිර්වචන තිබිය හැක. දැනුම යනු තමා අවබෝධ කරගත් දන්නා දේ යැයි කෙනෙක් සිතන විට තවත් සමහරු විඥානවාදයේ පතුලටම වැටී දැනුම යනු සංසාරගතව ලැබෙන දෙයක්, පෙර ආත්ම භවයේ සිට එන දෙයක් ලෙස හෝ දෙවියන්ගේ දායාදයක් ලෙසද සිතීමට පුළුවන. දැනුම පිළිබඳව වන එම විඥානවාදී මිත්‍යා මත අතීතයේ ප්‍රබලව පැවැති අතර වර්තමානයේ පවා යම් දුරකට ඒවා ශේෂ වී පවතී. එය එසේ වන්නේ දැනුම යනු කුමක්ද යන්න පවා නොදන්නා තත්වයක් තුළය.

        දැනුම පිළිබඳ කෙටි, එහෙත් ඉතාම නිවැරදි අංගසම්පූර්ණ නිර්වචනය අපට සපයන්නේ මාක්ස්වාදයයි. එය මෙසේය. “වාස්තවික ලෝකය හා එහි නියාම මිනිස් මනස තුළ අරමුණු සහගතවත් සංවර්ධනාත්මකවත් පරාවර්තනය වීම දැනුම නම් වේ.” ඒ අනුව මිනිසා ප්‍රකෘතිය හෙවත් තමාද ඇතුළත් සොබාදහම මත බලපා එමගින් ලබා ගන්නා අවබෝධය දැනුම ලෙස කෙටියෙන් පැවසිය හැකිය. එබැවින් දැනුමේ එකම උල්පත වන්නේ වාස්තවික ලෝකයයි. වාස්තවික ලෝකය හෙවත් සොබාදහමේ සමහර දේ සතුන් තුළද පරාවර්තනය වේ. පිළිබිඹු වේ. සත්තු යම් යම් දේ දකිති; ශබ්ද අසති. ස්පර්ශය දැනේ. උන් යම් යම් දේ වෙන්කොට හඳුනාගනිති. එහෙත් සතුන් තම පංචේන්ද්‍රියයන් හරහා ඇති කර ගන්නා හැඟීම්, සංවේදනා දැනුම නොවේ. මන්ද ඒවා අරමුණු සහගත නොවන බැවිනි. සත්තු සොබාදහම හරයෙන් වටහා නොගනිති. එහෙත් මිනිසා ප්‍රකෘතිය හෙවත් සොබාදහම එහි පෙනුමෙන් පමණක් නොව හරයෙන්ද වටහා ගනී. සොබාදහමේ නියාමයන්ද වටහා ගනී. ඒවා පරපුරෙන් පරපුරටත්, එකම පරපුර තුළත් මිනිස් මොළය තුළත් සංවර්ධනාත්මකව හා අරමුණු සහගතව වර්ධනය වේ. එබැවින් ‘දැනුම’ එහි සැබෑ අර්ථයෙන් පවතින්නේ මිනිසා තුළ පමණි.

පියවරෙන් පියවර

          ප්‍රකෘතිය මිනිස් මනසේ අරමුණු සහගතව හා සංවර්ධනාත්මකව පිළිබිඹුවීම හෙවත් දැනුම අප තුළ ගොඩ නැගෙන්නේ, එක්වර හෝ අපිළිවෙලකට හෝ අහම්බයක් ලෙස නොවේ. කිසියම් අරමුණු සහගත ක්‍රමයකටය. දැන් මෙය අප තුළ නිරායාසයෙන් සිදුවුවද අප මෙලෙස සිතා සිදු නොකළද මිනිස් මනස තුළ දැනුම ගොඩ නැගෙන්නේ එක්තරා රටාවකට හා ක්‍රමයකටය.

        දැනුම සඳහා වන ක්‍රියාවලියේ පළමු පියවර හෙවත් ආරම්භය ජීවමාන සංජානනය ලෙස හැඳින්වේ. මෙය සරල දෙයකි. ජීවමාන සංජානනය යනු අප අවට වන ප්‍රකෘතිය හා එහි දේවල් මිනිසා සිය පංචේන්ද්‍රියයන් මගින් හඳුනා ගැනීමය. නැතිනම් පංචේන්ද්‍රියන්ට හසුකර ගැනීමය. මිනිසාගේ පංචේන්ද්‍රියන්ට හසුවන (අප අසන, දකින, රසවිඳින, ස්පර්ශකරන ආදී) දේ මිනිස් මොළය තුළ පිළිබිඹු වේ. නැතිනම් මිනිස් මොළය ඒවා සරල හා මතුපිට හඳුනා ගැනීමකට ලක්කරයි. එය හඳුන්වනු ලබන්නේ ජීවමාන සංජානනය ලෙසය. මෙලෙස ප්‍රකෘතිය සංජානනය හෙවත් පංචේන්ද්‍රියයන් මගින් හසුකර ගත් විට එය මොළය තුළ පිළිබිඹුවීම සංවේදනා ලෙස හැඳින්වේ. මෙම සංවේදනා හෙවත් සරල හඳුනා ගැනීම් ප්‍රකෘතිය හා එහි වස්තු සංජානනය කරන පුද්ගලයා දැනටමත් ලබා ඇති දැනුමේ ප්‍රමාණය මත අඩු වැඩි වේ. උදාහරණයක් ලෙස කිසියම් ගසක් සාමාන්‍ය පුද්ගලයෙක් දුටු විට ඒ ගැන වැඩි දුර පරීක්ෂණ කිරීමට පෙර ඔහුගේ මනසේ පිළිබිඹු වන්නේ ගසේ සරල මතුපිට ලක්ෂණ කිහිපයකි. එහෙත් උද්භිත විද්‍යාඥයෙක් ගසක් දුටුවිට ගස් පිළිබඳව වන ඔහුගේ පෙර දැනුම වැඩි නිසා එම ගසේ ලක්ෂණ රැසක් ඔහු සංජානනය කරයි.

         කෙසේ හෝ මෙලෙස ඇතිවන ජීවමාන සංජානනයෙන් අත්කර ගන්නා මොළයේ සංවේදනා මගින් මිනිසා දැනුමේ ඊළඟ අදියර වන සංකල්ප ගොඩනගා ගනී. සංකල්ප යනු සමාන වස්තුන්ගේ සමාන ජාති ලක්ෂණ මත අප තුළ ඇති පූර්ව දැනුමය. මෙය පෙර ලබාගත් දැනුම මිනිස් මනස තුළ පුනර් නිෂ්පාදනය වීමක් හෙවත් යළි පිළිබිඹු වීමකි. සංකල්පවලද නිතරම අප තුළ පරාවර්තනය වන්නේ අදාළ වස්තුවල විශේෂ ලක්ෂණ නොව පොදු ලක්ෂණයන්ය. උදාහරණ ලෙස පොත්, මිනිසා, ගස්, පලතුරු, එළවළු ආදී ලෙස වේ. අපේ මනසේ සංකල්ප තිබූ පමණින් අදාළ වස්තු පිළිබඳ පූර්ණ දැනුමක් අප තුළ ඇතැයි සිතිය යුතු නැත. ඕනෑම වස්තුවක් පිළිබඳ වඩා අවබෝධයක් සඳහා මිනිස් මනස තුළ ඊළඟ ක්‍රියාවලිය ඇරඹේ. එය ප්‍රජානනයයි.

කුමක්ද මේ ප්‍රජානනය

        ප්‍රජානනය යන්නට යෙදිය හැකි සරලම තේරුම අධ්‍යයනය යන්නය. කිසියම් වස්තුවක් හෝ දෙයක් පිළිබඳ වැඩිදුර අවබෝධය සඳහා අප සිදුකරන අධ්‍යයනය මින් අදහස් වේ. ඒ සඳහා අපට තර්ක ඥානය අත්‍යාවශ්‍යය. එමෙන්ම පංචේන්ද්‍රියන්ගේ සීමාසහිත බව අභිබවා යාම සඳහා වූ විද්‍යාත්මක උපකරණද අත්‍යාවශ්‍යය. අපගේ පංචේන්ද්‍රියන්ගේ හැකියාව පවතින්නේ සීමාවකය. අපට පියවි ඇසින් බොහෝ දේ බැලිය නොහැක. අපට ඈත දුර තිබෙන වස්තු හෝ ඉතාම කුඩා අංශු පියවි ඇසින් බැලිය නොහැක. ඒ අපේ ඇසේ හැකියාව සීමාසහිත බැවිනි. අපට ශබ්ද ඇසීමේදී සීමාවක් තිබේ. මිනිසාගේ කනට හසුකරගත හැක්කේ ශබ්දය මනින මිම්මෙන්ම කිවහොත් ඩෙසිබල් 20ට වැඩි හා 2200ට අඩු ශබ්ද පරාසයන් පමණි. එහෙත් සමහර සතුන්ගේ සමහර ඉන්ද්‍රියයන්ගේ හැකියාව මිනිසා ඉක්මවා පවතී. උකුසු ඇසට, මිනිස් ඇසට වඩා දුරින් ඇති වස්තු දැකිය හැක. සුනඛයාගේ ආඝ්‍රාණ හැකියාව මිනිසා අභිබවා ඇත. එහෙත් සතුන්ට මිනිසාට මෙන් තර්ක කළ හැකි දියුණු මොළයක් නැති නිසා ඉන් පලක් නැත. මිනිසාගේ පංචේන්ද්‍රියන්ගේ හැකියාවන් සීමාසහිත වුවද එකී සීමා අභිබවනය කිරීමට සමත් විශේෂ ඉන්ද්‍රියයන් මිනිසාට ඇත. ඒ මිනිස් මොළයයි.

        කෙසේ වෙතත් සීමිත හැකියාවන් සහිත අපේ පංචේන්ද්‍රියයන් මගින් අප ලබා ගන්නා ආරම්භක ප්‍රාථමික දැනුම මත ජීවමාන සංජානනයෙන් ඇතිකරන සංවේදනා මගින් වස්තුවල සියලු ලක්ෂණ පරාවර්තනය කරන්නේ නැත. ඒ නිසා පංචේන්ද්‍රියයන් මගින් පමණක් ලබාගන්නා දැනුම අසම්පූර්ණ එකක් වේ. එය බොහොවිට නිවැරැදි නැති දුර්වල දැනුමකි. මෙය වෙනස් කරගත හැකි වන්නේ තර්කය මගින් හා පංචේන්ද්‍රියන්ට ලබාගත නොහැකි ලක්ෂණ හඳුනා ගැනීමට උපකාරී වන උපකරණ මගිනි. ඒ අනුව අප තුළ දැනුම ගොඩ නැගෙන්නේ ඉන්ද්‍රියන් මගින් ලබාගත් සරල දැනුම හෙවත් ඉන්ද්‍රිය ගෝචර දැනුම හා තාර්කික දැනුම එකතු වූ විටය.

නිර්මාණශීලී චින්තනය

         මිනිසුන් නිර්මාණශීලී වන්නේ ඔවුන් සතුව පවතින මෙම තර්කයේ හැකියාව නිසාය. එහෙත් වත්මන් ධනවාදී අධ්‍යාපනය සකස්කර ඇත්තේ ඊට එරෙහිවය. තර්කයට ඉඩ නොතබා පොත් කටපාඩම් කරන අධ්‍යාපනයකට වත්මන් අධ්‍යාපන ක්‍රමය දරුවන් කොටුකර නැද්ද? වත්මන් දරුවන් දවස පුරා පාසල තුළදීත් උපකාරක පංති තුළදීත් “ඉගෙන ගනිති” සැබැවින්ම එය ඉගෙන ගැනීමක් නොව විභාග සමත්වීම සඳහා කටපාඩම් කිරීමකි. ඒ තුළ තර්කනයට ඉඩක් තබා නැත. එය ධනපති ක්‍රමයේ පැවැත්මට හොඳය. මන්ද තර්කනය නැති තැනැත්තා තමා අවට සිදුවන නරක දේ ප්‍රශ්න නොකරන නිසාය. තමන් ජීවත්වන ලෝකය වෙනස් කිරීමට නොසිතන නිසාය.

        එහෙත් ‘දැනුම’ යනු කටපාඩම් කිරීම නොව ඉන්ද්‍රියගෝචර  දැනුම හෝ අතීත දැනුම මත පදනම්ව එය තර්කනය මගින්, පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන මගින්, සංස්ලේෂණ විශ්ලේෂණ මගින් තවදුරටත් ප්‍රජානනය කිරීමය. සැබෑලෙසම දැනුම ගොඩ නැඟෙන්නේ එකී ක්‍රියාවලිය තුළ පමණි.

        දැනුම යනු දෙවියන් හෝ වෙනත් අද්භූත බලයක් විසින් අප වෙතට ලබාදෙන දෙයක් හෝ භවයෙන් භවයට රැගෙන එන දෙයක් නොවේ. අප තුළ දැනුම ගොඩ නැගෙන්නේ භෞතිකවය. ඒ සඳහා අපට විශේෂ හැකියාවක් සහිත ඉන්ද්‍රියක් තිබේ. ඒ මොළයයි. දැනුම ගොඩනැගීමේදී මිනිස් මොළය ඉටුකරන කාර්යය සුවිශේෂීය.

Next : –  මොළය පාවිච්චි කිරීම