චින්තනය වල්මත් වූ කල

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

දැනුම සමාජය හා චින්තනය

16

         රටකට, මානව සමාජයකට ප්‍රගතිය කරා යා හැක්කේ, එම රටේ එම සමාජයේ ජනතාවගේ චින්තනය නිවැරදි දැක්මකින් මෙහෙයවනු ලබන්නේ නම් පමණක්ය යන සත්‍යය කිසිවෙකුට බැහැර කළ නොහැක. ධනවාදී සමාජයක් තුළදී, සමාජයේ සාක්‍ෂරතාවය කෙතරම් ඉහළ ගියත්, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු විභාග කඩඉම්වලින් වැඩිම ලකුණු ලබාගන්නා අය සිටියත්, විද්වතුන් කෙතරම් බිහි වුවත් ධනවාදය මිනිස් චින්තනය තුළ නිවැරදි දෘෂ්ටියක් ඇති නොකොට මිනිසා චින්තනමය ලෙස වල්මත් කරනු ලැබේ. ධනවාදී සමාජයකදී පැහැදිලිව පෙනෙන සත්‍යයන් පසෙකලා මිනිසුන් මිත්‍යාවන් පසුපස යන්නේ මේ නිසාය. මෙම චින්තන වල්මත්භාවය විවිධ ආකාරයෙන් සමාජය තුළ පරාවර්තනය වනු අපි දැක ඇත්තෙමු.

ධනවාදී දෘෂ්ටියේ මහිම

          “කළුගලේ ඔළුව ගහ ගන්න බැහැ” යන්න අපේ සමාජයේ නිතර භාවිත වන කියමනකි. එය සමාජ විඥානය තුළ, චින්තනය තුළ පරාධීනත්වය පිළිබිඹු වන ආකාරයකි. “නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳයි” “නොලැබෙන දේ ගැන හඬා පලක් නැත”. “ලද දෙයින් සතුටු වෙමු”. ඒ තවත් එවැනි කියමන් කිහිපයකි. ඒ සියල්ල තුළ පවතින්නේ පවතින දේ වෙනස් කිරීමට ඉඩ නොදෙන, ඉරණම භාරගෙන සිටීමට මිනිසුන් පොළඹවන චින්තනයකි.  එය ධනවාදයට හොඳය. ධනවාදයට අවශ්‍ය වන්නේ, තමන් ඉදිරිපිට ඇති ගැටලු අභියෝග නිවැරදිව හඳුනාගෙන  ඒවා වෙනස් කිරීමට සටන් වදින මිනිසුන් නොව තමන්ට ලැබී ඇති ජීවිතය තුළ ජීවත් වෙමින් ඊළඟ ආත්මයක හොඳ ජීවිතයක් අපේක්‍ෂා කරන පරාධීන හා අක්‍රීය මිනිසුන්ය. ඒ සඳහා ධනවාදය විවිධ මාර්ග හා ක්‍රම මගින් මිනිස් චින්තනය තුළට වැරදි අදහස් ඇතුළු කොට ඔවුන් වල්මත් කරනු ලැබේ.

          එහෙත් සමාජවාදී චින්තනය එසේ නොවේ. එය හැම විටම මිනිසුන්ට සුබවාදී ලෙස සිතන්නට උගන්වයි. අදීන ලෙස ජීවත් වීමට උගන්වයි. අභියෝග සාමූහිකව ජය ගත හැකි බවත් ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු බවත්, සියල්ල වෙනස් කරගත යුතු බවත් උගන්වයි. ධනවාදී චින්තනයේ හා සමාජවාදී චින්තනයේ වෙනස එයයි. ශ්‍රේෂ්ඨ විප්ලවවාදී ගත් කතුවරයෙකු වූ මැක්සිම් ගෝර්කි සිය ඉසර්ගිල් මැහැල්ල නම් කෙටි කතාවේ දන්කෝගේ හදවත ගැන කතා කරන කොටසේ මෙසේ සඳහන් කරයි. “කල්පනා කළාට පාරේ තියෙන කළුගල් ඉබේට ඉවත් වන්නේ නැහැ. කිසි වැඩක් නොකරන මිනිහගෙන් ඇති වැඩකුත් නැහැ.  අපි කල්පනා කරන්නයි, දුක් වෙනන්නයි අපේ ශක්තිය යොදවන්නේ මොකටද? නැගිටිමු! නැගිටල කැලෑව අතරින් ඉදිරියට යමු. කොතරම් විශාල වුණත් මේ කැලෑවට අවසානයක් තියෙන්න ඕන. ලෝකයේ හැම දෙයකටම අවසානයක් තිබෙනවා! ඉදිරියට යමු! නැගිටපල්ලා යමු!”

        ඒ තුළ ඇත්තේ සුබවාදයකි. අරමුණක් සහිත චින්තනයකි.

තරු සොයන පරපුරක්

         ලංකාවේ මිනිස් චින්තනය මෙහෙයවන ධනේශ්වර දෘෂ්ටිවාදය කර තිබෙන හානිය ඉතාම බරපතළය. එය එක් අතකින් ධනේශ්වර වෙළඳපොළට ගැලපෙන පරිභෝජනවාදී මිනිසෙක් නිපදවන අතර අනෙක් අතින් සාමූහික ජයග්‍රහණ පසෙකලා තනිව ජය ගැනීමට හඹායන මිනිසෙක් බිහිකර තිබේ. මිනිස් ක්‍රියාකාරකම්වල වටිනාකම් මනින මිනුම් දඬු ධනවාදය විසින් තමන්ට ගැලපෙන ලෙස නිමවා ඒවා තහවුරු කර තිබේ. ‘සුපිරි තරු’ බිහිකරන ‘තරු’ පසුපස හඹායන පරපුරක් බිහිකෙරෙමින් තිබේ. ඒ සඳහා වෙළඳ සමාගම්ද ප්‍රවෘත්ති හිඟයෙන් පෙළෙන ජනමාධ්‍ය ආයතන හිමිකරුවෝද ප්‍රසිද්ධියට ආසකරන දේශපාලකයෝ හා නිලධාරීහුද හවුල්වී සිටිති. ජයග්‍රාහකයාගේ සතුටේ උන්මාදය මෙන්ම පරාජිතයා වැළපෙන්නෙකු බවට පත්කර ඔහුගේ වේදනාවේ කඳුළද එකවිට විකුණාගන්නා රූපවාහිනී ‘රියලිටි ෂෝ’ මෙයට හෙඳම උදාහරණය වේ. ජයග්‍රහණයෙන් උන්මාදයට පත්වීම මෙන්ම පරාජයෙන් කම්පාවට පත්ව හඬාවැටීමද සමාජයක මනා පැවැත්මට එකසේ හානිකරය. රටකට අවශ්‍ය වන්නේ, ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද එකසේ දරා ගැනීමට හැකි මිනිසුන්ය. එහෙත් දැන් අපේ රට තුළ නිර්මාණය කරමින් තිබෙන්නේ, එවැනි පරපුරක් නොවේ. ඊට හොඳම උදාහරණය ලංකාවේ අධ්‍යාපනය තුළින්ම ගත හැක.

         පසුගියදා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රතිඵල නිකුත්විය. ප්‍රතිඵල නිකුත්වන විටම ජනමාධ්‍ය ආයතන හිමියෝ රූපවාහිනී කැමරාද රැගෙන වැඩිම ලකුණු ගත් සිසුන් සොයා ගොස් ලංකාවෙන්ම පළමුවැනියා, දෙවැනියා, හා තුන්වැනියා  තෝරන තරඟයට බැස්සෝය. පාසැල්වල ප්‍රධානීන්ද තම තමන්ගේ පාසැල්වල ප්‍රතිඵල ගැන උදම් ඇනීමට පටන්ගත්හ. විභාග ප්‍රතිඵල නිකුත්වන හැම විටම මෙය සිදුවේ. ඒ අතරම විභාග අසමත් වීම නිසා දිවි නසාගන්නා අය ගැනද මාධ්‍ය වාර්තා කරනු ලැබේ. විභාගය අසමත් වූ විට දරුවන් දිවිනසා ගන්නා තැනට පත් වූයේ කෙසේද? රටේ සමාජ චින්තනයේ අර්බුදය ඉන් හොඳින්ම පැහැදිලිය. රටකට අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ, ඔලිම්පික් තරඟයකදී මෙන් පදක්කම් සෙවීමට නොව, තරු පැළඳීමට නොව හොඳ පුරවැසියන් බිහිකිරීමටය. අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ, ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද දරා ගැනීමට සමත් පරපුරක් බිහිකිරීමටය. පරාජයන් ජයග්‍රහණ බවට හැරවිය හැකි පරපුරක් බිහි කිරීමටය. එහෙත් ධනවාදී අධ්‍යාපනයත් ‘තරු සොයා’ යන තරඟකාරීත්වයත් බිහි කරමින් සිටින්නේ පරාජයක් ලද විට ජීවිතයෙන් පලායන පරපුරකි. ඉතින් මිනිස් චින්තනයේ වටිනාකම් පිළිබඳ නිර්ණායක විකෘතිකොට නැතැයි කාට කිව හැකිද? චින්තනය වල්මත් වී නැතැයි පැවසිය හැකිද? නැත. ධනවාදය තුළ සියලු මිනිස් වටිනාකම් කෙළෙසා  මිනිසා තරඟයකදට ඇදදමා තිබේ. ජීවත් වීමට දැක්මක් නොමැතිව ජීවත්වන සමාජයක් නිර්මාණය වී තිබේ.

සමාජවාදය හා චින්තනය

         රටක ප්‍රගතිය සඳහා මිනිස් චින්තනය නිවැරදි අවබෝධයකින් මග පෙන්වීම ලැබිය යුතුය. සමාජයට මිනිස් චින්තනයට එවැනි නිවැරදි දෘෂ්ටිමය මගපෙන්වීමක් ලබා දෙන්නේ සමාජවාදී චින්තනයයි. මාක්ස්වාදී දෘෂ්ටියයි. එය ලෝකය නිවැරදිව අවබෝධකර ගැනීමට මෙන්ම එය නිවැරදි දෙසට වෙනස්කර ගැනීමටද උගන්වයි. සමාජය ඉදිරියට මිස ආපස්සට ගමන් නොකරන බවත් පැරණි යල්පැන ගිය සමාජ ක්‍රම බිඳවැටී නව, වඩා දියුණු සමාජ ක්‍රම නිර්මාණය වන බවත් ඊට දායකත්වය ලබාදීම මිනිසාගේ පරම යුතුකම බවත් සමාජවාදී චින්තනය උගන්වයි. අන් සියලු මිනිසුන් නොසලකා තමන්ගේ ජයග්‍රහණය ගැන පමණක් තනිව ජයගැනීම ගැන පමණක් උගන්වන ධනවාදී චින්තනයට වෙනස්ව සමාජවාදී චින්තාව සාමූහික ජයග්‍රහණ ගැනත් සමාජය වෙනුවෙන් තනි තනි  මිනිසුන් කැපවීම් කරන ආකාරය ගැනත් උගන්වයි.

         ලොව සියලු විප්ලවවාදී සටන්කාමීන්, විප්ලවවාදී නායකයින් සමාජය වෙනුවෙන්, පොදු ජනතාව වෙනුවෙන් සිය ජීවිත කැපකිරීමට සමත් වීමේ රහස පවතින්නේ මෙම චින්තනය තුළය. එය අසුබවාදය වෙනුවට සුබවාදයත්, ආර්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වයත්, හුදකලාව වෙනුවට සාමූහිකත්වයත් පරාධීනත්වය වෙනුවට අදීනත්වයත් මිනිස් චින්තනය තුළ තහවුරු  කරයි. එවැනි චින්තනයක් සහිත මිනිසුන් සිටින විට ඔවුනට ජයගත නොහැකි අභියෝගයක් නැත.

සමාජය හා පුද්ගලයා

        මානව සමාජය සකස්වී තිබෙන්නේ, තනි තනි පුද්ගලයින්ගෙන් බව සැබෑය. එහෙත් මාක්ස්වාදය සැම විටම තනි තනි පුද්ගලයාට වඩා ඉහළින් සමාජය තබයි. පුද්ගල වුවමනාවන්ට ඉහළින් සමාජ වුවමනාවන් තබයි. මාක්ස්වාදී චින්තනයට අනුව පුද්ගලාභිවන්දනය සමාජයට හානිකරය. සමාජයක ඉදිරිගමනේදී විශේෂ දක්‍ෂතා ඇති විශේෂ පුද්ගලයින් බිහිවේ. බොහෝ විට සමාජයේ නායකයින් වන්නේ ඔවුන්ය. සමාජයට නායකයින් වීරයන් අවශ්‍යය. එහෙත් සමාජයක සියල්ල තීරණය වන්නේ, තනි නායකයන් හෝ වීරයන් මත නොව, පොදු සමාජ ක්‍රියාකාරිත්වයන් මතය. ‘තරු’ හදන අධ්‍යාපනයක්  හා චින්තනයක් වෙනුවට සාමූහික ක්‍රියාකාරකම්වල තමන්ගේ කොටස තම වගකීම ඉටු කරන මිනිසුන් නිර්මාණය කළ යුතු වන්නේ මේ නිසාය. පුද්ගලයන් වන්දනා මාන කිරීම මෙන්ම පුද්ගලයන් නොසලකා හැරීමද එක සේ වැරදිය. එය ධනවාදී චින්තනයට අනුව සිදුවන්නකි.

       ධනවාදය ලොව සියලු නිර්මාණ පුද්ගල නම්වලට පවරා ඒවායේ සැබැ නිර්මාපකයින් වන ජනතාව අමතක කර තිබේ. රුවන් වැලි සෑය දුටුගැමුණු රජුගේ නිර්මාණයක් බව කියන විට එම මහා නිර්මාණය ඉදි කිරීමට වෙහෙසවූ දිවි පිදූ සියලු වැඩකරන ජනයා අමතක කර තිබේ. චීනයෙන් ණයට ගත් මුදලින් චීන සමාගමක් විසින් සාදන ලද හම්බන්තොට වරාය මහින්ද රාජපක්‍ෂගේ නමින් නම් කිරීමද  ඒ වර්ගයේම දෙයකි. මෙම පුද්ගල වීරයන් වන්දනාමාන කිරීමේ චින්තනය වර්ධනය වී යනවිට සිදුවන ඛේදවාචකයකි, ඉහත දිවිනසා ගැනීම්වල දැකිය හැක්කේ. මේ නිසා මිනිසාගේ චින්තනය වල්මත් නොකර තැබීම වැදගත්ය. තනි මිනිසා හා සමාජය පිළිබඳ ‘මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම’ නම් කෘතියේ එහි කර්තෘ අපනාසියෙව්  මෙසේ සඳහන් කරයි.

“තනි පුද්ගලයෙක් කෙතරම් ශ්‍රේෂ්ඨ අයෙක් වුවද ඉතිහාසයේ ඉදිරි ගමන නියම කිරීමට ඔහුට බැරි බව, ඓතිහාසික සංවර්ධනයේ ක්‍රියාවලිය විසින් පැහැදිලි ලෙස පෙන්වා දී ඇත. ඉතිහාසයේ නිර්මාපකයා වන්නේ මිනිස් වර්ගයාගේ සියලු ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික සම්පත් නිර්මාණය කරන ජනතාවයි.”

 

Next – චින්තනය නිදහස් වීමට නම්…

චින්තනය වල්මත් වූ කල