සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන දේශපාලනික කියවීමක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

          ලොව ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය ලෙස සෝවියට් රුසියාවත් පසුව සෝවියට් දේශයත් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට 2017 ඔක්තෝබර්වල දී වසර සියයක් සම්පූර්ණ විය. එසේම ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය විසින් බිහිකළ සමාජවාදී සෝවියට් දේශය 1991 දී බිඳවැටුණ අතර එය බිඳවැටී දැන් සියවස් කාලක් ගතව තිබේ. සෝවියට් දේශය බිඳවැටුණේ ඇයි? ඊට හේතු වූ කරුණු මොනවාද යන්න පිළිබඳ සංවාදයකට මෙය හොඳම අවස්ථාව වේ. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදයත් ලෝක ධනවාදයත් අර්බුදයට ගොස් සමාජවාදයට මාවත විවෘත වී තිබෙන මෙවැනි මොහොතක මේ කරුණ සාකච්ඡා කිරීම වැදගත් වේ.
සෝවියට් දේශයේ බිඳවැටීම ගැන පසුගිය දශක දෙකහමාර තුළ විවිධ අය විවිධ විග‍්‍රහ ඉදිරිපත් කර තිබේ. තවමත් ඉදිරිපත් කරමින් සිටී. එකී බොහෝ විග‍්‍රහයන් එකිනෙකාගේ පංති දෘෂ්ටි කෝණයන්ට අනුව සිදුකරන ඒවා වන අතර සමහර විග‍්‍රහයන් මතුපිටින් බලා කරනු ලබන පටු හා අදේශපාලනික විග‍්‍රහයන් වේ. නිවැරදි මාක්ස්-ලෙනින්වාදී දෘෂ්ටියක පිහිටා කරනු ලබන විග‍්‍රහයන් අවශ්‍ය වන්නේ ඒ නිසාය. සෝවියට් දේශයේ බිඳවැටීම අප තේරුම් ගන්නේ කෙසේද යන්න පිිළිබඳ කෙටි හා සංක්‍ෂිප්ත අදහසක් ඉදිරිපත් කරීම මෙම ලිපියේ අරමුණ වේ.
නොදියුණු සාර්වාදී වැඩවසම් රුසියාව දැවැන්ත හා ශක්තිමත් සමාජවාදී රාජ්‍යයක් බවට ගොඩනගා, විද්‍යාවේ තාක්‍ෂණයේ මහා පෙරළි ඇතිකළ, 2වැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ නාසිවාදය පරදා ලොවට විමුක්තිය උදාකළ, කාටත් පළමුව අභ්‍යවකාශය තරණය කළ, ලොව පුරා සමාජවාදී රාජ්‍යයන්ට මෙන්ම සෝවියට් කඳවුරට පක්‍ෂපාතී පසුගාමී ධනපති රටවල් රැසකට කිසිදු ආර්ථික ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී ආර්ථික වශයෙන් විශාල ලෙස උදව් කළ, අධිරාජ්‍යවාදයට අභියෝග කරමින් මහා බලගතු රාජ්‍යයක් ලෙස පැවතුණ, තම රට තුළ නව සමාජයක්, නව මිනිසෙක් නිර්මාණය කරමින් සිටි සමාජවාදී සෝවියට් දේශය එක් රැයකින් කඩා වැටුණේ ඇයි? මෙය පුදුම එළවන සුළු සිදුවීමකි. මෙතරම් සවිමත් රාජ්‍යයක් මෙලෙස කඩා වැටීම බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි කරුණක්ව ඇත. විවිධ අය විවිධ හේතු ඉදිරිපත් කරන්නේද මේ නිසාය. කෙසේ වෙතත් හේතුවක් නැති ඵලයක් මෙලොව පැවතිය නොහැක. සෝවියට් දේශය වැටීමට බලපෑ හේතු සාධක රැසක් තිබේ. ඒවා කුඩා කුඩා සරල සිදුවීම්වල සිට මහා සංකීර්ණ සිදුවීම්, කුමන්ත‍්‍රණ, පාවාදීම්, වැරදි වැටහීම්, වැරදි පියවරයන්, න්‍යායික පීලි පැනීම් දක්වා විශාල පරාසයක විහිදී පවතී. සෝවියට් දේශයේ බිඳවැටීම දින කිහිපයක් තුළ සිදුවූ සිදුවීමක් ලෙස පෙනුණද එම තත්වය දශක කිහිපයක් තිස්සේ ඇතිවූ ප‍්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක පරිවර්තනයකට ලක්වීමක් විය. මේ නිසාම සෝවියට් දේශය බිඳවැටීමේ සැබෑ දේශපාලන හේතු අධ්‍යයනය කළ යුතුය. එහිදී අප මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයක සිට සියල්ල විග‍්‍රහ කරගතහොත් මෙය අවබෝධ කරගැනීම එතරම් අපහසු නැත.

“විප්ලවයක් ශීඝ‍්‍ර ජයග‍්‍රහණවල සිට බරපතළ පරාජිතවීම් දක්වා හදිසි ලෙස හැරෙන කාලයකදී, විප්ලවයේ සංවර්ධනයට අනිවාරණීය වශයෙන්ම බරපතළ හානි සිදුකරන ව්‍යාජ විප්ලවවාදී වදන් නිර්මාණය වීමේ කාලසීමාවක්, නිතරම හා සෑම විප්ලවයකදීම ඇතිවන බව ඉතිහාසයේ අත්දැකීම් අපට උගන්වයි. ඒ නිසා සහෝදරවරුනි; අපට අපගේ උපක‍්‍රම ගැන නිවැරදි ලෙස අගය කළ හැකි වන්නේ අප ශිඝ‍්‍ර පහසු හා පූර්ණ ජයග‍්‍රහණවල සිට බරපතළ පරාජිතවීම් දක්වා ආපස්සට විසි කළ සිදුවීම් ඇතිවූ ආකාරය ගැන සලකා බැලීම ආරම්භ කළ විට පමණි.”
(ලෙනින් – තෝරාගත් කෘති, 8 වෙළුම, 18 පිටුව)

 

         නැගෙනහිර යුරෝපීය රටවල් ඇතුළු බොහෝ සමාජවාදී රටවල බිඳවැටීම සිදුවූයේ සෝවියට් දේශය බිඳවැටීමත් සමගය. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ, සෝවියට් දේශය බිඳවැටීමට හේතුවූ ප‍්‍රධාන කරුණු වටහා ගැනීම සඳහාය. එය අපට සමස්තය වටහා ගැනීමට උපකාරයක් වන්නේ්ය. සෝවියට් දේශය බිඳ වැටීමට හේතු ප‍්‍රධාන කොටස් දෙකක් ලෙස තේරුම් ගත හැකිය. එනම් සමාජවාදී සෝවියට් දේශයෙහි අභ්‍යන්තර හේතු හා එයින් පිටත වන බාහිර හේතු වශයෙනි. මේ පිළිබඳව ලොකු කුඩා හේතු රාශියක් ඇතත් එහිදී ප‍්‍රධානතම හේතු කිහිපය ගෙන අධ්‍යයනය කිරීම අපගේ කාර්යයට ප‍්‍රමාණවත් වේ. සෝවියට් දේශය බිඳවැටීමට හේතු වූ කාරණා සියල්ලෙහි හරය වන්නේ, පසුගාමී සංවර්ධනයක් සහිත ධනේශ්වර ක‍්‍රමය පවා හොඳින් වර්ධනය නොවූ වැඩවසම් ලක්‍ෂණ පිරි රටක සමාජවාදය ගොඩනැගීමේදී මුහුණ දෙන ගැටලූ විසඳීම සඳහා ලෙනින් සකස්කළ මඟපෙන්වීම් දිගටම පවත්වාගෙන යාමට නොහැකි වීම, න්‍යායික දුබලතා, සමාජවාදය සඳහා ජනතාවගේ දායක්තවය දුර්වලවීම, නිලධාරීවාදී පිරිහීම, රට තුළ සමාජවාදය බිඳ වැටීමක් ගැන කල්පනා නොකිරීම, අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත‍්‍රණ හා මැදිහත්වීම් යන කරුණුය.

          සමාජවාදී රාජ්‍යයක් තුළ යළි ධනවාදය තහවුරු වීම, සමාජවාදී රාජ්‍යයක් තුළ ප‍්‍රතිවිප්ලවීය කි‍්‍රයාමාර්ග ජය ගැනීම සිදුවීමට නොහැකි දේ නොවේ. සමාජවාදය යනු නිශ්චිත සමාජ ආර්ථික ක‍්‍රමයක් නොවේ. එය සංක‍්‍රමණීය අවධියකි. ධනවාදය නැමති පෞද්ගලික දේපළ සහිත සමාජ ක‍්‍රමයේ සිට කොමියුනිස්ට්වාදය නැමති පොදු දේපළ සහිත සමාජ ක‍්‍රමය දක්වා පරිණාමය වන කාල පරිච්ඡ්දය සමාජවාදය වේ. ඒ නිසා එම සමාජවාදී පරිවර්තන අවධියේදී සමාජවාදය
ගොඩනැගීමේ දෝෂ හා පීලි පැනීම් නිසා හෝ ප‍්‍රතිවිප්ලවීය කි‍්‍රයාමාර්ග නිසා හෝ, අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ නිසා හෝ මේ සියලූ කාරණාවල බලපෑම නිසා හෝ සමාජවාදී රාජ්‍යයක් බිඳවැටීමේ අනතුර තිබේ. මේ අනතුර අවසන් වන්නේ, ලෝක සමාජවාදී විප්ලවය ජය ගැනීම හා කොමියුනිස්ට් ක‍්‍රමය ස්ථාපිත වූ පසුව පමණි. දැන් අප විමසා බැලිය යුත්තේ සමාජවාදී සංක‍්‍රමණීය අවදියේ සිටි සෝවියට් දේශය බිඳවැටුණේ ඇයිද යන කරුණය.

ලෙනින්වාදය නිවැරදිව කි‍්‍රයාවට නොනැගීම

           ධනේශ්වර සංවර්ධනය පවා හරි හැටි සිදු නොවූ පසුගාමී රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේදී මුහුණ දුන් ගැටලූ රැසක් තිබිණි. එම ගැටලූවලට ලෙනින් විසින් විසඳුම් හා උපායමාර්ග සකස් කළ බව පැහැදිලිය. එහිදී ආර්ථිකයේදී 1919 වකවානුවේ නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සුළු පරිමාණ පෞද්ගලික නිෂ්පාදනයට හා වෙළඳාමට ඉඩ දෙමින් ලෙනින් නව ආර්ථික ප‍්‍රතිපත්තිය (NEP) ඉදිරිපත් කළේය. එය තාවකාලික පියවරක් විය. එසේම 1918දීම ජර්මනිය විසින් ළදරු සමාජවාදී රුසියාව ආක‍්‍රමණය කිරීමට දැරූ ප‍්‍රයත්නය වළකා ගැනීම සඳහා ජර්මනිය සමඟ උපක‍්‍රමික අර්ථයෙන් බ්‍රෙෂ්ට් සාම ගිවිසුම අත්සන් කරන ලදී. ඉහත කි‍්‍රයාමාර්ග දෙක සමාජවාදය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් හා ඒ තුළ නිෂ්පාදනය වැඩිකිරීමේ අරමුණින් අනුගමනය කළ ඒවා විය. ඊට අමතරව ප‍්‍රධාන කි‍්‍රයාමාර්ගයක් ලෙස ලෝක විප්ලවය සඳහා නායකත්වය දීමට 1919දීම 3වැනි ජාත්‍යන්තරයද ගොඩනගනු ලැබීය. ඒ සෝවියට් දේශයේ සැබෑ ආරක්ෂාව හා පැවැත්ම රදා පැවැතියේ ලෝක සමාජවාදී විප්ලවය තුළ නිසාය. සෝවියට් දේශයේ සමාජවාදී විප්ලවයේ පැවැත්ම රඳා පැවැතියේ ලෝක විප්ලවය මත බව අවධාරණය කළ ලෙනින් ඒ සඳහාද උපක‍්‍රම සකස් කළේය. 1918 අපේ‍්‍රල් 23දා ලෙනින් මෙසේ පැවසීය

“අපේ නොදියුණුභාවය විසින් අප ඉදිරියට තල්ලූකොට දමා තිබේ. අනෙක් රටවල නැගී සිටින කම්කරුවන්ගේ බල සම්පන්න සහයෝගය අපට ලැබෙන තෙක් අපට අල්ලා සිටිය නොහැකි වුවහොත් අප වැනසී යනු ඇත.”

එලෙස පැවසූ ලෙනින් යළි 1920 දී තවදුරටත් මෙලෙසින්ද අවධාරණය කළේය.

“අපි අපේ වැඩ කටයුතු පටන් ගෙන තිබුණේ මුළුමනින්ම ලෝක විප්ලවයේ බලාපොරොත්තුවෙන් බැවින් අපේ ජයග‍්‍රහණය ජයග‍්‍රහණයක් වනු ඇත්තේ, අපේ අභිප‍්‍රාය සමස්ත ලෝකයේම විජයග‍්‍රාහී වන්නේ නම් පමණක් යැයි අප එකල දැන සිටියෙමු.”

(ලෙනින් 1920 ඔක්. 06 විප්ලවයේ 03වැනි සංවත්සරය වෙනුවෙන් කළ කථාවෙන්)

          එසේම ලෙනින් 1918 බ්‍රෙෂ්ට් සාම ගිවිසුමට අදාළව පැවසුවේද “ජර්මනියේ විප්ලවයක් සිදුවීමෙන් තොරව අප වැනසී යන බව ඒකාන්ත සත්‍යය වන බැවින් මේ අපට පාඩමකි.” යනුවෙනි. කිසියම් රටක, විශේෂයෙන් සංවර්ධනයේ පිටුපසින් සිටින රුසියාව වැනි රටක සමාජවාදී විප්ලවය ජයගත්තද, එයට හුදකලාව, තනිවම තම රට තුළ සමාජවාදය ගොඩනගමින් අධිරාජ්‍යවාදී ප‍්‍රහාර මැද දිගු කලක් අල්ලාගෙන සිටීමට හෝ ලෝක විප්ලවය තෙක් දිගු කලක් කල් බලමින් සිටීම දුෂ්කරය. රුසියාවේ සමාජවාදය මුහුණ දෙන මෙම බරපතළ අභියෝගය ලෙනින් දුටුවේය. සෝවියට් දේශයට තනිවම ධනවාදී ලෝකය තුළ බොහෝ කලක් බලය රැුකගත නොහැකි බවත්, ඒ සඳහා ලෝක විප්ලවයේ අවශ්‍යතාවය එලෙස දැඩිව අවධාරණය කළ ලෙනින් විසින් මෙම තත්වයට මුහුණදීම සඳහා ලෝක විප්ලවය ඉලක්ක කරගත් ක‍්‍රියාමාර්ගද ගනු ලැබුවේය. ඒ අනුව,

  1. 1919දී 3වැනි ජාත්‍යන්තරය පිහිටුවීම.
  2. යටත් විජිත හෝ අර්ධ යටත් විජිත රටවල් සමාජවාදී විප්ලවය ජයගැනීම සඳහා ජාතික විමුක්ති අරගලය පිළිබඳ උපායමාර්ගය ඉදිරිපත් කිරීම.
  3. වැඩවසම් ක‍්‍රමයේ පැවති රාජ්‍යයන්ට ධනවාදී සංවර්ධනය මගහැර සමාජවාදය වෙත යා හැකි බව පවසා ධනේශ්වර නොවන සංවර්ධන මාවත නම් න්‍යාය ඉදිරිපත් කිරීම වැනි කි‍්‍රයාමාර්ග රැසක් ගන්නා ලදී.

      එහෙත් ලෙනින්ගේ මරණයෙන් පසු සෝවියට් දේශයේ සිදුවූ න්‍යායික හා දේශපාලනික පීළිපැනීම් නිසා ඉහත උපක‍්‍රම වෙනස් විය. නැතිනම් නොසලකා හැරිණි. වැරදි තීරණ හා උපක‍්‍රම ගැනිණි. එම ක‍්‍රමෝපායන් සමාජවාදය එහි නිවැරදි ගමන් මගෙන් පිට පැන්නවීම් බවට පත්විය. ඒවා විස්තරාත්මකව අධ්‍යයනය කිරීම මෙහිදී ඉතා වැදගත්ය. කෙටියෙන් ගත් විට එම කරුණු අභ්‍යන්තර හා බාහිර වශයෙන් සැලකිය හැක.

සෝවියට් දේශය බිඳවැටීමට බලපෑ අභ්‍යන්තර හේතු

          සැබවින්ම සෝවියට් දේශය බිඳවැටීමක් පමණක් නොව බිඳවැට්ටවීමක්ද විය. සෝවියට් දේශය බිඳදැමීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කළ අධිරාජ්‍යවාදයට ඒ සඳහා අවස්ථා හා ඉඩකඩ සැලසුණේ සෝවියට් දේශයේ තිබූ අභ්‍යන්තර ගැටලූ හා දුර්වලකම් නිසාය. ඉන් ප‍්‍රධානම කරුණු විමසා බැලිය යුතුය.

1. ජාත්‍යන්තරය හා ජාත්‍යන්තරවාදය අත්හැරීම

             ලෙනින්ගේ මරණින් පසු සෝවියට් දේශයේ හා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත් වූයේ ස්ටාලින්ය. රුසියාවේ සමාජවාදී රාජ්‍යය රැකගනිමින් සෝවියට් දේශය නිර්මාණය කිරීමටත් දෙවැනි ලෝක යුද්ධයේදී සෝවියට් දේශය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමටත් රුසියාව කාර්මීකරණය කිරීමටත් ස්ටාලින් කළ කාර්යය අවකත්සේරු කළ යුතු නැත. ඔහු සමාජවාදයේ සතුරෙක් නොවීය. එහෙත් ඔහු දේශපාලනයේදී හා රාජ්‍ය පාලනයේදී නිලධාරීවාදී ගති පෙන්වූ දැඩි අයෙක් වූ අතර ලෙනින්වාදී උගැන්වීම් හා උපක‍්‍රම නොසලකා කටයුතු කිරීම ඇරඹීය. ඊට ඔහුගේ පෞද්ගලික දැක්මේ දුබලතා මෙන්ම සමාජවාදී රාජ්‍ය තුළ පැවති අර්බුද හා අභියෝගද හේතුකාරක වන්නට ඇත. කෙසේ වෙතත් මේ නිසා ලෝක විප්ලවය ඉලක්ක කර ගනිමින් සකස් කළ ලෙනින්වාදී උගැන්වීම්, උපායමාර්ග දුර්වල වූ අතර සෝවියට් දේශයේ සමාජවාදය ගොඩනැගීම ගැන මාක්ස් ලෙනින්වාදයට පටහැණි සටන්පාඨ ඉදිරිපත් කෙරිණ. මෙහි ආරම්භය වුයේ 1928 දී 3වැනි ජාත්‍යන්තරයේ 6වැනි සමුළුවට ස්ටාලින් වෙනුවෙන් බුහාරින් විසින් ‘තනි රටක සමාජවාදය’ නම් සංකල්පය ඉදිරිපත් කිරීමය.
මෙමගින් ජාත්‍යන්තරවාදය හා ජාත්‍යන්තර සහයෝගය හෑල්ලූ කළ අතර එක් රටක් තුළ සමාජවාදය ගොඩනැගීමේ හැකියාව සහතික කරන ලදී. මෙය හුදකලා සටන්පාඨයක් නොවූ අතර මේ හා බැදුණු සටන් පාඨ හා උපායමාර්ග කීපයක්ම වරින් වර ඉදිරිපත් විය. එය අවසානයේ සෝවියට් දේශය තුළ තනිවම කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීමේ සටන් පාඨය දක්වා වර්ධනය විය. සෝවියට් දේශය තනිවම කොමියුනිස්ට් ක‍්‍රමයට යාමේ සිහිනය තුළ ජාත්‍යන්තරවාදය දුර්වල විය. එසේම 1935 ජූලි 25 – අගෝස්තු 20 පැවැත්වූ 3වැනි ජාත්‍යන්තරයේ 7වැනි සමුළුවට ස්ටාලින් වෙනුවෙන් බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝර්ජ් දිමිත්‍රොව් විසින් ෆැසිස්ට්වාදයට එරෙහි ‘මහජන පෙරමුණු න්‍යාය’ ඉදිරිපත් කළේය. මෙහි ප‍්‍රකාශිත අරමුණ වූයේ, නැගී එන ෆැසිස්ට්වාදයට එරෙහිව ෆැසිස්ට් විරෝධී මහජන පෙරමුණක් ගොඩනැගීමය. එහෙත් මෙම සටන් පාඨය ලොව බොහෝ කොමියුනිස්ට් පක්ෂ ධනේශ්වර සන්ධානවලට යාමට හා පංති සහයෝගිතාවයට වැටීමට මඟ පාදාලීය.
පසු කලෙක ස්ටාලින්වාදී උගැන්වීම්වලට අනුව ‘ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය’ ලෙසත් මාවෝවාදී ඉගැන්වීම්වලට අනුව‘ මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය’ ලෙසත් විප්ලවය අවධිවලට බෙදා අවධි තුළින් සමාජවාදයට යාමේ නිර්මාක්ස්වාදී චින්තනයට මඟ පෙන්වූයේද මෙම සටන් පාඨයමය. මේ අනුව ජාතික විමුක්ති අරගල පැවැති බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ අරගලයේ නායකත්වය තමන් අතට ගන්නවා වෙනුවට ධනපති පංතිය ප‍්‍රමුඛ එක්සත් පෙරමුණුවලට ඒවා පවරා දෙන ලදී. ආරම්භයේදී 1927 කාලයේ සෝවියට් දේශයේ මඟ පෙන්වීම මත චීනය තුළද එක්සත් පෙරමුණු ගොඩනගන ලදී. ලොව බොහෝ ආසියානු, අපි‍්‍රකානු, ලතින් ඇමරිකානු කලාපවල මෙම එක්සත් පෙරමුණු දැකිය හැකිවූ අතර එයද ලෝක සමාජවාදී විප්ලවයට හානි කළේය. විශේෂයෙන් අපි‍්‍රකාවේ හා ආසියාවේ යටත් විජිතයන් තම යටත්විජිත ආධිපත්‍යයට එරෙහිව නැගීසිට ජාතික විමුක්ති අරගල හරහා ‘නිදහස’ ලබා ගන්නා විට ඒවායේ බලයට පත්වූයේ ධනේශ්වර නායකයන්ය. එම රටවල කොමියුනිස්ට් පක්‍ෂවලට සිදුවූයේ ධනේශ්වර නායකයින් ප‍්‍රගතිශීලීන් ලෙස සලකා ඔවුන්ට උදව් කිරීමය. ඒ නිසා එම රටවල කොමියුනිස්ට් පක්‍ෂ අතට බලය ගැනීමට නොහැකි විය. මෙහිදී සමාජවාදී විප්ලවය අවදිවලට වෙන්කර එහි පළමු අවදිය ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය හෝ මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ලෙස නම්කළ අතර එක් එක් රටවල සිටි ඊනියා ප‍්‍රගතිශීලී ධනපති පංතිය සමඟ පෙරමුණු ඇටවීමට කොමියුනිස්ට් පක්‍ෂ පොළඹවන ලදී. ධනපති පංතිය ප‍්‍රගතිශීලී වූයේ ධනපති ක‍්‍රමය බිහිවන අවධියේදීය. ඒ, ඔවුන් එවකට ධනේශ්වර විප්ලවයට පක්ෂපාතීව සිටි නිසාය. ධනපති ක‍්‍රමය සමාජ ක‍්‍රමයක් ලෙසින් තම සංවර්ධනය අවසන් කොට ඇති තත්වයක් තුළ දැන් ධනපති ක‍්‍රමය සමාජවාදී සමාජ විප්ලවයට සතුරුය. විශේෂයෙන්ම සමාජවාදී විප්ලවයේ යුගය වන මේ මොහොතේ ධනපති පංතිය ප‍්‍රතිගාමිය. ඔවුහු පංතියක් ලෙසින් සමාජවාදී සමාජ විප්ලවයට බාධා කරමින් සිටිති. එබැවින් සමාජවාදී විප්ලවයේදී ධනපති පංතියට විප්ලවීය කාර්යභාරයක් නැත. සමාජවාදී සමාජ විප්ලවය නිර්ධන පංතියේ කාර්යයකි. ධනපති පංතිය හා එක්ව නිර්ධන පංතියට කළ හැකි විප්ලවයක් නැත. එනිසා එක්සත් පෙරමුණු න්‍යාය මාක්ස් ලෙනින්වාදය පීළි පැන්නවීමකි.
එසේම 1943 දෙවන ලෝක යුද්ධය අවසන් වෙමින් තිබියදී ස්ටාලින් විසින් 3වැනි ජාත්‍යන්තරය විසුරුවා හරින ලදී. ඒ සමගම ලෝක සමාජවාදී ව්‍යාපාරයට ලැබිය යුතු නායකත්වය නැතිව ගියේය. එම තත්වය ලෝක විප්ලවයට බලවත්සේ හානි ගෙන දුන්නේය. 1953 ස්ටාලින්ගේ මරණයෙන් පසුවද මෙම පීළිපැනීම් වඩ වඩාත් වැඩියෙන් සිදුවන්නට විය. 1961 ඔක්තෝබර් පැවැත්වූ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ 23වැනි සමුළුවේදි චීන – සෝවියට් මතභේදය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ සමාජවාදී කඳවුරේ අභ්‍යන්තර ගැටුම් ආරම්භ වන්නට විය. එයද සමාජවාදී කඳවුරට මෙන්ම ලෝක විප්ලවයට හානි ගෙනදෙන ලෙස බලපෑවේය.
ඊට අමතරව සෝවියට් නායක කෲෂෙව් විසින් සෝවියට් දේශය තව “වසර විස්සකින් කොමියුනිස්ට් සමාජයක්” (Communism in 20 years) යන සටන් පාඨය ඉදිරිපත් කළේය. මෙය ලෙනින්ගේ ඉගැන්වීම්වලින් සහ මාක්ස්වාදීයේ මූලික සිද්ධාන්තවලින් මුළුමනින්ම පිට පැනීමක් වූ අතර එය 1928දී බුහාරින් විසින් ඉදිරිපත් කළ ‘තනි රටේ සමාජවාදය’ නම් මතය තවදුරටත් ඉදිරියට ගෙනයාමක් විය. තනි රටක් තුළ කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීය නොහැකිය යන මාක්ස් ලෙනින්වාදී මූලික සිද්ධාන්තය මෙහිදී නොසලකා හරින ලද අතර ඒවා විකෘති කරන ලදී. 1960 දශකයේදී සෝවියට් දේශය වර්ධිත සමාජවාදය නම් තත්වයට පැමිණ ඇති බවත් එය ආපසු හැරවිය නොහැකි බවටත් මතයක් එවකට සිටි සෝවියට් නායකයෝ ඉදිරිපත් කළෝය. සෝවියට් දේශය රැකගැනීමේ අවදානම ඉන් අත්හළ අතර ලෝක විප්ලවයද අත්හරින ලදී. ඒ, සෝවියට් දේශයට තනිවම කොමියුනිස්ට්වාදයට යා හැකිය යන මිත්‍යාව නිසාය. මෙම වැරැදි සටන් පාඨය හා ප‍්‍රතිපත්ති සෝවියට් දේශයේ සමාජවාදී ගමන් මඟට විශාල හානිකර බලපෑමක් සිදුකළ බව පෙනේ. මේ නිසා ලෝක සමාජවාදී විප්ලවය සිදුනොවී සෝවියට් දේශයට දියුණු ධනපති රටවල් මධ්‍යයේ එහි කුමන්ත‍්‍රණවලට ලක්වෙමින් දිගු කලක් පැවැතීමට සිදු විය. එය සෝවියට් දේශයට අවාසිදායක විය.
සෝවියට් දේශය වර්ධිත සමාජවාදී තත්වයට පැමිණ ඇතැයි යන උපකල්පනය සමඟ එය නිර්ධන පංති රාජ්‍ය බලය තමන් විසින්ම දුර්වල කරගනු ලැබිණ. ඊට හොඳම උදාහරණය 1961 ඔක්තෝබරයේ පැවති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 22වැනි සමුළුවේදී ඉදිරිපත් වූ මෙම අදහසය. එනම්

නිර්ධන පංති ආඥාදායකත්වය තම ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණ කර ඇත. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ අභ්‍යන්තර සංවර්ධනයේ දෘෂ්ටිකෝණයට අනුව බලන විට එහි අවශ්‍යතාවය අවසන්ය. නිර්ධන පංති ආඥාදායකත්වයේ රාජ්‍යය ලෙස පෙනුණු රාජ්‍යය දැන් සමස්ත සමාජයේ රාජ්‍යයයි.
…නිර්ධන පංති ආඥාදායකත්වය තම අවශ්‍යතාවේ භූමිකාව අහෝසි කරගෙන ඇතැයි යන විශ්වාසය මත පක්‍ෂය කටයුතු කරයි.

 

       මෙය ලෙනින්වාදය නොව ඉන් මුළුමනින්ම පිට පැනීමකි. රාජ්‍ය බලය පිළිබඳ ලෙනින්වාදී උගැන්වීම් අත්හැරීමකි. සමාජවාදී සංක‍්‍රමණ අවදිය තුළ නිර්ධන පංති රාජ්‍යයේ අවශ්‍යතාවය ලෙනින් බොහෝ විට අවධාරණය කොට තිබුණද මෙහිදී එය අත්හරින ලදී, සෝවියට් දේශය බිඳ දැමීමේදී එය සතුරන්ට වඩාත් වාසිදායකද විය.
එසේම බ්‍රෙෂ්නෙෆ්ගේ පාලන කාලය තුළ ඉදිරිපත්ව පවත්වාගෙන ගිය ”සාමකාමී සහජීවනය” හා ”නිරවි යුද්ධය”යන සටන්පාඨ හා කි‍්‍රයාමාර්ග ලෝක බලවතුන් අතර යුද තරගය අඩු කිරීමේ යුද අවදානමින් මිදීමේ අර්ථයෙන් යහපත් සේ පෙනුණද සමාජවාදයේ අවශ්‍යතාවයන්ගේ දෘෂ්ටියෙන් බලන විට අධිරාජ්‍යවාදයට වාසිදායක විය. මින් වැඩිම රැකවරණය ලබා ගත්තේත්, සෝවියට් දේශයට එරෙහි මතවාදී පෙරමුණේ සටනට ඉඩ ලබාගත්තේත් අධිරාජ්‍යවාදයය. සමස්ත සෝවියට් පුරවැසියා අධිරාජ්‍යවාදයට එරෙහිව සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් හා එය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අවදියෙන් සිට සටන්කරන්නෙකුගේ තත්වයට පත්කොට මෙහෙයවනවා වෙනුවට සෝවියට් පුරවැසියා නරඹන්නෙකුගේ තත්වයට, සාමකාමී සහජීවනයට අනුව පාඩුවේ වැඩක් බලාගෙන සිටින්නෙකුගේ තත්වයට පත් කරන ලදී. පසුව සෝවියට් වැසියන් අධිරාජ්‍යවාදී රටවල බටහිර රටවල ඇතැයි කියූ ‘ඊනියා නිදහස’ හා විවිධ පාරිභෝගික භාණ්ඩ අගයන තත්වයටද පත්කළේය. සෝවියට් ජනයා බලා සිටියදීම සෝවියට් සමාජය බිඳවැටීමට එහි සතුරන්ට අවස්ථාව සලසා දුන්නේ එම තත්වය බව පෙනේ.

2. නිලධාරිවාදය තහවුරුවීම

      ජාත්‍යන්තරවාදය හා නිර්ධන පංති රාජ්‍ය බලයේ ආධිපත්‍යය දුර්වල කිරීමට අත්හැරීමට අමතරව සෝවියට් දේශය බිඳවැටීමට හේතු වන තවත් කාරණයක් වන්නේ සමාජවාදී අවධිය තුළ නිලධාරිවාදය තහවුරුවීමයි. නිලධාරිවාදය පාලනය කිරීම සඳහා නිර්දේශිත ලෙනින්ගේ උගැන්වීම් නොසලකා හැරි අතර ඒ නිසා නිලධාරිවාදය සෝවියට් රාජ්‍යය තුළ තහවුරු විය. මෙය පක්ෂ සාමාජිකයා, නායකයින්ගෙන් දුරස් කිරීමට මෙන්ම පොදු ජනයා, පක්ෂයෙන් දුරස් කිරීමටත් හේතු විය. කියුබාවේදී ෆිදෙල්, ජනතාව සමග පැවැත්වූ සම්බන්ධය හා පුද්ගල වරප‍්‍රසාදවලට එරෙහිව හා පුද්ගල ප‍්‍රතිරූප ගොඩනැංවීමට එරෙහිව ගෙන ගිය ආදර්ශය සමග සසඳන විට, සෝවියට් නායකයින්ගේ නිලධාරිවාදය කෙතරම් දැයි වටහා ගැනීම එතරම් අපහසු නැත. මෙම නිලධාරිවාදී නායකයෝ සමාජවාදය තුළ වරප‍්‍රසාද භුක්ති විඳීම සඳහා තම නිලය, වගකීම භාවිතා කළෝය. පසුගාමී සංවර්ධනයක් සහිත රටක සමාජවාදය ගොඩනගන විට ඒ තුළ නිලධාරිවාදය මතුවීමේ අනතුර ලෙනින් දුටුවේය. ඒ සඳහා ඔහු ක‍්‍රියාමාර්ගද යෝජනා කළේය. ස්ටාලින් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් තනතුරට පත්වීමෙන් ලබාගත් අසීමිත බලය පරිස්සමෙන් පාවිච්චි නොකරනු ඇති බව 1922 දෙසැම්බරයේ අග පැවති පක්‍ෂ සමුළුවට ලිපියක් ලියමින් ලෙනින් අවධාරණය කළේය. එහිදී මධ්‍යම කාරක සභාවේ සංඛ්‍යාව 100ක් දක්වා වැඩිකරන ලෙසත් ඊට කම්කරුවන් අතරින් වැඩි ප‍්‍රමාණය බඳවා ගන්නා ලෙසත් යෝජනා කළ ලෙනින් යළිත් 1922 දෙසැම්බර් 24 ලිපියක් ලියමින් සඳහන් කළේ ස්ටාලින් අධි ගොරහැඩි බවත් ඒ නිසා ප‍්‍රධාන ලේකම් ධුරයෙන් ඔහු ඉවත් කොට ඔහුට වඩා ඉවසිලිවත්, සහෝදරවරුන්ට ලැදි වඩාත් ආචාරශීලී අයෙක් පත්කර ගන්නා ලෙසත්ය. ලෙනින් මේ වනවිට විස කැවූ වෙඩි උණ්ඩයක් වැදීමෙන් බරපතළ අසනීප තත්වයෙන් සිටි අතර මෙම යෝජනා කි‍්‍රයාවට නැගුණේ නැත.
අනෙක් අතට නිලධාරිවාදය යනු පුද්ගල වැරැද්දක්ම නොවන බවත් එය උපදින්නේ සමාජයේ සංස්කෘතිකමය පසුගාමීත්වය හා සියලූදෙනාට අවශ්‍ය තරම් ලබාදීමට නොහැකි තරම් නිෂ්පදනය දුර්වල වීම නිසා බවත් ලෙනින් අවධාරණය කර තිබුණි. ඒ නිසාම නිලධාරීවාදය පාලනය කිරීමට ගෙන තිබූ පියවරයන් කි‍්‍රයාත්මක නොවීම නිසා නිලධාරිවාදය වර්ධනය විය. සෝවියට් දේශයේ බලය ජනතාවගේ බලයක් වනවා වෙනුවට ජනතාවගෙන් වියෝ වූ බලයක් බවට පත්විය. ජනතාව හා පාලනය අතර ප‍්‍රතිවිරෝධයක් හා ජනතාව තුළ අතෘප්තියක්ද නිර්මාණය විය. සෝවියට් දේශය බිඳවැටෙන විට ඒ තුළ තිබූ පොදු හෝ සාමූහික දේපළ තම පෞද්ගලික දේපළ බවට පත්කර ගනු ලැබුවේ මෙම නිලධාරී තන්ත‍්‍රය විසින් බව අමතක කළ යුතු නැත. නිලධාරී තන්ත‍්‍රයේ මෙම හැසිරීමත්, ජනතාව තුළ වර්ධනය වෙමින් ආ අතෘප්තිය හා බටහිර දේ අගයන මානසිකත්වයත්, අධිරාජ්‍යවාදය හා එහි ඒජන්තයන් විසින් සෝවියට් දේශය පහසුවෙන් බැඳ දැමීමට උපයෝගී කරගත් බව පැහැදිලිය.

3. සමාජ ආර්ථික නවීකරණයන් නොවීම

       සෝවියට් දේශය ආරම්භයේදී විද්‍යාවේ හා තාක්‍ෂණයේ මහා වර්ධනයක් පෙන්නුම් කළද අවි තැනීමේදී අභ්‍යවකාශ වැඩපිළිවෙළේදී විශාල වර්ධනයක් පෙන්නුම් කළද පාරිභෝගික භාණ්ඩ නිපදවීමේදී සමහර අත්‍යවශ්‍ය නවීකරණයන් හා වෙනස්කම් නොසලකා හැරි බව පෙනේ. මේ නිසා කලානුරූපව හා වෙනස් වන තත්වයන් තුළ සමාජ ආර්ථික වශයෙන් අවශ්‍ය නවීකරණයන් සෝවියට් දේශය තුළ නොවීමද සමාජවාදය අභියෝගයට ලක්වීමට කිසියම් පමණකින් හෝ හේතුවූ බව පෙනී යයි. මෙයින් අදහස් වන්නේ, සෝවියට් දේශය තුළ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව නොතිබුණු බව නොවේ. එය එක්සත් ජනපදය පරදවන මට්ටමක තිබුණි.
එහෙත් පාරිභෝගික භාණ්ඩ නිපදවීමේදී හා සමහර නිෂ්පාදන හා සේවා ක්‍ෂේත‍්‍රවල ඒවායේ ගුණය පමණක් ගැන සිතූ අතර පෙනුම ගැන එතරම් තැකීමක් කෙරුණේ නැත. මේ නිසා ධනේශ්වර භාණ්ඩවල බාහිර ආකර්ෂණය එක් විටෙක තරුණ පරපුර ඒ වෙත ඇද ගැනීමට හේතු විය. මෙම තත්වය සෝවියට් ජනතාව ධනේශ්වර වෙළඳ භාණ්ඩ වෙත ආකර්ෂණය කරගැනීමට අධිරාජ්‍යවාදීන්ට උපකාරී විය. අධිරාජ්‍යවාදී ප‍්‍රචාරක මාධ්‍යයන් හරහා විසුරුවා හළ විවිධ සිසිල් බීම පිළිබඳ දැන්වීම් පවා සෝවියට් තරුණයා මංමුළා කිරීමට තරම් සමත් විය. ඒ තුළ ඔවුන් දුටුවේ ධනපති ලෝකය විශ්මලන්තයක් ලෙසය.

4. සමාජවාදී අධ්‍යාපනය දුර්වල වීමෙන් ජනතාවගේ දායකත්වයක් නොලැබීයාම.

       අඛණ්ඩ මතවාදී අරගලයක්, සමාජවාදී අධ්‍යාපනයක් හා ජනතාව සමාජවාදය ගොඩනැගීමට දායක කරගැනීමේ ක‍්‍රියාවලිය දුර්වලව තිබීමද සමාජවාදය බිඳවැටීමට හේතු වූ බව පෙනේ. කෙසේ හෝ නව පරපුරේ සමාජවාදය ගැන හැඟීම දුර්වල වී තිබුණි. එය ජනතාව වෙත මතවාදය අඛණ්ඩව ගෙන නොයෑම හා සමාජවාදය පිළිබඳ අදහස කුළු ගැන්වීමේ දුබලකම නිසා වන්නකි. සෝවියට් දේශය මාක්ස්-ලෙනින්වාදී පොතපත විශාල වශයෙන් මුද්‍රණය කළද, ලොව විශාලතම පුස්තකාලයට හිමිකම් කියූවද, ඉතාම වටිනා සමාජවාදී සාහිත්‍යයක උරුමකරුවන්ව සිටියද, අලූත් පරපුර වෙත විප්ලවයේ හා සමාජවාදයේ වටිනාකම් එය රැක ගැනීමේ වුවමනාවන් තහවුරු කිරීමට සමත් නොවු බව පෙනේ. ජනතාවගේ සහාය නොමැතිව විප්ලවය ආරක්‍ෂා කරගත නොහැකිය. යන්න පරම සත්‍යයකි.
ඒ පිළිබඳ වරක් ෆිදෙල් කස්ත්‍රෝ පවසා තිබුණේ මෙසේය.
”විප්ලවය එය විසින්ම ආරක්ෂා විය යුතුයි. එය ආරක්ෂා වන්නේ එලෙසයි. අපට න්‍යෂ්ටික අවි තිබීම නිසා හෝ අප පොහොසත් නිසා එය ආරක්ෂා වන්නේ නැහැ. අප වසර 40 ක සම්බාධකවලට මුහුණ දුන්නා. විවිධ බාධක හිරිහැර මැද අප විශේෂ දුෂ්කර කාලයක් පසු කළා. කිසිම රටක් ජනතාවගේ සහයෙන් තොරව එලෙස ආරක්ෂා වන්නේ නැහැ. ජනතාවගේ දේශපාලන කැමැත්ත නැතිව එසේ වන්නේ නැහැ.”

5. ගොර්බචෝෆ්ගේ ප‍්‍රතිසංස්කරණයන්

       සෝවියට් දේශය තුළ නිර්මාණය වෙමින් තිබු නිලධාරිවාදය, ආර්ථිකයේ එක තැන පල්වීම, නිෂ්පාදන ආයතනවල කාර්යක්ෂමතාවය පහළ වැටීම වැනි අර්බුදවලට පිළියම් සෙවීමට අවසන් සෝවියට් නායක ගොර්බචෝෆ් ඉදිරිපත් කළ විසඳුම් වූයේ, දේශපාලන නිදහස්කරණය (ග්ලාස්නොස්ට්) හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ (පෙරෙස්ත්‍රොයිකාව)යයි.
ඔහු පෙරෙස්ත්‍රොයිකාව ලෙනින්ගේ (NEP) වැඩපිළිවෙළට නව පණ දීමක් ලෙස හඳුන්වන ලදී. එහෙත් මෙම ක‍්‍රියාමාර්ගවලින් විශේෂයෙන් ග්ලාස්ට්නොට්වලින් සෝවියට් රාජ්‍ය බලය දුර්වල විය. සමාජවාදය ගොඩනගමින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය දෙය වූ නිර්ධන පංති රාජ්‍ය බලය දුර්වලවීම බාහිර මෙන්ම අභ්‍යන්තර සතුරන්ට වාසිදායක විය. සමාජවාදය බිඳ වැටෙද්දී සෝවියට් රතු හමුදාව අකී‍්‍රයව සිටීම විසින්ද මෙය තහවුරු වේ. ප‍්‍රමාණාත්මකව පිරිහෙමින් තිබූ සෝවියට් දේශය, ගුණාත්මක බිඳවැටීමක් බවට පත් කිරීමට ආසන්න සිද්ධිය ලෙස ගොර්බචෝෆ්ගේ ප‍්‍රතිසංස්කරණ හේතු වූ බව පැහැදිලිය.

සෝවියට් දේශය බිඳවැටීමට බලපෑ බාහිර හේතු

       සෝවියට් දේශය බිඳවැටීමට එහි අභ්‍යන්තරයේ ඇතිවූ හේතුවලට අමතරව බාහිර හේතූන්ද දායක විය. බාහිර හේතු සමහරක් සෝවියට් දේශයේ පාලනයෙන් තොර ඒවා විය. ඒ සමඟ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයන්ද සම්බන්ධිතය.

1. ජාත්‍යන්තරය බිඳ හෙළමින් සෝවියට් හිතවාදී රාජ්‍ය පද්ධතියක් පවත්වා ගෙනයාම

      ලෝක සමාජවාදී විප්ලවයට නායකත්වය සැපයීම හා නිර්ධන පංති ජාත්‍යන්තරවාදය පවත්වාගෙන යාම සඳහා ලෙනින්ගේ නායකත්වයෙන් 1919දී පිහිටුවන ලද 3වැනි ජාත්‍යන්තරය හෙවත් කොමින්ටනය 1943 දෙවන ලෝක යුද්ධය නිමාවෙමින් තිබියදී ස්ටාලින් විසින් විසුරුවා හරින ලදී. ඒ තවදුරටත් ලෝක සමාජවාදී විප්ලවයට නායකත්ව සැපයීමට එවන් සංවිධානයක් අවශ්‍ය නැත යැයි කියමිනි. එහෙත් 1943 දී 3වැනි ජාත්‍යන්තරය හෙවත් කොමින්ටනය විසුරුවා හැරීමෙන් පසු 1947 දී Comminform නමින් ස්ටාලින් විසින් සංවිධානයක් ගොඩ නගන ලදී. එයට අයත් රටවල් හා පක්ෂ වූයේ බල්ගේරියාව, චෙකොස්ලොවැකියාව, ප‍්‍රංශය, හංගේරියාව, ඉතාලිය, පෝලන්තය, රුමේනියාව හා යුගොස්ලාවියාවය. එහෙත් යුගොස්ලාවියා නායක ටිටෝ සමග ඇතිවූ මතභේදය නිසා 1948දී යුගෝස්ලාවියාව මෙම සංවිධානයෙන් නෙරපන ලදී. පසුව ස්ටාලින්ගේ මරණයෙන් පසු 1956දී කෲෂෙව් විසින් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි සමුළුවේදී මෙම සංවිධානයද විසිරුවා හරින ලදී.
එලෙස 3වැනි ජාත්‍යන්තරය විසුරුවා හැර ජාත්‍යන්තරවාදය අත්හළ සෝවියට් නායකයන් ඒ වෙනුවට තමන්ට හිතවත් රාජ්‍ය කණ්ඩායමක් පවත්වාගෙන යන ලදී. ඒ සඳහා විශාල ධනයක්ද වැයකරන ලදී. ලොව බොහෝ කොමියුනිස්ට් පක්ෂ රුසියානු උදව් මත පවත්වාගෙන ගිය අතර ඒවාට සිදුවූයේ, සෝවියට් දේශයේ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ග අනුමත කරමින් තම රටවල රුසියානු ශාඛා ලෙස කටයුතු කිරීමටය. පෙරළා එය බරපතළම ප‍්‍රතිරෝධයක් ඇති කළේය. සමාජවාදී සෝවියට් ජනතාවගේ ශ‍්‍රමය හා එහි සම්පත් මඟින් මුළු මහත් ලෝක කොමියුනිස්ට් පක්ෂ හා සමාජවාදී රාජ්‍යයන් නඩත්තු කරන තත්වයක් ඇති විය. එපමණක් නොව සෝවියට් දේශය සමඟ විවිධ අවශ්‍යතාවයන් මත මිතුරු වෙසින් පෙනී සිටි ධනපති රාජ්‍යයන් නඩත්තු කිරීමටද සමාජවාදයේ ඵලදාව යෙදවිණි. මෙය සෝවියට් ආර්ථිකයට දරාගත නොහැකි බරක් බවට පත්වූ බව නිසැකය.

2. පංති සහයෝගිතාවය හා වාමාංශික ව්‍යාපාර දුර්වල වීම

         ධනපති රටවල් සමග මිත‍්‍රත්වය පදනම් කරගෙන එම රටවල සමාජවාදයට උදව් නොදීම හා ජාතික විමුක්ති අරගල හරහා ධනපති පංතියට බලයට ඒමට ඉඩ හැරීමද මෙහිදී සිදුවූ වරදකි. අධිරාජ්‍ය විරෝධී හා ෆැසිස්ට් විරෝධී නාමකරණයන් යටතේ ලොව පරිධියේ රටවල සමහර ධනපති පක්ෂවලට හා නායකත්වයන්ට “ප‍්‍රගතිශීලී” ලේබලය අලවා ඔවුන් සමග මිත‍්‍රව කටයුතු කරන ලදී. එම රටවල කොමියුනිස්ට් පක්ෂවලට උපදෙස් දී තිබුණේද ඉහත ප‍්‍රගතිශීලී ධනපති නායකයින් හා එක්ව කටයුතු කරන ලෙසය. මේවා සිදුවූයේද උපක‍්‍රමික අර්ථයෙන්ම නොව උපායමාර්ගික අර්ථයෙන්ය. එය විසින් සෝවියට් හිතවත් ධනපති රටවල් පවත්වාගෙන ගියා මිස ලෝක සමාජවාදී විප්ලවයට එය වාසිදායක වූයේ නැත. මෙය ලෙනින්වාදයෙන් පීළි පැනීමක් වු අතර එය ලෝක විප්ලවයට හානිකර ලෙස බලපෑවේය. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ නේරු, ලංකාවේ බණ්ඩාරනායක, මිසරයේ අන්වර් සදාත් හා අප‍්‍රිකානු රටවල එවැනි නායකයින් හා මිත‍්‍රත්වය විසින් විප්ලවය සඳහා අරගලය පස්සට තැබීමට සිදුවීම ගත හැකිය.

3. සමාජවාදී කඳවුරේ භේදය සහ අසමගිය

       සමාජවාදී කඳවුරේ භේදය හා අසමගිය එහි බිඳවැටීමට විශාල ලෙස හේතු විය. මින් ප‍්‍රධාන භේදය වූයේ, 1961න් ඇරඹි 1963දී ප‍්‍රකාශයට පත් චීන – සෝවියට් මතභේදයයි. එය ලොව පුරා කොමියුනිස්ට් පක්ෂ දෙකඩ කළ අතර පසුව ඒවා එකිනෙකට සතුරුව කටයුතු කළේය. මෙය අවස්ථාව කොට ගෙන සෝවියට් දේශයට එරෙහිව චීනය යොදාගැනීම දක්වා දුර යාමට එක්සත් ජනපදයට හැකි විය. තවදුරටත් ට්‍රොට්ස්කිවාදය, ස්ටාලින්වාදය සහ යුරෝ කොමියුනිස්ට්වාදය වැනි වාදවලට ලොව වමේ ව්‍යාපාරය බෙදීමද වමට අවාසි සහගත විය. මෙහිදී සමාජ විප්ලවය වෙනුවෙන් නොව සෝවියට් හිතවත් කොමියුනිස්ට් පක්‍ෂ පවත්වාගෙන යාම සඳහා විශාල ලෙස වියදම් දැරීමට සෝවියට් දේශයට සිදුවිය.
මේ සියල්ල මගින් සමාජවාදී සෝවියට් දේශය අසීමිත හා අනවශ්‍ය ආර්ථික බරකට උරදුන් අතර ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය බේදභින්න කොට එයට අයත් රටවල් තම අතකොළු බවට පත් කර ගනිමින් අනාරක්ෂිත තත්වයට පත් විය. මේ තත්වය සමාජවාදය බිද දැමීමට මාන බලමින් සිටි අධිරාජ්‍යවාදීන්ට වාසිදායක තත්වයක් උදා කළේය.

4. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවල ප‍්‍රතිඵල

         සමාජවාදී කඳවුර බිද දැමීම සඳහා අධිරාජ්‍යවාදීහු නිතර කුමන්ත‍්‍රණය කළෝය. ඒ සඳහා සමාජවාදී කඳවුරේ දුර්වලතා හා භේදයන් ඔවුන් විසින් යොදාගන්නා ලදී. සෝවියට් කඳවුරට එරෙහිව අවි නිෂ්පාදනය කිරීම හරහා ඇතිවූ අවි තරගය නිසාද සමාජවාදී රටවල ජනතාව වෙනුවෙන් වෙන් කළ යුතු විශාල මුදලක් අවි සඳහා වෙන් කිිරීමට සිදුවිය. සෝවියට් දේශය හා අනෙක් සමාජවාදී රටවලට ජාතිවාදය ඇතුල් කිරීමට අධිරාජ්‍යවාදීන් කටයුතු කිරීමද එහි බිඳවැටීමට රුකුල් දුන් කරුණක් විය. සමාජවාදී රාජ්‍ය බලය දුර්වල වන විටම සෝවියට් දේශය සමූහාණ්ඩු 15කට කැඞී ගියේත්, චෙකොස්ලොවැකියාව චෙක් සහ ස්ලොවැක් ලෙස වෙන් වූයේත් යුගෝස්ලෝවියාව කැඩී ගියේත් මේ නිසාය. මේ අතර අධිරාජ්‍යවාදීන් විසින් සෝවියට් දේශයට හා සමාජවාදී රටවලට එරෙහිව දැවැන්ත ප‍්‍රචාරයක් ගෙන යෑම, බොරුකීම, ජනතාව මුළා කිරීම සිදු කරන ලදී. ඒ සඳහා ආගමික සංස්ථාවන් යොදා ගැනීම සිදු විය. මෙය පෝලන්තයේදි ඉතා හොඳින් සිදු විය. පෝලන්තයේ වෘත්තිය සමිති නායක ලෙස කටයුතු කළ පසුව ධනේශ්වර නායකයෙකු වූ ලේක් වැලේසා මෙහෙයවනු ලැබූයේ එවකට පෝලන්ත ජාතික පාප් වහන්සේ විසිනි.
එමෙන්ම සමාජවාදී කඳවුර තුළ තිබූ ස්ටාලින් විරෝධය න්‍යායික විචෙචනයකින් එහාට ගෙන ගොස් එය සමාජවාදයට එරෙහි මතයක් බවට යොදාගන්නා ලදී. එක්සත් ජනපදය කියුබාවට එරෙහිව සම්බාධක පැනවීම හා 1961දී එය ආක‍්‍රමණය කිරීමට උත්සාහ කිරීම, 1983දී ග්‍රෙනෙඩාව ආක‍්‍රමණය කිරීම, නිකරගුවාවට එරෙහිව කොන්ට‍්‍රා කැරලිකරුවන්ට උදව් කිරීම, ඇෆ්ගන්ස්තානයේදී සෝවියට් හමුදාවට එරෙහිව මුස්ලිම් අන්තවාදි සංවිධාන ගොඩ නැගීම ආදී ක‍්‍රියා රැසකින්ම අධිරාජ්‍යවාදීන්ගේ සමාජවාදයට එරෙහිව ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් විය. මේ සියල්ල සෝවියට් දේශයේ බිඳවැටීමට සෘජුවත් වක‍්‍රවත් හේතුකාරක වූ බව පෙනේ.
පොදුවේ ගත් විට සමාජවාදී කඳවුරේ බිඳ වැටීම තේරුම් ගත යුත්තේ, අහම්බයක් හෝ පුද්ගල ද්‍රෝහිකමක් ලෙස නොව කලක් තිස්සේ ප‍්‍රමාණාත්මකව වර්ධනය වූ අභ්‍යන්තර හා බාහිර හේතු රැසක් නිසා සිදු වූවක් ලෙසය. සමාජවාදී කඳවුරේ බිද වැටීමේදී න්‍යායික හා ප‍්‍රායෝගික වශයෙන් එහි ඇතිවු පිරිහීම සහ පීලි පැනීම මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ අඛණ්ඩ කුමන්ත‍්‍රණ හා පහරදීම මෙයට හේතු වූ බව පැහැදිලිය. සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ න්‍යායික පීලි පැනීම් මෙන්ම පිරිහීම් ආරම්භ වූයේ කවදා සිටද? ලෙනින්වාදී අර්ථයෙන් බලන කළ සත්‍යය නම් සෝවියට් දේශයේ න්‍යායික පීලි පැනීම් ආරම්භ වන්නේ ස්ටාලින් පාලනයත් සමගය. පුද්ගලාභිවාදනය, නිලධාරිවාදය හා න්‍යායික පීලි පැනීම්වල ආරම්භක ලක්ෂය වන්නේ, ස්ටාලින්ගේ පාලනයයි. ඉන්පසු කෘෂෙව්ගේ සිට ගොර්බචෝෆ් දක්වා මෙම සංශෝධනවාදයන් විවිධ වේශයෙන් ඉදිරියට ගියේය. මෙම කාලය තුළ බිහිවූ බලාපොරොත්තු තැබිය හැකි නායකයා වූයේ යුරි ආන්ද්‍රපොව් ය. ඔහු සෝවියට් රහස් ඔත්තු සේවයේ (KGB) ප‍්‍රධානියා වශයෙන්ද බොහෝ කලක් සේවය කොට පළපුරුද්ද ඇති අයෙකි. 1982 නොවැම්බර් 12 ඔහු බලයට පත් විය. එහෙත් ඔහුගේ පාලනය වසරකට පමණ සීමා විය. එනිසා ඔහුගේ පත්වීමෙන් ප‍්‍රතිඵල ලබාගන්නට තරම් කාලයක් නොවීය. ඔහුගේ හදිසි මරණය පිළිබඳ ඇතැමුන් සැක පහළ කරන අතර එයද සෝවියට් දේශය බිඳ දැමීමේ කුමන්ත‍්‍රණයේම පියවරක් ලෙසද ඇතැම්හු සලකති.
පොදුවේ සලකන විට සෝවියට් දේශයේ බිඳවැටීම තේරුම් ගත යුත්තේ මනෝමූලිකව නොව විෂය මූලිකව හා ඓතිහාසික තත්වයන් තුළය; ප‍්‍රමාණාත්මකව සිදුවූ කි‍්‍රයාවලියක ගුණාත්මක පියවරක් ලෙසය. සෝවියට් දේශය බිඳ දමනු ලැබුවේ අධිරාජ්‍යවාදීන්ය. එම අධිරාජ්‍යවාදී බලවේග සමඟ සෝවියට් පාලනයේ වගකීම් දැරූ බොයෝ අයද අවසන් මොහොතේ එක්ව දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද මහා පාවාදීමකට දායක විය. ජනතාව හෝ රතු හමුදාව සිදුවූ සිදුවීම් හොඳින් තේරුම් ගත් බවක් පෙනුණේ නැත. සෝවියට් සමාජවාදය කඩා වැටෙන විට ඔවුන් ඒ දෙස නිහඬව බලා සිටීමෙන් එය පෙනේ. ඔවුන් එසේ හැසිරුණේද සමාජවාද ගොඩනැගීම මෙන්ම එය ආරක්‍ෂා කිරීමේ අරගලයෙන් ජනතාව වියුක්තව සිටීම නිසාය. අවසාන වශයෙන් ගත්විට පසුගාමී රාජ්‍යයක සමාජවාදය ගොඩනැගීමේදී මුහුණ දෙන ගැටලූ විසඳීමට නොහැකි වීම, දිගු කලක් සමාජවාදී සංක‍්‍රමණික අවදියේ පසුවීමට සිදුවීම, න්‍යායික පීලි පැනීම්, නිලධාරිවාදී පිරිහීම්, ආර්ථිකයේ ඇතිවූ එකතැන පල්වීම් සමාජවාදය ගොඩනැගීම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමේ දුර්වලතා හා සමාජවාදී විප්ලවය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි මට්ටමට නිර්ධන පංති රාජ්‍ය බලය දුර්වලව තිබීම ආදී හේතු රැසක් සෝවියට් දේශය බිඳවැටීමේ හේතු ලෙස පවතින බව පෙනේ.
ලෝක ධනවාදය අර්බුදයට ගොස් එය විසින් සමාජවාදය ඉල්ලා සිටින තත්වයන් තුළ කලින් සමාජවාදය තිබූ දැන් ධනවාදය තහවුරුව පවතින රටවල ජනතාව මුහුණ දී ඇති බරපතල අර්බුදයන් විසින් සමාජවාදයේ වටිනාකම යළි යළිත් තහවුරු කරන තත්වයක් තුළ මෙම අත්දැකීම් සමාජවාදයේ විජයග‍්‍රහණය වෙනුවෙන් යොදා ගැනීම අප සැමගේ වගකීම වේ.


ටිල්වින් සිල්වා
ප්‍රධාන ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ

සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන දේශපාලනික කියවීමක්