ආර්ථික අර්බුදයට න්‍යායාත්මක ප්‍රවේශයක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

රට තුළ ඩොලර් සංචිත සිඳී ගොස් තිබේ. රන් සංචිතවලින් භාගයකට වැඩි කොටසක් විකිණීමට පාලකයන්ට  සිදු විය. අර්බුදයට පිළියමක් ලෙස උරගා බැලූ මුදල් මුද්‍රණය කිරීම, ප්‍රශ්නයට පිළිතුරක් වනවා වෙනුවට ප්‍රශ්නය උග්‍ර කරන්නාවූ සාධකයක් බවට පත් වී තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩද ඇතුළුව භාණ්ඩ හිඟයක් පවතී. භාණ්ඩ හිඟය සහ සංසරණය සඳහා අධික ලෙස නෝට්ටු හා කාසි නිකුත් කිරීම හේතුවෙන් දිනපතා බඩු මිල ඉහළ යමින් පවතී. ජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම් වල කල් ගත කිරීමට සිදුවී ඇත.

රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ලෙසින් ශ්‍රී ලංකාව තුළ දී හැඳින්වූ ධනේශ්වර ආර්ථික මොඩලය අර්බුදයට පත්වීමෙන් පසු ඊට පිළියම් ලෙස හඳුන්වා දුන් නව ලිබරල්වාදී ආර්ථික මොඩලයේ අර්බුදය අප රට තුළ ප්‍රකාශයට පත් වෙමින් තිබෙන්නේ ඒ ආකාරයටය.

අර්බුදයන්ගේ ඉතිහාසය

ආර්ථික අර්බුදය ධනේශ්වර ක්‍රමයේ අනිවාර්ය ලක්ෂණයකි. එය පැනනගින්නේ කිසියම් අහම්භයක් හෝ අත්වැරදීමක් හෝ නිසා නොවේ. ධනේශ්වර ක්‍රමය තුළ ක්‍රියාත්මක වන මූලික ආර්ථික නියමයන් විසින්ම , ධනේශ්වර ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා විසින්ම පැන නංවන්නකි. කිසියම් රටක් තුළ ඇතිවූ ප්‍රථම ආර්ථික අර්බුදය ලෙස වාර්තා වන්නේ 1825දී, එකල ලෝකයේ කාර්මික වැඩපොළ ලෙසින් පැවති එංගලන්තයේ ඇති වූ ආර්ථික අර්බුදයයි. ධනවාදය ලෝකයේ රටවල් ගණනාවක බිහිවී, ජගත් ධනවාදී වෙළඳ පොළක් ඇති වීමෙන් පසු, 1847-1848 කාලයේදී ප්‍රථම ලෝක ආර්ථික අර්බුදය ඇති විය. ධනපති ක්‍රමය එහි අවසන් අදියර වූ අධිරාජ්‍යවාදයට පිවිසීමට ප්‍රථම, නිදහස් ධනවාදය තුළ ඇති වූ තියුණුම අර්බුදය ඇති වන්නේ 1873දී ය. අධිරාජ්‍යවාදී යුගයේ පළමු ආර්ථික අර්බුදය 1900-1903 වකවානුවෙත් මහා අවපාතය ලෙසින් හැඳින්වූ ඉතිහාසයේ ගැඹුරුතම සහ විශාලතම අර්බුදය 1929-32 කාලයේදීත් ඉන්පසු 1973-75 වසර වලදීත් නැවත 1980-82 වසරවලදීත් ලෙස කලින් කලට ධනේශ්වර ක්‍රමය තුළ අර්බුද ඇති වී තිබේ. අප මුහුණ දුන් ආසන්නතම ලෝක ආර්ථික අර්බුදය වාර්තා වූයේ 2008 සැප්තැම්බරයේදීය.

ආර්ථික අර්බුදයන් හුදෙක් ඊනියා තුන්වන ලෝකයේ රටවලට, එසේත් නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් උරුම වූවක් නොවේ. එය සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින ආදී සෑම ධනේශ්වර ආර්ථිකයකටම පොදු අත්දැකීමකි. සෑම රටකම ඇතිවන ආර්ථික අර්බුදයන් ලෝක ආර්ථික අර්බුදයන් හා සමගාමී විය යුතු නොවේ. බොහෝ රටවල ආර්ථික අර්බුදයන් ලෝක ආර්ථික අර්බුදයට සමගාමීව සිදුවන නමුත් එසේ නොවන අවස්ථා ද තිබේ. උදාහරණයක් ලෙස බි්‍රතාන්‍යයේ 1919-21 හා 1930-31 වසර වලදී ආර්ථික පසුබැස්මක් ද 1952, 1958, 1974-75, 1980-81, 1991,සහ 2008 වසර වලදී ආර්ථික අවපාතයක් ද ඇති විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව විශාලතම ආර්ථිකය බවට පත්වූ එක්සත් ජනපදය තුළ 1954, 1958, 1974-75, 1982,1991, 2001 සහ 2008-09 වසරවලදී ආර්ථික අවපාතයන් ඇති විය. මීට අමතරව බොහෝ බටහිර යුරෝපීය රටවල 1970 දශකය මැදදී ද 1990 දශකය මුලදී ද 2001-02 සහ 2008-09 වසරවලදීද ආර්ථික අවපාතයන් ඇති විය. මෙම එක් එක් ආර්ථික අර්බුදයන් තුළ ඊටම අනන්‍ය ලක්ෂණ තිබුණද ඒ හැම එකකදීම අධිසමුච්ඡය , අධිනිෂ්පාදනය වැනි පොදු ලක්ෂණද පෙන්නුම් කළේය.

අර්බුදයේ ලක්ෂණ

එංගල්ස් පැවසූ පරිදි , ආර්ථික අර්බුදයකදී ධනවාදී නිෂ්පාදනය සහ හුවමාරුව පීලි පනී. ළඟ එන අර්බුදයේ ප්‍රථම සලකුණු සාමාන්‍යයෙන් සංසරණ ක්ෂේත්‍රයෙන් මතුවේ. එය මුදල් සංසරණයේ සහ ණය පහසුකම්වල විද්‍යාමාන වේ. බොහෝ ව්‍යාපාරික ආයතන සහ බැංකු බංකොලොත්භාවයට පත් වේ. කර්මාන්ත හිමියන් , වෙළඳුන්, බැංකුකරුවන් සහ තැරැව්කරුවන් අතර භීතිය පැතිර යයි. සියලු දෙනාටම මූල්‍ය ප්‍රාග්ධනයේ බලවත් වුවමනාවක් ඇති වේ. ණය හිමියෝ ණය ගෙවන ලෙස බල කර සිටිති. තැන්පත්කරුවෝ තමන්ගේ තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමට බැංකුවලට රොක් වෙති. අලෙවි කළ නොහැකි භාණ්ඩවලින් වෙළඳපොළ පිරී ඉතිරී යයි. බොහෝ ව්‍යවසායයන්, විශේෂයෙන්ම කුඩා ඒවා වසා දමනු ලැබේ. රැකියා විරහිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යයි. එසේම වැටුප් අඩු කරනු ලැබේ.

අර්බුදයට හේතු

ධනපති ආර්ථික විශේෂඥයෝ මෙම අර්බුදයන් ධනපති ආර්ථික ක්‍රමය තුළ ඇති අභ්‍යන්තර හේතු විසින් ජනිත කරන්නේය යන කරුණ ප්‍රතික්ෂේප කරති. ඔවුන් මෙම අර්බුදයන්ට හේතු ඉදිරිපත් කරන්නේ කලාතුරෙකිනි. ඔවුන්ගේ හේතු දැක්වීම්ද විශ්වාසනීයත්වයෙන් තොරය. තහවුරු නොවන සුළුය. මෙම අර්බුදයන්ට හේතුව  ලෙස ඔවුන්ගේ මූලික පැහැදිලි කිරීම වන්නේ විවිධ කරුණු හේතුවෙන් ආර්ථිකයේ සඵල ඉල්ලුම හෝ සැපයුම අඩු වීමය යන්නයි. අනෙක් අතට ඔවුන් එක් එක් අර්බුදයන්ට අදාළ විශේෂිත ලක්ෂණ ඒවායේ පොදු සහ සැබෑ හේතුවලට ඉහළින් සාකච්ඡා කරනු ලබයි. උදා: 1973-74 ආර්ථික අර්බුදයට හේතුව ලෝක තෙල් මිල ඉහළ යාම ලෙසය.

මෙම ලිපිය ආරම්භයේදී පැවසුවාක් මෙන් ම ධනවාදයේ අර්බුදය අහම්බයකින් හෝ අත්වැරදීමකින් ඇති වන්නක් නොවේ. එය අර්බුදයකින් හෝ දෙකකින් අවසන් වන්නක් ද නොවේ. ආර්ථික අර්බුදය ධනවාදී ආර්ථිකයේ අභ්‍යන්තර ස්වභාවයන්ගේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයකි. ධනවාදී ආර්ථිකය පාලනය කෙරෙන ආර්ථික නියාමයන් විසින්ම පැන නංවන්නකි.

ධනවාදී ආර්ථිකය අර්බුදයට යාමට හේතු ප්‍රධාන සාධක තුනකට සම්පිණ්ඩනය කළ හැකිය.

  1. අධි නිෂ්පාදනය
  2. ලාභ අනුපාතිකයේ කඩා වැටීම
  3. ආර්ථිකයේ එක් එක් අංශයන් තුළ පැවතිය යුතු සමානුපාතිකයන්ගේ බිඳ වැටීම

අධි නිෂ්පාදනය

ධනවාදී සමාජයකදී නිෂ්පාදකයන්ට තමන්ගේ ව්‍යවසායයන්හි නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ; එනම් යන්ත්‍ර සූත්‍ර සහ පරිභෝජන භාණ්ඩ අලෙවි කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබිය යුතුය. එසේම පාවිච්චි කර අවසන් වූ යන්ත්‍ර සූත්‍ර ඉවත් කරමින් නව යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීමටද ඔවුන්ට හැකි විය යුතුය.

අනෙක් අතට ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය පරිභෝජන භාණ්ඩද මිලදී ගැනීමට හැකි විය යුතුය.

ධනපති ආර්ථිකයක ප්‍රධාන ලක්ෂණය වන්නේ අරාජිකත්වයයි. ධනපති ආර්ථිකය තුළ ව්‍යවසායය, ආයතනය, කර්මාන්ත ශාලාව සැලසුම් සහගත වුවද සමස්ත ආර්ථිකය සැලසුමකින් තොරය. එක් එක් නිෂ්පාදකයා ලාභ වැඩිකර ගැනීමේ අරමුණින් නොදන්නා වෙළඳපොළක් උදෙසා නිෂ්පාදනය කරයි. සමාජයට ඔහුගේ නිෂ්පාදිතයන් කෙතරම් අවශ්‍යද නිෂ්පාදිතයන් සියල්ල මිලදී ගැනීමට ජනතාව සූදානම්ද ඒ සඳහා ඔවුන්ට හැකියාවක් තිබේද යන්න නොසලකා ඔහු නිෂ්පාදනයේ යෙදේ.

තවද ධනවාදී ආර්ථිකයක උද්ධමනය හෙවත් බඩු මිල අඛණ්ඩව ඉහළ යාම ස්වභාව ලක්ෂණයකි. බඩු මිල ඉහළ යාම ජනතාවගේ ආදායම් හෝ වැටුප් වැඩිවීමට වඩා වේගවත්ය. මේ හේතුවෙන් දිනෙන් දින ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ වැටේ. ආර්ථිකය තුළ සඵල ඉල්ලුම පහත වැටේ. ඒ හේතුවෙන් නිෂ්පාදකයන්ට තම භාණ්ඩ වෙළඳපොළේදී අලෙවි කර ගත නොහැකි වේ. අලෙවි කර ගත නොහැකි වූ භාණ්ඩ තොග ගොඩ ගැසෙන අතර නිෂ්පාදනය කඩා වැටේ. කර්මාන්තශාලා වසා දැමීමට සිදු වේ. විරැකියාව ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව තව දුරටත් හීන වේ. එනම් සැබෑ අවශ්‍යතාවට සාපේක්ෂව නොව ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාවට සාපේක්ෂව අධිනිෂ්පාදන අර්බුදයක් ඇති වේ.

ලාභ අනුපාතිකයේ කඩා වැටීම

ධනපති ආර්ථිකයක නිෂ්පාදකයන් නිෂ්පාදනයේ යෙදෙන්නේ ලාභ ලැබීමේ අපේක්ෂාවෙනි.  ඔවුන් හැමවිටම ලාභ අනුපාතිකය වැඩි, එනම්, යොදවන ප්‍රාග්ධනයට සාපේක්ෂව වැඩි ලාභ ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි නිෂ්පාදන ක්ෂේත්‍රයන්ට ආයෝජනය කිරීමට පෙළඹෙන්නේ ඒ නිසාය.

ලාභ අනුපාතිකය ඉහළ දමා ගැනීමට නම් තම කර්මාන්තය තුළ ශ්‍රම ඵලදායීතාව ඉහළ දමා ගත යුතුය. ඒ සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමට ඔහු පෙළඹේ. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී බොහෝ විට යන්ත්‍ර සූත්‍රවලට සාපේක්ෂව යොදවන සේවක ප්‍රමාණය අඩු කිරීමට සිදුවේ. එහෙත් ලාභ ගෙන එන්නේ යන්ත්‍ර සූත්‍ර මගින් නොව ශ්‍රමයෙනි. මේ නිසා ධනපති ආර්ථිකයන් තුළ හැම විටම ලාභ අනුපාතිකය කඩා වැටීමේ ප්‍රවණතාවක් ඇතිවේ. එය ආර්ථික අර්බුදයට මග පාදයි.

සමානුපාතයේ බිඳ වැටීම

ආර්ථිකයක් අර්බුදයෙන් තොරව ක්‍රියාත්මක වීමට නම් ආර්ථිකයේ එක් එක් අංශ අතර පැවතිය යුතු නිශ්චිත සමානුපාතය පවත්වා ගෙන යාම අත්‍යවශ්‍යය. එහෙත් ධනවාදී ආර්ථිකයක ස්වභාවික ලක්ෂණය වන්නේ සැලසුම්කරණයක් නොමැති කමයි; අරාජිකත්වයයි. මේ නිසා ධනවාදී ආර්ථිකයක ආර්ථිකයේ එක් එක් අංශ අතර පැවතිය යුතු සමානුපාතය නිරන්තරයෙන් බිඳ වැටෙයි. උදාහරණයක් ලෙස ආර්ථිකයක යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය අතර සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය අතර නිශ්චිත සමානුපාතයක් පැවතිය යුතුය. එහෙත් තනි තනි පෞද්ගලික නිෂ්පාදකයන් අවිනිශ්චිත වෙළඳපොළක් උදෙසා නිෂ්පාදනයේ යෙදෙන විට එකී සමානුපාතය පවත්වා ගෙන යාමට නොහැකි වේ. නිරන්තරයෙන් පැවතිය යුතු එකී සමානුපාතයන් බිඳ වැටේ. එය ආර්ථික අර්බුදයට මඟ පාදයි.

ධනවාදී ආර්ථිකයක කලින් කලට ඇතිවන ආර්ථික අර්බුදයන්ගේ සැබෑ හේතු වන්නේ මේවයි. එහෙත් එක් එක් ආර්ථික අර්බුදයේ ආසන්නතම හේතුව, එය ප්‍රකාශයට පත් වන ආකාරය එකිනෙකින් වෙනස් විය හැකිය. 2008 සැප්තැම්බරයේදී ප්‍රකාශයට පත් වූ සහ මහා බිඳ වැටීම ලෙසින් හැඳින්වූ ලෝක ආර්ථික අර්බුදය මූල්‍ය පද්ධතියේ බිඳ වැටීමක් ලෙස ප්‍රකාශයට පත් විය. සැබෑ නිෂ්පාදනයට සාපේක්ෂව කිහිප ගුණයකින් වර්ධනය වී තිබූ අතත්‍ය ප්‍රාග්ධනයේ කඩා වැටීමක් ලෙස එය ආරම්භ විය. 2007 වසර වන විට සමස්ත ලෝකයේ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 196ක් වන විට ලෝකයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් ටි්‍රලියන 56ක් පමණක් විය. එය සමස්ත ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 350%ක් ගුණයක් විශාල වී තිබුණි.

“ආර්ථිකමය වශයෙන් සැලකූ විට එය (2008 ලෝක ආර්ථික අර්බුදය) වසර 80ක් තුළ ඇතිවූ දීර්ඝතම සහ ගැඹුරුතම ධනවාදී අවපාතයයි. නමුත් එය මූල්‍ය බිඳ වැටීමක් පමණක්මද? නැතිනම් එය ධනවාදී ආර්ථිකයේ චක්‍රීය ස්වභාවය, එනම්, කලින් කලට ඇතිවන  අධිසමුච්චය හා අධිනිෂ්පාදනය හා සම්බන්ධ වූවක්ද? සමහර විට  එය ප්‍රාග්ධනයේ ඓන්ද්‍රීය සංයුතියේ වැඩි වීම සහ ලාභ අනුපාතිකය බිඳ වැටීමේ දිගු කාලීන ප්‍රවණතාව තීරණාත්මක ලක්ෂයක් වෙත පැමිණීමේ  ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග්ධනයේ සැබෑ සහ අතත්‍ය යන වටිනාකම් දෙකෙහිම මහා පරිමාණ විනාශයක් ඉල්ලා සිටින වඩා ගැඹුරෙහි පවතින මූලයක් විය හැකිය. විශ්ලේෂණයන්ට අනුව පෙනී යන්නේ 2007-08 මහා බිඳ වැටීම, විශේෂයෙන්ම හදිසි ස්වභාවයෙන් ඇතිවූ , අධිසමුච්ඡයේ සහ අධිනිෂ්පාදනයේ සම්භාව්‍ය ආර්ථික අර්බුදයක් ලෙස ස්ථානගත කළ හැකි බවයි.”

මාක්ස්ගේ ප්‍රාග්ධනය සහ අද දවසේ ධනවාදය , රොබර්ට් ග්‍රිෆිත් , බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, දේශපාලන ආර්ථික විද්‍යාව සහ කම්කරු ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ධනේශ්වර ආර්ථිකයේ නවලිබරල්වාදී ආකෘතියෙහි බිඳ වැටීම සනිටුහන් වන්නේ 2008 ලෝක ආර්ථික අර්බුදයෙනි.

එසේ වුවද නවලිබරල්වාදයට පිවිසීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ  මේ මොහොතේ ඇති වී තිබෙන අර්බුදය පැහැදිලි කිරීම සඳහා ඉහත ආකෘතිය ප්‍රමාණවත්ද?

 අප විසින් ඉහතින් සඳහන් කරන ලද්දේ සමස්තයක් ලෙස ධනේශ්වර ආර්ථික අර්බුදයේ හේතූන්ය. ධනවාදය අධිරාජ්‍යවාදයට එළඹීමත් සමග සහ විශේෂයෙන්ම නවලිබරල්වාදයට එළඹීමත් සමග ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයන් දහසක් බැමි මගින් අධිරාජ්‍යවාදී රටවල ආර්ථිකයන් හා සම්බන්ධ වී පවතී. එසේ වූ විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයද තේරුම් ගත යුත්තේ සමස්ත නවලිබරල්වාදී ආර්ථිකයේම කොටසක් ලෙසය. මේ නිසා අප රටේ මතු වී ඇති ආර්ථික අර්බුදයේ හේතූන්ට නවලිබරල්වාදී ආර්ථික මොඩලය අර්බුදයට යාමට බලපෑ කරුණුද පරිධියේ රටක් ලෙස බලපාන්නා වූ විශේෂිත හේතු කවරේද යන්නද සොයා බැලිය යුතුය.

ආර්ථික අර්බුදයට න්‍යායාත්මක ප්‍රවේශයක්