පෘදොන්වාදය – Proudhonism

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සමූහාණ්ඩුවාදී ආදර්ශ පාඨය ආපසු කැඳවමින් ලුයී බැලැන්කි බොහෝ දුර ගොස් ඇත. ඔහු තව දුරටත් නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය යැයි කියන්නේ නැත. ඒ වෙනුවට ඔහු සමානාත්මතාවය, සහෝදරත්වය සහ නිදහස යැයි පවසයි. මගේ හැඟීම සමානාත්මතාවය යනු නිදහසේ ස්වභාවිත ඵලයක් කියා ය. ඒ හැර එය වෙනත් බලපෑමක් හෝ නියාමයක් මගින් නිර්මාණය නොවේ. එය රඳා පවතින්නේ බදු අහෝසි කිරීම, මධ්‍යගතකරණය අහෝසි කිරීම සහ ප්‍රාදේශීය බලය ශක්තිමත් කිරීම මතය.

ජෝසොප් පෘදොන්

       පළමු ජාත්‍යන්තරය තුළ නියෝජනය වූ අවස්ථාවාදී ප්‍රවණතාවයක් වූ බ්ලැන්කිවාදය සාකච්ඡා කළෙමු. එම මතවාදය බිහිවීමට හේතු වූ සමාජ ආර්ථික පසුබිමම පදනම් කර ගෙන බිහි වූ දක්ෂිණාශික අවස්ථාවාදී උපනතියක් ලෙස පෘදොන්වාදය හඳුන්වා දිය හැකිය. ධනවාදයේ නිසඟ ලක්ෂණයක් වූ ප්‍රාග්ධන සංකේන්ද්‍රණය නිසා පීඩාවට පත් වූ සුළු දේපල හිමිකාරීත්වයේ මනෝභාවයන් නියෝජනය කළ පෘදොන්වාදය සුළු ධනේෂ්වර සමාජවාදයක් පිළිබඳ සාකච්ඡා කරයි. ප්‍රංශයේ හස්ත කර්මාන්තකරුවන් සහ ශිල්පීන් අතර ව්‍යාප්ත වූ මෙම මතවාදයේ කතුවරයා පියර් ජෝශප් පෘදොන්(Pierre-Joseph Proudhon 1809 – 1865) ය. මෙම මතවාදය පසුකාලීනව පැරිස් කොමියුනයේ සිදු වූ අසාර්ථකත්වන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කරන ලදී.

පෘදොන්වාදී ආර්ථික සංකල්පය

        මහා පරිමාණ ධනේෂ්වර දේපල “සොර බඩු” ලෙස ප්‍රතික්ෂේප කළ පෘදොන් සුළු පරිමාණ දේපලවල පැවැත්ම වෙනුවෙන් පෙනී සිටියේ ය. මුදල් නොමැතිව භාණ්ඩ හුවමාරු කිරීමත් , පොලී නොමැතිව හෝ ඉතා අඩු පොලියට ණය ලබා දීමත් ඒ සඳහා කුඩා නිෂ්පාදකයන්ගේ සාමුහික සංවිධානයත්, අරමුදලක් සහ සාධාරණ වෙළඳාම් ක්‍රම (නිෂ්පාදන සමූපකාර) වැනි ප්‍රතිසංස්කරණ මගින් සූරාකෑම අහෝසි කළ හැකි යැයි විශ්වාස කළ ඔහු ධනේෂ්වර සූරාකෑමේ හරය කිසිදා හඳුනා නොගත් මනෝරාජික සමාජවාදියෙකි.

රාජ්‍ය පිළිබඳ පෘදොන්වාදී සංකල්ප

         මධ්‍යගත රාජ්‍යයන් බිහිවීම ධනේෂ්වර ක්‍රියාවලිය ශක්තිමත්වීමට හේතුවන බැවින් එය ප්‍රතික්ෂේප කරන අතරම රාජ්‍යය අභාවයට යාම පිළිබඳ කොමියුනිස්ට්වාදී සංකල්පය ද ප්‍රතික්ෂේප කළ පෘදොන්වාදය විසිරුණු ප්‍රාදේශීය බලයන් ඒකාබද්ධ කළ ලිහිල් ෆෙඩරල් සංවිධාන ව්‍යූහයක් යෝජනා කරයි.

පසුගිය වසර විසිපහ තුළ වර්ධනය වූ මගේ ආර්ථික සංකල්පය වචන තුනකට සංක්ෂිප්ත කළ හැක. ඒ කෘෂි, කාර්මික ෆෙඩරේෂණයන් ය. මගේ දේශපාලන අදහස විමධ්‍යගතකරණයයි. අදත්, හෙටත් මගේ බලාපොරොත්තුව ප්‍රගතිශීලි ෆෙඩරේෂණයයි.

ජෝසොප් පෘදොන්

පෘදොන්වාදී දේශප්‍රේමය 

          ධනේෂ්වර ජාතිකවාදය මත පදනම් වී ගොඩ නැගුණු දේශප්‍රේමය ප්‍රතික්ෂේප කරන පෘදොන්වාදය සමාජවාදීන් සහ අරාජිකවාදීන් ඉදිරිපත් කළ ජාත්‍යන්තරවාදී සංකල්පයන් ද ප්‍රතික්ෂේප කරයි. ප්‍රංශය විවිධ ආගම් හා සංස්කෘතීන් අතර සහජීවනය සහිත භූමියක් ලෙස පැවතිය යුතු බව විශ්වාස කළ පෘදොන් බලය විමධ්‍යගත කළ ෆෙඩරල් රාජ්‍යයකට සියළු දෙනාගේ අභිලාශයන් නියෝජනය කළ හැකිය යැයි විශ්වාස කළේ ය.

මගේ විශ්වාසය, ආදරය සහ බලාපොරොත්තුව රැඳී ඇත්තේ මගේ රටේ නිදහස මත ය. මේ ශුද්ධ වූ නිදහසට බාධාවන ඕනෑම දෙයකට මා විරුද්ධවන්නේ එබැවිනි.

ජෝසොප් පෘදොන්

නව පෘදොන්වාදය

         අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ යටත්විජිතකරණය, බැංකු ඒකාබද්ධවීම්, මූල්‍ය කතපයාධිකාරයන් බිහිවීම ආදිය ධනවාදයේ අහඹු වර්ධනයන් ලෙස සලකා ඒවාට එරෙහිව ධනවාදයේ පැරණි ස්වරූපය ඉල්ලා අරගල කළ මතවාදයක් ලෙස ලෙනින් මෙය හැඳින්වීය. කෙසේ වෙතත් පෘදොන්වාදය සුළු ධනේෂ්වර පන්ති වුවමනාවන් තෘප්ත කරන ලෙස නිර්මාණය වූ අවස්ථාවාදී මතවාදයක් බව පැහැදිලිය. මෙය අද ද විවිධ වෙනස් ස්වරූපවලින් වමේ ව්‍යාපාර තුල පවතී.

 

පෘදොන්වාදය – Proudhonism