SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

දැනුම සමාජය හා චින්තනය

 

01

දැනුම පිළිබඳව දන්නා දේ හා නොදන්නා දේ

           පෘථිවිය මත බිහි වු විවිධ සත්වයන් අතරින් තමන් ජීවත් වන වටපිටාව, තමන් ජීවත්වන ලෝකය තේරුම් ගැනීමට උත්සාහ කළ හා ඒ සඳහා ක්‍රියාත්මක වූ එකම සත්වයා මිනිසාය. සාමාන්‍ය සතුන්ගෙන් මිනිසා වෙනස් වන ප්‍රධාන ලක්‍ෂණ අතර එකක් වන්නේ ඔහුට තාර්කික බුද්ධියක්, සිතීමේ හැකියාව හෙවත් චින්තනයක් තිබීමය. ඒ නිසාම මිනිසා විඤ්ඤාණය සහිත එකම සත්වයාය. මිනිසාගේ චින්තන ක්‍රියාවලිය සමග අධ්‍යයනයත් අධ්‍යාපනයත් බැඳී පවතිී. මිනිසා නිතරම දැනුමේ පිපාසයෙන් පෙළෙන, දැනුම සොයා යන කෙනෙක් වී තිබේ. එහෙත් මේ ‘දැනුම’ පිළිබඳව, මිනිස් මොළය තුළ දැනුම ගොඩ නැගෙන ආකාරය පිළිබඳව, දැනුම සොයා යන ක්‍රියාවලිය පිළිබඳව, දැනුමේ දයලෙක්තික ක්‍රියාකාරිත්වය පිළිබඳව, මානව චින්තනය පිළිබඳව අප දන්නා දේ මෙන්ම නොදන්නා දේද තිබේ. මේ පිළිබඳව සත්‍යයන් මෙන්ම මිත්‍යාවන්ද තිබේ. එබැවින් මේ පිළිබඳව අවධානය යොමු කිරීමක්, සංවාදයක්, අධ්‍යාපනයක් අවශ්‍ය යයි අපි සිතමු. මිනිසා වර්තමානයේ ජීවත් වන අර්බුදකාරී සමාජය වෙනුවට වඩා හොඳ සමාජයක් ඔහු නිර්මාණය කර ගත යුතුය. ඒ සඳහාද ඔහුට දැනුම තිබිය යුතුය. එසේම ‘දැනුම’ පිළිබඳව දැනුමද මිනිසාට තිබිය යුතුය. දැනුම සමාජය හා චින්තනය පිළිබඳව සංවාදයක් අවශ්‍ය වන්නේ ඒ සඳහාය.

දැනුම කුමක් සඳහාද?

          මිනිසාගේ දැනුම ආරම්භයේදී සිටම නිෂ්පාදනය හා බැඳී තිබේ. සොබා දහමෙන් සෘජු ලෙසම යැපෙනවා වෙනුවට, සොබා දහමට යටත්ව එහි වහලෙකු ලෙස දිවි ගෙවනවා වෙනුවට, සත්ව වර්ගයා අතරින් මිනිසා සොබාදහමට අභියෝග කළ පළමු සත්වයා විය. ඔහු සිය යැපීමේ මාර්ගයන් නිපදවා ගැනීම ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් සොබාදහම වෙනස් කිරීමද ඇරඹීය. සොබාදහම තම ජීවන අවශ්‍යතා වෙනුවෙන් සංවර්ධනාත්මකව යොදා ගැනීමේදී, එය සිදු කිරීම සඳහා සොබාදහම වටහා ගැනීම, තේරුම් ගැනීම, එහි මතුපිටින් නොව හරයෙන් තේරුම් ගැනීම අවශ්‍ය විය. ඒ අනුව දැනුමේ අවශ්‍යතාවය මතුවූයේ, නිෂ්පාදනයේ අවශ්‍යතාවයන් සමගය. මානව ඉතිහාසයේ ආදි කාලීනම දැනුම යනු දඩයම සඳහා, පලාවැල නෙලීම සඳහා, නැතිනම් නිපදවීම සඳහා  වූ දැනුම බව පැහැදිලිය. එහෙත් කල් යත්ම, නිෂ්පාදනය දියුණුවත්ම, නිෂ්පාදනය විසින් අතිරික්ත ධනය උපදවත්ම අතිරික්ත ධනය පරිභෝජනය කරමින් නිෂ්පාදනයට සම්බන්ධ නොවී සිටීමේ හැකියාව මතුවත්ම මිනිසා දාර්ශනික චින්තනයේ පාර්ශවයටද, නැඹුරු විය. ලෝකයේ පැවැත්ම පිළිබඳව, ඒවායේ හේතු පිළිබඳව කල්පනා කරන්නට විය. එවිට දාර්ශනික චින්තනයක් බිහිවිය. මිනිසා තමා ලබාගත් දැනුම, අත්දැකීමෙන් හා තර්කනයෙන් ලබාගත් දැනුම අන් අයටද, ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග. අධ්‍යාපනයද බිහිවිය. ගෙඩි වර්ග අතරින් ආහාරයට සුදුසු හා නුසුදුසු ගෙඩි වර්ග හඳුනා ගැනීමේ දැනුමේ සිට, සත්තු අතරින් කෑමට සුදුසු සතා හඳුනා ගැනීමේ දැනුමේ සිට, විශ්වය, ග්‍රහතාරකා, අංශු, පරමාණු අවබෝධ කර ගැනීමේ දැනුම දක්වා ‘දැනුම’ වර්ධනය විය.

දන්නා සියල්ල සත්‍යද?

         මිනිසා සොබා දහම තේරුම් ගැනීමට ගත් උත්සාහය මගින් අත්කර ගත් දැනුම හැම විටම සත්‍ය වීද? නැත. එය එසේ නොවීය. මිනිසාගේ දැනුම තුළ සත්‍ය මෙන්ම අසත්‍යයක්ද විය. ඒ සොබාදහම පවතින්නේ පෙනුම තුළ පමණක් නොවන නිසාය. එයට හරයක්ද තිබෙන නිසාය. සොබාදහමේ දේවල්වල හරය කරා යාමට තරම් තර්කණයද, උපකරණද, මූලික දැනුමද නොවූ විට, මිනිසාගේ පංචේන්ද්‍රියන් මගින් පමණක් කරන වටහා ගැනීම හෙවත් සංජානනය ප්‍රමාණවත් නොවූ විට දැනුම තුළ අසත්‍යයන් ප්‍රකාශයට පත්විය.

පෘථිවියේ පැවැත්ම පිළිබඳව එක්තරා කාලයක පිළිගත් මතය වී තිබුණේ, පෘථිවිය පැතලි වස්තුවත් බවත් ඒ වටා හිරු ගමන් කරන බවත්ය. එය පෘථිවි කේන්ද්‍රවාදය ලෙස හැඳින්විය. පෘථිවිය පිළිබඳ මිනිසාගේ දැනුම තුළ පෘතුවි කේන්ද්‍රවාදය පවතින අවධියේ එම දැනුම සත්‍ය නොවීය. පසුව තහවුරු කළ පරිදි පෘථිවිය ගෝලාකාර වස්තුවක් බවත් සූර්යා වටා පෘථිවිය ගමන් කරන බවත් සත්‍යය විය. මේ නිසා මිනිසාගේ දැනුම හැම විටම සත්‍ය නොවන බව අපට පෙනේ. එසේ නම් අප අසත්‍යයෙන් සත්‍ය වෙන්කර හඳුනා ගන්නේ කෙසේද? සත්‍යය යනු කුමක්ද? එය වෙත ළඟාවෙන්නේ කෙසේද? යන පැනයද අප ඉදිරියේ නිතැතින්ම මතු වේ. එයද පැහැදිලි කර ගත යුතුය.

දැනුම හා වත්මන් අධ්‍යාපනයේ අරමුණ

         මිනිසා තනි තනිවත් සාමූහිකවත් ජීවන අත්දැකීම් මත දැනුම ලබා ගන්නා අතර, ඊට අමතරව අධ්‍යාපනයක් මගින්ද දැනුම ලබා ගනී. මිනිසා සමාජයක් ලෙසත් පෞද්ගලිකවත් ලබාගත් දැනුම අන් අය වෙත, ඊළඟ පරපුර වෙත, සම්ප්‍රේෂණය කළ යුතුය. එය මිනිසාට පහසු වූයේ මිනිසා භාෂාවක් කතා කළ හා පසුව ලේඛනයේ හැකියාවද, සහිත සත්වයෙක් වූ නිසාය. මුලදී ජීවත් වීම සඳහා හෙවත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැනුම අන් අයට ලබා දුන් අතර, එය අධ්‍යාපනය විය. මේ වන විට අධ්‍යාපනය යනු මානව සමාජයේ පැවැත්මේ විශාල කාර්යයකි. එය නැතිවම බැරි දෙයකි. අධ්‍යාපනය මගින් කෙරෙන්නේ අතීත සමාජමය දැනුම ඊළඟ පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීමය. එහෙත් ඒ අධ්‍යාපනයද මේ වන විට අර්බුද ගණනාවකට ලක්ව තිබේ. එක් අතකින් සැමට අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථා අහිමි වී ඇති අතර, අධ්‍යාපනය තුළ ඇති ඇති නැති පරතරය වැඩි වී තිබේ. එසේම අධ්‍යාපනයද වෙළඳ භාණ්ඩයක් බවට පත්කර ඊට මිල නියමකර තිබේ. අතීතයේ සමස්ත සමාජයක ජීවත් වූ මිනිසුන්ගේ සාමූහික ඵලයක් වන අධ්‍යාපනය මිල කරන්නේ කෙසේද යන්න ගැටලුවක් වුවත් එය සිදු වේ.

අනෙක් අතට අධ්‍යාපනයේදී ඉගැන්වීමේ හා උගෙන ගැනීමේ අරමුණුද, වෙනස් වී තිබේ. මුදල් වෙනුවෙන් ඉගැන්වීම හා මුදල් දී උගෙනීම යන්න පසෙක තැබුවද, අධ්‍යාපනයේ අරමුණද, ලෝකය තේරුම් ගැනීම නොව විභාග සමත්වීම දක්වා විපරීත වී තිබේ. මේ අනුව දරුවන්ගේ විභාග සමත් කරන ගුරුවරු ප්‍රචාරක දැන්වීම්වල පෙනීසිටින අතර, විභාග සමත් වීම සඳහා විචාරයකින් තොරව දිවා රාත්‍රී කට පාඩම් කරන දරුවන්ද හැම නිවසකම බිහි වී තිබේ. එවිට අධ්‍යාපනයේ හා දැනුමේ සැබෑ අර්ථ විකෘති වේ. විභාග සමත්වීම සඳහා ඉගෙනීමට අමතරව දෙවියන් යැදීමට බෝධි පූජා පැවැත්වීමට, බාරහාර  වීමට පෙළඹීම තුළින්ම අධ්‍යාපනයේ ඉගෙනීම හා විභාගවල අර්ථය විකෘති වී තිබේ. ඒ දරුවන් දැනුම සොයන අය වෙනුවට ලකුණු සොයා යන  අය බවට පත්කර ඇති නිසාය.

දැනුම ලැබිය හැකිද?

         ඉහත සියලු කරුණු විසින් දැනුම නැමැති ක්‍ෂේත්‍රයේ ගැටලු ගණනාවක් ඇති බව පැහැදිලි වේ. එසේ නම් අප දැනුම නැමැති ක්‍ෂේත්‍රය අධ්‍යයනය කළ යුතුය. අතීතයේ ග්‍රීසිය වැනි රටවල සිටි සමහර විතණ්ඩවාදී දාර්ශනිකයන් මිනිසුන්ට දැනුම ලැබිය නොහැකි බවද, පවසා තිබේ. ඔවුන්ට අනුව ඔබට දැනුම ලැබිය නොහැක. එය අනවශ්‍යය. ඔබ ලෝකය ගැන දන්නේ මොනවාද? ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔබ ලෝකය ගැන යමක් දන්නේ නම් ඉගෙනීම අවශ්‍ය නැත. මන්ද ඔබ දැනටමත් ලෝකය දන්නා  නිසාය. ඔබ ලෝකය ගැන කිසිවක් නොදන්නේ නම් නොදන්නා දෙයක් ඔබට උගෙනීමට නොහැක. මන්ද, ඉගෙන ගත යුතු දේ ඔබ නොදන්නා බැවිනි. ඒ අනුව ඉගෙනීම අනවශ්‍යය. මෙවැනි විතණ්ඩවාදී තර්ක දැන් නැතත් ඊට කිට්ටු මත තවම පවතී. සමාජය දැනුම ලැබීමේ ක්‍රියාවලියක සිටී. එහෙත් ඒ අතරම දැනුම ලැබීමේ ක්‍රියාවලිය පිළිබඳ අනවබෝධයකද සිටී. එබැවින් දැනුම වඩා හොඳින් ඇතිකර ගැනීම සඳහා ‘දැනුම’ පිළිබඳ දැනුමද ඇති කර ගත යුතුය.

 Next : – දැනුම යනු කුමක්ද?