අසත්‍යයට එරෙහිව සත්‍යය සටන් වදියි!

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

දැනුම සමාජය හා චින්තනය

05

     විද්‍යාවේ, තාක්‍ෂණයේ ඉහළම ඵල බුක්ති විඳින මෙම 21වන සියවසේදී පවා පොදු ජනතාවගේ චින්තනය තුළ තවමත් වැඩි වශයෙන් ආධිපත්‍යය දරන්නේ අසත්‍යයන් හා මිත්‍යාවන්ය. දැනුමේ ඉතිහාසය පුරා අසත්‍යයට එරෙහිව සත්‍යය කළ සටන මගින් කිසියම් දුරකට අසත්‍ය පරාජය වුවද එය වෙස් මාරුකර ගනිමින් විවිධ වේශයන්ගෙන් යළි යළිත් මිනිසාගේ චින්තනය තුළට කඩා වදිමින් තිබේ.

    වත්මන් සමාජයේ අසත්‍යය හා මිත්‍යාව පැතිරී යන්නේත් එය තවමත් සමාජ විඥානය තුළ ආධිපත්‍යය දරන්නේත් අහම්බයකින් හෝ පුද්ගලයින්ගේ මොළයේ දුර්වලකමින් නොව ආර්ථික, දේශපාලන හා සමාජයීය හේතු රැසක ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන් ප්‍රධානම කරුණ වන්නේ යල්පැන ගිය වත්මන් ධනවාදයට මිහිමත පැවතිය හැකි වන්නේ මිනිසුන් සත්‍යය වෙනුවට මිත්‍යාවන් විශ්වාස කරන තාක් පමණක් වීමත් ඒ නිසාම ධනවාදයේ සියලුම ආයතන, මෙවලම් හා පුද්ගලයෝ පංති අරමුණින්ම මිත්‍යාවන් වැපිරීම හා තහවුරු කිරීම නොකඩවා සිදුකරන නිසාත්ය.

අසත්‍යයන් වපුරවන්නෝ

      සමාජය තුළ අසත්‍යයන් වපුරන්නෝත් එම අසත්‍යයන් තුළ ජීවත් වන්නෝත් එසේ කිරීමට හේතු කිහිපයක්ම තිබේ. ධනවාදී පාලකයෝ හා ඊට සම්බන්ධ විවිධ දේශපාලන සංවිධාන හා පුද්ගලයෝ දේශපාලන හේතු මත නිතර අසත්‍ය පතුරුවති. ධනවාදයට මිනිස් සමාජය සංවර්ධනය කරා ගෙනයා හැකි බවත් ජනතාවට හොඳ අනාගතයක් ලබාදිය හැකි බවත් සමාජවාදය යල්පැන ඇති බවත් කොමියුනිස්ට්වාදය භයානක බවත් එවැනි දේශපාලන අසත්‍යයන්ය.

    එසේම ආගමික සංස්ථාවන්ගේ පැවැත්ම සඳහා ඊට සම්බන්ධ අය සත්‍ය වෙනුවට අසත්‍ය පතුරුවති. ඊළඟට ආර්ථික වුවමනාවන් මත ආර්ථික ලාභ වෙනුවෙන් ඊට අදාල අය බොරු කියති. මිත්‍යාවන් පතුරුවති. මේ දිනවල රූපවාහිනීවල වෙළඳ දැන්වීම් පිරී ඇත්තේ, එවැනි බොරු හා මිත්‍යාවලිනි. අනෙක් අතට ගතානුගතික වීම නිසා, සම්ප්‍රදායට ගොදුරුවීම නිසා තර්කයෙන් තොරව කරන විශ්වාසයන් පරපුරෙන් පරපුරට ගෙනයාමට විවිධ අය තුළ ඇති කැමැත්ත නිසාද නොදන්නාකම නිසාද මිනිස්සු සමාජය තුළ අසත්‍යය පතුරුවති. විවිධ ප්‍රතිවිරෝධයන් හා එකිනෙකාට එරෙහි අයද එලෙස බොරු කියති.

විශ්වාස කළ නොහැකි බොරු විශ්වාස කිරීම

      මානව සමාජයේ පංති පාලනය තුළ, පාලකයින් හා ඔවුන්ගේ අනුගාමිකයන් විසින් නිතිපතා වැපුරූ  අසත්‍යය මත, ඉතිහාසයක් ගතකළ ජනතාවක්  එම මිත්‍යාවන්ට යටවීම ගැන පුදුම එලවන උදාහරණ අපට සොයාගත හැක. 1917 රුසියානු විප්ලවයෙන් පසු ගම්බද කාන්තාවන් විප්ලවයට හතුරු කිරීම සඳහා පරාජයට පත් ප්‍රතිගාමීන් පල්ලිය මගින් ගම්වල එක්තරා ප්‍රචාරයක් කර තිබේ. ඒ, වැඩිහිටි කාන්තාවන් බිත්තර රැක්කවීම සඳහා මොස්කව්වලට ගෙනයන බවය. පුදුමය නම් මෙම බොරුව රුසියානු කාන්තාවන් විසින් වහාම විශ්වාස කිරීමය; ඒවා පැතිරී යාමද සිදුවීමය. මෙවැනිම අත්දැකීමකට කියුබානු විප්ලවවාදීහුද මුහුණ දුන්හ. ෆිදෙල් පවසන ආකාරයට 1959 කියුබානු විප්ලවය ජයග්‍රහණය කළ වහාම එක්සත් ජනපදය කියුබාවට එරෙහිව ‘ඔපරේෂන් පීටර් පෑන්’ නම් මෙහෙයුමක් දියත්කර තිබේ. එයට අනුව පල්ලිය මගින් ප්‍රචාරය කළ බොරුවක් නිසා දෙමාපියන් බියට පත්ව තිබේ. ඒ නව කියුබානු ආණ්ඩුව කුඩා දරුවන් දෙමාපියන්ගෙන් පැහැර ගන්නා බවත් ඒ දරුවන් රුසියාවට යවන බවත් එහිදී ඔවුන් මරා මස් ටින්වල අසුරා යළි කියුබාවට එවන බවත්ය.  මෙම බොරුව  මිනිසුන් කොතරම් විශ්වාස කළේදයත් කුඩා දරුවන් 14,000ක් එක්සත් ජනපදය වෙත හොරෙන් පිට කිරීමට කියුබානු දෙමාපියන් විසින් කටයුතු කර තිබේ. අසත්‍ය හා මිත්‍යාව සමාජයට කරන හානිය එතරම්ය. ලංකාවේ සමාජය තුළ මෙන්ම දේශපාලනය තුළද ධනපති පංතිය හා එහි දාසයන් පතුරුවන අසත්‍යයන් තේරුම් ගත යුත්තේද මේ අනුවය.

සත්‍යය මරා දැමිය නොහැක

       මානව දැනුම තුළ සත්‍යය හා අසත්‍යය අතර අරගලය ආරම්භ වූයේ, පංති සමාජයේ බිහිවීමත් සමඟය. පංති සමාජය පිළිබඳව විවරණයක යෙදුන මාක්ස් හා එංගල්ස් සිය කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රකාශනයේ පළමු වගන්තිය ලියුවේ, “මෙතෙක් පැවතුණ සමාජයන්ගේ ඉතිහාසය වූ කලී පංති සටන්වල ඉතිහාසයයි” යනුවෙනි. ඒ වනවිට තහවුරු කරගෙන තිබූ ලිඛිත ඉතිහාසයට සාපේක්‍ෂව එය සත්‍යයකි. එපමණක් නොව පංති සමාජයට සාපේක්‍ෂව මෙතෙක් පැවතුණු ඉතිහාසයන් වූ කලී සත්‍යය හා අසත්‍යය අතර සටනක ඉතිහාසයද වේ. පංති සමාජය ආරම්භයේදීම එදා තිබූ දැනුමේ සීමා නිසා බොහෝ මිත්‍යා විශ්වාස සමාජය තුළ තිබුණි. සිදුවිය යුතුව තිබුණේ විද්‍යාව වර්ධනය වී සත්‍යය මතුවන විට ඊට ඉඩදී  අසත්‍යය වේදිකාවෙන් බැස යාමය. එහෙත් පාලක පංතියත් එහි රැකවරණයට සිටි ආගමික සංස්ථාත් (විශේෂයෙන් බටහිර කතෝලික පල්ලිය) මිත්‍යාව මත පදනම්ව සිටි අතර සත්‍යය මතුවී මිත්‍යාවන් ප්‍රතික්‍ෂේප වීම පාලක පංතියේ හා ආගමික සංස්ථාවල පැවැත්මට අභියෝගයක් ලෙස ඔවුහු දුටහ. මේ නිසා පාලක පංතියේ ආශිර්වාදය හා අනුග්‍රහය ලැබූ ආගමික සංස්ථා සත්‍යය පුළුස්සා වළ දැමීමට ක්‍රියා කළහ. අසත්‍යය වෙනුවට ජනතාවට සත්‍යය කියාදීම සඳහා ජීවිතවලින් වන්දි ගෙවීමට බොහෝ දෙනාට සිදුවිය. එබැවින් සත්‍යයේ ගමන්මඟ පිරී ඇත්තේ බාධා, අවලාද, බොරු, බේගල්, බොරු චෝදනා හා මරා දැමීම්වල අත්දැකීම්වලිනි. එම සත්‍යය පවා තවමත් තේරුම් ගැනීමට සමාජය අසමත්වීම ඛේදවාචකයකි.

සොක්‍රටීස්ගේ සිට

       සත්‍යය වෙනුවෙන් දිවිපිදූ බොහෝ දෙනා ඉතිහාසය තුළ සිටිති. ඉන් බොහොමයක් කිසිවකුත් නොදැන  ඉතිහාසය තුළ සැඟව ගිය අය වෙති.  එහෙත් ඉන් සමහර අය ඉතිහාසයේ මැකිය නොහැකි සළකුණු  තබා ඇත. එබැවින් කිහිප දෙනෙක් පිළිබඳ විමසා බැලීම වටී. සත්‍යය වෙනුවෙන් දිවිපිදූ පළමුවැන්නා ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ සොක්‍රටීස්ය. ඔහු ජීවත්වූයේ ග්‍රිසියේ ඇතෑන්ස්වලය. ඒ, ක්‍රි.පූ. 470 කාලයේය. සොක්‍රටීස් නිදහස් මනසින් කටයුතු කළ අයෙකු වූ අතර දයලෙක්තික තර්ක ක්‍රමයක් මගින් ඔහු සියල්ල ප්‍රශ්න කළේය. විශේෂයෙන් එවකට පැවති පාලනය හා එහි ඉගැන්වීම් ප්‍රශ්න කළේය. මේ නිසා තරුණ පිරිස ‘නොමඟ යවන’ කෙනෙක් ලෙස ‘විප්ලවකාරී අදහස්’ ඇත්තෙක් ලෙස නම් කොට සොක්‍රටීස්ට එරෙහිව නඩු ඇසූ පාලකයෝ ඔහුට වස පානය කර මිය යන ලෙස බලකරන ලදී. පලා යාමට හැකියාව තිබුණද ඔහු සියතින්ම වස පානය කොට ‘සත්‍යය’ වෙනුවෙන් දිවි දුන්නේය.

     ග්‍රීසියේ බිඳ වැටීමත් සමඟ යුරෝපයේ බලවත්වූයේ රෝමයයි. රෝම අධිරාජ්‍යයේ වහල් පාලනයට එරෙහිව විවිධ අරගල පැන නැගුණ අතර රෝම වහල් පාලනයට එරෙහිව ආගමික ආකාරයෙන් ඉදිරියට ආ පුද්ගලයා වූයේ ජේසුස්ය. ජේසුස් පීඩිතයන්ගේ දහමක් නිර්මාණය කළේය. ඒ නිසාම රෝමය ජේසුස් කුරුසියේ ඇණ ගසා මරා දැම්මේය. එහෙත් එම රෝම අධිරාජ්‍යයම ජේසුස් මරා දමා වසර 400ක් ගත වීමට පෙර ජේසුස්ගේ ආගම වූ ක්‍රිස්තියානිය රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත්කොට එය රෝම අධිරාජ්‍යය රකින ආගම බවට, අධිපති පංතියේ ආගම බවට පත් කළේය. ඉන්පසු වැඩවසම් සමය හෙවත් මධ්‍යතන යුගය පුරාම විද්‍යාවට එරෙහි සටන ගෙනයනු ලැබුවේ පල්ලිය විසිනි. ඊට ගොදුරු වූ අය අතර ප්‍රමුඛයෙක් වූයේ කොපර්නිකස්ය.

       1474 උපන් නිකලස් කොපර්නිකස් විසින් විද්‍යාත්මක සොයාගැනීම් රැසක් සිදුකළ අතර ඉන් මූලික වූයේ එතෙක් පැවති පෘථිවි කේන්ද්‍රවාදයට අභියෝගයක් වූ සූර්ය කේන්ද්‍රවාදය හෙවත් ‘පෘථිවිය සූර්යා වටා කැරකෙන්නේය’ යන්න සොයා ගැනීමය. මෙය, ‘පෘථිවිය වටා සූර්යා ගමන් කරන්නේය’ යන මතය මත බිහිකර තිබූ බයිබලයේ ඉගැන්වීම්වලට පහරක් විය. ඉන්පසු පල්ලිය කොපර්නිකස්ට මිත්‍යා මත පතුරුවන්නෙක් ලෙස චෝදනා කොට දඩයම ඇරඹීය. එවකට තිබූ ඊනියා ධර්මාධිකරණට ඔහු ගෙන්වා බයිබලයට පටහැණි මෙම මතය අසත්‍යයක් ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස ඔහුට බල කළේය. නැත්නම් ඔහු පුළුස්සා මරා දමනු ඇත. එහිදී තම ජීවිතය බේරා ගැනීමට ඊට එකඟ වූ කොපර්නිකස් ධර්මාධිකරණ අධිකරණයේදී මෙලෙස ප්‍රකාශ කළේය. “සූර්යා වටා පෘථිවිය ගමන් කරන බව මම දැන් පිළිනොගන්නෙමි. එහෙත්, මම පිළිගත්තත් නැතත් පෘථිවිය ගමන් කරන්නේ සූර්යා වටා නම් එය ගමන් කරන්නේ සූර්යා වටා පමණි.” අද අප කවුරුත් පිළිගන්නා මෙම  සත්‍යය වෙනුවෙන් එය මුලින්ම ඉදිරිපත් කළවූවන්ට අත්වූ ඉරණම ඉහත සිදුවීමෙන් පෙනේ.

පුළුස්සා මැරීමට බැරිවූ සත්‍යය

        සත්‍ය පැවසීමේ වරදට දඬුවම් නොලබා බේරීමට උපක්‍රමිකව කොපර්නිකස් සමත්වුවද කොපර්නිකස්ගේ මතය පිළිගෙන එය තව දුරටත් වර්ධනය කළ බෲනෝට ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ නැත.

      ක්‍රි.ව. 1548 උපත ලද බෲනෝ විශ්වය පිළිබඳ, විද්‍යාව පිළිබඳ, නව මත රැසක් පළ කළ අතර පෘථිවිය සූර්යා වටා ගමන් කරන්නේ යයි පැවසූ කොපර්නිකස්ගේ මතය පිළිගන එය වඩාත් සංවර්ධනය කළේය. එහි ප්‍රතිඵලය ලෙස ධර්මාධිකරණය විසින් අත්අඩංගුවට ගනු ලැබුණු බෲනෝ පල්ලියේ ශුද්ධ වූ ලියවිලිවලට විරුද්ධ වීමේ චෝදනාවට මත නඩු විභාගකොට ක්‍රි.ව. 1600 ජනවාරි 17දා පුළුස්සා මරා දැමිණි. ඒ, ඔහු ලියූ පොත්පත් රැසක්ද සමඟය. සත්‍යය පැවසූ බෲනෝ පුළුස්සා මරා දැමුවද සත්‍යය මරා දැමිය නොහැකි වූ අතර පසු කලෙක දුරේක්‍ෂය හා විද්‍යාත්මක උපකරණ විසින් එම සත්‍යය වඩාත් තහවුරු විය. අවසානයේදී 20 වන සියවසේදී, බෲනෝගේ මරණය සම්බන්ධයෙන් ලෝකයාගෙන් සමාව අයැදීමට පල්ලියට සිදුවිය.

        සත්‍යය හා අසත්‍යය අතර ගැටුමේදී මීළඟට දඩයමට ලක් වූයේ ගැලීලියෝ ගැලීලිය. 1564 ඉතාලියේ උපන් ගැලීලියෝ ප්‍රකට විද්‍යාඥයෙක් විය. ඔහු විද්‍යාත්මක සොයාගැනීම් රැසක් කළ අතර දුරේක්‍ෂය සොයා ගැනීම ඉන් ප්‍රධාන විය. පෘථිවිය චලනය වන බවත් එය පැතලි ස්ථාවර වස්තුවක් නොවන බවත් ඔහුද පැවසූ අතර එය තහවුරු කිරීමට කරුණුද ඉදිරිපත් කළේය. පෘථිවිය සූර්යා වටා ගමන් කරන බව ඔහුද සනාථ කළේය. සුපුරුදු ලෙස පල්ලියේ මර්දනකාරී ධර්මාධිකරණය ගැලීලියෝ අත්අඩංගුවට ගත්තේය. මිත්‍යා දෘෂ්ටිකයෙකු හා ධර්ම විරෝධියෙකු ලෙස නම්කර නඩු විභාගයක් පවත්වා මරණ දඬුවම් නොලැබීමට නම් තම මතය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගැනීමට ඔහුට බල කෙරිණි.

        ඔහුගෙන් බලෙන් පාපෝච්චාරණයක් ගන්නා ලදී. ඒ අනුව පල්ලිය ලබාදුන් ලියවිල්ල අධිකරණය හමුවේ හැඟීම් විරහිතව කියවා අවසන් කළ ඔහු නැගී සිටිමින් හිමින් යමක් මිමිණුවේය. ඒ, “මොනව කිව්වත් එය චලනය වෙනවා” යනුවෙනි. ගැලීලියෝට පල්ලිය ජීවිතාන්තය දක්වා දඬුවම් නියම කොට පසුව නිවාස අඩස්සියේ තැබීය.

       ඉහත කරුණු කිහිපය යළි මතක්කර ගත යුතු වන්නේ, දැනුම තුළ සත්‍යය පෙරට ආවේ කෙතරම් දුෂ්කරතා මැදද යන්න තේරුම් ගැනීම සඳහාය. ඒ, දැනුම තුළ වන එම සත්‍යය අදත් මානව වර්ගයාට සේවය කරයි. එහෙත් ඒ බව වටහා නොගන්නා මිනිසා අසත්‍යය තුළම ජීවත් වීමට උත්සාහ දරයි. අසත්‍යයට එරෙහිව සත්‍යය කරන අරගලය තවම අවසන් නැත; වර්තමානයේද පවතී. එහෙත් සත්‍යය දිනනු ඇත.

Next : – මිත්‍යාව තවමත් පවතින්නේ ඇයි?

අසත්‍යයට එරෙහිව සත්‍යය සටන් වදියි!