පංති පීඩනය හා ජාතිවාදය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලොව පවතින ජාතිවාදයන්ට හා ආගමික අන්තවාදයන්ට ඓතිහාසික පසුබිමක් හා ඓතිහාසික ගමන් මඟක් තිබුණද එය වඩාත් සංකීර්ණ කරන ලද්දේ ධනවාදය විසිනි. දැන් අප ඉදිරියේ පවතින ජාතිවාදය යනු ධනවාදයේ නිෂ්පාදනයකි. ධනවාදය තුළ, පාසල් අධ්‍යාපනය තුළ, ඉතිහාසය නමැති විෂය තුළ ගබඩා කොට කුඩා දරුවන්ගේ මොළ තුළට ජාතිවාදී විෂ එන්නත් කරනු ලබන්නේ ධනවාදය විසිනි. ධනවාදය තුළ ඉතිහාසය නමැති විෂය නිර්මාණය කර ඇත්තේ පුද්ගල වීරයන්, රජවරුන්, ප‍්‍රභූන් හා විවිධ සිදුවීම් මනෝමූලිකව, අවිද්‍යාත්මකව එකිනෙකට ගැට ගැසීම මඟිනි.

දුටුගැමුණු – එළාර සටනේ සිට මෙය උගන්වනු ලැබේ. එය සැබැවින්ම විදේශ ආක‍්‍රමණවලට එරෙහි සටනක් වුවද ඉතිහාසය තුළ අර්ථ දක්වා තිබෙන්නේ දෙමළාට එරෙහිව සිංහලයාගේ සටනක් ලෙසය. මේ නිසා සිංහල දරුවන් තුළ කුඩා කල සිටම ලංකාවේ දෙමළ විරෝධයක් තැන්පත් වන අතර, එයට මුස්ලිම් විරෝධයද එක්වේ. මෙය ලොව බොහෝ රටවල අධ්‍යාපනයේ පවතින සැබෑ තත්වය වේ.

ධනවාදයේ පීඩනය ප‍්‍රකාශ වන හැටි

මෙලෙස කුඩා කල සිටම පාසලෙන්ද, නිවසේ වැඩිහිටියන්ගෙන්ද, සමාජයෙන්ද, ජාතිවාදී අධ්‍යාපනයක් ලබන අය නිතරම ඒ මත පිහිටා කල්පනා කරති. පංති පීඩනය ජාතිවාදී ලෙස ප‍්‍රකාශයට පත් වන්නේ ඒ අනුවය.

ලොව පුරා පවතින ජාතිවාදී හා අන්තවාදී අරගල, ධනවාදය තුළ ධනපති ක‍්‍රමයේ පීඩනය ප‍්‍රකාශයට පත්වන ආකාරයක් ලෙසද තේරුම් ගත හැක. ලොව පුරා ජීවත්වන මිනිසුන්ගේ මූලික ප‍්‍රශ්න පවා විසඳීමට ධනවාදය අපොහොසත් වී ඇත. ඒ වෙනුවට ධනවාදය තුළ පවතින්නේ සූරා කෑම, සම්පත් කොල්ල කෑම, මර්දනය හා පීඩනයයි. ධනවාදය තුළ අධ්‍යාපනයේ අවස්ථා අඩුවන විට, රැකියා අවස්ථා අඩුවන විට, දුප්පත්කම ඉහළ යනවිට, නිවාස, ගමනාගමනය, සෞඛ්‍ය වැනි සේවා නොලැබෙන විට මිනිසා තුළ පීඩාවක් හටගනී. එම පීඩාව වර්ධනය වී එහි එක් අවස්ථාවක පුපුරා යාමට ලක්වේ. මෙම පීඩනය අන් කිසිවක් නොව පංති පීඩනයයි. එම පංති පීඩනයේ පංති අර්ථයෙන් ධනවාදයට එරෙහිව පුපුරා යනවාට ධනපති පංතිය කැමති නැත. ඒ නිසා ඔවුහු හිතාමතාම සවිඥානිකවම එම පීඩනය වෙනත් ආකාරයෙන්ගෙන් පිටවීමට ඉඩ හදති. එලෙස පහසුවෙන්ම එම පීඩනය මුදාහළ හැකි ආකාර වන්නේ ජාතිවාදය හා ආගමික අන්තවාදය ලෙසය.

ලංකාවේ දෙමළ ජනයාට වෙනම පාලනයක් ඉල්ලීම සඳහා දෙමළ දේශපාලන නායකයන් යොදාගනු ලැබුවේ මෙම ධනපති ක‍්‍රමයේ පීඩනය හා අසමානතාවයයි. දෙමළ ජනයාගේ ප‍්‍රශ්න විසඳීමට ධනවාදයට නොහැකි බව පවසනවා වෙනුවට දෙමළ ජනයාගේ ප‍්‍රශ්න විසඳීමට සිංහල ආණ්ඩුවට නොහැකි බව පැවසූ ඔවුහු, ඒ වෙනුවට වෙනම පාලනයක් ඉල්ලා සිටියහ. ලොව පුරා බොහෝ රටවල බෙදුම්වාදී අරගලවලට පොදු ජනතාව ජාතිවාදී ලෙස සම්බන්ධ කරගත හැකිව තිබෙන්නේ එම ජනයා පීඩාවක සිටින නිසාත් එම පීඩාවේ සැබෑ හේතුව නොදන්නා නිසාත්ය.

7630083070_98025859bf_b

ප‍්‍රචණ්ඩත්වයට මඟ පෑදීම

මිනිසුන් පෙළෙන පීඩාව බරපතළ වූ විට එම පීඩාව ප‍්‍රචණ්ඩත්වයෙන් මුදා හැරීමට මිනිසා පෙළඹේ. එහිදී මිනිසුන් තුළ පවතින පීඩාව ධනපති රජයට එරෙහිව ප‍්‍රචණ්ඩකාරී ලෙස මුදාහැරීම පහසු නැත. මන්ද ‘රජය’ ඊට ඉඩ නොදෙන නිසාය. එහෙත් එම පීඩනය ජාතිවාදී හා ආගම්වාදී ලෙස එකිනෙකට එරෙහිව මුදා හැරියාට ධනවාදයට අනතුරක් නැත. ඒ නිසා ධනපති පාලනයන් ජාතිවාදී හා ආගමික ප‍්‍රචණ්ඩත්වයට මැදිහත් වන්නේ අලස ආකාරයකිනි. ඇල් මැරුණු ප‍්‍රතිපත්තියට අනුව ඔවුන් බොහෝ විට ඊට මැදිහත් වන්නේ විනාශයන් සිදුවීමට ඉඩ දී ඉන් පසුවය. බොහෝ විට ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වයන් පිටුපස ධනපති පාලකයින්ම සිටින අවස්ථා බොහෝ තිබේ. ලංකාවේ 1983 කළු ජූලිය එවැන්නකි. මෑතදී මහනුවර දිගන ඇතිවූ ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වයේදී මෙන්ම බොහෝ අවස්ථාවල එය වැළැක්වීමට ‘රජය’ මැදිහත් වූයේ අශ්වයා ගියාට පසු ඉස්තාලය වසන ආකාරයෙන් බව පැහැදිලිය. මේ නිසා ධනවාදයේ පීඩනය පුපුරා යන ආකාරයක් ලෙසද ජාතිවාදය අපට තේරුම් ගත හැක.

අධිරාජ්‍යවාදයේ මෙහෙයවීම

මීට අමතරව තම අධිරාජ්‍යවාදී වුවමනාවන් සඳහා අධිරාජ්‍යවාදීන්ද, ජාතිවාදය හා ආගමික අන්තවාදය උපයෝගී කරගති. තමන්ට අවනත නැති රටවල් කැබලි කර දුබල කිරීමට, තමන්ට අවනත නොවන පාලකයන් දුර්වල කිරීම සඳහා ඒවා තුළ සිවිල් ගැටුම් ඇතිකිරීමට, රටවල් එකිනෙක කෙටවීමට, සමාජවාදී රටවල් දුබල කිරීමට ආදී විවිධ අරමුණු වෙනුවෙන් අධිරාජ්‍යවාදීහු ජාතිවාදය හා ආගමික අන්තවාදය යොදාගනිති.

1978 සෝවියට් හමුදා සහායෙන් ඇෆ්ගනිස්ථානයේ වාමාංශික ආණ්ඩුවක් බිහි වූ විට එය බිඳ දැමීම සඳහා එක්සත් ජනපදය විසින් ආගමික අන්තවාදී කණ්ඩායම් බිහිකර පෝෂණය කරන ලදී. ‘මුජහිදීන්’වරු ලෙස ආරම්භ වූ එය පසුකලෙක අල්කයිඩා බිහිවීම දක්වා විකාශනය විය. මැදපෙරදිග අයි.එස්.අයි.එස් කණ්ඩායමද එක්සත් ජනපදයේ නිර්මාණයකි. ඒ, මැදපෙරදිග කලාපය අස්ථාවර කිරීම සඳහාය. එහෙත් ඒවා පසුව තමන්ටම කරදරයක් වන විට අධිරාජ්‍යවාදීහු තමන් බිහි කළ සංවිධාන තමන් විසින්ම විනාශ කිරීමට උත්සාහ කරති. එය එසේ වුවත් මැදපෙරදිග ජාතිවාදය හා ආගමික අන්තවාදය පිටුපසින් එක්සත් ජනපදය සිටින බව ඉතා පැහැදිලිය.

එසේම 1979දී නිකරගුවාවේ සමාජවාදී රාජ්‍යය බිහිවූ විට ඊට එරෙහිව සටන් වැදුණු ජාතිවාදී පෙනුමක් සහිතව සිටි කොන්ට්‍රා කැරලි කණ්ඩායම එක්සත් ජනපදයේ නිර්මාණයක් විය. අපි‍්‍රකාවේ බොහෝ රටවලද මෙබඳු මැදිහත්වීම් දැකිය හැකිය. කලක් අපගේ අසල්වැසි ඉන්දියාව ලංකාවේ ආණ්ඩු තමන්ට අවනත කර ගැනීමට, මට්ටු කිරීමට උතුරේ බෙදුම්වාදී අරගලයට උදව් කළේය.

ජාතිවාදය පහසු අරගලයක් ලෙස

ධනවාදය තුළ පවතින පංති පීඩනය ජනතාවට තේරුම්කර දී එම ජනතාව සංවිධානාත්මකව හා විනයක්, සංයමයක් සහිතව ධනපති ක‍්‍රමයට එරෙහිව මෙහෙයවීම තරමක් දුෂ්කර කාර්යයකි. නිවැරදිම අරගලය එය වුවද එය දුෂ්කරය. ධනපති පංතිය ඊට ඉඩ නොදේ. එහෙත් ජනතාව තුළ පවතින ධනපති ක‍්‍රමයේ පීඩනය ජාතිවාදී හා ආගමික අන්තවාදී ලෙස පුපුරා යාමට සැලැස්වීම පහසුය. එය ධනපති ක‍්‍රමයට හානිදායක නැත. මේ සඳහා ජාතිවාදී නායකයන්ට මුදල් ද, බලය ද, පිළිගැනීම ද ලැබෙන නිසා ඔවුහු මෙහිදී සක්‍රීයව කටයුතු කරති. මේ සඳහා මිනිසුන් පොළඹවාලීම ඔවුන්ට පහසුය. මන්ද මිනිසුන්ගේ චින්තනය තුළ ධනවාදය ජාතිවාදී විෂ කවා තිබෙන බැවිනි.

මේ අනුව ගත් විට අපට පැහැදිලි වන්නේ ජාතිවාදය යනු අහම්බයක් නොව ධනවාදය තුළ පවතින සමාජ ආර්ථික සාධක විසින් නිර්මාණය කරනු ලබන හා පවත්වාගෙන යනු ලබන දෙයක් බවය.

කම්කරුවන්ගේ චින්තන ශක්තිය මුලාකරන, ඔවුන් අඥානයන් බවට පත් කරන සහ ඔවුන් භේද කරන ආක‍්‍රමණකාරී ධනේශ්වර ජාතිවාදය, ඔවුන් ධනපති පංතියේ තෝන් ලනුවට ගැට ගසයි. අපේ කාලයේ මූලික සත්‍යය එයයි. නිර්ධන පංතියට සේවය කිරීමට ඉදිරිපත් වන අය ලෝකයේ සියලූම ජාතීන්ගේ කම්කරුවන් එක්සත් කළ යුතු අතර ‘දේශීය හා විදේශීය’ ජාතිවාදයට එරෙහිව නොසැලී සටන් කළ යුතුය.

ලෙනින්

ජාතික ගැටලූව පිළිබඳ විවේචනාත්මන සටහන්, (13-14 පිටු)

 

පංති පීඩනය හා ජාතිවාදය