ඉතිහාසය තුළ ‘පවුල’ බිහිවූ හැටි

සංස්කෘතිය පිළිබඳ සාවද්‍ය කියවීම්
May 7, 2019
නියමුවා – 2019 මැයි
May 10, 2019
Show all

ඉතිහාසය තුළ ‘පවුල’ බිහිවූ හැටි

ඉතිහාසයේ කතාව – 09

ඉතිහාසයේ එක්තරා වකවානුවක දේපළ මත මානව සමාජය පංතිවලට බෙදීමත් සමග එතෙක් සමාජය දැන නොසිටි ආයතන හා සමාජ සංස්ථා ගණනාවක්, සංකල්ප ගණනාවක් බිහිවිය. පංති සමාජය තුළ ආගම බිහිවූ හැටි දැනටමත් අප සාකච්ඡා කර ඇත. මානව සමාජයේ කුඩාම තැනුම් ඒකකය ලෙස වර්තමානයේ පිළිගැනෙන ‘පවුල’ බිහිවූයේද පංති සමාජයේ බිහිවීමත් සමගය.

‘පවුල’ මානව සමාජයේ ආරම්භයේ සිටම පැවති සංවිධාන ආකෘතියක් නොවේ. මානව සමාජයේ ආදි කාලීන මුල් යුගයේදී ජනතාවගේ සංවිධානමය  ආකෘතිය වී තිබුණේ ගණ හා ගෝත්‍රය. ගණය කුඩාම ඒකකය වූ අතර ගෝත්‍රය පුළුල් ඒකකය විය. ප්‍රාථමික සාමූහික ක්‍රමය පැවති මුල් යුගයේ ගණ හා ගෝත්‍ර තුළ පැවතියේ පොදු සාමූහික බවකි. එහි නූතන පවුල නමින් පවතින ඒකකය තිබී නැත.

ලිංගික සබඳතා හා පවුල

සෑම ජීවියකුටම පොදු සොබාදහම විසින් වර්ගයා බෝකිරීම සඳහා දායද කළ ලිංගික සබඳතා ක්‍රමයක් තිබේ. මානව සමාජය ආරම්භයේදී එය පැවතී ඇත්තේ ‘අවිචාරවත් ලිංගික සබඳතා’ ලෙස වර්තමාන සමාජය විසින් හඳුන්වන ක්‍රමයකටය. ලෙවිස් මොර්ගන් නම් මානව විද්‍යාඥයාට අනුවත්, එංගල්ස් විසින් කරන ලද අධ්‍යයනයන්ට අනුවත් මිනිසාගේ මුල් අවදියේදී සියලුම පිරිමි සියලුම ගැහැනුන් සමග එකට ජීවත්වී තිබේ. ජනගහනය ඉතා කුඩා වීමත් වර්ගයා බෝකර ගැනීමේ අවශ්‍යතාවයත් සතුන්ගෙන් පරිණාමය වන විට පැවති තත්වයත් යන සාධක මත මෙය තීරණය වී තිබේ. අවිචාරවත් ලිංගික සබඳතා ලෙස හඳුන්වනු ලැබුයේ එයයි. එහෙත් පසුව සමාජය ටිකෙන් ටික සංවර්ධනය වෙද්දී මෙම ලිංගික සබඳතා දෙදෙනෙක් අතර වන විශේෂ සබඳතාවයක් දක්වා වර්ධනය වෙමින් පැවති බව පැවසේ.

ප්‍රාථමික සාමූහික සමාජය ක්‍රමානුකූලව වර්ධනය වෙද්දී අවිචාරවත් ලිංගික සබඳතාවල වෙනසක් ඇති වී තිබේ. පවුල නම් ඒකකය තැනීමේ ආරම්භක රූපකය ලෙස ‘ලේ ඥාති පවුල’ නම් පුළුල් ලිංගික සබඳතා සහිත කණ්ඩායම බිහිවී තිබේ. එය සිදුවී ඇත්තේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතා හා සමාජමය අවශ්‍යතා අනුව එක්තරා මොහොතක දෙමාපියන් හා දරුවන් අතර ලිංගික සබඳතා නවතා දැමීමත් සමගය. ඉන්පසු සම වයස් කාණ්ඩවල අය කවයක් ලෙස සකස් වී ඒ ඒ වයස් කාණ්ඩ තුළ ලිංගික සබඳතා පවත්වා ඇත. උදා. ලෙස ආච්චිලා හා සීයලා එක කවයකුත්, දෙමාපියන් තවත් කවයකුත්, දූ දරුවන් තවත් කවයකුත් ලෙස සම වයස්වල අය අතර සබඳතා පවත්වා ඇති අතර ලේ ඥාති පවුල් ක්‍රමය ලෙස එය හැඳින්වී තිබේ.

පුනාලුවා පවුල

ලේ ඥාති පවුල තවදුරටත් පරිණාමය වීමේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපා රටවල ‘පුනාලුවා පවුල’ නමින් හඳුන්වන පවුල් ආකෘතියක් ගොඩනැගී තිබේ. එය සිදුව තිබෙන්නේ පළමුව දෙමාපියන් හා දරුවන් අතර ලිංගික සබඳතා නවතා දැමුවාක් මෙන්ම දෙවනුව  එක මවක් කුසින් උපන් සහෝදර සහෝදරියන් අතර ලිංගික සබඳතා නවතා දැමීම සමගය. මේ සමග වංශ නම් සංවිධාන ව්‍යුහයක් නිර්මාණය වී තිබේ. එවිට මවගේ දරුවන් වංශය තුළ සිටි අතර වංශයේ පැවැත්ම මව මූලික කර සිදුවිය. මෙහිදී වංශය තුළ ලිංගික සබඳතා තහනම් විය. ඊට හේතුව එක් වංශයක් තුළ සිටින්නේ මවකගේ දරුවන් වීම නිසාය. ඒ අනුව ලිංගික සබඳතා සිදුවී ඇත්තේ වංශ දෙකක් අතරය. එවිට දරුවන්ගේ පියවරු හා ඔවුන්ගේ සහෝදරියෝ එක් වංශයක් තුළත් දරුවන්ගේ මව්වරු හා ඇගේ සහෝදර සහෝදරියෝ එම වංශය තුළත් සිට ඇත. එවිට ලේ ඥාති සහෝදරියන් අතර ලිංගික සබඳතා අහෝසි වී නෑනා-මස්සිනා ලෙස අප සලකන ඥාති සබඳතා අතර ලිංගික සබඳතා සිදුවිය. මෙම සබඳතාවය පුනාලුවා පවුල ලෙස සලකති.

සමාජය තවදුරටත් වර්ධනය වෙද්දී මෙම ලිංගික සබඳතා පවත්වන කණ්ඩායම් තුළ විශේෂ ආකර්ෂණයක් ඇති කරගත් දෙදෙනෙක් අතර විශේෂ බැඳීමක් ඇති වී තිබේ. ඔවුන් විසින් දරුවන් ලැබෙන කාලය තුළ දෙදෙනා එක්ව වාසය කිරීමද සිදුකර ඇත. මෙය ‘යුගලන පවුල’ ලෙස හඳුනාගෙන තිබේ. මානව සමාජය තුළ මුල්වරට පෞද්ගලික ලිංගික ආලය යන්තමින් ආරම්භ වී ඇත්තේ මෙම කාලයේය.

පෞද්ගලික දේපළ හා පවුල

මෙලෙස මානව සමාජය තුළ ආරම්භක අවදියේ ලිංගික සබඳතා පවත්වන කණ්ඩායම් වෙනස් වෙමින් පොදු ලිංගික සබඳතාවයක සිට දෙදෙනෙක් අතරවන විශේෂ ඇල්මක් සහිත ලිංගික සබඳතාවයක් දක්වා ස්වාභාවික ලෙස වෙනස් වෙමින් ආ බව ඉතිහාසය තුළ දැකිය හැක. එහෙත් ජෛව විද්‍යාත්මක හා සමාජමය හේතු මත එලෙස ක්‍රමිකව වෙනස් වෙමින් ආ පවුල් රූපිකයන් එක්වරම වත්මන් ඒකභාර්යා වෘතය සහිත පවුල බවට පත්වූයේ පෞද්ගලික දේපළ ඇතිවීමත් සමගය.

ප්‍රාථමික සමාජයේ පැවති ලිංගික සබඳතාවල ස්වභාවය අනුව දරුවන්ගේ පියා තීරණය කළ නොහැකි විය. එබැවින් දරුවන්ගේ ‘අයිතිය’ කියවුණේ මවගේ පැත්තෙනි. දරුවන් මවගේ දරුවන් විය. පියා නිශ්චිත නොවීය. ඒ නිසාම එම සමාජය මාතෘ මූලික සමාජයක් විය. මෙම සමාජය ක්‍රමිකව වර්ධනය වී වංශ පැවති කාලයේ සමාජ දේපළ අවසාන වශයෙන් අයිතිවූයේ වංශයටය. ඒවා වංශයේ පොදු දේපළ විය. මේ කාලයේ දුන්න හා ඊතලය සොයාගෙන තිබූ අතර ලෝකඩ නගුල හා පොරවද නිපදවා ගෙන තිබුණි. ඒ සමග නිෂ්පාදනය ක්‍රමයෙන් වර්ධනය විය. සතුන් දඩයම් කිරීමට අමතරව සතුන් ඇති කිරීමත් ධාන්‍ය, එළවළු, පලතුරු වගා කිරීමත් ඇරඹුණි. ඒ සමග නිෂ්පාදනයන් වැඩි විය. එහි ප්‍රතිඵලය වූයේ ඉතිහාසය එතෙක් දැන නොසිටි සංකල්පයක් වූ ‘අතිරික්ත නිෂ්පාදනය’ ඇති වීමය. එනම් නිෂ්පාදකයා නිපදවන දේ ඔහුගේ අත්‍යාවශ්‍ය පැවැත්ම වෙනුවෙන් පරිභෝජනය කළ පසු තව යමක් ඉතිරි වීමය. ඒ සමගම අතිරික්ත නිෂ්පාදනය බිහි කිරීමට ශ්‍රමය සමත් විය. සූරාකෑමේ හැකියාවද මේ සමග වර්ධනය විය.

අතිරික්ත නිෂ්පාදනයේ පලවිපාක

පැරණි ගෝත්‍රය තුළ නිෂ්පාදන උපකරණවල වර්ධනය සමග නිෂ්පාදිතයන්ගේ වර්ධනයද සිදුවූ බව පැහැදිලිය. එවිට සත්ව රංචුව, කෘෂිකාර්මික ගෙවත්ත ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ මස්, කිරි, ලොම්, හම්ද, එළවළු, පලතුරු හා ධාන්‍යද නිපදවීමය. මෙම දේපළ මුලින් ගෝත්‍රය තුළ වංශයේ දේපළ විය. එහෙත් දේපළ තවදුරටත් වර්ධනය විය. සූරාකෑමේ හැකියාව වර්ධනය වූ විට වැඩ නොකරන අයෙකුට අනිත් අයගෙන් වැඩ ගෙන ඔවුන්ගේ ශ්‍රමයේ අතිරික්තය අත්පත් කර ගැනීමේ හැකියාව ඇතිවූ විට සමාජය තුළ දේපළවලට පෞද්ගලිකව අයිතිය කීම ආරම්භ විය. එනම් පෞද්ගලික දේපළ ඇති විය. දේපළවල පෞද්ගලික අයිතිය ඇතිවන විට එහි අයිතිය අත්පත් කරගත්තේ වංශය තුළ සිටි බලයක් පෑමට සමත් පිරිමින්ය. පෞද්ගලික දේපළ බිහිවීමත් එම දේපළවල අයිතිය පිරිමින් සතුවීමත් සමග තම දේපළ තම දරුවනට දීමේ වුවමනාවද මතුවිය. එහෙත් ඒ වන විට පැවති පවුල් ක්‍රමය අනුව දරුවන්ගේ පියා තීරණය කළ නොහැකි විය. එසේනම් තම දේපළ තම දරුවන්ට දීම සඳහා තමන්ගේ දරුවන් තහවුරු කරගැනීමේ වුවමනාව දේපළ හිමි පිරිමින්ට ඇතිවිය. ඒ සඳහා කාන්තාව එක් පිරිමියෙකු සමග පමණක් ලිංගික සබඳතා පවත්වන විවාහ ක්‍රමයක් අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වූයේ එතෙක් පැවති වංශ සංවිධානය බිඳවැටී එක් ගැහැනියක් එක් පිරිමියෙකු සමග පමණක් ජීවත්වන ඒකභාර්යා වෘතය සහිත පවුල බිහිවීමය.

ඒ අනුව නූතන පවුල බිහිවූයේ ජෛව විද්‍යාත්මක හෝ සමාජමය වුවමනාවන් නිසා නොව දේපළමය වුවමනාවක් නිසාය. ඒ අනුව නූතන පවුල බිහිවූයේම අර්බුදයන් රැසක් හා ප්‍රතිවිරෝධයක්ද සහිතවය. ඒ පිළිබඳ තවදුරටත් කතා කරමු.

විමර්ශන