විනිමය අනුපාතය හා එහි කඩාවැටීම පිළිබඳ විමසා බැලීමක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මෙය අපට බොහෝ සෙයින් ගැටලූකාරී ප‍්‍රශ්නයකි. අප නිතර අසන්නේ ඩොලරය ඉහළ ගොස් ඇති බව සහ රුපියලේ අගය පහළ ගොස් ඇති බවය. ලොව පුරා විවිධ රටවල් ගනුදෙනු කිරීම සඳහා විවිධ මුදල් වර්ග භාවිත කරති. ඩොලර්, යුරෝ, පවුම්, යෙන්, රුපියල්, යුවාන් එවැනි මුදල් වර්ග කිහිපයකි. මේ මුදල් වර්ග එකම වටිනාකමකින් යුක්ත නොවේ. ඒ නිසාම ඒවා යුගල වශයෙන් ගත් විට එකක වටිනාකම තවත් එකකින් කිව හැකි වේ. එනම් ඩොලරයක යුරෝ වටිනාකම, නැතිනම් යුරෝ එකක ඩොලර් වටිනාකම ආදී වශයෙනි. මෙලෙස රටවල් දෙකක් අතර මුදල් වර්ග දෙකක් සංසන්දනය කරන අනුපාතය අප විනිමය අනුපාතය වශයෙන් හඳුන්වමු.

තවත් ආකාරයකින් පවසන්නේ නම් එක් මුදල් ඒකකයක් තවත් මුදලක් බවට පරිවර්තනය කෙරෙන අනුපාතය විනිමය අනුපාතය යනුවෙන් හැඳින්විය හැක. ඔබ අන්තර්ජාලයට ගොස් යම් භාණ්ඩයක් පිළිබඳව සොයා බලන විට එහි මිල සඳහන් වන්නේ බොහෝ විට ඩොලර්වලින් නැතිනම් යුරෝවලිනි. එවිට ඔබ එය රුපියල්වලට පරිවර්තනය කර ගනී.

ඔබ විදෙස් රටකට යන්නේ නම්, ඔබට ඒ රටේ දී වියදම් කිරීමට එම රටට අදාළ මුදල් අවශ්‍ය වේ. එවිට ඔබට විදෙස් මුදල් අලෙවි කරන ආයතනයකින් එම මුදල් මිල දී ගැනීමට සිදු වේ. එහිදී ඔබට එම මුදල් වර්ගය ඒකකයක් මිලදී ගැනීම සඳහා ඔබගේ මුදල්වලින් ගෙවීමට සිදු වන ඒකක ගණන වශයෙන් ද විනිමය අනුපාතිකය හැඳින්විය හැකිය. ඔබ එක්සත් ජනපදයේ සංචාරයකට යන්නේ යැයි සිතමු. එවිට ඔබ ඔබ සතු රුපියල් ප‍්‍රමාණය මුදල් හුවමාරු කරන ආයතනයකට දී ඩොලර් මිලදී ගනී. එහි දී අපට ලැබෙන ඩොලර් ප‍්‍රමාණය ඩොලරයේ විකුණුම් මිල වශයෙන් ද හැඳින්වේ. ඔබ සංචාරය නිමා වී නැවත පැමිණෙන විට ඔබ අතේ ඉතිරිව ඇති ඩොලර් ප‍්‍රමාණය නැවත දී රුපියල් ලබා ගත හැක. එහි දී ලැබෙන මුදල ඩොලරයේ ගැනුම් මිල (ඩොලර් අපගෙ න් රැගෙන අපට දෙන රුපියල් ගණන) වශයෙන් හැඳින්වේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල (Buying Rate) අඩු අගයක් වන අතර ඩොලරයේ විකුණුම් මිල (Selling Rate) වැඩි අගයක් වේ. එම මිල දෙක අතර වෙනස මුදල් හුවමාරු කරන ආයතනයේ ලාභය වේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල අදාළ වන්නේ මුදල් හුවමාරු කරන ආයතනයටයි. රුපියලේ ගැනුම් මිල සහ විකුණුම් මිල වශයෙන් අදහස් කෙරෙන්නේ ද විනිමය අනුපාතිකයමය. මේ දිනවල ඩොලරයක වටිනාකම ශී‍්‍ර ලංකා රුපියල් 180.00ක් පමණ වේ.

$  1 =රු.180.00කි. මේ අනුව රුපියල් 01ක ඩොලර් වටිනාකම 0.00556 ක් පමණ වේ.

(මුදල් විකිණීම සහ මිල දී ගැනීම යන අදහස ඔබට තරමක් අපැහැදිලි විය හැක. අවශ්‍ය නම් මෙය ඩොලර්වලට රුපියල් හුවමාරු කර ගැනීම නැතිනම් රුපියල්වලට ඩොලර්, යෙන් හෝ යුරෝ ආදීය හුවමාරු කර ගැනීම යනුවෙන් පැවසිය හැක. වෙළෙඳාම යනු හුවමාරුවක් බවත්, මුදල් යනු හුවමාරුව සඳහා යොදා ගන්නා පොදු එකඟතාවයක් සහිත පොදු සමකයක් බවත් අපි දනිමු.)

විවිධ රටවල මුදල් විවිධ අගයන් ගන්නේ ඇයි?

ඉහත ප‍්‍රශ්නයම අපට විනිමය අනුපාත විවිධ වන්නේ සහ වෙනස් වන්නේ ඇයි යනුවෙන් ඇසිය හැකිය. නැතිනම් යම් රටක මුදලක් තවත් රටක මුදලක් සමඟ සැසැඳීමේ දී එකක් ඉහළින් සහ අනෙක පහළින් පිහිටන්නේ ඇයි යනුවෙන් ද ඇසිය හැක. එමෙන්ම ඒ අගයන් ද උච්චාවචනය වන්නේ ඇයි යන ප‍්‍රශ්නය ද අපට නිතැතින්ම ඇති වේ.

මේ ප‍්‍රශ්නය ආර්ථික විද්‍යාඥයෙකු වෙතින් විමසුවහොත්, ඔහු ක්‍ෂණික පිළිතුරක් දෙයි. ඒ සඳහා හේතු වන ප‍්‍රධාන කාරණය නම්, ව්‍යවහාර මුදල් සඳහා ඇති ඉල්ලූම සහ ආර්ථිකයේ මුදල් සැපයුම යනු එම පිළිතුරයි. මෙහි දී මුදල් සැපයුම යන්නෙන් අදහස් වන්නේ සංසරණයේ පවතින මුළු මුදලයි. යමක් සඳහා ඉල්ලූමක් ඇති වීමට නම් එහි යම් ද්‍රව්‍යමය වටිනාකමක් පැවතිය යුතුය. වර්තමානයේ අප අතර පවතින කාසි හා නෝට්ටු වෙනම ගත්විට ඒවායෙහි එවැනි වටිනාකමක් නොමැත. එසේ නම්, මුදල් සඳහා වටිනාකමක් ව්‍යුත්පන්න වන්නේ කෙසේ ද? එසේ වන්නේ එම මුදල් හුවමාරු කර ලබා ගත හැකි භාණ්ඩ හා සේවාවලින්ය.

භාණ්ඩ හා සේවා නිපදවීමෙන් තොරව මුදල් සඳහා කිසිදු වටිනාකමක් නොමැත. භාණ්ඩ හා සේවා යනු එම රටේ දළ දේශීය නිෂ්පාදිතයයි. (GDP) ඒ අනුව රටක දළ දේශීය නිෂ්පාදනය ඉහළ යන විට මුදලේ අගය ඉහළ යන අතර, දළ දේශීය නිෂ්පාදිතය පහළ යන විට මුදලේ අගය පහළ යයි. රටක දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රශස්ත වර්ධනයකින් තොරව මුදල් සැපයුම වැඩි වේ නම්, මුදල් විශාල ප‍්‍රමාණයක් භාණ්ඩ සුළු ප‍්‍රමාණයක් ලූහුබැඳීම නිසා මුදලෙහි වටිනාකම අඩු වේ. නැතිනම් භාණ්ඩ මිල ඉහළ යන බව ද පැවසිය හැක. එනම් මුදල් ඒකකයකින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප‍්‍රමාණය පහළ යයි. මෙය මුදලෙහි මූර්ත අගය පහළ යාමක් ලෙස ද හඳුන්වයි. දිගින් දිගටම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම, නැතිනම් මුදලෙහි මූර්ත අගය පහළ යාම උද්ධමනකාරී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. මෙය මුදලේ දේශීය අගය කඩාවැටීමක් ලෙස ද හැඳින්විය හැක. ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් ඇති විට රුපියල කඩාවැටේ. එය සිදු වන්නේ කෙසේ ද? රටක් වැඩි වැඩියෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් ඒවා අපනයනය කරන්නේ නම්, විදේශයන් හි ආනයනකරුවන් විසින් දේශීය අපනයනකරුවන්ට ගෙවිය යුතු වේ. ඒ සඳහා දේශීය මුදල් අවශ්‍ය වේ. ඒ අනුව දේශීය මුදල් සඳහා ඉල්ලූම වැඩි වේ. එවිට දේශීය මුදල්වල වටිනාකම ඉහළ යයි. අනෙක් අතට රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු නම්, ඒවා ආනයනය කිරීම සිදු වේ. එවිට දේශීය ආනයනකරුවන් විසින් විදේශයන්හි අපනයනකරුවන්ට ගෙවීමට සිදු වේ. එනම් විදේශ විනිමය සඳහා වන ඉල්ලූම වැඩි වේ. ආනයනකරුවන් දේශීය මුදල් විකිණීමෙන් සහ විදේශ විනිමය මිල දී ගැනීමෙන් පසු දේශීය මුදල් වටිනාකම අඩු වේ. කෙටියෙන් පවසන්නේ නම්, රටක් තම අපනයනයන්ට වඩා විශාල ප‍්‍රමාණයක් ආනයනයන් කරයි නම්, මුදලේ අගය පහළ යන අතර, ආනයනයන්ට වඩා විශාල ප‍්‍රමාණයක් අපනයනයන් කරයි නම්, මුදලේ අගය ඉහළ යයි. මේ ඉහළ යාම හෝ පහළ යාම දේශීය මුදලේ විදේශ අගය ඉහළ යාමක් ලෙස හෝ පහළ යාමක් ලෙස ද හැඳින්විය හැක.

විනිමය අනුපාතය මගින් ප‍්‍රකාශ කරන්නේ දේශීය මුදලේ විදේශ අගයයි.

නැවතත් ඉහත සියල්ල කැටි කර පැවසුවහොත්, රටක නිෂ්පාදනය වැඩි වන විට අපනයන වැඩි වේ. එවිට එරටෙහි දේශීය මුදල් සඳහා ඉල්ලූම වැඩි වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම මුදලෙහි විදේශ අගය ඉහළ යන අතර, මෙය විදේශ විනිමය අනුපාතය පහළ යාමකින් පෙන්නුම් කරයි. නැති නම් ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප‍්‍රමාණය අඩු වීමක් සිදු වේ. නිෂ්පාදනය අඩු වී ආනයන වැඩි වීමකින් මෙහි ප‍්‍රතිවිරෝධී කි‍්‍රයාවලිය සිදු වේ.

විමර්ශන

 

 

විනිමය අනුපාතය හා එහි කඩාවැටීම පිළිබඳ විමසා බැලීමක්