තාක්‍ෂණයේ වර්ධනය සහ සාහිත්‍යයට එහි බලපෑම

එක්සත් පෙරමුණු දේශපාලනය යනු කුමක්ද?
July 1, 2019
ම්ලේච්ඡත්වය ඉදිරියෙන්
July 3, 2019
Show all

තාක්‍ෂණයේ වර්ධනය සහ සාහිත්‍යයට එහි බලපෑම

         පරිඝනකය සහ අන්තර්ජාලය වර්ධනය වී ඉදිරියට ඒම මිනිසාගේ සමාජ සංස්කෘතික සහ ආර්ථික ජීවිතය කෙරෙහි ඉමහත් බලපෑමක් සිදුකර ඇති බව අපි දනිමු. සත්තකින්ම තාක්‍ෂණික වර්ධනයේ සෑම පියවරක්ම එලෙස පෙරළා මිනිස් සමාජය වෙනස් කිරීමට හේතු වෙයි. තාක්‍ෂණයෙහි වර්ධනය මානව සමාජයට ධනාත්මක මෙන්ම ඍණාත්මක බලපෑම්ද ඇති කරන නමුත් එහි වර්ධනය අත්හිටුවීමට කිසිවෙකුටත් හැකි නොවේ. තාක්‍ෂණය අඛණ්ඩව වර්ධනය වන අතර අප ඉහතින්ද කී පරිදි සමාජය, සංස්කෘතිය සහ ආර්ථිකය ඊට අනුරූපීව වෙනස්කම් අත්පත් කරගනී. මිනිසා ජීවත්වන, වැඩකරන සහ හිතන ආකාරයන් මේ අනුව වෙනස් වේ.

       ඒ අනුව තාක්‍ෂණයෙහි ඇතිවන වෙනස්කම් සංස්කෘතියෙහි කොටසක් වශයෙන් සාහිත්‍යයටද බලපවත්වන බව පහසුවෙන් පිළිගත හැකි සහ දැකගත හැකි කාරණයකි. සාහිත්‍යය සංස්කෘතිය අනුව ගමන් කරයි. සංස්කෘතික තාක්‍ෂණික වෙනස්කම්වලට අනුව හැඩ ගැසෙයි.

           ලේඛන කාර්යය සඳහා විවිධ තාක්‍ෂණයන් සොයා ගැනීමත් සමගම සාහිත්‍ය ක්‍ෂේත්‍රයට එම සොයා ගැනීම් විශාල බලපෑමක් ඇති කරන ලදී. එනම් කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර, සොයා ගැනීම මගින් පොත්පත්, පුවත්පත්, සඟරා ආදී ලෙස ලේඛන කලාවේ වර්ධනය වේගවත් විය. එමෙන්ම පොදු ජනයා අතරට පැතිර ගියේය. ඒ අනුව සාහිත්‍යයද වෙනස්කම්වලට භාජනය විය. එය තාක්‍ෂණික වෙනස්කම් සීමාවක නොරැඳී සාහිත්‍යයට ගෝචර වන වස්තු විෂයන්ගේ, අත්දැකීම්වල සීමාවන්ද වඩා පුළුල් කළේය. විවිධ නිර්මාණකරුවන් දියුණු වූ තාක්‍ෂණයේ පිහිට ලබමින් තම වස්තු විෂයන් සාහිත්‍යය කෘතීන් බවට පෙරළීය.

       මාර්ටින් හෛඩගර් (Martin Hidegger) පවසන ආකාරයට “තාක්‍ෂණය යනු සවිඥානිකත්වයේම ආකාරයකි”. තාක්‍ෂණික වර්ධනය, සංස්කෘතික වර්ධනය සමග මෙන්ම සංස්කෘතියෙහිම අංගයක් වශයෙන් සාහිත්‍යයේ වර්ධනය හෝ වෙනස්කම් සමගද එක්ව ගමන් කරන බව මේ අනුව පිළිගත හැක. එක් අතකින් ගත් කල සාහිත්‍යයම තාක්‍ෂණයකි.

          තාක්‍ෂණික වර්ධනයෙහි හොඳ සහ නරක යන දෙයාකාරයක බලපෑම් ඇති බව අප ඉහත පැවසුවෙමු. එහෙත් තාක්‍ෂණයෙහි හොඳ හෝ නරක යනු සමාජය විසින් එය භාවිතා කරන ආකාරය අනුව පැන නගින්නක් විනා එය තාක්‍ෂණයෙහි නෛසර්ගික ගුණයක් නොවේ. සීතලේ ගැහෙමින් සිටින මිනිසුන්ට උණුසුමත්, අඳුරේ සිටින මිනිසුන්ට ආලෝකයත් ලබා දිය හැකි  බලශක්ති ප්‍රභවයක් වන න්‍යෂ්ටික තාක්‍ෂණය මිනිසා විසින් දියුණු කරගත්තේය. එය දැනටත් ලෝකයේ අතිමහත් බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනෙමින් තිබේ. එහෙත් 1945 අගෝස්තු මාසයේ ජපානයේ හිරෝෂිමාවටත් නාගසාකියටත් න්‍යෂ්ටික බෝම්බ හෙළමින් එම නගර අළු දූවිලි බවට පත් කළේද න්‍යෂ්ටික තාක්‍ෂණයයි.

           ඒ අනුව තාක්‍ෂණය සහ එහි වර්ධනය පිළිබඳව අපි මූලික සත්‍යයයන් දෙකක් දනිමු. පළමුව තාක්‍ෂණික වර්ධනය එක තැනක නතර කළ හැක්කක් නොවේ. එය අඛණ්ඩ වර්ධනයක පවතී. එය වාස්තවික යථාර්ථයකි. දෙවැනි කරුණ නම් එහි හොඳ නරක තීරණය වන්නේ මිනිසා විසින් එය භාවිතා කරනු ලබන ආකාරය අනුවය.

           දැන් අපි එම තාක්‍ෂණය සාහිත්‍ය කෙරෙහි බලපා ඇති ආකාරය ගැන අවධානය යොමු කරමු. ලේඛන කාර්යය ප්‍රචලිතවීමට පෙර යුගයේ මිනිසුන් අද අපට සාහිත්‍යය කෘති වශයෙන් හමුවන බොහෝ ග්‍රන්ථ කටපාඩමින් පවත්වාගෙන විත් ඇත. කටපාඩම් කිරීමේ පහසුව සඳහා ගායනා කළ හැකි පද්‍ය ආකාරයකින් කෘති රචනා වීමට එයද හේතුවක්ව ඇත. වත්මන් යුගයේ අපට සිතා ගැනීමට පවා නොහැකි ප්‍රමාණයක් වූ සාහිත්‍යය, ආගමික, ශාස්ත්‍රීය (කෘති) කටපාඩම් කිරීමේ ක්‍රියාවලියක් කාලයක් තිස්සේ පැවතුණි. මාතලේ අළු විහාරයේදී ග්‍රන්ථාරූඩ කරන තෙක් ත්‍රිපිටකය කටපාඩමින් පවත්වාගෙන ආ බව ප්‍රකට කරුණකි. ඒ සඳහා ගොඩනැගුණු යම් සංවිධාන ව්‍යුහයකට අනුව පරම්පරාගතව මෙම දැනුම කටපාඩමින් පවත්වාගෙන විත් ඇත. දැනුම සහ සාහිත්‍යය ගබඩා කරන උපකරණය මිනිසෙක්ම විය.

          තාක්‍ෂණය ඒ බරින් මිනිසා නිදහස් කරන ලදී. ආරම්භයේදීම ඔහුට ලේඛනයේ යෙදීමට සිදුවූයේ මැටි පුවරු, ගල් පුවරු, ලී පුවරු, ගස් පතුරු, සමහර කොළ වර්ග ආදියෙහිය. මෙලෙස ලේඛනයෙහි යෙදීම අධික ශ්‍රමයක් සහ එනිසාම වැයක් දැරීමට වූ කාර්යයන් විය.

           ඒ නිසා ලේඛනයේ යෙදීමට හැකි වූයේ රජවරු වැනි සමාජයේ ඉහළ ප්‍රභූ පිරිසකට පමණි. හමුරාබි රජුගේ නීති සංග්‍රහය ඔහු ගල් පුවරුවල සටහන් කර බැබිලෝනියාවේ යම් යම් තැන්හි ස්ථානගත කොට ඇත. අශෝක රජුගේ ප්‍රකට අශෝක සෙල් ලිපිද එලෙස ගල් පුවරුවල ලියා දක්වන ලද ඒවාය. ලංකාවේද මේ සඳහා උදාහරණ රාශියක් ඇත. ජනතාව අතර කට පාඩමින් ගෙන යන ජන කවි, ජන ගීත, නාට්‍ය ආදී ජන කලාවක් ජන සාහිත්‍යයක් පැවති අතර සාහිත්‍ය කලාව විෂයක් වශයෙන් වර්ධනය වූයේ ප්‍රභූන් අතය. සාහිත්‍ය නිර්මාණයද, සාහිත්‍ය රස වින්දනයද පැවතියේ සීමාවන් යටතේය.

          තාක්‍ෂණයෙහි දියුණුව ක්‍රමයෙන් මේ සීමා බිඳ දමන්නට විය. මුද්‍රණ කර්මාන්තයේ දියුණුව විසින් විශේෂයෙන්ම ධනවාදයේ නැගී ඒමත් සමගම ලේඛනයේ යෙදීමටද කියවීමටද ඇති ඉඩකඩ බොහෝ පුළුල් විය. පොත්පත්, සඟරා, බහුල ලෙස මිනිසුන් අතට පත්වන්නට විය. කෙසේ වෙතත් පරිඝනකය සහ අන්තර්ජාලය පැමිණීමට පෙර කාලය ගත්තද කෙනෙකුට තම රචනාවක් එළිදැක්වීම පහසු කාරණයක් නොවීය. මුද්‍රණය යනු ප්‍රාග්ධන හිමියවුන් අත පැවති කර්මාන්තයක් වීම නිසා ප්‍රකාශනය වියදම් අධික කාර්යයක් විය. පුවත්පතක හෝ සඟරාවක යමක් පළ කිරීමට නම් එහි දැක්මට, රුචිකත්වයට පටහැනි නොවන ලෙස ලේඛනයේ යෙදීමටද සිදුවිය.

             එහෙත් පරිඝනයකය සහ අන්තර්ජාලය විසින් සිදුකර ඇත්තේ කුමක්ද? එය විසින් ලේඛකයාද, සංස්කාරකයාද ප්‍රකාශකයාද එක් අයෙක් බවට පත් කර ඇත. එය ඉතා පහසු සරල වේගවත් දෙයක් බවට පත්ව ඇත. තාක්‍ෂණයේ මෙම වර්ධනය විසින් සාහිත්‍ය නිර්මාණකරුවන්ට ඉතා ඉක්මනින් අති මහත් පාඨක සමූහයා වෙත ළඟාවීම සඳහා වේදිකාවක්ද ඒ හා සමගම සාමාන්‍ය පාඨක සමූහයාට නිර්මාණකරු වෙත ළඟාවීමේ වේදිකාවක්ද ඉදිකර ඇත.

             පැරණි අදහස අනුව ප්‍රකාශනයක් යනුවෙන් පිළිගැනෙනුයේ මුද්‍රිත පොතකි. එහෙත් වර්තමානයේ එම පිළිගැනීම අවසන් වී ඇත. ප්‍රැන්ක්ෆර්ට් පොත් සල්පිල (Frankfert book fair) යනු ලෝකයේ විශාලතම පොත් සල්පිල් දෙකෙන් එකක් ලෙස සැලකේ. එය ජොහැන්නස් ගුටෙන්බර්ග් (Johannes Gutenberg) විසින් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමත් සමගම ආරම්භ වූ බව සැලකේ. ඒ මීට වසර 500 කට පමණ පෙරය. 2010 ඔක්තෝම්බර් මාසයේ පැවති ෆ්‍රැන්ක්ෆර්ට් පොත් සල්පිල අතරතුරදී පැවති “ඩිජිටල් අයිතිවාසිකම්” පිළිබඳ සාකච්ඡාවකදී පොත් අන්තර්ජාලය මගින් ලබාදීමට මිලදී ගැනීමට එකඟතාවයක් ඇතිවිය. ප්‍රකාශනයක් යනු මුද්‍රිත පොතක් යන පැරණි අදහස එහිදී අතහැර දමන ලදී. අතත්‍ය ආකාරයේ (Virtual Form) ප්‍රකාශන වත්මන් ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ ප්‍රබල එකක් වෙමින් පවතී. එහි පාඨකයින්ට ඉක්මණින් ළඟා වීම ඇතුළු විභවයන් රාශියක් පවතී.

          කෙසේ වෙතත් මේ නව තත්වය තුළ වුවද සාහිත්‍ය, ප්‍රකාශන කෙරෙහි වන වෙළඳපළ සම්බන්ධයන්ද ඒ අයුරින්ම පවතින බව මතකයේ තබාගත යුතුය. අති විශාල ප්‍රාග්ධන හිමිකාරීත්වයකින් යුතු බහු ජාතික සමාගම් සාහිත්‍ය, ප්‍රකාශන ක්‍රියාවලිය තුළ ප්‍රධාන භූමිකාවක් අත්පත් කරගෙන ඇත. ගූගල්  ඇමෙසන් බාන්ස් සහ නොබෙල් , ඇපල්  මෙම දැවැන්තයින්ය. ඇමෙසන් සමාගම එහි ප්‍රථම ඉලෙක්ට්‍රානික කියවනය  වන කින්ඞ්ල් හඳුන්වාදීමත් සමගම විශ්මයජනක අත්දැකීමකට මුහුණ දුන්නේය. එනම් මිනිසුන් මුද්‍රිත පොත්වලට වඩා ඩිජිටල් පොත් භාවිතයකට පෙළඹුණු බවයි. 2007 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද “මකර සලකුණැති තරුණිය” (The girl with Dragon tatoo) නම් නව කෘතිය එම වසරේ හොඳම අලෙවිය සහිත කෘතියක් විය. එයින් පිටපත් ලක්‍ෂ 10ක් පමණ අලෙවි වී ඇත්තේ අන්තර් ජාල පිටපත් ලෙසය. අන්තර්ජාලය තුළ ප්‍රකාශනයන් අලෙවිය ඉතා විශාල ලාභදායී ව්‍යාපාරයක්ව ඇත. විශාල සමාගම් මෙන්ම ලේඛකයින්ද මේ මගින් තම ඉපැයීම් වැඩිකර ගැනීමට පෙළඹී ඇත. කෙසේ වෙතත් විශාල වෙළඳපොළක් ඇති ඉන්දියාව තුළදී මෙම උත්සාහය මේ වන තෙක් සාර්ථක වී නොමැති බව පැවසේ.

          ඉහතින්ද යම් අයුරකින් කියවී ඇතත් තාක්‍ෂණික වර්ධනයේ නූතන තත්වය සාහිත්‍යයට බලපා ඇති ආකාරය පිළිබඳ ප්‍රධාන කරුණක් නැවත සඳහන් කළ යුතුය. එනම් තාක්‍ෂණය සහ එහි වර්ධිත උපකරණ විසින් අති විශිෂ්ට කීර්තිමත් ලේඛකයින්ට හා සමාන අවස්ථාවක් සාමාන්‍ය ජනතාවටද තම නිර්මාණ, භාව ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති බවයි. සමාජ ජාලා වෙබි අඩවි සහ බ්ලොග් (blog) මාධ්‍ය කරගනිමින් ඔවුහු පහසුවෙන් මෙය ඉටුකර ගනිති. එමෙන්ම ලේඛකයින් පර්යේෂකයින් සහ බුද්ධිමතුන් සාමාන්‍ය කියවන්නන් සමග සම්බන්ධතාවය ඉතා සමීපවී ඇත. මෙම සන්නිවේදන අවකාශය පුළුල්වීම සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමටද හේතු වී ඇත. මෙය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින තත්වයකි. කලකට පෙර සම්මාන උත්සව, පුවත්පත්, සඟරා ලිපි, සංවාද මණ්ඩප මගින් තෝරාගත් පිරිසකගෙන් සෙමෙන් ලැබුණු ප්‍රතිචාර අද ක්‍ෂණිකවම නිර්මාණකරුට ලැබේ. ගල් ගැසුණු ගුරුකුලයන්ට නිකායවාදීන්ට එමෙන්ම මූලධර්මවාදීන්ට මෙම අවකාශය තුළ රැඳී සිටීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ.

         මුද්‍රිත පොතපත, සඟරා, ලේඛන එකතු කරමින් සකස් වූ පුස්තකාල, ලේඛනාගාර වෙනුවට අන්තර්ජාල ලේඛනාගාර (Internet Archives) සහ ඩිජිටල් පුස්තකාල (Digital library) පරිහරණයද වැඩිවෙමින් පවතී. පවත්වාගෙන යාමේදීත් එනම් නඩත්තුවේදීත් අනෙක් අතට පරිහරණයේදීත් යන දෙපැත්තෙන්ම ගත් විට මෙය ලාභදායී සහ පහසු කටයුත්තක්ව ඇත. මේ නිසා සාහිත්‍ය කෘතියක දැනුමට ළඟා වීමට කලකට පෙර තිබූ බාධක අතිශය තුනීවීමක් සිදුව ඇත. එහෙත් ඒ සහමුලින්ම නොවේ. වෙළඳපොළ තර්කය තවමත් බාධාකාරී සීමාවක් ලෙස කටයුතු කරයි. ඒ කෙසේ වෙතත් අති විශාල ඉදිරි පිම්මක් පැන ඇති බව නම් සහතිකය.

       බහු මාධ්‍ය (multi media) අවකාශයක් තුළ අද අපට පොතක් හමුවන්නේ මුද්‍රිත ලියවිල්ලක ස්වරූපයෙන් පමණක්ම නොවේ. එය ශ්‍රව්‍ය, දෘෂ්‍ය (audio – vedio) සංකල්පනයකින් යුතුවද ලබාගත හැක. වෙනදා තම ශාරීරික ආබාධයක් නිසා කෘතියකට ළංවීමට නොහැකි වූ අයෙකුට වුවද වඩා පහසුවෙන් ඊට ළංවීමට ඉඩක් මේ තුළ මතුව ඇත. ඩිජිටල් සාහිත්‍යය (Digital literature) යනු අද ලෝකයේ වර්ධනය වෙමින් යන වෙනම සාහිත්‍යය ක්‍ෂේත්‍රයකි.

    නූතන තාක්‍ෂණය සාහිත්‍ය කෙරෙහි සිදුකර ඇති බලපෑම පිළිබඳ කතා කිරීමේදී එය පරිවර්තන ක්‍රියාවලියට කර ඇති බලපෑමද වැදගත් එකකි. අතීතයේදී පරිවර්තකයෝ විවිධ ගැටලු රාශියකට මුහුණ දුන්හ. ශබ්දකෝෂ, විශ්වකෝෂ ආදියෙහි හිඟකම, විමර්ශන ග්‍රන්ථ සහ මූලාශ්‍රයන්ගේ හිඟකම අති මහත් බාධාවක්ව විය. මීට අඩ සියවසකට පෙරත් විශ්වකෝෂයක් ළඟ තබා ගැනීමට යමකුට තම නිවසේ කාමරයක් වෙන් කිරීමට සිදුවිය. එහෙත් තාක්‍ෂණයේ වර්ධනය විසින් දැන් යමකුට විශ්වකෝෂ කිහිපයක් අතෙහි මිට මොළවාගත හැක. Online ශබ්දකෝෂ, විශ්වකෝෂ බහුලව ඇති අතර විවිධ මූලාශ්‍ර භාවිතා කිරීමටද වැඩි ඉඩකඩක් ලැබී තිබේ. මේ සඳහා උදව් කරගත හැකි මෘදුකාංග සහ උපකරණ රාශියක් වැඩි දියුණු වී ඇත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ, විශාල පොත් ප්‍රමාණයක් විවිධ භාෂාවලට පරිවර්තනය වීමයි. මේ මොහොතේ සංඛ්‍යා ලේඛන සොයා ගැනීමට නොහැකි වුවත් බැලූ බැල්මටම සිංහල සාහිත්‍යය පොතපත අතරටද පරිවර්තන කෘතීන් එකතුවීමේ පුළුල්වීමක් දැකගත හැකිය. මේ නිසා විවිධ සංස්කෘතීත් අනන්‍යතාවයන් පිළිබඳ පුළුල් සමාජ අවබෝධයක් වැඩි වර්ධනය වනු ඇත.

       තාක්‍ෂණික වර්ධනය සාහිත්‍යයේ කලාවේ වස්තු විෂයන් වෙනස් කිරීමට ඉවහල් වන ආකාරය ඉතා පැහැදිලිව නිරීක්‍ෂණය වන කරුණකි. කාර්මික විප්ලවය සමග ඇති වූ නාගරීකරණය, මුඩුක්කු, විරැකියාව, උන්හිටි තැන් අහිමිවීම, සූරාකෑම, පරිසර විනාශය සහ පරිසර දූෂණය ආදිය සාකච්ඡා කිරීම නූතන සාහිත්‍ය ප්‍රවණතාවයක් වශයෙන් නැගී ආවේය. විද්‍යා ප්‍රබන්ධ කතා කලාවද මෙවැනිම ප්‍රවණතාවයකි. විද්‍යා ප්‍රබන්ධ කතා කලාව අද නව කතා, ටෙලි නාට්‍ය චිත්‍රපට ආදී සෑම ක්‍ෂේත්‍රයකටම බලපා ඇත.

       අප මෙතෙක් අවධානයට ලක් කරනු ලැබූයේ තාක්‍ෂණික වර්ධනය සාහිත්‍ය ක්‍ෂේත්‍රයට කරන ලද සාධනීය බලපෑම පිළිබඳවය. මෙහි නිශේධනීය පාර්ශවයක්ද සාකච්ඡා වෙමින් පවතී. රූපවාහිනිය තාක්‍ෂණික වර්ධනයෙහි මහඟු ඵලයක් ලෙස ගත හැක. අද එය සන්නිවේදන කාර්යයේ ප්‍රබල සාධකයකි. එහෙත් ලෝකය පුරාම රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙන් නැගෙන ප්‍රධාන චෝදනාවක් ඇත. එනම් ටෙලි නාට්‍ය සහ වැඩසටහන් බොහොමයක් ආවේගයන්, ද්වේශය, කුමන්ත්‍රණ, ලේ හැලීම් සහ ව්‍යවසනයන් වස්තු විෂය කරගෙන ඇති බවත් කලාත්මක ගුණයෙන් ඉහළ ටෙලි නාට්‍ය සහ වැඩසටහන් ඉතා අඩු බවටත් වන චෝදනාවය. බොහෝ රූපවාහිනී ප්‍රේක්‍ෂකයෝ මෙම අවර ගණයේ ටෙලි නාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට පුරුදු වී සිටිති. එනිසාම කියැවීමට ඇති පෙළඹීම අඩු වී ඇත.

         අන්තර්ජාලය සම්බන්ධයෙන් වුවද මෙම ප්‍රශ්නය පැන නගී. කලාත්මක හෝ අධ්‍යාපනික ගුණයකින් තොරව හුදු ලිංගික ආවේගයන් පමණක් ආමන්ත්‍රණය කරන වීඩියෝ, කාටුන්, ඡායාරූප, චිත්‍ර සහ පරිඝනක ක්‍රීඩා ආදිය අති සුලභ වී ඇත. සමාජමය වගකීමෙන් තොර අයට සීමාකිරීම්වලින් තොරව, කිසිදු පාලනයකින් තොරව සමාජයට අහිතකර දේ මුදා හැරීමටත් අන් අයගේ පෞද්ගලිකත්වයට සමාජමය ගරුත්වයට හානිවන සේ කටයුතු කිරීමටත් මෙමගින් ඉඩ ලැබී ඇත. එමෙන්ම ඒවා පරිහරණයද වැඩි වී ඇති අතර ඉන් සාහිත්‍ය කෙරෙහි ඇති වී තිබෙන්නේ ඍණාත්මක බලපෑමකි. එය තාක්ෂණයේ ගැටලුවක් නොව පරිහරණය කරන අයගේ ගැටලුවකි.

         වැඩි වැඩියෙන් තාක්‍ෂණය මත කටයුතු කිරීමට යාමේදී සාමාන්‍ය සහජ චින්තන හැකියාව බිඳවැටිය හැකි බවටත් අදහසක් පවතී. තාක්‍ෂණයේ වර්ධනය විසින් මිනිසුන් අතර සම්බන්ධය වැඩි කරන බවටත් පුළුල් කරන බවටත් අප මුලදී තර්ක කළෙමු. එමෙන්ම නව තාක්‍ෂණික උපකරණ (Device) භාවිතයෙන්ම විශේෂයෙන් නූතන තරුණ පරපුර මුළු ගැන්වෙන ලෝකයෙන් වෙන් වූ තමා අවට ලෝකය අමතක කළ පිරිසක් බවට පත් වන බවටද අදහසක් ඇත.

සාහිත්‍යයේ වෙනස්කම් සඳහා තාක්‍ෂණයේ වර්ධනය විවිධාකාරයෙන් බලපා තිබෙන බව අපි දනිමු. ලෝකය ගමන් කරන්නේ, ඉදිරියට මිස ආපස්සට නොවේ. තාක්‍ෂණයේ වර්ධනය නොනවතින්නක් මෙන්ම ඒ හා සමග වෙනස් වෙමින් සාහිත්‍යද මානව සමාජ සංස්කෘතියේ කොටසක් ලෙස අඛණ්ඩවම පවතිනු ඇත. එය සාධනීය වන්නේ හෝ නිශේධනීය වන්නේ මිනිසා විසින් එය භාවිතා කරන ආකාරය හා අරමුණ අනුවය. එකී සාහිත්‍යයේ ඇති හැකියාවත්, නොහැකියාවත් ඇතුළු විභවතා හඳුනාගැනීම එය භාවිතා කිරීම සඳහා මනා පිටිවහලක් වනු ඇත.

Left  – 2016 Sep