ඉස්ලාම් ආගමික අන්තවාදී පදනම් මත ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන

ධනවාදයේ වත්මන් අර්බුදය තුළ අන්තවාදය
June 20, 2019
දර්ශනයේ ශබ්ද කෝෂයෙන්…
June 26, 2019
Show all

ඉස්ලාම් ආගමික අන්තවාදී පදනම් මත ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන

ලොව පුරා ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන සිය ගණනක් අතුරින් පසුගිය දශක කිහිපය තුළ වඩාත් ක්‍රියාකාරී වූ සංවිධාන සියල්ලක්ම පාහේ ඉස්ලාම් අන්තවාදය මත පදනම් වූ ත්‍රස්තවාදී සංවිධාන වේ. ඒ සඳහා බලපෑ ප්‍රධානතම හේතූන් වන ජාත්‍යන්තර දේශපාලනයේ වූ වෙනස්කම් සහ අධිරාජ්‍යවාදයේ වර්තමාන වැඩපිලිවෙළ සම්බන්ධයෙන් අපි පෙර ලිපියක දී සාකච්ඡා කළෙමු. අද දවසේ ක්‍රියාත්මක එවැනි සංවිධාන සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දළ අදහසක් මෙහි දී ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

2017 වසරේදී ලොව පුරා සිදුවූ මනුෂ්‍ය ඝාතන අතුරින් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සිදු වූවා යැයි වර්ගීකරණය කරන ලද ඝාතන සංඛ්‍යාව 18,894කි. ඉන් හරි අඩකටත් වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබුණේ ‘ඉස්ලාම් රාජ්‍යය’ (IS – Islamic State), තලේබාන් (Taliban), අල් ෂබාබ් (Al Shabaab ) සහ බොකො හරාම් (Boko Haram) යන සංවිධාන හතර විසිනි. එම සංඛ්‍යාව 10,632කි. පසුගිය දශකය තුළ ලොව පුරා සිදුවූ ත්‍රස්තවාදී ඝාතන අතුරින් 44%ක පමණ වගකීම ඇත්තේ ද මෙම සංවිධාන හතර මතය.

ඉස්ලාම් රාජ්‍යය (IS)

‘ඉස්ලාම් රාජ්‍යය’ යන නම පදනම් කරගනිමින් සංවිධාන ගණනාවක් ලොව විවිධ කලාපවල ක්‍රියාත්මක වුව ද, ‘ඉස්ලාම් රාජ්‍යය’ යන නමින් මූලිකවම හඳුනා ගනු ලබන්නේ ‘ඉරාක සහ සිරියා ඉස්ලාම් රාජ්‍යය (Islamic State of Iraq and Syria – ISIS) යන සංවිධානයයි. ඉස්ලාම් රාජ්‍යය යන සංකල්පය පදනම් කර ගනිමින් පිහිටුවා ඇති අනෙකුත් සංවිධාන සම්බන්ධීකරණය කරන මූලික සංවිධානය වන්නේ ද මෙම සංවිධානයයි. මෙය මීට පෙර හඳුන්වනු ලැබූයේ ‘ඉරාකය සහ නැගෙනහිර මධ්‍යධරණී කලාප ඉස්ලාම් රාජ්‍යය’ :Islamic State of Iraq and Levan – ISIL) ලෙසය. මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1999දී පිහිටුවන ලද ‘ජමාත් අල්-තව්හිද් වල්-ජිහාඞ්’ සංවිධානයයි. මෙය අල්-කයිඩා සංවිධානය සමග ඉතා සමීප සම්බන්ධයක් පැවැති සංවිධානයකි. සලාෆිවාදය සහ සලාෆි ජිහාඞ්වාදය පදනම් කරගනිමින් බිහි වී ඇත.

මෙහි වර්තමාන නායක අබු බකර් අල්-බග්ඩාඩි ඇතුළු ප්‍රධාන අණදෙන නිලධාරීන් 25දෙනා අතුරින් 1/3ක්ම ඉරාකයේ පිහිටි බකා නම් ඇමරිකන් සිර කඳවුරේ සිටි සිරකරුවන්ය. එසේම ඉන් බොහොමයක් සදාම් හුසේන්ගේ හමුදාව තුළ නායකයන් ලෙස සිටි පුද්ගලයන්ය.

මෙම සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් 2016 වසරේ පුද්ගලයන් 9,150ක් සහ 2017 වසරේ 4,350 දෙනෙක් පමණ මියගොස් ඇත. 2016 වසර වන විට නිදහස් කර ගත් ඔවුන් සතුව පැවැති පාලන ප්‍රදේශයන් තුළ සමූහ මිනීවළවල් 72ක් දැනට හඳුනාගෙන ඇති අතර, ඒවායේ පුද්ගලයන් 15,000ක පමණ සිරුරු ඇතැයි විශ්වාස කෙරේ. එවන් සමූහ මිනීවළවල් 200ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ. මෙම ඝාතනයන්ට ලක් වූවන්ගෙන් අතිබහුතරය මුස්ලිම් ජාතිකයන් වේ. 2018 වසර තුළ ලොව පුරා ප්‍රහාර 3,670ක් එල්ල කර ඇත.

මෙම සංවිධානය හා ඊට සහය දක්වන සංවිධාන වඩාත් ක්‍රියාකාරී රටවල් වන්නේ සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, සෝමාලියාව සහ නයිජීරියාවයි. මෙම සංවිධානය යෝජිත ඉස්ලාමීය රාජ්‍යය ඉලක්ක කරගනිමින් කලාප කිහිපයක් ලෙස ක්‍රියාත්මක වේ. ඒවා නම්

  1. ඉරාකය හා සිරියාව
  2. ලිබියානු කලාපය
  3. ෂිනායි කලාපය (ඊජිප්තුව ආශ්‍රිතව)
  4. ඇල්ජීරියානු කලාපය
  5. කොරෑසන් කලාපය (ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය ආශ්‍රිත කලාපය)
  6. යේමන් කලාපය
  7. බටහිර අප්‍රිකානු කලාපය (නයිජීරියාව ආශ්‍රිතව)
  8. උතුරු කොකේසස් කලාපය (රුසියාවේ කළු මුහුද හා කැස්පියන් මුහුද අතර ප්‍රදේශය)
  9. අග්නිදිග ආසියා කලාපය (පිලිපීනය, ඉන්දුනීසියාව ආශ්‍රිතව)
  10. ගාසා කලාපය (පලස්තීනය, ඊශ්‍රායලය ආශ්‍රිතව)

ඉහත ප්‍රධාන ශාඛාවන්ට අමතරව තවත් සංවිධාන ගණනාවක් ඔවුන් සමග එක්ව කටයුතු කරයි. ඉන් කිහිපයක් පහත දැක්වේ.

  1. සෞදි අරාබියේ නාඳුනන සටන්කරුවන්ගේ සන්ධානය
  2. ලෙබනන් හි නිදහස් සුන්නිවරුන්ගේ බාල්බෙක් බ්‍රිගේඩය
  3. ජෝර්දාන් හි තවුහිද් සහ ජිහාඞ් සඳහා කැඳවන පුත්‍රයන්ගේ සන්ධානය
  4. ඉන්දියාවේ ජනූඞ් උල් කලිෆා ඊහ් ඉන්ද් සංවිධානය
  5. බ්‍රසීලයේ අන්සාර් අල් කලිෆා සංවිධානය
  6. නෝර්වේ ප්‍රොෆෙටන්ස් උම්මා සංවිධානය
  7. ඉන්දුනීසියාවේ මුජහිදීන් ඉන්දුනීසියා තිමුර් සංවිධානය

වර්තමානයේ අයි.එස්.අයි.එස්. සංවිධානය සතුව 30,000ක පමණ සන්නද්ධ බළකායක් ඇති අතර, ඉන් හරි අඩක් ලොව පුරා රටවල් 100කින් පමණ පැමිණි පුද්ගලයන් වේ.

තලේබාන් ( Taliban )

1979 ඇෆ්ගනිස්ථානයේ ඇරඹි සමාජවාදී පාලනයට එරෙහිව එක්සත් ජනපදයේ මූලිකත්වයෙන්, පකිස්ථානයේ සහ සෞදි අරාබියේ සෘජු ආධාර සහිතව මුජහිදීන් සංවිධානය ආරම්භ කෙරිණි. එහිදී පකිස්ථානය තුළ 90,000කට අධික පිරිසකට සන්නද්ධ පුහුණුව ද ලබා දී තිබුණි. පසුව එයින් බිඳී ආ සංවිධානයක් ලෙස 1994දී තලේබාන් සංවිධානය බිහිවිය. මෙම සංවිධානයේ සාමාජිකයෝ බොහෝ දෙනා පකිස්ථානයේ සාම්ප්‍රදායික ඉස්ලාමීය අධ්‍යාපනය ලැබූවන් වෙති. ඇෆ්ගනිස්ථානය පදනම් කර ගනිමින් මූලිකව ක්‍රියාත්මක වන අතර, පකිස්ථානයේ ද සැලැකිය යුතු ක්‍රියාකාරීත්වයක් ඇත. මෙම සංවිධානයේ නායකත්ව මෙහෙයවීම් සිදු කරන්නේ පකිස්ථානයේ සිට යැයි තොරතුරු වාර්තා වී ඇත.

මෙහි ආරම්භක නායකයා වූයේ මුජහිදීන් සංවිධානයේ අණදෙන නිලධාරියකුව සිටි මොහොමඞ් ඕමාර්ය. 2016 සිට අද දක්වා මෙහි නායකත්වය දරන්නේ හිබටුල්ලා අඛුන්ඞ්ශාඩා මව්ලවිවරයා ය. ඩියොබන්ඩි මූලධර්මවාදය, පස්තුන්වාලි සාම්ප්‍රදායික ජීවන රටාව මේ සඳහා මතවාදීමය දායකත්වය සපයා ඇත. ඩියෝබන්ඩි මූලධර්මවාදය යනු ශරියා නීතියේ නව ආකාරයකි. පැස්තො භාෂාවට අනුව තලේබාන් යන්නෙහි අරුත ‘ශිෂ්‍යයන්’ යන්නයි. පර්සියන් භාෂාවට අනුව ‘ශිෂ්‍යයන් යුගලක්’ යන්නයි.

1992 සමාජවාදී පාලනය බිඳවැටීමෙන් පසු බිහිවූ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාකාරී වූ තලේබාන්වරු 1996දී ඇෆ්ගනිස්ථානයේ පාලන බලය පිහිටුවීමට ද සමත් විය. එය 2001දී ඇමරිකන් මැදිහත්වීමත් සමග බිඳවැටුණු අතර, නායකයෝ පකිස්ථානයට පලා ගියහ. එදා සිට අද දක්වා එරට පාලනයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් ඇත.

අද වන විට ඇෆ්ගනිස්ථානයේ 70%ක් පමණ ප්‍රදේශයන්ගේ තලේබාන් ක්‍රියාකාරකම් බහුලව දක්නට ලැබේ. 11%ක් පමණ ප්‍රදේශ පාලනය කරනු ලබන්නේ ඔවුන් විසිනි. 2017 වසර තුළ සිදු වූ පුද්ගල ඝාතන 3,571ක වගකීම දරන්නේ මෙම සංවිධානයයි. 2007- 2010 කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ සිදු වූ සිවිල් ඝාතනවලින් 75%-80%ක් පමණ සිදු කර ඇත්තේ තලේබාන්වරුන් විසිනි. පසුගිය වසර කිහිපයේ ඔවුන් එල්ල කළ ප්‍රහාර තුළ සාමාන්‍ය සිවිල් ජනතාවට වඩා රාජ්‍ය මිලිටරි යාන්ත්‍රණය ඉලක්ක කරගැනීම් වැඩි වී ඇති බවක් පෙනීයයි.

තලේබාන් පාලනය තුළ පොදුවේ මත්ද්‍රව්‍ය, ඌරු මස්, සංගීතය, චිත්‍ර, ඡායාරූපකරණය, සිනමාව, රූපවාහිනී සහ අන්තර්ජාලය ඇතුළු බොහෝ දේ තහනම් වේ. කාන්තාවන්ට අධ්‍යාපනය, ඥාති පිරිමයකු නොමැතිව තනිව නිවසින් පිටතට යාම, ක්‍රීඩා කිරීම ආදිය තහනම් කර ඇත. පිරිමින් රැවුළ කැපීම තහනම් වන අතර, හිස්වැසුමක් පැළඳීම අනිවාර්යය වේ. වර්තමානයේ සන්නද්ධ තලේබාන් සාමාජිකයන් 25,000ක් පමණ සිටින අතර, ඉන් 11,000ක් පමණ විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන් වේ. පකිස්ථානය තුළ ක්‍රියාත්මක ‘ටෙහ්රික් ඉ තලේබාන් පකිස්ථාන්’, ‘මලකන්ඞ් තලේබාන්’ නම් සංවිධාන තලේබාන්වරුන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදී සංවිධාන වේ. මේ සංවිධාන දෙකම පකිස්ථානය පදනම් කරගනිමින් බිහි වූ ඒවා වේ.

අල් ෂබාබ් (Al Shabaab)

මෙම සංවිධානයේ සම්පූර්ණ නම ‘හරකත් අල්-ෂබාබ් අල්-මුජහිදීන්’ වේ. නැඟෙනහිර අප්‍රිකානු රටවල් පදනම් කරගනිමින් බිහිව ඇති මෙම සංවිධානය මූලික වශයෙන් සෝමාලිවේ ක්‍රියාත්මක වේ. ඊට අමතරව කෙන්යාව, ටැන්සානියාව, යේමනය, ඉතියෝපියාව, උගන්ඩාව සහ මොසැම්බික් යන රටවල් තුළත් ඉතා සක්‍රීය සංවිධානයකි. අද වන විට එහි සන්නද්ධ සාමාජිකත්වය 9,000ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

2006 සිට මෙම සංවිධානයේ ක්‍රියාකාරිත්වයන් දක්නට ලැබුණු අතර, එහි ආරම්භක නායක අහමඞ් ගොඬේන් 2014දී එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය. 2014 පටන් අද දක්වා එහි නායකත්වය දරන්නේ අහමඞ් උමාර් ය (අන්වර්ත නාමය අබු උබයිදා). සලාෆි ජිහාඞ්වාදය, සියෝන් විරෝධය, වහාබ්වාදය, යුදෙව් විරෝධය මෙම සංවිධනයේ මූලික මතවාදයන්ය.

2017 වසර තුළ ඔවුන් සිදු කල මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 1,457 වන අතර, ඉන් 98.9%ක් මුස්ලිම් ජාතිකයන් වේ. සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඉලක්ක කර ගනිමින් බොහෝ ප්‍රහාර එල්ල කර ඇති අතර, 2017 එහි පිහිටි හෝටලයකට එල්ල කළ ප්‍රහාරයකින් 588 දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූහ.

අල්-කයිඩා සංවිධානය සමග සමීප සබඳතා ඇති මෙහි නායකයන් බොහෝ දෙනා ඇෆ්ගනිස්ථානය හෝ ඉරාකයේ දී පුහුණුව ලැබූ සෝමාලියානුවන් ය. සාමාජිකත්වයේ බහුතරයක් ද සෝමාලියානුවන් වන අතර, අවට අනෙකුත් අප්‍රිකානු රටවල සාමාජිකයෝ ද සැලැකිය යුතු ප්‍රමාණයක් සිටිති.

පසුගිය වසර කිහිපය තුළ මෙම සංවිධානයේ සන්නද්ධ අංශයේ වර්ධනයක් දක්නට ලැබෙන අතර ඔවුන් විසින් විවිධාකාර වූ ප්‍රචාරක මාදිලින් පවත්වාගෙන යනු ලබයි. මේ සඳහා විශේෂයෙන් අන්තර්ජාලය උපයෝගී කරගන්නා අතර රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකාද භාෂා කිහිපයක් ඔස්සේ පවත්වාගෙන යනු ලබයි.

මෙම සංවිධානය විසින් 2018 වසරේ සිට පොලිතින් භාවිතය සහ සමහර ගස් වර්ග කැපීම ජනතාවට තහනම් කර ඇත්තේ ඒ හරහා අල්ලාහ් නිර්මාණය කල ලෝකය විනාශ වන බව පවසමිනි. තලේබාන් සංවිධානය ද 2017දී මීට සමාන පරිසර නීති ජනතාවට පනවා තිබිණි.

බොකො හරාම් (Boko Haram)

2002 වර්ෂයේ ආරම්භ වූවා යැයි සැලකෙන බොකො හරාම් සංවිධානයේ ව්‍යවහාර නාමය එය වුවත් එහි සැබෑ සම්පූර්ණ නාමය ‘ජමාත් අහි අස්-සුන්නාහ් ලිද්-දවාහ් වල්-ජිහාඞ්’ ය. ඉස්ලාම් රාජ්‍යය යන සංකල්පය මත අද වන විට ISIS. සංවිධානය සමග සම්බන්ධව කටයුතු කිරීම නිසා වර්තමානයේ ඔවුන් තම සංවිධානය ‘බටහිර අප්‍රිකා ඉස්ලාම් රාජ්‍යය’ යන නමින්ද හඳුන්වාගනු ලබයි. බොකො හරාම් යන්නෙන් ‘බටහිරකරණය පවක්’, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ ආදී අරුතක් ගෙන දේ. ෂරියා නීතිය මත පදනම් වූ සලාෆිවාදය මත මෙම සංවිධානය ගොඩනැඟී ඇත.

මෙහි ආරම්භක නායකයා වූයේ නයිජීරියානු ජාතික මොහොමඞ් යූසුෆ් ය. නයිජීරියානු පොලීසිය විසින් 2009දී අත්අඩංගුවට ගෙන පොලීසිය තුළ දී ඝාතනය කරන තෙක් ඔහු විසින් එහි නායකත්වය දරන ලදී. වර්තමානයේ එහි නායකත්වය දරන අබුබකර් ෂෙකාවු ඝාතනය කරන ලද බවට අවස්ථා කිහිපයක දී ම එරට රජය විසින් නිවේදනය කළ ද, ඒ සෑම අවස්ථාවක දී ම වීඩියෝ පණිවිඩ හරහා ඔහු තව දුරටත් ජීවත් වන බව තහවුරු කරන ලදී. එමනිසා සංවිධානයේ වර්තමාන නායකත්වය ඔහු විසින් දරන බව විශ්වාස කෙරේ.

පසුගිය වසර කිහිපය තුළ ඔවුන් පාලනය කළ ප්‍රදේශ තුළ පිහිටි කඳවුරු රජයේ හමුදා මඟින් විනාශ කළ ද තව දුරටත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වාර්තා වීම අඩු වී නැත. 2017 වසරේ ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 1,254 ක් වෙතැයි ගණන් බලා ඇත. 2014දී එය 6,600 ඉක්මවූ අතර, මෙම ක්‍රියාකාරීත්වය හේතුවෙන් 2,50,000ක පමණ ජනතාවක් රට හැර ගොස් ඇත. මිලියන 2.3ක් පමණ අවතැන් වී සිටිති. මෙම වසරේ දීම බටහිර අධ්‍යාපන ක්‍රමයට විරෝධය දැක්වීමක් ලෙස චිබොක් නගරයේ ද්වීතීයික පාසලක සිසුවියන් 276ක් බොකො හරාම් සංවිධානය විසින් පැහැරගෙන යාම ජාත්‍යන්තර දේශපාලනය තුළ විශේෂ කතාබහකට ලක් වූ මාතෘකාවක් විය. ඉන් සමහරක් සිසුවියන් නිදහස් වූ අතර තවත් කොටසක් ඝාතනයට ලක් වූ බව වාර්තා විය. අදටත් ඉන් 112 දෙනෙක් අතුරුදන්ව සිටිති.

නයිජීරියාව පදනම් කර ගනිමින් මෙම සංවිධානය ගොඩනැගුනද වර්තමානයේ එහි ක්‍රියාකාරීත්වය ඒ අවට රටවල් වන චැඞ්, නයිජර්, කැමරූන් (උතුරු ප්‍රදේශය) තුළ ද දැකිය හැකිය. විදෙස් ආධාරවලට අමතරව නයිජීරියානු ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනකු ම මෙම සංවිධානයට මාසිකව ආධාර කරමින් සිටින බවට චෝදනා එල්ල වී ඇත.

අල්-කයිඩා ( Al – Qaeda )

වහාබ්වාදය, සලාෆිවාදය, කුට්බ්වාදය, කොමියුනිස්ට් විරෝධී, සියොන් විරෝධී, යුදෙවි විරෝධී මතවාදයන් පදනම් කර ගනිමින් අල්-කයිඩා සංවිධානය බිහි වූයේ 1988 වසරේ දී ය. අල්-කයිඩා යන්නෙහි අර්ථය ‘පදනම’ යන්නයි. 2011 වසරේ එක්සත් ජනපද ප්‍රහාරයන්ගෙන් ඝාතනයට ලක්වන තෙක් ආරම්භයේ පටන් එහි නායකත්වය දරන ලද්දේ සෞදි අරාබි ජාතික ඔසාමා බින් ලාඞ්න් විසිනි. එතැන් සිට අද දක්වා ඊජිප්තු ජාතික අයිමාන් අල්-සවාහිරි විසින් මෙම සංවිධානයට නායකත්වය ලබාදේ. මොවුන් දෙදෙනාම ඉහළ ධනපති පවුල්වල උපත ලද්දන් වන අතර, ඔසාමා බින් ලාඞ්න්ගේ පවුල සෞදි රජ පවුලට ඉතා කිට්ටු සම්බන්ධකමක් ද පැවතිණි. එක්සත් ජනපදය විසින් අල්-සවාහිරි පිළිබඳ නිවැරැදි තොරතුරු ලබා දෙන අයකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් ලබා දෙන බවට ප්‍රකාශයක් ද නිකුත් කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ සමාජවාදී පාලනය බිඳවැට්ටවීම උදෙසා එක්සත් ජනපදයේ, සෞදි අරාබියේ, පකිස්ථානයේ මැදිහත්වීමෙන් ගොඩනැඟුණු මුජහිදීන් සංවිධානයේ සාමාජිකයන් ලෙස ඇෆ්ගනිස්ථානයට අමතරව වෙනත් රටවල් 43ක පමණ මුස්ලිම් ජාතිකයන් එක්ව සිටියහ. මුජහිදීන් සංවිධානයේ ඔවුන් භාරව කටයුතු කරන ලද්දේ ඔසාමා බින් ලාඞ්න් විසිනි. පසුව ඒ සාමාජිකයන් සියල්ල එක් කර නව සංවිධානයක් බිහි කිරීම ඔහු විසින් සිදු කරන ලදී. එක් කාලිෆ්වරයෙකු යටතේ පවතින එක් මුස්ලිම් රාජ්‍යයක් ලෙස ලෝකයේ රටවල් සියල්ල ගෙන ඒම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇති අතර, මුස්ලිම් රටවලට සිදු වන විදෙස් සංස්කෘතික හෝ වෙනත් ආකාරයේ බලපෑම්වලට එරෙහිව කටයුතු කරමින් සිටියි. එමෙන්ම අනෙකුත් මුස්ලිම් නිකායන්ට එරෙහිව ද විශාල ක්‍රියාකාරිත්වයක් දැකිය හැක.

ලොව පුරා පැතිරුණු සලාෆි ජිහාඞ්වාදී සහ ඉස්ලාම් අන්තවාදී ජාලයක් අල්-කයිඩා සංවිධානය සතු ය. රටවල් 17ක ඉතා සක්‍රියව කටයුතු කරන මෙම සංවිධානයේ අද වන විට සන්නද්ධ සාමාජිකයන් 30,000ක් පමණ සිටිතැයි විශ්වාස කෙරේ. මග්රෙබ් (ඇල්ජීරියාව ආශ්‍රිතව), ඉරාකය, යේමනය, සෝමාලියාව, ෂාහෙල් ප්‍රදේශය (නයිජීරියාව ආශ්‍රිත), අරාබිකරය, සිරියාව, ඉන්දියා අර්ධද්වීපය, ලෙබනනය, මැලේසියාව ආශ්‍රිත අග්නිදිග ආසියාව, කුර්දිස්ථානය, බටහිර අප්‍රිකාව, බොස්නියා සහ හර්සගෝවිනා, ගාසා, ස්පාඤ්ඤය, මාලි, සිනායි (ඊජිප්තුව ආශ්‍රිතව), කොකේසියාව සහ රුසියාව ආදී ලෙස අල්-කයිඩා සංවිධානයේ ශාඛා අද වන විට ක්‍රියාත්මක වෙමින් පවති. අයි.එස්. සංවිධානය බිහි වීමත් සමග ‘අල්-කයිඩා’ සංවිධානය සමග එක්ව කටයුතු කළ තවත් සංවිධාන 14ක් පමණ අද ඔවුන්ගෙන් වෙන්ව අයි.එස්. සංවිධානය සමග කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. රටවල් 29ක අද තමන්ගේ රට තුළ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය තහනම් කරමින් අල්-කයිඩා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත.

ගල්ෆ් යුද සමයේ ඉරාක විරෝධී පාර්ශ්වයන්ට සහයෝගය දැක්වූ අල්-කයිඩා සංවිධානය, ඇමෙරිකාව සෘජුවම සෞදි අරාබියට ගොඩබැසීමත් සමග ඉන් ඉවත් විය. සෝමාලියාවේ, රුසියාවේ බටහිර ප්‍රදේශයේ, යේමනයේ, සිරියාවේ, උතුරු සහ බටහිර පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ වර්තමානයේ පවතින යුදමය තත්ත්වයන් සඳහා සෘජු මැදිහත් වීමක් අල්-කයිඩා සංවිධානය මේ වන විටත් සිදුකරමින් සිටී.

දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ සංවිධාන

ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානයේ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධානතම ඉස්ලාම් අන්තවාදී සංවිධාන සම්බන්ධයෙන් අපි ඉහත සාකච්ඡා කළෙමු. ඒ හැරුණුවිට විශාල වශයෙන් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරම් සිදුකරන ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ සංවිධාන කිහිපයක් ගැනද සාකච්ඡා කළෙමු.

අබු සායාෆ් සංවිධානය ද පිලිපීනය තුළ ක්‍රියාත්මක වන තවත් එවැනි සංවිධානයකි. 2017 වසරේ මනුෂ්‍ය ඝාතන 37ක් එමගින් සිදු කර තිබිණි. 1991දී ඇරඹි මෙම සංවිධානය අයි.එස්. සංවිධානය සමග සෘජුවම ගනුදෙනු කරනු ලබයි. මහ්මූර් ජපුරි මෙහි නායකත්වය දරයි. මෙම වසරේ ජනවාරි 28 ඉරිදා දින පිලිපීනයේ ක්‍රිස්තියානි පල්ලියක දේව මෙහෙය අතරතුර සිදු කළ බෝම්බ පිපිරවීමේ වගකීම භාර ගන්නා ලද්දේ මෙම සංවිධානයයි.

පිලිපීනයේම මෞටේ සංවිධානය එම වසරේම සිදු වූ ඝාතන 26කට වගකිව යුතුය. ඔවුන් ද අයි.එස්. සංවිධානය හා සම්බන්ධ අතර තම සංවිධානය ලනාඕ ඉස්ලාම් රාජ්‍යය ලෙස ද හඳුන්වා ගනී. ආරම්භය 2012දී සිදු වී ඇති අතර, මෙහි නායකත්වය දරන්නේ ඕමාර් මෞටේ සහ අබ්දුල්ලා මෞටේ සහෝදරයන් දෙදෙනාය.

මැලේසියාවේ ද මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරන ලද සංවිධාන තුනක් ඇත. එවා නම් අල්-මවුනාහ්, දරුල් ඉස්ලමියා මැලේසියා සහ කුම්පුලන් මුජහිදීන් මැලේසියා යන සංවිධාන ය. මීට අමතරව ජාත්‍යන්තර සංවිධාන හතක් පමණ එරට තුළ ක්‍රියාකාරීව ඇතැයි පැවසේ.

ඉන්දියාවේ බොහෝ සෙයින් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරීත්වයන් දක්නට ලැබෙන්නේ වයඹ දිග ප්‍රදේශය ආශ්‍රිතවය. ජම්මු-කශ්මීර් ප්‍රදේශය ඉන් ප්‍රධාන තැනක් ගනී. ලෂ්කාර් ඉ තලේබාන්, ජයිෂ් ඉ මොහොමඞ්, හිස්බුල් මුජහිදීන් යන සංවිධාන ඉන්දියාව තුළ දී 2017 වසරේ මනුෂ්‍ය ඝාතන 102ක් සිදු කර ඇත.

බංගලාදේශය ද වරින්වර එවැනි ප්‍රහාර වාර්තා වන අප කලාපයට අයත් තවත් රටකි. එරට තුළ ඉස්ලාම් අන්තවාදීන් විසින් අන්‍යාගමිකයන්ට මෙන්ම ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව එසේ ප්‍රහාර සිදු කරනු ලබයි. අන්ශරුල්ලාහ් බංගලා කණ්ඩායම එවැනි ප්‍රහාර එල්ල කරනු ලබන එක් අන්තවාදී කණ්ඩායමකි. ඔවුනට අල්-කයිඩා සංවිධානය සමග සම්බන්ධකම් පවතී. මීට අමතරව අයි.එස්. සංවිධානය ද බංගලාදේශය තුළ සක්‍රියව පවතී.0

විමර්ශන