ඔබ සිතන්නේ හදවතින්ද? මොළයෙන්ද?

තර්කනයේ චින්තනය හා අතාර්කික චින්තනය
February 24, 2020
වෙනස්වීමට බිය මිනිසා!
February 24, 2020
Show all

ඔබ සිතන්නේ හදවතින්ද? මොළයෙන්ද?

දැනුම සමාජය හා චින්තනය

19

        මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි”යනුවෙන් අපේ ගීත සාහිත්‍යයේ ගීතයක් තිබේ. ලොව පුරාම මෙන්ම ලංකාවේද ගීත සාහිත්‍යය තුළ, කවිය තුළ, හදවත සැලකෙන්නේ ආදරය දැනෙන හා ආදරය කරන ඉන්ද්‍රිය ලෙසය. එක්තරා නවකථාවක නම ‘ගොළු හදවත’ වන්නේද ඒ අනුවය. සාහිත්‍යයට අනුව මල්සරා මල් හී විදින්නේද හදවතටය. එවිට එක්වන්නේ, ‘දෙහදකි’ එසේම දුක දැනෙන්නේද හදවතටය. අප සිතන විදිහට අප අවංක වන්නේද හදවතිනි. මේ අනුව මිනිසාගේ හැඟීම්වලට අදාළ (ආදරය, දුක, සතුට, කෝපය) ඉන්ද්‍රිය හදවත ලෙස සමාජය සලකයි. මෙයද අතාර්කික චින්තනයක් සමජගතවී තහවුරු වීමේ ප්‍රතිඵලයකි.

         ඈත අතීතයේ විද්‍යාව නොදියුණු යුගයේ මොළයේ ක්‍රියාකාරිත්වය තේරුම් නොගත් යුගයේ මිනිස්සු, මිනිස් හැඟීම් උපදින්නේ හදවතින්යයි සිතූහ. ඒ අනුව අදහස් ප්‍රකාශ කළහ. එය සාහිත්‍ය කලාවන් තුළද තහවුරු විය. එහෙත් පසුව විද්‍යාව විසින් සොයාගනු ලැබුවේ අපගේ චින්තනයට, හැඟීම්වලට, තර්කනයට, භාවයන්ට බලපාන එකම ඉන්ද්‍රිය මොළය බවය. අපගේ සියලුම සිතුවිලි හා සංවේදනා උපදින්නේ මොළය තුළ සිදුවන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලය ලෙසටය. ඒවා සමග හදවතට කිසිදු සබඳතාවක් නැත. හදවත සිදුකරන්නේ මොළයේ සෛලවලට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් රුධිරය මගින් සැපයීමය.

හදවතේ කාර්යය කුමක්ද?

        සැබවින්ම හදවතේ කාර්ය වන්නේ, සිරුරේ රුධිර සංසරණය පවත්වාගෙන යාමය. සිරුර පුරා රුධිරය බෙදාහරින මධ්‍යස්ථානය හදවත වේ. එයට ‘සිතිය’ නොහැක. එය විශ්මය ජනක ඉන්ද්‍රියක් බව සැබෑය. එයට සාමාන්‍යයෙන් මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලය අවු. 80ක් හෝ 90ක් නම් එම මුළුකාලය පුරාම  නතරනොවී එකම රිද්මයකින් සංකෝචනය වෙමින් රුධිරය බෙදාහැරීමේ කාර්යය කළ හැක. එය විවේක ගන්නේ නැත. ලොව නතරනොවී එකදිගට වැඩකරන විශ්මිත යන්ත්‍රය හෙවත් ඉන්ද්‍රිය හදවත වේ. එහෙත් එයට සිතන්නට නොහැක. සත්‍යය එයයි.

       අප මෙම සත්‍යය දැන සිටියද දැන් භාවිතයේදී එය නොසලකා කටයුතු කිරීමට අපට සිදුව ඇත. ඒ පුරුද්දේ බලය හා ‘හදවත’ සිතන ඉන්ද්‍රියයැයි අතීතයේ ඇතිකරගත් වැරදි වැටහීම සමාජගත සංකල්පයක්ව පවතින නිසාය. එම සංකල්පය නොමැතිව දැන් සාහිත්‍ය කලාවට පැවතිය නොහැකි මට්ටමට එය සමාජගතවී අපේ විඥානයේ අතාර්කිකවම තහවුරුවී ඇත. වර්තමානයේ පවා දැනුම එකතුකරන බුද්ධියට අයත් ඉන්ද්‍රිය මොළය ලෙස සලකන මිනිසා හැඟීම්වලට අදාළ ඉන්ද්‍රිය හදවතයැයි අවිඥානිකවම, අතාර්කිකවම සිතයි. අප මෙම කරුණ මෙතරම් මතුකළේ සමාජයක් තුළ අතාර්කික, වැරදි අදහසක් නිර්මාණය වී තහවුරු වූ පසු ඉන් මිදීමට මිනිසාට පහසු නැති බව පෙන්වීමටය. නොදැනුම විසින් බිහිකළ වැරදි සංකල්ප දැනුමට පවා වෙනස් කළ නොහැකි අවස්ථා තිබෙන බව ඉන් පැහැදිලි වේ.

ධනවාදී වෙළඳපොළ තුළ

        මිනිසා තුළ පවතින, මානව සමාජය තුළ පවතින මෙම ස්වභාවය මිනිසා රැවටීම සඳහා මුලාකිරීම සඳහා විවිධ කණ්ඩායම් හා පුද්ගලයන් විසින් යොදාගන්නේ කෙසේද යන්න අපි පසුගිය ලිපියේදීද සාකච්ඡා කළෙමු. නූතන ධනවාදී වෙළඳපොළ මුළුමනින්ම සකස්කර ඇත්තේ මිනිසාගේ මෙම දුර්වලතාවය පදනම්කර ගනිමිනි. ධනවාදී නිෂ්පාදකයා හා වෙළෙන්දා වෙළඳපොළ තුළදී තම නිෂ්පාදන විකුණා ගැනීම සඳහා එක් අතකින් මිනිසා බියට පත්කරති. ‘ඔබගේ අස්ථි දිරා පත්වී ඒවා කැඩී යා හැකිය’ යනුවෙන් අප බියට පත්කරවන වෙළඳපොළ බලවේග ඉන් මිදීම සඳහා ජනතාවට එක්තරා කිරිපිටි වර්ගයක් පානය කරන ලෙස පවසයි. ඒ සඳහා ඔවුහු නවීන තාක්ෂණික උපකරණ හා නළු නිළියන්ද උපයෝගිකර ගනිති. එවිට අස්ථි දුර්වලව කැඩී බිඳී යා හැකියයි බියට පත්වන අය අදාළ කිරිපිටි වර්ගය ගැනීමට පෙලඹෙති. ඔස්ටියෝ ෆොරොසිස් නම් එවැනි රෝග තත්වයක් සත්‍ය ලෙසට ඇතිවන අතර එයට ගතයුත්තේ වෛද්‍ය ප්‍රතිකාරය. එහෙත් අතාර්කික චින්තනය ඒ වෙනුවට කිරිපිටි වෙත ඇදේ. හිසකේයාම, හිසකෙස් කැඩීයාම, දත් දිරායාම, සම අවපැහැගැන්වීම ආදි කරුණු මගින්ද මේ බිය වැද්දීම කරන ධනේශ්වර නිෂ්පාදකයා ඉන් බියටපත් ජනතාවට විවිධ ෂැම්පු වර්ග, දත් බෙහෙත් වර්ග, දත් බුරුසු වර්ග, ක්‍රීම් වර්ග විකුණා ගනී.

      මෙම අතාර්කික රැවටීම මෙසේද තේරුම් ගත හැක. සාමාන්‍යයෙන් උපතින්ම සම පැහැපත්, තරුණියක් මුහුණට මේකප් දමාගනිමින් රූපවාහිනිය ඉදිරියේ පෙනී සිට සම පැහැපත් කරන ආලේපන වර්ගයක් ගැන පවසයි. එම ආලේපන වර්ගය වෙළඳපොළට එන්නේද එම මොහොතේමය. එය හඳුන්වාදෙන වෙළඳ දැන්වීම එයයි. ඇය පවසන්නේ, ඇගේ සම පැහැපත් වූවේ එම ආලේපනය නිසා බවය. එය නරඹන අය ඊට රැවටෙති. එදිනම වෙළඳපොළට එන එම ආලේපනය පාවිච්චි නොකළ හෝ නැත්නම් වෙළඳපොළට පැමිණ මසකටත් වඩා අඩු ආලේපනයකින් අර නිරූපන ශිල්පිනියගේ මුහුණ හෝ සම පැහැපත් වීමට ඉඩක් නැතැයි පාරිභෝගිකයා තර්ක නොකරයි. වරලස දිගුව වැඩෙන තෙල් වර්ග හෝ ෂැම්පු වර්ග පිළිබඳ අතාර්කික චින්තනයද එසේය. මෙය මානව සමාජය තුළ රෝගයක් බවට පත්වූ විට එම සමාජය නිවැරදි මඟක ගෙනයාම ඉතාම අපහසු වන අතර මිනිසුන් තමා විසින් තමාටම හානි පමුණුවා ගනු ලබයි. ඒ අතර සමාජයටද හැනි සිදුකරයි. මෙහිදී මිනිසුන් වංචාවේ හා ස්වයං වංචාවේ අඥාන ගොදුරු බවට පත්ව ඇති බව පෙනේ.

හානියේ තරම

       පුද්ගලයෙකුගේ හෝ සමාජයක ජීවිතය අතාර්කික චින්තනය නිසා මිත්‍යා අදහස්වලින් හසුරුවන්නට පටන්ගත් විට එම පුද්ගලයාට හෝ එම සමාජයට සිදුවන හානිය ගණන් බැලිය නොහැක. දශලක්ෂයේ හෝ කෝටියේ වාසනාව උරගා බලන්නැයි මිනිසුන්ට ලොතරැයි විකුණන මිනිසා අන්ත දිළින්දෙකි. එවැනි අය මාර්ග සංඥා පුවරු ළඟ සිටිමින් වාහනවලින් යන අයට ‘වාසනාව’ විකුණති. ඒ, ජීවිකාව සඳහාය. තමන්ට වාසනාව උදාකරගැනීමට අසමත් දිළින්දා අන් අයට වාසනාව විකිණීම තුළ වන ප්‍රතිවිරෝධය තේරුම් ගැනීමට මිනිසා උත්සාහ නොකරයි. ඔහු විකුණන ලොතරැයි පතේ වාසනාව තිබේ නම්, එය ඔහු ළඟ තබා නොගෙන විකුණන්නේ ඇයිද යන තර්කනය මිනිසාට අදාළ නැත. ඔහු දිගටම වාසනාව උරගා බැලීමට ගොස් හම්බකරගත් තුට්ටුදෙක නැතිකර ගනී.

          හමුදා සොල්දාදුවාගේ ආරක්ෂාවට අතේ නූලක් බඳින අතර දේවාලයේ හෝ පන්සලේ ආරක්ෂාවට හමුදාව යෙදවීම තුළ ඇති ප්‍රතිවිරෝධයද එලෙස අතාර්කිකව නොසලකා හරින එකකි. හමුදාවක් රැකීමට දෙවියන්ට හැකිනම් දේවාලය රැකීමට හමුදාවක් කුමකට දැයි මිනිසා නොසිතයි. අනෙක් අතට තමන්ගේ දේවාලය හෝ දේවාලයේ පිංපෙට්ටිය රැක ගැනීමට බැරි, එයට ඉබියතුරු දමන, පොලිස් ආරක්ෂාව යොදවන තත්වයක් තුළ එම දෙවියන් අනෙක් අයව රකින්නේ කෙසේදැයි නොසිතාම දෙවියන් සරණ යාමට මිනිසා පෙළඹෙයි. ඒ සඳහා මුදල් නාස්තිකර ගනී. ඒ අතාර්කික චින්තනය හා මිත්‍යාව තුළ ගිලීයාමේ ප්‍රතිඵලය.

අතීත සම්ප්‍රදායන්ගේ බලපෑම

       කාල් මාක්ස් විසින් රචිත “ලුවී බොනපාට්ගේ බ්‍රෑමයර් දහඅටවැනිදා” නම් ලිපියේ මාක්ස් මෙසේ සඳහන් කරයි. “මියගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත්වන්නවුන්ගේ හිස් මොළය තුළ නපුරු සිහිනයක් සේ දිස්වෙයි” යනුවෙනි. මාක්ස් ඉන් පැහැදිලි කරන්නේ මිනිස් චින්තනය තුළ අතීත සම්ප්‍රදායන් විශාල බලපෑමක් කරන බවය. අප තුළ අවිද්‍යාවේ, අද්භූත දේවල, අතාර්කිකත්වයේ මූලයන් පළමුවෙන්ම ඇතිකරගන්නේ ගෘහස්ත පරිසරයේදී වැඩිහිටියන් විසිනි. හොල්මන් කථා, දෙවියන්, යකුන්, ප්‍රේතයන් ගැන කථා, මිත්‍යාවන් පිරුණු සම්ප්‍රදායන් වර්තමානයට එකතුකරන්නේ අතීත පරම්පරාව විසිනි. වර්තමානය විචාරයෙන් තොරව ඒවා කරපින්නාගෙන යාම මගින් එකී මිත්‍යාවන් හා තර්කයෙන් තොර චින්තනය ඊළඟ පරපුර වෙතද ගලා එයි. පාසලේදී විද්‍යාව ඉගැන්වුවද ගෙදරදී ඊට පෙර පුංචි දරුවන්ගේ ඔළුගෙඩි මිත්‍යාවන්ගෙන් පුරවා අවසන් කළ පසු එහි විද්‍යාවට වඩා ප්‍රබල වන්නේ මිත්‍යාවය. එවිට විද්‍යාව විභාග සමත්කිරීමටය; මිත්‍යාව ජීවත්වීමටය. විද්‍යාවෙන් විභාග සමත්වන අය මිත්‍යාව සමග ජීවත්වීම සිදුකරයි.

       කුමන අර්ථයෙන් බැලුවද මිනිසා චින්තනය තුළ අතාර්කික බවත්, මිත්‍යාවන් පැවත්මත් යනු ඉතා විශාල ගැටලුවකි. එය සමාජ සංවර්ධනයට බාධාවකි. මිනිස් චින්තනය තර්කානුකූල විය යුත්තේත් තර්කනය මත චින්තනය පදනම් විය යුත්තේත් මිත්‍යාව වෙනුවට විද්‍යාව ජයගත යුත්තේත් ඒ නිසාය.

Next – වෙනස්වීමට බිය මිනිසා!