කොරෝනා ආසාදිත රූස්වෙල්ට් නැව් කපිතාන් නොකී කතාව

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

තියඩෝර් රූස්වෙල්ට් නම් ඇමරිකානු ජනාධිපතිවරයාගේ නමින් නම් කරන ලද එක්සත් ජනපද නාවුක හමුදාවේ ගුවන් යානා හාරක යුද නෞකාව මේ මොහොත වන විට ශාන්තිකර සාගරයේ ගුවාම් දූපත අසල නැංගුරම් ලා ඇත. මෙම යුද නැවෙහි සෙබළුන් 6000ක් රැඳවිය හැකි අතර මෙහි දිග අඩි 1092කි. පළල අඩි 252කි. බර ටොන් ලක්ෂයකට වැඩිය. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින් බලගැන්වෙන වාෂ්ප ටර්බයින 04කින් ඊට බලය සැපයෙයි. මෙම නැව ප්‍රහාරක යුද ගුවන්යානා සහ හෙලිකොප්ටර් සියයකට ආසන්න ගණනක් ප්‍රවාහනය කළ හැකි ජංගම ගුවන් කඳවුරක් බඳුය. යුද ශක්තිය අතින් ගත් කළ ගුවනට විදිය හැකි මිසයිල පද්ධති 04කින්ද තුවක්කු වර්ග ගණනාවකිද රේඩාර් පද්ධති 08කින්ද ටෝපිඩෝ ප්‍රහාරක අවිවලින්ද සන්නද්ධය. කෙටියෙන්ම කිවහොත් 1984දී පළමුවරට දියත් කරන ලද නමුත් නූතන යුද්ධයකට අවශ්‍ය වන සියලු අංගෝපාංයන්ගෙන් මෙම නෞකාව සම්පූර්ණය. 1991 ගල්ෆ් යුද්ධයේ සිට 2015 අයිඑස් අන්තවාදීන්ට එරෙහිව දියත් කරන ලද මෙහෙයුම් දක්වා එක්සත් ජනපදය සම්බන්ධ වූ යුද කටයුතුවලදී තියඩෝර් රූස්වෙල්ට් නෞකාව එ.ජ. යුද සම්මාන 20කට ආසන්න ගණනකින් පිදුම් ලැබූවකි.

කෙසේ වුවද මේ සටහන ඉහත එ.ජ. යුද නෞකාව පිළිබඳ වැනුමකට නොවේ. අද එම දැවැන්තයා පත්ව ඇති අසරණකම පිළිබඳ විකල්ප කියවීමකටය. පසුගිය මාර්තු 31වැනි දින නෞකාවේ කපිතාන් බ්‍රෙට් ක්‍රෝසියර් එක්සත් ජනපද නාවුක හමුදාව වෙත පිටු හතරකින් යුත් ලිපියක් යොමු කළේය. නෞකාවේ 5,000කට වැඩි පිරිසක් සිටින බවත් ඉතා විශාල පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් නාවිකයන් කොරෝනා වයිරසයෙන් මියයෑමේ අවදානමක් තිබෙන බැවින් ඉතා ඉක්මනින් ඔවුන් බේරාගත යුතු බවත් ඔහු එයින් කියා තිබිණි.
නෞකාවේ සිටින 4,000කට වැඩි නාවිකයන් පිරිස ඉන් මුදාගෙන හුදෙකලා කර ඔවුන් ප්‍රමාණවත් පරිදි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන්නැයි ද ඔහු සිය ලිපියෙන් ඉල්ලා ඇත. “අපි යුද්ධයකට මුහුණ දීලා නැහැ. ඒ නිසා නාවිකයන්ට මැරෙන්න දෙන්න බැහැ. ඔවුන් ජීවත් වෙන්න ඕනෑ. අපි ඉක්මන් නොවුණොත් අපේ ඉතාම වටිනා වත්කම වන අපේ නාවිකයන් බේරගන්න අපි අසමත් වෙනවා” කපිතාන්වරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපිය සම්බන්ධයෙන් මුලින්ම ‘සෙන්ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්’ පුවත්පත විසින් වාර්තා කර තිබූ බවද පසුව රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ඇමෙරිකානු පරිපාලනය ඒ බව තහවුරු කර තිබූ බවද මාධ්‍ය වාර්තා කළේය. නෞකාවේ සිටින පිරිසෙන් සියයකට වැඩි පිරිසකට දැනට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

අවශ්‍ය නම් අපට මෙම සටහන මෙතැනින් නතර කළ හැකිය. ප්‍රවෘත්තියේ අඩංගු විය යුතු දේ යැයි සාපේක්ෂ වශයෙන් අපේක්ෂිත දේ මෙහි ඇතුළත්ය. එහෙත් වැදගත්ම පණිවිඩය මේ පුවතේ නොලියවුණු කොටසය. අපට පෙනෙන ලෙසට මෙම යුද නෞකාව අද එක්සත් ජනපදය රටක් ලෙස මුහුණ දී ඇති ඉරණම පිළිබඳ සංකේතයකි. සංකීර්ණ තාක්ෂණයෙන් යුත් යුද නැව ලෙසටම එක්සත් ජනපදයද ධනවාදය විසින් අත්පත් කරගත් ඉහළම තාක්ෂණයෙන්, යුද අවි බලයෙන් සන්නද්ධය. එහෙත් නෞකාවේ කපිතාන් පරිද්දෙන්ම එ.ජ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මාධ්‍ය හමුවේ වේදනා සහගත මුහුණින් පවසන්නේ තම රට වේදනාකාරී අනාගතයකට මුහුණ දී ඇති බවය. ඔහුට කොවිඩ් 19 සතුරාට න්‍යෂ්ටික මිසයිලවලින් පහර දිය නොහැකිය. දියුණුම රේඩාර් පද්ධතිවලින් පලක් වූයේ නැත, වෛරසය ඇමරිකාවේ හදවතටම කඩා වැදී දෛනිකව දහසකට වැඩි මිනිසුන් බිලි ගැනීම වළක්වාලීමට ඒවා සමත් වූයේ නැත. එ.ජ. ධනවාදය තමන්ගේ ශක්තිය පිළිබඳව සිටියේ අධි තක්සේරුවකය. අවසානය දක්වාම පිටවූ ට්‍රම්ප්ගේ වහසිබස්වලින් කියවුණේ එයය. අවසානයේ කොරෝනා වෛරසය රිංගුවේ එහි දුර්වලම තැනෙනි.

එක්සත් ජනපදය නේටෝ යුද හවුලේ නායකයාය. සාමාජික රටකට සතුරෙකුගෙන් තර්ජනයක් වූ විට එය කෙතරම්නම් කෝප ගත යුතුව තිබිණිද? ඒ අනුව බලන විට කුවේටය, ඉරාකය, සිරියාව කෙතරම් දුරස්ථ රටවල් වීද? ඉරානයේ විප්ලවීය හමුදාවේ ප්‍රධානියා ඉරාක ගුවන්තොටුපළේදී කැබලිකර දමන්නට සිය යුද හැකියාව මෑනුවේ මෑතකදීය. එහෙත් තමන්ගේ යුද හවුලේ 1949 ආරම්භක සාමාජික කාණ්ඩයේ ඉතාලිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය වැනි රටවල්ද 1982දී එහි තුරුලට ආ ස්පාඤ්ඤයද කොවිඩ් 19 වසංගතයෙන් පීඩා විඳිද්දී එක්සත් ජනපදය සැපයූ නායකත්වයක් නැත. වෛද්‍ය කණ්ඩායම් එව්වේ නැත. වෛද්‍ය උපකරණ එව්වේ නැත. අවම තරමින් ඩොලරයක දෙයක් දුන් බවට තොරතුරක් නැත. එහෙත් කියුබාව සිය හොඳම වෛද්‍ය කණ්ඩායමක් උපකරණ සමග එහි යැවීය. චීනය හා රුසියාවද වෛද්‍ය කණ්ඩායම් හා උපකරණ එහි යැවීය. නේටෝ කඳවුරේ සගයෙක් උදව් කළේනම් ඒ ඉතාලියේ සහයට පැමිණි ජර්මනිය පමණි.

21වැනි සියවසේ කඩාවැදුණු නව කොරෝනා වසංගතය ලෝකයට අලුතින් හිතන්නට අවස්ථාවක් ලබා දී ඇත. එනම් ලෝකයේ සංවර්ධන ප්‍රමුඛතාවන් ලැබිය යුත්තේ කවර ක්ෂේත්‍රයන්ටද යන්නය. හුදු ලාභය අරමුණු කර ගත් සමාජ ක්‍රමයකට යා හැකි දුර කොපමණද යන්න පෙන්වා දීමටය. කොරෝනා ආසාදිතව නොමිලේ ප්‍රතිකාර අහිමිව මරණයට පත්වීමට සිදුවූ කැලිෆෝනියාවේ 17 හැවිරිදි තරුණයාගේ සිට නිව්යෝර්ක් නගරයේ හෝටල් කාමර 150,000ක් හිස්ව තිබියෙදී වාහන අංගනවල එළිමහනේ ‘දුරස්ථකරණයට’ යටත්ව නින්දට යෑමට බලකෙරී ඇති මිනිසුන් දක්වා එය ඉතා හොඳින් පෙන්වා දෙමින් තිබේ. රක්ෂණ ආවරණ නොමැති තරුණ පරම්පරාවට සහ දරිද්‍රතාවයෙන් පෙළෙන්නවුන්ට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබීම වෙනුවෙන් ගෙවීමට ඩොලර් 34,000ක් නොමැත. ඔවුනට තෝරාගැනීමට ඇත්තේ සුවවන තෙක් අල්ලා ගෙන සිටීම හෝ මරණයයි.

මේ සටහන තබන මොහොත වන විට එක්සත් ජනපදයේ ලක්ෂ 2කට වැඩි කොවිඩ් 19 ආසාදිතයින් හා 20,000කට වැඩි දෛනිකව ඉහළ නගින නව ආසාදිතයින් ගණන සලකා බැලිය යුත්තේ මෙවන් පසුබිමක් තුළය. හොඳම ආකාරය නොවූවද මේ අසරණයින් තමන් මේ ඉරණමට ඇද දැමූ දුෂ්ට සමාජ ක්‍රමයෙන් පළිගනිමින් සිටිනවා වත්ද?

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit