“ලංකාවේ ජාතික ගැටළුව”, මුල-මැද-අග

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මානව ප්‍රජාවේ විකාශනය

හැඳින්වීම

ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන ජන කොටස් ජීවත් වන බහුජාතික පසුගාමී ධනේශ්වර රාජ්‍යයකි. දශක තුනකටත් වඩා කාලයක් පැවතුණු සිවිල් යුද වටාපිටාව හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ ජන සමාජයේ විනාශ වූ ජීවිත හා දේපොළ ප්‍රමාණය අතිමහත් ය. යුද්ධය අවසන් වීමෙන් පසු ජාතික ප්‍රශ්නය අරභයා විශාල ව්‍යාකුල, සංකීර්ණ වටාපිටාවක් නිර්මාණය කොට ඇත. ඒ අතරම ධනේශ්වර, සුළු ධනේශ්වර හා වාමාංශික යැයි කියා ගන්නා කොටස් විසින් ජාතික ප්‍රශ්නය අරභයා දක්වන නිර්මාක්ස්වාදී හා අවිද්‍යාත්මක මතවාදයන් පදනම් කර ගනිමින් ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ මතවාදී ව්‍යාකූලත්වයක් ද නිර්මාණය කර ඇත. ලංකාවේ නිර්ධන පන්ති ව්‍යාපාරයට ජාතික ප්‍රශ්නය සම්බන්ධව වඩාත් පූර්ණ, විද්‍යාත්මක විග්‍රහයක අවශ්‍යතාවක් ඇත.

මාක්ස්වාදීන් වන අප මේ සඳහා විද්‍යාත්මක විධික්‍රමයක් භාවිත කළ යුතුයි. ඕනෑ ම ගැටලුවක් වටහා ගැනීමේ මාක්ස්වාදී විද්‍යාත්මක ක්‍රමය වන්නේ, එය ඓතිහාසිකව, විෂය මූලික සහ  සංයුක්තව විමසා බැලීම ය.

මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාරයන්ගේ විකාශනය

ජාතික ගැටලුව හැදෑරීමේ දී එය තුළ විමසුමට ලක් කෙරෙන ජාතිකත්වය හා ජාතිය වැනි යෙදුම් සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම වැදගත් වේ. ඒ නිසා ඉතිහාසය තුළ මානව ප්‍රජාව සංවිධානය වූ ආකාර පිළිබඳව කෙටියෙන් හෝ හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවැනි ආකාර කිහිපයක් හඳුනා ගත හැකිය. ගණය හා ගෝත්‍රය, ජාතිකත්වය සහ ජාතිය වශයෙනි.

ගණය හා ගෝත්‍රය

මානව පරිණාමයේ දී විවිධ මානව වර්ග බිහි වූ අතර ඔවුන්ගෙන් හෝමෝ සේපියන් හැර අනෙකුත් කණ්ඩායම් පාරිසරික අභියෝග හමුවේ වඳ වී ගොස් ඇත. හෝමෝ සේපියන් මානවයා මිහිමත නිර්මාණය වී දැනට වසර ලක්‍ෂ 02ක් පමණ බව සැලකෙයි. මුලින්ම අප්‍රිකා මහාද්වීපයේ මධ්‍ය ප්‍රදේශයෙන් ආරම්භ වී වසර 70,000කට පෙර කාලය දක්වා අප්‍රිකානු ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබේ. පසුව ලොව පුරාම රංචු වශයෙන් සංක්‍රමණය වී ඇත. මෙහි දී ඔවුන් ලේ ඥාති කණ්ඩායම් වීමත්, මාතෘ මූලික පදනමක් පැවතීමත් සුවිශේෂී ය. එක් එක් ප්‍රදේශවල දී බලපෑ භූගෝලීය හා දේශගුණික සාධක නිසා ද, ඔවුන් භාවිත කළ මෙවලම් අනුව ද මේ එක් එක් ප්‍රජාවන්ට අදාළ අනන්‍යතාවන් ගොඩ නැඟිණි.

 “මිනිසා බිහි වීමත් සමඟ නිර්මාණය වූ ප්‍රාථමික සාමුහික සමාජයට අනුරූපී මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාරය ගණය හා ගෝත්‍රයයි. පොදු සම්භවයක්, භාෂාවක්, සිරිත් විරිත්, ඇදහිලි හා එදිනෙදා ජීවිතයේ හා සංස්කෘතියේ පොදු ලක්ෂණවලින් යුත් හා ප්‍රාථමික නිෂ්පාදන සමාජ හා මානව වර්ග කණ්ඩායමක් වූ ද, එහි සියලුම වැඩකටයුතුවල දී ලේ නෑකම මෙන් ම නිෂ්පාදන සම්බන්ධතාවන් ද ප්‍රාථමික වැඩ කොටසක් ඉටු කළා වූ කණ්ඩායමක් වූ ද, පොදු වාස භූමි හා  පොදු දඩ බිම් සහිත කණ්ඩායමක් වූ ද ගණයේ ආර්ථික පදනම වූයේ ප්‍රාථමික පොදු දේපළ ක්‍රමයකි.”

මාක්ස් ලෙනින්වාදී දර්ශනයේ මූලයෝ – මොස්කව්

නිෂ්පාදනයේ පැවැති අඩු දියුණු හා ප්‍රාථමික ස්වරූපය නිසා කණ්ඩායම් ලෙස සාමුහිකව පැවතීම එකල අනිවාර්යය විය. පෞද්ගලික දේපළ හා පංතීන්ගෙන් තොරව ගණය තුළ සියල්ල තීරණය වූයේ සාමුහික ශ්‍රමය මත ය. නිෂ්පාදනය සංවර්ධනය වීමත් සමඟ මාතෘ මූලික ගණ  කීපයක් සහෝදර සංගම් තුළට ඒකරාශී වීමෙන් ගෝත්‍ර සෑදිණි. ගණය, ගෝත්‍රය තුළ ස්වාධීන නිෂ්පාදන ඒකකයක් වශයෙන් පැවතුණු අතර ගණයේ දේපළ මෙන් ම ගෝත්‍රයේ දේපළ ද එක විටම පවතින්නට විය. එකල නිෂ්පාදනය යනු සොබාදහම විසින් නිර්මාණය කළ දේ යළි සකස් කිරීම හා ඒ සඳහා මෙවලම් සෑදීමයි. නව ශිලා යුගයේ දී සත්ව පාලනය හා කෘෂිකර්මාන්තය අතර ප්‍රධාන ශ්‍රම බෙදීම හට ගැනීමත්, ඊට සමාන්තරව පෞද්ගලික දේපළ බිහි වීම හා වර්ධනය වීමත් සිදු විය. එසේම ගෝත්‍රය තුළ වංශ බිහි වී වංශ තුළ කාන්තාව සතු වැදගත්කම පහත වැටීමත්, පිරිමියා සමාජයේ ප්‍රධාන නිෂ්පාදන බලය බවට පත්වීමත්, සිදු විය. මෙහි දී දේපළ හිමි කර ගැනීමේ ප්‍රශ්නය පදනම් වී ප්‍රාථමික සාමුහික සමාජය බිඳී විසිරී ගොස් ආසියාතික හෝ වහල් සමාජ ක්‍රම කරළි ගත විය.

ජාතිකත්වය     

ආසියාතික, වහල් හා වැඩවසම් සමාජ ආර්ථික හැඩගැසුම් තුළ පැවැති නිෂ්පාදන රටාවට අනුරූපී මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාරය වූයේ ජාතිකත්වයයි.

 “මානව ප්‍රජාවගේ මේ නව ආකාරයට පදනම වූයේ ලේ ඥාතීත්වය හෝ ජනනික සම්බන්ධකම් නොවේ. නිෂ්පාදන සබඳතා මත පදනම් වූ මෙම ආකාරය වඩා පුළුල් විය. සමාජ ශ්‍රම විභජනය ඇරඹීමත්, හුවමාරු සබඳතාවයන් පැවැත්මට ඒමත්, අසමාන දේපළ සම්බන්ධතාවනුත් හේතු කොට ගෙන ගණය හා ගෝත්‍රයට මානව ප්‍රජාවේ නව ආකාරයකට ඉඩ දී අභාවයට යාමට සිදු විය. “එක භූමි ප්‍රදේශයක වාසය කරන්නා වූත්, පොදු භාෂාවකින්, මානසිකත්වයකින්, සංස්කෘතික ගති ලක්‍ෂණවලින් සහ ඔවුන්ගේ සිරිත් විරිත්, සදාචාරයන් හා සම්ප්‍රදායයන් මඟින් ප්‍රකාශිත ජිවන ආකාරයන්ගෙන් බැඳුණා වූත් ඓතිහාසික ප්‍රජාවක් ලෙස ජාතිකත්වය හඳුනා ගත හැකි ය.”

මාක්ස් – ලෙනින්වාදී දර්ශනයේ මූලයෝ- මොස්කව්

එසේම පීතෘ මූලික යැපීම් ආර්ථිකය පසු කලෙක වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනයට මඟ පෑදීමත් සමඟ ධනේශ්වර සම්බන්ධතාවන් බිහි විය. එය ජාතිකත්වයන් අතර ආර්ථික හුදෙකලාභාවයන් අහෝසි කරමින්, එක් ජාතිකත්වයක් හා වෙනත් ජාතිකත්වයන් අතර බැඳීම පොදු ආර්ථික දේහයකින් ශක්තිමත් කළේය. මෙසේ ජනතාව වඩා ස්ථාවර ආර්ථික ප්‍රජාවක් තුළට රැගෙන ඒමත් සමඟ ජාතිකත්වය අහෝසි විය.

ජාතිය

ජාතිය යනු ධනේශ්වර ආර්ථික හැඩ ගැස්ම සමඟ පැවැත්මට එන මානව ප්‍රජාවේ පුළුල්තම ආකාරයයි.  ධනවාදය තුළ ජාතීන්ගේ  සම්භවය මාක්ස් හා එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් කළේ මෙසේය:

අහෝසි කරලීමෙහි ධනපති පන්තිය යෙදී සිටී. එය ජනගහනය රාශීභූත කළේ ය. නිෂ්පාදන මාධ්‍යයන් මධ්‍යගත කළේ ය. දේපළ අයිතිය ටික දෙනකු  අත සංකේන්ද්‍රණය කළේ ය. මෙහි අත්‍යවශ්‍ය ප්‍රතිඵලය වූයේ දේශපාලන මධ්‍යගතකරණය යි. ස්වාධීන හෝ ලිහිල් ලෙස සම්බන්ධව පැවැති වෙනස් වුවමනාවන් සහිත වූ ද නීති, ආණ්ඩුව හා අය බදු පද්ධතිවලින් යුක්ත වූ ද ප්‍රදේශ, එකම ආණ්ඩුවක් ද, එකම නීති සංග්‍රහයක් ද, එකම ජාතික පන්ති වුවමනාවක් ද, එකම දේශ සීමාවක් සහ එකම තීරු බදු ක්‍රමයක් ද සහිත එකම ජාතියක් තුළට ඒකරාශී කරන ලදී.”

 “මේ අනුව ජාතියක් යනු පොදු භාෂාවකින්, පොදු භූමියකින්, ආර්ථික ජීවිතයේ ප්‍රජාවකින් හා වෙනත් ජනතාවන්ගේ සංස්කෘතියෙන් වෙනස් වන්නා වූ එම ජනතාවගේ විශේෂිත සංස්කෘතික ලක්‍ෂණවලින් ප්‍රකාශිත මනෝවිද්‍යාවේ ඇතැම් විශේෂත්වයන් මඟින් එකට බැඳුණු ජනතාවගේ ස්ථාවර ප්‍රජාවක් ලෙස හඳුනා ගත හැකි ය.”

මාක්ස් – ලෙනින්වාදී දර්ශනයේ මූලයෝ-මොස්කව්

තවද, ධනේශ්වර නිෂ්පාදන සබඳතාවන් තුළ පමණක් පැවැත්මට එන මානව ප්‍රජාවේ පුළුල්තම ආකාරය වූ ජාතිය ජාතිකත්වයෙන් වෙනස් වන්නේ ඊට පොදු ආර්ථික දේහයක් පැවැතීමෙනි. ධනේශ්වර නිෂ්පාදන සබඳතා මත මධ්‍යගත කරනු ලැබ ස්වාධීන කරනු ලැබු ජාතියක් තුළ මෙසේ පොදු ආර්ථික ජීවිතයක් ද ගොඩනැංවේ.

ස්වීකරණය භාෂාමය උදාහරණ ඇසුරින්

ගණ, ගෝත්‍ර, ජාතිකත්ව වැනි මානව ප්‍රජාවේ ආකාරයන්ගේ අනන්‍ය ලක්‍ෂණ අතර භාෂාව ද එකකි. භාෂාව වෙන් කර හඳුනා ගත හැකි නිසාත්, ඒ පිළිබඳ සංගණනයන් සිදු කෙරී ඇති නිසාත් එහි විකාශනය ප්‍රමාණාත්මක ලෙස අධ්‍යයනය කළ හැකි ය. මේ වන විට ලොව පැවැති භාෂා 30,000ක් පමණ භාවිතයෙන් ඉවත් වී ඇත. දැනට සාමාන්‍යයෙන් වසරකට භාෂා 10ක් පමණ අභාවයට යයි. එනම්, ඒවා බහුතර පොදු භාෂා වෙතට ස්වීකරණය වෙයි. දැනට පවතින භාෂා 6,000න් භාෂා 5,000ක් පමණ භාවිත කරන්නේ ලොව මුළු ජනගහනයෙන් 05%ක් පමණි.

පහත සටහන් බලන්න.

ලංකාව බහුජාතික රාජ්‍යයක් ලෙස හඳුනා ගැනීම

ලංකාව තුළින් හමු වන පුරාවිද්‍යා සාක්ෂි අනුව වසර දසදහස් ගණන්වලින් එපිටත් මානවයා ජීවත් වූ බව තහවුරු කෙරේ. පාහියන්ගල, බටදොඹ ලෙන, කූරගල, බෙල්ලන් බැඳි පැලැස්ස, පල්ලෙ මළල, පොතාන, මිනිහාගල්කන්ද හා බූන්දල ආදී ස්ථානවලින් මෙම සාක්ෂි හමුව ඇත. මෙයින් මිනිහාගල්කන්ද හා බූන්දලින් ලැබෙන සාක්ෂි පැරැණිම ඒවා වන අතර, ඒවා මීට වසර 1,25,000ක් පමණ පැරැණි බව සොයාගෙන ඇත. මෙසේ රට තුළ පැවැතගෙන ආ ස්වදේශික ජන කොටස් බාහිරින්, විශේෂයෙන් අසල්වැසි ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ජනකොටස් සමඟ ස්වීකරණය වෙමින් වර්තමාන ජනසංයුතිය නිර්මාණය වී ඇත.                

සිංහල ජාතිකත්වයේ විකාශනය

ක්‍රිස්තු පූර්ව 20වැනි හා 10වැනි සියවස් අතර කාලයේ දී, ඉන්දියානු උපමහාද්වීපයට වයඹ ප්‍රදේශය හරහා සංක්‍රමණය වු ආක්‍රමණශීලී, පීතෘමූලික ඉන්දු-යුරෝපීය ගෝත්‍ර හරහා ඉන්දියාවේ, පකිස්ථානයේ  හා බංග්ලාදේශයේ වර්තමාන ශිෂ්ටාචාරයන්ට අත්තිවාරම වැටුණු බව ඉතිහාසය පෙන්වා දෙයි. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ තහවුරුව සිටි ආසියාතික, සමාජ ආර්ථික රටාවකට හිමිකම් පෑ මේ ජනකොටස්වල ඉදිරි ගමනත් සමඟ ලංකාවේ ද ජනාවාස බිහිවීම සිදු වී ඇත. ලංකාවේ ස්වදේශිකයන් යටපත් කරමින්, පරාජය කරමින් විටෙක විනාශ කරමින් හා සම්මිශ්‍රණය වෙමින් ලංකාවේ ජනාවාස බිහි වී ඇත. මීට සමාන්තරව සිංහල භාෂාව නිර්මාණය වීම හා බුද්ධාගම භාවිතයට පැමිණීමත් සමඟ සිංහල ජාතිකත්වයේ විකාශනය ඇරඹුණු බව පෙනේ. සංස්කෘත භාෂාවෙන් බිඳී ආ එළු අපභ්‍රංශය නැවත ලංකාව තුළ ප්‍රාදේශීයකරණය වීමෙන් සිංහල භාෂාව නිර්මාණය වූ බවත්, ඉන්දියාවෙන් ආගමනය වූ බුද්ධාගම, සමඟ පැමිණි සංස්කෘතික බලපෑම සිංහල ජාතිකත්වයේ ප්‍රගමනයක් ඇති කළ බවත්, පෙනී යයි. ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල ඉන්දියාවේ උතුරින් හා දකුණින් නැවියන්, වෙළෙඳුන්, සංක්‍රමණිකයන්, ශිල්පීන් හා සෙබළුන් ලෙස පැමිණි විවිධ ජනකොටස් ස්වීකරණය වීමෙන්  පෝෂණය ලබමින් සියවස් 25ක් පමණ දීර්ඝ කාලයක් තිස්සේ විකාශනය වීමෙන් සිංහල ජාතිකත්වය නිර්මාණය වී ඇත.

දෙමළ ජාතිකත්වයේ විකාශනය

ලංකාවේ සිංහල ජාතිකත්වය මෙන්ම දෙමළ ජාතිකත්වය නිර්මාණය වූයේ  ද ඉන්දියාවේ සිට පැමිණි ජන කොටස්වලිනි. උතුරු ඉන්දියාවේ ඉන්දු යුරෝපීය සම්භවයක් සහිත ජාතිකත්වයන්ගෙන් සැදුම්ලත් රාජ්‍යයක් බිහි වූ  අතර දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ සම්භවයක් සහිත ජාතිකත්වයන්ගෙන් යුත් රාජ්‍යයක් බිහි විය. ඉතිහාසය තුළ දකුණු ඉන්දියාවේ වඩාත් බලවත් වූ රාජ්‍යය ලෙස සැලැකෙන්නේ චෝල අධිරාජ්‍යය වන අතර එවකට ලංකාව කෙරේ ද එහි බලපෑම දැඩිව පැවැතිණි.

ලංකාවේ දෙමළ ජාතිකත්වයේ බිහි වීම ප්‍රධාන වශයෙන් සිදු වන්නේ දකුණු ඉන්දියාව තුළ බලවත් වූ ද්‍රවිඩ රාජ්‍යයන් ලංකාව ආක්‍රමණය කොට එහි සමහර ප්‍රදේශ යටත් කර ගැනීම හරහාය. 1 වැනි රාජරාජ යටතේ ලංකාවේ රජරට, චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් ලෙසට ‘මුම්මුඩ චෝල මණ්ඩලම්’ යනුවෙන් ඈඳාගන්නා ලදී. එසේම ඔහුගේ පුත් පළමුවන රාජේන්ද්‍ර (ක්‍රි.ව.1014-1044) විසින් ලංකාවේ වැඩි ප්‍රදේශයක් චෝල අධිරාජ්‍යයට ඈඳාගෙන එය “ඊලාම් මණ්ඩලම්” නමින් චෝල අධිරාජ්‍යයේ 9වන ප්‍රාන්තය ලෙසට පත් කළ බව ඉතිහාසය පෙන්වා දෙයි. ආක්‍රමණිකයන් ලෙස පැමිණ පදිංචි වීමෙන්, ලංකාවේ රජවරුන්ගේ කුලී හමුදා ලෙස බඳවා ගැනීමෙන් (වෙල්ලයක්කාර් හමුදා හා අගම්පඩි සේනා ගෙන්වීම), වෙළෙඳාම සඳහා පැමිණීමෙන්, ලාංකීය රජවරුන් දකුණු ඉන්දියානු කුමරියන් සරණ පාවා ගැනීමෙන් ආදී බොහෝ ක්‍රම හරහා ලංකාවේ ස්වදේශිකයන් යටපත් කරමින් හා සම්මිශ්‍රණය වෙමින් මෙරට තුළ තහවුරු වී ඇත.

එසේම බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් සිය යටත්විජිත වතුකරයේ ශ්‍රම හමුදා ලෙස ඉන්දියානු කම්කරුවන් රැගෙන ඒම මඟින් වතුකරයේ දෙමළ ජනාවාස ආරම්භ විය. 1823 සිට මෙසේ වරින්වර දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පා ගමනින් මෙම ජනයා ගෙනඑනු ලැබූ අතර මෙම ගමන කොතෙක් දුෂ්කර වූයේද යත් පැමිණි අයගෙන් විශාල පිරිසක් ලෙඩ රෝග හා විවිධ ගැටලු නිසා මියගිය බව සඳහන් වේ. මූලික මිනිස් අයිතීන් පවා නිසිලෙස ලබා නොදීම නිසා යටත්විජිත සමය හා ඉන් පසුවත් මෙම කඳුකර දෙමළ ජනතාව දුෂ්කරතාවලට මුහුණපා සිටිති.

මුස්ලිම් ජාතිකත්වයේ විකාශනය

පෘතුගීසීන් ඉන්දියන් සාගරයට සමීප වන විට ඉන්දියන් සාගරයේ වෙළෙඳ ආධිපත්‍යය හිමිකරගෙන සිටියේ මුස්ලිම්වරුන් ය. මොවුහු ඉන්දියාවේ මලබාරයේ පදිංචිව සිටියහ. 13වන සියවසේ පටන් ඉන්දු – ලංකා වෙළෙඳාම පැවැතියේ මූලිකවම මොවුන් අත ය. පෘතුගීසීන් ලංකාවට ගොඩබසින විට කොළඹ නගරය මූලිකවම මුස්ලිම් ජනාවාසයක් විය. නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශයේ දී පෘතුගීසීන් හා ලන්දේසීන් ගැටීම හේතුකොටගෙන එම ප්‍රදේශවලින් ඉවත් වීමට සිදු වුවත්, ඔවුහු කන්ද උඩරට රාජධානියට අයත් නැඟෙනහිර වෙරළෙහි පදිංචි වූහ. වර්තමානයේ දීත් මුස්ලිම්වරු නැඟෙනහිර වෙරළබඩත්, බටහිර වෙරළබඩත්, ප්‍රධාන නගරවලත් රාශිභූත වී සිටිති. මොවුන් මලබාරයේ සිට පැමිණි නිසා කතා කරන්නේ දෙමළ භාෂාව ය. නමුත්, මෙය අරාබි බලපෑමට හසු වී යම් පමණකට ප්‍රාදේශීයකරණය වූවකි. මෙය තමිල්නාඩුවේ හෝ වතුකරයේ හෝ යාපනයේ හෝ කතා කරන දෙමළ උච්චාරණයට වඩා වෙනස් වූවකි. ඉස්ලාම් ආගම ඇදහීම හා වෙළුණු සමාජ, සංස්කෘතික ජීවිතය හේතුකොටගෙන මොවුහූ දෙමළ ජාතිකත්වයෙන් මූලික වශයෙන් වෙනස් වෙති.

පසු කලෙක දී දිගින්දිගටම දකුණු ඉන්දියාවෙන් ලංකාවේ උතුරු ප්‍රදේශයට එල්ල වූ බොහෝ ආක්‍රමණ හේතුවෙන් ක්‍රමානුකූලව ලාංකීය සමාජ සංවිධානය බිඳවැටුණු අතරල විශේෂයෙන්ම සිංහල හා දෙමළ ජාතිකත්වය දෙපසට ඇදී ගිය බව පෙනේ. ඓතිහාසික කරුණුවලට අනුව 15වන සියවසේ පටන් මෙසේ වෙන්ව පැවැතීමට අදාළ වටාපිටාව නිර්මාණය වූ බව පෙනේ. පෘතුගීසි පාලන කාලය තුළ කෝට්ටේ, යාපනය හා කන්ද උඩරට මූලික කර ගත් රාජධානි පැවැති බවට ඓතිහාසික කරුණු ප්‍රමාණවත් තරම් තිබේ. මෙලෙස මූලික වශයෙන් ප්‍රභව තුනකින් යුත්, සංස්කෘතික පදනම් තුනකින් යුත්, වෙනස් භාෂා කතා කරන, වෙනස් ජනප්‍රජාවන් තුනක් ප්‍රධාන වශයෙන් වාසය කිරීම නිසා ලංකාවේ බහුජාතික රාජ්‍යයක් නිර්මාණය වීමට අදාළ විෂයමුල පදනම සකස් වී ඇත.

ලංකාවේ ධනේශ්වර සංවර්ධනයේ ස්වරූපය හා බහුජාතික රාජ්‍යයක් වශයෙන් දිගටම පැවැතීම

මෙසේ දිගින් දිගටම ජාතිකත්වයන් යම් පමණකට හුදෙකලාව පැවැතීමේ විෂයමූල පදනමක් ගොඩනැඟෙමින් හා වර්ධනය වෙමින් පැවැති අතර, ලංකාවේ  ධනපති ක්‍රමය බිහි වීමට තරම් අභ්‍යන්තරික සමාජමය ප්‍රතිවිරෝධයන් මුහුකුරා නොතිබූ වකවානුවක ආසියාතික සමාජ, ආර්ථික හැඩගැස්මක් තුළ පැවතියා වූ ලාංකීය සමාජය මත බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලනික හා ආර්ථික වුවමනාවන්වල බලපෑම හේතුකොටගෙන ධනපති ක්‍රමය උත්තරාරෝපණය විය.

මෙසේ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ආසියාතික නිෂ්පාදන රටාව පලවාහරිමින් ධනපති ක්‍රමය තහවුරු කිරීමත් සමඟ ධනේශ්වර නිෂ්පාදන සබඳතාවන් ඔස්සේ මධ්‍යගත රාජ්‍යයක් බිහි වීමට අවශ්‍ය පදනම සැකැසිණි. එහෙත්, ජාතිකත්වයන් ස්වීකරණය වීමෙන් එක් ජාතියක් නිර්මාණය වෙනවා වෙනුවට ස්වීකරණය නොවූ ජාතිකත්වයන් කිහිපයකින් සමන්විත බහුජාතික රාජ්‍යයක් නිර්මාණය වීම සිදු විය.

ලාංකීය පසුගාමී ධනපති ක්‍රමය තුළ ජාතික ගැටලුව වර්ධනය වූ අයුරු

උත්තරාරෝපිත ලාංකීය ධනේශ්වර ක්‍රමය එහි උපතේ පටන්ම පසුගාමී ස්වභාවයක් ගන්නා ලද අතරම, වෙනත් බොහෝ සමාජ, ආර්ථික ගැටලු උත්සන්න කිරීමට එම සමාජ තත්ත්වය බලපෑ අයුරින්ම, ජාතික ගැටලුව අද පවතින සංකීර්ණ තත්ත්වයට පත් කිරීම සඳහා ද බෙහෙවින් හේතුපාදක වී ඇත. අනෙක් අතට ලාංකීය ධනේශ්වර සංවර්ධනය පළමුව යටත්විජිත වකවානුව තුළත් පසුව නව යටත්විජිත වකවානුව තුළත්, විකාශනය වී ඇති අතර, ජාතික ගැටලුවේ වර්ධනය එම විකාශනයන්ට සමාන්තරව විමසා බැලිය යුතු ය.

බ්‍රිතාන්‍යය පාලන සමය තුළ ජාතිකත්වයන් බෙදා වෙන් කර පාලනය කිරීම

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලය තුළ ද ජාතිකත්වයන් අතර ස්වීකරණය වීමක් සිදු නොවී ය. ජාතිකත්වයන් අතර මිත්‍රත්වය, සමඟිය, ස්වීකරණය යටත්විජිත ආණ්ඩුවට සහ එහි පැවැත්ම සඳහා හිතකර දෙයක් නොවීම නිසා එක් පැත්තකින් ජාතික වෙළෙඳපොළක් නිර්මාණය කරමින්, ජාතික රාජ්‍යයකට අත්තිවාරම දමමින් මුළුමහත් දිවයිනම එකම ධජයක්, එකම නීතියක්, එකම පාලනයක් යටතට ගෙන ආ අධිරාජ්‍යවාදී ධනපති පන්තිය අනෙක් අතට ජාතිකත්වයන් ස්වීකරණය නොවන තැනට කටයුතු සම්පාදනය කළ අතර, ජාතිකත්වයන් අතර වෙනස්කම්, අසමගිය හා සතුරු භාවයන් රැකෙන අයුරින් හා වැඩෙන අයුරින් කටයුතු කළහ.

ඉංග්‍රීසි භාෂාව පොදු භාෂාවක් බවට පත් කර ජාතිකත්වයන් අතර පවතින භාෂාමය වෙනස්කම් අහෝසි වන්නට ඉඩ හරිනවා වෙනුවට එය පරිපාලන භාෂාවක් ලෙසට පමණක් සීමා කිරීමත්, ව්‍යවස්ථාදායක මණ්ඩලවලට නියෝජිතයන් පත් කර ගැනීම, යටත්විජිත ආණ්ඩුවලට නිලධාරීන් හා කම්කරුවන් බඳවා ගැනීම අධ්‍යාපන ප්‍රතිපත්තීන් සැකසීම යන සෑම කාරණාවක දීම ජාතිකත්ව පදනම ඒ සඳහා දිගින්දිගටම යොදා ගන්නා ලදී.

මෙකී කාරණා තව දුරටත් සැලැකිල්ලට ලක් කරනුයේ නම්, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් සිය යටත්විජිතය හැර යන මොහොත වන විට මෙරට ඉංග්‍රීසි භාෂාව දත් අයගේ ප්‍රමාණය 10%ක් පමණ විය. 1910දී ඇති කළ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් පත් කිරීමේ මැකලම් ප්‍රතිසංස්කරණයේ දී පත් කළ මන්ත්‍රීන් 21 දෙනාගෙන් 11 දෙනකු නිල බලයෙන් පත් කළ අතර, නිල නොලත් ඉතිරි පිරිස අතුරින් 6 දෙනකු පහත රට සිංහල 02 දෙනකු ද, (හලාගම 1, කරාව 1), උඩරට සිංහල 1 කෙනකු ද, ලාංකීය ද්‍රවිඩ 2 දෙනකු ද, මුස්ලිම් එක් අයකු ද වශයෙන් පත් කළ අතර, ඉතිරි හතර දෙනා යුරෝපීය දෙදෙනෙක්, බර්ගර් එක්කෙනෙක්, උගත් ලාංකිකයන් එක් අයකු ද වශයෙන් ඡන්දයෙන් පත් කර ගන්නා ලදී.

මෙලෙස ජාතිකත්වයන් අතර සතුරුභාවය වර්ධනය වන අයුරින් කටයුතු කළා පමණක් නොව එකම ජාතිකත්වය තුළ පවා කුල සහ වෙනත් ප්‍රාදේශීය බෙදීම් හරහා අසමගිය වර්ධනය වන අයුරින් ඔවුහු සැලැසුම්සහගතව කටයුතු කළහ.

යටත්විජිත උපායමාර්ගය හමුවේ ලාංකීය ජාතික ව්‍යාපාරය දුර්වල වීම හා ධනපති පන්තියේ සිංහල ජාතිවාදය හා දෙමළ ජාතිවාදය

ලංකාවේ ජාතික ව්‍යාපාරයේ ආරම්භයේ දී සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් එක්ව කටයුතු කරනු දක්නට තිබිණි. විශේෂයෙන් පොන්නම්බලම් අරුණාචලම්, සිද්ධි ලෙබ්බේ වැනි අය කැපීපෙනිණි. එහෙත්, පසුව මෙම පොදු හැඟීම අභිබවමින් ජාතිකත්ව මානසිකත්වයක් වර්ධනය වූ බව පෙනේ. එනිසා ලංකාවේ ජාතික ව්‍යාපාරය ඉක්මනින්ම ජාතික ව්‍යාපාරයක පොදු ශක්‍යතාවෙන් මිදුණා වූත්, ජාතිකත්වයන් එකතැන් කරනවා වෙනුවට ඒවා අතර අසමගිය වර්ධනය කරන්නා වූත්, පොදු ජාතික මානසිකත්වයක් ගොඩනඟනවා වෙනුවට පටු පාර්ශ්වීය ජාතිකත්ව හා වෙනත් වුවමනාවන් තුළට ජනතාව ඇදදමනු ලැබුවා වූත්, පසුගාමී ලක්‍ෂණයන්ගෙන් යුක්ත විය. ලංකාවේ ජාතික ව්‍යාපාරයේ බෙදී යාම සිදු වූයේ මෙසේ ය:

  • 1917 මැයි මාසයේ දී ‘ලංකා ප්‍රතිසංස්කරණ සංගමය’ පිහිටුවීම. (ලංකාවේ ජාතික ව්‍යාපාරය දේශපාලන අරමුණක් සහිතව කලඑළි බැසීම).
  • 1919 දෙසැම්බර් 11 ‘ලංකා ජාතික සංගමය’ පිහිටුවීම.
  • 1921 අගෝස්තූ 16 ජාතික සංගමයෙන් වෙන්ව ගිය දෙමළ ධනපති පන්තියේ කොටස් ‘සමස්ත ලංකා දෙමළ  මහජන සභාව’ පිහිටුවීම.
  • 1931 ජුලි – වතුකරයේ ‘ලංකා ඉන්දියානු සංගමය’ පිහිටුවීම.
  • 1934 ‘සිංහල මහා සභාව’ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් ඇරඹීම.
  • 1944 ඔක්තෝබර් 24 – සමස්ත ලංකා දෙමළ සංගමය (ජී. ජී. පොන්නම්බලම්ගේ නායකත්වයෙන්) පිහිටුවීම.
  • 1946 සැප්තැම්බර් 06 – එක්සත් ජාතික පක්‍ෂය. (සිංහල මහා සභාව ද මෙයට එක්විය) පිහිටුවීම.

ඒ අනුව මෙරට ධනපති පන්තියේ කොටස් බ්‍රිතාන්‍යයන්ගෙන් බලය හුවමාරු කර ගැනීමට පළමුව ද ඉතා පැහැදිලි ලෙසම බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ උපායමාර්ගය තුළ කොටු වී එහි සිරකරුවන් බවට පත් වූ බව පැහැදිලි ය.

බ්‍රිතාන්‍යයන් විසින් ලාංකීය ධනපති පංතිය වෙත බලය පවරනු ලැබීමේ දී සිංහල හා දෙමළ ජාතිකත්වයන් දෙකට අනුරූපී වූ ප්‍රධාන ධනපති දේශපාලන පක්‍ෂ දෙකක් ලෙස සමස්ත ලංකා දෙමළ සංගමය හා එක්සත් ජාතික පක්‍ෂය බිහිවී තිබිණි. මෙසේ බ්‍රිතාන්‍යයයෙන්  බලය හුවමාරු කර ගත් මෙරට සිංහල, දෙමළ ධනපති පන්තියේ කොටස් තමන් වෙතට බලය හුවමාරු කර ගැනීමටත්, බලය තහවුරු කර ගැනීමටත්  තරගයට මෙන් ජාතිවාදය වපුරන්නට වූහ. මෙය ජාතිවාදය වැඩී යාමටත්, ජාතික ප්‍රශ්නය අද පවතින තත්ත්වය දක්වා සංකීර්ණ වීමටත් බලපෑ එක් ප්‍රධාන මනෝමූල සාධකයක් විය.

නව යටත් විජිත වකවානුව තුළ ජාතික ගැටලුවේ වර්ධනය

1948 න් පසු බලයට පත් සෑම ධනපති ආණ්ඩුවක්ම හා එම ආණ්ඩුවලට සම්බන්ධ වූ සෑම ධනේශ්වර හා සුළු ධනේශ්වර පක්ෂයක්මත් ජාතික ගැටලුව අද පවත්නා තත්ත්වයට වර්ධනය කිරීමට දායක වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පාලන සමවල ජාතික ගැටලුව

1947 මැතිවරණයෙන් එජාපයේ ආණ්ඩුවක් පිහිටුවූයේ සරල බහුතරයෙනි. විශේෂයෙන් වතුකරය තුළ එජාපයේ ඡන්ද පදනම දුබල වීමත්, වමේ පක්ෂවලට පදනමක් පැවැතීමත් අවධානයට ලක් විය. 1949 ගෙන ආ ඉන්දු-පකිස්තාන් පුරවැසි පනතින් වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහෝසි කරන ලදී. එසේ වුව ද, අධිරාජ්‍යවාදීන්ගේ පසුම්බියේ දමාගෙන පැමිණි දෙමළ ධනපති බෝරාකාරයන්ට සම්මාන පුරවැසිකම් ප්‍රදානය කෙරිණි. දෙමළ ජනයාට එරෙහි ජාතිවාදය වැපිරූ 1957 පා ගමන් සංවිධානය කිරීම සිදු කරන ලදී.

1977දී බලයට පත් ජේ. ආර්. ප්‍රජාතන්ත්‍ර විරෝධීව බලය තහවුරු කර ගැනීමට කටයුතු කළේය. 1981 යාපනයේ ඓතිහාසික ඡන්ද මංකොල්ලය සිදු කිරීමේත් (සංවර්ධන සභා), යාපනය පුස්තකාලය ගිනි තැබීමේත්, 1983දී ම්ලේච්ඡ කළු ජූලිය නිර්මාණය කිරීමේත් අඳුරු ඉතිහාසයකට ජේ. ආර් පාලන සමය හිමිකම් කියයි. පාර්ලිමේන්තුව නියෝජනය කළ සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන් පසෙකට තල්ලු කර දමනු ලැබී ය. ප්‍රචණ්ඩ බෙදුම්වාදී ව්‍යාපාර වර්ධනයට පාර කැපුණේ මේ පසුබිම තුළ ය.

ඊළමක් සඳහා තර්කානුකූල පරිසරයක් මෙසේ නිර්මාණය කර දෙමින්, බෙදුම්වාදය පදනම් කර ගත් අධිරාජ්‍යවාදයේ ලෝක පරිමාණ උපායමාර්ගය තුළට ලංකාව ඇතුළු කිරීම ද, කලාපීය දේශපාලනය තුළ විද්‍යමාන වන ලෝක දේශපාලනයේ ප්‍රතිවිරෝධයන් ගොන්නට ලංකාව ඇතුළත් කිරීම ද සිදු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව, දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට උදවු දෙන තත්ත්වයකට තල්ලු කළ අතර, එතෙක් ‘යැංකි ඩිකී’ව සිටි ජේ. ආර්. ජයවර්ධන 1987දී ඉන්දියානු බලපෑමට සම්පූර්ණයෙන්ම යටත්ව රටේ ජනතාවගේ පුළුල් විරෝධය මැද ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළේය. 

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වකවානුව තුළ එල්ටීටීඊයට මුදල්, ආයුධ හා ද්‍රව්‍යමය ආධාර ලබා දෙන ලදී.

2001 දෙසැම්බර් මහා මැතිවරණයෙන් පසුව ගොඩ නැගුණු රනිල් පාලනය විසින් එල්ටීටීඊය සමඟ ගිවිසුමකට එළඹිණි. මෙමඟින් වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා වූ දෙමළ ජාතිවාදී සන්නද්ධ ව්‍යාපාරය ඉහළ තලයකට ඔසවා තැබුණු අතර, බෙදුම්වාදී දේශපාලනය පිළිබඳ ලාංකීය අත්දැකීම නව පරිච්ඡේදයක් වෙත අවතීර්ණ විය.

සටන් විරාම ගිවිසුම මඟින් එල්ටීටීඊ සංවිධානය, රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථිකමය, යුදමය හා දේශපාලනමය වශයෙන් ශක්තිමත් විය. ජාත්‍යන්තර වශයෙන් නිල පිළිගැනීමක් ලැබීමත්, දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් එල්ටීටීඊ ය පිළිගැනීමෙන් ජාත්‍යන්තර ආයතනවලින්, ආණ්ඩුවලින් ඍජුවම එල්ටීටීඊයට මුදල් හා ආධාර ලබා ගැනීමට හැකියාව හිමි විය. එමෙන්ම ආණ්ඩුවේ අරමුදල් සියල්ලම උතුරු හා නැඟෙනහිර දී එල්ටීටීඊ ය හරහා වියදම් කිරීමත්, නිල වශයෙන් බදු අය කිරීමට ඉඩ දීමත් මඟින් ආර්ථික බලය ද පිරිනැමිණි. උතුර හා නැඟෙනහිර පිහිටි ශ්‍රී ලංකා හමුදා කඳවුරු 122ක් පමණ ඉවත් කර ගැනීමට ආණ්ඩුව එකඟ විය. ඒ අතර එල්ටීටීඊ ය වෙතින් ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශය වෙත දිගටම ප්‍රහාර එල්ල විය. මේ කාලය තුළ ඔවුන් ආයුධ නැව් 11ක් ගෙන්වා ගත් බව ද සඳහන් වේ. නෝර්වේ තානාපති මඟින් චන්ද්‍රිකා රූපවාහිනී නාළිකා දෙකකට අදාළ විද්‍යුත් උපකරණ ලබා ගැනීම මඟින් ලොව පුරා තම රූපවාහිනී සේවාවක් ආරම්භ කර ගැනීමට හැකි වීම ද එල්ටීටීඊය ලැබූ ප්‍රධාන ජයග්‍රහණයකි. 2004 අප්‍රේල් 02 රනිල් වික්‍රමසිංහ පාලනය අවසන් වන විට උතුරු හා නැඟෙනහිර තුළ සෑම අතින්ම වෙනම රාජ්‍යයකට අදාළ සාධක සම්පූර්ණ වෙමින් පැවතිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවල පාලන සමවල ජාතික ගැටලුව

නායකත්වය පිළිබඳ ප්‍රශ්නය මුල් කර ගෙන එ.ජා.ප.යෙන් කැඩී වෙන් වූ බණ්ඩාරනායක විසින් 1951 සැප්තැම්බර් 02දා ශ්‍රී.ල.නි.ප.ය පිහිටුවා ගන්නා ලද අතර, 1956 මැතිවරණයේ දී පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ජාතිවාදී සටන් පාඨය යොදා ගන්නා ලදී. කලින් රාජ්‍ය භාෂාව වශයෙන් පැවැති 10%ක් පමණ ජනගහනය යන්තමින් හෝ කතා කළ ඉංග්‍රීසි වෙනුවට භාෂා තුනම එනම්, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි රජයේ හා පොදු කටයුතුවල දී යොදා ගන්නවා වෙනුවට මේ ධනපති දේශපාලන පක්‍ෂ දෙකම තරගයට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට උනන්දු වූහ. වතුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසිභාවය යළි පිරිනමනවා වෙනුවට ඔවුන් නැවත ඉන්දියාවට යැවීමට සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කරන ලදී. 1966දී කොළඹ පා ගමන් සංවිධානය කරමින්, සිංහල – දෙමළ ජාතිවාදය ඇවිළවූහ. 1972 සමගි පෙරමුණු රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ප්‍රමිතිකරණයත් ඉදිරිපත් කරන ලදී. එහි ඇමති අනුකාරක සභාවේ ප්‍රමුඛයා වූයේ, පීටර් කේනමන්ය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නිල වශයෙන් ව්‍යවස්ථාවට එකතු කළේ සමඟි පෙරමුණ ය. උතුරේ තරුණයන් දෙමළ ඊලාම් ප්‍රචණ්ඩ ව්‍යාපාරය වෙත ඇදදැමීමට ප්‍රමිතිකරණය වඩා දැඩිව බලපෑ කරුණකි.

කලාප සභා යොජනා වූ ව්‍යවස්ථා සංශෝධනයක් (පැකේජය) ගෙන ඒමේ උත්සාහයක නියැළුණු චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු පාලන සමයේ දී අසාර්ථක ‘සාම සාකච්ඡා’ හා අසාර්ථක යුද ප්‍රයත්න දරන ලදී. නෝර්වේ මැදිහත් වීම් හරහා බෙදුම්වාදයේ ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වයට ලංකාව තුළ තහවුරු වීම සඳහා ඉඩප්‍රස්ථා ලබා දීම අතින් චන්ද්‍රිකා පාලනය කැපීපෙනිණි.

පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලය හරහා එල්ටීටීඊ සංවිධානයට දිස්ත්‍රික්ක 08ක  පරිපාලන හා මූල්‍ය බලතල ලබා දීමත්, ඍජු විදේශ ණය හා ආධාර ගැනීමේ බලය දීමත් යෝජනා කෙරිණි. ඊට විරෝධය පා ජනතා විමුක්ති පෙරමුණ ගත් අධිකරණ ක්‍රියාමාර්ගය නිසා එය වැළැකී ගියේ ය.

දෙමළ ජාතිවාදය ඊළමක් දක්වා වර්ධනය වීම.

සෝල්බරි ක්‍රමය ඉදිරියේ 50/50 ඉල්ලූ ජී. ජී. පොන්නම්බලම්ගෙන් පසුව ඔහුගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා දෙමළ සංගමයෙන් කැඩී ගිය චෙල්වනායගම් ඇතුළු පිරිස 1949දී ගොඩනැඟූ දෙමළ රාජ්‍ය (ෆෙඩරල්) පක්‍ෂයට 1950 වකවානුව වන විට දකුණු ඉන්දියාවේ දෙමළ කසාගම් ව්‍යාපාරයේ බලපෑම ඉතා තදින් දැනී තිබිණි. 1957 බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමත්, 1965 ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුමත් සම්බන්ධ මැදිහත් වීම්වල සිංහල ධනපති කණ්ඩායම්වල ජාතිවාදී ප්‍රවේශයන් සිදු වූ අතර එහි දී ප්‍රතිවිරුද්ධ දෙමළ ජාතිවාදී ප්‍රවේශය නියෝජනය කළේ චෙල්වනායගම් පාර්ශ්වයයි.

වෙනම දෙමළ රජයක් සඳහා ප්‍රචාරක කටයුතු සිදු වෙමින් පවතිද්දී, 1972දී චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්‍ෂයත්, ජී. ජී. පොන්නම්බලම්ගේ මරණින් පසු සිවසිදම්බරම්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ සංගමයත්, තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොන්ග්‍රසයත් ආදී දෙමළ ජාතිකත්වය මත පදනම් වූ පක්‍ෂ හා පුද්ගලයනුත් එක්කොට දෙමළ එක්සත් පෙරමුණ ගොඩනඟන ලදී. 1976 මැයි මස 14 සහ 15 දිනවල යාපනයේ වඩුක්කොඩෙයිහි, දෙමළ එක්සත් පෙරමුණ විසින් පැවැත්වූ සම්මේලනයේ දී දෙමළ ජනතාව වෙනම ජාතියක් ලෙස පිළිගැනීම, දෙමළ නිජභූමි පිළිගැනීම, දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය පිළිගැනීම, වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය ලබා ගැනීම ඇතුළු කරුණු අඩංගු වූ යෝජනාවලියක් ඉදිරිපත් වූ අතර මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා දෙමළ ඊලාම් ස්වෛරී රාජ්‍යයක් සඳහා ක්‍රියාකාරී වන ලෙස ඉල්ලා සිටින ලදී. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ  තරුණ අංශය වශයෙන් 1976දීම ‘විමුක්ති කොටි’ සංවිධානයේ ආරම්භය හඳුනා ගත  හැකි ය. 1977 මහ මැතිවරණයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු නැඟෙනහිර ප්‍රදේශයෙන් ආසන 18ක් දිනාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත් වෙද්දී, ඔවුන් උතුරේ ජනතාව හමුවේ තැබූ සටන් පාඨය වූයේ ඊලාම් රාජ්‍යයයි. ඡන්ද ව්‍යාපාරයේ පදනම වූයේ ‘වෙන් වීමට පක්ෂ ද? විරුද්ධ ද’ යන්නයි.

පසුව 1983දී ‘කළු ජූලියේ’ අභාවාචක අත්දැකීම් පදනම් කරගෙන, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට ජාතික සීමාවන් ඉක්මවා ගිය ජාත්‍යන්තර වටාපිටාවක් නිර්මාණය කර ගැනීමට හැකි විය. විශේෂයෙන් බොහෝ රාජ්‍ය නායකයන් හා තානාපති සබඳතා මාර්ගයෙන් යුරෝපීය හා ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් තුළ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට හොඳින් ස්ථානගත වීමට ඉඩ සැලැසිණි. ලෝක අධිරාජ්‍යවාදී බලවේගයන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙළ තුළ කොටු වී සිටි ලාංකීය ධනපති පක්ෂ හා කණ්ඩායම් විසින් පවත්වාගෙන යන ලද අදූරදර්ශී යුද්ධ හා සාම වැඩපිළිවෙළවල් හමුවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය සැලැකිය යුතු පිමි ගණනාවක් ඉදිරියට පැමිණියේ ය.

2001 දෙසැම්බර් මැතිවරණයෙන් පසුව ගොඩනැගුණු එක්සත් ජාතික පෙරමුණු පාලනය හා එල්.ටී.ටී.ඊ. ය අතර ඇති කර ගත් ගිවිසුම හේතුකොටගෙන, බෙදුම්වාදයේ ආර්ථික, යුද, දේශපාලන යන සෑම අංශයකම වේගවත් වර්ධනයක් පෙන්නුම් කළ අතර, වෙනම ඊළමක් පිහිටුවීමට ආසන්න තත්ත්වයක් ඇතිව තිබිණි.

ඉන්පසු පැවැති යුද්ධ වටාපිටාව 2009 එල්.ටී.ටී.ඊ.යේ පරාජයෙන් පසු අවසන් විය. බෙදුම්වාදයේ යුදමය ප්‍රකාශනය අවසන් වී ඇතත්, ඊට අදාළ මතවාදය හා සංවිධාන ක්‍රියාකාරීත්වයන් පවතී.

ආර්ථික අර්බුදය විසින් ජාතික ගැටලුව උග්‍ර කර ඇත.

ලංකාවේ පවතින හා වැඩෙන ආර්ථික අර්බුදය නිසා ජනතාවගේ මූලික අයිතීන් පවා ලබා දීමට වත්මන් ධනවාදය අසමත් ය. ඒ නිසා ජාතිකත්ව අතර ඇති සැබෑ විෂමතාව තව තවත් වර්ධනය කරනු ලැබේ. ජාතිවාදී මත ව්‍යාප්තියට වටාපිටාවක් සකස් කෙරේ. සරසවි අධ්‍යාපනය පුළුල් කරනවා වෙනුවට ප්‍රමිතිකරණය හඳුන්වා දීම මෙවැනි පියවරකි. සුළු පරිමාණ ව්‍යාපාර බිඳවැටීම නිසා මෑතකාලීනව ව්‍යාපාරික පිරිස් අතර වේගයෙන් ජාතිවාදය ව්‍යාප්ත කරනු ලැබීම දැකිය හැකි ය. ධනවාදයේ විෂමාකාර වර්ධනය විසින් ගම සහ නගරය අතර ආර්ථික සංවර්ධනයේ බරපතළ අසමානතාවන් නිර්මාණය කරනු ලබන අතර, එම අසමානතාවන් ද ජාතික ගැටලුව වර්ධනය කිරිමෙහි ලා හේතු සපයා තිබේ.

තවද, බලයට පත් වූ සියලුම ආණ්ඩු විසින් ආර්ථික අර්බුදය හා එයින් මතු කෙරෙන දේශපාලන අර්බුදය මඟහැරවීම සඳහා ජාතික ප්‍රශ්නය යොදා ගන්නා ලදී. උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ තව දුරටත් අධිරාජ්‍යවාදීන්ට අනුව කටයුතු කරන ධනපති පන්තිය පෙරළා ආර්ථික අර්බුදයට නව ජව වේගයක් එක්කරමින් සිටී. මෙසේ බලය ලබා ගැනීමේ දී තම පාන්තික ප්‍රතිමල්ලවයා පැරදවීමට තරගයට ජාතිවාදය වැපිරූ හෝ තරගයට බෙදුම්වාදී, ජාතිවාදී නායකයන් සමඟ ගිවිසුම්වලට එළැඹුණු ධනපති නායකයෝ අධිරාජ්‍යවාදීන් නිර්මාණය කළ උගුලේම සිරකරුවන් බවට පත්ව සිටිති.

ලංකාවේ ජාතික ගැටලුව හා ජාත්‍යන්තර සබඳතා

ඇමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ජගත් හා කලාපීය උපායමාර්ගය.

ලෝක ප්‍රතිවිරෝධතා පද්ධතිය තුළ අධිරාජ්‍යවාදී ධනපති කඳවුරත්, ලෝක සමාජවාදී කඳවුරත් අතර පැවැති ප්‍රතිවිරෝධය මූලික හා ප්‍රධාන ප්‍රතිවිරෝධය බවට එකල පත්ව තිබිණි. ජගත් ප්‍රතිවිප්ලවීය උපායමාර්ගයෙහි ඉන්දියානු සාගර කලාපයට සුවිශේෂ වටිනාකමක් හිමිව තිබිණි. ’80 දශකය වන විට යුදමය පාර්ශ්වයෙන් ඇති වැදගත්කමත්, ලොව ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදනාගාරය මේ ආසන්නයේ පිහිටා තිබීමත්, අවට රටවල සිදුව තිබූ සමාජවාදී පරිවර්තනයනුත්, ඉන්දියාව එවකට සෝවියට් දේශය සමඟ එළැඹ සිටි බොහෝ සහයෝගිතා ගිවිසුම් නිසාත්, ඉන්දියාවේ ජාතික ධනපති පන්තියේ අරමුණු අධිරාජ්‍යවාදී අරමුණු සමඟ බරපතළ ලෙස ගැටීම නිසාවෙනුත් මෙම කලාපය තුළ එක්සත් ජනපද උපායමාර්ගයන් හමුවේ ඉන්දියාව ප්‍රබල ප්‍රතිවිරෝධී තත්ත්වයට පත්ව සිටින ලදී. ඒ අනුව එක්සත් ජනපද කලාපීය උපායමාර්ගයේ වැදගත් ස්ථානයක් වූ ඉන්දියාව කුඩා කැබලිවලට බිඳදැමීම මඟින් ඉන්දියානු  රාජ්‍යය දුර්වල කිරීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අභිලාෂය වී තිබිණි. (උදා – බ්‍රහ්ම පුත්‍ර සැලැස්ම)

1990 දශකය ආරම්භ වනවාත් සමඟම සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳවැටීම හේතුකොටගෙන කලාපීය දේශපාලන උපායමාර්ගයන් සම්බන්ධයෙන් එක්සත් ජනපද වැඩපිළිවෙළ වේගවත් වී ඇත. වර්තමානයේ චීනයට එරෙහිව ඉන්දියාව එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කරයි. ඒ නිසා දකුණු ආසියානු කලාපීය දේශපාලනයේ දී වොෂින්ටන් – දිල්ලි අක්‍ෂයක් තහවුරු වෙමින් ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කලාපීය උපායමාර්ගය හමුවේ ලංකාවේ උපායමාර්ගික වැදගත්කම හා ජාතික ගැටලුව.

ලංකාවේ භූගෝලීය පිහිටීමේ උපායමාර්ගික වැදගත්කමත්, එහි එක්සත් ජනපද අධිරාජවාදයට ඇති අභිලාෂයනුත්, අනෙක් අතට ඉන්දියාවට එහි ඇති බලපෑමත් යන කරුණු ලංකාවේ ජාතික ප්‍රශ්නයට බලපෑවේ ය. විශේෂයෙන් 1977න් ඇරඹි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළට අවතීර්ණ වූ අතර, ඇමෙරිකානු ගැති දේශපාලන පිළිවෙතක් ක්‍රියාත්මක කරන ලදී. ‘යැංකි ඩිකී’ ලෙස හැඳින්වුණු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මෙහි දී විශේෂය. ’80 දශකයේ මැද වන විට ඉන්දීය ආක්‍රමණයකට පසුබිම සැකසුවේ මෙම තත්ත්වයයි.

ඒ පැවැති වටාපිටාව තුළ ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයක් ශක්තිමත් වීම ඉන්දියාව දුබල කිරීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී උපායමාර්ගයට මහත් උත්තේජනයක් වීම ද වැළැක්විය නොහැකි ය.

දශක 03ක් පුරා පැවැති යුද්ධයේ දී බෙදුම්වාදයට නිල මෙන්ම නොනිල අනුග්‍රහයන් ලබා දෙමින් අධිරාජ්‍යවාදීන් මැදිහත් වූයේ ඇයි ද යන්න ඒ අනුව පැහැදිලි ය.

ඉන්දියාවේ උපායමාර්ගික හා උපක්‍රමික ක්‍රියාමාර්ග.

සමාජවාදී කඳවුර පැවැති වකවානුවේ ඉන්දියාව එක් පැත්තකින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයේ හා ඔවුන්ගේ කලාපීය අතකොලු රාජ්‍යවල සතුරු ක්‍රියාවලට භාජනය වී තිබීමත්, ඔවුන්ගේ උසිගැන්වීම මත ඉන්දියාව කැබලි කිරීමේ තර්ජනයට මුහුණ පා සිටීමත්, ඒවායින් ආක්‍රමණික තර්ජන පැවැතීමත් යන හේතූන් මත ඉන්දියාවේ ස්වදේශීය ප්‍රතිපත්තිය මෙන්ම විදේශ ප්‍රතිපත්තිය සකස් විය. ලංකාව දෙකඩ කිරීම ඉන්දියාව දෙකඩ කිරීමේ ව්‍යාපාරයට මහත් රුකුලක් වන බැවින්, විශේෂයෙන්ම එය තමිල්නාඩුව කෙරෙහි අභාවාචක බලපෑම් ඇති කරයි. එබැවින්, උපායමාර්ගිකව ලංකාවේ ඊලාම් ව්‍යාපාරය ඉන්දියාවේ යහපතට හේතු නොවී ය.

ලංකාව ඉන්දියාවේ ආරක්‍ෂාව කෙරෙහි බලපායි. අනෙක් අතට එක්සත් ජනපද කලාපීය හා ජගත් ක්‍රියාමාර්ගයට ලංකාව ඇතුළත් කොට ඇත. මෙන්න මේ ඉන්දියාවේ ජාතික වුවමනාවත්, අධිරාජ්‍යවාදී කලාපීය උපායමාර්ගයත් අතර ප්‍රතිවිරෝධය ඉන්දියාවත්, ලංකාවත් අතර ප්‍රතිවිරෝධයක් ලෙස මතුව තිබිණි. එනිසා ඉන්දියාව විසින් ඉන්දු – ලංකා ගිවිසුම ලංකාව මත බලෙන් පටවන්නේ මේ පසුබිම තුළ ය. ඔවුන් පළමුව ඊලාම් ත්‍රස්තවාදයට ආධාර කළේ ද මේ පසුබිම තුළ ය. එනම් ඊළමක් දක්වා වර්ධනය නොවන, තමන්ට පාලනය කළ හැකි තත්ත්වයක් උතුරු – නැඟෙනහිර නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවයි. බැලූ බැල්මට ඉන්දියාවේ උපායමාර්ගික වුවමනාවත්, ලංකාවට මැදිහත් වීමේ දී ඉන්දියාව විසින් අනුගමනය කළ උපක්‍රමික ක්‍රියාමාර්ගයත් ප්‍රතිවිරෝධී සේ පෙනී යයි. ඉන්දියානු කලාපය තුළ ඇමෙරිකානු ගැති ලංකාවක් පවතිනවාට වඩා ඉන්දියානු ගැති ලංකාවක් පැවැතීම ඉන්දියාවේ අපේක්‍ෂාව විය.

සමාජවාදී කඳවුරේ බිඳවැටීමෙන් පසු ලෝක දේශපාලනයේ වෙනස්කම් ගණනාවක් සිදුව ඇත. ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයේ යුදමය පෙරමුණ පරාජයට පත් වීම ද සැලැකිය යුතු කරුණකි. කලාපීය ආධිපත්‍යය සම්බන්ධයෙන් චීනය සමඟ ඇති තරගය නිසා ඉන්දියාව වැඩි වැඩියෙන් එක්සත් ජනපද වුවමනාවන්ට සමීප වී සිටී. වර්තමානයේ එක්සත් ජනපදය සමඟ පෙරට වඩා සමීපව කටයුතු කරද්දී ද, ලංකාවට අතපෙවීම් කරමින් සිටින අතර, ඒවායේ ඉහළ යාමක් ද දක්නට තිබේ- බලශක්තිය, සම්පත්, භූමිය හා වෙළෙඳාම සම්බන්ධ ගිවිසුම් ගණනාවක් දැනටමත් අත්සන් කොට ඇත්තේ, ලංකාවට ඉතාමත් අවාසිදායක කොන්දේසි පනවා ගනිමින් ය.

ඉන්දියාව තුළ වෙනම රාජ්‍යයක් සඳහා ද්‍රවිඩ කසාගම් ව්‍යාපාරයේ බලපෑම

මෙයට අමතරව ලංකාවේ ජාතික ගැටලුව අද පවතින තත්ත්වයට වැඩී වර්ධනය වීම සඳහා දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ කසාගම් ව්‍යාපාරයේ ඉතිහාසමය ක්‍රියාමාර්ගය බරපතළ උත්තේජනයක් විය. ද්‍රවිඩ කසාගම් ව්‍යාපාරයේ අරමුණ වූයේ ඉන්දියාවේ දකුණේ ද්‍රවිඩ පදනම සහිත තමිල්නාඩුවත්, ආන්ද්‍රා ප්‍රදේශයත්, කර්ණාටක ප්‍රදේශයත්, කේරළයත්, තෙලගානා ප්‍රාන්තයත් ලංකාවේ උතුර හා නැඟෙනහිරත් එක් කර වෙනම ද්‍රවිඩ නාඩුවක් පිහිටුවීමයි.

කසාගම් ව්‍යාපාරයේ පිරිසක් 1947 සැප්තැම්බර් 17 දින ‘ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්’ පක්‍ෂය පිහිටුවා ගත්හ. මෙහි ආරම්භක සාමාජිකයන් වූයේ ඇමෙරිකා එක්සත් ජනපද හිතවාදී වූ අන්නදෝරේ සහ කරුණානිධි වැන්නවුන් ය. නේරුගේ බලපෑම හමුවේ යම් පමණකට පසුබා ගිය ද, ඔවුහු එවකට මදුරාසි ප්‍රාන්තය පසුව ‘තමිල්නාඩුව’ ලෙස නම් කරගෙන වඩාත් සියුම් ලෙස තම බෙදුම්වාදී ව්‍යාපාරය ඉදිරියට ගෙන  ගියහ. චෙල්වනායගම්ගේ නායකත්වයෙන් යුත් ලංකාවේ දෙමළ රාජ්‍ය පක්‍ෂය (ෆෙඩරල් පක්‍ෂය) වෙත 1950 ගණන්වල දී එහි බලපෑම දැඩිව තිබිණි. පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟත්, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය සමඟත් දකුණු ඉන්දියානු බෙදුම්වාදී දේශපාලනය සම්බන්ධ වීමේ කතා පුවත අද දක්වාම දිගහැරේ.

තිස් අවුරුදු යුද්ධයේ නිමාව

2004 සිට 2009 දක්වා කාලය තුළ යුද්ධය හා එහි නිමාව            

2004 වර්ෂය වන විට රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුව අනුගමනය කළේ බෙදුම්වාදයට ඉතාම වාසිසහගත පිළිවෙතක් වූ අතර ඊලාම් රාජ්‍යයක් සඳහා පූර්ව තත්ත්වයක් ඇති වෙමින් තිබිණි. රට බෙදී යාමත්, ඒ සමඟ ඇති විය හැකි සංකීර්ණ වාර්ගික යුද තත්ත්වයත්, ඊට සමාන්තරව සිදු විය හැකි අධිරාජ්‍යවාදී මැදිහත් වීමත් ආදී සියලු තත්ත්වයන් ලාංකීය විප්ලවය කෙරෙහි ඉතාම අයහපත් අන්දමින් බලපාන බව පැහැදිලි සත්‍යයක්ව තිබිණි. මේ වටාපිටාව තුළ බෙදුම්වාදය පැරදවීමට නම්, එජාප ආණ්ඩුව පැරදවීම අනිවාර්ය සාධකයක්ව පැවැතිණි. එජාප වැඩපිළිවෙළ සමඟ කිසියම් ප්‍රතිවිරෝධී තත්ත්වයක සිටි ජනාධිපති චන්ද්‍රිකා විධායක ජනාධිපති ධුරයේ සිටීම ද විශේෂයක් විය. ශ්‍රීලනිප සහ ජවිපෙ අතර ගිවිසුමක් ඇති කර ගන්නේ මේ තත්ත්වය තුළ ය. ඉන් පසු පැවැති මහා මැතිවරණයෙන් එජාප ආණ්ඩුව පරාජයට පත් විය. ඒත් සමඟ බෙදුම්වාදී ක්‍රියාවලිය පසුබෑමකට ලක් විය. 

එහෙත්, 2004 දෙසැම්බර් 26 දින සිදු වූ සුනාමි ඛේදවාචකය පදනම් කරගෙන චන්ද්‍රිකා ජනාධිපතිනිය ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබලයන්, ‘පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලය’ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කෙටුම් පත් කර තිබිණි-  එමඟින් එල්ටීටීඊ සංවිධානයට දිස්ත්‍රික්ක 08ක රාජ්‍ය පරිපාලන බලතල හා රාජ්‍ය මූල්‍ය පරිපාලනය ලබා දීමත්, ඍජු විදේශ ණය හා ආධාර එල්ටීටීඊයට ගැනීමේ බලය දීමත් යෝජනා කර තිබිණි. ඊට විරෝධය පා 2005 ජුනි 15 වැනි දින ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉහත ‘පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලයේ‘ ප්‍රධාන අඩංගුව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කළෙන් එල්ටීටීඊයට ඉහත මූල්‍ය හා පරිපාලන බලතල ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

ඉන් පසු පැවැති ජනාධිපතිවරණයේදී ජවිපෙ මහින්ද රාජපක්ෂට සහාය පළ කළ අතර, ඊට පදනම් වූයේ ද රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුවක් යළි බලයට ඒම වැළැක්වීමයි. මහින්ද රාජපක්‍ෂට සහාය දෙද්දී, ජවිපෙ එකඟතා කොන්දේසිවල බෙදුම්වාදයට එරෙහි කරුණු ගණනාවක් ඇතුළත් විය. චන්ද්‍රිකා මෙන් ම මහින්ද රාජපක්‍ෂ ද ඒවාට එකඟ වූයේ බෙදුම්වාදය සැබෑ ලෙසම පැරදවීමට නොව හුදු බලය ලබා ගැනීමේ අරමුණිනි. ඒ නිසා සටන් විරාම ගිවිසුම පවත්වා ගෙන යාමත්, නෝර්වේ වැනි අධිරාජ්‍යවාදී රටවල මැදිහත්වීම්වලට ඉඩකඩ සැලැසීමත්, ඉන්දීය හා බටහිර බලපෑම්වලට අනුව බලය බෙදීම පිළිබඳ සර්ව පාක්‍ෂික කමිටු පවත්වාගෙන යාමත්, බලය බෙදීම ප්‍රශ්නයට ඇති එකම විසඳුම යැයි පිළිගෙන කටයුතු කිරීමත් දැකිය හැකි විය. 

එහෙත්, ඒ අතරම ජවිපෙ ද ඇතුළුව බෙදුම්වාදී විරෝධී බලවේගයන්ගේ බලපෑමත් නිසා යම් පමණක එල්ටීටීඊ විරෝධයක් පෙන්නුම් කිරීමට ආණ්ඩුවට සිදු වී තිබිණි. මෙසේ ජාතික ප්‍රශ්නයේ ගැටලුකාරී බව තව තවත් උග්‍ර කරමින් පැවැතුණු අතර, ලබන යුද ජයග්‍රහණ රටේ පොදු අර්බුද වසා ගැනීමට යොදා ගන්නා ලදී.                   

අනතුරුව මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගනිමින්ම යුද ජයග්‍රහණ යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබූ අතර රටේ පැවැති බෙදුම්වාදී විරෝධී, දේශප්‍රේමී මතය ද තමන් අතට ගැනීමට උත්සාහ ගත් අතර, එය යම් පමණකට සාර්ථක ද විය.

එල්ටීටීඊ සංවිධානය යුද පෙරමුණේ දී දිගින්දිගටම අත් කර ගත් පරාජයන් හමුවේ පසුබැසීම තෝරාගෙන සිටි අතර, රට තුළ ද බෙදුම්වාදී දේශපාලනයට එරෙහි පෙළගැස්ම ප්‍රබල භූමිකාවක් බවට පත්ව තිබිණි. අනික් පසින් රාජපක්‍ෂ පාලනය අධිරාජ්‍යවාදී ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති හිස්මුදුනින් පිළිගැනීම නිසා අධිරාජ්‍යවාදීන්ට ද රාජපක්‍ෂ පාලනය සමඟ මාරාන්තික ප්‍රතිවිරෝධයක් නොවී ය. ඒ අතර යුද ක්‍රියාවලිය තුළ සිදු වන මානව හිමිකම් ප්‍රශ්න පදනම් කරගෙන ඊට මැදිහත් වීමට බටහිර නෝර්වේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකු ලෙස යසුශි අකාෂි මැදිහත් විය.

ධනපති ආරක්‍ෂක අංශවල පැවැති විශේෂත්වයන් ද, ඉහත කී අනෙකුත් තත්ත්වයන්ගේ ද අවසන් තර්කානුකූල ප්‍රතිඵලය වූයේ එල්ටීටීඊයේ යුදමය පරාජයයි.

බෙදුම්වාදයේ යුදමය පෙරමුණ පරාජය වීම සමඟ ජාතික ප්‍රශ්නයට අදාළ වෙනත් ගැටලු ගණනාවක් මතු වී තිබේ. තම ප්‍රජාතන්ත්‍ර විරෝධී, නව ලිබරල්වාදී පාලනය දේශප්‍රේමී ප්‍රචාරණයකින් ආවරණය කර ගැනීමට උත්සාහ කළ රාජපක්‍ෂ ආණ්ඩුව විසින් උතුරේ අර්ධ මිලිටරි පාලනයක් පවත්වා ගනිමින්, එහි ජනතාව මත මහත් පීඩනයක් මුදාහැර තිබිණි.

දෙමළ ඊලාම් ව්‍යාපාරය සම්බන්ධ සමාලෝචනයක්

දෙමළ ඊලාම් ව්‍යාපාරයේ සම්භවයට හේතු ගණනාවක් තිබිණි. ජාතික වෙනස්කම්, අසමානතාව, වරප්‍රසාද හා පීඩනය, අධිරාජ්‍යවාදී අරමුණු, සියලුම ආකාරයේ ජාතිවාදය හා ධනපති ආර්ථික අර්බුදය මේ අතුරින් මූලික කාරණා වේ. මේ අතුරින් ද ප්‍රශ්නය මේ තරම් සංකීර්ණ වීමට බලපෑ හේතු අතුරින් ප්‍රධානතම හේතුව අධිරාජ්‍යවාදී වුවමනාවන් හා සමපාත වූ ධනපති ජාතිවාදයේ වුවමනාවන් ය.

දෙමළ ඊලාම් ව්‍යාපාරය පැනනැඟීමේ දී ජාතික පීඩනය එයට හේතුකාරක වූ බව පැහැදිලි ය. නමුත්, එය ප්‍රධාන හා එකම කාරණය යැයි ප්‍රකාශ කිරීම සත්‍යය වසන් කිරීමකි. මෙය දෙමළ ඊළාම්වාදීන්ගේත්, අධිරාජ්‍යවාදී ඒජන්තයන්ගේත්, සුළු ධනපති මනෝරාජිකවාදීන්ගේත් තර්කයයි. ඊලාම් බෙදුම්වාදී ව්‍යාපාරය සම්බන්ධ ප්‍රශ්නය තුළ ඇති ප්‍රධාන අභ්‍යන්තර ප්‍රතිවිරෝධය ස්වභාවික, භූගෝලීය දේශසීමා හා ජාතිකත්ව  සීමා අතර ඇති ප්‍රතිවිරෝධයයි. ජාතිවාදය යනු ස්වාභාවික, භූගෝලීය, දේශපාලන දේශසීමා වෙනුවට, වාර්ගික හා ජාතිකත්ව පදනමින් දේශපාලන දේශසීමා ඉල්ලා සිටීම මඟින් ප්‍රකාශයට පත්වන මතවාදයකි. අද ලංකාවේ පවතින දේශසීමාව ස්වාභාවික දේශසීමාවක් වේ. අධිරාජ්‍යවාදයේ හා ජාතිවාදයේ අවශ්‍යතාව වූයේ මෙය ජාතිකත්ව පදනමකින් වෙන් කරවා ගැනීමයි.

ඊලාම් ව්‍යාපාරය ජාතික විමුක්ති ව්‍යාපාරයක්ද යන ප්‍රශ්නය ඇතැමුන් ව්‍යාකූල කරගෙන ඇත. ලෝක ඉතිහාසය ආකාර දෙකක විමුක්ති අරගල ගැන දනී. ධනවාදය ගොඩනැඟීමේ දී වැඩවසම් හා විදේශීය ආධිපත්‍යයට එරෙහිව ජාතික රාජ්‍යයන් ගොඩනැඟීමේදී මෙය ක්‍රියාත්මක විය. පසුව අධිරාජ්‍යවාදයට එරෙහිව යටත්විජිත හා පරාධීන රටවල ජාතික විමුක්ති අරගල ඇති විය. මෙම දෙවර්ගයම සමාජ සංවර්ධනයට ඒ ඒ වකවානුවල දී හිතකර විය. නමුත්, උතුරේ පැවැතියේ, මීට වඩා හාත්පසින්ම වෙනස් වූ ඓතිහාසික හා විෂයමූල තත්ත්වයන්ගෙන් පැනනැගුණු ව්‍යාපාරයකි. වත්මන් සමාජය ඉල්ලා සිටින්නේ අසමානතාවය සහ සූරාකෑම මුල්කරගත් පවතින ධනේෂ්වර ක්‍රමයට විකල්පයකි. එය පැහැදිලිවම සමාජවාදයයි. ජාතිකත්වයන් වාර්ගික සීමාවන් ඔස්සේ බෙදීමට බල කරන, එක් ජාතිකත්වයක් සඳහා විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටින ස්වාභාවික භූගෝලීය දේශසීමා ජාතිකත්ව සීමා ඔස්සේ වෙන් කිරීමට බල කරන, තම දේශසීමා තුළ පදිංචි වෙනත් ජන කොටස් ඝාතනය කරන අධිරාජ්‍යවාදයේ ජගත් උපායමාර්ගයන් හා සමපාතව කටයුතු කරන ව්‍යාපාරයක් විමුක්ති ව්‍යාපාරයක් විය නොහැකි ය. එය සමාජවාදයට අහිතකර කොන්දේසි නිර්මාණය කරයි. පීඩිත ජනතාව සමගි කරනවා වෙනුවට තවතවත් බෙදා වෙන් කරයි.

තවද ධනපති ආණ්ඩුවේ මිලිටරි ක්‍රියාමාර්ග තුළින් අහිංසක දෙමළ ජනතාවට හිංසා පීඩා සිදුකිරීම සහඝාතනය කිරීම් නිසා දෙමළ ජාතිවාදය සාධාරණීයකරණය නොවේ. එසේම දෙමළ ඊලාම් ක්‍රියාකාරීත්වයන් ධනපති ආණ්ඩුවට එරෙහි සේ පෙනෙන නිසා එය විමුක්ති නැත.

තවද බෙදුම්වාදී ව්‍යාපාරය ‘දෙමළ ජාතික අරගලයක්’ ලෙස හැඳින්වීම ද වරදකි- එය හිතාමතාම දෙමළ ජාතිකත්වය, ජාතියක් ලෙස පිළිගැනීමට ලක් කිරීමකි- මෙය 1976 වඩුක්කොඩෙයි සමුළුවේ දී ද ඉදිරිපත් වූ ප්‍රධාන කරුණකි- ජාතික අරගලයක් නම්, එය ජාතික වශයෙන් පවතින පොදු පීඩාවන්ට එරෙහිව මහජන වුවමනාවන් නියෝජනය කළයුතු අතර, විශේෂයෙන් අධිරාජ්‍යවාදී පිඩාවන්ට එරෙහි අභිලාෂයන් නියෝජනය කළ යුතු ය-

ජාතිවාදය සම්බන්දව කතාකරන බොහෝ දෙනා සැලකිල්ලට ගන්නේ මහජාතික ජාතිවාදය පමණි. එහෙත් සුලුජාතික ජාතිවාදය ද ජාතිවාදයම විනා අන්යමක් නොවේ. ජනතාවගේ ජාතිකත්ව සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ද ප්‍රශ්නයත් ජාතිවාදය සම්බන්ද ප්‍රහ්නයත් පටලවා නොගත යුතුය.

ධනවාදය වැඩෙමින් පැවැති වකවානුවේ ප්‍රබල රාජ්‍යයක් විසින් දුබල රාජ්‍යයක් යටත් කරනු ලැබීමට එරෙහිව, එම දුබල රාජ්‍යවල ජාතික විමුක්ති ව්‍යාපාර පැනනැඟිණි. මේවා හරයෙන් ස්වාධීන, නිදහස් රාජ්‍යයන් අරමුණු කර ගත් ඒවා වූ අතර, වැඩවසම් විරෝධී විය. ඒ අවස්ථාවේ ප්‍රබල රාජ්‍යයන්ගේ මහජාතික ජාතිවාදය ප්‍රතිගාමී ස්වරූපයක් ගන්නා ලදී. මහජාතික ජාතිවාදයට එරෙහි ඉහත අරගලයේ ප්‍රගතිශීලීත්වය පටළවා ගත්තවුන් විසින් මෙම වැරදි මත ඉදිරිපත් කරනු ලබයි.

ජාතිවාදය පිළිබඳ නිර්වචනයන් සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීම මේ සඳහා වැදගත් ප්‍රවේශයක් වනු ඇත.

”ජාතිවාදය යනු, ජාතික හුදකලාභාවය, සෙසු ජාතිකයන් සැක කිරීමට පක්‍ෂ වීම හා ජාතීන් අතර සතුරුභාවය ප්‍රකාශ කරන ධනපති මතවාදයේ දේශපාලන මූලධර්මයකි. ධනවාදයේ සංවර්ධනයේ විශේෂිත ලක්‍ෂණ තුළ ජාතිවාදයේ මූලයෝ පවතී. ධනවාදය යටතේ ජාතීන් අතර සම්බන්ධතාවයන්ගේ ලක්‍ෂණ  පරාවර්තනය කරමින් ජාතිවාදය ආකාර දෙකකින් ප්‍රකාශිත වේ. වෙනත් ජාතීන් සඳහා කරනු ලබන නිග්‍රහ කිරීම්වලින් සලකුණු වන ආධිපත්‍යය දරන ජාතියේ මහජාතික ජාතිවාදය හා ජාතික හුදෙකලාභාවය හා සෙසු ජාතීන් කෙරෙහි අවිශ්වාසය සඳහා මහත් පරිශ්‍රම දැරීම තුළින් සනිටුහන් වන පීඩිත පන්තියේ ප්‍රාදේශීය ජාතිවාදයයි ඒ.”

දර්ශනයේ ශබ්දකෝෂය

පශ්චාත් යුධ දේශපාලනය

දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වීම විසින් ජාතික ප්‍රශ්නයේ පෙනුමේ වෙනස්කම් සිදු විය. එක් පැත්තකින් උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල සිවිල් ජනජීවිතය විශාල ලෙස කඩාවැටී ඛේදජනක තත්ත්වයක් පැවැතිණි. රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව යුද්ධය අවසන් වීමෙන් සතුටු වන බව පෙනිණි. යුද්ධයෙන් විපතට පත් ජනතාවට වහ වහා මානුෂික සහන අවශ්‍ය වී තිබිණි. එම මොහොත ජාතිකත්වයන් අතර ඇතිව තිබූ බරපතළ වෛරීසහගත ප්‍රතිවිරෝධය සමනය කොට ජාතික සමඟිය හා සංහිඳියාව ඇති කිරීමට අනගි අවස්ථාවක් ලෙස යොදා ගැනීමේ අවස්ථාව උදා වී තිබිණි.

මේ තත්ත්වය සැලැකිල්ලට ගෙන ජනතා විමුක්ති පෙරමුණ 2009 මැයි 27දා ඒ සඳහා වන කඩිනම් ක්‍රියාමාර්ග ඇතුළත් යාන්ත්‍රණයක් ආණ්ඩුවටත්, රටටත් ඉදිරිපත් කළේ ය. එය පශ්චාත් යුධ දේශපාලනය සම්බන්දයෙන් වැදගත් ලියවිල්ලක් වූ අතර සාධනීය ප්‍රවේශයක්ද විය.

එහි අඩංගු වූ කරුණු මෙසේය.

  • උතුරු හා නැඟෙනහිර පළාත් කඩිනමින් ගොඩනැඟීම සඳහා සියලු ජනකොටස් සහභාගී කර ගැනීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත උතුරු හා නැඟෙනහිර පළාත් යළි ගොඩනැඟීමේ කාර්යසාධන මණ්ඩලයක් පත් කළ යුතු ය.
  • උතුරු හා නැඟෙනහිර පළාත්වල අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීම සඳහා වූ ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම ආරම්භ කළ යුතු අතර, එම ක්‍රියාවලියෙන් අඩක් මෙම මාස තුනක කාලය තුළ සම්පූර්ණ කළ යුතු ය.
  • උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලින් පලවාහරින ලද සියලු පුරවැසියන් යළි පදිංචි කිරීම අරමුණු කරගනිමින් ඔවුන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමේ කාර්යාංශයක් පිහිටුවිය යුතු අතර, මෙම මාස තුනක කාලය තුළ ඔවුන් පිළිබඳ තොරතුරු එක්රැස් කොට ලේඛනගත කිරීමේ කටයුතු අවසන් කළ යුතුය.
  • කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිසා ජීවිත අහිමි වූ සියලු පුරවැසියන්ගේ පවුල්වලට සාධාරණ වන්දි මුදලක් ලබා ගැනීමට ඇති අයිතිය පිළිගත යුතු අතර, මේ වන විටත් වන්දි මුදල් ලබා නොමැති සියලු පවුල් හඳුනාගෙන ඔවුන්ට වන්දි මුදල් ලබා දීම ආරම්භ කළ යුතු ය.
  • ඊනියා සර්වපාක්ෂික කමිටුවේ බලය බෙදීමේ යෝජනා ඉවත දැමිය යුතු අතර, ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සියලු ජනකොටස් අතර පවතින අසමානතාවන් අහෝසි කෙරෙන, ජාතික සමඟිය හා සියලු පුරවැසියන්ට සමාන අවස්ථා සහතික කෙරෙන විසඳුමක් කරා යොමු වූ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වූ නව පුළුල් සංවාදයක් ආරම්භ කළ යුතු ය.
  • පළාත් සභාවලට පොලිස්, ඉඩම් හා මූල්‍ය බලතල හා ඒවාටත් එහා ගිය තවත් බලතල ලබා දෙමින් බලය බෙදීම සඳහා කෙරෙන යෝජනා ඉවත දැමිය යුතු අතර, ඒකීය රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් කරමින් පරිපාලනය විමධ්‍යගත කර පුරවැසියා බලගැන්වීම ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කළ යුතු ය.
  • විවිධ ජන කොටස්වලට සිදුව ඇති අසාධාරණයන් පිළිබඳව සොයාබැලීමටත්, විවිධ ජනකොටස් අතර පවතින හිත් බිඳීම්, විරසකයන් තුරන් කිරීමත් අරමුණු කර ගත් ‘සත්‍යය හා ජාතික ප්‍රතිසන්ධාන’ කොමිසමක් පිහිටුවිය යුතු ය.
  • උතුරු හා නැඟෙනහිර පළාත්වල බිඳවැටී ඇති නීතිය හා විධානයත්, සිවිල් පරිපාලනයත් යළි ස්ථාපනය කිරීම අරමුණු කර ගත් කඩිනම් වැඩපිළිවෙළක් දියත් කළ යුතු අතර, ඊට සමගාමීව ඒ පළාත් දෙක තුළ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම ද අරම්භ කළ යුතු ය.
  • ආණ්ඩුවේ ඇමතිවරු සංඛ්‍යාව 30ක් දක්වා අඩු කළ යුතු ය.
  • දූෂණ, වංචා, නාස්තිය පිළිබඳව චෝදනාවලට ලක්ව සිටින ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා ඉහළ නිලධාරීන් නීතිය ඉදිරියට පැමිණවිය යුතු ය.
  • සෘජු හා වක්‍ර පෞද්ගලිකකරණය මුළුමනින්ම නතර කරන බවට සහතික විය යුතු අතර, ජාතික සම්පත් විකිණීම නතර කොට ඒවා රටේ සංවර්ධනයට යොදා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු ය.
  • රටේ ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කිරීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇති, එහෙත් මේ වන තෙක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව ඇති 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කළ යුතු ය.
  • රට තුළ පැතිරෙන අපරාධ හා දුරාචාර නැති කිරීම සඳහා ක්‍රියාකාරී වැඩපිළිවෙළක් දියත් කළ යුතු අතර, නීතියේ ආධිපත්‍යය හා විධානය ස්ථාපනය කිරීමට පියවර ගත යුතු ය.
  • රජය විසින් හසුරුවනු ලබන විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය තුළ දැනට ක්‍රියාත්මක වන සදාචාරාත්මක නොවන ඒකපාර්ශ්වීය භාවිතය  වහාම අහෝසි කොට ජනතාවට පිළිගත හැකි සාධාරණ ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීමට පියවර ගත යුතු ය.

යුද්ධය නිමවීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම් සහ කොමිසම්

යුද්ධය නිසා විශාල ජනපිරිසක් උන්හිටි තැන් අහිමි වී සිටි අතර, මිය ගිය හෝ අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය අතිවිශාල විය. අත්අඩංගවේ රඳවාගෙන සිටි පිරිස් අතර වැඩි දෙනකුට අධිකරණ ක්‍රියාමාර්ග ඇරඹී තිබුණේ නැත. මේ තත්ත්වය තුළ ආණ්ඩුව තව දුරටත් අර්ධ මිලිටරි පාලනයක් පවත්වාගෙන ගිය අතර, ජනතාව බලවත් සේ පීඩාවට පත්ව සිටියහ. මේ තත්ත්වය එක්සත් ජාතීන්ගේ අතපෙවීම්වලට ද වාසිදායක වටාපිටාවක් නිර්මාණය කළේය.

බෑන් කි මූන් හා මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ ප්‍රකාශය

යුද්ධය අවසන්වීමත් සමඟ 2009 මැයි අවසානයේ එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කි මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක නියුක්ත විය. එම සංචාරය අවසානයේ බෑන් කි මූන් සහ හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. එම ඒකාබද්ධ ප්‍රකාශය මඟින් ලංකා ආණ්ඩුව,

  1. යුද්ධයෙන් අවතැන් වූවන් කඩිනමින් පදිංචි කරන බවටත්,
  2. මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව දේශීය පරීක්ෂණයක් පවත්වන බවත්,
  3.  යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය.

උදලාගම කොමිසම – (2006)

විනිසුරු එන්. කේ. උදලාගමගේ මූලිකත්වයෙන් යුතුව 2006 වසරේ දී මෙම කොමිසම පත් කරනු ලැබුයේ, යුද්ධය පැවැති සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සහ ඝාතන 16ක් පිළිබඳව සොයාබැලීම සඳහා ය.

හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් යන ඝාතන, මුතූර්, ත්‍රිකුණාමලය, සෙන්චෝලෙ, පේසාලේ, කයිට්ස්, පොතුවිල්, කැබිතිගොල්ලෑව හා වැලිකන්ද යන ප්‍රදේශවල මිනිස් ඝාතන, දිගම්පතනේ නාවික භටයන් ඝාතනය ආදිය ඊට අයත් විය.

මෙහි නිර්දේශ රැසක් පැවැති අතර යුද්ධය පැවැති සමයේ සිදු වූ මානව හිමිකම් කඩ වීම් සම්බන්ධව සොයාබැලීමට ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බව සඳහන් විය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව

යුද්ධය අවසන් වීමත් සමඟම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සමඟ ඇති කර ගත් එකඟතා අනුව ආණ්ඩුව පැත්තෙන් එම කටයුතු ඉටු නොවීම නිසා මහ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධව තමන්ට විශේෂඥ උපදෙස් ලබා ගැනීම උදෙසා කමිටුවක් පත් කරන ලදී. ‘දරුස්මාන් කමිටුව’ ලෙස හැඳින්වූයේ එයයි. මෙම කමිටුව පත් කිරීමත් සමඟම එහි ඇති බැරෑරුම්කම තේරුම් ගත් ජනාධිපතිවරයා දේශීය වශයෙන් පරීක්ෂණයක් කොට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා 2010 නොවැම්බර් 03දා ඛඛඍක්‍ හෙවත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් පත් කළේය.

කොමිසමේ නිර්දේශ විශාල ප්‍රමාණයක් විය. ඉන් ප්‍රමාණයක් සැකෙවින් මෙසේ ය:

  1. අවතැන් වූ ජනතාව සඳහා නිවාස පහසුකම් සලසා දීම.
  2. ජන ජීවිත නඟාසිටුවීමට සිවිල් සංවිධාන දිරිගැන්වීම හා රජය සෘජු වැඩපිළිවෙළක් ඇරඹීම.
  3. ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට කැමැති ඉන්දියාවේ ජීවත් වන අවතැන් වූවන්ට පහසුකම් සලසා දීම
  4. යුද වකවානුවේ ජනතාව පලවාහැරීම් පිළිබඳ නිවැරැදි තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සංයමයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම
  5. විනාශ වී ඇති පොදු ස්ථාන ගොඩනැඟීමේ ක්‍ෂණික පියවර ගැනීම.

දරුස්මාන් කොමිසම

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සමඟ ඇති කර ගත් එකඟතා ආණ්ඩුව පැත්තෙන් ඉටු නොවීම නිසා මහ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධව තමන්ට විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා 2011දී දරුස්මාන් කමිටුව පත් කරන ලදී. පුද්ගලයන් 2,300කගෙන් සාක්ෂි 4,000ක් ලබාගෙන මෙම විමර්ශනය සිදු කරන ලද බව සඳහන් වේ. එය නිකුත් කළ වාර්තාව මඟින් මානුෂවාදී නීති උල්ලංඝනයට අදාළව ශ්‍රී ලංකා ආණ්ඩුවට හා එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි පවතින බව ප්‍රකාශ විය.

ආණ්ඩුවට එරෙහි කරුණු :

  1. පොකුරු ෂෙල් වෙඩිවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම.
  2. රෝහල් ඇතුළු තහනම් ඉලක්කවලට ෂෙල් වෙඩි එල්ල කිරීම.
  3. මානුෂවාදී ආධාර උපකාර ප්‍රතික්‍ෂේප කිරීම.
  4. අවතැන්වූවන් හට, එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට හා ගැටුමෙන් දිවි ගලවා ගත් අයට හිංසා කිරීම.
  5. මාධ්‍යයට සහ ආණ්ඩු විරෝධීන් හට හිංසා කිරීම, ඝාතන සිදු කිරීම.

එල්.ටී.ටී.ඊ.යට එරෙහි කරුණු :

  1. සිවිල් ජනතාව පළිහක් ලෙස භාවිත කිරීම.
  2. එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලින් පලා යන සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම.
  3. සිවිල් පුරවැසියන් අතර සිට අවි ආයුධ භාවිත කිරීම හා ප්‍රහාර එල්ල කිරීම.
  4. ළමා සොල්දාදුවන් බඳවා ගැනීම.
  5.  යුදමය කටයුතු සඳහා සිවිල් පුරවැසියන් බලහත්කාරයෙන් යොදා ගැනීම.
  6. මරාගෙන මැරෙන ප්‍රහාර මඟින් සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම.

මැක්ස්වෙල් පරණගම කොමිසම 

2009 ජනවාරි සිට මැයි මස 18 දක්වා වූ කාලවකවානුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ යුද හමුදාව යන දෙපක්ෂයෙන් ජාත්‍යන්තර නීති සහ මානව හිමිකම් කඩ වී තිබේ දැයි සොයාබැලීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ සහභාගිත්වයෙන් 2013දී මෙම කොමිසම පත් කරන ලදී. එමඟින් අතුරු වාර්තාවක් ඉදිරිපත් කළ අතර, නිර්දේශ 11ක් ද ඉදිරිපත් කර තිබේ.

මෙසේ කොමිෂන් ගණනාවක් ස්ථාපනය කෙරුණ ද, මේවායේ නිර්දේශ හෝ යෝජනා කිසිවක් නිසි ලෙස ක්‍රියාවට නැඟුණේ නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව 2012, 2013, 2014 යන වසර තුනේම යෝජනා සම්මත කරනු ලැබී ය. 2014 යෝජනාවෙන් මානව හිමිකම් කඩවීම් පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් කළ යුතු බවත්, එසේ කරන තුරු ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ප්‍රකාශ විය. ඒ අනුව පැවැත්වුණු පරීක්ෂණයේ වාර්තාව 2015 මාර්තු මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත්, 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමඟ සිදු වූ බල පෙරළිය නිසා මෙම වාර්තාව ඉදිරිපත් වූයේ 2015 සැප්තැම්බර් 16 වැනි දින පැවැති සැසිවාරයට ය. වාර්තාව මඟින් මතු කළ ප්‍රධාන කරුණු ලෙස මිනීමැරීම්, ලිංගික හිංසන, අතුරුදහන් කිරීම්, සාමාන්‍ය ජනතාවට හා පොදු ස්ථානවලට පහර දීම්, මානුෂීය ආධාර වැළැක්වීම, කුරිරු වධහිංසා, ළමා හමුදා හා පැහැර ගැනීම් යන කරුණු මතු කර තිබිණි. වාර්තාවේ නිර්දේශ ලෙස, හයිබි්‍රඞ් හෙවත් දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමටත්, ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත විමර්ශනයක් සිදු කිරීමටත් යෝජනා කරන ලදී. මෙකී නිර්දේශවලට ලංකාව විසින් පූර්ණ එකඟතාව පළ කර තිබේ. 13 වන සංශෝධනය බලාත්මක කිරීමත්, මහජන ආරක්ෂක පනත සංශෝධනය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමත් යන කරුණු ද ඊට අදාළ ය.

කෙසේ නමුත්, 2015 මාර්තු මාසයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු 30/1 යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති කරුණු 9ක් තිබේ.

  1. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම.
  2. සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම.
  3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම.
  4. වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම.
  5. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම.
  6. විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම.
  7. අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයැවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයන් පත් කිරීම.
  8. ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම.
  9. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහාය ලබා ගැනීමට අවසර දීම.

2015 බලයට පත් රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව විසින් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයක් ආරම්භ කරන ලදී. 19වන සංශෝධනය සම්මත කිරීම හා කොමිෂන් සභා බලාත්මක කිරීම ආදී සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් මෙම කාලය තුළ ක්‍රියාවට නැඟිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාවට එරෙහිව ගෙන එමින් තිබූ ක්‍රියාමාර්ග ද ලිහිල් ස්වභාවයකට පත් විය.

2020 වසරේ සිට යළි රාජපක්ෂ පාලනය බලයට පත් විය. 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය අහෝසි කර ඒකාධිපති බලතල තහවුරු කෙරෙන 20වන සංශෝධනය සම්මත කර ගන්නා ලදී. රාජ්‍ය සේවයේ බොහෝ තනතුරු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම ද සිදු විය. එසේම 2015 මානව හිමිකම් සැසියේ දී සම්මත වූ හා ලංකාව එකඟවූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් විය. මෙම කරුණුත්, මුස්ලිම් ජනයාගේ මානව අයිතීන් සම්බන්ධ ප්‍රශ්නත් 2021 ජීනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේ දී අවධානයට ලක් විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා ය. එමඟින්, ‘මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් විශ්වාස කටයුතු චෝදනා ලැබූවන්’ ඉලක්ක කර ගත් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටු වීම, සංචාර තහනම ඇතුළු සම්බාධක නිර්දේශ කර තිබිණි. එසේම ලංකාවට එරෙහිව කරුණු 16ක් ඇතුළත් ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ ්/්‍යඍක්‍/46/ඛ1 යෝජනාවලිය’ ලෙස වෙනත් යෝජනාවලියක් බ්‍රිතාන්‍යයයේ මූලිකත්වයෙන් ඉදිරිපත් විය. එම යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ජන්ද 22ක් ලැබුණු අතර, රටවල් 11ක් විරුද්ධ වූහ. රටවල් 14ක් ජන්දය දීමෙන් වැළැකී සිටියේ ය. අසල්වැසි ඉන්දියාව හා ජපානය මෙයට ඡන්දය දීමෙන් වැළැකී සිටියහ.

2022 ද මානව හිමිකම් කොමිසමෙන් ලංකාව සම්බන්ද වාර්තා ඉදිරිපත් වූ අතර පෙර කරුණුවලට අමතරව ආර්ථික අර්බුධය හා ආණ්ඩුවේ ජනතා මර්දනය පිළිබඳව අවධානය යොමුකර තිබුණි. 

බලය බෙදීම හා ඒකීය රාජ්‍යය

ධනවාදයේ ආරම්භයේ දී සිදු වූ ජාතික රාජ්‍ය බිහි වීමේ ක්‍රියාවලියේ  දී ෆෙඩරල් ක්‍රම හරහා විසිරී තිබූ ජනතාවන් හා භූමි කොටස් එක්කරනු ලැබූ බව සැබෑ ය- එහෙත්, වත්මන් අවධියේ ලොව පුරා අධිරාජ්‍යවාදී දේශපාලන උපක්‍රමය වී ඇත්තේ රටවල් තව තවත් කැබලි කරමින් සූරාකෑමයි- ලංකාවේ ජාතික ප්‍රශ්නයට අදාළව ද බලය බෙදීමේ විසඳුම් යෝජනා කළ ඉතිහාසයක් තිබේ.

  • 1957 බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම        රට සභා
  • 1957 ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම                     දිස්ත්‍රික් සභා
  • 1987 ඉන්දු ලංකා ගිවිසුම                                     පළාත් සභා
  • 1994න් පසු චන්ද්‍රිකා පාලන සමයේ පැකේජය         කලාප සභා

ලාංකීය භූමිය තුළ ධනේශ්වර මධ්‍යගත රාජ්‍යයක් බිහි වී තිබේ. එය සිදු වූයේ උත්තරාරෝපිතව ය. එනිසා ධනවාදයේ සියලු ජයග්‍රහණ මෙහි තහවුරු නොවී ය. විශේෂයෙන් ලංකීය ජාතිය බිහි නොවී ඒ වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්ව ඉතිරි විය. එබැවින්, මෙම ජාතිකත්ව මධ්‍යගත කෙරුණේ අත්තනෝමතිකව ය. මෙසේ මධ්‍යගතව පැවැති රාජ්‍යය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ‘ඒකීය’ වචනයෙන් නාමකරණය කරනු ලැබිණි. මේ නිසා ඒකීය රාජ්‍යය යනුවෙන් අදහස් කරනුයේ මෙකී අත්තනෝමතික මධ්‍යගත රාජ්‍යයයි. මාක්ස්වාදයට අනුව එය පිළිගත නොහැකි ය.

මෙහි දී ඉදිරිපත් වූ ‘සන්ධීය’ හෙවත් ෆෙඩරල් විසඳුම් සැලැකිය හැක්කේ අත්තනෝමතික විමධ්‍යගතකරණය ලෙස ය. එබැවින්, එය ද අනුමත කළ නොහැකි ය. පිළිගත හැකි විසඳුම වන්නේ ප්‍රජාතාන්ත්‍රිකව මධ්‍යගතකරණයයි. එය ඇති කිරීමට ධනවාදයට නොහැකි ය. සැබැවින්ම ප්‍රජාතාන්ත්‍රිකව මධ්‍යගත රාජ්‍ය බිහි කළ හැක්කේ සමාජවාදයට පමණි-

එබැවින්, බලය බෙදීම හෙවත් ෆෙඩරල් ක්‍රමය වත්මන් අවධියේ අධිරාජ්‍යවාදීන් විසින් යොදා ගනු ලබන්නේ රටවල් තව තවත් බෙදා වෙන් කිරීමට ය. දකුණු සුඩානය වෙනම රාජ්‍යයක් බවට පත් කිරීම මෙයට කදිම උදාහරණයකි.

මුස්ලිම් ජනතාව හා ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන්

ජාත්‍යන්තර පසුබිම

ලෝක ධනපති ක්‍රමයේ ධනය ඒකරාශී කිරීමේ නොනිමි තරඟයත්, එමෙන්ම ධනපති ක්‍රමයේ අර්බුදය නිසා එය වෙළෙඳපොළවල් යළි යළි අත්පත් කර ගැනීම සඳහා යුද්ධය උපකරණයක් ලෙස භාවිත කිරීම අධිරාජ්‍ය යුගයේ දී (පූර්ව ධනේශ්වර අධිරාජ්‍යයන් රෝමානු හා ඔටොමාන් වැනි) මෙන්ම වත්මන් අධිරාජ්‍යවාදී යුගයේ ද භාවිත කරන ප්‍රධාන උපක්‍රමයකි.

මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපද මැදිහත් වීම් සම්බන්ධ විරෝධයක් පැවැති අතර 1979දී එසේ පැනනැගුණු ඉරාන විප්ලවය විසින් නිර්මාණය කරන ලද්දේ ආගමික රාජ්‍යයකි. අයතුල්ලා කුමෙයිනි මෙහි ආධ්‍යාත්මික නායකයා විය. මෙමඟින් මතු කරනු ලැබූ මූලධර්මවාදී අදහස් අන්තවාදයන් පෝෂණය කිරීමට පාදක විය. එම කලාපයේ පෙර නොපැවැති සංස්කෘතික සීමා කිරීම් වර්ධනය වීමට මේ තත්ත්වය බලපෑවේ ය.

සමාජවාදී කඳවුර තිබූ අවධියේ වෙළෙඳ අරමුණු සඳහා සෘජු ආක්‍රමණ යොදා ගැනීම තරමක් දුරට පාලනය වී තිබූ නමුත්, එය බිඳටීමෙන් පසු වෙළෙඳ අරමුණු සඳහා අධිරාජ්‍යවාදීහු සුලභව යුදමය මැදිහත් වීම් භාවිත කළහ. එසේ වුව ද, එම අධිරාජ්‍යවාදී ඒකාධිකාරී සමාගම්වල සෘජු අරමුණ වසන් කිරීමට ධනේශ්වර පන්තිය හා එම උගතුන් විසින් දිගින්දිගටම යුද්ධ පැවැතීම යුක්තියුක්ත කිරීම සඳහා ‘ශිෂ්ටාචාර අතර ගැටුම’ න්‍යාය ඉදිරිපත් කරනු ලැබූ අතර ඉදිරියේ දී පන්ති අතර නොව ශිෂ්ටාචාර අතර ගැටුම් ඇති  වන යුගයක් බිහි වන බවට න්‍යායික සංකල්පයක් ද ඉදිරිපත් කරනු ලැබී ය.

1991 ඉරාකයට එරෙහි ගල්ෆ් යුද්ධයේ සිට මෙම තත්ත්වය හොඳින් මතු වී පෙනෙන අතර, විශාල වශයෙන් මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට ද මෙම ඉරාක ආක්‍රමණය අනෙක් අතට ඉවහල් විය. එම නිසා ලොව පුරාම අධිරාජ්‍යවාදීහු මුස්ලිම් අන්තවාදයට එක් අතකින් පහර දුන් අතර, අනික් අතින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කළහ. 2001 සැප්තැම්බර් 11 වැනිදා එක්සත් ජනපදයට කළ ප්‍රහාරයත්, ඒ සමඟම ඇරඹි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයත්, 2003දී නැවත ඇරඹී ඉරාකයට එරෙහි දිගුකාලීන ගල්ෆ් යුද්ධයත් විසින් ඉරාකය විනාශ කිරීමත් සිදු කරන ලදී. අධිරාජ්‍යවාදී හමුදා මඟින් ඉරාකයට කරන ලද විනාශයත්, එමෙන්ම අධිරාජ්‍යවාදීන් විසින් ඉරාකය තුළ විවිධ ජාතික, ආගමික කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධතා උත්සන්න කරමින්, ඉස්ලාම් ආගමික අන්තවාදී කණ්ඩායම් බිහි කරනු ලැබීමත්, ඒ සඳහා අධිරාජ්‍යවාදී රටවල් සහ විවිධ ජාතික රාජ්‍යයන් සහාය දීමත් විසින් ලොව පුරාම ඉස්ලාමය මුල් කරගත් අන්තවාදී, ත්‍රස්තවාදී සංවිධාන බිහි වීම සිදු විය. මෙම සංවිධාන ඉස්ලාමීය අධිරාජ්‍යයක් ගොඩනැඟීම අරමුණු කරගෙන කටයුතු කිරීමත්, ‘අල්කයිඩා’ සහ ‘අයිසිස්’ සංවිධාන වැනි ජාතික රාජ්‍ය සීමා ඉක්ම වූ ජාත්‍යන්තර සංවිධාන බිහි වීමත්, ගොඩනැඟීමත් විසින් ලොව පුරාම මුස්ලිම් ජනතාවට එරෙහි වෛරයක්, සැකයක්, පොදුවේ ජනගත කිරීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය විය. එම නිසා ලංකාවේ  ජාතික ගැටලුවේ වත්මන් විශේෂ වර්ධනයක් වන මුස්ලිම් ජනතාව සහ අනෙකුත්  ජාතිකත්වයන් අතර ඇති ගැටලුව වර්ධනය වන්නේ මෙම ලෝක දේශපාලන සන්දර්භය තුළ ය.

රාජ්‍ය අනුග්‍රහය සහිත ජාතිවාදී සංවිධාන ගොඩනැඟීම

ශ්‍රී ලංකාව තුළ 2010 වන තෙක් ම විශේෂයෙන් ම සිංහල සහ මුස්ලිම් ජන කණ්ඩායම් අතර ප්‍රබල විරුද්ධවාදී විරෝධයක්, සැකයක් නොතිබුණු නමුත්, දැනට තහවුරු වී ඇති නියත කරුණු අනුව 2010-2015 ආණ්ඩු කාලය තුළ, විශේෂයෙන් 2011-12 තරම් වන කාලයේ දී එම පාලනයට සම්බන්ධ ආරක්ෂක හා බුද්ධි අංශ මඟින් සිංහල-මුස්ලිම් ජාතිවාදී තත්ත්වයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් හා ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂයට අනුබද්ධව කටයුතු කළ හමුදා බුද්ධි අංශවල මැදිහත් වීම මඟින් අන්තවාදී සංවිධාන ගොඩනැඟීමත් (බොදු බලසේනා වැනි සංවිධාන, තවුහිද් ජමාත් සංවිධානය මෙසේ ගොඩනඟන ලද බව සනාථ වී තිබේ.) ඔවුනට බුද්ධි අංශ මඟින් වැටුප් ගෙවූ බවට ද එවකට සිටි ජනාධිපතිවරයාම පිළිගෙන තිබේ. මේ අනුව 2012-2014 කාලය තුළ ඉතා ප්‍රබල ලෙස හලාල් ප්‍රශ්නය, මුස්ලිම් ජනගහන වර්ධනය, බෞද්ධ  සිද්ධස්ථානවලට අදාළ ඉඩම් අල්ලා ගැනීම ආදී අදහස් පදනම් කරගනිමින් රාජ්‍ය අනුග්‍රහය ලැබූ දැඩි මුස්ලිම් විරෝධයක් සමාජගත කරන ලද අතර, ආණ්ඩුව සතුව ඇති ජාතිවාදී මාධ්‍ය විසින් එම තත්ත්වය තීව්‍ර කිරීමට කටයුතු කරන ලදී.

 එමෙන්ම රට තුළ පවතින ආර්ථික අර්බුදය නිසා විවිධ වෙළෙඳ සහ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින සුළු හා මධ්‍යම පරිමාණයේ සිංහල ව්‍යාපාරික ප්‍රජාවට ද අවශ්‍ය වන පරිදි පොදුවේ රටේ සෑම ප්‍රදේශයකම ව්‍යාපාර කටයුතුවල නිරත ප්‍රජාවක් වන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව එම මුස්ලිම් කඩ වර්ජනය කරන ආකාරයේ වැඩපිළිවෙළක් දියත් කිරීම ද ප්‍රබල ලෙස සිදු විය. මෙයට පෙර ද මෙවැනිම උත්සාහයක් ‘සිංහල වීර විදහන’ තම සංවිධානය හරහා ක්‍රියාත්මක විය. මේවායේ දිගුවක් ලෙස ජාතික හෙළ උරුමය නමින් පක්‍ෂයක් ආරම්භ කර තිබූ අතර 2012න් පසු ඇති වූ තත්ත්වය එහිම වර්ධනයක් ලෙස සැලැකිය හැකි ය. එහි ප්‍රතිඵලය වූයේ එම ජාතිවාදී මානසිකත්වය පුපුරා යාම 2014 ජුනි මස දී අලුත්ගම මුස්ලිම් ගම්මානවලට පහර දීම් මඟින් සිදු වීමයි. එම පහර දීමට අදාළ වගකිව යුත්තන්ට කිසිදු දඬුවමක් ලබා දෙනු නොලැබිණි.

2015න් පසු රාජපක්ෂවරුන්ගේ බල ව්‍යාපෘතියක් ලෙස

2015දී රාජපක්ෂ පාලනය බලාපොරොත්තු නොවූ පරිදි පරාජය විය. 2015 සිට 2020 දක්වා වූ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව සහජීවන මතවාදය පවත්වාගෙන ගිය අතර, ආණ්ඩුව සැකසී තිබුණේ, දෙමළ, මුස්ලිම් පක්ෂවල සහාය මත ය. නැවත බලයට පත් වීම සඳහා රාජපක්ෂවරුන්ගේ ප්‍රධාන හා එකම උපායමාර්ගය වූයේ ජාතිවාදයයි. ඔවුන් සතු දැවැන්ත ජන පදනම, මාධ්‍ය බලය සහ මුදල් හැකියාවන් යොදාගෙන 2010 – 15 කාලය තුළ ව්‍යාප්ත කර තිබූ ජාතිවාදී මතය දිගට ගෙන යමින් ඉතා බරපතළ ලෙස මුස්ලිම් විරෝධයක් මතු කරනු ලැබී ය.

එමඟින් මුස්ලිම් ජනයා හා සිංහල ජනයා අතර තදබල විරෝධයක් හා ජාතිවාදී මානසිකත්වයක් ගොඩනඟන ලදී.  මේ සඳහා මුස්ලිම් දේශපාලනඥයන්ගේ හා මුස්ලිම් ජාතිවාදී කණ්ඩායම්වල සමහර ක්‍රියාවන් මෙන්ම මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අංග සහ සිංහල ජනතාවගේ සංස්කෘතිකාංග අතර ඇති වෙනස්කම් ද, එමෙන්ම අරාබි රටවල සිදු කෙරෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති හා වැඩවසම් ලක්ෂණ සහිත ක්‍රියාමාර්ග ද, ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියාමාර්ග ද උලුප්පා දක්වමින් යොදා ගැනිණ.

මෙහි ලා භාවිතා කරනු ලැබූ ප්‍රධාන තර්ක හා සිදුවීම් කීපයක් මෙසේ ය:

  • ලංකාවේ සිංහල ජනතාව වඳ කිරීමට මුස්ලිම්වරුන් විසින් ආහාර වර්ග, ඇඳුම්, වඳ සැත්කම් කරනු ලබන බව.
  • ලංකාවේ මුස්ලිම් ජනගහන වර්ධනය වේගවත් වී ඇති බව.
  • මුස්ලිම් පල්ලි ගොඩනැඟීමටත්, මුස්ලිම් දේශපාලනඥයන්ටත්, ඉස්ලාමීය රාජ්‍යවලින් ආධාර ලබාදෙන බවත් ඒවාට ආවරණය වී ත්‍රස්ත සංවිධාන ගොඩනැගෙන බව.
  • විල්පත්තු කැලය කපා එහි මුස්ලිම් ජනතාව පදිංචි කරන බව.
  • නීති විද්‍යාලයට අයථා ක්‍රමවලින් මුස්ලිම් සිසුන් වැඩිපුර ඇතුළු කරගෙන ඇති බව.
  • ඉස්ලාම් ආගමේ ඇති විවිධ වත්පිළිවෙත් ප්‍රශ්න කිරීම.
  • සතුන් මැරීම විශේෂයෙන් ගව ඝාතනය.
  • විවාහයේ දී වෙනත් ජාතියක හෝ ආගමක කෙනකු නම්, ඉස්ලාම් ආගමට හැරීමේ අනිවාර්යය බව, බාලවයස්කාර දරුවන් විවාහ කර ගැනීම.
  • කාන්තාවන්ට අසමාන ලෙස සැලැකීම
  • මුස්ලිම් ජනතාවගේ ඇඳුම විශේෂයෙන් කාන්තාවන්ගේ පර්දාව.
  • විශේෂ පෞද්ගලික නීති මුස්ලිම් ජනතාවට පමණක් තිබීම,
  • මද්‍රසා පාසල් අතිවිශාල ලෙස ආරම්භ කර තිබීම

ආදිය මතු කරන ලදී.

මෙම තර්ක, සිදුවීම් හා මතවාද අතිවිශාල ප්‍රමාණයක් සහමුලින්ම ව්‍යාජ හා පදනමකින් තොර ඒවා වූ අතර, සමහර ඒවා අර්ධ සත්‍යය මෙන්ම තවත් ඒවා සංස්කෘතීන් අතර ඇති වෙනස්කම් සහ වෛරීසහගත හුවාදැක්වීම් මඟින් මතු කරන ලද ඒවා විය.

අනෙක් අතට ලංකාවේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ පැහැදිලිව කැපීපෙනෙන ලෙස තිබෙන අවස්ථාවාදී ස්වභාවයත්, ජාතිවාදී ලෙසින් දැනෙන ක්‍රියාමාර්ගත්, මුස්ලිම් ජනතාව පොදු සමාජය සමඟ ඒකාබද්ධ වීමට පෙන්වන කුලෑටිකම සහ පැකිළීම වැනි කරුණුත් එවැනි මතයක් ගොඩනැඟීමට අවශ්‍ය සාධක සපයනු ලැබීය.

එමෙන්ම රාජපක්ෂවරුන්ට බලය ලබා ගැනීමේ නොතිත් අවශ්‍යතාවන් සඳහා අන්ත ජාතිවාදී, ආගම්වාදී ප්‍රහාර උත්සන්න කරන අතරම (දිගන වැනි ප්‍රහාරයන්) රනිල් – මෛත්‍රී ආණ්ඩුව එම ජාතිවාදී ප්‍රහාර වැළැක්වීමට සහ එම ජාතිවාදී ප්‍රහාරවලට සම්බන්ධ වූවන්ට දඬුවම් දීමට කටයුතු නොකිරීම මඟින් ද සිංහල ජාතිවාදය තවත් ශක්තිමත් වූ අතරම සිංහල ජාතිවාදයට එරෙහිව කටයුතු නොකිරීමේ ද ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් ජාතිවාදය ද හිස ඔසවනු ලැබී ය.

පාස්කු ප්‍රහාරය

මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් අන්තවාදය පිළිබඳ සමාජය තුළ ඉහළ මට්ටමකින් ප්‍රතිවිරෝධයක් හා වෛරයක් තිබූ අවස්ථාවක පාස්කු ප්‍රහාරය සිදු විය. එමඟින් මුස්ලිම් විරෝධය අතිදැවැන්ත දේශපාලන – සමාජ සුනාමියක් දක්වා වර්ධනය කළ අතර, ඊට පෙර රාජපක්ෂවරුන් විසින් විවිධ කණ්ඩායම් මඟින් ඇති කරනු ලැබූ මුස්ලිම් විරෝධය සඳහා භාවිත කරන ලද අසත්‍යය, පදනම් විරහිත හා අර්ධ සත්‍යය මත පදනම් වූ සියලුම කරුණු පාස්කු ප්‍රහාරය නිසා නිවැරැදි ඒවා බවට ජනතාවට ඒත්තුගැන්වීම සිදු විය. මේ නිසා පාස්කු ප්‍රහාරයෙන් පසු අතිවිශාල ලෙස මුස්ලිම් ජනතාව පීඩාවට, කොන් කිරීමට, අසහනයට, වෛරයට හා අසාධාරණයට ලක් වූ අතර, සිංහල සහ මුස්ලිම් සමාජය අතර තිබූ දිගුකාලීන එකඟතාවන් සහමුලින්ම මෙන් බිඳවැටිණි. මෙම වටාපිටාව තුළ සිංහල මවුවරුන් හාරදහසක් වඳ කිරීම පිළිබඳ දොස්තර සාෆි හා සම්බන්ධ පැලෝපීය නාළ ප්‍රබන්ධය තුළින් ද තවත් මෙම ජාතිවාදී තත්ත්වය ඉතා සංවේදී මට්ටමට වර්ධනය කිරීම සිදු විය.

පාස්කු ප්‍රහාරය එල්ල වීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දේශපාලන වශයෙන් විශාල ලෙස ඉවහල් විය. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පවා පත් කෙරුණු අතර, එමඟින් ද මෙහි පසුබිම පැහැදිලිව අනාවරණය නොකෙරිණි. ඒ නිසා මෙම ප්‍රහාරය රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා ම සැලැසුම් කළ එකක් ද යන සැකය පවතී.

එනිසා දැනට ලංකාවේ ඇති මුස්ලිම් ජනතාව සම්බන්ධ කොට ගත් ජාතික අසමගිය ප්‍රධාන වශයෙන් සමාජ, ආර්ථික හේතු මත පදනම් වූවක් වුවත්, ලංකාව තුළ ‘ලාංකික ජාතිය’ ගොඩනොනැඟීම යන කරුණ මත පවතින්නකි. එමෙන්ම එහි දී ශ්‍රී ලංකාව තුළ සමාන පුරවැසියන් ලෙස තම දේශපාලන, සංස්කෘතික අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධව මුස්ලිම් ජාතිකත්වයට ඇති වී තිබෙන ගැටලු නොවිසඳීම නිසාත්, සිංහල, දෙමළ, මුස්ලිම් ධනපති දේශපාලනයේ ජාතිවාදී බලපෑමත්, ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් ජනතාව අන්තවාදීකරණය සඳහා සිදු කෙරෙන ව්‍යාපෘතිවල බලපෑමට ලක් වී සිටීමත්, පොදුවේ මුස්ලිම් සමාජය තුළ සිංහල සහ දෙමළ සමාජවලට සාපේක්ෂව වමේ ව්‍යාපාරයේ බලපෑම සහ මැදිහත් වීම අඩු වීමත්, ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාවගෙන් සැලැකිය යුතු පිරිසක් අරාබි රටවල විවිධ රැකියා සහ වෙළෙඳ ව්‍යාපාර සඳහා මැදිහත් වීම මඟින් එම අරාබි රටවල දේශපාලන, සංස්කෘතික ආභාසයට තදින් ලක් වීම සහ එය ශ්‍රී ලංකාව තුළ කෘත්‍රිමව ගැළපීමට දරන උත්සාහයන් විසිනුත් ඇති වී තිබෙන්නකි.

එසේ වුව ද, 2010 වර්ෂයෙන් පසු මේ මොහොතේ මතු වී ඇති සිංහල – මුස්ලිම් ප්‍රතිවිරෝධී තත්ත්වය නිශ්චිතවම රාජපක්ෂ ආණ්ඩුවේ බලය ලබා ගැනීමේ ප්‍රධාන ව්‍යාපෘතිය වන ජාතිවාදය ඉස්මතු කිරීමේ සෘජු මැදිහත් වීම මත දේශපාලන වශයෙන්  ගොඩනැඟූවකි.

අභ්‍යන්තර සාධක

මේ සඳහා බලපාන අනෙකුත් අභ්‍යන්තර සාධක වශයෙන් ශ්‍රී ලංකාව තුළ ලාංකීය ජාතිය බිහි නොවීමේ ගැටලුවත්, සිංහල, දෙමළ, මුස්ලිම් ධනපති ජාතිවාදී දේශපාලනයත්, මුස්ලිම් ප්‍රජාවට ශ්‍රී ලාංකේය සමාජය තුළ මිශ්‍ර වීමට බාධාකාරී වන සංස්කෘතික සාධකවල බලපෑමත්, මුස්ලිම් ජනතාව වෙළෙඳාම හැරුණු විට අනෙකුත් ක්ෂේත්‍රවල සමාජ ජීවිතයට මැදිහත් වීමේ අඩුකමත්, මුස්ලිම් ජනතාව බහුතරය වන රටවලට ගැළපෙන විවිධ ක්‍රියාමාර්ග හා ඇවතුම් පැවතුම් මුස්ලිම් ජනතාව බහුතරය නොවන රටක ජීවත් වීමේ දී ඔවුන්ට එයට අනුව ගළපා ගැනීමට නොහැකි වීමත්, රටේ මුස්ලිම් දේශපාලනඥයන් වැඩි පිරිසක් ඉතාම දූෂිත, අවස්ථාවාදී හා ජාතිවාදී පිරිසක් ලෙස සැලැකිය යුතු ලෙස තහවුරු වී තිබීමත්, 1990න් පසු මුස්ලිම්  ජාතිවාදය පදනම් කරගෙන යන දේශපාලන ව්‍යාපෘතියක් පෙළගැසී තිබීමත් යන සාධක මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලාංකීය සමාජය තුළට ඒකරාශී වීමට ඇති බාධා ලෙස හඳුනා ගත හැකි ය.

ලොව පුරා ජාතික ගැටලුව

අධිරාජ්‍යවාදී යටත්විජිත

ලෝකය තුළ තවමත් යටත්විජිත ලෙස පවත්වාගෙන යන රටවල් හෝ ප්‍රදේශ 61ක් පවතී. ලොව ප්‍රධාන පෙළේ රටවල් අටක් ඒවා නඩත්තු කරයි. ඕස්ටේ්‍රලියාව (6), ඩෙන්මාර්කය (2), නෙදර්ලන්තය (2), ප්‍රංශය (16), නවසීලන්තය (3), නෝර්වේ (3), එක්සත් රාජධානිය (15) සහ එක්සත් ජනපදය (14) එම රටවල්ය. මෙයින් බොහොමයක් දූපත් රාජ්‍යයන් වන අතර, යුද, දේශපාලන වැදගත්කමින් යුත් මෙම ස්ථාන රැසක යුද කඳවුරු පිහිටුවා තිබේ. මේවායේ ජීවත් වන ජනගහනය එතරම් විශාල නැතත්, ඒවායේ අධිපතිත්වය දරන රටේ බලාධිකාරයට හා පීඩනයට යටත් වන්නට එම ජනතාවන්ට සිදුව තිබේ. ලොව පුරා ප්‍රදේශ 16ක මිලියන 2කට ආසන්න ජනතාවක් තවමත් ජීවත් වන්නේ යටත්විජිත පාලනයන් යටතේ ය.

ආක්‍රමණ හා ඈඳා ගැනීම්

පලස්තීනය

1948 වන විට යුදෙව් සුළුතරයක් ජීවත් වූ පලස්තීනයේ එක් කොටසක් වෙන් කොට යුදෙව් ජනයා සඳහා ඊශ්‍රායලය නමින් රටක් මහා බ්‍රිතාන්‍යයයේ පූර්ණ අනුග්‍රහයෙන් ඇති කරනු ලැබී ය. පසුව මැදපෙරදිග කලාපය තුළ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සගයා බවට ඊශ්‍රායලය පත් වූ අතර, ඔවුන්ට විශාල වශයෙන් යුදමය හා ද්‍රව්‍යමය ආධාර සපයන ලදී. මෙසේ ශක්තිමත් වූ ඊශ්‍රායලය විසින් වරින් වර පලස්තීන රාජ්‍යයට පහර දී ඊට අයත් බිම් පෙදෙස් අත්පත් කර ගන්නා ලදී.

1967 ජුනි මාසයේ දී ‘සය දින යුද්ධය’ දියත් කරමින්, ගාසා තීරය සහ ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය, බටහිර ඉවුර (නැඟෙනහිර ජෙරුසලම ඇතුළුව) සහ සිරියාවේ ගෝලාන් කඳුකරය ඊශ්‍රායලය අල්ලා ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීන රාජ්‍යය ලෝක සිතියමෙන් අතුරුදහන් විය. ඊශ්‍රායලයේ මේ කොල්ලකාරී අත්පත් කරගැනීමට විරුද්ධව පලස්තීන ජනයා අතරින් විවිධ සටන් සංවිධාන බිහි විය. මුල් කාලයේ ඊශ්‍රායල් විරෝධී අරගලයේ පුරෝගාමියා වූයේ යසර් අර්ෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානයයි (ඡඛධ). සීතල යුද සමයේ එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලය සිය සගයා බවට පත් කර ගනිද්දීල පීඩිත පලස්තීන ජනයා සිය සහාය ජාත්‍යන්තරව ලබා ගත්තේ සමාජවාදී කඳවුරෙනි. අද පලස්තීනය ලෙස හඳුන් වන්නේ බටහිර ඉවුර හා ගාසා තීරය නමැති කුඩා භූමි ප්‍රදේශ දෙක ය. මේ ප්‍රදේශවල සීමිත ස්වයංපාලන අයිතියක් පලස්තීනුවන්ට හිමියි. තවමත් පලස්තීනය නිල වශයෙන් රාජ්‍යක් ලෙස පිළිගැනෙන්නේ නැත. බටහිර ඉවුර පලස්තීන විමුක්ති සංවිධානයේ අනුප්‍රාප්තිකයා වන ෆාටා සංවිධානයත්, ගාසා තීරය හමාස් සංවිධානයත් විසින් පාලනය කරනු ලබයි. හමාස් යනු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඡඛධ සංවිධානයට විරුද්ධව පලස්තීනය තුළ ගොඩනංවනු ලැබූ ඉස්ලාම් අන්තවාදී සංවිධානයකි. 2007දී ඡඛධ සංවිධානය සහ හමාස් සංවිධානය අතර සිදු වූ ගැටුමත්, ඉන් ගාසා තීරයේ බලය හමාස් සංවිධානය අතට පත් වීමත් පිටුපස සිටියේ ඇමෙරිකානු ක්‍ෂ් සහ ඊශ්‍රායල මොසාඞ් ඔත්තු සේවායි. ඊශ්‍රායලය යුදෙව් ස්වෝත්තමවාදය භාවිත කරද්දී, හමාස් සංවිධානය ඉස්ලාමීය අන්තවාදය යොදා ගනී.

කෙසේ නමුත් පලස්තීන පාර්ලිමේන්තු බහුරය දිනාගෙන පාලනය පිහිටුවා ඇත්තේ හමාස් සංවිධානය විසිනි.

1993දී ඔස්ලෝ ගිවිසුම් අත්සන් කිරීමෙන් වසරකට පසු බටහිර ඉවුරේ ප්‍රදේශ පාලනය කිරීම සඳහා පලස්තීන ජාතික අධිකාරිය පිහිටුවන ලද අතර, එය ‘දූපත් 165’ සහ ගාසා තීරයෙන් සමන්විත වේ. පලස්තීන රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් 138 දෙනෙක් පිළිගෙන ඇති අතර, 2012 සිට එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක තත්ත්වයේ පවතී.

රුසියාව විසින් ජෝර්ජියාවේ දකුණු ඔසෙටියාව සහ අබ්කාසියාව ඈඳාගැනීම

 19 වන සියවස පුරාම නූතන ජෝර්ජියාවේ භූමි ප්‍රදේශ රුසියානු සාර් අධිරාජ්‍යයට කැබලි ආකාරයෙන් ඈඳාගෙන තිබිණි. 1917 රුසියානු විප්ලවයෙන් පසුව ජනරජ 15ක් එක් කර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පිහිටුවීය.  ඉන් එකක් වූයේ 1922දී පිහිටුවූ ජෝර්ජියානු සෝවියට් සමාජවාදී ජනරජයයි. (ජෝර්ජියානු එස්. එස්. ආර්.) ඒ අතරම එහි ඔසෙටියනු ජනතාව සිටි ප්‍රදේශයට දකුණු ඔසෙටියන් ස්වයංක්‍රීය පරිපාලන ඒකකය නිර්මාණය කළේ ය. (ස්වයංක්‍රීය ඕබ්ලාස්ට්- ්ධ) එසේම අබ්කාසියානු ජනයා සිටි ප්‍රදේශයට අබ්කාසියානු ස්වයංපාලිත සමාජවාදී සෝවියට් ජනරජයත් :USSR*  ඇති කරනු ලැබී ය. සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ 1991 අප්‍රියෙල් මාසයේ දී ජෝර්ජියාව සෝවියට් සංගමයෙන් වෙන්වීමට මඟපාදා ගනු ලැබී ය.

දකුණු ඔසෙටියා අර්බුදය

මෙය කිලෝමීටර් 3,900ක භූමි ප්‍රදේශයක් වන අතර, 53,000කට අධික ජනගහනයක් සිටිති. ජෝර්ජියාව සෝවියට් දේශයෙන් වෙන් වීමෙන් පසු ඊට සමාන්තරව දකුණු ඔසෙටියාව ජෝර්ජියාවෙන් නිදහස ප්‍රකාශයට පත් කරන ලදී. ජෝර්ජියානු රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ දකුණු ඔසෙටියා හි ස්වාධීනත්වය අහෝසි කොට කලාපය මත සිය පාලනය නැවත බලහත්කාරයෙන් ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමෙනි. මේ අර්බුදය උත්සන්න වීම 1991-92 දකුණු ඔසෙටියා යුද්ධයට හේතු විය.

2000දී රුසියාවේ ජනාධිපති වශයෙන් ව්ලැඩිමීර් පුටින් තේරී පත්වීමෙන් හා 2003දී ජෝර්ජියාවේ බටහිර ගැති බලය වෙනස් වීමෙන් පසුව රුසියාව සහ ජෝර්ජියාව අතර සබඳතා පිරිහීමට පටන් ගත්තේ ය.

දකුණු ඔසෙටියාව පාලනය කරන අයට එරෙහිව ජෝර්ජියානුවන් සටන් කිරීම 2004දී සහ 2008දී ලෙස තවත් අවස්ථා දෙකක දී සිදු විය. අවසාන ගැටුම රුසියානු-ජෝර්ජියානු යුද්ධයට තුඩු දුන්නේ ය. රුසියාව ජෝර්ජියාවට ‘දකුණු ඔසෙටියාවට එරෙහි ආක්‍රමණය’ ගැන චෝදනා කළ අතර ‘සාමය බලාත්මක කිරීමේ’ මෙහෙයුමේ මුවාවෙන් 2008 අගෝස්තු 8 වන දින ජෝර්ජියාව මත මහා පරිමාණ ගොඩබිම, ගුවන් හා මුහුදු ආක්‍රමණ දියත් කළේය. එම කාලය තුළ ඔසෙටියානු සහ රුසියානු හමුදා කලින් දකුණු ඔසෙටියානු ස්වයං පාලක භූමි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම  අත්පත් කර ගත්හ.

වර්තමානයේ දකුණු ඔසෙටියාව රුසියාවේ මිලිටරි, දේශපාලන හා මූල්‍ය ආධාර මත දැඩි ලෙස රඳාපවතී. මෙය රුසියාව, වෙනිසියුලාව, නිකරගුවාව, සහ සිරියාව විසින් පිළිගත් රාජ්‍යයකි. ජෝර්ජියානු රජය සහ එක්සත් ජාතීන්ගේ බොහෝ සාමාජිකයන් එය ජෝර්ජියාවේ භූමි කොටසක් ලෙස සලකනු ලබන අතර, ව්‍යවස්ථාව මඟින් එම ප්‍රදේශය ‘දකුණු ඔසෙටියා ස්වයංපාලන දිස්ත්‍රික්කය’ ලෙස නම් කර ඇත.

අබ්කාසියානු අර්බුදය

1992 ජුලි 23 වන දින අබ්කාසියානු ජනරජයේ උත්තරීතර කවුන්සිලයේ අබ්කාස් කණ්ඩායම ජෝර්ජියාවෙන් ස්වාධීනතාව ප්‍රකාශයට පත් කරන ලදී. ජෝර්ජියානු නිලධාරීන් ඔවුන්ගේ කාර්යාලවලින් නෙරපාහැරීමේ ව්‍යාපාරයක් දියත් කළ අතර, එය ප්‍රචණ්ඩකාරී විය. ජෝර්ජියානු හමුදාව ද පැමිණි අතර, ගැටුම් ඇති විය. 1993 සැප්තැම්බර් 27 වන දින සුඛුමි නගරය අබ්කාසියානු හමුදා විසින් අල්ලා ගනු ලැබී ය. නගරයේ ඉතිරිව සිටින ජෝර්ජියානුවන්ට එරෙහිව නොයෙකුත් හිංසාවන් හා සමූහ ඝාතන සිදුවිය.

2008 අගෝස්තු මාසයේ දී අබ්කාස් සහ රුසියානු හමුදා ජෝර්ජියානු හමුදාවන්ට එරෙහිව යුද්ධයක් කළ අතර, එහි දී රුසියාව විසින් අබ්කාසියාවේ බලය තහවුරු කර ගන්නා ලදී. වර්තමානයේ අබ්කාසියාව යනු අර්ධ වශයෙන් පිළිගත් රාජ්‍යයක් වන අතර, බොහෝ රටවල් විසින් එය ජෝර්ජියාවේ කොටසක් ලෙස පිළිගනු ලබයි. එසේම එම කලාපය ස්වයංපාලන කලාපයක් ලෙස සලකයි. එය වර්ග කිලෝමීටර් 8,665කින් යුක්ත වන අතර, එහි ජනගහනය 2,45,000ක් පමණ වේ. එහි අගනුවර සුඛුමි ය.

රුසියාව විසින් චෙච්නියාව ඈඳාගනු ලැබීම

චෙචන් ජනරජය, රුසියාවේ ස්වාධීන ජනරජයක් ලෙස හඳුන්වනු ලබයි. වර්ග කිලෝමීටර් 17,300 (වර්ග සැතපුම් 6,700)ක භූමි ප්‍රදේශයක් ආවරණය වන අතර, 2020 වන විට ජනගහනය මිලියන 1.4 ඉක්මවයි. තෙල් හා ගෑස් සම්පත් බහුල ප්‍රදේශයකි. චෙචන්වරු ඉස්ලාම් ආගම අදහන අතර අතීතයේ සිටම ඉස්ලාම් මූලධර්මවාදී බලපෑම් පැවැතී ඇත. දශක 5ක් පමණ රුසියානු සාර් පාලනයට නතුකරගෙන පැවතිණි. 1917 රුසියානු විප්ලවයෙන් පසු ප්‍රතිගාමී කොටස් පලා ගිය ස්ථානයක් ලෙස  ද චෙච්නියානු ප්‍රදේශය හඳුනා ගත හැකි ය. ලෙනින්වාදී වැඩපිළිවෙළ තුළ ජනතා අයිතිවාසිකම් ලබා දෙමින් සියලු ජනකොටස් අතර සමඟිය තහවුරුකරන වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟිණි. ප්‍රතිවිරෝධයන් පැවැතියද, ඒවාට මුහුණ දීමේ දී අනුගමනය කරනු ලැබූයේ, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවයේ මූලධර්මයයි. සෝවියට් සමූහාණ්ඩු සංගමය ගොඩනැඟීමෙන් පසු 1922දී චෙච්නියාව රුසියානු සමූහාණ්ඩුව තුළ ස්වයංපාලන ප්‍රදේශයක් ලෙස පිළිගෙන ඇත. 1936දී චෙච්නියා සහ ඉන්ගුෂෙටියා ඒකාබද්ධ වී චෙචෙනෝ-ඉන්ගුෂ් ස්වයං පාලන සෝවියට් සමාජවාදී ජනරජය  (්ීඍ ) පිහිටුවා ඇත. ලෙනින්ගෙන් පසු සෝවියට් දේශය තුළ න්‍යායික හා සංවිධාන පිරිහීම් ඇති වූ අතර, මතු වූ ප්‍රතිගාමී ප්‍රවණතා පාලනය කිරීමට අනවශ්‍ය ලෙස අධිකාරීත්වය භාවිත කළ අවස්ථා පවතී. 

ප්‍රතිගාමීන්ගේ තෝතැන්නක් වූ චෙච්නියාවේ ද මේ තත්ත්වය දක්නට ලැබේ. දෙවන ලෝක යුද්ධයේ දී නාසි හමුදාවන්ට සහය පළ කරන සංවිධානයක් පිහිටුවා ඊට සහාය දීම නිසාවෙන් ස්වයංපාලන බලතල සෝවියට් ආණ්ඩුවට පවරාගෙන තිබේ. මෙහි දී විශාල පිරිසක් (ලක්ෂ 05ක් බව ඇතැම් වාර්තාවල දැක්වේ.) පිටුවහල් කර කසක්ස්ථාන් ප්‍රදේශයේ පදිංචි කරවා තිබේ. 1956න් පසු නිකිතා කෘෂෙව් යටතේ චෙචෙන්-ඉන්ගුෂ් ස්වයංපාලන සෝවියට් සමාජවාදී ජනරජය යථා තත්ත්වයට පත් කළ අතර චෙචන්වරුන්ට සහ ඉන්ගුෂ්වරුන්ට නැවත සිය දේශයට යාමට අවසර දෙන ලදී.

1991දී සෝවියට් සංගමය බිඳවැටීමත් සමඟ චෙච්නියාව ස්වාධීනතාවය ප්‍රකාශයට පත් කරයි. 1992දී ව්‍යවස්ථාවක් සම්මත කළේ ය. 1994 දෙසැම්බර් මස රුසියානු හමුදා චෙච්නියාවට ඇතුළු වීමත් සමඟ යුද්ධය ඇති විය. මාස 20ක යුද්ධයෙන් මිනිසුන් ලක්ෂයක් පමණ මියගිය බවට ගණන් බලා තිබේ.

1996 අප්‍රේල්වල දී රුසියානු මිසයිල ප්‍රහාරයකින් කැරලි නායක ඩොකොර් දුදෙව් මිය  ගියේ ය. 1996 අගෝස්තුවල දී චෙචන් කැරලිකරුවෝ ග්‍රොස්නි නගරයට ප්‍රහාරයක් එල්ල කළහ. රුසියානු හමුදා නායකයන් සහ චෙචන් කැරලිකරුවන් සටන් විරාම ගිවිසුමකට අත්සන් තබන අතර නොවැම්බර් මාසයේ දී රුසියානු හමුදා ඉවත් කර ගන්නා ලදී. 1997 ජනවාරියේ පැවැති චෙචන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු රුසියාව අස්ලාන් මස්කදොව්ගේ ආණ්ඩුව පිළිගත් අතර, මැයි මාසයේ යෙල්ට්සින් සහ මස්කදොව් සාම ගිවිසුමක් අත්සන් කළහ. එහෙත් වරින්වර ගැටුම් ඇති විය. රුසියානු නියෝජිතයන් පැහැර ගැනීම හා ඝාතනයන් සිදුවිය.

ඒ අතර මස්කදොව් ඉස්ලාමීය ආගමික නීතිය පියවරෙන් පියවර ක්‍රියාවට නැඟී ය. 1999දී චෙචන් කැරලිකරුවෝ ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් ලෙස ඩැගෙස්තානය වෙත සන්නද්ධ ආක්‍රමණ සිදු කළහ. ඒ සමඟ රුසියානු හමුදා සමඟ යළි ගැටුම් ඇති වී යුද්ධය ඇවිළ ගියේ ය. 2000 පෙබරවාරියේ දී රුසියානු හමුදා ග්‍රොස්නි අල්ලා ගත් අතර, මැයි මස ජනාධිපති පුටින් මොස්කව් සිට සෘජු පාලනය ප්‍රකාශයට පත් කළේ ය. 2000 ජුනි මස දී රුසියාව විසින් කදිරොව් චෙච්නියාවේ පරිපාලනයේ ප්‍රධානියා ලෙස පත් කළේ ය.

2003 මාර්තු මස චෙච්නියාව රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් බවට සඳහන් නව ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් අනුමත විය. 2003 ඔක්තෝබර් මස අක්මාත් කදිරොව් ජනාධිපති ලෙස තේරී පත් විය. එහෙත්, 2004 මැයි මස කැරලිකරුවෝ ග්‍රොස්නිහි බෝම්බ පිපිරවීමකින් ජනාධිපති කදිරොව් ඝාතනය කළහ.

2004 ඔක්තෝබර් ක්‍රෙම්ලිනයේ පිටුබලය ලත් හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අළු අල්කනොව් අගෝස්තු මැතිවරණයෙන් පසු ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. 2005 මාර්තු රුසියානු හමුදා සමඟ ඇති වූ ගැටුමකින් කැරලි නායක මස්කදොව් මිය ගියේ ය. 2005 මැතිවරණයෙන් රුසියානු හිතවාධී බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් ඇති විය. 2006 ජුනිවල දී බෙදුම්වාදී නායක අබ්දුල්-කලිම් සදුල්ලායෙව් රජයේ හමුදා විසින් ද, ජූලියේ දී අසල්වැසි ඉන්ගුෂෙටියාවේ දී කැරලි නායකයක වූ වෝර්ලර්ඞ් ෂමිල් බසයෙව් රුසියානු හමුදා විසින්ද ඝාතනය කරනු ලැබීය.

2007 පමණ සිට රුසියානු ජනරජයක් ලෙස පාලනය ගෙන යන අතර වරින්වර අන්තවාදී ප්‍රහාර එල්ල විය. කැරලි නායකයන් වූ උමාරොව් 2014ද ද, අබු උස්මාන් 2015දී ද රුසියානු ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලදී.

මෙම ගැටුම් සම්බන්ධයෙන් ගත් කල අන්තවාදී කැරලිකාරීත්වය පිටුපස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මැදිහත් වීමක් පවතින අතර, රුසියානු පාලනය ඒ සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත ද අත්තනෝමතික ක්‍රියාවලියකි. මෙම දෙපාර්ශ්වයම චෙච්නියානු ජනතාවගේ සැබෑ අයිතිවාසිකම් තහවුරු කිරීමට අසමත් වී ඇත.

රුසියාව විසින් ක්‍රිමියාව ඈඳාගනු ලැබීීම

 නැඟෙනහිර යුරෝපයේ කළු මුහුදට උතුරින් පිහිටි ක්‍රිමියානු අර්ධද්වීපය වර්ග කිලෝමීටර් 27,000ක භූමියකි. 2020 වන විට මිලියන 2.5ක් පමණ වූ ජනගහනයෙන් 65%ක් රුසියානුවෝ ද, 15%ක් යුක්රේනුවෝ ද, 11%ක් ටටාර් ජාතිකයෝ ද වෙති. යුක්රේනයට අයත්ව පැවැති මෙම ප්‍රදේශය ජනමතවිචාරණයක් හරහා 2014දී රුසියාවට ඈඳාගන්නා ලදී.

1783 පටන් මේ ප්‍රදේශ රුසියානු යටත් ප්‍රදේශයක් ලෙස පැවතිණ. 1917 රුසියානු විප්ලවයෙන් පසු 1921 ඔක්තෝබර් 18 වැනි දින ක්‍රිමියානු ස්වයංපාලිත සමාජවාදී සෝවියට් ජනරජය (ක්‍රිමියානු  ්ීඍ) රුසියානු සෝවියට් ෆෙඩරේෂන් සමාජවාදී ජනරජයේ (රුසියානු ීත්‍ීඍ) කොටසක් ලෙස ස්ථාපනය කරන ලදී. ක්‍රිමියානු ටටාර් ජනයා දෙවන ලෝක යුද්ධයේ දී නාසි හමුදා සමඟ සහයෝගීව කටයුතු කරන බවට චෝදනා කරමින්, 1944 වසරේ දී ස්ටාලින් පාලනය විසින් පිටුවහල් කර ඇත. 1945 ජුනි 30 වන දින ක්‍රිමියානු ස්වාධීන සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව අහෝසි කරන ලද අතර, රුසියානු ීත්‍ීඍ හි ක්‍රිමියානු ප්‍රදේශය බවට පත් විය. 1954දී ක්‍රිමියානු ප්‍රදේශය පාලනය කිරීම රුසියානු ීත්‍ීඍ වෙතින් යුක්රේනියානු සෝවියට් සමාජවාදී ජනරජය (ීඍ) වෙත මාරු විය.

1991දී සෝවියට් දේශය බිඳවැටෙද්දී, යුක්රේනය වෙනම ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය.  ක්‍රිමියාව ද යුක්‍රේනයේ කොටසක් ලෙස පැවැතිණි. මේ සමයෙහි ක්‍රිමියාවේ ස්වතන්ත්‍ර බලතල අඩු කෙරුණේ රුසියානු ජාතිකයන්ගේ විරෝධතා මධ්‍යයේ ය. ක්‍රිමියාව ස්වාධීන ජනරජයක් බවට 1996දී යුක්රේන ව්‍යවස්ථාව විසින් නියම කරන නමුත්, එහි ආණ්ඩුවේ ඕනෑම නීතියක් යුක්රේන ආණ්ඩුව අනුමත කළ යුතු විය.

2014දී යුක්රේන පාලනයට එරෙහිව මතු වූ ජනතා විරෝධතා නිසා ජනාධිපතිවරයා ඉල්ලා අස් විය. මේ කාලසීමාවේ දී ක්‍රිමියාවට රුසියානු මැදිහත් වීම් වැඩි විය.  මාර්තු 16 වැනිදා ජනමත විමසුමේ දී ක්‍රිමියාවේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 95ක් පමණ රුසියාවට එකතු වීම පිළිබඳව කැමැත්ත පළ කරන ලදී.

යුක්රේනය සහ තවත් බොහෝ රටවල් එම මැතිවරණය දූෂිත බවට චෝදනා කළ අතර, මෙම ඈඳාගැනීම හෙළාදැකී ය. එසේම එය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස ද සලකනු ලබයි. ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ රටවල් ක්‍රිමියාව යුක්රේනයේ කොටසක් ලෙස සලකයි. රුසියාව හා බටහිර කඳවුර අතර ඇති ප්‍රතිවිරෝධය ද ක්‍රිමියානු ප්‍රශ්නය කෙරෙහි බලපා ඇත. ඒ අතර ජනවරමකින් රුසියාව සමඟ එක් වීමේ විශේෂත්වය නිසා වෙනත් අත්දැකීම්වල දී මෙන් බලහත්කාරී ඈඳාගැනීමක් ලෙස විග්‍රහ කිරීම ද නිවැරැදි නොවේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම

සෝවියට් දේශය පැවති සමයේ යුක්රේනය එහි ජනරජ 15න් එකක් විය. 1991 යුක්රේනය වෙන්විය. එහෙත් 2014 දක්වාම යුක්රේන පාලනය රුසියානු හිතවාදී විය. එසේම එය අන්ත දූශිත පාලනයක්ද විය. ආර්ථික අර්බුධයක්ද පැමිණි අතර මහජන විරෝධතා මතුවිය. මේ තත්වය භාවිතා කර එක්සත් ජනපදය විරෝධතාවයන් යොදා ගනිමින් නාසිවාදී ජාතිවාදී පාලනයක් ඇතිකරනු ලැබීය. 2014 ක්‍රිමියාවේ පැවති ජනමතවිචාරණයෙන් ක්‍රිමියාව රුසියාව අයිති කර ගන්නා ලදී.

මෙයින් පසු ඩොනෙස්ට්සක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ පදනම් කරගත් රුසියානු ජනකොටස් ජීවත්වන ප්‍රදේශවල යුක්රේනයෙන් වෙන්වීම සඳහා වන නැගිටීමක් 2014 අප්‍රේල් සිදුවිය. ඩොන්බාස් යුද්ධය ලෙස එය හඳුන්වයි.

නේටෝව ක්‍රමානුකූලව රුසියානු භූමිය වටකරමින් තව තවත් රටවල් නේටෝවට බඳවා ගනිමින් සිටියේය. මෙසේ 1999දී චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තයද, 2004දී බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාවද 2009දී ඇල්බේනියාව සහ ක්‍රොඒශියාවද නේටෝවට එක්කරගන්නා ලදී. නේටෝව යුක්රේනයටද අත පෙවීම රුසියාවේ ආතතිය වැඩි කරනු ලැබීය.

නේටෝව සම්බන්දයෙන් දැඩි විශ්වාසයක් තබමින් යුක්රේන පාලකයෝ රුසියානු විරෝධී, ඇමෙරිකා – නේටෝ හිතවාදී ප්‍රතිපත්තිය තුළ ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ අතර 2022 පෙබරවාරි 24 දින රුසියානු හමුදා යුක්රේනයට කඩා වැදුනි. මේ හේතුවෙන් විශාල පිරිසක් මියගොස් සහ තුවාල ලබා සිටින අතර 2023 වසර පුරා යුධ තත්වය පවතී. රුසියාව සහ නේටෝව අතර ප්‍රතිවිරෝධයක් ලෙස එය වර්ධනය වෙමින් පවතී.

 ජාතිකත්ව, වාර්ගික හෝ වර්ණභේදවාදී පදනමින් අයිතිවාසිකම් ලබා නොදීම හා වෙනස්කම් කිරීම

වත්මන් අධිරාජ්‍යවාදී අවධියේ බොහෝ ධනවාදී රටවල වෙසෙන සුළුතර ජනකොටස් ජාතිකත්ව, ආගමික හෝ වාර්ගික පදනම්වලින් පීඩනයට ලක් කිරීම් දැකිය හැකි ය. ධනවාදය මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ පොදු ජනතාවගේ සමාජ, ආර්ථික ගැටලු විසඳීමට පාලක පන්ති අසමත් වීම නිසාවෙන් ඇති වන දේශපාලන අර්බුද පෙරළා පාලක පන්තිවල පැවැත්ම අභියෝගයට ලක් කරයි. මේ තත්ත්වය හමුවේ ජාතිවාදී, ආගම්වාදී මතවාදයන් හා ක්‍රියාකාරීත්වයන් ඉදිරියට ගෙන පන්ති ප්‍රශ්නය ඒවාට යට කර දමා ඒවා හරහා බලය පවත්වා ගැනීමට උත්සාහ කරනු ලැබේ. මෑතකාලීනව මෙම ප්‍රවණතා වැඩි වැඩියෙන් මතු වනු දක්නට ලැබේ. මෙයට උදාහරණ බොහෝ ය.

  • එක්සත් ජනපදයේ රතු ඉන්දියානුවන් විනාශ කිරීම.
  • ඔස්ට්‍රේලියාවේ ඇබොරිජින් ජනතාව විනාශ කිරීමේ ව්‍යාපාරය.
  • ජපානය තුළ අයිනු ජනතාව මර්දනය කිරීම.
  • නවසීලන්තයේ මෞරි ජාතිකත්වය විනාශ කිරීම.
  • ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය මුල් කර ගත් හින්දු ජාතිවාදී ක්‍රියාකාරීත්වය.
  • මහා බ්‍රිතාන්‍යයයේ අගමැති, කොන්සර්වේටිව් පක්ෂයේ නායක බොරිස් ජොන්සන්ගේ ක්‍රියාපටිපාටිය.
  • එක්සත් ජනපදයේ 2016 සිට 2020 දක්වා ජනාධිපති වූ රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ක්‍රියාකාරීත්වය.
  • මහත් ආන්දෝලනයක් ඇති කළ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනය.

මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ගේ ප්‍රශ්නය

රෝහින්ග්‍යා ගැටුම යනු මියන්මාරයේ රාඛයින් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ රාඛයින් බෞද්ධයන් සහ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් අතර ආගමික හා සමාජීය වෙනස්කම් පදනම් කර ගත් අර්බුදයකි.

1946දී මෙම ප්‍රදේශය එවකට නැඟෙනහිර පාකිස්තානයට (වත්මන් බංගලිදේශයට) ඈඳා ගන්නා ලෙස ඉල්ලීමක් තිබිණි. සමහරු ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යය රජයට කරන ලද ඉල්ලීම් නොසලකා හරින ලදී. 1948 නිදහසින් පසු අලුතින් පිහිටුවන ලද රජය රෝහින්ග්‍යා වැසියන්ට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් රට තුළ ක්‍රමානුකූල වෙනස්කම් කිරීම්වලට භාජනය විය.

මේ තත්ත්වයන් සමඟ බිහි වූ රෝහින්ග්‍යා මුජාහිදීන් ව්‍යාපාරය රජයේ හමුදාවන්ට එරෙහිව සටන් කළේ උතුරු අරකාන් හි මයූ අර්ධද්වීපය වටා (වර්තමාන රාහ්කීන් ප්‍රාන්තය) වැඩි වශයෙන් රෝහින්ග්‍යා ජනගහනය සහිත ප්‍රදේශය සඳහා ස්වයං පාලනයක් හෝ වෙන් වීමක් ලබා ගැනීමේ උත්සාහයකිනි. 1950 දශකය අවසන් වන විට මෙම ව්‍යාපාරය දුර්වල විය. 1961 මැයි 1 වන දින රෝහින්ග්‍යා වැසියන් සතුටු කිරීම සඳහා අරකාන් හි මයූ ෆ්‍රන්ටියර් දිස්ත්‍රික්කය පිහිටුවන ලදී.

1970 දශකයේ දී රෝහින්ග්‍යා බෙදුම්වාදී ව්‍යාපාර මුජාහිදීන්ගේ අවශේෂයන්ගෙන් මතු වූ අතර, සටන අවසන් වූයේ බුරුම රජය විසින් 1978දී ඊනියා ‘විදේශිකයන්’ නෙරපාහැරීම සඳහා ‘ඔපරේෂන් ඩ්‍රැගන් කිං’ නමින් දැවැන්ත මිලිටරි මෙහෙයුමක් දියත් කිරීමත් සමඟ ය.

1990 දශකයේ දී ද සන්නද්ධ රෝහින්ග්‍යා සහයෝගිතා සංවිධානය (ආර්එස්ඕ) ය විසින් බංග්ලාදේශ-මියන්මාර දේශසීමාව අසල බුරුම බලධාරීන්ට පහර දීම් සිදු විය. මේ සමඟ ඇතිවූ මිලිටරි මෙහෙයුම් නිසා සිවිල් වැසියන් 2,50,000 කට වැඩි පිරිසක් උතුරු රාඛයින් ප්‍රාන්තයෙන් බලහත්කාරයෙන් පිටුවහල් කෙරිණි.

2016 ඔක්තෝබර් සිට ප්‍රචණ්ඩත්වය යළිත් පුපුරා ගිය අතර, 2017 අගෝස්තු අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව (කලින් හරකා අල්-යාකින්) පොලිස් ස්ථාන 24කට සහ හමුදා කඳවුරකට ප්‍රහාර දියත් කළේ ය. 2017 ඔක්තෝබර් අවසානයේ එක්සත් ජාතීන්ගේ තක්සේරුව අනුව රෝහින්ග්‍යා සරණාගතයන් 6,00,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගොස් ඇති බවට වාර්තා විය. උතුරු රාඛයින් ප්‍රාන්තය වෙත ලෝක මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සහ එක්සත් ජාතීන්ගේ අවධානය යොමු විය.

වර්ණභේදවාදය

හමේ වර්ණය සලකා වෙනස්කම් කිරීම හා පහත් කොට සැලැකීම වර්ණභේදවාදී පිළිවෙත ලෙස හැඳින්වේ. දකුණු අප්‍රිකාවේ 2000 වන තුරු පැවැති සුදු පාලනය මීට කදිම නිදසුනයි. දීර්ඝකාලීන අරගලයකින් පසු නෙල්සන් මැන්ඩෙලා මූලික වූ කළු ජාතික ව්‍යාපාරය ආණ්ඩු බලය පිහිටුවීමෙන් එය අවසන් විය.

වත්මන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ද නොනිල ලෙස තවමත් වර්ණභේදවාදී පිළිවෙත ක්‍රියාත්මක වනු දැකිය හැකි ය. පසුගිය ට්‍රම්ප් පාලන සමය මෙහි ධී විශේෂ ය. 2020 වසරේ මහත් ආන්දෝලනයක් ඇති කළ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනය මෙවැනි එක් සිදුවීමකි.

අධිරාජ්‍යවාදී උපක්‍රමයක් ලෙස බෙදුම්වාදය

සුඩානයෙන් දකුණු සුඩානය වෙන් කිරීම

සුඩානය අප්‍රිකාවේ විශාලතම රටයි. රෝමයේ බලපෑමෙන් පසුව ආරම්භක ක්‍රිස්තියානි රාජ්‍යයක් වූ සුඩානය තුළ 16 වැනි සියවසේ දී පමණ සංචාරක අරාබි ගෝත්‍ර විසින් ඉස්ලාම් ආගම පතුරුවන ලදී. 1899 ජනවාරි 10 වැනිදා බ්‍රිතාන්‍යය හා ඊජිප්තුව විසින් සුඩානය හවුලේ පාලනය කිරීමට ගිවිසුමක් අත්සන් කරන ලදී. එම පාලනය තුළ දකුණු සුඩානයේ ඩාෆූර් ප්‍රදේශය නොසලකා හැරීමට ලක් විය. උතුරට වැඩි වශයෙන් සම්පත් යෙදවී ය. 1955 දෙසැම්බර් 19 දින සුඩානය නිදහස් රාජ්‍යයක් විය. සුඩානයේ ජනාධිපති මොහොමඞ් අල් නූමේරි 1983 දෙසැම්බර් 08 දින ඉස්ලාමීය ෂරියා නීතිය රටේ මූලික නීතිය බවට පත් කර ස්වදේශික අප්‍රිකානු ගෝත්‍ර මර්දනය කරන්නට විය. 1986දී සුඩාන ජනතා විමුක්ති හමුදාව නමින් ආණ්ඩුවට එරෙහි සන්නද්ධ ව්‍යාපාරයක් බිහි වූ අතර, එහි බහුතරය ක්‍රිස්තියානුවන්ගෙන් සමන්විත විය. ඩාෆූර් ප්‍රදේශයේ බහුතරය වූ අප්‍රිකානුවන් ද ආණ්ඩු විරෝධී කැරලි ඇරඹීය.

දකුණු සුඩානය සහ දකුණු ඩාෆූර් ප්‍රදේශවල සුඩානයේ මු`ඵ තෙල් නිධිවලින් 75%ක් පිහිටා තිබේ. ඩාෆූර් ප්‍රදේශයේ තෙල් නිධිවලින් වැඩි හිමිකාරීත්වයක් ඇත්තේ, චීනයේ ජාතික ඛනිජ තෙල් සංස්ථාවටයි. එමෙන්ම චීනය දකුණු සුඩානයේ සිට රතු මුහුද දක්වා කිලෝ මීටර් 1,500ක් දිග තෙල් නළයක් ඉදි කරමින් සිටින අතර, කාර්ටොන් අගනුවර අසල ඛනිජ තෙල් ටොන් මිලියන 2.5ක ධාරිතාවකින් යුත් තෙල් ළිඳක් ද කණිමින් සිටියි. චීනය වාර්ෂිකව සුඩානයෙන් තෙල් ටොන් මිලියන 10ක් ගන්නා අතර, ඉදිරියේ දී එය ඛනිජ තෙල් ටොන් මිලියන 50ක් හා ගෑස් ඝන ලීටර් බිලියන 50ක් ලෙස වැඩි කිරීමට අපේක්ෂා කරයි. සුඩානයේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවා ද වන්නේ චීනයයි. සුඩානයේ තෙල් සම්පත චීනයෙන් උදුරාගෙන තමා සතු කර ගැනීමට මාන බලමින් සිටින එක්සත් ජනපදය සුඩානයේ අභ්‍යන්තර ගැටලුවලට මැදිහත් වී දකුණු සුඩානයේ කැරලිකරුවන්ට ආයුධ සපයන අතර, සුඩාන රජයේ හමුදාවට චීනය ආයුධ සැපය ීය. මෙසේ ඇමෙරිකාව මැදිහත් වීමෙන් දකුණු සුඩාන බෙදුම්වාදී අරගලය උච්චස්ථානයකට ගෙන යනු ලැබිණි.

2002දී ආණ්ඩුව සහ බෙදුම්වාදීන් අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම මත 2005දී නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී, බෙදුම්වාදී නායකයාට උප ජනාධිපති ධුරය පිරිනමන ලදී. මෙසේ සුඩානය සහ-සන්ධීය රාජ්‍යයක් බවට පත් කළ අතර, දකුණු සුඩානයේ ස්වයංපාලන ආණ්ඩුවක් පිහිටුවී ය. 2011දී ජනමත විචාරණයක් පවත්වා දකූණු සුඩානය වෙනම රාජ්‍යක් බවට පත් කරන ලදී.

නයිජීරියාව බෙදා වෙන් කිරීමේ බොකො හරාම් ව්‍යාපාරය

නයිජිරියාව උතුරු හා දකුණු ලෙස කොටස් දෙකකට බෙදා 1900 සිට 1960 දක්වා බ්‍රිතාන්‍යයයෝ පාලනය කළහ. උතුරේ ඉස්ලාම් ආගම අදහන ජනයා බහුලවත්, දකුණේ ක්‍රිස්තියානි ආගම අදහන ජනයා බහුලවත් ජීවත් වෙති. 1960දී නයිජිරියාව බ්‍රිතාන්‍යයයෙන් නිදහස් වූ අතර, උතුර හා දකුණ එකතු කර නයිජිරියා ෆෙඩරල් ජනරජය පිහිටුවිය. පසුගිය කාලයේ නයිජීරියාව තුළ පැවැති මිලිටරි ආණ්ඩු විසින් ඇති කරන ලද මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු විසින් නයිජීරියාව තුළ ජාතිකත්ව පීඩනය උත්සන්න වී බොකො හරාම් වැනි බෙදුම්වාදී ව්‍යාපාර වර්ධනය වන්නට විය. තෙල් සම්පත් බහුල නයිජිරියාවේ උතුරු නයිජිරියාව පදනම් කොටගෙන ඉස්ලාමීය ෂරියා නීතිය මත පදනම් වූ නව රාජ්‍යයක් පිහිටු වීම බොකො හරාම් සංවිධානයේ අරමුණයි. එම සංවිධානයට ආධාර කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. නයිජිරියාව අප්‍රිකාවේ ප්‍රධානම තෙල් නිෂ්පාදකයා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පස්වන විශාලතම තෙල් සැපයුම්කරුවා ද වේ. දැනට වසර ගණනාවක සිට විශාල තෙල් බැරල් ප්‍රමාණයක් චීනය නයිජීරියාවෙන් ලබා ගනියි. නයිජීරියානු ආණ්ඩුව චීන හිතවාදී ස්ථාවරයක සිටින නිසා එක්සත් ජනපදය නයිජිරියානු ආණ්ඩුව අස්ථාවර කිරීමට බොකො හරාම් යොදා ගනියි. බොකො හරාම් සංවිධානය උතුරේ සිටින ක්‍රිස්තියානි ආගම අදහන ජනයාට එරෙහිව ප්‍රහාර එල්ල කරයි. මෑතක දී හෙළිදරවු වූයේ බොකො හරාම් සංවිධානයට සෘජුවම මුදල් ලබා දී ඇත්තේ, බ්‍රිතාන්‍යයයේ තම මූලස්ථානය පිහිටුවා ඇති සවුදි අරාබියට අයත් අල් මුන්ටාඩා අරමුදල නම් සංවිධානය විසින් බවයි. එම සංවිධානය පිටුපස ඇත්තේ එක්සත් ජනපදයයි.

ඇෆ්ගන් පාලනයට එරෙහිව මුජහිදීන් ගරිල්ලන් නිර්මාණය කිරීමට මැදිහත් වූ ස්බිග්නියෙව් බ්‍රෙසෙසින්ස්කි හිටපු ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ ප්‍රධාන උපදේශකයෙකි. ඔහු පවසන්නේ, නයිජිරියාව ඇතු`ඵ අප්‍රිකානු රටවල් කුඩා කුඩා පැරැණි ගෝත්‍රික දේශසීමාවන් යටතේ නැවත වෙන් කළ යුතු බවයි. ඔහුගේ න්‍යායට අනුව අප්‍රිකාවේ සිතියම 19 වැනි ශතවර්ෂයේ තිබූ ආකාරයට නැවත සැකැසිය යුතු ය.

බොකො හරාම් සංවිධානයේ නායකයා වන අබු බකර් ෂෙපුන් සවුදි අරාබිය සමඟ නිරතුරු ගනුදෙනු කරයි. සවුදියේ පිහිටුවා ඇති ගල්ෆ් කෝපරේෂන් කවුන්සිලයේ සිරියානු කැරලිකරුවන්ට වැටුප් ගෙවීමට හා වෙනත් කටයුතු සඳහා පිහිටුවා ඇති අරමුදල්වලින් බොකො හරාම් සංවිධානයට ද මුදල් ලබා දෙනු ලබයි. නයිජීරියාව හා චීනය අතර ඇති ආර්ථික ගනුදෙනු අඩපණ කිරීමටත් එක්සත් ජනපදය බොකො හරාම් සංවිධානය යොදා ගනියි.

යුගොස්ලාවියාව බෙදා වෙන් කිරීම හා කොසෝවෝ ප්‍රශ්නය

සමාජවාදී රාජ්‍යයක් ලෙස පැවැති සමයේ යුගෝස්ලාවියානු සමූහාණ්ඩුව ජාතිකත්වයන් 06ක් ඒකාබද්ධ කළ බහුජාතික රාජ්‍යයක්ව පැවැතිණි. මෙහි ජාතික පීඩනය, ජාතික වෙනස්කම් කිරීම සහ ජාතික වරප්‍රසාද පිදීම අහෝසි කොට තිබිණි. විවිධ සංස්කෘතීන්ට පැවැත්ම සඳහා වූ අයිතිය සහතික කොට කොට තිබිණි. එහෙත්, 1990දී සමාජවාදී කඳවුර බිඳවැටීමත් සමඟ යුගෝස්ලාවියාවද ධනවාදයට මාරු විය. ඒත් සමඟ බොස්නියා සහ හර්සිගොවිනාව, ක්‍රොඒෂියාව, මැසිඩෝනියාව, මොන්ටි්‍රනීග්‍රෝ, ස්ලෝවේනියාව වශයෙන් කොටස් ගණනාවකට කැඩී ගියේ ය.

සර්බියාව තුළ පිහිටි ස්වයංපාලන ප්‍රදේශයක් වූ කොසෝවෝ හි ස්වයංපාලන බලතල මෙලසොවික්ගේ සර්බි පාලනය විසින් ඉවත් කරනු ලැබිණි. මුස්ලිම්වරුන් හා සර්බිවරුන් අතර ගැටුම විශාල යුද්ධයක් බවට පත් විය. එක්සත් ජාතීන්ගේ හමුදා ද මැදිහත් වූ අතර, අන්තර් පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක විය. කොසෝවෝහි සාරවත් භූමි අත්පත් කර ගැනීමේ ඇමෙරිකානු වුවමනාවන් ද මේ පිටුපස ක්‍රියාත්මක විය. 2008 වසරේ දී කොසෝවෝ ඒකපාර්ශ්විකව නිදහස ප්‍රකාශයට පත් කරන ලදී. එහෙත්, සර්බියාව කොසෝවෝව ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගන්නේ නැත. 2020 වන විට එක්සත් ජාතීන්ගේ රාජ්‍යයන් 113ක් කොසෝවෝහි ස්වාධීනත්වය පිළිගත්තේ ය. එහෙත්, රුසියාව සහ චීනය ද කොසෝවෝ හි ස්වාධීනත්වය පිළිගන්නේ නැත. එබැවින්, තවම එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් රාජ්‍යයක් නොවේ.

කුර්දි ප්‍රශ්නය සහ ඉරාක කුර්දිස්ථාන ස්වයංපාලන ප්‍රදේශය

කුර්දි ජාතිකයන් ඉන්දු-යුරෝපීය සම්භවයක් ඇති ජනතාවකි. ඔවුහු කුර්දි නමින් හැඳින්වෙන ඉරාන භාෂාවක් කතා කරති. කෙසේ වෙතත්, අරාබි, ආර්මේනියානු, ඇසිරියානු, අසර්බයිජානු, යුදෙව්, ඔසෙටියානු, පර්සියානු සහ තුර්කි ප්‍රජාවන් ඊට ඇතුළත් ය. බහුතර වැසියන්  සුන්නි මුස්ලිම්වරුන් වන අතර, වෙනත් ආගම් අදහන අය ද සිටිති. අතීතයේ 8 සිට 19 වන සියවස් දක්වා කුර්දි රාජවංශ පාලනයන් පැවැතී ඇත. පරිපාලනමය වශයෙන් 20 වන සියවසේ දී කෙටිකාලීනව පාලන ප්‍රදේශ පිහිටුවීම වරින්වර සිදු වී ඇත. කුර්දිවරු ලොව රටක් නොමැතිව සිටින ජාතීන් අතර පෙරමුණේ සිටිති.

වර්තමානයේ කුර්දිස්ථානය කොටස් හතරකින් සමන්විත වේ. සමහර කුර්දි ජාතිකවාදී සංවිධාන කුර්දි බහුතරයක් සහිත මෙම ප්‍රදේශවලින් හෝ සියල්ලකින් සමන්විත ස්වාධීන ජාතික රාජ්‍යයක් බිහි කිරීමට උත්සාහ කරන අතර, අනෙක් ඒවා පවත්නා ජාතික සීමාවන් තුළ වැඩි ස්වාධීනත්වයක් සඳහා උද්ඝෝෂණය කරයි. පොදුවේ මොවුන් අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහි වීම ද විශේෂත්වයකි.

උතුරු ඉරාකය (දකුණු කුර්දිස්ථානය)

1970දී ඉරාක කුර්දිස්ථානය විසින් ප්‍රථම වරට ඉරාක රජය සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී. නමුත්, එම ගිවිසුම පසු කලෙක ඉරාකයේ ජනාධිපති වූ සදාම් හුසේන්ගේ රජය පිළිගත්තේ නැත. ඒ වෙනුවට ඔහු කුර්දිස්ථානයේ ඉරාක කොටසට හමුදාව යවා කුර්දිස්ථාන බෙදුම්වාදී අරගලය මර්දනය කරන ලදී. නමුත්, 1990 පළමු ගල්ෆ් යුද්ධයේ දී එක්සත් ජනපදය ඉරාකයට පහර දුන් පසු 1991 ඔක්තෝබර් මාසයේ ඉරාක කුර්දිස්ථානය විසින් එක්සත් ජනපද සහයෝගය ද සහිතව යළි තම ස්වාධීනත්වය ප්‍රකාශ කරන ලදී. අනතුරුව 2002 – 2003 කාලයේ දෙවන ගල්ෆ් යුද්ධයේ දී එක්සත් ජනපදය සදාම් හුසේන්ගේ රජයට පහර දෙන විට ඉරාක කුර්දිස්ථානයේ රඳවා සිටි ඉරාක හමුදාව බැග්ඩෑඩයට කැඳවන ලදී. සදාම් හුසේන් යටත් වූ පසු 2005 ජනවාරි 30 දින එක්සත් ජනපද පූර්ණ සහයෝගය සහිතව නව ව්‍යවස්ථාවක් සම්මත කර කුර්දිස්ථාන ස්වයයංපාලන රාජ්‍යයක් පිහිටුවීය. එහි වර්තමාන ජනාධිපති මසූඞ් බර්සානි වන අතර, අගමැති වන්නේ නෙචෙර්වන් බර්සානි ය. පාර්ලිමේන්තුවකින් රට පාලනය කරන අතර, මු`ඵ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 78,636කි. මු`ඵ ජනගහනය මිලියන 8.5කි.

වයඹදිග ඉරානය (නැඟෙනහිර කුර්දිස්ථානය)

ඉරානයේ කුර්දිස්ථාන් පළාතක් ද ඇතත් එය ස්වයංපාලනයක් නොවේ.

උතුරු සිරියාව (බටහිර කුර්දිස්ථානය)

සිරියාවේ ජනගහනයෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් කුර්දිවරුන් වන අතර, ඔවුහු වැඩි වශයෙන් සිරියාවේ උතුරු ප්‍රදේශයේ ජීවත් වෙති. කුර්දි ජනතාවගේ සංස්කෘතික නිදහසට එරෙහිව ජාතිවාදී පදනමින් විවිධ ක්‍රියාමාර්ග ඉතිහාසයේ සිදු වී ඇත. 2011 සිට සිරියානු පාලනයට එරෙහිව මතු වූ සිවිල් යුද වටාපිටාවත් සමඟ සිරියාවේ උතුරේ කුර්දි ප්‍රදේශවල ස්වයංපාලන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ගිනිකොනදිග තුර්කිය (උතුරු කුර්දිස්ථානය),

තුර්කි රජය සහ මෙහි කුර්දිවරුන් අතර 1920, 1924, 1927, 1937 කුර්දි කැරලි කිහිපයක් ඇති විය. මේ සියල්ල තුර්කි ආණ්ඩු විසින් මැඬලනු ලැබීය. 1925 සිට 1965 දක්වා කාලය තුළ මෙම කලාපය සංවෘත හමුදා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි.

කුර්දිවරුන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක් ලෙස තුර්කි රජය 1991 වන තෙක් කුර්දිවරුන් ‘කඳුකර තුර්කි’ ලෙස වර්ගීකරණය කළේ ය. ‘කුර්දිස්ථානය’ හෝ ‘කුර්දි’ යන වචන තුර්කිය විසින් නිල වශයෙන් තහනම් කරන ලදී. කුර්දි අවශ්‍යතා නියෝජනය කළ දේශපාලන පක්ෂ තහනම් කරන ලදී.

1983 සිට කුර්දිස්ථාන් කම්කරු පක්ෂයේ (පී.කේ.කේ.) සටන්කාමී, බෙදුම්වාදී සංවිධානයේ ගරිල්ලා ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර වශයෙන් කුර්දි පළාත් යුද නීතිය යටතේ තබන ලදී. කුර්දි ගම්මාන දහස් ගණනක් රජය විසින් විනාශ කරන ලද අතර දෙපාර්ශ්වය විසින්ම මිනිස් ඝාතන සිදු කරන ලදී.

සයිප්‍රස් ජනරජයෙන් උතුරු සයිප්‍රසය වෙන් කිරීමේ ප්‍රයත්නය

නැඟෙනහිර මධ්‍යධරණී මුහුදේ උපායමාර්ගික වැදගත් ස්ථානයක් ලෙස සයිප්‍රසය ඉතිහාසයේ පටන් ලොව බලවතුන්ගේ ඈඳාගැනීම්වලට හා ආක්‍රමණවලට ලක් විය. 1878දී සයිප්‍රස් සම්මුතිය මත පදනම්ව සයිප්‍රසය එක්සත් රාජධානියේ පරිපාලනය යටතේ ස්ථානගත කරන ලද අතර, එය 1914දී එක්සත් රාජධානිය විසින් නිල වශයෙන් ඈඳාගන්නා ලදී. තුර්කි සයිප්‍රස් වැසියන් ජනගහනයෙන් 18%ක් වන අතර, උතුරේ තුර්කි රාජ්‍යයක් ඇති කිරීම 1950 ගණන්වල තුර්කි සයිප්‍රස් නායකයන්ගේ සහ තුර්කියේ වුවමනාව විය. එසේම 19 වන ශතවර්ෂයේ සිට බහුතර ග්‍රීක සයිප්‍රස් ජනගහනය සහ එහි ඕතඩොක්ස් පල්ලිය ග්‍රීසිය සමඟ එක්සත් වීමට උත්සාහ කරමින් සිටි අතර, එය 1950 දශකයේ ග්‍රීක බලධාරීන්ගේ වුවමනාව ද විය. නිදහස් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1960දී සයිප්‍රසයට නිදහස ලැබිණි.

බ්‍රිතාන්‍යය පාලනයට යටත් වූ පසුව බෙදා වෙන් කර පාලනය කිරීමේ උපායමාර්ගය යටතේ 77%ක් වූ ග්‍රීක් සයිප්‍රස්වරුන් හා 18%ක් වූ තුර්කි සයිප්‍රස්වරුන් අතර ප්‍රතිවිරෝධයන් නිර්මාණය කරන ලදී. 1974දී සයිප්‍රසය ග්‍රීසියට ඒකාබද්ධ කිරීමේ සැලැස්මක් හමුවේ තුර්කි හමුදා ආක්‍රමණයකින් පසු සයිප්‍රසයේ උතුරු කොටසේ තුර්කි සයිප්‍රස් ආණ්ඩුවක් පිහිටුවන ලදී. සයිප්‍රස් භූමියෙන් එහි ප්‍රමාණය 36%කි. මෙහි දී මහා ජනසංහාරයක් සිදු විය.

1983දී තුර්කි සයිප්‍රස් නායකයාගේ ඒකපාර්ශ්වික ප්‍රකාශයක් මඟින් උතුරේ වෙනම තුර්කි සයිප්‍රස් ජනරජය ප්‍රකාශයට පත් කරන ලදී. තුර්කිය පමණක් නව රාජ්‍යය පිළිගැනීමත් සමඟ මෙම පියවර ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැඩි ලෙස හෙළාදකින ලදී. එසේම එය තුර්කි හමුදා විසින් අල්ලාගෙන සිටින සයිප්‍රස් ජනරජයේ භූමි ප්‍රදේශයක් ලෙස සලකනු ලබයි.

දිවයිනේ උතුර හා දකුණ වෙන්කරන භූමියෙන් 4%ක ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත කලාපයෙන් ආවරණය වේ.

2004දී එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අන්නන් විසින් කෙටුම්පත් කරන ලද ‘අන්නන් සැලැස්ම’ යෝජනා වූ අතර, එහි තුර්කි පාර්ශ්වයට පක්ෂග්‍රාහීත්වයක් පැවැතිණි. මෙම සැලැස්ම උතුරු සයිප්‍රසයේ සහ සයිප්‍රස් ජනරජයේ ජනමත විචාරණයකට ඉදිරිපත් කරන ලදී. තුර්කි සයිප්‍රස් වැසියන්ගෙන් 65%ක් සැලැස්මට පක්ෂව ඡන්දය දුන් අතර 74%ක් ග්‍රීක සයිප්‍රස් වැසියෝ මෙම සැලැස්මට විරුද්ධව ඡන්දය දුන්හ. සමස්තයක් ලෙස ගත් කල ඡන්දදායකයන්ගෙන් 66.7%ක් අන්නන් සැලැස්ම ප්‍රතික්ෂේප කළහ. සයිප්‍රස් වමේ ව්‍යාපාරය ද පෙනී සිටියේ අන්නන් සැලැස්මෙන් රට දෙකඩ කිරීම පරදවන ස්ථාවරයේ ය.

එක්සත් ජනපදය හා තුර්කිය ඉතා සමීපව කලාපය තුළ මැදිහත් වීම් කරන අතර, උතුරු සයිප්‍රස් කොටස තුර්කියට හිමි කර දීම එක්සත් ජනපදයේ ද වුවමනාව බව පෙනේ. මේ තත්ත්වය තුළ අධිරාජ්‍යවාදය සයිප්‍රසය රටවල් දෙකකට කැඩීමට උත්සාහ දරන අතර, සයිප්‍රසයේ වාමාංශික හා ප්‍රගතිශීලී ජනයා ඊට එරෙහිව සිටින බව පැහැදිලි ය.

අයි. එස්. අයි. එස්. සංවිධානය

’90 දශකය අවසානයේ මැදපෙරදිග කලාපය තුළ එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කිරීමට ප්‍රධාන බාධා ලෙස ඉරානය, ඉරාකය හා පලස්තීනයේ ක්‍රියාකාරීත්වය දැකිය හැකි විය. මුස්ලිම්වරුන් අතර පවතින ‘ෂියා’ සහ ‘සුන්නි’ වෙනස්කම ද යොදාගෙන සුන්නි මුස්ලිම්වරුන්ගේ වෙනම රාජ්‍යයක් ගොඩනැඟීමේ සංකල්පය සහිතව අයි.එස්.අයි.එස්. සංවිධානය පිහිටුවන්නේ සී.අයි.ඒ. සංවිධානයේ වැඩපිළිවෙළක් අනුව ය. ඉරාන ජනගහනයෙන් ෂියාවරු 89%ක්ද, සුන්නිවරු 09%ක් ද වෙති. ඉරාකයේ ෂියාවරු 60%-65% අතර ද සුන්නිවරු 32%-37% අතර ද වෙති.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ මුල් නම වන්නේ Islamic State of Iraq and the Levant (ISIL) යන්න ය. ‘ලෙවන්ට්’ යනු ඔටෝමාන් අධිරාජ්‍යයේ එක් වැඩපිළිවෙළකි. ලෙවන්ට් යනුවෙන් හැඳින්වූයේ නැඟෙනහිර මධ්‍යධරණී වෙරළ තීරයේ සියලුම රටවල් හා දූපත් ය. පසුව ලෙවන්ට් යන වදන ඉවත් කර ‘සිරියා’ යන්න යොදන ලදී. 2010 අයි.එස්.අයි.එස්. නායකත්වයට පැමිණි අබු බකර් අල් බැග්ඩෑඩි ඉරාකය තුළ පිහිටි ‘බකා’ නම් එක්සත් ජනපද කඳවුරේ අත්අඩංගුවේ සිටි අයෙකි. ඇමෙරිකාව සමඟ ඇති කර ගත් ගිවිසුමක් අනුව නිදහස් වී පැමිණ අයි. එස්. අයි. එස්. සංවිධානය පිහිටුවන ලදී. මොහුගේ පෙර නම අබු අහමඞ් වූ අතර, එම නම වෙනස් කර අබු බකර් යන නම යොදා ගන්නේ නබි තුමාගෙන් පසු කාලිෆ්වරයා වූ සහ සුන්නි ආගමේ ආරම්භක නායකයාව නියෝජනය කිරීමට ය. අයි.එස්. සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරීන් 25 දෙනාගෙන් තුනෙන් එකක්ම බකා නමැති ඉරාකය තුළ පිහිටි ඇමෙරිකානු සිර කඳවුරේ සිටි සිරකරුවන් ය. 2013 වන විට මොවුන් සිය ඉස්ලාමික් රාජ්‍ය සැලැස්මේ භූමි ප්‍රදේශ ප්‍රකාශයට පත් කළ අතර, ඊට සයිප්‍රසය, ඊශ්‍රායලය ජෝර්දානය, ලෙබනනය, පලස්තීනය, සිරියාව, තුර්කිය අයත් විය. යටත් කර ගන්නා ප්‍රදේශවල සුන්නි ඉස්ලාමිකයන් නොවන අය ඝාතනය කරමින්, කාන්තාවන් ලිංගික වහල් සේවයට ගෙන ඇත. පැරැණි සංස්කෘතික උරුමයන් රැසක් ද විනාශ කරන ලදී. 2015 වන විට අයි.එස්. යටතේ මිලියන 8ක ජනතාවක් ජීවත් වූහ. එක්සත් ජාතීන් පවසන්නේ අවම වශයෙන් ඉරාකයේ හා සිරියාවේ සමූහ මිනී වළවල් 200ක් තුළ 12,000ක් පමණ මරා දමා ඇති බවයි.

එහෙත්, 2015 සිට 2017 දක්වා කාලය තුළ ඉරාක සහ සිරියානු හමුදා විසින් අයි.එස්.අයි.එස්. පාලන ප්‍රදේශ අත්පත් කර ගන්නා ලදී. මෙහි දී යුද ප්‍රහාර සඳහා සිරියාව සමඟ රුසියාව ද එක් විය. අයි. එස්. අයි. එස්. සංවිධානයට එරෙහි තවත් සංවිධාන රැසක් කලාපය තුළ ක්‍රියාත්මක විය. ඒවා නම්, හමාස් සංවිධානය, පලස්තීන විමුක්ති ජනප්‍රිය පෙරමුණ, පලස්තීන විමුක්ති හමුදාව, ෆාටා සංවිධානය හා අල්කයිඩා සංවිධානය (අල් නුස්රා සංවිධානය), යේමනයේ සයිඩියා හවුති සංවිධානය, කුර්දිස්ථාන් කම්කරු පක්ෂ ජනතා ආරක්ෂක හමුදාව, කුර්දිස්ථාන් කම්කරු පක්ෂ නිදහස් කාන්තා ඒකකය යන ඒවා ය. 2020 අවසන් වන විට අයි. එස්. අයි. එස්. පාලන ප්‍රදේශ සියල්ලම ඔවුන්ට අහිමිව තිබූ අතර, විවිධ රටවල හුදකලා ක්‍රියාකාරීත්වයන්ට සීමා වී ඇත.

ජාතික ගැටලුවට නිර්ධන පන්තියේ විසඳුම

ජාතික ගැටලුව හා මාක්ස්වාදය

ජාතීන් බිහි වීමේ යුගයේ දී එනම්, ධනවාදයේ නැග්මේ මුල් යුගයේ දී ජාතික ගැටලුව වැඩවසම් ක්‍රමය පෙරළා දැමීම හා විදේශීය ජාතික පීඩනයෙන් නිදහස් වීම හා සම්බන්ධ එකක් විය. අධිරාජ්‍යවාදී යුගයේ දී එය රාජ්‍යයන් අතර ගැටලුවක් විය. ජාතික ගැටලුවේ වෙනස් ස්වරූපයන් ද හඳුනා ගැනේ. නිදසුනක් ලෙස මෙරට ධනවාදයේ විකාශනයේ දී ජාතික අනන්‍යතාවන් ගොඩනැඟුණ ද, ඒවා පරයමින් ජාතිකත්ව අනන්‍යතාවන් ප්‍රතිවිරෝධීව පැවත්මට ඒමත් සමඟ ලාංකීය ජාතික ගැටලුව නිර්මාණය කෙරිණි. එනම්, ජාතික අනන්‍යතාවන් තුළට ජාතිකත්ව ස්වීකරණය නොවීමේ හා තව දුරටත් ඒවා හුදෙකලාව පැවැත්වීමට ඉඩහැරීමෙන් මෙරට ජාතික ගැටලුව නිර්මාණය විය.

මාක්ස්වාදයේ පහත සඳහන් මූලික කරුණු මත පිහිටමින් ජාතික ප්‍රශ්නය විමසා බලමු.

  1. ජාතික ප්‍රශ්නය මාක්ස්-ලෙනින්වාදී මධ්‍ය ලක්‍ෂණය වන නිර්ධන පන්ති ආඥාදායකත්වයට සෑම විට ම යටත් කරයි. එනම්, සමාජවාදය හා සමාජ සංවර්ධනය සඳහා එහි ඇති වලංගුතාව විමසා බලයි.
  2. මාක්ස්වාදීහු අත්තනෝමතික මධ්‍යගතකරණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතකරණය වෙනුවෙන් පෙනී සිටිති.
  3. ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට කිසිදු ආකාරයක සීමා කිරීම්, වෙනස්කම් හෝ වරප්‍රසාද, වරදානවලට මාක්ස්වාදය සපුරා එරෙහි වේ. ඒ ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වීකරණයට පක්‍ෂපාතී වේ. මාක්ස්වාදය සියලු ම වර්ගවල ජාතිවාදයට විරුද්ධ වන අතර, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරයි. සියලු ම ජාතීන්ට අයත් නිර්ධනීන් අතර පන්ති සමඟිය වෙනුවෙන් පෙනී සිටියි. නිර්ධන පන්තිය ජාතික සීමාවන් ඔස්සේ බෙදීමටත්, නිර්ධන පන්ති ජාතීන් අනුව සංවිධානය කිරීමටත් විරුද්ධ ය.
  4. මාක්ස්වාදය බලවත් ජාතීන් විසින් දුර්වල ජාතීන් අල්ලා ගැනීම හා ඈඳාගැනීමේ ප්‍රතිපත්තියට තිර ලෙස විරුද්ධ වන අතර, එය යටත්විජිත හා පරාධීන ජාතීන්ගේ වෙන් වීමේ, නිදහස් වීමේ අයිතිය පිළිගනී.
  5. ජාතික ගැටලුව සම්බන්ධව දරන ස්ථාවරය එකිනෙක රටවලත්, එක ම රටේ වෙනස් වකවානුවලත් විශේෂයෙන් වෙනස් වන්නා වූ වාස්තවික තත්ත්වය මත රඳාපවතියි. එනිසාම ඒ සම්බන්ධ ප්‍රතිපත්ති සහ උපක්‍රම තීරණය කිරීම සඳහා ඒ ඒ රටේ ඒ ඒ වකවානුවල පවතින ද්‍රව්‍යමය තත්ත්වයන් සැබෑ විශ්ලේෂණයකට ලක් කර ඒ මත පිහිටා විසඳුම් සෙවිය යුතුය.

‘ස්වයංතීරණ අයිතිය’ සූත්‍රය

ජාතික ප්‍රශ්නය ගැන සිදු වන සාකච්ඡාවල දී බොහෝ විට මාක්ස්වාදයේ සූත්‍රයක් ලෙස ස්වයංතීරණ අයිතිය පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබේ. දෙමළ ඊලාම් ව්‍යාපාරය තුළත් එක් ප්‍රධාන ඉල්ලීමක් ලෙස ‘දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය’ යන්න සටන් පාඨයක් ලෙස යොදා ගැනිණි. කෙසේ නමුත්, මේ පිළිබඳ වන සාකච්ඡා බොහොමයක මෙහි සැබෑ අර්ථය බැහැර කර යොදා ගනු දක්නට ලැබේ. ඒ නිසා මේ සූත්‍රය බිහි වීම හා භාවිතය පිළිබඳව විමසා බැලිය යුතුය.

විසිවැනි සියවස ආරම්භයේ දී අධිරාජ්‍යවාදී බලවේගයන් අතළොස්සක් විසින් ලොව පුරා බොහෝ ජාතීන් පරාධීනත්වයට පත් කොට ජගත් යටත්විජිත පද්ධතියක් බිහි කොට තිබිණි. එංගලන්තය, රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඔස්ටි්‍රයාව ආදී බලසම්පන්න ජාතීන් මෙහි දී කැපී පෙනිණි. අනෙක් පසින් වැඩවසම් ක්‍රමය වෙනුවට ධනවාදය ලොව පුරා ව්‍යාප්ත වීම ඇරඹී තිබිණි. මේ පසුබිම තුළ ජාතීන්ගේ නිදහස සම්බන්ධ ප්‍රශ්නය පදනම් කරගෙන ස්වයංතීරණ අයිතිය පිළිබඳ සාකච්ඡාව මතු විය.

පෝලන්ත ගැටලුව හා සූත්‍රය

1772, 1793, 1795 වර්ෂවල දී පිළිවෙළින් සාර් රුසියාව, ප්‍රසියාව සහ ඔස්ටි්‍රයාව විසින් පෝලන්තය කැබලි කර ඈඳාගන්නා ලදී. ඉන් අනතුරුව පෝලන්තය තුළ පැනනැගුණු නිදහස් ව්‍යාපාරය වඩාත් ප්‍රගතිශීලී ව්‍යාපාරයක් බවට පත් විය. එය පෝලන්තය තුළ ධනවාදය ගොඩනැඟීමටත්, යුරෝපාකරයේ ප්‍රගතිශීලී ව්‍යාපාර අවදි කිරීමටත්, වැඩවසම් ආධිපත්‍යයට එරෙහිවත් දැඩිව බලපෑවේ ය. 1830දී පැනනැගුණු පෝලන්ත කැරැල්ලේ 50 වැනි සංවත්සරයට සුභපැතුම් යවමින්, මාක්ස් සහ එංගල්ස් විසින් පෝලන්ත නිදහස් ව්‍යාපාරයේ ප්‍රගතිශීලීත්වය අගයන ලදී. “පෝලන්තයට ජීවත් වීමට ඉඩ දෙනු” යැයි ඔවුහු හඬ නැඟූහ. එහෙත්, විසිවැනි සියවසට ළඟා වන විට පෝලන්ත නිදහස් සටනේ එකී තත්ත්වය යල්පැන ගොස් තිබිණි. වැඩවසම් පෝලන්තය ධනවාදී ලක්‍ෂණ සහිත පෝලන්තයක් බවට පත් වී තිබිණි. බොහෝ යුරෝපා රටවල ධනේශ්වර විප්ලව ජයග්‍රහණය ලබා තිබිණි.

මේ පිළිබඳ ලෙනින්ගේ පැහැදිලි කිරීම මෙසේ ය:

“මුළු මහත් යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදයේම දෘෂ්ටිකෝණය අනුව පෝලන්තයේ ප්‍රභූ පන්තියේ විමුක්ති ව්‍යාපාරය අතිශයින් පරම හා වැදගත් තත්ත්වයක් ගත්තේ ය. නමුත්, හතළිස් ගණන්, පනස් ගණන් හා හැට ගණන් සඳහා එසේ නැතහොත් දහනව වන ශතවර්ෂයේ තුන්වැනි කාර්තුව සඳහා මාක්ස්ගේ අදහස සම්පූර්ණයෙන්ම නිවැරැදි වුවත්, විසිවැනි ශතවර්ෂය වන විට එම නිරවද්‍යතාවය කෙළවර වී තිබුණේ ය. ස්ලාව් රටවල් බොහොමයක, ඉතාමත් නොදියුණු ස්ලාව් රටවලින් එකක් වන රුසියාවේ පවා ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර හා ස්වාධීන නිර්ධන පන්ති ව්‍යාපාරයක් පවා උද්ගත වී තිබේ. රදළ පෝලන්තය අහෝසි වී ගොස් ධනපති පෝලන්තයට ඉඩ සලසා ඇත. එවැනි තත්ත්වයන් යටතේ පෝලන්තයට ඇගේ විශේෂ විප්ලවවාදී වැදගත්කම අහිමි කර නොගෙන බැරි විය.”

ලෙනින් තෝරා  ගත් කෘති, වෙළුම 03, පිටුව 246

                                                                                                               

මේ අනුව 1896 ජුලි මස 27 වැනි දින සිට අගෝස්තු මස 01 වැනි දින දක්වා ලන්ඩන් නුවර ශාන්ත මාර්ටින් ශාලාවේ පැවැති දෙවැනි ජාත්‍යන්තරයේ නියෝජිත සමුළුවේ දී පෝලන්ත ප්‍රශ්නය පිළිබඳ යෝජනා තුනක් ඉදිරිපත් විය.

  1. ජාත්‍යන්තරයේ වැඩපිළිවෙළ සඳහා පෝලන්තයේ ස්වාධීනත්වය සඳහා ඉල්ලීමක් ඇතුළත් කරන ලෙස කළ යෝජනාව  – පෝලන්ත සමාජවාදී පක්‍ෂය. (ෆ්‍රාකි)
  2. පෝලන්ත සමාජවාදීන් පෝලන්ත ස්වාධීනත්වය සඳහා ඉල්ලීමක් ඉදිරිපත් නොකළ යුතු ය යන යෝජනාව  – රෝසා ලක්සම්බර්ග්.
  3. කාල් කෞට්ස්කිගේ යෝජනාව.

 “සෑම ජාතියකටම ස්වයංතීරණය සඳහා ඇති පූර්ණ අයිතියට පක්‍ෂපාතීත්වය ප්‍රකාශ කරන මේ සමුළුව යුද්ධ, ජාතික හා වෙනත් අත්තනෝමතික වියගසින් පීඩා විඳින සෑම රටක ම කම්කරුවන්ට සිය සහයෝගීතාව පළ කර සිටී. ජාත්‍යන්තර ධනවාදය පරාජය කිරීම සඳහා හා ජාත්‍යන්තර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු සපුරා ගැනීම සඳහා එක්සත් අරගලයක් කිරීමට සමස්ත ලෝකයේ ම පන්ති විඥානයෙන් යුත් කම්කරුවන් සැම එකතු වන ලෙස මේ සෑම රටක ම කම්කරුවන්ගෙන් මේ සමුළුව ඉල්ලා සිටී.”

කාල් කෞට්ස්කිගේ යෝජනාව සම්මත වූ අතර, අනෙක් ඒවා ප්‍රතික්‍ෂේප විය. දෙවැනි ජාත්‍යන්තරයේ මෙම යෝජනාව ගැන ලෙනින්ගේ අදහස මෙසේ ය:

 “එක් පැත්තකින් ස්වයංතීරණය සඳහා සියලු ජාතීන් සතු පූර්ණ අයිතිය සම්පූර්ණයෙන් සෘජුව සහ අනුමානයකින් තොරව පිළිගැනීම ද, අනෙක් පැත්තෙන් ඔවුන්ගේ පන්ති අරගලයේ දී ජාත්‍යන්තර සමඟිය සඳහා ධනපති පන්තියට එරෙහිව ව්‍යාකූලත්වයකින් තොරව ආයාචනා කිරීම ද යන මේ වශයෙන් ඉතා වැදගත් ප්‍රස්තූතයන් ජාත්‍යන්තර යෝජනාව ඉදිරිපත් කරයි. මෙම යෝජනාව සම්පූර්ණයෙන්ම නිවැරැදි යැයි අපි අදහස් කරමු. 20 වැනි සියවස ආරම්භයේ දී නැඟෙනහිර යුරෝපයේ හා ආසියාවේ රටවලට මේ යෝජනාව එහි කොටස් දෙකම අඛණ්ඩ සමස්තයක් ලෙස ගත් කල ජාතික ප්‍රශ්නයේ දී නිර්ධන පන්තියේ  ප්‍රතිපත්තියට එකම නිවැරැදි මඟපෙන්වීම ලබා දෙයි.”

ලෙනින් තෝරා ගත් කෘති, 03 වෙළුම, 245 පිටුව

“සෑම ජාතියක ම වෙන් වී යාමේ ප්‍රශ්නයේ දී ‘ඔව්’ හෝ ‘නැත’ යනුවෙන් පිළිතුරු ඉල්ලා සිටීම බැලූබැල්මට ඉතා ‘ප්‍රායෝගික’ විය හැකියි. යථාර්ථය ලෙස නම්, මෙය මුග්ධ ක්‍රියාවකි. එය න්‍යායික වශයෙන් පාරභෞතිකවාදී ය. ව්‍යවහාරික වශයෙන් එය නිර්ධන පන්තිය ධනවාදී ප්‍රතිපක්‍ෂයට ඇද දමයි. ධනපති පන්තිය නිතර ම සිය ජාතික ඉල්ලීම් පෙරමුණට ගනියි. එය ඉදිරිපත් කරන්නේ කොන්දේසි විරහිතව ය. නිර්ධන පන්තියට නම්, කෙසේ හෝ මේ ඉල්ලීම පන්තියේ අවශ්‍යතාවයට වඩා අඩු වැදගත්කමක් දරයි. න්‍යායික වශයෙන් නම්, ධනපති ප්‍රජාතාන්ත්‍රික විප්ලවයට එක ජාතියක් තවත් ජාතියකින් වෙන් වීමෙන් අවසන් වේ ද නැත් නම්, මුලින් කී හා පසු කී ජාතීන් අතර සමානතාවය ඇති වෙයි ද කල් ඇතිව කිව නොහැක්කකි. මේ තත්ත්වයන් දෙකෙහි දී ම නිර්ධන පන්තියට වැදගත් වන්නේ තම පන්තියේ වර්ධනය සහතික කිරීමකි.”

ලෙනින් තෝරාගත් කෘති 03 වෙළුම, පිටුව 220

රුසියාව හා ස්වයංතීරණ අයිතිය පිළිබඳ සූත්‍රය

1903දී පැවැත් වූ රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්‍ෂයේ දෙවැනි සමුළුව ‘සියලු සාමාජික ජාතීන්ට ස්වයංතීරණ අයිතිය’ යනුවෙන් යෝජනාවක් ඇතුළත් කර ගන්නා ලදී. ඒ පිළිබඳව ලෙනින් තව දුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරයි:

“පෙරදිග යුරෝපයේ සහ ආසියාවේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව යුගය 1905 වන විට ආරම්භ වූවා පමණකි. අපගේ කාලයේ, අපගේ ‘පෙරදිග’ ලෝක සිදුවීම් දාමය ඇති වූයේ, රුසියාවේ, පර්සියාවේ, තුර්කියේ සහ චීනයේ විප්ලව ද, බෝල්කන් යුද්ධ ද යන අනුපිළිවෙළට ය. මෙම සිදුවීම් දාමය තුළින් නැඟී එන ජාතික වශයෙන් නිදහස් හා ජාතික වශයෙන් එකකාර රාජ්‍යයන් පිහිටුවීමට ප්‍රයත්න දරන ධනපති – ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාර මාලාවක්ම දැකීමට අසමත් වන්නේ අන්ධ මිනිහෙක් පමණකි. රුසියාවත්, එහි අසල්වැසි රටවලුත් මෙම කාල පරිච්ඡේදය ගෙවමින් සිටිති. ඉඳුරාම, ඒ නිසාම, ඒ හේතුව නිසා පමණක්ම ස්වාධිපත්‍යය සඳහා ජාතීන්ගේ අයිතිය පිළිබඳ වගන්තියක් අපගේ වැඩපිළිවෙළට ඇතුළත් කළ යුත්තෙමු.

ලෙනින් තෝරා ගත් කෘති, 03 වෙළුම, 215 පිටුව

1917 පෙබරවාරියේ රුසියාවේ ධනේශ්වර විප්ලවය සිදු විය. මේ තත්ත්වය තුළ පක්‍ෂයේ වැඩපිළිවෙළ වෙනස් කර ගැනීම සඳහා අප්‍රේල් මාසයේ බොල්ෂෙවික් නියෝජිතයන්ගේ රැස්වීමක දී ලෙනින් විසින් අප්‍රේල් තිසීසයන් ඉදිරිපත් කරන ලදී. පක්‍ෂ සමුළුව එය අනුමත කfළ් ය.

ඒ අනුව නිර්ධන පාන්තික පක්ෂය සඳහා කෙටුම්පත් කළ වැඩසටහනේ 14වන කොටසේදී ස්වයංතීරණ අයිතිය පිළිගන්නා අතර මෙම කරුණුද අවධාරණය කර ඇතග

“නිර්ධන පන්ති පක්ෂය වෙර දරන්නේ, හැකි  තරම් විශාල රාජ්‍යයක් නිර්මාණය කිරීමට ය. ඒ, එය වැඩ කරන ජනතාවගේ වාසිය පිණිස වන හෙයිනි. ජාතීන් වඩාත් සමීප කරන්නටත්, ඒවා තව දුරටත් යා කරන්නටත් එය වෙර දරයි. නමුත්, එය මෙම ඉලක්කය මුදුන්පමුණුවා ගැනීමට පතන්නේ, ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් නොව විශේෂයෙන්ම සියලු ජාතීන්ගේ කම්කරුවන්ගේත්, වැඩ කරන ජනතාවගේත් අවංක සහෝදරාත්මක එක්සත්කම මඟිනි.

“රුසියානු සමූහාණ්ඩුව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වන තරමට කම්කරු, ගොවි නියෝජිතයන්ගේ සෝවියට් සභාවල සමූහාණ්ඩුවක් බවට තමන්වම වඩාත් සාර්ථක ලෙසින් සංවිධානය කරන තරමටම වඩාත් බලවත් වන්නේ සියලුම ජාතීන්ගේ වැඩ කරන ජනතාවගේ පැත්තෙන් එවැනි සමූහාණ්ඩුවක් තුළට ස්වේච්ඡාවෙන්ම ඇදී යාමේ වේගයයි.”

ලෙනින්, 1917 අප්‍රේල් 10 – පෙත්‍රොග්‍රාද්හි දී (තෝරා ගත් කෘති, 05 වෙළුම, 50 පිටුව

ඒ අතර වෙන්  වී ඉවත්  වීම හා ස්වයංතීරණ අයිතිය යනු එකක් නොවන බව ද ලෙනින් අවධාරණය කර ඇතතේ මෙසේ ය:

“නිදහස් ලෙස වෙන් වී ඉවත් වීම සඳහා ජාතීන් සතු අයිතියත්, කිසියම් නියමිත ජාතියක්, කිසියම් නියමිත අවස්ථාවක වෙන් වී ඉවත්ව යාමේ ඥානවන්තකමත් යන දෙක එකක් සේ පටළවා ගත යුතු නැත. මින් පසු ඉහත කී ප්‍රශ්නය මතු වන එක් එක් අවස්ථාවේ දී, සමස්තයක් වශයෙන් සමාජ සංවර්ධනයේ වුවමනාවන් සහ සමාජවාදය සඳහා නිර්ධන පන්තියේ පන්ති අරගලයේ වුවමනාවන් ගැන සැලැකිල්ල දක්වමින්, නිර්ධන පන්තියේ පක්‍ෂය ඉතාමත්  ස්වාධීන ලෙස තීරණය කළ යුතු ය.

ලෙනින් තෝරා ගත් කෘති, 05 වෙළුම, 133 පිටුව

අද දවසේ ස්වයංතීරණය පිළිබඳ සූත්‍රය සේවය කරන්නේ අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ධනපති පංතියටයි. මෙය මාක්ස්වාදයට එරෙහිව මාක්ස්ගේ, එංගල්ස්ගේ හෝ ලෙනින්ගේ වචන භාවිත කිරීමකි. මොවුන් විසින් කිසි විටෙක ජාතික ගැටලුව අරභයා පොදු සූත්‍රගතකරණයක් කර නොමැත. ඒ ඒ ඓතිහාසික වකවානුවේ දී ඒ ඒ රටේ තත්ත්වයන්ගේ වාස්තවික විශ්ලේෂණයක් මඟින් සමාජ සංවර්ධනයට හිතකර ලෙස විසඳුම් සපයා තිබේ. ලෙනින් විසින් අවසාන වරට අධිරාජ්‍යවාදී අවධියේ පසුවන යටත්විජිත ජාතීන්ගේ හා පරාධීන ජාතීන්ගේ වෙන් වීම පිළිබඳව කථා කොට ඇත. මේ සම්බන්ධයෙන් අද දවසේ වලංගුව පවතින්නේ මෙයයි. මේ පිළිබඳව වුවත් ලෙනින් විසින් සූත්‍රගතකරණයක් කර නොමැත. නිර්ධන පන්තියටත්, ධනපති පන්තියටත් එකවර යොදා ගත හැකි මතවාදයක් මාක්ස්වාදය තුළ නොපවතියි. මෙම සූත්‍රය අද දවසේ අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ධනපති, සුළු ධනපති මනෝරාජිකවාදීහු රටවල් බෙදීම සඳහා යොදා ගනිති.

සමාජවාදී රටවල අත්දැකීමි

සෝවියට් දේශයේ අත්දැකීම්

1917 ඔක්තෝබර් විප්ලවය මඟින් රුසියාවේ සමස්ත ජනගහනය 43%ක්  වූ මහා රුසියානුවන් සහ ඔවුන්ගේ ආධිපත්‍යය තුළ මිරිකී සිටි 57%ක් වූ යටත්විජිත ජනතාවගෙන් සමන්විත පැරැණි අධිරාජ්‍යය වෙනුවට නව සමාජවාදී සෝවියට් ජනතාවගෙන් සමන්විත සංක්‍රමණික රාජ්‍ය බිහි විය. එතෙක් සාර් පාලනය විසින් බලහත්කාරයෙන් ඈඳාගෙන සිටි යුක්රේනයට, පෝලන්තයට හා පින්ලන්තයට 1917 දෙසැම්බරයේ දී ස්වාධීනත්වය පිරිනමන ලදී. 1918 අග දී ලිතුවේනියාව, ලැට්වියාව හා එස්තෝනියාවට ද එම අයිතිය පිරිනමන ලදී. ඒ අතර අනේකවිධ ජාතිකත්වයන් සමානාත්මතාවයේ පදනම මත එක්සත් කිරීමෙන් සමාජවාදී සෝවියට් දේශය ගොඩනඟන ලදී. මෙය සිදු වූයේ බලයෙන් නොවේ. ස්වාභාවික හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ය. එහි දී ජාතික අසමානතාවන් දුරලීමේ ප්‍රතිපත්ති සම්මත කරන ලද අතර, ඒ මත පදනම්ව පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලදී.

ජාතික හා ජාතිකත්ව සාධකය, සමාජ සංවර්ධනයේ මට්ටම, පරිපාලන කාර්යක්‍ෂමතාව යන කරුණු පදනම් කරගෙන ද පාලන ප්‍රදේශ ස්ථාපිත කරන ලදී. සෝවියට් දේශය තුළ තිබූ (1989 වන විට) විවිධ ජාතික භෞමික බලප්‍රදේශ ගණන 53ක්ව පැවැතිණි. ඒවා නම් ;

  1. සමාජවාදී සෝවියට් ජනරජ
  2. ස්වයංපාලිත සමාජවාදී සෝවියට් ජනරජ
  3. ස්වයංපාලන ප්‍රාන්ත
  4. ස්වයංපාලිත ජාතික බලප්‍රදේශ

මීට අමතරව විවිධ ජාතික, ආගමික, භාෂාමය කණ්ඩායම්වලට ද විශේෂ බලතල සහිතව ස්ථාපිත ස්වයංපාලිත දිස්ත්‍රික්ක (ජනගහනය 10,000 සිට 50,000 දක්වා) සිය ගණනක් ද, ජනගහනය 500 සිට 5,000 දක්වා වූ කණ්ඩායම්වලට ස්වයංපාලන නගර හා ජනපද දහස් සංඛ්‍යාවක් ද සමාජවාදී සෝවියට් සංගමය තුළ ස්ථාපිතව තිබිණි.

මේ සමස්ත ක්‍රියාවලිය තුළ සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය තුළ ද ජනරජ සඳහා වෙන වෙන ම පළමු ලේකම්වරුන්ගෙන් යුත් මධ්‍යම කාරක සභාවක් ද තිබූ අතර, සියලු ම ජනරජවල පක්‍ෂ ප්‍රධානීන්ගෙන් හා නියෝජිතයන්ගෙන් සමන්විත සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂ මධ්‍යම කාරක සභාවක් ද, එම මධ්‍යම කාරක සභාව තුළ විවිධ ප්‍රදේශවලට වෙන ම අනුකමිටු ද පත් කර තිබූ අතර, එමඟින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම, අධීක්‍ෂණය හා ප්‍රතිපත්ති සම්පාදනයට උපදෙස් දීමට හැකියාවන් අත්පත් කරගෙන තිබිණි.

සිවිල් යුද වටාපිටාව අවසන් වී සෝවියට් බලය ශක්තිමත් වූ පසු යුක්රේනය, ලිතුවේනියාව, ලැට්වියාව හා එස්තෝනියාව ස්වයංතීරණ අයිතිය මත සමාජවාදී ෆෙඩරල් ප්‍රතිපත්ති හරහා සමාජවාදී සෝවියට් සංගමය සමඟ එක් විය.

නිල වශයෙන් සමාජවාදී සෝවියට් ජනරජ සංගමය (USSR – Union of Soviet Socialist Republics).  පිහිටුවන ලද්දේ 1922දී ය. එහි දී ස්වයංතීරණ අයිතිය හිමි ජනරජ SSR  15ක් 1917ත් 1940ත් අතර පිහිටුවන ලදී. ආසන්න වශයෙන් 1936  පමණ වන තෙක්ම මෙම ජනරජවල භෞමික සීමා වෙනස් කිරීම්, එක් කිරීම් කරන ලදී.

සෝවියට් සංගමය පිහිටුවීමෙන් පසු 1926දී පවත්වන ලද ප්‍රථම ජන සංගණනයේ දී ජාතීන් හා ජාතිකත්වයන් 69ක් ප්‍රධාන වශයෙන් සැලැකිල්ලට ගන්නා ලදී. මෙම වෙන් වෙන් ජාතිකත්‍වයන් 69න් 16ක් ජාතීන් ලෙසත් එනම්, ස්වයංතීරණ බලතල සහිත SSR  (Soviet Socialist Republic) ලෙසත්, රුසියානු SSR  තුළ අනෙකුත් ජාතිකත්‍වයන් 23ක් සඳහා ස්වයංපාලිත සෝවියට් සමාජවාදී ජනරජ – USSR 18ක් හා ස්වයංපාලන ප්‍රාන්ත – ධඊඛ්ීඔී පහක් ද, උස්බෙක් SSR  තුළ එක් ස්වයංපාලිත USSRයක් ද, අසර්බයිජාන් SSR  තුළ එක් ස්වයංපාලිත USSRයක් ද, තජිකිස්ථාන් SSR  තුළ එක් ස්වයංපාලිත USSR යක් ද, ජෝර්ජියානු SSR  තුළ ස්වයංපාලිත USSR තුනක් ද ලෙස ස්ථාපනය කරන ලදී.

මීට අමතරව ස්වයංපාලන දිස්ත්‍රික්ක, නගර හා ජනපද දහස් ගණනක් රුසියානු සෝවියට් සමාජවාදී ෆෙඩරල් ජනරජය (RSFSR) තුළ ස්ථාපනය කරන ලදී. මුලින් RSFSR තුළ ම තිබූ ස්වයංපාලිත ජනරජ සමහරක් පූර්ණ ස්වයංතීරණ අයිතිය සහිත ජනරජ බවට පත් කරන ලදී. 1936දී කසක්ස්ථානය හා කිර්ගිස්ථානය යන USSR දෙක රුසියානු SSR වලින් වෙන් කර ස්වාධීන SSR  02ක් ලෙස ස්ථාපනය කරන ලද අතර, මෝල්දාවියානු USSRය 1940දී රුසියානු SSR යෙන් ඉවත් කර වෙනම SSR යක් බවට පත් කරන ලදී. එමෙන් ම ක්‍රිමියානු ස්වයංපාලිත USSR ය 1945දීත්, වොල්ගා ජර්මන් ස්වයංපාලන USSRය 1941දීත් රුසියානු SSR  යට ඈඳාගන්නා ලදී.

මිනිස් ඉතිහාසය අත්දුටු දැවැන්තම ජාතික අනුකලන ඉංජිනේරුමය කර්යය වූයේ, සමාජවාදී සෝවියට් සංගමයේ ජාතික ප්‍රශ්නය නිරාකූල කිරීමේ ක්‍රියාවලිය බව නිසැක ය. පෘථිවියේ හයෙන් එකක තිස් කෝටියක් ජනතාව වෙන් වී යාමේ අයිතිය සහිත රාජ්‍යයන් 16ක්, විශාල ස්වයංපාලිත ජනරජ 29ක් හා ස්වයංපාලිත ප්‍රාන්ත තවත් විශාල සංඛ්‍යාවක් ජාතික, ආගමික, භාෂාමය කණ්ඩායම් සිය ගණනක් අතර අවම වශයෙන් 1936 – 91 දක්වා වසර 95ක් ජාතික, ආගමික ගැටුම් නැතිව පවත්වාගෙන යාම ජාතික ප්‍රශ්නය විසඳීම ලෙනින්වාදී සමාජවාදී ප්‍රතිපත්තිවල සාර්ථකභාවය පිළිබඳ ජීවමාන සාක්‍ෂියකි. මේ නිසා 1990දී සෝවියට් දේශය බිඳවැටෙන තුරු පෘථිවියෙන් හයෙන් එකක් තුළ වසර 70ක් පුරා ජාතික, වාර්ගික ගැටුම් නොපැවැතිණි.

චීනයේ අත්දැකීම

ජාතිකත්වයන් 56කින් යුත් මිලියන 1,350ක් ජීවත් වන චීනයේ ජාතික, ආගමික, වාර්ගික ගැටුම් අවම මට්ටමක පවතී. චීනය ද සෑම ජාතිකත්වයකටම සමාන අයිතිවාසිකම් පිළිගන්නා හා ක්‍රියාත්මක කරන ජාතික අනුකලන ක්‍රියාමාර්ග සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාවට නැඟීමට උත්සාහ කරන සැලැකිය යුතු සාර්ථකභාවයක් අත් කරගෙන තිබෙන රටකි. සෝවියට් සංගමයේ මෙන් නොව ලෝකයේ ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන ලොව වගා කළ හැකි භූමියෙන් සියයට හතක් පමණක් ඇති ජනගහනයට සාපේක්‍ෂව ‘සම්පත් අඩු’ චීනය තුළ ජාතික – ආගමික ගැටලු ඇති වීමේ සමාජ, ආර්ථික ඉඩකඩ ඉතා වැඩිය. එමෙන්ම ඓතිහාසික හේතු මත ද චීනයේ ඉංග්‍රීසි, ප්‍රංශ, පෘතුගාල, රුසියානු, ජපාන, නෙදර්ලන්ත ආදී යටත්විජිත හාම්පුතුන් විසින් ඇති කරන ලද බෙදා වෙන් කිරීමේ පාලනයේ විෂ ද සහිත ජනතාවන් අතර ගැටුම් ඇති කිරීම පහසු ය.

නමුත්, චීනය ද විශේෂයෙන් කුඩා ජාතිකත්වයන් අරභයා සර්වසම නොවුණ ද, සෝවියට් සංගමය අනුගමනය කළ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවලට සමාන ක්‍රියාමාර්ගයන් අනුගමනය කරයි. ප්‍රාන්ත 28ක් හා ස්වයංපාලන ප්‍රදේශ (ප්‍රාන්ත හා සමාන බලතල ඇත.) පහක් හා විශේෂ පරිපාලන ඒකක දෙකක් චීනය තුළ තිබේ. මෙම ස්වයංපාලන ප්‍රදේශ විශේෂයෙන් ම ජාතිකත්ව අනන්‍යතා අනුව ස්ථාපිත ඒවා ය. (Xinjiang Tibet) ඒවායේ පාලනයට විශේෂ දේශපාලන, සංස්කෘතික බලතල තිබේ. මීට අමතරව ස්වයංපාලන දිස්ත්‍රික්ක සිය ගණනක්, ස්වයංපාලන නගර දහස් ගණනක් ස්ථාපනය කර ඇත.

1990ට පෙර සමාජවාදී කඳවුර පවතිද්දී, සමාජවාදී රාජ්‍යයන් ලෙස පැවැති රටවලත්, වර්තමාන සමාජවාදී රාජ්‍යයන් තුළත් ජාතිවාදී හෝ වාර්ගික ගැටුම් ඇති වූයේ නැත. යුගෝස්ලාවියානු සමූහාණ්ඩුව මීට කදිම උදාහරණයකි.

ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම

නිර්ධන පන්තියේ මතවාදය මාක්ස්-ලෙනින්වාදයයි. එබැවින්, ජාතික ප්‍රශ්නය අරභයා සිය විසඳුම ඉදිරිපත් කිරීමේ දී සැම විටම මාක්ස්-ලෙනින්වාදී දෘෂ්ටිය මත පිහිටා කටයුතු කළ යුතුය. ජාතික පීඩනය අහෝසි කිරීමටත්, ජාතික අසමානතාව අහෝසි කිරීමටත්, එක් ජාතිකත්වයක අයිතීන් යටපත් කොට තවත් ජාතිකත්වයකට වරප්‍රසාද පිදීමට එරෙහිවත්, එසේම ජාතික සමානාත්මතාව, ජාතික සමඟිය හා ජාතික විශ්වාසය ඇතිකරලීම හා ඒ ඔස්සේ ජාතික ගැටලුව විසඳීම සඳහාත්  විද්‍යාත්මක වැඩපිළිවෙළක් හා ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ.

ඒ සඳහා සියලු ජාතිකත්වයන්ට සමානාත්මතා පදනම මත අයිතීන් ලබා දීමත්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත් අත්‍යවශ්‍ය සාධක වේ. එය ක්‍රියාත්මක කළ හැක්කේ සියලු අසමානතාවන් අහෝසි කරන සමාජවාදය තුළ පමණි.

ලංකාව පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් සහිත රටක් නිසාම රට තුළ සමාජ සංවර්ධනය සමාකාර වී නැත. ඒ නිසාම ජාතික ප්‍රශ්නය විසඳීමේ දී පළමුව රට තුළ සංස්කෘතික වෙනස්කම්වල ස්වභාවයත්, භූ දේශගුණික සාධකත්, ඒ ඒ ප්‍රදේශවල සමාජ සංවර්ධනයේ මට්ටමත් පිළිබඳ පුළුල් සමීක්ෂණයක් හා අධ්‍යයනයක් සිදු කළ යුතු ය. දැනට පවතින අවිද්‍යාත්මක පළාත් හා දිස්ත්‍රික් බෙදීම් වෙනුවට ඉහත සාධක මත පදනම් වූ වර්ගීකරණයක් අවශ්‍ය ය. ඒ අනුව වඩා වේගයෙන් සංවර්ධනය කළ යුතු ප්‍රදේශ හඳුනාගෙන සම්පූර්ණ සැලැස්මක් සකසා ක්‍රියාවට නැඟිය යුතු ය.

ඒ සමගම සියලු දෙනා ආර්ථික ක්‍රියාවලියට දායක කරගන්නා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීම ද මෙහි දී අතිශයින් වැදගත් ය.

සමාජවාදී ජාතියක් උදෙසා වන සංවර්ධනීය ගමන් මඟක් වෙනුවෙන් සියලුම පුරවැසියන්ට ජාතිකත්වය, ආගම, කුලය, ලිංගය ආදී කිසිදු භේදයකින් තොරව, විශේෂ වරප්‍රසාද පිදීමකින් තොරව, කිසිවකුට කිසිවක් සීමා නොකරමින්, පීඩාවට පත් නොකරමින් ලාංකීය ජාතියේ මධ්‍යගතකරණය වෙනුවෙන් කටයුතු කළ යුතු ය. 

සමානාත්මතාව නොමැති තැන බලහත්කාරයෙන් නීති මඟින් කළ නොහැකි දේ සමානාත්මතාව ඇති තැන ප්‍රජාතන්ත්‍රවාදීව ස්වේච්ඡාවෙන්, පොදු කැමැත්ත උඩ ඉටු වේ. ජාතික ගැටලුව පිළිබ ඓතිහාසික අත්දැකීම එයයි.

ධනපති ක්‍රමය ආරම්භයේ දී ජාතික රාජ්‍යයන් තුළ ජාතිය ගොඩනඟමින් ජාතික ගැටලුව විසඳු බව සැබෑ ය. එහෙත්, ධනවාදය බරපතළ ලෙස අර්බුදයට ගොස් ඇති වත්මන් අධිරාජ්‍යවාදී අවධියේ දී ජාතිකත්වයන් අතර සමඟිය ඇති කරමින්, ජාතික ප්‍රශ්නය විසඳීමේ හැකියාවක් ධනපති ක්‍රමයට ඇත්තේ නැත. ඒ නිසා සම්පූර්ණ විසඳුම ඇත්තේ, සමාජවාදය තුළ පමණි. එසේ වුවත්, ජාතික ප්‍රශ්නය හැම විටම ධනේශ්වර ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රශ්නයකි. ඒ නිසා  ධනපති ක්‍රමය තුළම ජාතික සමඟිය තහවුරු කිරීමේ දිශාවට වන අයිතිවාසිකම් දිනා දීම හා සම්බන්ධ ක්‍රියාමාර්ග සමඟ කටයුතු කිරීමට නිර්ධන පන්ති ව්‍යාපාරයකට සිදු වෙයි.

“ලංකාවේ ජාතික ගැටළුව”, මුල-මැද-අග