“වානේ පන්නරය ලැබූ හැටි” කෘතියෙන්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ෂෙපෙතෝව්කා -1 විදුලි පණිවුඩ කාර්යාලයේ මෝස් සංඥා යන්ත්‍ර තුනෙන් පිටවන ඉමක් නැති සංඥා හඬ කියවා තේරුම් ගත හැක්කේ පළපුරුදු කනකට පමණි.

මෝස් සංඥා ක්‍රියාකරවන සේවිකාවෝ අලුත සේවයට බැඳුණු තරුණියෝය. ඔවුන් සේවයට බැඳුණු දා සිට මෙතෙක් මෝස් සංඥා අනුව ලියා ඇති ටේප්වල දිග දවසකට කිලෝමීටර් විස්සකට නොවැඩිය. ඔවුන්ගේ සගයා පළපුරුදු මහලූ සේවකයා ඒ වන විට කිලෝමීටර් දෙසියයක් දිගැති ටේප්වල සංඥා ලකුණු සටහන් කර ඉවරය. ඔහුගේ තරුණ සගයින් මෙන් ඔහු ටේප් පටිවල ඇති සංඥා කියවූයේ නැත. අමාරු වචනයක් කියවීමට බැරිව නළල රැලි ගසා ගත්තේ ද නැත. ඔහු වචනයෙන් වචනය මෝස් සංඥාවෙන් ප‍්‍රකෘති වචනවලට පෙරළා ක්‍රියා කරවීය. ඔහු දැන් තම යන්ත්‍රයට සවන් දෙමින් සිටී. “සියලූ දෙනාටම, සියලූ දෙනාටම, සියලූ දෙනාටම” යන වචන ඔහුගේ කන්හි වැකිණි.

එම වචන ලියා ගන්නා පළපුරුදු විදුලි පණිවුඩ සේවකයා හිම සුද්ද කිරීම ගැන තවත් චක‍්‍ර ලේඛනයක් වෙන්ට  ඕනැයි සිතීය. විදුලි පණිවුඩ කාර්යාලයේ කවුළුවට පිටතින් කුණාටුව විසින් හිම කැටි වීදුරුවට විසි කරනු ලැබේ. කිසිවෙක් කවුළුවට තට්ටු කරතියි සිතූ විදුලි පණිවුඩ සේවකයා හැරී බැලීය. කවුළුවේ ඇති හිම රටාව එතරම් අපූරු ලෙස ඇඳීමට එකද සිත්තරකුටවත් නොපුළුවන. සොබාදහම විසින් මවන ලද හිම මල් රටාවේ සුන්දර සිරි නැරඹූ ඔහු මොහොතකට සවන්දීම නැවැත්වීය. එහෙත් ඔහුට කියවීමට නොහැකි වූ වචන සොයනු වස් ඔහු ටේප් පටිය අතට ගත්තේය.

යන්ත්‍රයෙන් මෙසේ කියැවිණි:

“ජනවාරි විසි එක්වෙනිදා සවස හය පසුවී විනාඩි පනහට….”

ලැබුණු පණිවුඩය ඉක්මණට ලියාගත් සේවක තැන ටේප් පටිය අතහැර දමා නැවත සවන්දීමට පටන් ගත්තේය.

“ඊයේ ගෝර්කිවලදී අභාවයට පත්විය…”

විදුලි පණිවුඩ සේවකයා සෙමින් ලීවේය. ඔහු තම ජීවිතයේ ප‍්‍රීතිමත් හා දුක්බර නිවේදන කොපමණ ලියා තිබේද, අනුන්ගේ ප‍්‍රීතිය හා දුක පළමුවෙන්ම දැනගන්නේ ඔහුය. අල්ප වචනවල හා වාක්‍ය ඛණ්ඩවල තේරුම ගැන කල්පනා කිරීම බොහෝ කලෙක සිට අත්හැර දැමූ සංඥා සේවකයා, එම වචනවලට සවන් දී යාන්ත‍්‍රික ලෙස කඩදාසියේ ලියුවේ හරය ගැන නොතකමිනි.

දැන් යමෙකුගේ අභාවය ගැන කිසිවකු විසින් කිසිවකුට දන්වනු ලැබේ. “සියලූ දෙනාටම, සියලූ දෙනාටම, සියලූ දෙනාටම” නැමති සිරස්තලය ගැන ඔහුට අමතක විය. සංඥා යන්ත්‍රයෙන් දිගටම කියැවිණි. ව්-ල-දි-මී-ර් ඉ-ල්-යි-ව් මහලූ සංඥා සේවකයා හඬ අනුව අකුරු ලියුවේය. තරමක් වඩාපත් වූ ඔහු සන්සුන්ව වාඩි වී සිටියේය. කොහේදෝ ව්ලදිමීර් ඉල්යීව් නැමැත්තෙක් මියගොසිනි. ඔහු අද එම සංවේගාත්මක පුවත කාටදෝ යැවීම සඳහා ලියයි. ඒ පුවත අසන කිසිවෙකු අඬා වැලපී සුසුම් ලනු ඇත. එහෙත් සංඥා සේවකයාට මේ සියල්ල පිටස්තර දේය. ඔහු පිටත සිටින සාක්ෂ්‍යකරුවෙක් පමණකි. සංඥා යන්ත්‍රය මෝස් ක‍්‍රමයට තිත, ඉරි, තිත, ඉර බැගින් හඬ නගයි. ඔහු හඬ අසා පළමුවෙනි අකුර කඩදාසිය මත ලියුවේය. “ලෙ” ඊළඟට “නි” තෙවනුව “න්” ඔහු අල් කිරීම දෙවරක්ම හරිදැයි සොයා බැලීය.

ඔහු විසින් මේ දැන් ලියා නිම කරන ලද වචනය දෙස නිමේෂයක් නැවතී බලා සිටියේය:

“ලෙනින්”.

සංඥා යන්ත්‍රය දිගටම හඬ නැගීය. එහෙත් අහම්බෙන් මෙන් ඔහුගේ සවිඥානය දැක පුරුදු, අසා පුරුදු නම වෙත යළි ඇදිනි. විදුලි පණිවුඩ සංඥා සේවකයා නැවත වරක් අවසාන වචනය දෙස බැලීය. “ලෙනින්” මොනවද? ලෙනින්? විදුලි පණිවුඩය සම්පූර්ණයෙන් ඔහුගේ මනස ඉදිරියේ මැවී පෙනිණි. නිමේෂයක් ඔහු කඩදාසිය දෙස බලාගෙන සිටියේය. දෙතිස් වසරක් වැඩකළ ඔහු පළවෙනි වරට ඔහු තම අතින් ලියූ දෙය විශ්වාස කිරීමට මැළි විය.

ඔහු විදුලි පණිවුඩය තෙවරක්ම කියවීය. එහෙත් වචන මුරණ්ඩු ලෙස යළිත් කියැවිණි:

“ව්ලැදිමීර් ඉල්යීච් ලෙනින්  අභාවයට පත්විය” මහළු සංඥා සේවකයා නැගිට සිට ටේප් පටි රෝල අතට ගෙන දෙනෙත් මහත් කරගෙන එදෙස බැලීය. ඔහුට කොහෙත්ම විශ්වාස නොකළ හැකි දෙය මීටර දෙකක් පමණ දිගැති ටේප් පටිය සනාථ කළේය: මළ මිනියක් සේ සුදුමැළි තම මුහුණ හරහා සංඥා සේවකයා සිය සගයින් දෙස බැලීය. ඔහු බිය වී කෑගසන සැටි ඔවුන්ට ඇසිණි.

“ලෙනින් මළා!”

හිම කුණාටුවක් වේගයෙන් හමා ගොස් එහි සුළි සුළංවලින් දුම්රිය මාර්ගයද ස්විච් යතුරුද වසා දමමින්, හිම සහ අයිස් කැට සහිත කුණාටුව දුම්රිය වැඩ ශාලාවල යකඩ දොරවල් ඉරා දමමින් කිනම් වේගයකින්ද, එතරම් වේගයකින් ලෙනින්ගේ මරණය පිළිබඳ සංවේගදායක පුවත විදුලි පණිවුඩ සංඥා කාර්යාලය සිට දසත පැතිර ගියේය.

අලූත්වැඩියා කරන පළමුවැනි වේදිකාවේ කම්කරුවෝ දුම්රිය යන්ත්‍රයක් ලහි ලහියේ අලූත්වැඩියා කරමින් සිටියහ. මහළු පෙලින්තොව්ස්කි වේදිකාවට යටින් වූ වළට රිංගා දුම්රිය යන්ත්‍රයේ අඩුපාඩු මිකැනික්වරුන්ට පෙන්වා දුන්නේය. සහාර් බ්රුෂ්ෂාක් සහ අර්ට්යොම් නැමුණු හරස් පටියක් දිගහරිමින් සිටියහ. සහාර් යකඩ දැලක් කිණිහිරය මතතැබූ අතර අර්ට්යෝම් මිටියකින් තැලීය.

සහාර් බ්රුෂ්ෂාක් පසුගිය අවුරුදුවලදී බොහෝ සෙයින් මහලූ විය. ඔහුගේ නළලේ සම රැලිවැටී, හිස දෙපස රිදීවන් පැසුණු කෙසින් පිරිණි. ඔහුගේ පිට කුදු වී ඇත. ගිළුණු ඇස්වල ඇඳිරි බවක් පෙනිණි.

අලූත්වැඩියා කරන වැඩ ශාලාවේ දොර හැර මිනිසෙක් ඇතුල්විය. ඔහුගේ සෙවණැල්ල අනිකුත් කළු පැහැති සෙවණැලි විසින් ගිල ගනු ලැබීය. මුල් වාරයේදී කෑ ගැසූ නමුදු මිටි පහර නිකුත් කළ හඬට එය යටවිය. එහෙත් ඇතුල් වූ මිනිසා දුම්රිය යන්ත්‍රය අසල සිටි මිනිසුන් ළඟට දුව එත්ම , මිටිය එසවූ අර්ට්යොම් එය පහත් නොකළේය.

“සහෝදරවරුනි, ලෙනින් මළා!”

අර්ට්යොම්ගේ අත වූ මිටිය උරහිසේ සිට ඉතා සෙමින් පහතට වැටී, ශබ්ද රහිතව සිමෙන්ති පොළව මත තැබිණි.

“නුඹ කීවේ මොකක්ද?, බියජනක පුවත ගෙනා මිනිහාගේ බැටළු සම් කබාය තදින් අල්ලාගත් අර්ට්යොම් එය සොලවමින් ඇසීය.

මිනිසා හතිලමින් පහත්, බිඳුණු ස්වරයකින් කතා කළේය. ඔහුගේ ඇඳුම් හිමවලින් නැහැවී තිබිණි.

“ඔව්, සහෝදරවරුනි, ලෙනින් මළා!”

මිනිසා කෑ නොගැසූ නිසා අර්ට්යොම් ඒ බියජනක පුවත විශ්වාස කළේය. ඔහු පුවත ගෙනා මිනිහාගේ මුහුණ දෙස බැලීය. ඔහු අන් කිසිවෙකු නොව, වැඩ ශාලාවේ පක්ෂ කමිටුවේ ලේකම්වරයාය.

අලූත්වැඩියා කරන වේදිකාවේ සිට මිනිසුන් එළියට ආවේ මුළු ලෝකයම දත් ඒ පුද්ගලයාගේ මරණය පිළිබඳ පුවත නිහඬව අසමිනි.

කම්හලේ වැට අසල හැම දෙනෙකුම කම්පනය කරමින් දුම්රියක් හඬ නැගීය. එම හඬට දුම්රිය පොළේ ඈත කෙළවර තවත් දුම්රියක් එක්විය. අනතුරුව තවත් දුම්රිය යන්ත්‍රයක්ද හඬ නැගීය… දුම්රිය යන්ත්‍ර නගන සෝකාන්විත හඬට විදුලි බල ස්ථානයේ සයිරන් නළාවද එක්විය. වෙඩි උණ්ඩයක් පුපුරා යාමේදී ඇතිවන උස් සිහින් හඬට සමාන හඬක් ඉන් පිටවිය. කියෙව් බලා පිටත්වීමට සිටි මගීන් රැසක් රැගත් ලස්සන එස් (සීඝ්‍රගාමී) දුම්රිය ගැඹුරු ගම්භීර නාදයක් පතුරවා හැරියේය.

සියලූ දුම්රිය යන්ත්‍ර හඬ නගන හේතුව දැනගත් පෝලන්තයට අයත් ෂෙපෙතෝව්කා – වෝසෝ සීඝ්‍රගාමී දුම්රිය පදවන්නා, මොහොතක් නළා හඬට සවන්දී, අනතුරුව තම අත සෙමින් ඔසවා නළාවේ ලනුව අදිත්ම, ඔහුගේ ක්‍රියාව දුටු ගෙ.පෙ.උ. නියෝජිතයා විමතියට පත්විය. ඔහු මෙසේ කරන්නේ, අවසාන වරට බවද දැන සිටියේය. ඔහුට මින්පසු එම දුම්රිය පැදවීමට අවසර නොදෙනු ඇත. එසේ වුවද ඔහුගේ අත නළාවේ ලනුව නොහැරියේය. ඇන්ජිමේ නළා ශබ්දය නිසා පෝලන්ත තානාපති සේවයේ පණිවුඩකරුවෝ සහ නිලධාරීහු තැතිගෙන තම සුව පහසු ආසනවලින් නැඟී සිටියහ.

ඩිපෝව ජනයාගෙන් පිරිණි. දොරටු හතරින්ම රැස්වීම් හලට පැමිණි ජනකාය අති විශාලය. ලෙනින්ගේ මරණය නිමිත්තෙන් ශෝකය ප‍්‍රකාශ කරන එම රැස්වීම විනාඩියක් නිහඬව සිට වැඩ ඇරඹීය.

ෂෙපෙතෝව්කා පෙදෙසේ පක්ෂ කමිටුවේ ලේකම්වරු, පැරණි බොල්ෂෙවික්වාදියෙකු වූ ෂරාබ්රින් රැස්වූවන් අමතා කතා කළේය:

සහෝදරවරුනි, ලෝක නිර්ධන පංති ව්‍යාපාරයේ නායකයා මිය ගියේය. පිරිමැසිය නොහැකි අති විශාල හානියකට පක්ෂය මුහුණ පා ඇත. බොල්ෂෙවික් පක්ෂයේ සතුරන්ට සමාව නොදෙන සේ උගන්වා පක්ෂය නිර්මාණය කළ නායකයාණෝ අවසන් හුස්ම හෙළූහ. පක්ෂයේ හා පංතියේ නායකයාගේ මරණය විසින් නිර්ධන පංතියේ ඉතා හොඳ දූ පුතුනට පක්ෂයට බැඳෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ…!

අවමඟුල් සංගීතය වාදනය වෙත්ම, මිනිස්සු හිස්වැසුම් ගැලවූහ. පසුගිය අවුරුදු පහළොවක් තිස්සේ (වරක් හෝ) නොහැඬූ අර්ටියොම්ට තම උගුර හිරවන සැටියක් දැනිණි. ඔහුගේ සවිබල උරතල සෙලවිණි…

Image result for lenin funeral anniversary

(346-348 පිටු)

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ නායක වී.අයි. ලෙනින් ලෝකයෙන් සමු ‌ගෙන අදට වසර 96කිි. ‌‌

“වානේ පන්නරය ලැබූ හැටි” කෘතියෙන්