කොමියුනිස්ට්වාදයේ මූලධර්ම

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

ප්‍රෙඩ්රික් එංගල්ස්

1 වැනි ප්‍රශ්නය:- කොමියුනිස්ට්වාදය යනු කුමක්ද?

පිළිතුර:- කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පංතිය විමුක්ති කරලීමේ තත්ත්වයන් පිළිබඳ උගැන්වීමය.

2 වැනි ප්‍රශ්නය:- නිර්ධන පංතිය යනු කුමක්ද?

පිළිතුර:- යමකිසි ප්‍රාග්ධනයකින් ලබන ලාභයකින් නොව, තම ශ්‍රමය මඟින් පමණක් ජීවත් වීමේ මාධ්‍යයන් ලබා ගන්නා සමාජයික පංතිය නිර්ධන පංතිය නමින් හැඳින්වෙයි. මේ පංතියේ සැපත හා දුකද, ජීවිතය හා මරණයද ශ්‍රම ඉල්ලුම මත පදනම් වී ඇත. එනම්, ව්‍යාපාරයේ යහපත් සහ අයහපත් තත්ත්වයන්ගේ වෙනස්වීම, කොහොමටවත් පාලනය කළ නොහැකි තරඟයේ උච්චාවචනය මත මේ පංතියේ මුළු මහත් පැවැත්ම ද පදනම් වී ඇත. එක් වචනයකින් කියතොත්, නිර්ධනීන්, නැතිනම් නිර්ධන පංතිය 19 වැනි සියවසරේ වැඩ කරන ජනතා පංතිය වන්නේය.


3 වැනි ප්‍රශ්නය:- එහෙනම්, නිර්ධන පංතිය හැමදාම පැවතුනේ නැතිද?

පිළිතුරු:- නැත. හැමදාම නොවේ. දුප්පත් හා වැඩ කරන පංති හැමදාම පැවතුණි. රීතියක් වශයෙන් වැඩ කරන පංති දුප්පත්ව සිටියහ. එහෙත් ඉහත සටහන් වූ තත්ත්වයන් යටතේ ජීවත් වූ එවැනි දුප්පතුන්, එවැනි කම්කරුවන්, එනම්, නිර්ධනයෝ හැමදාම නොසිටියහ. එමෙන්ම තරඟය හැමදාම පූර්ණ නිදහස්ව සහ අසීමිතව නොතිබිණි.


4 වැනි ප්‍රශ්නය:- නිර්ධන පංතිය බිහිවූයේ කෙසේද?

පිළිතුර:- ඉකුත් ශතවර්ශයේ දෙවැනි භාගයේදී එංගලන්තයේ ඇති වූ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්ධන පංතිය බිහිවිය. පසුව මේ කාර්මික විප්ලවය ලෝකයේ අනිකුත් ශිෂ්ට රටවලට පැතිරුණි. මේ විප්ලවය ඇති වූයේ වාෂ්ප යන්ත්‍රය, නූල් කටින යන්ත්‍රය, රෙදි වියන යන්ත්‍රය සහ තවත් වෙනත් යන්ත්‍ර සූත්‍ර සොයාගැනීම නිසාය. මේ යන්ත්‍ර අධික මිලැති ඒවා වූයෙන්, ඒවා මිළදී ගත හැකි වූයේ මහ ධනවතුනට පමණකි. මේ නිසා එතෙක් පැවති නිෂ්පාදන ක්‍රමය වෙනස්විය. කම්කරුවන්ට තම චර්කාවලින් සහ නොදියුණු අත් යන්ත්‍ර වලින් නිපදවිය හැකි, දේවලට වඩා හොඳටත්, ලාභයටත් මේ යන්ත්‍ර මඟින් නිපදවිය හැකි නිසා පැරණි කම්කරුවන්ට මහ මගට බැසීමට සිදුවිය. මේ හේතුව නිසා මේ යන්ත්‍ර විසින් මුළු මහත් කර්මාන්තයම මහා ධනපතීන් අතට පවරන ලදී, කම්කරුවන් සතු ඉතා නොවැදගත් දේපොළ වල (උපකරණ, අත් යන්ත්‍ර ආදිය) වටිනාකම එහෙම පිටින්ම නැති කර දමන ලදී. ධනපතීන් ඉක්මණින් හැම දෙයක්ම තමන් සතු කර ගත් නිසා කම්කරුවන්ට කිසිවක් ඉතිරි නොවීය. මේ හේතුවෙන්, රෙදි විවීම කාර්මික මෙහෙයුම් පද්ධතියක් (හෙවත් ෆැක්ටරි ක්‍රමය) මත ආරම්භ විය. – යන්ත්‍ර යොදවා කාර්මික මෙහෙයුම් පද්ධතිය මත නිපදවීමේ අදහස ඇති වූ විගසම, කර්මාන්තයේ ඉතිරි සියළු අංශ වලට කාර්මික පද්ධති සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. විශේෂයෙන්ම රෙදි නිපදවීම, පොත් මුද්‍රණය, වලං සෑදීම, ලෝහ භාණ්ඩ සෑදීම ආදි ක්ෂේත්‍රවලට එය පැතිරිණි. ශ්‍රමය එක් එක් කම්කරුවන් අතර වැඩි වැඩියෙන් බෙදීයාමට පටන් ගති, ඉස්සර කම්කරුවා මුල සිට අග දක්වා සම්පූර්ණයෙන්ම යමක් නිපදවීමට වැඩ කළ නමුදු, දැන් යම් කිසිවක කොටසක් පමණක් නිපදවන්නට විය. මේ ශ්‍රම විභජනය නිපදවීම වඩාත් ඉක්මන් කළ අතර එහි මිළද අඩු කළේය. මෙය හැම කම්කරුවෙකුගේම ක්‍රියාකාරිත්වය යම් කිසි එක් දෙයකට, ඉතා සරළ, ස්ථාවර ලෙසම නිතර නිතර සිදුවන, පුනරාවර්තන යාන්ත්‍රික මෙහෙයුමකට සීමා කළේය. මෙය එතරම්ම සාර්ථක ලෙස නැතිනම්, එයටත් වඩා හොඳින් යන්ත්‍රයට කළ හැකි විය. ඉතින් මේ විදිහට කර්මාන්තයේ හැම ක්ෂේත්‍රයක්ම එකින් එක වාෂ්ප බලයටද, යන්ත්‍රයටද, කාර්මික මෙහෙයුම් පද්ධතියටද යට වූයේ, නූල් කැටීම සහ රෙදි විවීම යාන්ත්‍ර කරණයට හසු වූ පරිදිමය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේවා සියල්ල මහා ධනවතුන් සතු විය. ඉස්සර මේ කර්මාන්ත වල යෙදී සිටි කම්කරුවන්ට සිය ස්වාධීනත්වයේ අවසාන නටබුන් පවා නැති විණි. ක්‍රම ක්‍රමයෙන් පැක්ටරි ක්‍රමයට, වචනයේ
පරිසමාප්ත අර්ථයෙන් හස්තෝපක්‍රම කර්මාන්ත නිෂ්පාදනය පමණක් නොව, හස්ත කර්මාන්ත අංශ පවා යටවන්නට විය. මහා ධනවතුන් කුඩා හස්ත කර්මාන්ත ශිල්පීන් පන්නා දමා, විශාල කර්මාන්තශාලා සංවිධානය කළහ. මේ නිසා නිපදවීම සඳහා යන වියදම බොහෝ දුරට අඩු වූ අතර සවිස්තරාත්මක ශ්‍රම විභජනයක් ඇති විය. ශිෂ්ටාචාර සියළු රටවල ශ්‍රමයේ හැම ක්ෂේත්‍රයකම පාහේ පැක්ටරි නිෂ්පාදනය තහවුරු වූ අතර හැම ක්ෂේත්‍රයකට පාහේ හස්ත කර්මාන්තය හා කුඩා නිෂ්පාදන ක්‍රමය වෙනුවට විශාල කර්මාන්තය ඇති විය. මෙහි විපාකයක් වශයෙන්, ඉස්සර මැද කොටස, විශේෂයෙන්ම කුඩා හස්ත කර්මාන්ත ශිල්පීහු වඩ වඩාත් ආර්ථික විනාශයට මුහුණ පෑහ. ශිල්පියාට හිමිව තිබූ පැරණි තත්වය එහෙම පිටින්ම වෙනස් විය. අනිකුත් සියලු කොටස් අභිබවා
අළුත් පංතීන් දෙකක් ක්‍රම ක්‍රමයෙන් බිහිවිය. ඒවා මෙසේය:

i. මහා ධනවතුන්ගේ පංතිය. සියළු ශිෂ්ටාචාර රටවල වත්මන් අවධියේ සියලු ජීවන මාධ්‍යයයන්ද, එමෙන්ම නිෂ්පාදනයට අවශ්‍ය දේ වන අමු ද්‍රව්‍යද, උපකරණද (යන්ත්‍ර, කම්හල් ආදිය) අයිති මේ එකම පංතියටයි. එය ධනපතීන්ගේ පංතිය හෙවත් ධනපති පංතියයි.

ii. කිසිදු ධනයක් නොමැති පංතිය. මේ හේතුව නිසා තම බඩ වියත රැකගනු වස් ශ්‍රමය ධනපති පංතියට විකුණා තම පැවැත්මට අවශ්‍ය දේ ලබා ගැනීමට මොවුන්ට සිදු වී ඇත. මෙය නිර්ධනීන්ගේ පංතිය හෙවත් නිර්ධන පංතිය නමින් හැඳින්වේ.

5 වෙනි ප්‍රශ්නය:- නිර්ධනීන් ධනපති පංතියට තම ශ්‍රමය විකුණන්නේ කිනම් තත්ත්වයන් යටතේද?

පිළිතුර:- ශ්‍රමය වෙනත් අන් ඕනෑම භාණ්ඩයක් මෙනි. අන් සියළු භාණ්ඩවල මිල නියම කරන නියාම අනුව මෙයද නිර්ණය කෙරේ. මහා කර්මාන්තයේ නැතිනම් නිදහස් තරඟයේ ආධිපත්‍යය යටතේ -මේ දෙකම එකක් බව අපට පසුව දැකීමට හැකි වනු ඇත- භාණ්ඩයක මිල සාමාන්‍යයෙන් නිතරම එම භාණ්ඩයේ නිෂ්පාදන වියදමට සමාන වේ. ඒ අනුව ශ්‍රමයේ මිල එම නිෂ්පාදනයේ වියදමට සමාන වේ. ශ්‍රම නිෂ්පාදන වියදම, ක්මකරුවාට සිය ශ්‍රමය වැය කිරීමේ තත්ත්වය ආරක්‍ෂා කර ගැනීමට සරිලන සහ කම්කරු පංතිය මිය ගොස් වඳ නොවීමට අවශ්‍ය ජීවන මාධ්‍ය ප්‍රමාණය වන්නේය. මෙයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි දෙයක් කම්කරුවාට සිය ශ්‍රමයෙන් නොලැබෙයි. ඒ අනුව ශ්‍රමයේ මිල නැතිනම්, වැටුප ඉතා පහත් වනු ඇත. ජීවත්වීම සඳහා අවශ්‍ය අවමය ප්‍රමාණයෙන් එය යුක්ත වේ. එහෙත් ව්‍යාපාරික කටයුතු වල යහපත් මෙන්ම අයහපත් කාලයක් තිබෙන්නාක් මෙන්ම, කම්හල් හිමියා තම භාණ්ඩ වලට වරෙක වැඩියෙන් ද වරෙක අඩුවෙන් ද මුදල් ලබා ගන්නා පරිදි, කම්කරුවාටද වරෙක වැඩියෙන් හෝ අඩුවෙන් ලැබෙයි. යහපත් හා අයහපත් කාලයන් දෙකම ගණන් ගනිමු නම්, කම්හල් හිමියා සාමාන්‍යයෙන් තම භාණ්ඩවලට යන නිෂ්පාදන වියදම සොයා ගනී. එයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නොවේ. එමෙන්ම කම්කරුවාටද සාමාන්‍යයෙන් එම අවමය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නොලැබේ. මහා කර්මාන්තය ශ්‍රමයේ සියලු ක්ෂේත්‍රයන් නතු කරගන්නේ කොතෙක් දුරටද ශ්‍රමය පිලිබඳ ආර්ථික න්‍යායය වඩාත් දැඩි ලෙස බලපායි.

6 වෙනි ප්‍රශ්නය :- කාර්මික විප්ලවයට පෙර කිනම් වැඩකරන පංති පැවතුනේද?

පිළිතුර:- වැඩ කරන පංති සමාජයික සංවර්ධනයේ විවිධ අවධි අනුව, විවිධ තත්ත්වයන් යටතේ ජීවත් විය. දේපොළ හිමි සහ පාලක පංතීන්ට ඔවුහු විවිධ සම්බන්ධකම් සහිත තත්ත්වයන් දැරූහ. පුරාණ කාලයේදී වැඩ කරන ජනතාව තම හාම්පුතුන්ගේ වහලුන් බවට පත්ව සිටියහ. දැනටම බොහෝ නොදියුණු රටවලද, එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙහි දකුණු දිග ද ඔවුහු වහලුන්ගේ තත්ත්වය උසුලති. මධ්‍ය කාලීන යුගයේදී ඔවුහු ඉඩම් හිමි රදළ පැලැන්තියේ ප්‍රවේනිදාසයන් බවට පත්ව සිටියහ. මේ තත්ත්වය අදත් හංගේරියාවේ, පෝලන්තයේ හා රුසියාවේ පවතී.

7 වැනි ප්‍රශ්නය:- නිර්ධනයා වහලාට වඩා වෙනස් වන්නේ කෙසේද ?

වහලාව සදහටම විකුණා දමා ඇත. නිර්ධනයා තමාව දිනපතාත්, පැයක් පාසාත් විකුණා ගත යුතුය. එක්, එක් වහලකු නියමිත ස්වාමියකුගේ දේපොළ විය. ස්වාමියාගේ රුචිය අනුව, දුගී බව නොතකා වහලාගේ පැවැත්ම සහතික කැරිණි. එහෙත් එක්, එක් නිර්ධනයෙක් මුළු මහත් ධනපති
පංතියේම දේපොළ බවට පත්ව ඇත. නිර්ධනයාගේ ශ්‍රමය මිළට ගන්නේ එය අවශ්‍ය වූ විට පමණකි. මේ හේතුව නිසා ඔහුගේ පැවැත්ම සහතික වී නැත. මුළු පංතියක් වශයෙන් නිර්ධන පංතියේ පැවැත්ම මෙයින් සහතික වී ඇත. වහලා තරඟයෙන් පරි බාහිරව සිටී. එහෙත් නිර්ධනයා තරඟකාරී තත්ත්වයන් යටතේ සිටී. ඔහුට එම තරගයේ උච්චාවචනය දැනේ. වහලා භාණ්ඩයක් ලෙස සැලකූ අතර සමාජයේ පුරවැසියකු ලෙස නොසලකන ලදී. නිර්ධනයා පුද්ගලයෙකු ලෙසත්, සමාජයේ පුරවැසියෙකු ලෙසත් ගණන් ගනී. ඒ අනුව වහලාට නිර්ධනයාට වඩා යහපත් පැවැත්මක් ලැබෙනු ඇත. එහෙත් නිර්ධනයා වඩාත් උසස් සංවර්ධන අඩියක පවතින සමාජයට අයත්ය. ඔහු වහලාට වඩා උසස් අඩියක පවතී. පෞද්ගලික දේපල අයිතියේ සබඳකම් අතින් එක් සබඳතාවයක් වන වහල් හිමිත්වය විනාශ කර දැමීමෙන් පමණක් වහලා නිදහස ලබයි. එවිට එයට පින් සිදුවන්නට ඔහු නිර්ධනයෙක් වෙයි. නිර්ධනයාට සිය ස්වාධීනත්වය ලැබිය හැක්කේ පෞද්ගලික දේපොළ අයිතිය පොදුවේ විනාශ කර දැමීමෙන් පමණකි.

8 වැනි ප්‍රශ්නය:- නිර්ධනයා ප්‍රවේණිදාසයට වඩා වෙනස් වන්නේ කෙසේද?

පිළිතුර:- ප්‍රවේණිදාසයා සතුව නිෂ්පාදන උපකරණ සහ ඉඩම් කැබැල්ලක් ඇත. මේ සඳහා ඔහු තමාගේ ලාභයෙන් කොටසක් දෙයි, නැතිනම් එක්තරා වැඩ කිහිපයක් කර දෙයි. නිර්ධනයා වෙනත් කෙනෙකුට අයත් නිෂ්පාදන උපකරණ වලින් වැඩ කරයි. වැඩ සපුරාලන්නේත් ඒ වෙනත් පුද්ගලයාගේ ප්‍රයෝජනය සඳහාය. ඒ සඳහා ඔහුට ආදායමෙන් කොටසක් ලැබේ. ප්‍රවේණිදාසයා (රදලයාට)දෙයි. නිර්ධනයාට (ධනපතියාගෙන්) ලැබේ. ප්‍රවේණිදාසයාගේ පැවැත්ම සහතික වී ඇත. නිර්ධනයාගේ පැවැත්ම සහතික වී නැත. ප්‍රවේණිදාසයා තරගයෙන් පරිබාහිරව සිටින අතර නිර්ධනයා තරගකාරී තත්ත්වයන් යටතේ සිටී. ප්‍රවේණිදාසයා එක්කෝ නගරයට පැනගොස් ශිල්පියෙක් බවට පත්වී නිදහස් මිනිහෙක් වෙයි. නැතිනම් තම රදළ ස්වාමියාට ශ්‍රමය හෝ ආහාර හෝ වෙනුවට මුදල් දී බදු ඉඩම් ගොවියෙකු බවට පත්වෙයි, එසේත් නැතිනම් ඔහු තම රදළ ස්වාමියාව පන්නා දමා ඉඩම් හිමියකු බවට පත්වෙයි. කෙසේ හෝ දේපොළ හිමි පංතියේ එක් ශ්‍රේණියකට ඇතුළු වෙමින් නිදහස ලබයි. එයින් ඔහු තරඟකාරී ක්ෂේත්‍රයට ඇතුළු වෙයි. නිර්ධන පංතිය තරඟය, පෞද්ගලික දේපොළ අයිතිය, සිය ̈ පංතිමය භේදයන් අහෝසිකර ලමින් නිදහස ලබයි.

9 වැනි ප්‍රශ්නය:-නිර්ධනයා හස්ත කර්මාන්ත ශිල්පියාගෙන් වෙනස් වන්නේ
කෙසේද?

(මෙතැනදී එංගල්ස් මුල් අත්පිටපතෙහි ඉඩක් තබා ඇත්තේ පිළිතුර සඳහාය –
සංස්කාරක)

10 වැනි ප්‍රශ්නය:- කුඩා නිෂ්පාදන කම්කරුවාට වඩා නිර්ධනයා වෙනස්
වන්නේ කුමන හේතූන් නිසාද ?

පිළිතුර:- 16 වැනි – 18 වැනි ශත වර්ෂවලදී කුඩා නිෂ්පාදන කම්කරුවන්ට හැමතැනම පාහේ නිෂ්පාදන උපකරණ සතුව තිබිණි. ඔවුන් සතු රෙදි වියන කුඩා යන්ත්‍ර, මුළු පවුලටම අයත් නූල් කටින යන්ත්‍ර ආදිය විය. ඔවුන් සතු කුඩා බිම් කැබලිවල විවේක වේලාවලදී සුළු ගොවිතැන් ආදියද කැරිණි. එහෙත් නිර්ධනයාට මේ කිසිවක් නැත. කුඩා නිෂ්පාදන කම්කරුවා හැමදාම පාහේ ගම්බද ජීවත් වූ අතර අඩු වැඩි වශයෙන් තම රදළ ඉඩම් හිමියා නැතිනම් හාම්පුතා සමඟ අඩු වැඩි වශයෙන් පීතෘමූලික සබඳතාවයක් ඇතිව වාසය කළේය.
නිර්ධන පංතියේ බහුතර කොටස විශාල නගරවල වාසය කරන අතර හාම්පුතා සමඟ ඔවුනට ඇත්තේ හුදු මුදල් සබඳතාවයක් පමණකි. මහා ක3⁄4මාන්තය විසින් කුඩා නිෂ්පාදන කම්කරුවාගේ පීතෘමූලික තත්ත්වයන් පුපුරුවා දමනු ලැබේත කුඩා නිෂ්පාදන කම්කරුවාට තමා සතුව තිබුණු සුළු දේපොළ හැම දෙයක්ම අහෝසි වෙයි. මෙහි විපාකයක් වශයෙන් පමණක්
ඔහු නිර්ධනයෙකු බවට පත්වෙයි.

11 වැනි ප්‍රශ්නය:- කාර්මික විප්ලවයේ සහ සමාජය ධනපති සහ නිර්ධන
වශයෙන් බෙදීමේ මෑත කාලයේ විපාක මොනවාද?

පිළිතුර:-

ප්‍රථමයෙන්ම, යාන්ත්‍රික ශ්‍රමය කර්මාන්ත භාණ්ඩ වල මිල බොහෝ සේ පහත දැමූ නිසා ලෝකයේ සිය ̈ රටවල කුඩා කර්මාන්ත ක්‍රමය, නැතිනම් හස්ත කර්මාන්ත ක්‍රමය මුළු මනින්ම විනාශයට පත්විය. සියළු අර්ධ ශිෂ්ට රටවල්, මෙතෙක් ඓතිහාසික සංවර්ධනයට හා කර්මාන්තයට අඩු වැඩි වශයෙන් හසු නොවී, මෙතෙක් හස්තොපක්‍රම කර්මාන්තයට පමණක් සිමා වී සිටි නමුදු, ප්‍රචන්ඩකාරී ලෙස එම හුදකලා තත්වයෙන් ඈත් කරවන ලදී. ඉංග්‍රීසීන් විසින් විකුණන ලද වඩාත් ලාභ භාණ්ඩ මිලදී ගැනීමට පටන්ගත් ඔවුහු තම ජාතික කුඩා නිෂ්පාදකයන් විනාශ මුඛයට ඇද දැමූහ. මේ අනුව අවුරුදු දහස් ගණනක් තිස්සේ ප්‍රගමණය නොදත් ඉන්දියාව වැනි රටවල් පූර්ණ විප්ලවයකට හසු විය. චීනය පවා මේ මොහොතේදී විප්ලවයකට මුහුණ පාමින් සිටී. අද එංගලන්තයේ නිර්මාණය කරන අළුත් යන්ත්‍රයක් නිසා වසරකින් චීනයේ දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවනට රැකියා නැති වන ත්වයක් පැන නැගී ඇත. මේ අනුව මහා කර්මාන්තය ලෝකයේ සියළු රටවල ජනතාව අතර සම්බන්දකමක් ඇති කළේය, සියළු කුඩා පළාත්බද වෙළඳ
පොළවල් එකම ලෝක වෙළඳ පොළක් බවට පත්කරලීය, එය හැම තැනම ශිෂ්ටාචාරයට සහ ප්‍රගමනයට පසුබිම පිළියෙළ කළේය. ශිෂ්ටාචාර රටවල ඇති වන හැම දෙයක්ම අනිකුත් රටවල් මත බලපෑමක් ඇතිකරවීමේ තත්වයකට පත්කරලීය, එය හැම තැනම ශිෂ්ටාචාරයට සහ ප්‍රගමනයට පසුබිම පිළියෙළ කළේය. ශිෂ්ටාචාර රටවල ඇති වන හැම දෙයක්ම අනිකුත් රටවල් මත බලපෑමක් ඇතිකරවීමේ තත්වයකට පත්කරලීය. ඉදින් මේ අනුව, එංගලන්තයේ හෝ ප්‍රංශයේ හෝ කම්කරුවන් විමුක්තිය දිනාගතහොත්, එය අනිකුත් රටවලද විප්ලවයන් ඇති කරවිය යුතුය. ඉක්මනින් හෝ පමාවී හෝ මේ විප්ලවය අනිකුත් රටවල කම්කරුවන්ට විමුක්තිය ලබා දෙනු ඇත.


දෙවනුව:- කුඩා හස්තොපක්‍රම කර්මාන්තය වෙනුවට මහා කර්මාන්තය ඇති වූ හැම තැනකදීම කාර්මික විප්ලවය අති විශාල පරිමාණයකින් ධනපති පංතියේ ධනය හා බලය වැඩි කළේය, ධනපති පංතිය රටේ ප්‍රථම පංතිය බවට පත් කළේය. මෙවැනි ක්‍රියාදාමයක් ඇති වූ හැමතැනම ප්‍රතිඵලය වූයේ, ධනපති පංතිය අතට දේශපාලන බලය අයත් වීම සහ ඊට පෙර ආධිපත්‍ය
දැරූ පංතීන් වූ රදළ, වංශක්කාරයින් නාගරික ශිල්පාචාරීන් සහ එක් හෝ තවත් නියෝජනය කළ නිරපේක්ෂ රාජාණ්ඩුව පන්නා දැමීමය. දෙටුපිළිවෙත අහෝසි කරමින්, නැතිනම් සදාකාලික ඉඩම් අයිතිය අහෝසි කරමින් සහ වංශක්කාර වරප්‍රසාද සියල්ල නැතිකර දමමින් සිටුවරයින්ගේ සහ රදළ වංශක්කාරයින්ගේ බලය ධනපති පංතිය විසින් විනාශ කර දමන ලදී. ධනපති පංතිය ශ්‍රේණි ක්‍රමය අහෝසි කොට, හස්ත කර්මාන්ත කරුවන්ගේ වරප්‍රසාද නැති කළේය. මොවුනට අයත්ව තිබුණු ස්ථානය ධනපති පංතිය ස්වාධීන තරඟයට හිමි කර දුන්නේය. ස්වාධීන තරඟය යනු සමාජයේ ́සෑම කෙනෙකුට කර්මාන්ත ක්ෂේත්‍රයේ ́නෑම ක්‍රියාකාරිත්වයකට සහභාගි වීමට ඇති අයිතියය. මේ සඳහා ඔහුට ඇති එකම බාධාව විය හැක්කේ, අවශ්‍ය ප්‍රාග්ධනය නොමැති වීම පමණකි. මෙලෙස ස්වාධීන තරඟය ඉදිරිපත් කිරීම, සමාජයේ සාමාජිකයින් සතුව ඇති ප්‍රාග්ධනය සමාන නොවන්නා සේම, සමාජයේ සමාජිකයින්ද සමාන නොවන බව, දන්වන විවෘත ප්‍රකාශනයට සමාන විය. ප්‍රාග්ධනය තීරණාත්මක බලය වන අතර ධනපතීන්, ධනපති පංතිය සමාජයේ ප්‍රථම පංතිය බවට පත්වීමය, එහෙත් ස්වාධීන තරඟය අවශ්‍ය වන්නේ මහා කර්මාන්ත සංවර්ධනයේ මුල් අවධිය සඳහා පමණකි. මන්දයත්, මහා පරිමාණ නිෂ්පාදනය බිහිවිය හැකි එකම තත්වය එය නියෝජනය කරන බැවිනි.-ධනපති පංතිය එමඟින් රඳළ වංශක්කාරයින්ගේ
හා නාගරික ශිල්පාචාරීන්ගේ සමාජයික බලය බිඳ දමා ඔවුන් සතුව තිබු දේශපාලන බලයද සුන් කළේය. සමාජයේ ප්‍රථම පංතිය බවට පත්වූ ධනපති පංතිය දේශපාලන ක්ෂේත්‍රයේද තමා ප්‍රථමයා බව ප්‍රකාශ කළේය. නෛතික වශයෙන් ස්වාධීන තරඟය පිළිගන්නා වූද, නීතිය ඉදිරියේ ධනවාදී
සමානත්වය මත පදනම් වූද නියෝජිත ක්‍රමයක් මගින් එය කරන ලදී. නිදහස් තරඟය ව්‍යවස්ථානුකූල ලෙස පිළිගැනිණි. යුරෝපීය රටවල එය ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රම මඟින් ක්‍රියාවට යෙදවිණි. ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවල චන්ද බලය ඇත්තේ සෑහෙන ප්‍රාග්ධනයක් සතු අයට, එනම් ධනපති පංතියට පමණකි. මේ ධනපති චන්ද දායකයෝ, ධනපති මන්ත්‍රී නියෝජිතයින් තෝරා පත් කරති. ධනපති මන්ත්‍රී නියෝජිතයින්ට අයබදු නොගෙවීමේ වරප්‍රසාදය ඇත. ඔවුහු ධනපති ආණ්ඩුව තෝරා පත් කරති.


තෙවනුව:- කාර්මික විප්ලවය හැමතැනම ධනපති පංතියේ සංවර්ධනයට සරිලන ප්‍රමාණයකින් නිර්ධන පංතියද වර්ධනය කළේය. ධනපති පංතිය පොහොසත් වන තරමට නිර්ධන පංතිය සංඛ්‍යාව අතින් වැඩි විය. නිර්ධන පංතියට රැකියාවල් ලබා දිය හැක්කේ ප්‍රාග්ධනයට පමණකි. එබැවින් නිර්ධන පංතියේ වැඩීම ස්ථීර ලෙසම ප්‍රාග්ධනයේ වැඩීමට අනුරූප වෙයි. ඒ අතරම කාර්මික විප්ලවය විසින් කර්මාන්ත සංවර්ධනයට ඉතාම වාසිදායක ස්ථානයන් වන විශාල නගරවල ධනපති පංතිය හා නිර්ධනීන් එක්රැස් කරවයි. මෙයින් අති විශාල ජන සංඛ්‍යාවක් එක ස්ථානයකට ඒක රාශී කරන බැවින් නිර්ධනීන්ට තම ශක්තිය පිළිබඳ හැගීමක් ඇති කරවයි. ඉන් ඉක්බිතිව, කාර්මික විප්ලවය වර්ධනය වන තරමට, නවීන යන්ත්‍ර තවදුරටත් සොයාගන්නාතරමට, හස්ත කර්මාන්තය විනාශ වී යයි, මහා කර්මා්න්තය වැටුප් මත විශාල බලපෑමක් ඇති කරමින් එය මීට ඉහත අප විසින් සඳහන් කළ පරිදි අවමය සීමාව දක්වා පහත හෙළයි. මෙහි විපාකයක් වශයෙන් නිර්ධන පංතියේ තත්වය වඩාත් නරක අතට හැරෙයි. ඉතින් එක් පැත්තකින්, නිර්ධනීන්ගේ අසතුට වැඩිවීමක්ද, අනික් පැත්තෙන් නිර්ධනීන්ගේ බලය වැඩිවිමක්ද ඇති කරන හෙයින්, නිර්ධන පංතිය විසින් මෙහෙයවනු ලබන සමාජ විප්ලවයක් කර්මාන්ත විප්ලවය විසින් පිළියෙළ කරනු ලබයි.

12 වැනි ප්‍රශ්නය:- කාර්මික විප්ලවයෙන් තවදුරටත් සිදුවූ විපාක මොනවාද?

පිළිතුර:- පිළිතුර:- මහා කර්මාන්තය, වාෂ්ප යන්ත්‍රය සහ යන්ත්‍රවල මාධ්‍යයෙන් සුළු කාලයක් තුළදී, සුළු වියදමකින් සීමා රහිත ප්‍රමාණයක් දක්වා කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීමට සමත් විය. මෙතරම් ලෙහෙසියෙන් නිෂ්පාදනය පුළුල් වීම නිසා, එම මහා කර්මාන්තයේ අවශ්‍ය මාධ්‍යක් වන නිදහස් තරඟය ඉක්මනින්ම අති තියුණු ස්වරූපයක් ගත්තේය. ධනපතියෝ විශාල සංඛ්‍යාවක්
කර්මාන්ත ඇරඹූහ. ඉතා ඉක්මනින් පරිභෝගයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අති විශාල වශයෙන් නිපදවන්නට වූහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ විකුණා ගැනීමට නොහැකි තත්වයක් උදාවිය. වෙළඳ අර්බූදය හටගත්තේය.
කම්හල් වසා දමන්නට විය. කම්හල් හිමියෝ බංකොලොත් වූහ. කම්කරුවන්ට නිරාහාරව සිටීමට සිදු විය. හැම තැනම දුගී දුප්පත් බව උතුරා යන්නට විය. කාලයාගේ ඇවෑමෙන් අතිරික්ත නිෂ්පාදන භාණ්ඩ විකුණා දැමීමට හැකි වූයෙන්, කම්හල්වල වැඩ කිරීම යළිත් පටන් ගැනිණි. වැටුප් ඉහළ නැංගේය, ක්‍රම ක්‍රමයෙන් අන් කවර දාකටත් වඩා තත්වය යහපත් විය. එහෙත් මෙය වැඩි කල් නොපැවතිණි. ඉක්මණින්ම නැවතත් වුවමනාවට වඩා වැඩි ප්‍රමාණයක් භාණ්ඩ නිපදවූ බැවින්. මිට පෙර ඇති වූ අර්බුදයට සමාන අර්බුදයක් යළිත් වරක් ඇතිවිය. මේ සියවසරේ ආරම්භයේ සිට කර්මාන්තය සමෘද්ධිමත්භාවයේ සිට අර්බුදය දක්වා නොකඩවා වැනෙන්නට විය. සෑම අවුරුදු පහක-හතක කාලයකදී අඩු වැඩි වශයෙන් අනුක්‍රමිකව, එවැනි අර්බුද පැන නැගිණි. ඒ හැම වාරයකදීම, කම්කරුවන් අතර නිව නොහැකි තරම් දුගීබවක්ද, සමස්ත විප්ලවිය පිබිදීමක්ද, පවතින සමාජ ක්‍රමය අති මහත් අනතුරකට භාජනය වීමක්ද ඇති විය.

13 වැනි ප්‍රශ්නය:-අනුක්‍රමික ලෙස ඇතිවන මෙම වෙළඳ අර්බුදවල තේරුම
කුමක්ද?

පිළිතුර:- ප්‍රථමයෙන්ම, මහා කර්මාන්තය සිය සංවර්ධනයේ පළමු වැනි වකවානුවේදී, ස්වාධීන තරඟය බිහි කළද වත්මන් අවධියේදී එම ස්වාධීන තරඟය අභිබවා වැඩි තිබීමය. තරඟය සහ කාර්මික නිෂ්පාදනය පොදුවේ තනි පුද්ගලයින් විසින් ආරම්භ කිරීම මහා කර්මාන්තයේ යදම් බවට පත්විය, මේ යදම් මහා කර්මාන්තය විසින් කඩා බිඳ දැමිය යුතු අතර එය එසේ කරනු ඇත. අද්‍යතන තත්වයන් යටතේ මහා කර්මාන්තය කරගෙන යන තුරු, සෑම වසර හතකට වරක් විනාශයට මූණ නොපා එයට පැවතිය නොහැකිය. හැම වාරයකදීම එය මුළු මහත් සභ්‍යත්වයටම තර්ජනය කරයි, නිර්ධනීන් දුගී බවේ පාතලයට ඇද දමනවා පමණක් නොව, බෙහෝ ධනපතීන්ටද ආර්ථික විනාශය ළඟා කරයි. මේ හේතුව නිසා එක්කෝ විශාල කර්මාන්ත ඉදි කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය,- මෙය කළ නොහැනි දෙයකි,- නැතිනම්, එය සම්පූර්ණයෙන්ම නව සමාජ සංවිධානයක් බිහිකිරීමේ අවශ්‍යතාවය ඇති කරන බව කොන්දේසි විරහිතව පිළිගැනීමය. මෙහිදී කාර්මික නිෂ්පාදනයට නායකත්වය දෙනු ලබන්නේ එකිනෙකාට විරුද්ධව තරඟ කරන කම්හල් හිමියන් විසින් නොව, ස්ථිර සැලැස්මක් සහ සමාජයේ සිය ̈ සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි, මුළු මහත් සමාජය විසිනි.
දෙවනුව: මහා කර්මාන්තය එයට ඇති හැකියාවන් පාවිච්චි කරමින් දෙවනුව: සීමා රහිත ලෙස නිෂ්පාදනය පුළුල් කරන නිසා, ජීවත් වීමට අවශ්‍ය සියළු භාණ්ඩ කෙතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ ද යත්, සමාජයේ හැම සාමාජිකයකුටම ඉතා නිදහස් ලෙස වර්ධනය වීමට සහ තම මුළු ශක්තිය සහ දක්ෂතාවය ප්‍රයෝජනය ගැනීමටත් හැකිවෙයි. සමකාලීන සමාජයේ සම්පූර්ණ දුගීභාවය සහ සියලු වෙළඳ අර්බුද බිහිකරන මහා කර්මාන්තයේ එම ලක්ෂණයම වෙනත් සමාජ සංවිධානයකදී එම දුගීබව සහ අනතුරු ගෙනදීම විනාශකර දැමීමට හේතු වෙයි. ඒ අනුව, පහත සටහන් දේ සැක හැර ඔප්පු කර තිබේ:
1) වත්මන් සියළු විපත්වලට හේතුව සමාජ ක්‍රමය පමණක් වීම. එම සමාජ ක්‍රමය තවදුරටත් කාලයට අනුරූප නොවිමය.
2) නව සමාජ ක්‍රමයක් හි කිරීම මඟින් මේ සියළු විපත් සදහටම නැති කරලිමට සමත් මාධ්‍යයන් තිබීමය.

14 වැනි ප්‍රශ්නය:-ඒ නව සමාජ ක්‍රමය කෙසේ විය යුතුද?

පිළිතුර: අන් හැමටම පෙර, එකිනෙකාට විරුද්ධව තරඟයක යෙදී සිටින පුද්ගලයින් අතින්, කර්මාන්තය සහ එහි සියළු අංශ මෙහෙයවීම උදුරා ගැනීමය. ඒ වෙනුවට නිෂ්පාදනයේ සියළු අංශ සමාජය සතු කිරීම. එනම්, නිෂ්පාදනය සමාජයේ උවමනාවන් අනුව, පොදු සැලැස්මක් අනුව සහ සමාජයේ සිය ̈ සාමාජිකයින්ගේ සහභාගිත්වය ඇතිව මෙහෙයවීමය. මේ අනුව නව සමාජ ක්‍රමය තරඟය අහෝසි කොට, ඒ වෙනුවට සමාගමය ඇති කරනු ඇත. තනි පුද්ගලයින් විසින් කර්මාන්ත ආරම්භ කිරීම අනිවාර්යයෙන්ම පුද්ගල දේපළ අයිතියට මග පාදන අතර, තරඟයද අන් කිසිවක් නොව, පෞද්ගලික දේපොළ හිමියන් මෙහෙයවන විට, ඇතිවන කාර්මික නිෂ්පාදනය වන්නේය. එනම් පෞද්ගලික දේපොළ අයිතිය, පෞද්ගලික කර්මාන්ත අයිතිය සහ තරඟය සමඟ අඛණ්ඩ ලෙස වෙළි පවතී. මේ හේතූන් නිසා පෞද්ගලික දේපොළ අයිතියද එමෙන්ම අහෝසි කරලිය යුතුය. ඒ වෙනුවට සියළු නිෂ්පාදන උපකරන පොදුවේ පාවිච්චි කිරීමද, පොදු එකඟතාවයක්
අනුව නිෂ්පාදිත දෑ බෙදා හැරීමද, නැතිනම් දේපොළ පිළිබඳ පොදු අයිතියක් ඇති විය යුතුය. කර්මාන්තය වර්ධනය වීම නිසා අත්‍යාවශ්‍යතාවයක් බවට පත්වි තිබෙන එම සමාජ ක්‍රමය පිහිටුවාලීමේ ඉතාම කෙටි සහ උපරිමය වශයෙන් පොද් ප්‍රකාශනය පෞද්ගලික දේපොළ අයිතිය නැතිකරලීමය. එබැවින් කොමියුනිස්ට්වරු සිය ප්‍රධාන ඉල්ලීම හැටියට පෞද්ගලික දේපොළ
අහෝසි කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි ලෙස ඉදිරිපත් කරති.

15 වැනි ප්‍රශ්නය:- එසේනම් පෞද්ගලික දේපොළ අයිතිය මීට කලින් අහෝසි
කිරීම නොකළ හැකි දෙයක් වීද?

පිළිතුර:- ඔව්, නොකළ හැකි දෙයක් විය. සමාජ ක්‍රමයේ හැම වෙනස් කිරීමක්ම, දේපොළ අයිතිය පිළිබඳ ඇති වන හැම පෙරළියක්ම නව නිෂ්පාදන බලවේග ඇති කිරීමේ අවශ්‍යතාවයේ අනිවාර්ය ප්‍රතිඵලයකි. මේ නව නිෂ්පාදන බලවේග දේපොළ අයිතිය පිළිබඳ පැරණි සබඳකම් වලට තවදුරටත් ගැළපිය නොහැකි විය. පෞද්ගලික දේපොළ අයිතියද පැන නැංගේ ඒ විදිහටයි. පෞද්ගලික දේපොළ අයිතිය හැමදාම පැවති දෙයක් නොවේ. මධ්‍යකාලීන යුගවල අවසානයේදී එවකට පැවති රදළ සහ ශ්‍රේණි දේපොළ අයිතියේ සීමාවන්ට නොගැළපෙන නව නිෂ්පාදන ක්‍රමයක් වන හස්තොපක්‍රම කර්මාන්තය ආරම්භ විය. පැරණි නිෂ්පාදන සබඳතාවයන්ගේ
සීමාවෙන් ඔබ්බට ගිය මේ හස්තොපක්‍රම කර්මාන්තය දේපොළ අයිතියේ නව ආකාරයක්, එනම් පෞද්ගලික දේපොළ අයිතිය බිහි කළේය. හස්තොපක්‍රම කර්මාන්තයට සහ විශාල කර්මාන්තයේ පළමු වැනි අවධියට පෞද්ගලික දේපොළ අයිතිය හැරුණු විට, වෙනත් අන්දමේ දේපොළ අයිතියක් ඇති විය නොහැකි විය. පෞද්ගලික දේපොළ අයිතියේ පදනම මත පිහිටා ඇති සමාජ
ක්‍රමය හැරුණු විට, දේපොළ අයිතියේ වෙනත් ක්‍රමයක් මත පිහිටි සමාජ ක්‍රමයකට ඉඩක් නොමැති විය. සෑම දෙනාටම සෑහීමට පමණක් නොව, සමාජයික ප්‍රාග්ධනය වැඩි කිරීමට සහ නිෂ්පාදන බලවේගයන් තවත් දුර වර්ධනය කිරීම සඳහා අතිරික්ත නිෂ්පාදනයක් නොලැබෙන තුරු එතෙක් කල්, සමාජයේ නිෂ්පාදන බලවේගයන් විධානය කරන පාලක පංතියක් තිබිය යුතුය. අනික් පංතිය පෑගෙන සහ දුප්පත් පංතියය. මේ පංති මෙනවාද යන්න රඳා පවතින්නේ නිශ්පාදන සංවර්ධනයේ මට්ටම අනුවය. මධ්‍ය කාලීන යුගවලදී ඉඩම් වගාව අනුව එය රඳා පැවතිණි. එවකට අප ඉදිරියේ ඉඩම් හිමියා සහ ප්‍රවේණිදාසයාද වූහ. නගරවල, මධ්‍යකාලීන යුගයේ අවසාන
භාගයේදී හස්ත කර්මාන්ත ශිල්පාචාරියාද, සිප්කැමියාද, දෛනික වැටුප් ලබන්නාද වූහ. දහ හත වැනි සියවසරේදී හස්තොපක්‍රම කම්හල් හිමියා සහ නිෂ්පාදන කම්කරුවෝද වූහ. දහ නව වැනි සියවසරේදී විශාල කම්හල් හිමියන් සහ නිර්ධනීන්ද ඇති විය. සිය ̈ දෙනාටම සෑහෙන තරම් භාණ්ඩ සහ ආහාර නිෂ්පාදනය කිරීමටද, පෞද්ගලික දේපොළ අයිතිය දැනටමත්, එම නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට බාධා කරන යදම් බවට පත්වීමටද තරම් තත්වයකට වත්මන් කාලයට පෙර නිෂ්පාදන බලවේග දියුණු වී නොතිබුණු බව පැහැදිලිය. එහෙත් දැන් විශාල කර්මාන්තයට පින් සිදුවන්නට, ප්‍රථමයෙන්, මින් පෙර නොඇසූ විරූ පරිමාණයෙන් නිෂ්පාදන බලවේගයන් සහ ප්‍රාග්ධනය බිහිකර ඇත. කෙටි කාලයකදී ඒ නිෂ්පාදන බලවේගයන් අසංඛෙය දක්වා වැඩි කිරීමට සිය ̈ මාධ්‍යයන් දැන් තිබේ. දෙවනුව, ඒ නිෂ්පාදන බලවේගයන් සියල්ල ධනපතීන් කීප දෙනෙකු අත පවතී. ඒ අතර ජනතාවගේ පුළුල් කොටස් වැඩි වැඩියෙන් නිර්ධනීන් බවට පත්වෙති. එපමණක් නොව ධනපතීන්ගේ ධනය වැඩි වන තරමට, ඔවුන්ගේ තත්වය වඩාත් දුගීබවට සහ විඳදරා ගත නොහැකිතාවයකට පත් වෙයි. තෙවනුව, ලෙහෙසියෙන් වර්ධනය කළ හැකි මේ නිෂ්පාදන බලවේගයන් පෞද්ගලික දේපොළ අයිතිය සහ ධනපති පංතිය අභිබවා කොතෙක් වැඩී තිබේදයත්, එය නිරන්තරයෙන්ම සමාජ ක්‍රමය අති වේගවත් ලෙස සොළවා දැමීමක් ඇති කරවයි. මේ හේතූන් නිසා පෞද්ගලික දේපොළ අහෝසි කරලීම කළ හැකි දෙයක් පමණක් නොව, අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බවට පත්වී ඇත.

16 වැනි ප්‍රශ්නය:- පෞද්ගලික දේපොළ අයිතිය සාමකාමී ලෙස අහෝසි කළ
හැකි ද?

පිළිතුර:- එය එසේ වේවායි පැතීමට පුළුවන් නම් යහපතකි. සත්තකින්ම කොමියුනිස්ට්වාදීන්ට මෙයට විරුද්ධ වීමට හේතුවක් නොමැත. සියළු අන්දමේ කුමන්ත්‍රණ ඵල රහිත පමණක් නොව, ඒවා අනතුරු සහිත බව කොමියුනිස්ට්වාදීහු දනිති. විප්ලය හිතා මතා, බලාත්කාර ලෙස කළ නොහැකි දෙයක් බවත්, එය නිරන්තරයෙන්ම එක්, එක් පක්ෂයක හෝ පංතීන් කීපයක හෝ අභිප්‍රාය මත කොහෙත්ම රැඳී නැති අතර විප්ලවය හැමදාමත්, හැමතැනකදීමත් තත්වයන්ගේ අනිවාර්ය ප්‍රතිඵලය මත රඳා පවතින බවත් කොමියුනිස්ට්වාදීහු දනිති. ඒ කොයි හැටි වුවද, සිය ̈ ශිෂ්ට රටවල නිර්ධන පංතියේ වර්ධනය ප්‍රචණ්ඩකාරී ලෙස මර්ධනය කරන අතර එමඟින්
කොමියුනිස්ට් විරෝධීන් හැම ශක්තියක්ම යොදා විප්ලවය ඇති කිරීමට උත්සහ කරන බව ඔවුහු දකිති. මෙය අවසානයේදී, පෑගී සිටින නිර්ධන පංතිය විප්ලවයක් කරා යොමු කළහොත්, එවිට කොමියුනිස්ට්වාදීන් වන අපි නිර්ධන පංතියේ කාර්යය දැන් පවසන වචනවලට වඩා අයහපත් නොවන අන්දමට ක්‍රියාවෙන් ආරක්ෂා කරන්නෙමු.

17 වැනි ප්‍රශ්නය:- පෞද්ගලික දේපොළ අයිතිය එකවර අහෝසි කළ හැකිද?

පිළිතුර:- නොහැකිය. සමාජයික ආර්ථිකයක් බිහි කිරීමට අවශ්‍ය සීමා දක්වා අද තිබෙන නිෂ්පාදන බලවේග එකවර වර්ධනය කළ නොහැකිවාක් මෙන්ම, පෞද්ගලික දේපොළ අයිතියද එකවර අහෝසි කළ නොහැකිය. එබැවින් හැම ලක්ෂණයක් අනුවම ළං වෙමින් පවතින නිර්ධන පංතික විප්ලවයට හැකි වන්නේ අද පවතින සමාජය ක්‍රමානුකූලව ප්‍රතිනිර්මාණය කිරීම පමණකි. පෞද්ගලික අයිතිය අහෝසි කළ හැක්කේ එයට අවශ්‍ය අති විශාල සංඛ්‍යාවක් නිෂ්පාදන මාධ්‍යයන් බිහි කළ විට පමණකි.

18 වැනි ප්‍රශ්නය:- එම විප්ලවයේ ක්‍රියාකාරිත්වය කෙසේ වනු ඇතිද?

පිළිතුර:- ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පංතියේ දේශපාලන ආධිපත්‍යක්ද පිහිටුවනු ඇත. ජනතාවගේ බහුතරය නිර්ධනීන් බවට පත්ව සිටින එංගලන්තයේ නියම ලෙසද, ජනතාවගේ බහුතරය නිර්ධනීන්ගෙන් පමණක් නොව, කුඩා ඉඩම් හිමි ගොවීන්ගෙන් සහ නගරබද ශිල්පීන්ගෙන් සමන්විත ප්‍රංශයේ හා ජර්මනියේ අනියම් වශයෙන්ද ඇති වනු ඇත. මොවුහු තවමත් නිර්ධන පංතිය කරා පරිවර්තනය වීමේ අවධියක පමණක් පසුවෙති. ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීම වඩ වඩාත් රඳා පවතින්නේ නිර්ධන පංතිය මතය. එබැවින් ඔවුනට නිර්ධන පංතියේ ඉල්ලීම සමඟ එක්වීමට
ඉක්මනින්ම සිදුවනු ඇත. සමහර විට මේ සඳහා අනිවාර්යයෙන්ම නිර්ධන පංතියේ ජයග්‍රහණයෙන් අවසන් වන තවත් නව අරගලයක් අවශ්‍ය වනු ඇත.
පෞද්ගලික දේපොළ අයිතියට කෙලින්ම බලපාන සහ නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුල් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යයක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත්ම ප්‍රයෝජනයක් නැති දෙයකි. අද පතින තත්වයන්ගෙන් පැන නගින ඒ ප්‍රධාන ව්‍යාපාරවල
හරය මෙසේය.

  1. පෞද්ගලික දේපොළ අයිතිය සීමා කිරීමත අනුක්‍රමයෙන් වැඩිවන අයබදුත මව්පිය උරුමයෙන් ලැබෙන ධනයට වැඩි අයබදුත වෙනත් පාර්ශ්වීය නෑ උරුමයෙන් (සහෝදරයින්ගෙන්, බෑනාවරුන් ආදීන්ගෙන්) ලැබෙන ධනය රජයට පවරා ගැනීමත අනිවාර්ය ණය දීම් ආදිය.
  2. අඩ වශයෙන් රජයේ කර්මාන්ත වල තරඟය මඟින්ද, අඩ වශයෙන්, කෙලින්ම කොටස්මිලදී ගැනීම් මඟින්ද ඉඩම්වල, කම්හල්වල, දුම්රිය මාර්ග වල සහ නැව්වල පෞද්ගලික අයිතිය අහෝසි කරලීම
  3. ජනතාවගේ බහුතරයට විරුද්ධව කැරලි ගැසූ සංක්‍රමනිකයින්ගේ හා කැරලිරුවන්ගේ දේපොළ රජයට පවරා ගැනීම
  1. ශ්‍රම සංවිධානය, නැතිනම් නිර්ධනීන්ට වතුවල, කම්හල්වල සහ හස්ත කර්මාන්තශාලාවල රැකියා ලබාදීම මඟින් කම්කරුවන් අතර තරඟය අහෝසි කරලීම. තවමත් කම්හල් හිමියන් ඉතිරිවන බැවින් රජය මෙන්ම උසස් වැටුපක් ගෙවීමට ඔවුනට බල කිරීම.
  2. පෞද්ගලික දේපොළ අයිතිය සම්පූර්ණයෙන් නැති කර දමන තුරු සමාජයේ සියලු සාමාජිකය්නට සමාන අනිවාර්ය ශ්‍රම වැය කිරීමක් ඇති කරලීම. විශේෂයෙන්ම කෘෂිකර්මය සඳහා කාර්මික ශ්‍රම හමුදාවන් සංවිධානය කිරීම.
  3. රාජ ප්‍රාග්ධනයක් සහිත ජාතික බැංකුවක් මඟින් ණය දෙන ක්‍රමය හා මුදල් වෙළදාම මධ්‍යගත කොට රජය අතට ගැනීම. සිය ̈ පෞද්ගලික බැංකු සහ බැංකු කාර්යාල වසා දැමීම.
  4. ජාතිය සතු කම්හල්, වැඩපලවල, දුම්රිය මාර්ග හා නැව්වල සංඛ්‍යාව වැඩිකිරීම. ජාතිය සතු ප්‍රාග්ධනයේ වැඩිවීමත් සහ කම්කරු පංතියේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟම එයට සරිලන ප්‍රමාණයට මෙතෙක් පාවිච්චියට නොගත් සියළු ඉඩම් වගාවට යට කිරීම සහ දැනට වගා කරන බිම්වල තත්ත්වය යහපත් කිරීම.
  5. සියළු ළමයින්ට මව්වරුන්ගේ ආධාර නැතිව සිය කටයුතු කර ගැනීමට හැකි වූ විට, එතැන් සිට රජයේ වියදමින් රාජ්‍ය නිවාස හා පාසල්වල ඔවුන් අතිදැඩි කොට අධ්‍යාපනයක් ලබා දීම. පුහුණුව කම්හල්වල ශ්‍රමය සමඟ එක්කිරීම.
  6. රට වැසියන්ගේ පොදු පදිංචිය සඳහා ජාතිය සතු ඉඩම්වල විශාල මාළිගා, මන්දිර ඉදිකිරීම, මේ රට වැසියෝ කර්මාන්තවල සහ කෘෂිකර්මයෙහි නියුක්ත වෙමින් නගරවල හා ගම්වල ඇති ඒකතානමයභාවය සහ අඩුපාඩු මඟහරවා නගරයේ සහ ගම්බද ජීවිතයේ උසස් ගුණයන් එක්කරනු ඇත්තාහ.
  7. නගරවල සෞඛ්‍යයට හානිකරන සහ අයහපත් ලෙස ගොඩනගා ඇති සියළු ගොඩනැගිලි විනාශ කරලීම.
  8. විවාහයෙන් සහ එයින් පිටත උපන් සියලු ළමයින්ට එක සමාන උරුමයක් ලබාදීම.
  9. මුළුමහත් ප්‍රවාහන සේවය ජාතිය සතු කිරීම.

මේ සියළු පියවරයන් එකවර ක්‍රියාවට යෙදවිය හැකි බවට තර්කයක් නැත. එහෙත් එකක් ක්‍රියාවට යෙදීම නිසා අනික ද ක්‍රියාවේ යෙදීමට සිදුවනු ඇත. පෞද්ගලික දේපොළ අයිතියට විරුද්ධව මූලික ලෙස පහර ගැසීම ආරම්භකළ හැටියේම, නිර්ධන පංතියට එ මඟ ඔස්සේ තවත් දුර යාමට සිදු වනු ඇත. මුළු මහත් ප්‍රාග්ධනයද, මුළු මහත් කෘෂිකර්මයද, මුළු කර්මාන්තයද, මුළු ප්‍රවාහනය සහ හුවමාරුවද රාජ්‍ය අත වඩාත් සංකේන්ද්‍රණගත කිරීමට සිදුවනු ඇත. ඉහත සටහන් සියළු පියවරයන් ඒ වෙත යොමුවී ඇත. රටේ නිෂ්පාදන බලවේග නිර්ධන පංතියේ ශ්‍රමයෙන් කොතරම් වැඩි කරන්නේද, එපමණට එම ව්‍යාපාරයන් ක්‍රියාවට යෙදීම සහ එමඟින් බිහිකරන මධ්‍යගතකරණය වැඩිවනු ඇත. අවසානයේ දී, මුළුමහත් ප්‍රාග්ධනයත්, නිෂ්පාදයත්, හුවමාරුවත් ජාතිය අතට පත් වූ විට, පෞද්ගලික දේපොළ අයිතිය ඉබේටම අහෝසිවනු ඇත. මුදල් අතිරික්තයක් බවට පත්වනු ඇත. නිෂ්පාදනය කෙතරම් විශාල ලෙස දියුණු වන්නේද යත්, මනිසුන් කෙතරම් දුරට වෙනස් වෙතිද යත්, පැරණි සමාජයේ සබඳතාවයන්ගේ අවසාන ආකාරයන් අතුරුදහන් වනු ඇත.

19 වැනි ප්‍රශ්නය:- මේ විප්ලවය කිසියම් එක් රටක ඇතිවිය හැකිද?

පිළිතුර:- නොහැකිය. ලෝක වෙළඳ පොළක් බිහිකළ මහා කර්මාන්තය විශේෂයෙන් සභ්‍ය රටවල ජනතාව ඇතුළුව, ලෝකයේ සියළු රටවල ජනතාව එකිනෙකා සමඟ කෙතරම් සම්බන්ධ කළේදයත්, එක් රටක හටගන්නා සිද්ධියක් අනික් රටවලටද බලපායි. එපමණක් නොව, හා කර්මාන්තය සභ්‍ය රටවල සාමාජික රටවල සාමාජයික සංවර්ධනය කොතරම් දුරට සමාන කළේ ද යත්, හැමතැනම සමාජයේ තීරණාත්මක පංතීන් බවට පත්වූයේ ධනපති පංතිය සහ නිර්ධන පංතියයි. මේ පංතීන් දෙක අතර සටන අප කාලයේ ප්‍රධාන සටන බවට පත්වී ඇත. එබැවින් කොමියුනිස්ට්වාදී විප්ලවය ජාතික පමණක් නොව, සිය ̈ සභ්‍ය රටවල, එනම් යටත් පිරිසෙයින් එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය සහ ජර්මනිය තුළ එකවර හටගනු ඇත. මේ රටවලින් කිනම් රටක මේ විප්ලවය ඉක්මනින් හෝ පමාවී හෝ වර්ධනය වන්නේද යන්න රදා පවතින්නේ, මේ රටවල් අතුරෙන් කිනම් රටක වඩාත් වැඩියෙන් කර්මාන්ත සංවර්ධනය ඇති වී තිබෙන්බේද, ධනය වඩාත් සමුච්චගත වී තිබෙන්නේද, නිෂ්පාදන බලවේග වඩාත් වැඩි සංඛ්‍යාවක් ඇත්තේද යන්න මතය. එබැවින් එම විප්ලවය අන් රටවලට වඩා සෙමෙන් හා අමාරුවෙන් ජර්මනියේද, ඉක්මනින් හා ලෙහෙසියෙන් එංගලන්තයේද හටගනු ඇත. එමෙන්ම එය ලෝකයේ අනිකුත් රටවල් මත සෑහෙන තරමින් බලපානු ඇත. ඒ රටවල පැරණි සංවර්ධන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම වෙනස් කොට, වේගය වඩාත් වැඩි කරනු ඇත. එය සමස්ත ලෝක විප්ලවයක් වන බැවින්,එයට සමස්ත ලෝක මණ්ඩලයක් තිබෙනු ඇත.

20 වැනි ප්‍රශ්නය:- පෞද්ගලික දේපොළ අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි
කර ලීමේ ප්‍රතිඵලය කුමක් වන්නේද?

පිළිතුර:- නිෂ්පාදන බලවේගයන් සහ ප්‍රවාහන මාධ්‍යයන්ද, එමෙන්ම භාණ්ඩ හුවමාරුව සහ බෙදා හැරීමද පෞද්ගලික ධනපතීන්ගේ අතින් උදුරා ගන්නා සමාජය, රටේ ධනසම්පත් වල ප්‍රමාණය අනුව සහ සමස්තයක් වශයෙන් සමාජයේ පරිභෝජනයන්ද සලකා ඊට සරිලන සැලැස්මක් අනුව මෙහෙය වන බැවින්, මහා කර්මාන්තය ක්‍රියාවේ යෙදවීමේ අද පවතින ක්‍රමය සමඟ සම්බන්ධ වී ඇති සිය ̈ හානිදායක විපාකයන් අන් හැමටම පෙර නැති කර දමනු ලැබේ. අර්බුද අහෝසිවනු ඇත. දැන් පවතින සමාජ ක්‍රමය යටතේ පුළුල් නිෂ්පාදනය විසින් බිහි කරන අධි නිෂ්පාදනය දුගී භාවයේ අති බලගතු හේතුව වනනේය. එවිට මෙය සෑහෙන බලවේගයක් නොවනු ඇත. එයට
වඩාත් වැඩි පුළුල් පරිමාණයක් ගැනීමට සිදුවනු ඇත. සමාජයේ ක්‍ෂණික අවශ්‍යතාවයන්ට වඩා වැඩි අතිරික්ත නිෂ්පාදනය, දැන් මෙන් දුගීභාවය බිහිකරනවා වෙනුවට, සමාජයේ සිය ̈ සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සහතික කරනු ඇත, එය තවත් අවශ්‍යතාවයන් බිහි කරන අතර ඒවා සපුරාලීමට අවශ්‍ය මාධ්‍යයන් එකවරම නිර්මාණය කරනු ඇත. එය තවත්
දුර ප්‍රගමනය සඳහා කොන්දේසිය හා උත්තේජනය වනු ඇත. පෙර මෙන් මුළුමහත් සමාජයේ කාලීන විනාශයක් ඇති නොකර එම ප්‍රගමනය ක්‍රියාවට යොදවනු ඇත. පෞද්ගලික දේපොළ අයිතියෙන් විමුක්තිය ලබන මහා කර්මාන්තය කොතරම් විශාල පරිමාණයකින් වර්ධනය වන්නේද යත්, අපේ කාලයේ මහා කර්මාන්තයන් සමඟ කුඩා වැඩපොළවල හස්තොපක්‍රම නිෂ්පාදනය සංසන්දනය කරන විට, එය අතිශයින් නොවැදගත් දෙයක් වූවා සේම, වත්මන් මහා කර්මාන්තයද නොවැදගත් තත්ත්වයකට ඇද වැටෙනු ඇත. මේ කර්මාන්ත සංවර්ධනය විසින්, සමාජයේ සියළු සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් පිරිමසාලීමට හැකිවන සේ සෑහෙන තරම් නිෂ්පාදන කරනු ඇත. එමෙන්ම, පෞද්ගලික දේපොළ අයිතියේ සූරා කෑමේ විපාකයක් වශයෙන් සහ ඉඩම් කැබලි කිරීමේ විපාකයක් වශයෙන් දැනට විද්‍යාවේ ඉතා නවීන යන්ත්‍ර ආදිය පාවිච්චි කිරීමට අසීරුව තිබෙන කෘෂිකර්මයද සිය වර්ධනයේ පූර්ණ නව අවධියකට පාතබනු ඇත. එවිට කෘෂිකර්මයද ආහාර වර්ග සෑහෙන තරමින් සමාජයට සපයනු ඇත. මේ අනුව, සමාජයේ සියළු සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම පදනම් කර ගත් බෙදාහැරීමත් සංවිධනය කරනු පිණිස සමාජය සෑහෙන තරම් නිෂ්පාදනය කරනු ඇත. සමාජය එකිනෙකට සතුරු පංතීන් හැටියට බෙදීමක් එතැන්සිට අනවශ්‍යවනු ඇත. එහෙත් එය අනවශ්‍ය දෙයක් පමණක් වනවා නොව, නව සමාජ ක්‍රමය
යටතේ එය නොගැලපෙන දෙයක්ද වනු ඇත. පංතීන්ගේ පැවැත්ම ඇති වූයේ ශ්‍රම විභජනයක් නිසාය. අද පවතින ශ්‍රම විභජනය සම්පූර්ණයෙන් අතුදහන් වී යන්නේ, නියමිත උසස් තත්ත්වයකට කර්මාන්තය සහ කෘෂිකර්මය නඟාසිටුවාලීම පිණිස යාන්ත්‍රික හා රසායනික ආධාර මාධ්‍යයන් පමණක් නොසෑහෙන බැවිනි. මේ මාධ්‍යයන් ප්‍රායෝගික ලෙස ක්‍රියාවේ යෙදවීම සඳහා එයට සරිලන සේ ජනතාවගේ දක්‍ෂතාවයද උසස් කළ යුතුවේ. ඉකුත් සිය වසරේදී ගොවියා සහ කුඩා නිෂ්පාදන කම්කරුවා මහා කර්මාන්තයට ඇද ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ මු ̈ මහත් ජීවන සැකැස්ම වෙනස්වී, ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසුන් බවට පත්වූවා සේම, මු ̈මහත් සමාජයේම නිෂ්පාදන බලවේග ක්‍රියාවේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම නිෂ්පාදනයේ නව සංවර්ධනයක් ඇති වන බැවින් සම්පූර්ණයෙන්ම නව මිනිසුන් අවශ්‍ය වන අතර ඔවුන් බිහි කරනු ඇත.

අද සිටින මිනිසුන්ට එනම්, හැම කෙනෙකුට නිෂ්පාදයේ යම්කිසි එක් ක්‍ෂේත්‍රයකට යටවී ඇති, එයට බැඳ තබා ඇති, එය විසිනු සූරාකනු බලන, අන් සිය ̈ දක්‍ෂතාවයන් පාගා දමා ඒ වෙනුවට තමාගේ එක් දක්‍ෂතාවයක් පමණක් වර්ධනය කරන, නිෂ්පාදනයේ අංශයක් හෝ නිෂ්පාදන අංශයක එක් කොටසක් පමණක් දන්නා මිනිසුන්ට සමාජ සතු කළ නිෂ්පාදනය ක්‍රියාවේ යෙදවිය නොහැකිය. තත්කාලීන කර්මාන්ත දැනටමත් එවැනි මිනිසුන්ගෙන් සේවය ගැනීම වඩාත් අඩුවෙන් කරයි. මුළු සමාජය විසින් සාමූහිකව සහ සැලැස්මානුකූලව ක්‍රියාවේ යොදවන නිෂ්පාදනය බහු පාර්ශ්වීය දක්‍ෂතාවයන් වර්ධනය කර ගත් මිනිසුන්, මු ̈ මහත් නිෂ්පාදන පද්ධතියේ දිශානතිය මෙහෙයවීමේ සමත් දක්‍ෂ මිනිසුන් ඉල්ලා සිටී. එබැවින් අද එකකු ගොවියෙකු
හැටියට ද තවත් එකකු සපතේරුවකු සහ තෙවැන්නකු කම්හල් කම්කරුවකු, හතරවැන්නකු ව්‍යාපාර පොළේ සමපේක්ෂකයෙකු හැටියටද යන්ත්‍ර විසින් ශ්‍රම විභජනයක් ඇති කිරීම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙයි. මුළු මහත් නිෂ්පාදන පද්ධතියම ප්‍රායෝගික ලෙස උකහා ගැනීමට තරුණයින්ට අධ්‍යාපනයක් දෙනු ඇත. සමාජයේ අවශ්‍යතා අනුව හෝ තමන්ගේ රුචිය
අනුව හෝ නිෂ්පාදනයේ එක් අංශයක සිට තවත් අංශයකට පිළිවෙලින් පර්වර්තනය වීමට එය ඔවුනට හැකියාව ලබා දෙනු ඇත. සමකාලීන ශ්‍රම විභජනය හැම කෙනෙකුටම බල කරන එම ඒකතානමයභාවය ඔවුන් මුදාහරිනු ලබන්නේ අධ්‍යාපනය සහ පුහුණුව විසිනි. ඒ අනුව කොමියුනිස්ට්වාදී පදනම යටතේ සංවිධානය වුනු සමාජයක්, සිය හැකියාවන් අංග සම්පූර්ණ ලෙස වර්ධනය කැර ගැනීමට සහ ඒවා ක්‍රියාවේ යෙදවීමට හැකියාවක් සිය සාමාජිකයින්ට ලබා දෙනු ඇත. එහෙත් ඒ අතරම පංති විභේධනයන්ද නොවැලැක්විය හැකි සේ අතුරුදහන් වනු ඇත. එක් අතකින් කොමියුනිස්ට්වාදී පදනම යටතේ සංවිධානය වුනු සමාජයක් තවදුරටත් පංතීන්ගේ පැවැත්ම සමඟ නොගැලපෙන අතර අනික් අතින්, එම සමාජය ඉදිකිරීම විසින් පංති භේදය අහෝසි කරලීම සඳහා මාධ්‍යයන් සපයනු ඇත. නගරය හා ගම අතර ඇති වෙනසද එලෙසම අතුරුදහන් වන බව, එයින් පෙනීයයි. විවිධ පංතීන් වලට භාර කරනවා වෙනුවට එකම මිනිසුන්
කොටසක් කෘෂිකර්මයෙහිද, කර්මාන්තයෙහිද නිරත වනු ඇත. වැදගත් ද්‍රව්‍යමය හේතූන් නිසා එය කොමියුනිස්ට්වාදී සමාගමේ අත්‍යවශ්‍ය කොන්දේසිය වන්නේය. ගම්බද කෘෂිකර්මයෙහි යෙදී සිටින ජනතාවගේ විසිරුනුභාවයද, ඒ සමගම විශාල නගරවල කාර්මික ජනගහනයේ එකට කැටි
ගැසුනුභාවයද තවමත් උසස් ලෙස සංවර්ධනය නොවූ කෘෂිකර්මයට සහ කර්මාන්තයට පමණක් ගැලපේ. මෙය මේවයේ තවත් දුර සංවර්ධනයට විශාල බාධාවක් වී තිබෙන අතර දැනටමත් එය වැඩි වැඩියෙන් දැනෙන්නට පටන්ගෙන තිබේ.
නිෂ්පාදන බලවේගයන් සැලැස්මානුකූලව ඒකාබද්ධව ප්‍රයෝජනයට ගැනීම සඳහා සමාජයේ සියළු සාමාජිකයින්ගේ සමස්ත සමාගමක් ඇති කිරීමද සියළු දෙනාගේම අවශ්‍යතාවයන් පිරිමසාලීමට හැකි වන උසස් මට්ටමක් දක්වා නිෂ්පාදනය දියුණු කිරීමදත එක් ජනකොටසගේ අවශ්‍යතාවයන් තවත්ජනකොටසකගේ අවශ්‍යතාවයන් උදුරා ගැනීම මඟින් සපුරාලීම අහෝසිකර දැමීමද, පංතීන් සහ පංති අතර ඇති පරස්පරතාවයන් නැති කරලීමද, පැරණි ශ්‍රම විභජනය අහෝසි කරලීමෙන්ද, නිෂ්පාදන පුහුණුවක් ලබාදීම මඟින්ද, ක්‍රියාකාරී ක්‍ෂේත්‍ර වෙනස් කිරීමෙන්ද,සියළු දෙනා විසින් බිහිකරනු ලබන සියළු වරප්‍රසාද භුක්ති වඳීමට සියළු දෙනාට සැලැස්වීමෙන්ද, අවසානයේදී නගරය සහ ගම එක් කරලීම මඟින්ද සමාජයේ සියළු සාමාජිකයින්ගේ බහු පාර්ශ්වීය සංවර්ධනයක් ඇති කැරැලීම. – පෞද්ගලික අයිතිය අහෝසි කරලීමේ ප්‍රධාන ප්‍රතිඵල එසේ වනු ඇත.

21 වැනි ප්‍රශ්නය:- කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමය පවුල මත ඇති කරන
බලපෑම කිමෙන්ද?

පිළිතුර:- පිළිතුර:- ස්ත්‍රී පුරුෂ සබඳතාවය විශේෂයෙන්ම පෞද්ගලික දෙයක් වනු ඇත. එය ඒ ඒ පුද්ගලයන් සතු කාර්යයක් මිස, එයට අත පෙවීමට සමාජයට කිසිදු වුවමනාවක් නැත. මෙය මුදුන් පමුණුවා ගත හැක්කේ පෞද්ගලික දේපොළ අයිතිය අහෝසි කැරලීමෙන් සහ ළමයිනට සාමාජයික ශික්ෂණයක් ලබාදීම මඟිනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පෞද්ගලික දේපොළ අයිතියට සම්බන්ධ වූ පුරුෂයාට ස්ත්‍රිය යටවීමද, ළමයින් දෙමාපියනට යටවීමද සහිත සමකාලීන
විවාහයේ පදනම් දෙකක් අහෝසි වනු ඇත. ගැහැණුන් කොමියුනිස්ට්වාදී ලෙස පොදුවේ තබා ගනිතියි බෙරිහන් දෙන උසස් සදාචාරයකින් හෙබි අවරසිකයින්ට පිළිතුර මෙයය. ගැහැණුන් පොදුවේ තබා ගැනීම සම්පූර්ණයෙන්ම ධනවාදී සමාජයේ ලක්‍ෂණයකි. සමකාලීන සමාජයේ ගණිකා වෘත්තීය මඟින් මෙය පූර්ණ ලෙස ක්‍රියාවේ යෙදෙමින් පවතී. පෞද්ගලික දේපොළ අයිතිය අහෝසි වනවාත් සමඟ එහි පදනම මත පවතින ගණිකා වෘත්තියද අහෝසිවනු ඇත. මේ හේතූන් නිසා කොමියුනිස්ට්වාදී සමාජය ගැහැණුන් පොදුවේ තබා ගන්නවා වෙනුවට එය සම්පූර්ණයෙන්ම අහෝසි කර දමයි.

22 වැනි ප්‍රශ්නය:- අද පවතින ජාතීන් කෙරෙහි කොමියුනිස්ට්වාදී සමාජය
දක්වන ආකල්පය කුමක්ද?

පිළිතුර:- එසේමැයි.

23 වැනි ප්‍රශ්නය:- දැනට පවතින ආගම් කෙරෙහි කොමියුනිස්ට්වාදී සමාජය
දක්වන ආකල්පය කුමක්ද?

පිළිතුර:- එසේමැයි

24 වැනි ප්‍රශ්නය:- කොමියුනිස්ට්වාදීන් සහ සමාජවාදීන් (සෝෂලිස්ට්වාදීන්)
අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර:- සමාජවාදීන් යැයි කියාගන්නා අය කොටස් තුනකට බෙදී සිටිති. පළමුවැනි කොටස රදළවාදීන්ගේ සහ පීතෘමූලික සමාජයට පක්ෂපාත අයගෙන් යුක්තය. මේ සමාජය හැමදාම මහා කර්මාන්තය විසින්ද, ජගත් වෙළදාම සහ එය විසින් බිහි කරන ලද ධනපති සමාජය විසින්ද විනාශ කරන ලදී. තවමත් කරනු ලැබේ. සමකාලීන සමාජයේ විපත් නිසා මේ කොටස කර ඇති නිගමනය නම්, මෙවැනි විපත් වලින් ස්වාධීනව පැවති රදළවාදය සහ පීතෘමූලික සමාජය යළි ස්ථාපිත කළ යුතුය යන්නය. මේ කොටස් ඉදිරිපත් කරන සිය ̈ යෝජනා සෘජුව හෝ වක්‍රව හෝ එම අරමුණුවෙත යොමු වී ඇත. මොවුන් නිර්ධන පංතියේ දුගීභාවය ගැන ව්‍යාජ හිතවත් කමක් දැක්වීම සහ එය අරභයා උණුසුම් කඳුළු සැලීමද නොතකා මේ ප්‍රතිගාමී සමාජවාදී කොටසට විරුද්ධව කොමියුනිස්ට්වාදීහු තීරණාත්මක ලෙස සටන් කරනු ඇත්තාහ. මන්දයත්, මේ සමාජවාදීන්:
1) කොහෙත්ම නොකළැකි දෙයක් සඳහා පරිශ්‍රමයන් දරන බැවිනි.
2) රදළ පෙළැන්තියේත්, හස්ත කර්මාන්තාචාරීන්ගේත්, කුඩා වැඩපොළවල් හිමියන්ගේත්, ඔවුනට සරිලන පරිදි නිරපේක්ෂ නැතිනම් රදළවාදී රාජාණ්ඩුවෙත්, නිලධාරීන්ගේ, සෙබළුන්ගේ සහ පූජකයින්ගේත් පාලන තන්ත්‍රය පුනඃස්ථාපනය කිරීමට ඔවුහු වැර දරති. සත්තකින්ම සමකාලීන සමාජයේ විෂමතාවයන් නැති කරලීම ඔවුන්ගේ බලාපොරොත්තුවය. එහෙත් ඔවුන් බලාපොරොත්තු වන සමාජයද යටත් පිරිසෙයින් එයට නො අඩු විපත් ගෙන දෙනු ඇත. එපමණක් නොව, කොමියුනිස්ට්වාදී සංවිධාන මාධ්‍යයෙන් පෑගී සිටින කම්කරුවන්ට විමුක්තිය ළගා කර දීමේ කිසිදු අනාගතයක් ඔවුන්ගේ වැඩ පිළිවෙළින් විවෘත නොවන්නේය.

3) නිර්ධනීහු විප්ලවවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් වූ විට ඔවුන්ගේ සැබෑ අරමුණු පැහැදිලි වෙයි. එවැනි අවස්ථාවලදී ඔවුහු නිර්ධන පංතියට විරුද්ධව වහාම ධනපති පංතිය සමග එකතු වෙති. දෙවැනි කොටස සමකාලීන සමාජයට පක්ෂවූවන්ගෙන් යුක්තය. මේ සමාජය විසින් අනිවාර්යයෙන්ම බිහිකරවන විෂමතාවයන් ඔවුන්ගේ පැවැත්ම සැකයට භාජනය කරයි. එබැවින් ඔවුහු අද පවතින සමාජය ආරක්ෂා කරන අතර එහි විෂමතාවයන් දුරුකරලීමට ක්‍රියා කරති. සමහරු ඒ සඳහා පරිත්‍යාගශීලී ක්‍රම ඉදිරිපත් කරති. අන් සමහරු අති පුළුල් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමෙන්, සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ මුවාවෙන්, අද්‍යතන සමාජයේ පදනමද, එමගින් මුළු මහත් අද්‍යතන සමාජයද ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙති. මෙවැනි ධනපති සමාජවාදීන්ට විරුද්ධව කොමියුනිස්ට්වාදීහු වෙහෙස නොබලා සටන් කළ යුත්තාහ. මන්දයත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය කොමියුනිස්ට් විරෝධීන්ගේ යහපතට හේතු වන අතර කොමියුනිස්ට්වාදීන් විනාශ නිරීමට ඉදිරිපත් වී සිටින සමාජ ක්‍රමය ඔවුන් ආරක්ෂා කරන බැවිනි. අවසානයේදී, තෙවැනි කොටස ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්ගෙන් යුක්තය. කොමියුනිස්ට්වාදීන් සමග එක් වී ගමන් කරන මොවුහු… ප්‍රශ්නයෙ* සටහන් සමහර කරුණු ක්‍රියාවේ යෙදවීමට කැමැත්තක් දක්වති. එහෙත් එය කොමියුනිස්ට්වාදය කරා යන පරිවර්තන පියවරයන් ලෙස නොව, දුගීබව විනාශ කිරීම සහ සමකාලීන සමාජයේ විපත් දුරුකරලීමේ සෑහෙන පියවරයන් හැටියට පමණකි. මේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් එක්කෝ තම පංතියට විමුක්තිය ළඟා කර දීම ගැන තවම සෑහෙන පැහැදිලි කිරීමක් නැති නි3⁄4ධනීන්ගෙන් හෝ සුළු ධනපති පංතියේ නියෝජිතයින්ගෙන් හෝ සෑදී ඇත. සුළු ධනපති පංතිය ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම දක්වාද, ඉන්පසු සමාජවාදී පියවරයන් ගැනීමේදී ද නොයෙක් අතින් නිර්ධනීන්ට සමාන පංති වුවමනාවන් ඇති කොටසකි. එබැවින් ක්‍රියාකාරී අවස්ථාවලදී කොමියුනිස්ට්වාදීන් ප්‍රජාතන්ත්‍රික සමාජවාදීන් සමඟ එකඟතාවයන් ඇති කරගත යුතුය. ඒ සමාජවාදීන් පාලක පංතිය වන ධනපතීන්ට සේවය කිරීමට ඉදිරිපත් නොවන තාක් කල්, ඔවුන්
කොමියුනිස්ට්වාදීන්ට පහර දීමට ඉදිරිපත් නොවන තාක් කල් ඒ කාලවලදී හැනි තරම් දුරට ඔවුන් සමඟ පොදු ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කළ යුතුය. ඔවුන් සමඟ සමගි වී ක්‍රියා කිරීම නිසා සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර ඇති මතභේදයන් සාකච්ඡා කිරීම නැවැත්විය යුතුයැයි මින් කොහෙත්ම අදහස් නොකෙරේ.

25 වැනි ප්‍රශ්නය:- අපේ කාලයේ සෙසු දේශපාලන පක්ෂ කෙරෙහි
කොමියුනිස්ට්වාදීන් දක්වන ආකල්පය කුමක්ද?

*අත් පිටපතෙහි හිඩැස්සකි. අංක 18 ප්‍රශ්නය ගැන විය යුතුය. -සංස්කාරක.
පිළිතුර:- විවිධ රටවල එම ආකල්පය විවිධාකාරය. ධනපති පංතිය ආධිපත්‍ය උසුලන එංගලන්තයේ, ප්‍රංශයේ සහ බෙල්ජියමේ විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමග කොමියුනිස්ට්වාදීන්ට දැනට පොදු වුවමනාවන් ඇත්තේය. මේ පොදු වුවමනාවන් වැදගත් වන තරමට, ප්‍රජාතන්ත්‍රවාදීහු කොමියුනිස්ට්වාදී අරමුණුවලටත්, දැන් ප්‍රජාතන්ත්‍රවාදීන් හැම තැනකම ඉල්ලා සිටින ඒ සමාජවාදී ක්‍රියාවලටත් සමීප වෙති. එනම් ඔවුන් කොතරම් දුරට පැහැදිලි ලෙසත්, නියමිත ලෙසත් නි3⁄4ධන පංතියේ වුවමනාවන් සඳහා සටන් කරන්නේද, එතරම් දුරට ඔවුන් නිර්ධන පංතියේ ආධාරය මත රදා පවතී. නිදසුනක් වශයෙන් එංගලන්තයේ කම්කරුවන්ගෙන් සමන්විත චාටිස්ට්වරු, ඩිකල්වාදීන් යැයි කියා ගන්නා සුළු ධනපති ප්‍රජාතන්ත්‍රවාදීන්ට වඩා බොහෝ සෙයින් කොමියුනිස්ට්වාදීන්ට සමීපව සිටිති. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්තාවක් ක්‍රියාවේ යොදවා ඇති ඇමරිකාවේ, එම ව්‍යවස්ථාව ධනපති පංතියට විරුද්ධව යෙදවීමට ඉදිරිපත් වන පක්ෂයට කොමියුනිස්ට්වාදීන් ආධාර දිය යුතුය. එම ව්‍යවස්ථාව නිර්ධන පංතියේ වුවමනාවන් සඳහා යොදවන, එනම් ජාතික කෘෂක ප්‍රතිසංස්කරණ අනුගාමිකයින්ගේ පක්ෂයට ආධාර දිය යුතුය.
ස්විට්සර්ලන්තයේ රැඩිකල්වරුන් බොහෝ මිශ්‍ර නියෝජිතත්වයකින් හෙබියද කොමියුනිස්ට්වරුන්ට එකඟතාවයකට පැමිණිය හැකි එකම පක්ෂය එය පමණකි. මේ රැඩිකල්වරුන් අතර වඩාත්ම ප්‍රගතිශීලීන් නම් වාද්ත්වරුන් සහ ජිනීවා වරුන්ය.
ජර්මනියේ ධනපතීන් සහ නිරපේක්ෂ රාජාණ්ඩුව අතර තීරණාත්මක සටන තවමත් ඉදිරි අනාගතයේදීය. ධනපතීන් ආධිපත්‍යය ලැබීමට පෙර ඔවුන් සමග තීරණාත්මක සටනක යෙදීමට කොමියුනිස්ට්වාදීන්ට බලාපොරොත්තු විය නොහැකි බැවින්, හැකි තරම් ඉක්මනින් ධනපති ආධිපත්‍යය පෙරළා දැමීම සඳහා එය ලබා ගැනීමට ඔවුනට ආධාර කිරීම කොමියුනිස්ට්වරුන්ගේම
වුවමනා පිණිස වන්නේය. මේ අනුව. ආණ්ඩුවලට විරුද්ධව ලිබරල්වාදී ධනපතීන් සටන් කරන විට, කොමියුනිස්ට්වරුන් හැමදාම ලිබරල්වරුන්ගේ පැත්ත ගත යුතුය. එහෙත් ධනපතියන් ගොදුරු වන ස්වයං මුලාවෙන් ආරක්ෂා විය යුතුය. ධනපතීන්ගේ ජයග්‍රහණය නිසා නිර්ධන පංතියට ලැබෙන වාසි යැයි කියන මායාකාරී පොරොන්දු මත විශ්වාසය නොතැබිය යුතුය. ධනපතීන්ගේ ජයග්‍රහණය නිසා කොමියුනිස්ට්වාදීන්ට ලැබෙන එකම වාසිය මෙසේය:

1) තම මූලධර්ම ආරක්ෂා කිරීමටත්, සාකච්ඡා කිරීමට සහ ප්‍රචාරය කිරීමටත් කොමියුනිස්ට්වාදීන්ට ලෙහෙසි වන අන්දමේ විවිධ වාසාදීම් ඇතිවීම, මෙයින් සටන් කිරිමේ සූදානම ඇති සමීප ලෙස ඒකරාශීවුණු සංවිධාන වූ නිර්ධන පංතියක් සමගි කිරීම පහසුවීම:
2) පරමවාදී ආණ්ඩු බිඳ වැටෙත්ම, ධනපති පංතියට විරුද්ධව නිර්ධන පංතික සටන් ඇති වීමේ මොහොත එළැඹෙන බවට විශ්වාසය ඇති වීම. එතැන් සිට මෙහිද ජර්මන් කොමියුනිස්ට්වරුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය, ධනපති පංතිය ආධිපතිත්වය දරන රටවල තත්වයම වන්නේය.

1847 ඔක්තෝබර් – නොවැම්බර් මාස වලදී
ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් ලියන ලදී. වෙනම
පොත් පිංචක් ලෙස ප්‍රථම වරට මුද්‍රණය
කළේ 1914 දීය.

ජර්මන් මුල් පිටපත අනුව මුද්‍රණය කැරිණි.

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit