ජගත් ප්‍රගතිශීලී බලවේගයන්ට අපේක්ෂා දල්වන ඉන්දියානු ගොවි අරගලය

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව 2020 සැප්තැම්බර් 20වැනිදා නව කෘෂිකාර්මික පනත් 06ක් හදිසියේ සම්මත කර ගැනීමත් සමග ඉන්දියානු ගොවි ජනතාව දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයන්ට පිවිසියහ. ආරම්භක විරෝධතා ඉන්දීය ප්‍රාන්ත රාජ්‍යයන් 20ක ස්ථාන 10,000ක පැන නැගුන අතර ඊට ගොවීන් 15,000ක් පමණ සහභාගි වූ බව වාර්තා විය. ආරම්භක ගොවිජන විරෝධතාවලින් පසුව ගොවි සංවිධාන එකතුව දිල්ලි බලා පා ගමනක් ආරම්භ කළෝය. රටේ සියලු ගොවි ප්‍රදේශවල සිට දිල්ලි බලා ඇදෙන පා ගමන අවසානයේ අගනගරය වටලෑම එහි අරමුණ විය. නොවැම්බර් 26වැනි දින ගොවිජන අරගලයට සහාය පළ කරමින් වෘත්තිය සමිති ඇතුළු බහුජන සංවිධාන සමස්ත මහා වැඩ වර්ජනයකට පිවිසියහ. අරගලයේ 30වැනි දින වන විට දිල්ලි බලා ගමන් ගන්නා මාර්ග වෙත සමස්ත ඉන්දියාවේ ගොවීහු 200,000-300,000 අතර පිරිසක් පැමිණ සිටියහ.

Image result for farmers protest in india

2020 ඔක්තෝබර් 14 සහ 2021 ජනවාරි 15 අතර කාලයේ ඉන්දියාවේ ගොවි සංවිධාන හා මධ්‍යම රජය අතර සාකච්ඡා වාර 09ක් සිදු කෙරුණද ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. ඉන්දියාවේ පැන නැගී ඇති මෙකී ගොවිජන අරගලය ඉන්දීය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති දැවැන්තම ගොවිජන අරගලයයි. මෙකී අරගලය තුළ ගොවි ජනතාව සිය විරෝධය ප්‍රකාශ කිරීම සඳහා විවිධ ක්‍රම යොදා ගනිමින් තිබේ. උද්ඝෝෂණ, රැළි, පා ගමන් මෙන්ම ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ග අවහිර කිරීමද සිදුකර තිබුණි. පන්ජාබ් ප්‍රාන්තය තුළ ඔක්තෝබර් මාසයේ සිට මාස 02කට වැඩි කාලයක් දුම්රිය ගමනාගමනය නවතා දමා තිබුණි. පසුව එමගින් ගොවිතැනට අවශ්‍ය පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය ඇණ සිටින බැවින් දුම්රිය ගමනාගමනයට ගොවීන් යළිත් ඉඩ ලබාදී තිබුණි. මේ වන විට දිල්ලි නගරයට ප්‍රවේශ වන ස්ථාන 14ක් අවහිර කරමින් ගොවීහු කඳවුරු ලා සිටිති. මාස ගණනක් දිග්ගැසුණු මෙම අරගලයේදී ගොවීන්ට අවශ්‍ය ආහාරපාන සකස් කිරීම සඳහා ජංගම මුළුතැන් ගෙවල්, ආපන ශාලා, ගොවීන්ට නවාතැන් සඳහා අවශ්‍ය පහසුකම්, ඖෂධ, ආරක්ෂාව ආදිය සඳහාද අවශ්‍ය පහසුම් සපයා තිබුණි. අනෙක් වැදගත් විශේෂ කරුණ වන්නේ ගොවි කාන්තාවන්ද මෙම අරගලය තුළ පෙරමුණ ගෙන සිටීමය.

නරේන්ද්‍ර මොදිගේ ආණ්ඩුව විසින් සම්මත කරන ලද

  1. ගොවි නිෂ්පාදන අළෙවිය හා වාණිජකරණය පිළිබඳ (ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීමේ) පනත.
  2. මිල සහතික කිරීමේ සහ ගොවිජන සේවා පනත පිළිබඳ (ගොවීන් සවිබල ගැන්වීමේ හා ආරක්ෂා කිරීමේ) ගිවිසුම.
  3. අනවශ්‍ය වෙළඳ භාණ්ඩ පිළිබඳ (සංශෝධන) පනත. 
    යන පනත් ත්‍රිත්වය වහාම හකුළා ගන්නා ලෙස බල කරමින් ගොවීන් විසින් මෙම විරෝධතාවලට පිවිස තිබේ.

බිලියන 1.3ක් වූ ඉන්දියාවේ අති විශාල ජනගහනයෙන් 2/3ක් පමණ, එනම් මිලියන 800ක් පමණ කෘෂිකර්මාන්තයෙන් යැපෙන්නෝ වෙති. ඉන්දියාවේ සමස්ත ජාතික ආර්ථික නිෂ්පාදිතය 17%ක් එනම් එ.ජ. ඩොලර් මිලියන 2.3ක් පමණ කෘෂිකර්මාන්තයෙන් ඉපැයේ. ඉන්දියාවේ ගොවි ජනතාවට සහන සැලසීමේ අරමුණින් පිහිටුවා ඇති කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළ කමිටුව මගින් ගොවි නිෂ්පාදන ගොවීන්ට අවාසි සහගත නොවන මිලකට මිලදී ගැනීම සඳහා සෑම ප්‍රාන්ත රාජ්‍යයකම ගොවි නිෂ්පාදන මිලට ගැනීමේ වෙළඳ මධ්‍යස්ථාන හෙවත් මණ්ඩි පිහිටුවා තිබේ. මෙම යාන්ත්‍රණය පනතක් මගින් ස්ථාපිත කර ඇති අතර ගොවි නිෂ්පාදනයන් පළමුව විකිණිය යුත්තේ මෙම වෙළඳ මධ්‍යස්ථාන තුළදීය. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ගොවි නිෂ්පාදන අඩු මිලකට මිලදී ගැනීමෙන් ගොවීන් සූරාකෑමට ඇති හැකියාව අවම කරනු ලැබ තිබේ. හඳුන්වාදී ඇති පනත් තුනෙන් පළමු පනත මගින් ගොවීන්ට එකී වෙළඳ මධ්‍යස්ථානවලින් පිටත සිය නිෂ්පාදනයන් අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙයි. ගොවීන් චෝදනා කරන්නේ මේ මගින් මුකේෂ් අම්බානි, ගෞතම් අදානි වැනි මහා පරිමාණ ව්‍යාවසායකයන්ට ගොවි නිෂ්පාදන කොල්ලකාරී අඩු මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවත් ගොවි නිෂ්පාදන ගොවීන්ට අවාසි සහගත නොවන මිලකට විකුණා ගැනීම වෙනුවෙන් හඳුන්වාදී ඇති යාන්ත්‍රණය විනාශ වී ගොස් ගොවි ජනතාව මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වන බවත්ය.

Image result for farmers protest in india

සම්මත කරගෙන ඇති දෙවන පනත මගින් ගොවි ජනතාව හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් අතර ගොවි නිෂ්පාදන අලෙවිය හා බෝග වගාව පිළිබඳ ගිවිසුම් ගත වීමට ඉඩ ලබාදෙයි. එමගින් සිදුවන්නේ ගොවි ජනතාව මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ ගිවිසුම්වල අත්අඩංගුවට පත්වීමය. තවද එම පනත මගින් ගිවිසුම් කඩවීමකදී ගොවි ජනතාවට අධිකරණය වෙත පිවිසීමට ඇති අවස්ථාවද අහිමි කරනු ලැබ තිබේ.

තෙවැනි පනත අලුත් පනතක් නොවන අතර එය තිබූ පනතට සංශෝධන ගෙන ඒමකි. සංශෝධනයට පෙර තිබූ පනත මගින් සමාගම්වලට බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගනිමින් කෘත්‍රිම ඉල්ලුමක් ඇති කර වැඩි මිලකට එම අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට අලෙවි කිරීමේ හැකියාව සීමාකර තිබුණි. නමුත් නව සංශෝධනයට අනුව ආණ්ඩුව ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ නාම ලේඛනයෙන් ඉවත් කර දමා ඇති අතර එකී භාණ්ඩවල මිල පාලනයට ආණ්ඩුව මැදිහත්වන්නේ ස්වභාවික ආපදාවකදී, සාගතයකදී, යුද්ධයකදී හෝ අධික මිල වැඩිවීමකදි පමණි. මෙහිදි ආණ්ඩුවට මැදිහත්වීමට ඉඩකඩ ලැබෙන ‘අධික මිල වැඩිවීමක්’ යනු පවත්නා වෙළඳපොළ මිලෙන් 50%ක හෝ 100%ක වැඩිවීමකි. ඒ අනුව නව සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසු වෙළෙඳුන්ට භාණ්ඩ රැස්කර තබා ගනිමින් කෘත්‍රිම ඉල්ලුමක් සෑදීමටත් භාණ්ඩ එහි පවත්නා මිලෙන් 50% – 100% ක් දක්වා අතර ඉහළ මිලකට අලෙවි කිරීමටත් ඉඩ ලැබෙයි.

ඉන්දියානු ගොවීහු මේ වන විටත් දැවැන්ත සූරාකෑමකට හා පීඩනයකට ලක්වී සිටිති. ඔවුන්ට ඉතා ඉහළ මිල ගණන්වලට බීජ මිලදී ගැනීමට සිදුවී තිබේ. යන්ත්‍ර සූත්‍ර ඇතුළු අනෙකුත් දේ මිලදී ගැනීම සඳහා ණය ගැනීමට සිදුවී තිබේ. සිය පවුලේ සාමාජිකයන් සමග මාස ගණනක් වෙහෙස නොබලා වැඩ කළද ණය ගෙවා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් ඔවුනට නොලැබේ. ණය දෙන සමුපකාර, අතරමැදියන්, බැංකු, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ඔවුන් ග්‍රහණයට ගෙන දරුණු ලෙස සූරාකමින් සිටී. මේ නිසා ගොවි ජනතාව අතර සිය දිවි නසාගැනීමේ බරපතළ ලෙස ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ සමස්ත සියදිවි නසා ගැනීම්වලින් 44%ක් ගොවිජන සියදිවි නසා ගැනීම් වන අතර, දිනකදී ගොවිජන සියදිවි නසා ගැනීමේ 28ක් සිදුවේ.

මෝදි පාලනය විසින් හඳුන්වාදී ඇති නව පනත් මගින් ඉන්දියාවේ ගොවි ජනතාවගේ තත්වය තවත් දරුණු අතට පත් කෙරේ. ගොවි ජනතාව ණය බරෙන්, සූරාකෑමෙන් හා පීඩනයෙන් අත්මිදෙනවා වෙනුවට ඔවුන් වැඩි වැඩියෙන් සූරාකෑම සඳහා සමාගම්වලට ඉඩ විවර කරදෙයි. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වන, ඉතිරි වී ඇති සියලු යාන්ත්‍රණයන් අහෝසි කර දමයි. නරේන්ද්‍ර මෝදි පාලනය සිය නව ලිබරල්වාදී ක්‍රියාමාර්ග මගින් අම්බානි, අදානි වැනි ධන කුවේරයන්ට ගොවි ජනතාව රිසිසේ සූරාකෑමට අවස්ථා විවර කර දෙනු ලැබ තිබේ. එසේම මේ සිදු කරනු ලැබ තිබෙන්නේ කොවිඩ් ලෝක වසංගත තත්වය හමුවේ කර්මාන්තයන් බිඳ වැටෙද්දී ලාභ උපරිම කරගැනීම සඳහා යම් තරමකට හෝ ස්ථාවරව පවතින කෘෂි කර්මාන්තය වෙත පිවිසීමට සමාගම්වලට ඉඩ විවර කර දීමය.

කෙසේ වෙතත් ඉන්දීය ගොවිජන අරගලය විසින් පෙන්වා දී තිබෙන්නේ, ගොවි ජනතාව මෝදි ආණ්ඩුවේ එකී, නව ලිබරල්වාදී ක්‍රියාමාර්ගයන්ට ඉඩ නොදෙන බවකි. ඉන්දීය ගොවි අරගලය එරට ප්‍රගතිශීලී ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයේම ප්‍රගතිශීලී බලවේගයන්ට නව බලාපොරොත්තුවක් ජනිත කරනු ලැබ තිබේ.

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit