උපායමාර්ගික විශේෂඥයකු ලෙස ලෙනින්

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

මාක්ස්වාදී දර්ශනය තව දුරටත් සංවර්ධනය කළ චින්තකයා

වී.අයි. ලෙනින් යනු මාක්ස්වාදී දර්ශනය තව දුරටත් සංවර්ධනය කළ චින්තකයා ය. එමෙන්ම ඔහු රුසියානු සමාජවාදී සමාජ විප්ලවය ජයග්‍රාහී දිශාවට මෙහෙයැ වූ නායකයා ය. පසුව රුසියාව ඇතුළුව ලෝකයේ භූමියෙන් හයෙන් එකකට වඩා විශාල සමාජවාදී සෝවියට් දේශයේ නිර්මාණකරුවා ය. සමාජවාදය යනු සමාජ විෂමතාව සහිත පන්ති සමාජයේ විකල්පයයි. එම සමාජය ගොඩනැඟීමෙහි දී දෘෂ්ටිමය මඟපෙන්වීම ලබන්නේ මාක්ස්වාදී දර්ශනයෙනි. මෙහි දී සමාජවාදය සඳහා සරුපස සකස් කරනුයේ පන්ති සමාජයන් හි අවසාන අවස්ථාව වන පෞද්ගලික දේපළ රජයන ධනේශ්වර සමාජ ක්‍රමයයි. එහෙත්, සමාජවාදී සමාජ ක්‍රමය නිර්මාණය කිරීම උදෙසා වන නිර්මාණශීලි න්‍යායික සහ ප්‍රායෝගික අභ්‍යාසය (සමාජවාදී සමාජ විප්ලවය) සරල කාර්යයක් නොවේ. ලෙනින් විශිෂ්ට වන්නේ එහි දී ය. ඔහු මාක්ස්වාදය ප්‍රායෝගිකත්වය තුළ අපූරු කුසලතාවකින් යුතුව අත්හදා බලා ඇත. ලෝක සමාජවාදයේ පළමු පියවර රුසියානු සමාජවාදී සමාජ විප්ලවයයි. මාක්ස්වාදී චින්තකයකු ලෙසින් ද, ලෝක සමාජවාදය උදෙසා උර දුන් ජාත්‍යන්තරවාදියකු ලෙසින් ද, රුසියානු භූමිය හඳුනා ගනිමින්, උපායඋපක්‍රම තෝරමින් රුසියානු විප්ලවය මෙහෙයැ වූ විප්ලවවාදී නායකයා ලෙසින් ද ඔහු මානව සමාජයට දායක කළ න්‍යායික මඟපෙන්වීම සහ විප්ලවයේ ප්‍රායෝගික උගැන්වීම් අතිමහත් ය. එම සමස්තය ලිපියක අඩංගු කිරීම දෝතින් සත්සමුදුර කැටිකොට ගන්නට උත්සාහ ගන්නවා වැනි අසාර්ථක ව්‍යායාමයකි. ඔහුගේ ජීවිතයේ එක් පැත්තක් වුව ද විමසා බැලීම සීමිත ඉඩකඩක් සහිත ලිපියකින් අපහසු වුව ද අතිශය සංක්‍ෂිප්තව යමක් ලියන්නට ප්‍රස්තුතය සැපැයෙන්නේ ඔහුගේ උපන් දිනය ජනවාරි 22දාට යෙදී ඇති බැවිනි. ලෙනින් යනු ඇදහිල්ලක් හෝ විශ්වාසයක් නොව විප්ලවීය භාවිතාවට මඟ පෙන්වන, නිරන්තරව කියවා ගත යුතු අත් පොතකි. එනිසා සමාජවාදී සමාජ විප්ලවයේ දී උපායමාර්ග සැකැසීමේ දී ඔහුගේ නිර්මාණශීලි කුසලතාව කෙසේ දැයි කෙටියෙන් පෙන්වා දෙන්නට ගන්නා උත්සාහයක් පමණක් ලෙස මෙය සලකන්න.

ලෝක සමාජවාදී විප්ලවයේ ගමන්මඟ නව දිශානතියකින්

සමාජවාදයට පෙරමඟ සකසන්නේ ධනේශ්වර ක්‍රමයේ දියුණුවයි. දියුණු ධනේශ්වර සංවර්ධනයක් දක්නට ලැබුණේ යුරෝපාකරයේ රටවල ය. එනිසාම සමාජ ක්‍රමයක් ලෙසින් එය බරපතළ අර්බුදයකට ගියේ ද එම රටවල ය. මෙම රටවල දියුණු කම්කරු පන්තියක්ද බිහි විය. මාක්ස්වාදය මෙම පීඩිත පන්ති බලවේගය සමාජ පරිවර්තනයේ සංවිධානාත්මක බලයක් බවට පත් කළේ ය. එනිසාම මාක්ස්ගේ යුගයේ දී සමාජවාදී සමාජ විප්ලව සඳහා තත්ත්වයන් සැකැසුණේ මෙම දියුණු ධනපති රටවල ය. එහෙත්, දියුණු ධනේශ්වර රටවල් ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ පැවැති තම යටත්විජිත සූරාකමින් හා ධනය කොල්ලකමින් ඒවායින් තම රටවල අරගලයෙහි යෙදෙන කම්කරු පන්තියේ අරගල සමනය කළේය. මේ තත්ත්වය විසින් යුරෝපය හරහා හමා ගිය විප්ලව රැල්ල උදාසීන විය. ලෙනින්ගේ අවධිය වන විට වාමාංශික ව්‍යාපාරය නව තත්ත්වයකට අනුව හැඩගැසිය යුතුව තිබිණි. පොතේගුරුවාදීන් මේ තත්ත්වය තේරුම් නොගෙන ලෝක විප්ලවයේ දිශාව යාන්ත්‍රිකව ගළපාලන්නට විය. එහෙත්, ලෙනින් මෙම නව තත්ත්වය වටහා ගනිමින්, ලෝක සමාජවාදයේ ගමන්මඟ වෙනස්ව තිබෙන බවත්, එය දැන් සූරාකෑමට හා යටත්විජිත කොල්ලයට හසුවන රටවලින් පැනනඟින බවත් දුටුවේ ය. ඒ අනුව පැනනැඟි න්‍යායික හා ප්‍රායෝගික ගැටලු ද ලෙනින් විසින් විසඳන ලදී.


ජාතික විමුක්ති අරගල උපායමාර්ගය

ධනවාදය සමාජ-ආර්ථික ක්‍රමයක් වශයෙන් ගනිමින්, ලෙනින් මාක්ස්වාදී චින්තන ධාරාව සංවර්ධනය කළේ ය. ධනවාදයේ අවසාන අදියර හෙවත් ඒකාධිකාරී ධනවාදය විග්‍රහ කර ගැනීම ලෙනින්ගේ දැවැන්ත න්‍යායික කාර්යයකි. මෙයින් අදහස් වන්නේ ධනවාදය ප්‍රාග්ධනයේ නිදහස් තරගයෙන් ප්‍රාග්ධන ඒකාධිකාරී තරගයකට පිවිසි බව ය. මූල්‍ය ප්‍රාග්ධන ඒකාධිකාරී සමාගම් සහ කාර්මික ප්‍රාග්ධන ඒකාධිකාරී සමාගම් ඒකාබද්ධව ගොඩනැඟෙන දැවැන්ත ප්‍රාග්ධන ඒකාධිකාරී බලය එම සමාගම් හිමි රටවල දේශපාලන බලය මඟින් ලෝකය ආර්ථික සහ භූ දේශපාලන වශයෙන් බෙදා ගැනීම එම තරගයේ අවසාන ප්‍රතිඵලයයි. ඒකාධිකාරී සමාගම් මඟින් ස්වාභාවික සම්පත් හා මිනිස් ශ්‍රමයෙන් නිමවන ලද ධනය කොල්ලකෑම හරහා ඒවා එක් කේන්ද්‍රයකට එකතු වේ. එසේම සූරාකෑම අතිශය පුළුල් කිරීම හරහා එය සමාජමය නිෂ්පාදනයක් (මුළුමහත් සමාජයේ දායකත්වය සහිත) බවට පත්වේ. මෙම තත්ත්වය පැනනඟින්නේ පෞද්ගලික දේපළ ක්‍රමයෙන් වුව ද, නව තත්ත්වය ඉල්ලා සිටින්නේ, පොදු දේපළ ක්‍රමය හෙවත් සමාජවාදයයි. මෙය ධනවාදයේ ඉදිරි ගමනට බාධා කරමින්, නව සමාජ ක්‍රමයක් ඉල්ලා සිටී. මේ නව තත්ත්වය අනුව ලෝක සමාජවාදී විප්ලවයේ ගමන්මඟ අධිරාජ්‍යවාදයේ පරිධියේ රටවල් යැයි හඳුන්වන නව යටත්විජිතවලින් ඇරඹීමේ හැකියාව සමඟ එහි උපායමාර්ගය හෙවත් සමාජවාදී විප්ලවය සඳහා නියමිත මාර්ගය කුමක් දැයි ප්‍රශ්නයක් පැනනැඟිණ. නව අධිරාජ්‍ය විරෝධී අරගල පැනනැඟීමක් ලෙනින් දුටු අතර, ඔහු එම අරගලය සමාජවාදී විප්ලවය ගෙන යන මාධ්‍යය කොට ගත්තේ ය. ‘ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය’ යන උපායමාර්ගය බිහි වන්නේ එතැනින් ය. මෙය ලෙනින් දැක් වූ න්‍යායික සමත්කමකි. එසේම ඔහු සංවර්ධනය කළ න්‍යාය නිවැරැදිව භාවිතයට යෙදැ වූ දක්ෂතාවයි.


ලෝක සමාජවාදයේ අවශ්‍යතාව හා ජාත්‍යන්තරය

ධනපති ක්‍රමයේ බලය පවතින්නේ ප්‍රාග්ධනයේ බලය මත ය. එය ලොව පුරා විසිර පවතින දෙයකි. එබැවින්, ප්‍රාග්ධනය යන්න ජාත්‍යන්තර ස්වරූපයෙන් පවතින්නකි. මෙසේ ප්‍රාග්ධනය යන්න ජාත්‍යන්තර ස්වරූපයක් දරන නිසාම එහි පීඩනයට එරෙහි මානව විමුක්ති මාර්ගය ද ජාත්‍යන්තර වශයෙන් සිදු විය යුතු එකකි. මාක්ස්වාදී දැක්ම තහවුරු කිරීම සඳහා 1864දී මාක්ස් විසින් ගොඩනඟන ලද පළමුවන ජාත්‍යන්තරය ද අත්තනෝමතික වැඩවසම් සමාජක්‍රමය පෙරළා දමා ධනවාදය බිහි කළ අරගලයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් නිර්ධන පාන්තික ප්‍රවේශයක් එක් කළ දෙවන ජාත්‍යන්තරය ද තම කාර්යභාරයන් නිම කරමින් විසිර නිමාවට පත් විය. ලෝක සමාජවාදී විප්ලවයේ ගමන්මඟ වෙනස් දිශානතියක් ගත් කල්හි පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල (යටත්විජිත සහ නව යටත්විජිතවල) විප්ලවයට නායකත්වය දීම උදෙසා ජාත්‍යන්තර කොමියුනිස්ට් (සමාජවාදී) ව්‍යාපාරයක සහාය පෙරටත් වඩා අවශ්‍ය බව යළි අවධාරණය කළ ලෙනින් තෙවන ජාත්‍යන්තරය ගොඩනඟන ලදී. එය ඉටු කළ යුතු කාර්යභාරය හෙවත් ලෝක සමාජවාදය ජයගෙන නැති බැවින්, තෙවන ජාත්‍යන්තරයේ අත්‍යවශ්‍ය බව අදටත් එලෙසම පවතී. ධනවාදයේ ඉහළ සංවර්ධනය නිතැතින්ම සමාජවාදයට මාවත සකසයි. දේපළ ආකාරයක් ලෙසින් සමාජවාදය ධනවාදයේ විකල්ප සමාජ ක්‍රමයයි. මෙහි දී පසුගාමි සමාජ සංවර්ධනයක් සහිත රටවල සමාජවාදී විප්ලවයේ දී බලය ගැනීම සහ සමාජවාදය ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර රැකවරණය සහ සහාය අවශ්‍ය බව වැදගත් කොට සැලැකේ. මෙම තත්ත්වය සලකා එම අභියෝගය ජයගැනීමේ අරමුණෙන් ලෙනින් විසින් තුන්වන ජාත්‍යන්තරය ගොඩනඟන ලදි. එසේම එය ඉදිරියට ගෙන යන ලදී. ඔහුගේ මරණින් පසු අවස්ථාවාදය විසින් එය විසුරුවා හැරිය ද, අදටත් ලෙනින්ගේ දැක්ම ලෙසින්ම එය ලෝක සමාජවාදී ව්‍යාපාරයට හදිසි හා අත්‍යවශ්‍ය සංවිධානයකි.


1905 රුසියන් ධනේශ්වර විප්ලවයට නිර්ධන පාන්තික ප්‍රවේශය

ලෙනින්ගේ උපායමාර්ගික ඥානය කෙසේ ද යන්න මනාව පෙන්වනු ලබන තවත් කදිම උදාහරණයක් වන්නේ, 1905 විප්ලවයට ලෙනින්ගේ නායකත්වයෙන් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය දායකත්වය සැපයූ ආකාරයයි. ලෙනින් එවකට මර්දනය හමුවේ සැඟව සිටියේ, ස්විට්සර්ලන්තයේ ය. අද වැනි සන්නිවේදන පහසුකම් නොමැති අවධියක විදේශගතව සිටිමින් ලබා ගන්නා ලද තොරතුරු මත 1905 රුසියාවේ දේශපාලන තත්ත්වය නිවැරැදිවම තක්සේරු කොට ගෙන එයට අදාළ උපායමාර්ගික මැදිහත් වීම තුළ ඔහුගේ වාස්තවික (මනෝමූලික නොවන) තත්ත්වයන් ග්‍රහණය කර ගැනීමේ සුවිශේෂී හැකියාව මොනවට පෙන්වයි. එවකට රුසියාවේ පැනනැඟුණේ, ධනේශ්වර විප්ලවයයි. බොහෝ අවස්ථාවාදී වාමාංශික කොටස් පැවැසුවේ, නිර්ධන පන්තියට 1905 විප්ලවයේ කාර්යභාරයක් නොමැති බව ය. එයට ධනපති පන්තිය පමණක් මැදිහත් විය යුතු බව ය. එහෙත්, ලෙනින් විසින් එයට වඩා දියුණු දැක්මක් පෙන්වී ය. රුසියාවේ ධනේශ්වර විප්ලවය සම්පූර්ණ වන ආකාරය අනාගත සමාජවාදී විප්ලවයට බලපානු ලබන බව ලෙනින් පැවසී ය. ඔහු එසේ පවසන්නේ, ධනවාදයේ දියුණුව විසින් සමාජවාදයට මඟ හෙළි කරන්නේ ය යන පදනමේ පිහිටා ය. ධනේශ්වර කණ්ඩායම් සහ ඔවුනගේ මතවාද ව්‍යාප්ත කළ ‘අශ්වබෂ්ජේනිය’ වැනි පුවත් පත් සාර්ට එරෙහි වූයේ ධනේශ්වර සීමාවෙන් ය. එබැවින්, 1905 විප්ලවය නතර විය හැකිව තිබුණේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සීමාවේ ය. එවකට රුසියාවේ සිටි අත්තනෝමතික පාලකයා වූ සාර් පාලනය යටතේ ‘ව්‍යවස්ථාදායක සභාවක්’ යන උගුලේ විප්ලවවාදීන් කොටු කිරීමට ගත් වංචනික පියවර වැළැකුණේ ලෙනින්ගේ නායකත්වයෙන් බොල්ෂෙවික් (රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී) පක්ෂයේ මැදිහත් වීමෙන් ය. ඒ අනුව ලෙනින් අරගලය මෙහෙයැවූයේ තාවකාලික විප්ලවීය ආණ්ඩුවක් හරහා විප්ලවීය මැදිහත් වීමක් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් උදෙසා ය. මෙයින් අදහස් කළේ නිර්ධන පන්තියට තම සාමාන්‍ය දේශපාලන කටයුතු පහසු වන තත්ත්වයක් සහ නැවැත ධනපති පන්තිය අත්තනෝමතිකත්වයකට පිවිසීම වැළැක්වීමත් ය. ලෙනින් සෑම විටම අවධාරණය කළේ නිර්ධන පන්තිය ධනපති පන්තිය සමඟ අත්බැඳුණු තත්ත්වයක නොතැබිය යුතු බව ය. එක්ව සටන් කොට වෙන්ව නිර්ධන පන්තියේ ස්වාධීනත්වය රැකගත යුතු බව ය. 1905 විප්ලවයට මැදිහත් වූයේ ම අනාගතයේ එළැඹෙන සමාජවාදී විප්ලවය හා එයට නායකත්වය දෙන නිර්ධන පන්ති ව්‍යාපාරය අරමුණු කොටගෙන ය.


“නිර්ධන පන්තිය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ වූ එහි සම්බන්ධය කිසි කලෙකත් අමතක නොකරම, මිනිස් වර්ගයා සියලුම ආකාරයේ සූරාකෑම්වලින් නිදහස් කර ගැනීම පිළිබඳ එහි අවසාන අරමුණ සදා සිත් හි දරා ගනිමින් ම, එය තමන්ගේම ස්වාධීන මාවතේ ගමන් ගත යුතු ය. නමුත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිර්ධන පන්ති පක්ෂයේ මෙම නිදහස නිසා නියත විප්ලවවාදී අවස්ථාවේ දී, පොදු සටන්වැදීමක අවශ්‍යතාව අපට කිසි කලෙකත් අමතක නොවනු ඇත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වන අපි, ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවාදීන්ගෙන් ස්වාධීනව කටයුතු කිරීමෙහි සමත් වෙමු. එසේ කටයුතු කළ යුත්තෙමු.”
(රුසියාවෙහි විප්ලවයේ ආරම්භය, 1905 ජනවාරි 25, ලෙනින්)


1905 රුසියන් ධනේශ්වර විප්ලවය අසාර්ථක විය. 1917 පෙබරවාරි යළි පැනනැඟි රුසියානු ධනේශ්වර විප්ලවයේ දී 1905 අත්දැකීම්ද වැදගත් විය. 1905දී මෙන් නොව 1917 පෙබරවාරි විප්ලව අවධියේ දී බිහි වූ තාවකාලික ආණ්ඩුව මඟහරිමින් සටන් පාඨය වෙනස් කොට එය ප්‍රතික්ෂේප කරන්නට ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවිකයෝ සමත් වූහ. එම නිවැරැදි විප්ලවවාදී භාවිතාව පසුව 1917 ඔක්තෝබර් සමාජවාදී සමාජ විප්ලවයේ ජයග්‍රහණයට පාදක වූ නිවැරැදි පියවරක් විය.


සෝවියට් සභා ආකෘතිය විප්ලවයේ යන්ත්‍රය ලෙස

සෝවියට් සභා යනු නිර්ධන පන්ති විප්ලවවාදී සංවිධාන ආකෘතියකින් බිහි වූවක් නොවේ. මෙය 1905 අවධියේ වෘත්තීය අරගල උදෙසා බිහි වූ වෘත්තීය සහ සුභසාධන හැඩයේ සංවිධානයකි. පසුව සාර් හමුදාවෙන් දුබලව ඉන් මිදෙන හමුදා කොටස් ද මෙයට එක් වුව ද, සැබැවින්ම මෙය වෘත්තීය සමිති ස්වරූපයේ ව්‍යුහයකි. එකල රුසියාවේ ප්‍රබල ධනේශ්වර පළාත් පාලන ආයතන හෝ වෙනත් සංවිධාන නොවී ය. එබැවින්, ලෙනින් මෙහි බහුජනතාව විප්ලව අරගල අර්ථයෙන් එක් කළ හැකි සෝවියට් සභා සතු ගුණය නිසියාකාරව හඳුනා ගත්තේ ය. නිර්ධන පංතියේ පක්ෂය වෙනම වැඩෙමින්, සංවිධානය වෙමින් ස්වාධීනව යන අතර ම, එය කිසි විටෙකත් දියාරු වීමකට ඉඩ නොතබා පාක්ෂික නොවන එහෙත්, විප්ලවීය හා ප්‍රගතිශීලී බලවේගවලට එක් විය හැකි අරගල කළ හැකි යාන්ත්‍රණයක් ලෙස සෝවියට් සභා යොදවා ගැනීමට ලෙනින් සමත් විය. 1871දී බිහි වූ ලොව ප්‍රථම කම්කරු රාජ්‍යය වූ පැරිස් කොමියුනය ආදර්ශය කොට අරගලයේ දී ජනතා මතය නියෝජනය වන හා ජනතාව සංවිධානය කරන, විප්ලවීය ක්‍රියාමාර්ග සමඟ ජනතාව එකඟතාවට ගන්නා ආයතනයක් ලෙස සෝවියට් සභා සඳහා ලෙනින්ගේ මඟපෙන්වීම යටතේ බොල්ෂෙවිකයෝ මැදිහත් වූහ. මෙලෙස නිර්ධන පන්තියේ විප්ලවවාදී අර්ථයෙන් නොවන සංවිධානයක් නිර්ධන පන්ති අරමුණ දිනවන යාන්ත්‍රණය බවට පත් කොට ගන්නට ලෙනින් සමත් වූයේ ඔහුගේ උපායමාර්ගික ඥානය නිසා නොවේ නම් අන් කවරක් නිසා ද? මාක්ස්වාදී දර්ශනය මෙතරම් විචක්ෂණ ලෙස ප්‍රායෝගිකත්වයට නැංවූ ලෙනින්, පවතින තත්ත්වය ග්‍රහණය කොටගෙන එයට අදාළ උපායමාර්ගයන් නිර්මාණය කිරීමේ ඔහුගේ සමත්කම එසේය.
1917 ධනේශ්වර විප්ලවය තම අණසකට ගැනීමට සමත් වූ ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික් පක්ෂය සෝවියට් සභා නිර්ධන පාන්තික විප්ලවයේ බහුජන ආකෘතිය බවට පත් කොට ගත්තේය. බොල්ෂෙවිකයින්ගේ බලය සෝවියට් සභා තුළ කෙතරම් තහවුරු වී ද යත්, විවිධ වාම හා විප්ලවීය කණ්ඩායම්වලින් කම්කරු, සෙබළ බල ඇණි සහිත සන්නද්ධ සෝවියට් සභාවම නිර්ධන පන්ති රාජ්‍ය බලය බවට පත් කොට ගන්නට ලෙනින් ඇතුළු බොල්ෂෙවිකයන් සමත් වන්නේ ලෙනින්ගේ දැවැන්ත මඟපෙන්වීම මත ය. සමාජවාදී සමාජ විප්ලවය උදෙසා බලය ලබා ගත් පසු එය මෙහෙයැ වූ ‘මධ්‍ය විධායකය’ පවා ගොඩනැඟෙන්නේ සෝවියට් සභා ආකෘතියේ වර්ධනයක් ලෙසින් ය. සමාජවාදී විප්ලවය මෙහෙයැ වූ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ ‘මධ්‍ය විධායකයෙහි’ සභාපතිත්වය හෙබැවූයේ, යාකොව් ස්වෙර්ද්ලොව් නම් සුප්‍රකට බොල්ෂෙවික් මධ්‍යම කාරක සභිකයා ය. මෙයින් අදහස් වන්නේ මෙය බොල්ෂෙවික් ආකෘතියක් නොවන අන් විප්ලවීය කණ්ඩායම් සහ ඔවුන්ගේ මතවාද අදහස් සංවාදයට බඳුන් කොට පසුව ඒකත්වයකට ගෙනා සංවිධානයක් ලෙස ය. එම ඒකත්වය විප්ලවීය බලයක් කරන්නට ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවිකයෝ සමත් වූහ. ‘සෝවියට් සභා’ යන්න බොල්ෂෙවික් නොවන ආකෘතියකැයි අත්නොහැර ලෙනින් එය නිර්ධන පන්ති විප්ලවයේ ප්‍රධානතම යන්ත්‍රය කොට ගත්තේ එසේ ය.
සියල්ල මෙසේ ගත් කල එහි අරගලයේ ස්වභාවය විසින්ම ජාත්‍යන්තර විප්ලවයක් වන සමාජවාදී සමාජ විප්ලවය සම්බන්ධයෙන් වන උපායමාර්ගයන් සැකැසීමේ දී ‘ලෙනින්’ යනු එහි සුවිශේෂී විශේෂයකි. ඉතිහාසය තනිපුද්ගල නිර්මාණයක් නොවුව ද, මානව විමුක්තිය උදෙසා අරගල ඉතිහාසයට ලෙනින් එක් කළ උපාය උපක්‍රමික ඥානය විසින් නිමවූ චින්තනමය හා ප්‍රායෝගික භාවිතයේ පංගුව අතිවිශාල ය. අප මේ සිටින්නේ ධනේශ්වර විප්ලව යුගයේ නොව සමාජවාදී විප්ලවයේ යුගයේ ය. ධනේශ්වර මතවාද කෙතරම් බර යොදා තහවුරු කරන්නට උත්සාහ කළ ද, අර්බුදය පෙන්වා දෙන පාඩම එයයි. ඒකාධිකාරී ධනවාදය තුළ නිෂ්පාදනයේ අතිශය සමාජකරණය යනු සමාජවාදයේ අනිවාර්යය ඉල්ලා සිටීමයි. එනම්, පොදු දේපළ ක්‍රමයක ඉල්ලා සිටීමයි. එහෙත්, සෝවියට් දේශයේ බිඳවැටීමෙන් එළැඹි තත්ත්වය විසින් ලෝක සමාජවාදී ව්‍යාපාරයේ සටහන් කළ පසුබැස්ම අභියෝගයක් ලෙස ගෙන යළි සමාජවාදී අරගල ධජය ඔසවා ගත යුතු ය. ඒ සඳහා ලෙනින්ගේ මේ උපායමාර්ගික ඥානය අනුකරණය වෙනුවට නිර්මාණශීලීව ගුරුකොටගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. ඉන් මෙහා වන ඕනෑ ම මාවතක් ධනේශ්වර පන්තියේ තක්කඩිකමකි. නැතිනම් අවස්ථාවාදී පාවා දීමකි.


ඩී. එච්. වික්‍රමසිංහ

උපුටා ගැනීම ඉරිදා ලංකා පුවත්පතෙන්

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit