‘දැනුම’ තුළ පවතින සියල්ල සත්‍යයද?

මොළය පාවිච්චි කිරීම
February 20, 2020
අසත්‍යයට එරෙහිව සත්‍යය සටන් වදියි!
February 20, 2020
Show all

‘දැනුම’ තුළ පවතින සියල්ල සත්‍යයද?

දැනුම සමාජය හා චින්තනය

04

         සමාජය පිළිබඳව, ලෝකය පිළිබඳව, විශ්වය පිළිබඳව, මානව ඉතිහාසය පිළිබඳව, තමන් පිළිබඳව මිනිසා දන්නා සියල්ල සත්‍යයද? දැනුම පිළිබඳ ක්‍රියාවලියේ ප්‍රධාන ගැටලුවක් වන්නේ එයයි. දැනුම යනු ප්‍රකෘතිය හා එහි නියාම අරමුණු සහගතවත් සංවර්ධනාත්මකවත් මිනිස් මනසේ පිළිබිඹු වීම බව අප කලින් සඳහන් කළෙමු. එහෙත් එම ‘දැනුම’ හැම විටම සත්‍යය නොවේ. එක්කෝ අසත්‍යයන්ය. නැත්නම් අර්ධ සත්‍යයන්ය. එසේත් නැත්නම් සාපේක්‍ෂ සත්‍යයන්ය. නිරපේක්‍ෂ සත්‍යය හෙවත් පරම සත්‍යය අපට සොයාගත හැක්කේ අඩුවෙනි.

හේතුඵල සම්බන්ධය

         සත්‍යය සෙවීමේ ක්‍රියාවලියේදී හේතුඵල සම්බන්ධය ඉතා වැදගත්ය. ඕනෑම වස්තුවක්, ප්‍රපංචයක් හෝ සිදුවීමක් ඕපපාතික නොව කිසියම් හේතුවක හෝ හේතු සමුදායක ප්‍රතිඵලයකි. එහෙත් මිනිසාගේ දැනුමේ සීමාවන් නිසාත් තර්කන ක්‍රමයේ වැරදි නිසාත් හේතුව පිළිබඳ නිගමනයන් දීමට ඉක්මන් වීම නිසාත් බොහෝ විට මිනිසුන් ප්‍රපංච, වස්තු හෝ සිදුවීම් තේරුම් ගැනීමේදී වැරදි නිගමනවලට එළඹෙති. එවිට එලෙස ඇතිකර ගන්නා දැනුම අසත්‍ය මත පදනම් වූ දැනුම වේ. මානව ඉතිහාසයේ අතීතයේදී, විද්‍යාව දියුණු වී නොතිබූ යුගයක පෘතුවිය පැතලි වස්තුවක් බවත් එය වටා සූර්යා ගමන්කරන බවත් මිනිස්සු විශ්වාස කළහ. එකල එය හඳුන්වනු ලැබුවේ පෘථිවි කේන්ද්‍රවාදය ලෙසය. ජ්‍යෙතිෂ්‍යය පවා ගොඩනැගුණේ එම පදනම මතය. එහෙත් පසුව විද්‍යාව දියුණුවීමත් සමඟ පෘථිවිය පිළිබඳ එම මතය බිඳවැටුණි. එය අසත්‍ය බවත් සත්‍යය නම් පෘථිවිය ගෝලාකාර වන  අතර එය සූර්යයා වටා ගමන් කරන බවත් තහවුරු විය. අපගේ දැනුම තුළ සත්‍යය පරාවර්තනය විය. එහෙත් පැරණි අසත්‍ය මත පදනම් වූ ජේ්‍යතිෂ්‍යය තවමත් සමාජයේ තිබේ. එය බොහෝ දෙනා පිළිගනිති. එහිදී දැනුම තුළ යළි අසත්‍යය පරාවර්තනය වේ.

        ප්‍රකෘතියේ සංකීර්ණ ක්‍රියාවලිය හා පැවැත්ම මිනිසාගේ පංචේන්ද්‍රියන්ට පමණක් හසුකර ගත නොහැක. පංචේන්ද්‍රියන්ගේ සීමාකම නිසාම ඒ මගින් පමණක් ලබන සංජානන හෙවත් දැනුම බොහෝ විට අසම්පූර්ණ හෝ වැරදි වේ. තර්කනය හා විද්‍යාව අවශ්‍ය වන්නේ මෙහිදීය. විද්‍යාවේ තාක්‍ෂණයේ දියුණුවත් සමඟ මිනිසා අවිද්‍යාවෙන් විද්‍යාවට ක්‍රමානුකූලව පියවර තැබීය. එහෙත් ඊට සමගාමීව  ඔහු මිත්‍යාවෙන් සත්‍යය වෙත පා තැබුවේ නැත. විද්‍යාව නොදියුණු යුගයක පරීක්‍ෂණ හෝ නිරීක්‍ෂණ දුර්වල යුගයක ලෝකයත් එහි සියල්ලත් ඇතිවූයේ දෙවියන් විසින් මවනු ලැබීමෙන් යයි මිනිස්සු විශ්වාස කළෝය. එය අසත්‍යයක් වුවත් එදා පැවති දැනුමේ සීමාවට, විද්‍යාව නොපැවැති තත්වයක් තුළ එලෙස සිතීම සාධාරණ විය. එහෙත් පසුව ලෝකයත් එහි සියලු දේත් භෞතික පරිණාමයක ප්‍රතිඵලයක් බව පැහැදිලිව ඔප්පු කරන ලදී. පරිණාමවාදය සොයාගන්නා ලදී. සෛලයේ ස්වභාවය හඳුනාගන්නා ලදී. එය සෛලවාදය විය. ශක්තිය මැවීමටවත් විනාශ කිරීමටවත් නොහැකි බවත් ශක්තිය විශ්වයේ පැවැත්මේ ස්වභාවය තුළ පවතින බවත් තහවුරු කරන ලදී. එය ශක්ති සංස්ථිතිය හා පරිණාමනය පිළිබඳ නියාමය ලෙස හැඳින්විණි. එහෙත් ඒ සියල්ලෙන් පසුත් ලෝකය දෙවියන්ගේ මැවීමක්ය යන මතය තවමත් පවතී. සත්‍යයට, අසත්‍යය පලවා හැරීමට නොහැකිවී තිබේ. මිනිසා එම විද්‍යාව සමග එකවිට මිත්‍යාවද විශ්වාස කරයි. පරිණාමවාදය පිළිගන්නා ගමන්ම දෙවියන්ගේ මැවීම්ද පිළිගනී. මේ පරස්පරය තවමත් සමාජය තුළ පවතී. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මිනිසාගේ ගතානුගතික බවත් පැරණි විශ්වාසයන්ගේ එල්බ සිටීමේ ස්වභාවයත් සියල්ලටම වඩා පංති සමාජය එම අසත්‍යයන් තම පංති වුවමනා වෙනුවෙන්ම පවත්වාගෙන යාමත්ය. එක් කලෙක මිත්‍යාවේ පුරෝගාමින් වුයේ, පූජකවරුන් හා ආගමික නායකයින්ය. දැන් මිත්‍යාවේ පුරෝගාමීන් වී ඇත්තේ, ධනපති දේශපාලන නායකයෝය. දේවාල ගානේ ගොස් පොල් ගසමින් මිරිස් අඹරමින් විටින් විට ලංකාවේ දේශපාලකයන් නටන නාඩගම් දෙස  බලනවිට මෙය පැහැදිලිය.

සත්‍යය යනු කුමක්ද?

        දැනුම පිළිබඳව මතුව ඇති මෙම පටලැවිල්ල  නිසා සත්‍යය යනු කුමක්ද යන්න තේරුම් ගතයුතු වෙමු. ප්‍රපංච දෙස, වස්තූන් දෙස, සිදුවීම් දෙස මතුපිටින් පමණක් බලා, තර්කයකින් තොරව ඇතිකර ගන්නා අදහස්, නිගමන හැමවිටම අසම්පූර්ණ හා සත්‍යය පිළිබිඹු නොවන ඒවා වේ. සත්‍යය සෙවීම හා අවබෝධ කර ගැනීමට විද්‍යාත්මක හා තාර්කික ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. සැබැවින්ම සත්‍යය යනු කුමක්ද? එය මෙලෙස සරලව පැවසිය හැක. “අපගේ චින්තනය තුළ යථාර්ථය නිවැරදිව හා අංග සම්පූර්ණව පරාවර්තනය වීම සත්‍ය්‍ය වේ. යම් වස්තුවක් හෝ ප්‍රපංචයක් පිළිබඳව වන දැනුම එම වස්තුව නිවැරදිව පරාවර්තනය කරයි නම් එම දැනුම සත්‍යය වේ.”

       දැනුම සත්‍යය – අසත්‍යය ලෙස ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් ලෙස පෙනී සිටින අතර සත්‍යයද ප්‍රභේද දෙකක් ලෙස දැනුම තුළ පරාවර්තනය වේ. ඒ, සාපේක්‍ෂ සත්‍යය හා නිරෙප්ක්‍ෂ සත්‍යය ලෙසය. සාපේක්‍ෂ සත්‍යය යනු යම් වස්තුවක්, ප්‍රපංචයක් සිදුවීමක් පිළිබඳ මිනිසා කළ අධ්‍යයනයේ ප්‍රමාණයට, ඒ මොහොතේ  තිබූ විද්‍යාවේ හා තාක්‍ෂණයේ ප්‍රමාණයට සොයාගත්  සත්‍යයන්ය. ඒවා සාපේක්‍ෂය. ඉන් අදහස් වන්නේ, ඒවා අසත්‍යයන් බව නොව අප වටහා ගත් ප්‍රමාණයට සාපේක්‍ෂව සත්‍ය බවය. විද්‍යාවෙන් මෙයට උදාහරණයක් ගත හැක. එක්තරා කාලයක් වනතුරු ද්‍රව්‍යයේ කුඩාම ඒකකය ලෙස පරමාණුව සැලකුවද ඒ අප අද හඳුනාගන්නා පරමාණුව නොවේ. ඒ, එදා දැනුමට සාපේක්‍ෂවය. පසුව පරමාණුව තවදුරටත් බෙදා න්‍යෂ්ටිය, ප්‍රෝටෝන, ඉලකේට්‍රෝන ලෙස සොයාගන්නා ලදී. ද්‍රව්‍යයේ  කුඩාම අංශුව ලෙස දැන් අප දන්නා දෙයද සාපේක්‍ෂ සත්‍යයක් වන අතර විද්‍යාවේ දියුණුව විසින් එහි තවත් කුඩා බෙදීම් සෙයා ගන්නවා ඇත. එහෙත් ඉන් කියවෙන්නේ කලින් තිබූ දැනුම අසත්‍ය බව නොව එය සත්‍ය වුවත් සාපේක්‍ෂ බවය. පොදුවේ ගත්විට විද්‍යාව ගොඩනැගී තිබෙන්නේ සාපේක්‍ෂ සත්‍යයන් මතය.

      මෙයට තවත් උදාරහණයක් ගත හැක. බලංගොඩ බටදොඹ ලෙනෙන් මිනිස් අස්ථි කොටස් හමුවූ විට පුරා විද්‍යාව විශ්වාස කළේ ලංකාවේ පැරණිම මානවයා ‘බලංගොඩ මානවයා’ ලෙසය. එය අසත්‍යයක් නොවීය. මන්ද එවැන්නෙක් සිටි නිසාය. එහෙත් මෑතදී කරන ලද සොයාගැනීම් විසින් ඊටත් අතීතයේ සිටි මානවයන්ගේ කොටස් හමුවීම නිසා ඉහත මතය වෙනස් වී ඇත. සත්‍යය සාපේක්‍ෂ වන්නේ එසේය.

පරම සත්‍යය

       අපගේ දැනුම තුළ පවතින්නේ, සාපේක්‍ෂ සත්‍යයන් පමණක් නොවේ. නිරපේක්‍ෂ හෙවත් පරම සත්‍යයන්ද පවතී. එකී පරම සත්‍යයන් බොහෝ විට භෞතිකවාදී දර්ශනය තුළ හමුවේ. සාපේක්‍ෂ සත්‍යයන් වරින් වර නව දැනුම සමඟ වෙනස්විය හැකි වුවත් පරම සත්‍යය කිසිවිට වෙනස් නොවේ. ‘ලෝකය ද්‍රව්‍යමය දෙයක්ය’ යන්න පරම සත්‍යයකි. එමෙන්ම ‘ද්‍රව්‍යය පවතින්නේ චලිතයේය’ යන්නද නිරපේක්‍ෂ සත්‍යයකි. එය වෙනස්වීම ලෙස අපි සරලව හඳුන්වමු. ලොව වෙනස් නොවන එකම දෙය ‘වෙනස්වීම’ය යනුවෙන් පවසන්නේ, එම පරම සත්‍යයයි. ඇතිවන සෑම දෙයක්ම නැතිවන බව (අභාවයට යන බව) එම සත්‍යයෙන් කියවේ. සාපේක්‍ෂ සත්‍යය හා නිරෙප්ක්‍ෂ සත්‍යය අතර අන්තර් සබඳතාවයක් පවතී. සාපේක්‍ෂ සත්‍යය මගින් නිරපේක්‍ෂ සත්‍යය තහවුරු කරන අතර සාපේක්‍ෂ සත්‍යයන් තව තවත් වර්ධනය වීමට නිරපේක්‍ෂ සත්‍යයන් උපකාරී වේ.

මීළඟට අප තුළ මතුවන ගැටලුව නම් සත්‍යය සත්‍ය ලෙස

      හඳුනාගන්නේ කෙසේද යන්නය. මන්ද ලොව බොහෝ දෙනා තමන් විශ්වාස කරන දෙය සත්‍ය බව පවසමින් තර්ක කරන නිසාය. අධිකරණයේදී සාක්‍ෂි දීමට පෙර තම තමන්ගේ ආගමේ නමින් සත්‍යයම කියන බවට දිවුරා ඉන්පසු බොරුම කියන සමාජයක, පාසල් අධ්‍යාපනයේ සිට මැතිවරණ වේදිකා දක්වා බොරු වපුරන සමාජයක සත්‍යය, අසත්‍යයෙන් වෙන් කොට හඳුනා ගැනීම දුෂ්කර වී තිබේ. ඒ නිසාම සත්‍යය හඳුනා ගැනීමේ මිනුම් දණ්ඩක් අවශ්‍ය වේ. සැබැවින්ම සත්‍යයේ මිනුම් දණ්ඩ කුමක්ද? සත්‍යයේ මිනුම් දණ්ඩ අන් කිසිවක් නොව භාවිතය වේ. අප විශ්වාස කරන සත්‍යය ලෙස අගයන ඕනෑම දෙයක් සත්‍යයද නැද්ද යන්න තහවුරු කළ හැකිවන්නේ භාවිතය තුළිනි.

      ඒ අනුව විද්‍යාව හා තර්කනය තුළින් මිනිස් මනසේ ගොඩනැගෙන දැනුම සත්‍යයද යන්න තහවුරු කර ගත හැකි වන්නේ, ඒවා නැවත භාවිතයට නඟා බැලීමෙන් පමණි. සත්‍යයේ මිනුම් දණ්ඩ භාවිත වන්නේ ඒ අනුවය. ධනවාදී ක්‍රමයට ලෝකයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැක යන්න සත්‍යයක් වේ. එය සත්‍යයක් බවට පත්ව ඇත්තේ නිකම්ම නොවේ. සියවස් 05කට වැඩි කලක් තිස්සේ  ලොව පුරා රටවල ධනවාදය භාවිතයට නඟා ලබා ගත් හා දැනුදු ලබන අත්දැකීම්වලිනි.

       දැනුම පිළිබඳ ප්‍රශ්නයේදී මිනිසා සිය ඓතිහාසික ගමන්මඟ තුළ නොදැනුමේ සිට දැනුම දක්වාත් අඩ දැනුමේ සිට සම්පූර්ණ දැනුම දක්වාත් ගමන් කරමින් සිටී. එහිදී ඔහු අසත්‍යයන් වෙනුවට සත්‍යයන් කරා පැමිණ සිටී. අවිද්‍යාව වෙනුවට විද්‍යාව කරා පැමිණ සිටී. එහෙත් එකී විද්‍යාවට තවමත් අවිද්‍යාව අහෝසි කිරීමට නොහැකි වී තිබේ. දැනුම තුළ සත්‍යයට අසත්‍ය පළවා හැරීමට නොහැකි වී තිබේ. දැනුම තුළ මානව වර්ගයාට විශාලම සේවය කර ඇත්තේ හා දැනුදු කරන්නේත් සත්‍යයන්ය. එහෙත් එම මානව ඉතිහාසය තුළම දැනුම තුළ පරාවර්තනය වූ අසත්‍යයන් මානව වර්ගයාට මහත් හානි සිදුකර තිබේ; තවමත් හානි කරමින් තිබේ. අසත්‍යයන් හෙවත් මිථ්‍යාවන් මානව සංහතියට කළ විනාශය වටහා ගැනීම මානව වර්ගයාගේ ඉදිරි ගමනට ඉතා ප්‍රයෝජනවත්ය.

Next : – අසත්‍යයට එරෙහිව සත්‍යය සටන් වදියි!