නිෂ්පාදන සබඳතා යනු කුමක්ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

තම ජීවිකාව පවත්වාගෙන යාම සඳහා මිනිස්සුන්ට ආහාර, ඇඳුම් පැලඳුම්, නිවාස සහ අනෙකුත් ද්‍රව්‍යමය වටිනාකම් අවශ්‍ය වේ. නමුත් මේවා සාදා නිම කළ ස්වරූපයෙන් සොබා දහමෙන් සොයා ගත නොහැකිය. මිනිසුන් විසින්ම ඔවුන්ගේ ශ්‍රමයෙන් මෙම ද්‍රව්‍යමය වටිනාකම් බිහි කළ යුතුය. මේ අනුව මිනිස් අවශ්‍යතා තෘප්ත කිරීම අරමුණු කර ගනිමින් සවිඥානිකවත්, අරමුණු සහගතවත් ප්‍රකෘතිය මත තම ශ්‍රමය යොදා ප්‍රකෘතියේ පවතින දේ වෙනස් කිරීම නිෂ්පාදනය නම් වේ.

ස්වභාවයෙන්ම සාමුහික සත්වයෙකු වන මිනිසා සත්ව රංචුවෙන් වෙන් කරනු ලබන තීරණාත්මක සාධකය වන්නේ ද නිෂ්පාදනයයි.

සමාජ සංවර්ධනයේ මුල් අවධිවල දී මිනිසුන් විසින් විවිධ ද්‍රව්‍යමය වටිනාකම් නිෂ්පාදනය කරණු ලැබීය. වන සතුන් දඩයම් කර මස් පිළියෙල කරනු ලැබීය. මාලු අල්ලනු ලැබීය. ආදි කල්පිත ආයුධ තනනු ලැබීය. නිවාස හා ඇඳුම් පැළඳුම් සකස් කරනු ලැබීය. තමන්ගේ අවශ්‍යතාවයන් විසින් පොළවනු ලැබූ ඔවුහු තමන්ගේ ශ්‍රම කාර්යයන්ගේ ක්ෂේත්‍ර පුළුල් කරමින් අවි ආයුධ හා නිෂ්පාදන ක්‍රියාදාමය අංග සම්පූර්ණ කළහ. දඩයමේ සිට සතුන් හීලෑ කිරීම දක්වා ද, අනතුරුව බෝග වගාව දක්වාද, පසුකාලීනව හස්ත කර්මාන්ත ලෙස මැටි බඳුන් තැනීම, ලෝහ භාණ්ඩ තැනීම කරනු ලැබීය. වර්ධනයේ පසුකාලීන අවධියක දී මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර මගින් කරනු ලබන නිෂ්පාදනයක් දක්වා මෙම මාර්ගය පුළුල් විය. ඉහත සඳහන් නිීෂ්පාදන ක්‍රියාවලියේදී මිනිස්සු ඩැනියෙල් ඩෙෆෝගේ නවකතාවේ එන හුදකලා දූපතක, සමාජයෙන් ඈත් වී දිවි ගෙවූ රොබින්සන් කෲසෝ මෙන් තනිවම ද්‍රව්‍යමය වටිනාකම් බිහි නොකරති. මිනිස්සු නිතරම කණ්ඩායම් වශයෙන් ජන සමූහ වශයෙන් ජීවත් වූහ. එය මගින් සමාජය ආරම්භයේ සිට වර්තමානය දක්වා දක්නට ලැබෙන පොදු ස්වාභාවයයි. හුදකලා පුද්ගලයන් විසින් සිදු කරනු ලබන නිෂ්පාදනය හුදු විහිළුවක් පමණි. එය එකට ජීවත් වෙන මිනිස් සමූහයකින් තොරව, එකිනෙකා අතර අදහස් හුවමාරුවකින් තොරව භාෂාවක් පැවතීම හා වර්ධනය වීම වැනිය. නිෂ්පාදනය එහි කොන්දේසි කුමක් වුවත් නිතරම සමාජීය වේ.
දව්‍යමය වටිනාකම් බිහිකිරීමේ දී මිනිසුන් සොබාදහම මත ක්‍රියාකාරිම පමණක් නොව එකිනෙකා සමග ද නිශ්චිත සම්බන්ධතාවලට අවතීර්ණ වීම ද සිදු කරනු ලබයි. ඒ නිසාම සමාජ නිෂ්පාදනයට පැති දෙකක් තිබේ. ඉන් එක පැත්තක් වන්නේ සොබා දහමට මිනිසාගේ ඇති සබඳතාවය ප්‍රකාශයට පත් කරන නිෂ්පාදන බලවේගයයි. (ශ්‍රමය, ශ්‍රම විෂය, ශ්‍රම මාධ්‍ය) දෙවැන්න නිෂ්පාදන ක්‍රියාදාමයේ දී මිනිසුන් අතර සම්බන්ධතාවය ප්‍රකාශ කරන නිෂ්පාදන සම්බන්ධතාවයයි. මෛ සම්බන්ධතා ඕනෑම සමාජ ක්‍රමයකට (නිෂ්පාදන මාදිලියකට) අනුරූපව පවතී. ආදිකල්පික ප්‍රාථමික සමාජයේ මිනිසුන් අතර ද, වහල් හිමියන් සහ වහලුන් අතර ද, රදලයන් හා ප්‍රවේණිදාසයන් අතර ද, ධනපතීන් හා වැටුප් ශ්‍රමිකයන් අතර ද, සූරා කෑමෙන් නිදහස් වූ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පොදු අයිතිකරුවන් වූ වැඩකරන ජනතාව අතර සබඳතා ලෙස පවතී. සමාජ සංවර්ධනයේ සෑම හෙතිහාසික අවධියේ දීම මිනිසා නිෂ්පාදන ක්‍රියාදාමයේදී සොබාදහම මත ක්‍රියාත්මක වන්නේ නිශ්චිත නිෂ්පාදන සබඳතාවල රාමුව ඇතුලත පමණි.

ද්‍රව්‍යමය නිෂ්පාදන ක්‍රියාදාමයේ දී මිනිසුන් විසින් වාස්තවික ලෙස (තමන්ගේ අභිමතයයෙන් හා විඥානයෙන් ස්වාධීනව) ඇති කර ගන්නා ආර්ථික බැමි සහ සබඳතා නිෂ්පාදන (ආර්ථික) සබඳතා යනුවෙන් හඳුන්වනු ලැබේ. මිනිසුන් සොබා දහම සමග සබඳතාවලට අවතීර්ණ වන්නේද, සමාජ නිෂ්පාදනය සිදු වන්නේ ද බොහෝ විට ස්පර්ශ කළ නොහැකි වූද, අදෘෂ්‍යමාන වූද, මෙම සබඳතාවල රාමුව ඇතුලත පමණකි. ආර්ථික සබඳතා සමාජ සබඳතා පද්ධතිය තුළ තීරණාත්මක කාර්යභාරය ඉටු කරමින් ඒවායේ පදනම හා අත්තිවාරම වශයෙන් ක්‍රියා කරයි. මිනිසුන් අතර සියළු දේශපාලන, නෛතික හා අනිකුත් සබඳතා අවසාන වශයෙන් ආර්ථික සබඳතාවල ස්වභාවය මත රඳා පවතී”

දේශපාලන ආර්ථික විද්‍යාව යනු කුමක් ද? පිටුව 26

නිෂ්පාදන සබඳතා යනු දව්‍යමය වටිනාකම් නිෂ්පාදනය කිරීමේ, බෙදාහැරීමේ, හුවමාරුවේ  සහ පරිභෝජන ක්‍රියාදාමයේ දී මිනිසුන් අතර පැනගිය ආර්ථික සබඳතා පද්ධතියකි.

මේවා නිශ්චිත සමාජ, ආර්ථික රටාවකට අනුරූපව මෙන්ම එක් නිෂ්පාදන සබඳතා ස්වරූපයක සිට තවත් එකක්ට සංක්‍රමණය වීමේ සබඳතා ලෙසද පැවතිය හැකිය. නිෂ්පාදන සබඳතා ක්‍රමයේ තීරණාත්මක කර්යභාරයක් ඉටු කරනු ලබන්නේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ (දේපල) අයිතියෙහි ස්වරූපයට අනුව ය.

විමර්ශන

 

 

නිෂ්පාදන සබඳතා යනු කුමක්ද?