විදේශ විනිමය අනුපාත ක්‍රම

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

අද පවතින විදේශ විනිමය අනුපාත ක‍්‍රමය එකවරම පැමිණි එකක් නොවේ. එය ක‍්‍රමික විකාශනයක ප‍්‍රතිඵලයකි. එමෙන්ම එය තරමක් සංකීර්ණ විග‍්‍රහයන් දක්වා ගමන් කර ඇත. නම් වශයෙන් හැඳින්වුවහොත්, පහත ආකාරයේ විදේශ විනිමය අනුපාත ගණනය කරන ක‍්‍රම ගණනාවක් අපට හමු වේ.

  1. රන් මිනුම් ක‍්‍රමය
  2. රන් හුවමාරු මිනුම් ක‍්‍රමය
  3. නම්‍ය විනිමය අනුපාත ක‍්‍රමය
  4. ස්ථාවර විනිමය අනුපාත ක‍්‍රමය
  5. චල විනිමය අනුපාත ක‍්‍රමය
  6. පාලිත විනිමය අනුපාත ක‍්‍රමය
  7. නාමික සඵල විනිමය අනුපාත ක‍්‍රමය
  8. මූර්ත සඵල විනිමය අනුපාත ක‍්‍රමය
  9. මූර්ත විනිමය අනුපාත ක‍්‍රමය

යනු එවැනි විවිධ විදේශ විනිමය අනුපාතික ගණනය කරන විවිධ ක‍්‍රමයි. නමුත් අපි මෙහිදී මෙම සංකල්ප තේරුම් ගැනීම ආරම්භ කිරීම සඳහා වඩාත්ම අවශ්‍ය වන මූලික සංකල්ප කිහිපයක් පමණක් පැහැදිලි කර දෙන්නෙමු.

 

1. රන් මිනුම් ක‍්‍රමය (Gold Standard)

විදේශ වෙළෙඳාමේදීි ලෝකයේ මුලින්ම පැවැතියේ කෙළින්ම භාණ්ඩ හුවමාරු කර ගැනීමේ ක‍්‍රමයකි. විදේශ විනිමය හුවමාරු ක‍්‍රමයක් ලෙස ලෝකයේ මුලින්ම ප‍්‍රධාන වශයෙන් භාවිතා වූ ක‍්‍රමයක් ලෙස රන් මිනුම් ක‍්‍රමය හඳුන්වා දිය හැකිය. රන් මුදල් වශයෙන් භාවිතා කිරීමට වසර දහසක තරම් පැරැුණි ඉතිහාසයක් ඇත. රන් මිනුම් ක‍්‍රමයේම වර්ධිත අවස්ථාවක් ලෙස ”රන් බුලියන්” (Gold  Bullion)  නම් ක‍්‍රමයක් ඇති විය. මෙහි දී සිදු වන්නේ එක් එක් රටක් තම මුදල් ඒකකයක අඩංගු රත්තරන් ප‍්‍රමාණය කොපමණ ද යන්න කලින් ප‍්‍රකාශ කිරීමයි. මෙහි දී හුවමාරු වක කාසි හෝ නෝට්ටුවල රන් අඩංගු නොවේ. එහෙත්, එම මුදල් ඒකකයකට  ඕනෑම අවස්ථාවක කලින් නියම කරන ලද රන් ප‍්‍රමාණය ලබා දීමට එම රට බැඳී සිටී. එක් එක් මුදල් ඒකකයේ අඩංගු රන් ප‍්‍රමාණය වෙනස් නොවන බැවින්, මෙහි දී විදේශ විනිමය අනුපාතයන් ද ස්ථාවරව පැවැතිණි.

2. රන් හුවමාරු මිනුම් ක‍්‍රමය (Gold Exchange Standard)

රන් මිනුම් ක‍්‍රමයට පසු පැමිණියේ මෙම රන් හුවමාරු මිනුම් ක‍්‍රමය නම් විදේශ විනිමය අනුපාත ක‍්‍රමයයි. එහිදී සිදු වනුයේ, ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම රන්වලින් ප‍්‍රකාශ කිරීමයි. එවිට අනෙක් රටවල් තම මුදල්වල වටිනාකම ඩොලර්වලින් ප‍්‍රකාශයට පත් කරයි. ඒ අනුව  ඕනෑම රන් ප‍්‍රමාණයක් ඩොලර්වලට විකිණීමටත්,  ඕනෑම ඩොලර් ප‍්‍රමාණයක් සඳහා නියමිත රන් ප‍්‍රමාණය නිකුත් කිරීමටත් ඇමරිකා එක්සත් ජනපදය බැඳී සිටියේ ය. 1971 සිට ඇමරිකා එක්සත් ජනපදය ඩොලරය රන්වලට හුවමාරු කිරීම නතර කරන ලද අතර, 1973දී ලොව සෙසු රටවල් ද මෙම ක‍්‍රමයෙන් ඉවත් විය. නම්‍ය විදේශ විනිමය අනුපාතික ක‍්‍රමය අද භාවිතයට ගැනෙන්නේ මෙම විදේශ විනිමය අනුපාතික ක‍්‍රමයයි. 

3. නම්‍ය විදේශ විනිමය අනුපාත ක්‍රමය. 

අද භාවිතයට ගැනෙන්නේ මෙම විදේශ විනිමය අනුපාතික ක‍්‍රමයයි. නම්‍ය (Flexible) විදේශ විනිමය අනුපාතික ක‍්‍රමය සහ පාවෙන (Floating) විදේශ විනිමය අනුපාතික ක‍්‍රමය යනුවෙන් ද මෙය හැඳින්වේ. රුපියලට නැතහොත්, ඒ ඒ රට තුළ ඇති මුදල් ඒකකයකට ඇති ඉල්ලූම සහ මුදල් සැපයුම මත තීරණය වන විදේශ විනිමය අනුපාතිකය නම්‍ය නැතිනම් පාවෙන විනිමය අනුපාතිකය යනුවෙන් හැඳින්වේ. විදේශ රටවලින් ගෙන්වන භාණ්ඩ හා සේවා, විදේශ සංචාර, ආයෝජන සඳහා අප ගෙවිය යුත්තේ, විදේශ මුදල්වලිනි. ඒ ඩොලර් යැයි සිතුවහොත්, රුපියල් ඩොලර්වලට මාරු කිරීමෙන් ඩොලර් සඳහා ඉල්ලූම වැඩි වේ. එවිට ඩොලරයේ රුපියල් අගය ඉහළ යයි. අනෙක් අතට විදේශයන්ට භාණ්ඩ අපනයනය, විදේශ සංචාරකයන් පැමිණීම, විදේශ ආයෝජන පැමිණීම ආදිය නිසා රුපියල්වලට ඉල්ලූම වැඩි වන අතර, එවිට රුපියලේ අගය ඉහළ යයි.

4. පාලිත විනිමය අනුපාතික ක‍්‍රමය

නම්‍ය විනිමය අනුපාතික ක‍්‍රමය යටතේ විදේශ විනිමය ගලා යාම ද, ගලා ඒම ද පාලනය කිරීමට මූල්‍ය බලධාරීන්ට විවිධ කි‍්‍රයාමාර්ග හරහා හැකියාව තිබේ. මෑත ම උදාහරණය වන්නේ විදේශ විනිමය ඈදී යාම වැළැක්වීම සඳහා වාහන ආනයනයට සීමා පැනවීමය. නම්‍ය විනිමය අනුපාතිකයට මෙසේ මැදිහත් වීම මඟින් පාලිත විනිමය අනුපාතිකයක් ඇති වේ. නම්‍ය විදේශ විනිමය අනුපාතය පාලනය කිරීම සඳහා මහ බැංකුව කෙටිකාලීන වෙළෙඳපොළ මෙහෙයුම් සිදු කරයි. එනම්, අවශ්‍ය විට විදේශ විනිමය මිල දී ගැනීම හෝ විකිණීම මගිනි.

අද ලෝකයේ පවතින විනිමය අනුපාතික ක‍්‍රමයන් සහමුලින්ම නම්‍ය හෝ සහමුලින්ම පාලිත ඒවා නොවන අතර, එය පාලිතචල විනිමය අනුපාතික ක‍්‍රමයක් වශයෙන් හැඳින්විය හැක. 

2018-12-28 10_57_48-VIMARSHANA NOVEMBER - DECEMBER - 2018.pdf - Adobe Acrobat Reader DC
විනිමය අනුපාත තීරණය කරන ආකාරය විනිමය අනුපාත තීරණය කරන කාර්යය ඉටු කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව යටතේය. එම අංශයේ ප‍්‍රධාන වගකීම අධ්‍යක්‍ෂවරයෙකුට හා අතිරේක අධ්‍යක්‍ෂවරු දෙදෙනෙකු යටතට පත්වේ. විනිමය අනුපාත තීරණය කිරීම සඳහා දිනක් තුළ ලංකාවේ ලියාපදිංචි වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගනුදෙනු වූ විදේශ මුදල් පරිගණක ජාලය මගින් ගනුදෙනු සිදු වූ අවස්ථාවේ දීම යාවත්කාලීන වේ. එම යාවත්කාලීන වන ගනුදෙනු (විදේශ විනිමය ගැනුම් සහ විකිණුම්) දිනය අවසානයේ පරිගණක පද්ධතිය ඔස්සේ එක්රැස් කර ඉහත දෙපාර්තමේන්තුව යටතේ පරිගණක ආශ‍්‍රයෙන් ගණනය කිරීම් කරනු ලැබේ. ඒ අනුව ඊට පසු දින මහ බැංකුව මගින් ප‍්‍රකාශයට පත් කරන අනුපාතය සැබැවින්ම කලින් දින ගනුදෙනු හරහා ගණනය කරන ලද අනුපාතයකි. මෙම ගණනය සඳහා පුද්ගලයන් අත ඉතිරි වී ඇති හෝ විදෙස් රටවල සිට පැමිණෙන විට රැගෙන එන විදෙස් මුදල් අයත් නොවන අතර, ඒවා බැංකු පද්ධතිය තුළට පැමිණි පසු පමණක් අදාළ වේ. බලය ලත් මුදල් හුවමාරු ආයතනවල ගනුදෙනු ද වාණිජ බැංකු ගනුදෙනු යටතේ සටහන් වේ. අනෙකුත් ගනුදෙනු සුළු වශයෙන් සිදු වුව ද, ඒවා අනුපාතය තීරණය කිරීමට ප‍්‍රමාණවත් ගනුදෙනු නොවේ. විදෙස් රටවලට වෙනත් නීත්‍යනුකූල නොවන ක‍්‍රමවේදයන් හරහා මුදල් යැවීම වැනි ක‍්‍රියාමාර්ග මේ සඳහා උදාහරණ වේ.

 

විදේශ විනිමය අනුපාත ක්‍රම