සමාජවාදය ගැන – ඇල්බර්ට් අයින්ස්ටයින්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් මෙම ලිපිය ලියා ඇත්තේ 1949 දී එක්සත් ජනපදයේ සමාජවාදී මාසික සඟරාවකටයි. සෝවියට් රුසියාව ඇතුළු සමාජවාදී කඳවුරට එරෙහිව සීතල යුද්ධය පවතිද්දී හා මැකාතිවාදය එක්සත් ජනපදය තුළ ජයග්රහණය කර තිබෙද්දී මෙතරම් ඍජු ලෙස ධනවාදය ප්රතික්ෂේප කරමින් සමාජවාදය ඇගයීමට ලක් කිරීමට තරම් ධෛර්යක් ඔහු සතුව පැවතීම අගය කළ යුතුය. එසේම මෙම ලිපියේ දී ඒ වන විට ස්ටාලින්වාදයත් සමග සෝවියට් දේශය තුළ මතු වී තිබූ නිලධාරිවාදය ප්රශ්න කිරීමට ද ඔහු පසුබට වී නැත. මැකාතිවාදය යනු එක්සත් ජනපද සෙනෙට් සභික ජෝශප් මැකාතිගේ නමින් හැඳින්වුණු සමාජවාදයට එරෙහි මතවාදයකි. ජෝශප් මැකාති සෙනෙට් සභිකයෙකු ව සිටි අතර එක්සත් ජනපදයේ ආණ්ඩුවේ හා අනෙකුත් ආයතනවල සිටි පුද්ගලයන් කොමියුනිස්ට්වාදීන් ලෙස හංවඩු ගසා මේ කාලයේ දී රැකියාවලින් පවා එළියට ඇද දමන ලදී.

එබැවින් ඔහුගේ මෙම ලිපිය කියවිය යුත්තේ එකී වටපිටාව ද සිතෙහි තබා ගනිමින් බව අපගේ අදහසයි.

සමාජවාදය ගැන – ඇල්බර්ට් අයින්ස්ටයින්

ආර්ථික හා සමාජ ප්‍රශ්න පිළිබඳ විශේෂඥයෙකු නොවන අයෙක් සමාජවාදය පිළිබඳ අදහස් දැක්වීම අනුමත කළ හැකිද? කරුණු කිහිපයක් නිසා එහි වරදක් නැතැයි මම විශ්වාස කරමි.

අපි පළමුව විද්‍යාත්මක දැනුමේ කෝණයෙන් ප්‍රශ්නය විමසා බලමු. ආර්ථික විද්‍යාවේ හා තාරකා විද්‍යාවේ පරීක්ෂණ ක්‍රමවේදයන් අතර සැලකිය යුතු වෙනස්කම් ඇතැයි නොපෙනේ. ධාරා දෙකෙහිම විද්‍යාඥයන් කිසියම් සීමාසහිත සංකල්ප කණ්ඩායම් කිහිපයක් අතර ඇති අන්තර් සම්බන්ධය හැකි උපරිම ආකාරයෙන් තේරුම් කිරීමට සමත් පොදු පිළිගැනීමක් සහිත නීති සොයා ගැනීමට උත්සාහ කරති. එහෙත් යථාර්ථයේ දී එවැනි ක්‍රමවේදයන්ගේ වෙනස්කම් පවතී. වෙන වෙනම අගැයීමට ලක් කළ නොහැකි සාධක ගණනාවක් නිරීක්ෂණය කරනු ලැබූ ආර්ථික සංකල්ප මත බලපාන තත්වය විසින් ආර්ථික ක්ෂේත්‍රයේ පොදු නියාමයන් සොයා ගැනීම වඩාත් දුෂ්කර කරවයි. මීට අමතරව අප හොඳින් දන්නා පරිදි මානව ඉතිහාසයේ ඊනියා ශිෂ්ට යුගයේ පටන් රැස් කර ගත් අත්දැකීම් නිශ්චිතවම ආර්ථික නොවන සාධක විසින් සීමා කරවන අතර විශාල වශයෙන් බලපෑමට ලක් කරයි. උදාහරණයක් ලෙස විශාල රාජ්‍යයන් බොහොමයක ඉතිහාසය එහි යටත්විජිතයන්ගේ පැවැත්මට ණයගැති ය. ආක්‍රමණික ජනතාව යටත් කරනු ලැබූ රටෙහි වරප්‍රසාද ලත් ජනතාව ලෙස නීතිමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් තහවුරු කරනු ලැබුණ ඔවුන්, ඔවුන් සඳහා ම ඉඩම් අයිතියේ ඒකාධිකාරය අත්පත් කර ගත් අතර  ඔවුන් අතරින් පූජක පැලැන්තියක් තෝරා ගනු ලැබිණි. පූජකවරුන් අධ්‍යාපනය පාලනය කිරීම මගින් සමාජයේ පන්ති බෙදීම ස්ථිර ආයතන බවට පත් කළ අතර එතැන් සිට ජනතාවට බොහෝ විට අවිඥානකවම, ඔවුන්ගේ සමාජ හැසිරීම පාලනය කර ගැනීමට වටිනාකම් පද්ධතියක් ද නිර්මාණය කර දුන්නේ ය.

නමුත් ඉතිහාසමය සම්ප්‍රදාය වන්නේ, එසේ කථා කරන්නේ නම්, ඊයේ මානව සමාජයේ කොල්ලකාරී යුගය ලෙස කෝර්ස්ටයින් වෙබ්ලේන් විසින් හැඳින්වූ යුගය ඇත්ත වශයෙන්ම අප තවමත් කොතැනකදීවත් අබිබවා ගොස් නැත. නිරීක්ෂණය කළ හැකි ආර්ථික දත්ත අයත් වන්නේ එකී යුගයටයි. එකී යුගයෙන් උකහා ගත හැකි එවැනි නියමයන් පවා අනෙකුත් යුගයන්ට යොදා ගත නොහැකිය. සමාජවාදයේ සැබෑ අරමුණ වන්නේ මානව සංවර්ධනයේ කොල්ලකාරී යුගය සැබෑ ලෙසම අභිබවා ඉන් ඉදිරියට ගමන් කිරීම බැවින් ආර්ථික විද්‍යාවට හැකි වන්නේ සමාජවාදී සමාජයේ අනාගතය පිළිබඳව කුඩා එළියක් විහිදුවීමට පමණි.

දෙවැනිව, සමාජවාදය යොමුවී ඇත්තේ සමාජ – සදාචාරමය දිශාවටයි. කෙසේ වෙතත් විද්‍යාවට අවසානයක් නිර්මාණය කළ නොහැකිය. එවැන්නක් මනුෂ්‍ය වර්ගයා තුළ තහවුරු කළ හැක්කේ ඊටත් වඩා අඩුවෙනි. කිසියම් නිශ්චිත අවසානයක් කරා යා හැකි මාර්ගය සොයා දීම විද්‍යාවට කළ හැකි උපරිම දේ වන්නේය.

නමුත් අවසානය පිළිබඳ අදහස් පිළිසිඳ ගනුයේ අසස් සදාචාරවත්, පරමාදර්ශයන් සහිත පුද්ගලයන් තුළයි. අවසානය පිළිබඳ මෙම අදහස් උපතින්ම මියැදුණු ඒවා නොවේ. ඒවා අත්‍යාවශ්‍ය, ප්‍රබල අදහස් ය. බොහෝ මිනිසුන් විසින් මේවා සකස් කරනු ලදුව, අර්ධ වශයෙන් අවිඥානකව, ඉදිරියට ගෙන යනු ලබයි. සමාජයේ ක්‍රමික පරිණාමය එමගින් තීරණය කෙරේ.

මෙම හේතු නිසා එය මිනිස් වර්ගයාගේ ගැටලුවක් වූ කල අපගේ ආරක්ෂාව වෙනුවෙන්, විද්‍යාව හා විද්‍යාත්මක ක්‍රම අධිතක්සේරුවට ලක් නොකළ යුතුය. එසේම සමාජ සංවිධානය පිළිබඳ ප්‍රශ්නයක දී අදහස් දැක්වීමට අයිතිය ඇත්තේ විශේෂඥයන්ට ම පමණක් යැයි අප නොසිතිය යුතුය.

මැනිය නොහැකි තරම් පිරිසක් මේ මොහොතේ මානව සමාජය අර්බුදයක් හරහා ගමන් කරමින් සිටින බවත්, එහි ස්ථාවරභාවය බරපතළ ලෙස බිඳ වට්ටවා ඇති බවත් කලක සිට අවධාරණය කර තිබේ. පුද්ගලයා ඔහු අයත් කණ්ඩායම ලොකු හෝ කුඩා වුව ද, එය කෙරෙහි උදාසීන හෝ ඇතැම් විට සතුරු ආකල්පයන් පවා දැක්වීම මෙවැනි තත්වයක දී විශේෂයෙන් සිදු වේ. මා අදහස් කළ දේ වඩා පැහැදිලි කිරීමට පුද්ගලික අත්දැකීමක් සඳහන් කිරීමට ඉඩ දෙන්න. මම මෑතකදී බුද්ධිමත් හා සුහදශීලී පුද්ගලයෙකු සමග තවත් යුද්ධයක තර්ජනය පිළිබඳ සාකච්ඡා කළෙමි. එහිදී මගේ අදහස වූයේ යුද්ධයකදී මිනිස් වර්ගයාගේ පැවැත්ම පවා අනතුරේ හෙළනු ඇති බවයි. උපරි – ජාතික සංවිධිතයකට පමණක් එම අනතුරින් මිනිස් වර්ගයා ගලවා ගත හැකි බවත් එහිදී මම සඳහන් කළෙමි. එවිට එම පුද්ගලයා විසින් ඉතා සන්සුන්ව හා සාමකාමීව මෙසේ පවසනු ලැබුණි.

“මිනිස් වර්ගයා, විනාශ වීම පිළිබඳ ඔබ මෙතරම් තදින් විරුද්ධ වන්නේ මන්ද?”

මීට ශත වර්ෂයකට අඩු කාලයකට ඉහතදී කිසිවෙකු මෙතරම් සැහැල්ලූවෙන්, මේ ආකාරයේ ප්‍රකාශයක් නොකරනු ඇති බව මට සහතිකය. එම ප්‍රකාශය තමන් තුළම සමතුලිතභාවය ඇති කර ගැනීමට අසමත් වූ, සාර්ථකත්වය පිළිබඳ බලාපොරොත්තුව අඩු වැඩි වශයෙන් අහිමි කර ගත් පුද්ගලයෙකුගේ ය. එය මේ දිනවල බොහෝ මිනිසුන් අත්විඳින වේදනාකාරී තනිකමක හා හුදෙකලාවක ප‍්‍රකාශනයකි. ඊට හේතුව කුමක්ද? ඉන් මිදීමේ මඟක් තිබේද?

එවැනි ප‍්‍රශ්නයක් නැගීම පහසුය. එහෙත් අවම සහතිකයක් හෝ සහිතව එවැන්නකට පිළිතුරු දීම අපහසුය. මට හැකි පමණින් ඊට පිළිතුරු දීමට උත්සාහ කරමි. එසේ වුවත් අපගේ හැඟීම් සහ උත්සාහයයන් නිතර ප‍්‍රතිවිරෝධි වන බවත්, ඒවා සඟවාලන බවත් සහ එය සරල හා පහසු සූත‍්‍රයකින් ඉදිරිපත් කළ නොහැකි බවත් මම හොඳින් දනිමි.

මිනිසා එක විට තනි හා සමාජයීය අයෙකි. තනි පුද්ගලයෙකු ලෙස ඔහු ඔහුගේ සමීපතමයන්ගේ හා තමාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමටත්, තමාගේ පෞද්ගලික ආශාවන් තෘප්ත කර ගැනීමටත්, තමාගේ සහජ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් උත්සාහ කරයි. සමාජයීය සත්වයෙකු ලෙස ඔහු තම සහෝදර මිනිස් වර්ගයාගෙන් ආදරය හා පිළිගැනීම අපේක්ෂා කරන අතර ඔවුන් සමග විනෝදය බෙදාගැනීමටත් ඔවුන්ගේ දුකෙහිදී සහනයක් වීමටත්, ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමටත් කටයුතු කරයි. විවිධත්වයෙන් යුක්ත, නිතර ගැටෙන්නා වූ මෙම උත්සාහයන්ගේ පැවැත්ම මිනිසාගේ විශේෂිත ස්වභාවයට එකම හේතුවයි. මෙම එක් එක් සාධකයන්ගේ (එනම් පුද්ගලික හා සමාජයිය සාධක පරිවර්තන) සාපේක්ෂ ප්‍රබල බව ප‍්‍රාවේණික වශයෙන් උරුම වේ. නමුත් අවසානාත්මකව මතුවන පෞරුෂත්වය ප‍්‍රධාන වශයෙන් හැඩ ගස්වනු ලබන්නේ, සිය සංවර්ධනයේදී මිනිසාට ජීවත්වීමට සිදුවන පරිසරය මගිනි. ඔහු වර්ධනය වන සමාජයේ ව්‍යුහය මගිනි. එකී සමාජයේ සම්ප‍්‍රදායයන් මගිනි. එකී සමාජය විසින් අගය කරනු ලබන හැසිරීම් රටාව මගිනි. කිසියම් පුද්ගලයෙකුට ‘සමාජය’ නමැති අමුර්ත සංකල්පය විසින් අදහස් කෙරෙන්නේ පෙර පරම්පරාවන්ගේ සියලූ මිනිසුන් සමග සිය සමකාලීනයන් සමග ඔහුගේ ඍජු හා වක‍්‍ර සම්බන්ධතාවන්ගේ සමස්ත එකතුව ලෙසිනි. පුද්ගලයෙකුට තනිවම සිතීමට, හැඟීමට, වෙර දැරීමට, සහ වැඩ කිරීමට පුළුවන. නමුත් එහිදී ඔහු -ඔහුගේ ශාරීරික, බුද්ධිමත් හැඟීම්වල පැවැත්ම මගින්- විශාල වශයෙන් සමාජය මත යැපේ. එබැවින් සමාජමය සැකැස්මෙන් පරිබාහිරව එකී පුද්ගලයා ගැන සිතීමට හා ඔහු තේරුම් ගැනීමට අපහසුය. මිනිසාට ආහාර, ඇඳුම්, පැළඳුම්, නිවාස වැඩ කිරීමට අවශ්‍ය උපකරණ, භාෂාව, චින්තන විධිය, චින්තනයේ අඩංගුව, ආදිය ලබා දෙන්නේ සමාජය විසිනි. ඔහුගේ ජීවිතය ශ‍්‍රමය විසින් සහ ‘සමාජය’ යන වචනය පිටුපස සැඟවී තිබෙන අතීත හා වර්තමාන මිලියන ගණනක්ගේ ජයග‍්‍රහණයන් විසින් ගොඩනගනු ලබයි.

එම නිසා කුහුඹින්ට හා මී මැස්සන්ට මෙන් පුද්ගලයෙකු සමාජය මත යැපෙන්නේය යන්න ප‍්‍රතික්ෂේප කළ නොහැකි ස්වභාවධාර්මික සත්‍යයකි. කෙසේ වෙතත් කුහුඹින්ගේ හා මී මැස්සන්ගේ සමස්ත ජීවන කි‍්‍රයාවලියේ ඉතා කුඩා තොරතුරු පවා දැඩි ප‍්‍රවේණික සහ ජානයන් මගින් නිශ්චිත කර තිබුණද මිනිසාගේ සමාජ කි‍්‍රයාකාරිත්වය සහ සමාජ රටාව විවිධත්වයෙන් යුක්ත වන අතර වෙනස්වීම්වලට ගෝචර වේ. මුවෙන් සන්නිවේදනය කර ගැනීමේ හැකියාව විසින් ත්‍යාග කොට ඇති මතකය, නව සංයෝගයන් සෑදීමට ඇති ධාරිතාව ජීව විද්‍යාත්මක අවශ්‍යතාවන් මගින් සීමා නොකෙරෙන සංවර්ධනයක් අත්පත් කර ගැනීමට හැකියාව ලබා දී තිබේ. මෙම සංවර්ධනයන් සම්ප‍්‍රදායය, ආයතන, සහ සංවිධාන හරහාත්, සාහිත්‍යයේ, විද්‍යාවේ, ඉංජිනේරු ක්ෂේත්‍රයේ හා කලාත්මක ක්ෂේත්‍රයේ ජයග‍්‍රහණ හරහාත් ප‍්‍රකාශයට පත්වේ. එය සිදුවනනේ කෙසේද යන්න හා කිසියම් දුරකට මිනිසාට තමාගේ ජීවිතයට තමා විසින්ම බලපෑම් කරගත හැකිය යන්නත් මෙම කි‍්‍රයාවලියේදී සවිඥානක චින්තනයට හා වුවමනාවට කාර්යභාරයක් කළ හැකිය යන්නත් මෙමගින් පෙන්වා දෙයි.

අප වෙනස් කළ නොහැකියයි හා නිශ්චිත යැයි සිතන මිනිස් වර්ගයාගේ අනන්‍ය ස්වභාවික ආශාවන්ද ඇතුළු ජීව විද්‍යාත්මක සැකැස්ම ප‍්‍රවේණික වශයෙන් මිනිසා උපතේදී අත්කර ගනී. මීට අමතරව සන්නිවේදනය මගින් සහ වෙනත් බලපෑම් ආකාර මගින් සකස්කර ගනු ලබන සංස්කෘතික සැකැස්ම ඔහු සිය ජීවිත කාලය තුළදී අත්පත් කර ගනී. කාලයත් සමග මෙම සංස්කෘතික සැකැස්ම වෙනස්වීමට නියමිතය. එම වෙනස්වීම්වල ස්වභාවය ප‍්‍රධාන වශයෙන් තීරණය කරනු ලබන්නේ පුද්ගලයා හා සමාජය අතර සම්බන්ධතාව විසිනි. සමාජයේ අධිකාරිත්වය දරන සමාජ සංවිධාන ආකාරයන් හා සංස්කෘතික රටාවන් මත යැපෙමින් මානව වර්ගයාගේ සමාජයීය හැසිරීම් වශාල වශයෙන් වෙනස් විය හැකි යයි ඊනියා ප‍්‍රාථමික සංස්කෘතීන්ගේ සංස්න්දනාමත්ක පරීක්ෂා කර බැලීම් මගින් නූතන මානව විද්‍යාව අපට උගන්වා ඇත. මිනිස් වර්ගයාගේ තත්වය උසස් කිරීමට අරගල කරන්නාවූ බොහෝ දෙනෙකු බලාපොරොත්තු අත්හැර ගන්නේ මේ නිසාය. මිනිස් වර්ගයා ඔවුන්ගේ ජීව විද්‍යාත්මක සැකැස්ම හේතුවෙන් ගර්හාවට ලක් විය යුතු නැත; එකිනෙකා සමූල ඝතනය කර ගත යුතු නැත. ක්‍රෑරත්වය අනුකම්පාවට ලක්ව තමා විසින් ම සාදාගත් ඉරණමකට ගොදුරු විය යුතු නැත.

මානව ජීවිතය හැකි උපරිමයෙන් තෘප්තිමත් කිරීම සඳහා සමාජ ව්‍යුහය හා මිනිසාගේ සංස්කෘතික ආකල්ප කෙසේ වෙනස් විය යුතුද කියා අප විමසා බලන විට සමහර තත්වයන් නවීකරණය කළ නොහැකි බව, වෙනස් කළ නොහැකි බව අප නිතරම සිහියේ තබා ගත යුතුයි. කලින් සඳහන් කළ ආකාරයට සෑම ප‍්‍රායෝගික අවශ්‍යතාවක් සඳහා ම මිනිසාගේ ජීව විද්‍යාත්මක ස්වභාවය වෙනස් කිරීම්වලට භාජනය කළ නොහැකිය. තවද පසුගිය ශතවර්ෂ කිහිපය තුළ දී සිදුවු තාක්ෂණික හා ජන සංඛ්‍යාත ව්‍යාප්තිය අපට මේ මට්ටමින් නැවතීම සඳහා තත්වයන් නිර්මාණය කර දී තිබේ. සිය පැවැත්ම සඳහා භාණ්ඩ අවශ්‍ය වන අනපේක්ෂ වශයෙන් අධික ජන හීනත්වයක් සහිත ජනතාවන්ට ඉහළ ශ‍්‍රම විභජනයක් සහ තදින් මධ්‍යගත වූ නිෂ්පාදන උපකරණ පද්ධතියක් අත්‍යවශ්‍යය. ආපසු හැරී බැලීමේදී හාස්‍යය උපදවන කරුණක් ලෙස පෙනුණද පුද්ගලයන්ට හා සාපේක්ෂව කුඩා කණ්ඩායම්වලට මුළුමනින්ම ස්වයංපෝෂිතව ගත කළ හැකි කාලය සදහටම අවසන් වී ඇත. මේ නිසා, මානව වර්ගයා දැනටමත් නිෂ්පාදනයේ හා පරිභෝජනයේ ගෝලීය සමාජයක් බවට පත් වී ඇතැයි කීම කුඩා හෝ අතිශයෝක්තියක් නොවේ.

අපේ කාලයේ අර්බුදය සංයුක්තවී ඇත්තේ කුමකින්ද යන්න කෙටියෙන් පැහැදිලි කිරීමේ අවස්ථාව වෙත මම දැන් පැමිණ සිටිමි. ඉන් පුද්ගලයා, සමාජයට ඇති සබදතාව පිළිබඳ සලකා බැලේ. පුද්ගලයා වෙන කවරදාකටත් වැඩියෙන් සමාජය මත තමාගේ යැපීම පිළිබඳ දැනුවත්භාවයකට පැමිණ ඇත. නමුත් ඔහු එකී යැපීම ධනාත්මක දෙයක් ලෙස නොසලකයි. එහි ඓන්ද්‍රීය බැඳීමක් සේ  නොසලකයි: එය ආරක්ෂිත බලයක් ලෙස නොසලකයි. නමුත් ඒ වෙනුවට එය තමාගේ ස්වභාවික අයිතීන්ට තර්ජනයක් සේ සලකයි. නැතිනම් අඩු ගණනේ එය තමාගේ ආර්ථික පැවැත්මට තර්ජනයක් සේ සලකයි. තවද සමාජය තුළ පුද්ගලයා දරන තැන විසින් ඔහු තුළ ස්වභාවයෙන් ඇති සමාජයීය ගුණාංග ක්‍රම ක‍්‍රමයෙන් විනාශ වී යයි. සමාජය තුළ ඔහුගේ තත්වය කුමක් වුවද සියලූ මිනිසුන් මෙම විනාශ වී යාමේ කි‍්‍රයාවලියෙන් පෙලෙමින් සිටී. ඔවුන්ගේ ආත්මාර්ථකාමිත්වය තුළ නොදැනීම සිරකරුවන් බවට පත් වු ඔවුන්ට තනිකම, අනාරක්ෂාව, දැනෙන්නට ගනී. සරල, බුද්ධිමත් හා සුඛෝපභෝගී නොවූ සතුට ඔවුන් කෙරෙන් පලායයි. මිනිසාට තම කෙටිකාලීන හා අනතුරුදායක ජීවිතයේ අරමුණු සොයා ගත හැක්කේ සමාජය වෙනුවෙන් කැපවීමෙන් පමණි.

මගේ අදහසට අනුව අද පවතින ධනවාදී සමාජයේ ආර්ථික අරාජිකත්වය මෙකී විනාශයේ උල්පතයි. අපි අප ඉදිරියේ නිෂ්පාදකයන්ගේ දැවැන්ත සමාජයක් දකිමු. එහි සාමාජිකයින් ඔවුන්ගේ සාමූහික ශ‍්‍රමයේ ඵල බලහත්කාරයෙන් නොව නීතිමය වශයෙන් ස්ථාපිත කරන ලද දෙයට විශ්වාසනීය අනුකූලතාවයකින් යුතුව එකිනෙකාගෙන් ඉවත් කිරීමට අඛණ්ඩ වෙහෙසක් දරමින් සිටී. නිෂ්පාදන මාධ්‍යයන්ගේ අතිමහත් බහුතරය තවදුරටත් කියන්නේ නම් අමතර ප‍්‍රාග්ධන භාණ්ඩ මෙන්ම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය සමස්ත නිෂ්පාදන ධාරිතාවම නීතිමය වශයෙන් පුද්ගලයන්ගේ පුද්ගලික දේපළක් ලෙස පවතින බව මෙහිදී තේරුම් ගැනීම වැදගත්ය.

එම වචනයේ සම්ප‍්‍රදායික තේරුමට සර්වසම නොවෙතත් සරල භාවයේ නාමයෙන් මෙම සාකච්ඡාාවේදී මම ‘කම්කරුවන්’ ලෙස හඳුන්වන්නේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරිත්වය නැති අයවයි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකරු කම්කරුවාගේ ශ‍්‍රම ශක්තිය මිලදී ගැනීමේ හැකියාව සහිතව සිටී. නිෂ්පාදන මාධ්‍යයන් භාවිතයෙන් කම්කරුවා ධනපතියාගේ දේපළක් බවට පත්වන නව භාණ්ඩ නිෂ්පාදනය කරයි. මෙම කි‍්‍රයාවලියේ අත්‍යාවශ්‍ය ලක්ෂණය වන්නේ -දෙකම මූර්ත වටිනාකම ලෙස ගණන් බැලූ කල- කම්කරුවා නිපදවන දෙය හා ඔහුට ගෙවනු ලබන දෙය අතර සම්බන්ධයයි. ශ‍්‍රම ගිවිසුම ‘නිදහස්’ බැවින් ඒ තාක් දුරට කම්කරුවා ලබන දෙය තීරණය වන්නේ, ඔහු නිපදවන දෙයෙහි පූර්ණ වටිනාකම අනුව නොව ඔහුගේ අවම අවශ්‍යතාව සහ රැුකියා සඳහා තරඟයේ යෙදෙන කම්කරුවන්ගේ ගණනට සාපේක්ෂව ශ‍්‍රම ශක්තිය සඳහා ධනපතියාගේ අවශ්‍යතාව යන කරුණු දෙකෙනි. න්‍යායිකව පවා කම්කරුවාගේ වැටුප තීරණය වන්නේ ඔහුගේ නිෂ්පාදනයේ වටිනාකම විසින් නොවන බව තේරුම් ගැනීම ඉතාම වැදගත්ය.

ධනපතියන් අතර ඇති තරගය නිසාත් තාක්ෂණික සංවර්ධනය හා ශ‍්‍රම විභජනය තිව‍්‍ර වීම විසින් කුඩා දෙයකින් දැවැන්ත නිෂ්පාදනයක් සිදු කිරීමට හැකි වන නිසාත් පුද්ගලික ප‍්‍රාග්ධනය කිහිප දෙනෙකු අත සංකේන්ද්‍රණය වීමට පෙළඹේ. මෙම වර්ධනයන්ගේ ප‍්‍රතිඵලය වන්නේ, ප‍්‍රජාතාන්ති‍්‍රකව සංවිධානය කරනු ලැබූ දේශපාලන සමාජයකදී පවා සාධාරණ ලෙස පාලනය කළ නොහැකි පුද්ගලික ප‍්‍රාග්ධන ඒකාධිකාරයේ අතිමහත් බලයයි. ව්‍යවස්ථාදායක සභාවක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ලබන්නේ පුද්ගලික ධනපතියන්ගෙන් විශාල වශයෙන් මූල්‍යමය ආධාර හා වෙනත් ආකාරයන්ගේ බලපෑම්වලට නතුවන දේශපාලන පක්ෂ විසින් වන බැවින් මෙය සත්‍යය. ඔවුන් සියලූ ප‍්‍රායෝගික කරුණුවලදී ඡන්දදායකයා ව්‍යවස්ථාදායක සභාවන්ගෙන් වෙන් කරනු ලබයි. එහි ප‍්‍රතිඵලය වන්නේ වරප්‍රසාද අහිමි ජනතාවගේ වුවමනාවන් ජනතා නියෝජිතයින් විසින් ප‍්‍රමාණවත් පරිදි ආරක්ෂා නොකිරීමයි. තවද මෙකී තත්වයන් යටතේ පුද්ගලික ධනපතියින් විසින් තොරතුරු දැනගැනීමේ ප‍්‍රධාන ධාරාවන් (පුවත් පත්, ගුවන් විදුලිය, අධ්‍යාපනය) නොවැළැක්විය හැකි ලෙසම පාලනය කරනු ලබයි. ඇත්ත වශයෙන්ම තනි පුරවැසියෙකුට බොහෝ අවස්ථාවලදී ඔහුගේ දේශපාලන අයිතීන් බුද්ධිමත්ව පාවිච්චි කිරීමට හෝ විෂය මූලික ගණන් බැලීමකට අනුව තීරණයකට එළඹීම අතිශය දුෂ්කර වන්නේ මෙන්න මේ නිසාය.

ප‍්‍රාග්ධනයේ පුද්ගලික අයිතිය මත පදනම් වූ ආර්ථිකයක් මූලධර්ම දෙකක් මගින් හැඩ ගැසේ. පළමුව නිෂ්පාදන බලවේගයන්ගේ පුද්ගලික අයිතිය සහ දෙවනුව ශ‍්‍රම ගිවිසුම නිදහස්වීමයි. ඇත්තවශයෙන්ම මේ ආකාරයේ ‘පිරිසිදු’ ධනපති සමාජයක් නොපවතී. කම්කරුවන් දීර්ඝ හා කටුක දේශපාලන අරගලයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස සමහර කම්කරු ශ්‍රේණිවල හෝ ‘නිදහස් ශ‍්‍රම ගිවිසුම්වල’ දියුණු ආකාරයක් දිනා ගැනීමට සමත් ව සිටින බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. නමුත් සමස්තයක් ලෙස ගත් විට අද දවසේ ආර්ථිකය පිරිසිදු ධනවාදයෙන් බොහෝ දුරකට වෙනස් නොවේ.

නිෂ්පාදනය සිදු කරන්නේ ලාභය උදෙසාය. භාවිතය සඳහා නොවේ. වැඩකළ හැකි සහ වැඩ කිරීමට අපේක්ෂා කරන අයට රැකියාවක් සොයා දීමට වැඩපිළිවෙළක් නැත. ‘රැකියා විරහිතයින්ගේ’ හමුදාවක් හැම විටම පවතී. කම්කරුවා නිරන්තරයෙන් සිය රැකියාව අහිමිවී යාමේ බියෙන් පෙළෙයි. රැකියා විරහිතයන් හා අඩු වැටුප් ලබන කම්කරුවන් ලාභදායක වෙළඳ පළක් ඇති නොකරන බැවින් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සීමා කෙරේ. එහි ප‍්‍රතිඵලය වන්නේ, දැවැන්ත දුෂ්කරතාය. තාක්ෂණික දියුණුව කම්කරුවන්ගේ වැඩ පහසු කරවනවා වෙනුවට වඩ වඩාත් විරැකියාව ජනිත කරයි. වැඩිවන තීව‍්‍රතාවෙන් යුතු, දැවැන්ත අවපාතයන්ට මඟ පෙන්වන ප‍්‍රාග්ධන සමුච්ඡුයට හා ප‍්‍රාග්ධන භාවිතයේ අසමතුලිතතාවන්ට වගකිව යුත්තේ, ධනපතියන් අතර ඇති තරඟය හා ලාභය සඳහා ඇති කෑදරකමයි. සීමාරහිත තරඟය දැවැන්ත ශ‍්‍රම නාස්තියකට හා මා කලින් සඳහන් කළ ආකාරයට පුද්ගලයන්ගේ සමාජ විඥානය මොට කිරීමට මඟ පාදයි. මා සිතන ආකාරයට පුද්ගලයන් මෙලෙස මොට කිරීම ධනවාදයේ බරපතළම නපුරයි. අපගේ සමස්ත අධ්‍යාපන ක‍්‍රමයම මෙම නපුරින් පීඩා විඳී. අනාගත වෘත්තියට සුදානම් වීම සඳහා ආකර්ෂණීය අනාගතයක් වන්දනාමාන කිරීමට පුරුදු කරවන එය ශිෂ්‍යයා තුළ උත්කර්ෂයට නංවන ලද තරඟකාරී ආකල්පයක් කාවද්දනු ලබයි.

මෙම මහා ව්‍යසනයන්ගෙන් මිදීමට ඇත්තේ එක් මඟක් පමණක් බව මට තහවුරු වී තිබේ. එනම් සමාජීය අරමුණු වෙනුවෙන් යොමු වූ අධ්‍යාපන ක‍්‍රමයක් සමග සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීමයි. එවැනි ආර්ථිකයකදී නිෂ්පාදන මාධ්‍යයන් සමාජ අයිතියේ පැවතිය යුතු අතර පරිභෝජනය සැලසුම්ගත ආකාරයෙන් සිදුකළ යුතුය. සමාජයේ අවශ්‍යතාවන් අනුව නිෂ්පාදනය හැඩගස්වනු ලබන සැලසුම්ගත ආර්ථිකයක් වැඩ කළ හැකි සියලූ දෙනා අතර වැඩ බෙදා දෙනු ලබන අතර සෑම ළමයෙකුටම, කාන්තාවකටම, හා සෑම පුද්ගලයෙකුටම ජීවිකාව සහතික කරනු ඇත. අද දවසේ සමාජය තුළදී සිදු කෙරෙන සාර්ථකත්වය හා බලය උත්කර්ෂයට නැංවීම වෙනුවට පුද්ගල අධ්‍යාපනය ඔහුගේ සහජ හැකියාවන් වැඩි දියුණු කරන අතරම සිය සහෝදර මිනිසුන් කෙරෙහි වගකීම් සහගතභාවය වර්ධනය කිරීමට උත්සාහ දරනු ඇත.

කෙසේ වෙතත් සැලසුම්ගත ආර්ථිකය පමණක් සමාජවාදය නොවන බවද සිහිතබාගත යුතුය. සැලසුම්ගත ආර්ථිකයක් පුද්ගලය මුළුමනින්ම වහල් තත්වයට පත්කිරීම සමගද සම්බන්ධ විය හැකිය. සමාජවාදයේ ජයග‍්‍රහණයන් අතිශය දුෂ්කර සමාජ දේශපාලනික ගැටලූවලට පිළිතුරු ඉල්ලා සිටී. අතිශය මධ්‍යගත දේශපාලන හා ආර්ථික බලය විසින් නිලධාරි පැලැන්තිය සර්වබලධාරී හා උඩඟු බවට පත්වීම වැළැක්විය හැක්කේ කෙසේද? පුද්ගලයාගේ අයිතින් ආරක්ෂා කළ හැකි ආකාරයට නිලධාරිවාදයේ බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෙස ප‍්‍රතිපූර්ණය කිරීම සහතික කළ හැක්කේ කෙසේද?

අපගේ මෙම සංක‍්‍රමණික යුගයේදී සමාජවාදයේ අරමුණු හා ගැටලූ පිළිබඳ පැහැදිලිතාවය ඉතාම වැදගත්ය. මෙම ගැටලූ පිළිබඳ නිදහස් හා බාධාවකින් තොර සාකච්ඡුාවක් ඇතිවීම තදබල තහනමකට ලක්කර ඇති නිසා මෙම සඟරාවේ ආරම්භය ඉතා වැදගත් මහජන සේවාවක් වනු ඇතැයි මම සිතමි.

ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ සඟරාවකට ලියූ Why Socialism ලිපියේ සිංහල පරිවර්තනය.
1
විමර්ශන

 

සමාජවාදය ගැන – ඇල්බර්ට් අයින්ස්ටයින්