දැනුම තුළ අසත්‍යය සමාජයට හානි කරන හැටි

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

දැනුම සමාජය හා චින්තනය

08

     මිනිසාගේ චින්තනය තුළ ප්‍රකෘතිය හා එහි නියාම නිවැරදිවත් අංග සම්පූර්ණවත් පරාවර්තනය නොවන්නේ නම් හා ඒ වෙනුවට ඔහුගේ චින්තනය තුළ පරාවර්තනයවන්නේ ප්‍රකෘතියේ විකෘති කරන ලද හා මනඃකල්පිත පිළිබිඹුවක් නම් එම දැනුම සත්‍ය නොවේ. එය අසත්‍යය වේ; මිත්‍යාවක් වේ. එවැනි අසත්‍යයන්, මිත්‍යාවන් විශ්වාස කිරීම නිසා සමාජයක් තුළ බරපතළ අර්බුදයක් හටගනී. එක් අතකින් එය විද්‍යාවේ වර්ධනයට, සමාජ සංවර්ධනයට, මානව වර්ගයාගේ ප්‍රගමනයට හානි කරන අතර අනෙක් අතින් මිනිසුන්ගේ එදිනෙදා පෞද්ගලික ජීවිතයේදීත් සමාජ ජීවිතයේදීත් පුද්ගලයන්ට මෙන්ම සමාජයටද හානි කරයි.

හානියේ තරම

       පුද්ගල විඥානය තුළ මෙන්ම සමාජ විඥානය තුළ පවතින මිත්‍යාවන් පුද්ගලයන්ටත් සමාජයටත් සිදුකර ඇති හානියත් තවමත් සිදුකරමින් සිටින හානියත් සුළුපටු නොවේ. මෙම හානි හා අනතුරු සිදුවන්නේ විද්‍යාව නොමැති යුගයක නම්එහි කිසියම් සාධාරණත්වයක් තිබේ. එහෙත් විද්‍යාවේ දැවැන්ත වර්ධනය අභිමුව සිට සත්‍යය දැක දැකමිත්‍යාව වැළඳගෙන තමන්ටත් තම ඥාති හිතවතුන්ටත් සමාජයටත් හානි කරන අය බොහෝය. ඒ පිළිබඳ උදාහරණද බොහෝය. මිත්‍යාව නිසා එක් එක් පුද්ගලයන්ට සිදුවූ හානි පිළිබඳඋදාහරණ කිහිපයක් අප මීට පෙර සඳහන් කළෙමු. එකී පුද්ගල හානිවලට වඩා ප්‍රබල වන්නේ මිත්‍යාව නිසා සමාජයට සිදුවන හානියයි. එය මිනිය නොහැක. ලොව පුරා පැතිරයන ඒඞ්ස් රෝගය සමාජ ඛේදවාචයක් වී තිබේ. මෙම රෝගය පැතිර යන්නේ ලිංගික ක්‍රියාකාරකම් හෝ රුධිරය මගින් හෝ මවගෙන් දරුවන්ට ආදී වශයෙනි. විද්‍යාව මෙතරම් දියුණුව තිබියදීත් ධනවාදී ලෝකය මේ සඳහා ඖෂධ සොයාගැනීමට දක්වන උනන්දුව ප්‍රමාණවත් නැත. එය පසෙක තැබුවත් මෙම රෝගය වැඩිපුරම බෝවන්නේ අප්‍රිකාව, ලතින් ඇමරිකාව, ආසියාව වැනි දිළිඳු හා නූගත්කම වැඩිපුර ඇති රටවලය. දුප්පත්කම මෙන්ම ප්‍රජනන පද්ධතිය පිළිබඳ මිනිසුන්ගේ ඇති නොදැනුවත්කම් හා රෝගය පිළිබඳ නොදන්නාකම, නොසැලකිල්ල මෙම රෝගය ව්‍යාප්ත වීමට හේතුවන බව පැහැදිලිය. මිනිසා තුළ වන අවිද්‍යාව සමාජ ව්‍යසනය දක්වා ගමන් කරන්නේ එසේය.

       එසේම ඈත අතීතයේ සිටම ශරීරයේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය ගැන මිනිසාට නිවැරදි දැනුමක් තිබුණේ නැත. අතීතයේදී මිනිසුන් කල්පනා කළේ සිතුවිලි හා අදහස් එන්නේ හදවතින් බවය. එය අවිඥ්ඥානිකව අද පවා තිබේ. එහෙත් සිතිවිලි හා හදවත අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර සිතිවිලි හා චින්තය මිනිස් මොළයේ ගුණයකි. මෙහිදී මිනිසුන්ගේ දැනුමින් වඩාත් දුරස්තර වූයේ ප්‍රජනන පද්ධතිය පිළිබඳ දැනුමයි. සදාචාරමය හේතු මත ඒ පිළිබඳ කථා නොකරන ලදී. එබැවින් එහි විද්‍යාව වෙනුවට මිත්‍යාවන් රජවිය. මේ පිළිබඳව තිබූ මිත්‍යාවන් නිසා පවුල තුළ කාන්තාවන් බොහෝ පීඩාවට පත්වූහ. පැරණි කෘෂිකාර්මික ආර්ථිකය මත පැවති සමාජයේදී පවුලකට දරුවන් රැසක් අවශ්‍යවූ අතර ඉන් වැඩි වටිනාකම තිබුණේ පිරිමි දරුවන්ටය. රජකම දුන්නේද පිරිමි දරුවෙකුටය. ආර්ථිකයේදීද පිරිමි ශ්‍රමය අත්‍යාවශ්‍ය වූ අතර ගැහැණු  දරුවන් පවුලකට ‘බරක්’ ලෙස සලකන ලදී. ඒ විවාහයේදී දෑවැදි දීමට සිදුවීම, ආරක්‍ෂා කිරීමේ වගකීම ආදිය නිසාය. මේ නිසා අතීතයේ පවුලකට පිරිමි දරුවන් සිටීම වාසියක් හා වාසනාවක් ලෙස සලකන ලදී. අද පවා මෙම අදහස තිබේ. මෙහිදී ගැහැණු දරුවන් පමණක් ලැබීම හා පිරිමි දරුවන් නොලැබීම පිළිබඳ වගකීම මුළුමනින්ම පැවරුණේ කාන්තාවටය. තමන්ට පිරිමි දරුවෙකු ලබාදීමට නොහැකිවීම නිසා කාන්තාවන් පවුල තුළ අවමානයට, අඩම්තේට්ටම්වලට ලක්වූ අතර පුරුෂයා විසින් ඇය අත්හැර දැමීම හෝ දික්කසාද කිරීමද සිදුවුණි. රජවරුද පුත් කුමරෙක් නොමැතිනිසා අගබිසව ඉවත්කර ඒ වෙනුවට වෙනත් කුමරියක් සරණපාවා ගත් අවස්ථා ඉතිහාසයේ ඇත. කාන්තාව මේ සියලු ගැහැටවලට ලක්වූයේ එක් මිත්‍යාවක්නිසාය. ඒ දරුවන්ගේ ගැහැණු පිරිමි බව තීරණය වන්නේ, කාන්තාව මත යයි තිබූ වැරදි විශ්වාසයය. එහෙත් විද්‍යාව ඔප්පුකර ඇත්තේ, එහි ප්‍රතිවිරෝධයයි. උපදින දරුවාගේ ගැහැණු පිරිමි බව තීරණය වන්නේ ස්ත්‍රීය මත නොව පුරුෂයා මතය යන්න එම සත්‍යයයි. එම සත්‍යය නොදැන සිටීම නිසා ස්ත්‍රිය සමාජයක් තුළ ඉතිහාසයක් පුරා මුහුණ දුන් ඛේදජනක අත්දැකීම විශාලය. වඳබවපිළිබඳවූ සමාජ මතයද මෙලෙසම වැරදිය.

ම්ලේච්ඡත්වය කරා…

         දැනුම තුළ අසත්‍යය පැවතීම නිසා සිදුවන විශාලතම සමාජමය හානිය වන්නේ එය සමාජ සංවර්ධනයට බාධා කිරීමයි. ජනතාවගේ සමගියට, විශේෂයෙන් පංතියේ සමගියට බාධා කිරීමයි. මේ නිසා සමාජය අනාගතයට, ප්‍රගතිය වෙත යනවා වෙනුවට අතීතයට ම්ලේච්ඡත්වයට ආපසු යාමට පටන්ගෙන තිබේ. එක් මිනිස් කණ්ඩායමක් තවත් මිනිස් කණ්ඩායමකට වඩා උසස් යයි සැලකීම මෙහි බරපතළම ප්‍රශ්නය වී තිබේ. ජාතිවාදය උපත ලබන්නේ සමාජ පීඩනය හා අසමානතාවය තුළ වුවත් ජාතිවාදී ගැටුම්වලට අවශ්‍ය මතවාදය සකසන්නේ ඉහත මිත්‍යාවය. මානව වර්ගයා ලොව පුරා විවිධත්වයක් තුළ ජීවත් වුවද සියලුම ජනතාවන් එක් මූලයකින් එනම් හෝමෝ සේපියන් නම් මානව විශේෂයෙන් පැතිරී ගිය බවට වන සත්‍යය තහවුරු නොවීමත් විශ්වාස නොකිරීමත් නිසා මිනිසුන් එකිනෙකා හා සටන්කොට කොතරම් දේපළ හා මිනිස්ජීවිත ප්‍රමාණයක්විනාශකර තිබේද? තවමත් එම විනාශය සිදුවෙමින් තිබේ.

         මිහිතලය මත මිනිසුන් කෝටි 05ක් මරා දැමූ දෙවන ලෝක යුද්ධය බිහිවීමේ සැබෑ හේතුව අධිරාජ්‍යවාදීන් අතර ලෝකය බෙදා ගැනීම සඳහා වූතරඟය වුවත් එම යුද්ධය ආරම්භ කිරීමට හිට්ලර් යොදාගනු ලැබුවේ ජර්මන්වරු (ආර්යයන්)උතුම් ජන කොටසක්යය යන මතය හා ලොව පාලනය කළ යුත්තේ ඔවුන් විසින්ය යන මතයය. එම මිත්‍යාව ජර්මානුවෝ විශ්වාස කළෝය. එම මහා විනාශය කිරීමට හිට්ලර්ට හැකිවූයේ ඒනිසාය. එවන් නාසිවාදීහු යුරෝපයේ තවමත් සිටිති.

සුදු-කළු භේදයේ මිත්‍යාව

         ලොව ජාතිවාදය තරම්ම සුදු කළු භේදයද විශාලය. එය තවමත් පවතී. මේ නිසා ලොව තුළ කළු මිනිසුන් විඳි දුක් කරදර අප්‍රමාණය. ඒ පිටුපස පවතින්නේද කළු මිනිසුන්ට වඩා සුදු මිනිසා උතුම්ය යන මිත්‍යාවයි. පරිණාමයේදීම සුදු මිනිසා වඩා දියුණු අවධියකත් කළු මිනිසා වඩා නොදියුණු අවධියකත් සිටින්නේය යන්න ඔප්පු කිරීමට සුදු මිනිසුන් විසින් කළු ජාතික වහලුන් විවිධ පරීක්‍ෂණයන්ට පවා භාජනය කරනු ලැබුවේ විද්‍යාගාර මීයන් සේ සලකාය. දකුණු අප්‍රිකාව තුළ වර්ණභේදවාදී පාලනයන් පවත්වාගෙන ගිය අතීතයක් ලොව තුළ තිබිණි. අප්‍රිකාව තුළ විවිධ ගෝත්‍ර අතර පවතින සටන්තුළ ඇත්තේද මෙවැනිම මිත්‍යාවන්ය. ආගම වෙනුවෙන් සටන්කර මියැදෙන්නා එවේලේම ස්වර්ගය වෙත, දෙවියන් වෙත යන්නේය යන මිත්‍යා විශ්වාසය නිසා කුරුස යුද්ධවල සිට දැනට සිදුකරන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ඝාතන දක්වා කොතරම් මිනිසුන් එකිනෙකා මරාගෙන ඇත්ද? යටත්විජිතවාදීන් භුමිය

        අත්පත්කර ගැනීමේ තම අවශ්‍යතාවය සඳහා වූ ආවරණයත් උත්තේජනයත් ලබා ගත්තේ මෙම මතය මගිනි. මේ අනුව මිත්‍යාවන් සමාජය රැගෙන යමින් තිබෙන්නේ ම්ලේච්ඡත්වය කරාය. නූතන අධිරාජ්‍යවාදය ලෝකය බෙදා පාලනය කිරීම සඳහාත් ලොව ජාතීන් දුර්වලකොට පාගාගෙන එම රටවල සම්පත් කොල්ලකෑම සඳහාත් පන්ති අසමගිය ඇතිකිරීම සඳහාත් මෙම වාර්ගික, ආගමික මිත්‍යාවන් හොඳින්ම ප්‍රයෝජනයට ගනිති. සැබැවින්ම ජාතිය, ආගම, කුලය, වර්ගය ආදිය පිළිබඳ වන මිත්‍යාවන් සේවය කර තිබෙන්නේ මිනිසාට නොව අධිරාජ්‍යවාදීන්ටය; පාලක පංතීන්ටය.

      මිනිසුන් විවිධ ස්ථරවලට බෙදා යටත්කර ගැනීම අතීතයේ සිට පැවැත එන්නකි. ඉන්දියාවේ බ්‍රහ්ම මැවීම තුළ මෙය සාධාරණය කරගැනිණි. ඒ අනුව පුරාණ ඉන්දියාවේ ජනතාව ප්‍රධාන ස්ථර 04කට බෙදන ලදී. ඒ බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය,වෛශ්‍ය, හා ශුද්‍ර ලෙසය. ඊට ආගමික මුහුණුවරක්දදෙන ලදී. ඒ අනුව මිනිසුන් මවනු ලැබුවේ මහා බ්‍රහ්මයාවිසින් බව පවසන ලදී. එහිදී ඔහු සිය සිරසෙන් (හිසෙන්) බ්‍රාහ්මණයින්ද, උරහිස ප්‍රදේශයෙන් ක්‍ෂත්‍රීයන්ද උකුල ප්‍රදේශයෙන් වෛශ්‍යයන්ද දෙපතුළෙන් ශුද්‍රයන්ද මැවූ බව පවසා ශුද්‍රයන් පීඩාවට පත්කරන ලදී. නවීන විද්‍යාව සමග මෙම මැවුම්වාදයන් බිඳවැටී ඇතත් තවමත් ඉන්දියාවේත් ආසියානු රටවලත් මීට සමාන ලෙසින් මිනිසුන් වර්ග කොට පීඩාවට ලක්කරමින් සිටිති. ඒ නිසා සමාජයේ ඇති මිත්‍යාවන් වෙනුවෙන් මානව සමාජය ගෙවා ඇති වන්දිය විශාලය.

සමාජ සංවර්ධනයට බාධාවක්ව

        යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, ආගමික විශ්වාස, කේන්දර ආදියේ සිට ජාතිවාදය වර්ගවාදය දකවා සියලු මිත්‍යාවන් අවසානයේ සේවය කරමින් සිටින්නේ කාටද? ඒ මානව වර්ගයාට හෝ මානව සමාජයට නොවේ; එය සේවය කරන්නේ වත්මන් ලෝක ධනවාදයට හා ප්‍රතිගාමිත්වයටය. එය සමාජ සංවර්ධනයට, සමාජ ප්‍රගතියට බාධාබවට, විලංගු බවට පත්ව තිබේ. සමාජයක් තුළ පවතින අවිද්‍යාව, මිත්‍යාව, නොදැනුවත්කම සරල නොවන්නේ මේ නිසාය. සමාජයක් අවිද්‍යාවේ සිට විද්‍යාව වෙතත් මිත්‍යාවේ සිට සත්‍යය වෙතත් නොදැනුමේ සිට දැනුම වෙතත් ගෙනා යුත්තේ මේ නිසාය. සොබාදහම හොඳින්ම ජයගැනීමටත් මිනිස් අවශ්‍යතා සියල්ල සපුරාලීමටත් මිනිසාට වඩා හොඳ ජීවිතයක් සකස්කර දීමටත් නව සමාජයක් නිර්මාණය කිරීමටත් තරම් වන විද්‍යාවේ වර්ධනයක් දැනුමක් තිබියදීත් මිනිසා මිත්‍යාවන්ට යටවීම නිසා එම සියලු ජයග්‍රහණ අහිමිකරගෙන සිටී; තමන් විසින්ම හදාගත් හා පාලකයින් හා  ආගමික සංස්ථාවන් විසින් පතුරුවන අවිද්‍යා අන්ධකාරයේ සිරවී දුක් විඳිමින් සිටී. මානව සංහතියත් මානව සමාජයත් මෙම අවිද්‍යාවේ අන්ධකාරයෙන් මුදවා විද්‍යාවේ, සත්‍යයේ ආලෝකය වෙත රැගෙන යාමඅද දවසේ කාර්යය වී තිබේ.එය කළ හැකි වන්නේ දැනුම නැමති ක්‍රියාවලිය තුළිනි; දැනුම තුළ සත්‍ය පරාවර්තනය කිරීම මගිනි. අප සත්‍යය වෙනුවෙන් අරගල කළ යුත්තේ ඒ නිසාය.

Next : – ප්‍රකෘතිය වටහා ගැනීමේ මාවත්

දැනුම තුළ අසත්‍යය සමාජයට හානි කරන හැටි