Quote

1000509261001_1091521779001_Bio-Biography-Vladimir-Lenin-LF1“පුවත් පත් නිදහස පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන සටන් පාඨවලින්තවත් එකකි. හොඳ ම මුද්‍රණාල සහ ලොකු ම කඩදාසි තොග ධනපතීන් සතුව තිබෙන තාක් කල් ද, නිදසුනක් ලෙසට ඇමෙරිකාවේ මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමූහාණ්ඩු ක‍්‍රමය සංවර්ධනය වූ තරමට වඩාත් සිත් කාවදින ලෙස තියුණු ලෙස හා දුර්දාන්ත ලෙස ලෝකය මුළුල්ලේ ම දක්නට ලැබෙන පාලනයක් වන ධනපති පාලනයට පුවත් පත් යටත්ව තිබෙන තාක් කල් ද මෙම නිදහසත් රැුවටිල්ලක් බව කම්කරුවෝ දනිති”

ලෙනින්, තෝරා ගත් කෘති, වෙළුම 09, 123 පිටුව.

නව ගෝලීය ධනපති ක්‍රමය සහ ජනමාධ්‍ය අතර සමීප සබඳතාව සහ සහජීවනය ලංකාව වැනි පරිධියෙහි පවතින රටක දී පවා කෙතරම් පැහැදිලි ද යත් ලංකාවේ මැද පාන්තික යයි කියන පිරිසෙන් වැඩි දෙනා පරිබෝජනය කරන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මනෝ රූපයන් බව “වීරයා මැරිලා” නාට්‍යය පෙන්වා දෙයි. අරුන්දතී රෝයි සිත් කාවදින ලෙස තර්ක කරන පරිදිම “කොම්පැනි ජනමාධ්‍ය නව-ලිබරල්වාදී ව්‍යාපෘතියට ආධාර කරන්නේ යැයි සිතීම වැරදිය. නව ලිබරල්වාදී ව්‍යාපෘතිය යනු ම කොම්පැනි මාධ්‍යයයි” ලංකාව වැනි රටවල රජයේ මාධ්‍යයද රෝයිගේ අර්ථයෙන් විශාල කොම්පැනි මාධ්‍යයන් මිස අනිකක් නොවේ. නව ලිබරල්වාදී ගෝලීය ධනපති ක්‍රමයේ භූමිය එයයි.නව ලිබරල් ගෝලීය ධනවාදී ලෝකයේ දී අප වැඩි වශයෙන් පරිභෝජනය කරන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය රූප නිසා කොම්පැනි මාධ්‍ය ගැන රෝයිගේ නිගමනය ඉතා නිවැරදි ය.

අමුතු කතාව – ලියනගේ අමරකීර්ති.

1991දී යුනෙස්කෝව විසින් හඳුන්වා දී 1993දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කළ මැයි 03 දිනට යෙදෙන ලෝක නිදහස් මාධ්‍ය දිනයේ අරමුණ ලෙස දක්වා ඇත්තේ, ”අදහස් හා දැනුම හුවමාරු කර ගැනීම”, ”අක්ෂර හා රූප මගින් අදහස් නිදහසේ ගලා යාම” ලෙසයි.

එහෙත් යථාර්ථය වනුයේ ඊට හාත්පසින් වෙනස් දෙයකි. සියලූ ජනමාධ්‍යන්හි හිමිකාරිත්වයන් ආර්ථික බලයක් හිමි, දේශපාලන මුලයන් සහිතය. ඔවුන්ගේ පංතියේ අවශ්‍යතාවයන්ට අනුව ප‍්‍රවෘත්ති වාර්තාකරණය නොව ප‍්‍රවෘත්ති නිර්මාණය කිරීම, මිථ්‍යාව වැපිරීම, අධිපති පංතියේ දේශපාලන වුවමනාවන් ඉස්මතු කරන ආදී භාවිතාවක් ජනමාධ්‍ය වෙතින් පළ වේ.

පොදුවේ තොරතුරු දැන ගැනීමට මිනිසුන් තුළ රුචිකත්වයක් තිබේ; පිපාසාවක් තිබේ. නමුත්, මේ වන විට එම රුචිකත්වය ස්වාභාවික සීමාව ඉක්මවා වර්ධනය කර තිබේ. තොරතුරු නැතිව ඉන්නට බැරි තත්ත්වයක් ඇති කර තිබේ. තොරතුරු හඹා යාමේ මානසිකත්වයකට සමාජය කොතරම් දුරට පොළඹවා තිබේ දැයි විමසා බැලූ විට පෙනී යන්නේ එය ජිවිතය හා සමාන තත්ත්වයකට පත් වී ඇති ආකාරයයි. මෙම තත්ත්වය ඇති කරනු ලැබුවේ ධනවාදයේ භාවිතාව තුළ ය. මාධ්‍ය අතුරින් ප‍්‍රබලතම මාධ්‍ය වන රූපවාහිනිය අලෙවි කර ගැනීම මෙන් ම එය ධනපති දෘෂ්ටිවාදයේ පණිවිඩයේ හොරණෑව ලෙස යොදා ගැනීමත් මේ වන විට ප‍්‍රධානතම අරමුණක් ලෙස පවතී.

ධනවාදය විසින් මිනිසුන් තුළ ඉතා සූක්‍ෂ්ම අන්දමින් අවශ්‍යතා ඇති කරනු ලබයි. ධනවාදය බිහි වූ මුල් අවධියේ සිදු වූයේ නිෂ්පාදනයේ පළමු අදියර තුළ ම භාණ්ඩ විකිණීමයි. නමුත්, මේ වන විට භාණ්ඩ විකිණීමට පෙර (ඇතැම් විට භාණ්ඩ නිෂ්පාදනය කිරීමටත් පෙරෙ) අවශ්‍යතාවය මිනිසුන් තුළ ඇති කරනු ලබයි. ඉන් පසු විකිණීම පහසු කරවයි. රූපවාහිනිය ඇතුළු ශ‍්‍රව්‍ය දෘශ්‍ය සියලූ ම මාධ්‍ය මඟින් මුළු මහත් ලෝකය පුරා ධනවාදය වෙනුවෙන් කරනු ලබන්නේ ඉහත අරමුණයි; එම කොන්ත‍්‍රාත්තුවයි.

වඩාත් සංක්‍ෂිප්තව සඳහන් කරන්නේ නම්, භාණ්ඩ ආර්චනකාමය ඇවිස්සීමට මාධ්‍ය ධනවාදයේ හොරණෑවක් වන්නේ වාණිජමය පැත්තෙන් පමණක් නොවන අතර, එය ධනපති දේශපාලන දෘෂ්ටියේ උපකරණ ලෙස ද කටයුතු කරනු ලබයි.

October 19, 2018
ධනේෂ්වර ක්‍රමය තුල මාධ්‍ය නිදහස
“පුවත් පත් නිදහස පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන සටන් පාඨවලින්තවත් එකකි. හොඳ ම මුද්‍රණාල සහ ලොකු ම කඩදාසි තොග […]