කුණු කසළ වදයක්ද?

WHO ARE THE POLLUTERS? Capitalism Is Destroying the Earth!
March 12, 2017
පරිසරය හා සමාජවාදය
March 12, 2017
Show all

කුණු කසළ වදයක්ද?

රට පුරා විවිධ ස්ථානවල ගොඩ ගසා ඇති කුණු කදු, පාරවල් අයිනේ දමා ඇති කුණු, කුණු දැමීම තහනම් යැයි ලියූ තාප්ප, දැන්වීම් අසල ගොඩ ගසා ඇති කුණුවල දුගද, නම ඇසූ පමණකින් ද සිතට එන හැගීම ඉතා අප‍්‍රියජනක එකක් වී ඇත. ඒ අසලින් ගමන් කරන්නකුට ඉහත හැගීම්, දැනීම් ඇති වීම තාවකාලික වුව ද, කුණු සමග ජීවත් වීමට සිදුව ඇති විශේෂයෙන් කොළොන්නාව, මීතොටමුල්ල සහ මාදම්පිටිය, කොටිකාවත්ත, පිළියන්දල කරදියාන වැනි ප‍්‍රදේශවල ඇතු`ඵව එවන් ප‍්‍රදේශවල සිටින ජන කණ්ඩායම් අද වන විට මුහුණ දී ඇති ඉරණම ඉතා ඛේදජනක වී ඇත. මහා කුණු ක`දු අවට සිටිනවුන් මැසි මදුරු ආදී උවදුරු නිසා ඇති වන රෝගවලට ගොදුරු වීම, ඉවුම් පිහුම්, ආහාර ගැනීම ඇතුළු දිනචර්යාව මහත් වියවුලක් වීම, සමාජය තුළ ඔවුන් කොන් වීමටද බල පා ඇති තත්ත්වයන් ද (අවාහ-විවාහයන්වලදී* ඇති වී තිබීම වැනි විවිධ ශාරීරික, සමාජීය දුෂ්කරතාවලට ඔවුන් ගොදුරු වී ඇත.

රටේ ම දිනකට කුණු කසළවලින් 58% ක් එකතු වනුයේ බස්නාහිර පළාතේ ය. කොළඹ නගරයේ දිනකට කුණු ටොන් 700ක් එකතු වේ. එම කුණු ඉවත් කිරීමේ ක‍්‍රියාවලියට දිනකට ලක්‍ෂ 15ක් වැය වන බව වාර්තා වේ.

කුණු කසළ කාගේද… ?
මිනිසාගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ගෘහස්ථ ක‍්‍රියාවලිය හා ඔවුන් සිදු කරන ආර්ථික ක‍්‍රියාවලීන් තුළින් බැහැර කරන සියල්ල පසුව කුණු කසළ ලෙස හදුනා ගත හැක. එනිසා කුණු අනුන්ගේ දෙයක් නොව තමන්ගේ ම දෙයකි. කුණු කසළ ඉමහත් ව්‍යසනයක් වී, වෙමින් ඇති තත්ත්වයක් තුළ එය නැවැත්වීමට නම් මිනිස් පරිභෝජන ක‍්‍රියාවලිය එක්කෝ නතර කළ යුතුය. නො එසේ නම් කුණු වදයක් නොවන ලෙස කටයුතු කරන්නේ කෙසේ ද යන්න විමසිය යුතු ය.

කුණු කසළ වදයක් නොවීමට නම්…
මේ සදහා මිනිසා තුළ පුද්ගලයන් ලෙස ගොඩනැඟිය යුතු ආකල්පමය වෙනස්කම් හා රජය හා පළාත් පාලන ආයතන ඇතුළුව ක‍්‍රියාත්මක විය යුතු පුඵල් ආයතනගත ක‍්‍රියාවලියක් අවශ්‍ය වේ.

මිනිසුන් තමන් මිලක් වැය කර ලබා ගෙන ඉවත් කරන සියල්ල තුළ ද මිලක් පවතින බව අවබෝධ කර ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණකි. ඉවතලන සියලූ ආහාර කොටස් කොම්පෝස්ට් බවට පත් කර ගත හැක. සරල කොම්පෝස්ට් බ`දුනක සිට ප‍්‍රමාණය අනුව තමන්ට ම ගෘහයේ සකස් කර ගත හැකි කටයුත්තකි එය. ඉවතලන අනෙකුත් සියල්ල යකඩ, ටින්, ප්ලාස්ටික්, පොලිතින්, පත්තර, බෝතල්, වීදුරු මේ සියල්ල වර්ග කර ලබා දීමෙන් මිලක් ලබා ගත හැක. ව්‍යාපාර, කර්මාන්ත ශාලාවල ද ඉවත් කරන දෑ වර්ග කර ඒවා නැවත පරිභෝජනයට ගත හැකි ආකාරයන් බොහෝ ඇත. රෝහල්වල අපද්‍රව්‍ය වැනි විශේෂ ආයතනවල කසළ හැරුණු විට බොහෝ ගෘහයන්, ව්‍යාපාර, කර්මාන්තශාලා මෙම කසළ කළමනාකරන ක‍්‍රියාවලියකට යොමු කිරීම මඟින් වදයක් වී ඇති කුණු ප‍්‍රශ්න අවම කර
ඒවායින් ආදායමක් ද උපදවා ගත හැක.

එහෙත්, ගෘහාශ‍්‍රිතව හෝ ව්‍යාපාර, කර්මාන්තශාලාවල තනිව ඔවුන්ට කළ නොහැකි කසළ කළමනාකරන ක‍්‍රියාවලියට රජය මූලික වී ආයතන සම්බන්ධ කළ යුතුය. කසළ කළමනාකරණය කරන විධික‍්‍රම ගැන ජනතාව දැනුම්වත් කිරීම, ඔවුන් උනන්දු කිරීම, ආදායම් ලැබිය හැකි මාර්ග බවට පත් කිරීම ගැන අවබෝධය ලබා දීම මෙහිලා මූලික කටයුත්තකි. ඉවතලන කුණු වර්ග කර ලබා දීමට ජනතාව දැනුම්වත් කිරීම ඒවා මහමග, පරිසරය අපවිත‍්‍ර නොවන ලෙස එකතු කිරීම (දියුණු යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය), යම් යම් පළාත් පාලන ආයතනවල අවිධිමත් ලෙස දැනට ක‍්‍රියාත්මක කොම්පෝස්ට් ව්‍යාපෘති විධිමත් කිරීම, අවශ්‍ය සෑම ස්ථානයක ම ආරම්භ කිරීම, අනෙකුත් ඉවත ලන ද්‍රව්‍ය මිලදී ගන්නා දැනටමත් ඇති සමාගම් පිළිබද ජනතාවට අවබෝධය ලබාදීම, ඒවා ඔවුන්ට සමීප කරලීම වැනි බොහෝ කාර්්‍යයන් මීට අයත්ය. මෙසේ සමස්ත ක‍්‍රියාවලියක් තුළින් ගෘහාශ‍්‍රිතව හා ආයතනගතව ඉවතලන ආහාර කොම්පෝස්ට් ව්‍යාපෘති තුළින් ප‍්‍රයෝජනයට ගැනීම ආදායමක් ලබා ගත හැකි වීම අනෙකුත් සෑම අප‍්‍රද්‍රවයක් ලෙස බැහැර කරන යකඩ, ටින්,
බෝතල්, පොලිතින්, පත්තර ආදිය නැවත පරිභෝජනයට ගත හැකි ලෙස සකස් කිරීමෙන් කුණු කසළ ව්‍යසනයක් වීම වළක්වා ගත හැක.

කසළ කළමනාකරණයෙදී හදුනා ගත හැකි ගැටලූ
කසළ කළමණාකරණය සදහා කළ යුතු ක‍්‍රියාවලීන් ඉහත දැක්වූ පරිදි සිදු විය යුතු වුවද ප‍්‍රායෝගිකව දිනෙන් දින ම සිදුවනුයේ කුණු කසළ මහත් සමාජ වියවුලක් ඇති කරන තතුය.

සංදර්ශන, ප‍්‍රදර්ශනාත්මක වැඩ පමණක් සිදු කරන පැවති, පවතින ආණ්ඩු, පාලකයන්ට ජනතාව සැබවින්ම එවන් ක‍්‍රියාවලීන්ට බද්ධකර ගැනීමේ දිගුකාලීන සැලසුම් නොමැත. මෙම කටයුත්තට මූලික වී සිටින පළාත් පාලන ආයතනවලට පත් වන බලාධිකාරින් බොහෝ විට කසළ කළමනාකරණය තබා තම අත්සන යෙදීමට පවා නොහැකි මට්ටමේ සිට ඔවුන්ට ඇති නොහැකියාවන්, පටු, පෞද්ගලික අරමුණු, දේශපාලන අරමුණු පමණක් ඇත්තවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක. එසේ කටයුතු කරන අතළොස්සක් වන එම ආයතන ද කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණයට අවශ්‍ය ජල පහසුකම, හිරු එළිය හොදින් වැටෙන භූමි වෙන් කර ගැනීම, දියුණු යන්ත‍්‍ර සූත‍්‍ර නොමැතිකම, අවශ්‍ය සේවකයන් නොමැතිකම, ඔවුන්ට ආරක්‍ෂිත ඇදුම් පැළදුම් නොමැතිකම ආදී ගැටලූ බොහොමයකට මුහුණ පා සිටීම දැකිය හැක.

කොළඹ නගර ආශ‍්‍රිත ජනගහනය දැනට ලක්‍ෂ 7ක් පමණ වේ. දිනකට කොළඹට ඇතුළු වන ජනගහනයද ලක්‍ෂ 15ක් පමණ වේ. එනිසා කොළඹ ආශ‍්‍රීත කූණු කසළ ප‍්‍රශ්නයේ අභ්‍යන්තරික ගැටලූව කොළඹ කේන්ද්‍රගත වී ඇති සමස්ත ක‍්‍රියාවලිය විමධ්‍යගත කිරීමේ දිගුකාලීන පළල් දැක්මක් සහිත එකක් විය යුතුය. නූතනයේ ක‍්‍රියාත්මක ධනවාදී ආර්ථිකය මිනිසුන් අධිපරිභෝජනවාදයේ කරවටක් ගිල්වා දමා ඇත. වෙළෙද ප‍්‍රචාරය මිනිස් අවශ්‍යතා අසීමාන්තික ලෙස එසේ එක් පසෙකින් ඉහළ දමා ඇති අතර, අනෙක් පසින් ඒවා මිලදී ගැනීමේ නොහැකියාව සහිත පාර්භෝගිකයන්ට මිල දී ගත හැකි කුඩා පැකට් තරමට ඒවා සකස් කර ඇත. ඒවා රැුගෙන යාමට තරමක බහාලන නොව විවිධ ප‍්‍රමාණයෙන් ෂොපින් බෑග් හෝ එවැනි පොලිතින් ඇසුරුම් භාවිතය වැඩි වී ඇති අයුරු ද දැකිය හැක. 2007 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලය සිදු කළ සමීක්‍ෂණයකට අනුව දිනකට රට තුළ මිලියන 20කට ආසන්න වන ජනතාව ලන්ච් ෂීට් මිලියන 10ක්, ෂොපින් මිලියන 20ක් භාවිත කරයි. රේගු වාර්තා අනුව දිනකට පොලිතින් සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 200කට වැඩියෙන් ආනයනය කරයි.

ඉහත ගැටලූ පිළිබද අවධානය යොමු කළ විට කසළ කළමනාකරණය ගෘහාශ‍්‍රිතව කළ හැකි සීමිත කාර්යය, (ඒවා තවදුරටත් කළ යුතු ය* ජනතාවගේ ආකල්පවලට ඉහළින් ඇති රටේ දේශපාලනාධිකාරිය, ප‍්‍රතිපත්ති, ජාතික සැලසුම් රටේ යහපත් පැවැත්ම, සංවර්ධනයය ඉලක්ක කර ගත් එකක් විය
යුතු බවට කුණු ප‍්‍රශ්නය ගැඹුරින් විමසීමෙන් ද පැහැදිලි වේ. 1990 වර්ෂයේදී ලෝකයේ එකතු වූ කසළවලින් 13%ක් පමණ කළමනාකරණය කර ඇත. එය 2014 දී 42% ක් පමණි. 2020 දීත් එය 50% ඉක්මවිය නොහැකි බව ලෝක දත්තයන් පෙන්වා දෙයි. එනිසා මෙයින් හෙළිවන්නේ ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය ම වෙළාගත් නූතන ධනවාදයට මිනිසාට වධයක් නොවී කළමනාකරණය තුළින් නැවත ආදායමක් ලබා ගත හැකි, නැවත පරිභෝජනයට යොදා ගත හැකි කුණු ප‍්‍රශ්නයට පවා විසදුම් ලබා දිය නොහැකි බවයි