සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 10, 2020
සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 10, 2020
Show all

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

05 – පරිච්ඡේදය

සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳවැටීමට හේතු

1991 සෝවියට් දේශය බිඳවැටීමත් සමග නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල් ඇතුළු සමාජවාදී කඳවුරේ රටවල්
රැසක් බිඳ වැටුණි. මෙම බිඳ වැටීම ආරම්භ වුයේ, 1990 වසරේදී පෝලන්තයෙනි. සමාජවාදී කඳවුරේ බිඳවැටීම ලෝක වමේ ව්‍යාපාරයට විශාල බලපෑමක් හා පසුබෑමක් සිදුකළ අතර එය අධිරාජ්‍යවාදය
ලබාගන්නා ලද තාවකාලික වූ ජයග්‍රහණයක් විය. මේ වන විට සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ බිඳවැටීමෙන් දශක දෙකකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. සෝවියට් දේශයේ වැටීම පිළිබඳ විවිධ පාර්ශ්වයන් විවිධ හේතු හා විවිධ වූ විග්‍රහයන් ඉදිරිපත් කරමින් සිටී. මෙකී බොහෝ විග්‍රහයන් එකිනෙකාගේ පංති දෘෂ්ටීන්ගෙන් බලා සිදුකරන ඒවා වන අතර සමහර විග්‍රහයන් සිදුවීම් දෙස මතු පිටින් බලා කරන විග්‍රහයන්ද වේ. ලෝක ධනවාදය බරපතළ පසුබෑමකට ලක්ව සමාජවාදයට මාවත විවෘත කරමින් තිබෙන මේ මොහොතේ සමාජවාදී කඳවුරේ බිඳ වැටීමට බලපෑ සැබෑ හේතු හඳුනා ගැනීම ඉතා වැදගත්ය.
නොදියුණු සාර්වාදී වැඩවසම් රුසියාව දැවැන්ත හා ශක්තිමත් සමාජවාදී රාජ්‍යයක් බවට ගොඩනගා විද්‍යාවේ තාක්‍ෂණයේ මහා පෙරළි ඇතිකළ, 2වැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ නාසිවාදය පරදා ලොවට විමුක්තිය උදාකළ, කාටත් පළමුව අභ්‍යවකාශය තරණය කළ, ලොව පුරා සමාජවාදී රාජ්‍යයන්ට මෙන්ම සෝවියට් කඳවුරට පක්‍ෂපාතී පසුගාමී ධනපති රටවල් රැසකට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී ආර්ථික වශයෙන් විශාල උදව් කළ, අධිරාජ්‍යවාදයට අභියෝග කරමින් මහා බලගතු රාජ්‍යයක් ලෙස පැවතුණ, තම රට තුළ නව සමාජයක්, නව මිනිසෙක් නිර්මාණය කරමින් සිටි සමාජවාදී සෝවියට් දේශය එක් රැයකින් කඩා වැටුණේ ඇයි? මෙය පුදුම එළවන සුළු සිදුවීමකි. මෙතරම් සවිමත් රාජ්‍යයක් මෙලෙස කඩා වැටීමට බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි කරුණක්ව ඇත. විවිධ අය විවිධ හේතු ඉදිරිපත් කරන්නේද මේ නිසාය. කෙසේ වෙතත් හේතුවක් නැති ඵලයක් මෙලොව පැවතිය නොහැක. සෝවියට් දේශය වැටීමට බලපෑ හේතු සාධක රැසක් තිබේ. ඒවා කුඩා කුඩා සරල සිදුවීම්වල සිට මහා සංකීර්ණ සිදුවීම්, කුමන්ත්‍රණ, පාවාදීම්, වැරදි වැටහීම්, වැරදි පියවරයන්, න්‍යායික පීලි පැනීම් දක්වා විශාල පරාසයක විහිදී පවතී. සෝවියට් දේශයේ බිඳවැටීම දින කිහිපයක් තුළ සිදුවූ සිදුවීමක් ලෙස පෙනුණද එම තත්වය දශක කිහිපයක් තිස්සේ ඇතිවූ ප්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක පරිවර්තනයකට ලක්වීමක් විය. මේ නිසාම සෝවියට් දේශය බිඳවැටීමේ සැබෑ දේශපාලන හේතු අධ්‍යයනය කළ යුතුය. එහිදී අප මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයක සිට සියල්ල විග්‍රහ කරගතහොත් මෙය අවබෝධ කරගැනීම එතරම් අපහසු නැත.


“විප්ලවයක් ශීඝ්‍ර ජයග්‍රහණවල සිට බරපතළ පරාජිතවීම් දක්වා හදිසි ලෙස හැරෙන කාලයකදී, විප්ලවයේ සංවර්ධනයට අනිවාරණීය වශයෙන්ම බරපතළ හානි සිදුකරන ව්‍යාජ විප්ලවවාදී වදන් නිර්මාණය වීමේ කාලසීමාවක්, නිතරම හා සෑම විප්ලවයකදීම ඇතිවන බව ඉතිහාසයේ අත්දැකීම් අපට උගන්වයි. ඒ නිසා සහෝදරවරුනි; අපට අපගේ උපක්‍රම ගැන නිවැරදි ලෙස අගය කළ හැකි වන්නේ අප ශිඝ්‍ර පහසු හා පූර්ණ ජයග්‍රහණවල සිට බරපතළ පරාජිතවීම් දක්වා ආපස්සට විසි කළ සිදුවීම් ඇතිවූ ආකාරය ගැන සලකා බැලීම ආරම්භ කළ විට පමණි.”
(ලෙනින් – තෝරාගත් කෘති, 8 වෙළුම, 18 පිටුව)

නැගෙනහිර යුරෝපීය රටවල් ඇතුළු බොහෝ සමාජවාදී රටවල බිඳවැටීම සිදුවූයේ සෝවියට් දේශය බිඳවැටීමත් සමග සම්බන්ධවී නිසා පළමුව සෝවියට් දේශය බිඳවැටීමට හේතුවූ ප්‍රධාන කරුණු වටහා ගැනීම අත්‍යවශ්‍යය. එය අපට සමස්තය වටහා ගැනීමට උපකාරයක් වන්නේය. සෝවියට් දේශය බිඳ වැටීමට හේතු ප්‍රධාන කොටස් දෙකක් ලෙස තේරුම් ගත හැකිය. එනම් සමාජවාදී සෝවියට් දේශයෙහි අභ්‍යන්තර හේතු හා එයින් පිටත වන බාහිර හේතු වශයෙනි. මේ පිළිබඳව ලොකු කුඩා හේතු රාශියක් ඇතත් එහිදී ප්‍රධානතම හේතු කිහිපය ගෙන අධ්‍යයනය කිරීම අපගේ කාරණයට ප්‍රමාණවත් වේ. සෝවියට් දේශය බිඳවැටීමට හේතු වූ කාරණා සියල්ලෙහි හරය වන්නේ, ලෙනින්වාදයෙන් පිට පැනීම ජනතාවගේ දායක්තවය දුර්වලවීම, නිලධාරීවාදී පිරිහීම, රට තුළ සමාජවාදය බිඳ වැටීමක් ගැන කල්පනා නොකිරීම, අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ හා මැදිහත්වීම්ය. එය තවදුරටත් විස්තරාත්මකව විමසා බලමු.

ලෙනින්වාදයෙන් පිට පැනීම

ධනේශ්වර සංවර්ධනය පවා හරි හැටි සිදු නොවූ පසුගාමී රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේදී මුහුණ දුන් ගැටලු රැසක් තිබූ බවත්, එම ගැටලුවලට ලෙනින් විසින් විසඳුම් හා උපායමාර්ග සකස් කළ බව ආරම්භයේදීමත් අප සදහන් කළෙමු. එහිදී ආර්ථිකයේදී 1919 වකවානුවේ නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සුළු පරිමාණ පෞද්ගලික නිෂ්පාදනයට හා වෙළඳාමට ඉඩ දෙමින් ලෙනින් නව ආර්ථික ප්‍රතිපත්තිය (භෑඡ) ඉදිරිපත් කළේය. එය තාවකාලික පියවරක් විය. එසේම 1918දීම ජර්මනිය විසින් ළදරු සමාජවාදී රුසියාව ආක්‍රමණය කිරීමට දැරූ ප්‍රයත්නය වළකා ගැනීම සඳහා ජර්මනිය සමඟ උපක්‍රමික අර්ථයෙන් බ්‍රෙෂ්ට් සාම ගිවිසුම අත්සන් කරන ලදී. ඉහත ක්‍රියාමාර්ග දෙක සමාජවාදය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් හා ඒ තුළ නිෂ්පාදනය වැඩිකිරීමේ අරමුණින් අනුගමනය කළ ඒවා විය. ඊට අමතරව ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස ලෝක විප්ලවය සඳහා නායකත්වය දීමට 1919දීම 3වන ජාත්‍යන්තරයද ගොඩනගනු ලැබීය. හේතුව සෝවියට් දේශයේ සැබෑ ආරක්ෂාව හා පැවැත්ම රදා පැවැතියේ ලෝක සමාජවාදී විප්ලවය තුළ නිසාය. සෝවියට් දේශයේ සමාජවාදී විප්ලවයේ පැවැත්ම රඳා පැවැතියේ ලෝක විප්ලවය මත බව අවධාරණය කළ ලෙනින් ඒ සඳහාද උපක්‍රම සකස් කළේය. 1918 අප්‍රේල් 23 දා ලෙනින් මෙසේ පැවසීය


“අපේ නොදියුණුභාවය විසින් අප ඉදිරියට තල්ලුකොට දමා තිබේ. අනෙක් රටවල නැගී සිටින කම්කරුවන්ගේ බල සම්පන්න සහයෝගය අපට ලැබෙන තෙක් අපට අල්ලා සිටිය නොහැකි වුවහොත් අප වැනසී යනු ඇත.”
(උපුටා ගැනීම – අවස්ථාවාදයද? නිර්ධන පංති ජාත්‍යන්තරවාදයද? රෝහණ විජේවීර)

එලෙස පැවසූ ලෙනින් යළි 1920 දී තවදුරටත් මෙලෙසින්ද අවධාරණය කළේය.


“අපි අපේ වැඩ කටයුතු පටන් ගෙන තිබුණේ මුළුමනින්ම ලෝක විප්ලවයේ බලාපොරොත්තුවෙන් බැවින් අපේ ජයග්‍රහණය ජයග්‍රහණයක් වනු ඇත්තේ, අපේ අභිප්‍රාය සමස්ත ලෝකයේම විජයග්‍රාහී වන්නේ නම් පමණක් යැයි අප එකල දැන සිටියෙමු.”
(ලෙනින් 1920 ඔක් 06 විප්ලවයේ 3 සංවත්සරය වෙනුවෙන් කළ කථාවෙන් – උපුටා ගැනීම අවස්ථාවාදයද? නිර්ධන පංති ජාත්‍යන්තරවාදයද? – රෝහණ විජේවීර)


මෙසේ ලෙනින් 1918 බ්‍රෙෂ්ට් සාම ගිවිසුමට අදාළව පැවසුවේද “ජර්මනියේ විප්ලවයක් සිදුවීමෙන් තොරව අප වැනසී යන බව ඒකාන්ත සත්‍යය වන බැවින් මේ අපට පාඩමකි.” යනුවෙනි. කිසියම් රටක, විශේෂයෙන් සංවර්ධනයේ පිටුපසින් සිටින රුසියාව වැනි රටක සමාජවාදී විප්ලවය ජයගත්තද, එයට හුදකලාව, තනිවම තම රට තුළ සමාජවාදය ගොඩනගමින් අධිරාජ්‍යවාදී ප්‍රහාර මැද දිගු කලක් අල්ලාගෙන සිටීමට හෝ ලෝක විප්ලවය තෙක් දිගු කලක් කල් බලමින් සිටීම දුෂ්කරය. රුසියාවේ සමාජවාදය මුහුණ දෙන මෙම බරපතළ අභියෝගය ලෙනින් දුටුවේය. සෝවියට් දේශයට තනිවම ධනවාදී ලෝකය තුළ බොහෝ කලක් බලය රැකගත නොහැකි බවත්, ඒ සඳහා ලෝක විප්ලවයේ අවශ්‍යතාවය එලෙස දැඩිව අවධාරණය කළ ලෙනින් විසින් මෙම තත්වයට මුහුණදීම සඳහා ලෝක විප්ලවය ඉලක්ක කරගත් ක්‍රියාමාර්ගද ගනු ලැබුවේය. ඒ අනුව,

  • 1919 දී 3වැනි ජාත්‍යන්තරය පිහිටුවීම
  • ජාතික විමුක්ති අරගල පිළිබඳ උපායමාර්ගය ඉදිරිපත් කිරීම
  • ධනේශ්වර නොවන සංවර්ධන මාවත ඉදිරිපත් කිරීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලදී.

එහෙත් ලෙනින්ගේ මරණයෙන් පසු සෝවියට් දේශයේ සිදුවූ න්‍යායික හා දේශපාලනික පීළිපැනීම් නිසා ඉහත උපක්‍රම වෙනස්වී වැරදි ක්‍රම භාවිතයට නැගිණි. එම ක්‍රමෝපායන් සමාජවාදය එහි නිවැරදි ගමන් මගෙන් පිට පැන්නවීම් බවට පත්විය. ඒවා විස්තරාත්මකව අධ්‍යයනය කිරීම මෙහිදී ඉතා වැදගත්ය. අධ්‍යයනයේ පහසුව සඳහා එම කරුණු අභ්‍යන්තර හා බාහිර හේතු වශයෙන් ගෙන විග්‍රහ කිරීම වඩා පහසුවේ.

සෝවියට් දේශය බිඳවැටීමට බලපෑ අභ්‍යන්තර හේතු

සැබවින්ම සෝවියට් දේශය බිඳවැටීමක් පමණක් නොව බිඳවැට්ටවීමක්ද විය. සෝවියට් දේශය බිඳදැමීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කළ අධිරාජ්‍යවාදයට ඒ සඳහා අවස්ථා හා ඉඩකඩ සැලසුණේ සෝවියට් දේශයේ තිබූ අභ්‍යන්තර ගැටලු හා දුර්වලකම් නිසාය. ඉන් ප්‍රධානම කරුණු විමසා බැලිය යුතුය.

  1. ජාත්‍යන්තරය හා ජාත්‍යන්තරවාදය අත්හැරීම
    ලෙනින්ගේ මරණින් පසු සෝවියට් දේශයේ හා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත් වූයේ ස්ටාලින්ය. රුසියාවේ සමාජවාදී රාජ්‍යය රැකගනිමින් සෝවියට් දේශය නිර්මාණය කිරීමටත් දෙවැනි ලෝක යුද්ධයේදී සෝවියට් දේශය ජයග්‍රහණය කරා මෙහෙයවීමටත් රුසියාව කාර්මීකරණය කිරීමටත් ස්ටාලින් කළ කාර්යයද අවකත්සේරු කළ යුතු නැත. එහෙත් ඔහු දේශපාලනයේදී නිලධාරීවාදී ගති පෙන්වූ අයෙක් වූ අතර ලෙනින්වාදී උගැන්වීම් හා උපක්‍රම නොසලකා කටයුතු කිරීම ඇරඹීය. එයින් ලෝක විප්ලවය ඉලක්ක කර ගනිමින් සකස් කළ ලෙනින්වාදී උගැන්වීම්, උපායමාර්ග දූර්වල වූ අතර සෝවියට් දේශයේ සමාජවාදය ගොඩනැගීම ගැන මාක්ස් ලෙනින්වාදයට පටහැණි සටන්පාඨ ඉදිරිපත් කෙරිණ. මෙහි ආරම්භය වුයේ 1928 දී 3 වන ජාත්‍යන්තරයේ 6 වන සමුළුවට ස්ටාලින් වෙනුවෙන් බුහාරින් විසින් ‘තනි රටක සමාජවාදය’ නම් සංකල්පය ඉදිරිපත් කිරීමය. මෙමගින් ජාත්‍යන්තරවාදය හා ජාත්‍යන්තර සහයෝගය හෑල්ලු කළ අතර එක් රටක් තුළ සමාජවාදය
    ගොඩනැගීමේ හැකියාව සහතික කරන ලදී. මෙය හුදකලා සටන්පාඨයක් නොවූ අතර මේ හා බැදුණු සටන් පාඨ හා උපායමාර්ග කීපයක්ම වරින් වර ඉදිරිපත් විය. එය අවසානයේ සෝවියට් දේශය තුළ තනිවම කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීමේ සටන් පාඨය දක්වා වර්ධනය විය. සෝවියට් දේශය තනිවම කොමියුනිස්ට් ක්‍රමයට යාමේ සිහිනය තුළ ජාත්‍යන්තරවාදය දුර්වල විය. එසේම 1935 ජූලි 25 – අගෝස්තු 20 පැවැත්වූ 3 වන ජාත්‍යන්තරයේ 7 වන සමුළුවට ස්ටාලින් වෙනුවෙන් බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝර්ජ් දිමිත්‍රොව් විසින් ෆැසිස්ට්වාදයට එරෙහි ‘මහජන පෙරමුණු න්‍යාය’ ඉදිරිපත් කළේය. මෙහි ප්‍රකාශිත අරමුණ වූයේ, නැගී එන ෆැසිස්ට්වාදයට එරෙහිව ෆැසිස්ට් විරෝධී මහජන පෙරමුණක් ගොඩනැගීමය. එහෙත් මෙම සටන් පාඨය ලොව බොහෝ කොමියුනිස්ට් පක්ෂ ධනේශ්වර සන්ධානවලට යාමට හා පංති සහයෝගිතාවයට වැටීමට මග පාදාලීය. පසු කලෙක ස්ටාලින්වාදී උගැන්වීම්වලට අනුව ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ ලෙසත් මාවෝවාදී ඉගැන්වීම්වලට අනුව‘ මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ ලෙසත් විප්ලවය අවධිවලට බෙදා අවධි තුළින් සමාජවාදයට යාමේ නිර්මාක්ස්වාදී චින්තනයට මඟ පෙන්වූයේද මෙම සටන් පාඨයමය. මේ අනුව ජාතික විමුක්ති අරගල පැවැති බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ අරගලයේ නායකත්වය තමන් අතට ගන්නවා වෙනුවට ධනපති පංතිය ප්‍රමුඛ එක්සත් පෙරමුණුවලට ඒවා පවරා දෙන ලදී. 1965 ඉන්දුනීසියාව මීට හොඳම උදාහරණය වේ. රටේ ජනගහනයෙන් තුනෙන් එකක් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ව සිටි විශාලතම කොමියුනිස්ට් පක්ෂයක් වූ එය සුකර්ණෝගේ ධනේශ්වර පක්‍ෂය සමඟ එක්ව පෙරමුණක් ගොඩනගා 1960දී සභාග ආණ්ඩුවක්ද පිහිටුවීය. ජාතිකවාදයත් කොමියුනිස්ට්වාදයත් එක්කර භ්එසදබ්කසිඑ හා ක්‍දපපමබසිඑ යන වචන එක්කර භ්ී්ඣඵ (නසකොම්) යන සංකල්පය ගොඩනැගීය. එහෙත් එය 1965 දී එම පංති සහයෝගිතා දේශපාලනය තුළ කොමියුනිස්ට් පක්‍ෂය සමූල ඝාතනයකට ලක්විය. අද දක්වාම ඉන්දුනීසියානු නිර්ධන පංතියට එම පසුබෑමෙන් ගොඩ ඒමට නොහැකිවී ඇත. ආරම්භයේදී සෝවියට් දේශයේ මග පෙන්වීම මත චීනය තුළද එක්සත් පෙරමුණු ගොඩනගන ලදී. ලොව බොහෝ ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු කලාපවල මෙම එක්සත් පෙරමුණු දැකිය හැකිවූ අතර එයද ලෝක සමාජවාදී විප්ලවයට හානි කළේය. සමාජවාදී විප්ලවය අවදිවලට වෙන්කර එහි පළමු අවදිය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය හෝ මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෙස නම්කළ අතර එක් ඒක රටවල සිටි ඊනියා ප්‍රගතිශීලී ධනපති පංතිය සමඟ පෙරමුණු ඇටවීමට කොමියුනිස්ට් පක්‍ෂ පොළඹවන ලදී. ධනපති පංතිය ප්‍රගතිශීලී වූයේ ධනපති ක්‍රමය බිහිවන අවධියේදීය. ඒ, ඔවුන් එවකට ධනේශ්වර විප්ලවයට පක්ෂපාතීව සිටි නිසාය. ධනපති ක්‍රමය සමාජ ක්‍රමයක් ලෙසින් තම සංවර්ධනය අවසන් කොට ඇති තත්වයක් තුළ දැන් ධනපති ක්‍රමය සමාජවාදී සමාජ විප්ලවයට සතුරුය. විශේෂයෙන්ම සමාජවාදී විප්ලවයේ යුගය වන මේ මොහොතේ ධනපති පංතිය ප්‍රතිගාමිය. ඔවුහු පංතියක් ලෙසින් සමාජවාදී සමාජ විප්ලවයට බාධා කරමින් සිටිති. එබැවින් සමාජවාදී විප්ලවයේදී ධනපති පංතියට විප්ලවීය කාර්යභාරයක් නැත. සමාජවාදී සමාජ විප්ලවය නිර්ධන පංතියේ කාර්යයකි. ධනපති පංතිය හා එක්ව නිර්ධන පංතියට කළ හැකි විප්ලවයක් නැත. එනිසා එක්සත් පෙරමුණු න්‍යාය මාක්ස් ලෙනින්වාදය පීළි පැන්නවීමකි.
    එසේම 1943 දෙවන ලෝක යුද්ධය අවසන් වෙමින් තිබියදී ස්ටාලින් විසින් 3වැනි ජාත්‍යන්තරය විසුරුවා හරින ලදී. ඒ සමගම ලෝක සමාජවාදී ව්‍යාපාරයට ලැබිය යුතු නායකත්වය නැතිව ගියේය. එම තත්වය ලෝක විප්ලවයට බලවත්සේ හානි ගෙන දුන්නේය. 1953 ස්ටාලින්ගේ මරණයෙන් පසුවද මෙම පීළි පැනීම් වඩ වඩාත් වැඩියෙන් සිදුවන්නට විය. 1961 ඔක්තෝබර් පැවැත්වූ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ 23 වන සමුළුවේදි චීන – සෝවියට් මතභේදය ප්‍රකාශයට පත්වීමත් සමඟ සමාජවාදී කඳවුරේ අභ්‍යන්තර ගැටුම් ආරම්භ වන්නට විය.
    ඊට අමතරව සෝවියට් නායක කෲෂෙව් විසින් සෝවියට් දේශය තව “වසර විස්සකින් කොමියුනිස්ට් සමාජයක්” (ජදපපමබසිප සබ 20 හැ්රි) බවට පත් කරන්නේය යන සටන් පාඨය ඉදිරිපත් කළේය. මෙය ලෙනින්ගේ ඉගැන්වීම්වලින් සහ මාක්ස්වාදීයේ මූලික සිද්ධාන්තවලින් මුළුමනින්ම පිට පැනීමක් වූ අතර එය බුහාරින්ගේ ‘තනි රටේ සමාජවාදය’ නම් මතය තවදුරටත් ඉදිරියට ගෙනයාමක් විය. තනි රටක් තුළ කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීය නොහැකිය යන මාක්ස් ලෙනින්වාදී මූලික සිද්ධාන්තය මෙහිදී නොසලකා හරින ලද අතර ඒවා විකෘති කරන ලදී. 1960 දශකයේදී සෝවියට් දේශය වර්ධිත සමාජවාදය නම් තත්වයට පැමිණ ඇති බවත් එය ආපසු හැරවිය නොහැකි බවටත් මතයක් ඉදිරිපත් කළේය. සෝවියට් දේශය රැකගැනීමේ අවදානම ඉන් අත්හළ අතර ලෝක විප්ලවයද අත්හරින ලදී. ඒ, සෝවියට් දේශයට තනිවම කොමියුනිස්ට්වාදයට යා හැකිය යන මිත්‍යාව නිසාය. මෙම වැරැදි සටන් පාඨය හා ප්‍රතිපත්ති සෝවියට් දේශයේ සමාජවාදී ගමන් මගට විශාල හානිකර බලපෑමක් කළේය. මේ නිසා ලෝක සමාජවාදී විප්ලවය සිදුනොවී සෝවියට් දේශයට දියුණු ධනපති රටවල් මධ්‍යයේ එහි කුමන්ත්‍රණවලට ලක්වෙමින් දිගු කලක් පැවැතීමට සිදු විය. එහිදී සෝවියට් දේශය අධිරාජ්‍යවාදී රටවල් සමග ‘සාමකාමී සහජීවනය’නම් ප්‍රතිපත්තියද 1960 දශකයේ සිට ක්‍රියාවට නැගීය.
    සෝවියට් දේශය වර්ධිත සමාජවාදී තත්වයට පැමිණීමත් සමඟ නිර්ධන පංති රාජ්‍ය බලය තමන් විසින්ම දුර්වල කරගනු ලැබිණ. ඊට හොඳම උදාහරණය 1961 ඔක්තෝබරයේ පැවති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 23වැනි සමුළුවේදී ඉදිරිපත් වූ මෙම අදහසය. එනම් “නිර්ධන පංති ආඥාදායකත්වය තම ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණ කර ඇත. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ අභ්‍යන්තර සංවර්ධනයේ දෘෂ්ටිකෝණයට අනුව බලන විට එහි අවශ්‍යතාවය අවසන්ය. නිර්ධන පංති ආඥාදායකත්වයේ රාජ්‍යය ලෙස පෙනුණු රාජ්‍යය දැන් සමස්ත සමාජයේ රාජ්‍යයයි.
    …නිර්ධන පංති ආඥාදායකත්වය තම අවශ්‍යතාවේ භූමිකාව අහෝසි කරගෙන ඇතැයි යන විශ්වාසය මත පක්‍ෂය කටයුතු කරයි.”
    මෙය ලෙනින්වාදය නොව ඉන් මුළුමනින්ම පිට පැනීමකි. රාජ්‍ය බලය පිළිබඳ ලෙනින්වාදී උගැන්වීම් අත්හැරීමකි. සමාජවාදී සංක්‍රමණ අවදිය තුළ නිර්ධන පංති රාජ්‍යයේ අවශ්‍යතාවය ලෙනින් බොහෝ විට අවධාරණය කොට තිබුණද මෙහිදී එය අත්හරින ලදී, සෝවියට් දේශය බිඳ දැමීමේදී එය සතුරන්ට වඩාත් වාසිදායකද විය.
    බ්‍රෙෂ්නෙෆ්ගේ යුගයේ තහවුරු වූ “සාමකාමී සහජීවනය” හා “නිරවි යුද්ධය”යන සටන්පාඨ හා ක්‍රියාමාර්ග ලෝක බලවතුන් අතර යුද තරගය අඩු කිරීමේ යුද අවදානමින් මිදීමේ අර්ථයෙන් යහපත්සේ පෙනුණද සමාජවාදයේ අවශ්‍යතාවයන්ගේ දෘෂ්ටියෙන් බලන විට අධිරාජ්‍යවාදයට වාසිදායක විය. මින් වැඩිම රැකවරණය ලබා ගත්තේත් සෝවියට් දේශයට එරෙහි මතවාදී පෙරමුණේ සටනට ඉඩ ලබාගත්තේත් අධිරාජ්‍යවාදයය. සමස්ත සෝවියට් පුරවැසියා අධිරාජ්‍යවාදයට එරෙහිව සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් හා එය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අවදියෙන් සිට සටන්කරන්නෙකුගේ තත්වයට පත්කොට මෙහෙයවනවා වෙනුවට සෝවියට් පුරවැසියා නරඹන්නෙකුගේ තත්වයට, සාමකාමී සහජීවනයට අනුව පාඩුවේ වැඩක් බලාගෙන සිටින්නෙකුගේ තත්වයට පත්කළ අතර පසුව අධිරාජ්‍යවාදී රටවල ඇතැයි කියූ ‘ඊනියා නිදහස’ හා විවිධ
    පාරිභෝගික භාණ්ඩ අගයන්නෙකුගේ තත්වයටද පත්කළේය. එය සෝවියට් ජනයා බලා සිටියදීම සෝවියට් සමාජය බිඳවැටීමට එහි සතුරන්ට අවස්ථාව සලසා දුන්නේය.
  2. නිලධාරිවාදය තහවුරුවීම
    ජාත්‍යන්තරවාදය අත්හැරීමට අමතරව සෝවියට් දේශය බිඳවැටීමට හේතු වන තවත් කාරණයක් වන්නේ සමාජවාදී අවධිය තුළ නිලධාරිවාදය තහවුරුවීමයි. නිලධාරිවාදය පාලනය කිරීම සඳහා නිර්දේශිත ලෙනින්ගේ උගැන්වීම් නොසලකා හැරි අතර ඒ නිසා නිලධාරිවාදය සෝවියට් රාජ්‍යය තුළ තහවුරු විය. මෙය පක්ෂය, නායකයින්ගෙන් දුරස් කිරීමට සහ පොදු ජනයා, පක්ෂයෙන් දුරස් කිරීමටත් හේතු විය. කියුබාවේදී ෆිදෙල්, ජනතාව සමග පවත්වන සම්බන්ධය හා පුද්ගල වරප්‍රසාදවලට එරෙහිව හා පුද්ගල ප්‍රතිරූප ගොඩනැංවීමට එරෙහිව ගෙන යන ආදර්ශය සමග සසඳන විට, සෝවියට් නායකයින්ගේ නිලධාරිවාදය කෙතරම් බරපතළ දැයි වටහා ගැනීම එතරම් අපහසු නැත. මෙම නිලධාරිවාදී නායකයෝ සමාජවාදය තුළ වරප්‍රසාද භුක්ති විඳීම සඳහා තම නිලය, වගකීම ලැජ්ජා විරහිත ලෙස භාවිතා කළෝය. පසුගාමී සංවර්ධනයක් සහිත රටක සමාජවාදය ගොඩනගන විට ඒ තුළ නිලධාරිවාදය මතුවීමේ අනතුර ලෙනින් දුටුවේය. ඒ සඳහා ඔහු ක්‍රියාමාර්ගද යෝජනා කළේය. ස්ටාලින් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පත්වීමෙන් ලබාගත් අසීමිත බලය පරිස්සමෙන් පාවිච්චි නොකරනු ඇති බව 1922 දෙසැම්බරයේ අග පැවති පක්‍ෂ සමුළුවට ලිපියක් ලියමින් ලෙනින් අවධාරණය කළේය. එහිදී මධ්‍යම කාරක සභාවේ සංඛ්‍යාව 100ක් දක්වා වැඩිකරන ලෙසත් ඊට කම්කරුවන් අතරින් වැඩි ප්‍රමාණය බඳවා ගන්නා ලෙසත් යෝජනා කළ ලෙනින් යළිත් 1922 දෙසැම්බර් 24 ලිපියක් ලියමින් සඳහන් කළේ ස්ටාලින් අධි ගොරහැඩි බවත් ඒ නිසා ප්‍රධාන ලේකම් ධුරයෙන් ඔහු ඉවත් කොට ඔහුට වඩා ඉවසිලිවත්, සහෝදරවරුන්ට ලැදි වඩාත් ආචාරශීලී අයෙක් පත්කර ගන්නා ලෙසත්ය. ලෙනින් මේ වනවිට විස කැවූ වෙඩි උණ්ඩයක් වැදීමෙන් බරපතළ අසනීප තත්වයෙන් සිටි අතර මෙම යෝජනා ක්‍රියාවට නැගුණේ නැත.
    අනෙක් අතට නිලධාරිවාදය යනු පුද්ගල වැරැද්දක්ම නොවන බවත් එය උපදින්නේ සමාජයේ සංස්කෘතිකමය පසුගාමීත්වය හා සියලුදෙනාට අවශ්‍ය තරම් ලබාදීමට නොහැකි තරම් නිෂ්පදනය දුර්වල වීම නිසා බවත් ලෙනින් අවධාරණය කර තිබුණි. ඒ නිසාම නිලධාරීවාදය පාලනය කිරීමට ගෙන තිබූ පියවරයන් ක්‍රියාත්මක නොවීම නිසා නිලධාරිවාදය වර්ධනය විය. සෝවියට් දේශයේ බලය ජනතාවගේ බලයක් වනවා වෙනුවට ජනතාවගෙන් වියෝ වූ බලයක් බවට පත්විය. ජනතාව හා පාලනය අතර ප්‍රතිවිරෝධයක් හා ජනතාව තුළ අතෘප්තියක්ද නිර්මාණය විය. අධිරාජ්‍යවාදය විසින් උපයෝගී කර ගන්නේ ජනතාව තුළ පැවති එම මනෝභාවයය.
  3. සමාජ ආර්ථික නවීකරණයන් නොවීම
    සෝවියට් දේශය ආරම්භයේදී විද්‍යාවේ හා තාක්‍ෂණයේ මහා වර්ධනයක් පෙන්නුම් කළද අවි තැනීමේදී අභ්‍යවකාශ වැඩපිළිවෙළේදී විශාල වර්ධනයක් පෙන්නුම් කළද පාරිභෝගික භාණ්ඩ නිපදවීමේදී සමහර අත්‍යවශ්‍ය නවීකරණයන් හා වෙනස්කම් නොසලකා හැරි බව පෙනේ. මේ නිසා කලානුරූපව හා වෙනස් වන තත්වයන් තුළ සමාජ ආර්ථික වශයෙන් අවශ්‍ය නවීකරණයන් සෝවියට් දේශය තුළ නොවීමද සමාජවාදය අභියෝගයට ලක්වීමට කිසියම් පමණකින් හෝ හේතුවූ බව පෙනී යයි. මෙයින් අදහස් වන්නේ සෝවියට් දේශය තුළ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව නොතිබුණු බව නොවේ. එය එක්සත් ජනපදය පරදවන මට්ටමක තිබුණි. එහෙත්
    පාරිභෝගික භාණ්ඩ නිපදවීමේදී හා සමහර නිෂ්පාදන හා සේවා ක්‍ෂේත්‍රවල ඒවායේ ගුණය පමණක් ගැන සිතූ අතර පෙනුම ගැන එතරම් තැකීමක් කෙරුණේ නැත. මේ නිසා ධනේශ්වර භාණ්ඩවල බාහිර ආකර්ෂණය එක් විටෙක තරුණ පරපුර ඒ වෙත ඇද ගැනීමට හේතු විය. මෙම තත්වය සෝවියට් ජනතාව ධනේශ්වර වෙළඳ භාණ්ඩ වෙත ආකර්ෂණය කරගැනීමට අධිරාජ්‍යවාදීන්ට උපකාරී විය. අධිරාජ්‍යවාදී ප්‍රචාරක මාධ්‍යයන් හරහා විසුරුවාහළ විවිධ සිසිල් බීම පිළිබඳ දැන්වීම් පවා සෝවියට් තරුණයා මංමුළා කිරීමට තරම් සමත් විය. ඒ තුළ ඔවුන් දුටුවේ ධනපති ලෝකය විශ්මලන්තයක් ලෙසය.
  4. සමාජවාදී අධ්‍යාපනය දුර්වල වීමෙන් ජනතාවගේ දායකත්වයක් නොලැබීයාම
    අඛණ්ඩ මතවාදී අරගලයක්, සමාජවාදී අධ්‍යාපනයක් හා ජනතාව සමාජවාදය ගොඩනැගීමට දායක කරගැනීමේ ක්‍රියාවලිය දුර්වලව තිබීමද එම රටවල සමාජවාදය බිඳවැටීමට හේතුවක් විය. කෙසේ හෝ නව පරපුරේ සමාජවාදය ගැන හැඟීම දුර්වලවී තිබුණි. එය ජනතාව වෙත මතවාදය අඛණ්ඩව ගෙන නොයෑම හා සමාජවාදය පිළිබඳ අදහස කුළු ගැන්වීමේ දුබලකම නිසා වන්නකි. ඒ පිළිබඳව ෆිදෙල් පවසන්නේ මෙසේය.
    “විප්ලවය එය විසින්ම ආරක්ෂා විය යුතුයි. එය ආරක්ෂා වන්නේ එලෙසයි. අපට න්‍යෂ්ටික අවි තිබීම නිසා හෝ අප පොහොසත් නිසා එය ආරක්ෂා වන්නේ නැහැ. අප වසර 40 ක සම්බාධකවලට මුහුණ දුන්නා. විවිධ බාධක හිරිහැර මැද අප විශේෂ දුෂ්කර කාලයක් පසු කළා. කිසිම රටක් ජනතාවගේ සහයෙන් තොරව එලෙස ආරක්ෂා වන්නේ නැහැ. ජනතාවගේ දේශපාලන කැමැත්ත නැතිව එසේ වන්නේ නැහැ.”
  5. ගොර්බචෝෆ්ගේ ප්‍රතිසංස්කරණයන්
    සෝවියට් දේශය තුළ නිර්මාණය වෙමින් තිබු නිලධාරිවාදය, ආර්ථිකයේ එක තැන පල්වීම, නිෂ්පාදන ආයතනවල කාර්යක්ෂමතාවය පහළ වැටීම වැනි අර්බුදවලට පිළියම් සෙවීමට අවසන් සෝවියට් නායක ගොර්බචෝෆ් ඉදිරිපත් කළ විසඳුම් වූයේ දේශපාලන නිදහස්කරණය (ග්ලාස්නොස්ට්) හා ආර්ථික ප්‍රතිසංස්කරණ (පෙරෙස්ත්‍රොයිකාව)යයි.
    ඔහු පෙරෙස්ත්‍රොයිකාව ලෙනින්ගේ (භෑඡ) වැඩපිළිවෙළට නව පණ දීමක් ලෙස හඳුන්වන ලදී. එහෙත් මෙම ක්‍රියාමාර්ග වලින් විශේෂයෙන් ග්ලාස්ට්නොට්වලින් සෝවියට් රාජ්‍ය බලය දුර්වල විය. සමාජවාදය ගොඩනගමින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය දෙය වූ නිර්ධන පංති රාජ්‍ය බලය දුර්වලවීම බාහිර මෙන්ම අභ්‍යන්තර සතුරන්ට වාසිදායක විය. සමාජවාදය බිඳ වැටෙද්දී සෝවියට් රතු හමුදාව අක්‍රීයව සිටීම විසින්ද මෙය තහවුරු වේ. ප්‍රමාණාත්මකව පිරිහෙමින් තිබූ සෝවියට් දේශය, ගුණාත්මක බිඳවැටීමක් බවට පත් කිරීමට ආසන්න සිද්ධිය ලෙස ගොර්බචෝෆ්ගේ ප්‍රතිසංස්කරණ හේතු විය.
    (ගොර්බචෝෆ්ගේ සමාජවාදය ආපසු හරවන ප්‍රතිසංස්කරණවලට එරෙහි සෝවියට් කොමියුනිස්ට් පක්ෂ නායකයින් ඔහු නෙරපීමට සහ සමාජවාදී සෝවියට් දේශය ආරක්ෂා කරගන්නට උත්සාහ ගත්තද පැවැති තත්වය තුළ එම සන්නද්ධ
    ක්‍රියාමාර්ගයද යෙල්ට්සින් වැනි දක්ෂිණාංශිකයින් විසින් තමන්ගේ වාසියට හරවා ගන්නා ලදී. කුමන්ත්‍රණය පැරදවීමට යැයි පවසමින් ජනතාව නොමඟ යවමින් වීදිබට යෙල්ට්සින් අවසානයේ කොමියුනිස්ට් පක්ෂ නායකයින්ගේ මැදිහත් වීමෙන් ඇතිවූ සමාජවාදී සෝවියට් දේශය රැක ගැනීමේ සටන කුමන්ත්‍රණකාරීව පරදා, ගොර්බචෝෆ් ඉවත් කර රුසියාවේ බලය ඔහු අතට ගන්නා ලදී. ඒ අනුව සෝවියට් සමුහාණ්ඩුව බිඳී ගොස් සෝවියට් දේශය අහෝසි විය.)
    සෝවියට් දේශය බිඳවැටීමට බලපෑ බාහිර හේතු
    සෝවියට් දේශය බිඳවැටීමට එහි අභ්‍යන්තරයේ ඇතිවූ හේතුවලට අමතරව බාහිර හේතූන්ද දායක විය. බාහිර හේතු සමහරක් සෝවියට් දේශයේ පාලනයෙන් තොර ඒවා විය. ඒ සමඟ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයන්ද සම්බන්ධිතය.
  6. ජාත්‍යන්තරය බිඳ හෙළමින් සෝවියට් හිතවාදී රාජ්‍ය පද්ධතියක් පවත්වා ගෙනයාම.
    ලෝක සමාජවාදී විප්ලවයට නායකත්වය සැපයීම හා නිර්ධන පංති ජාත්‍යන්තරවාදය පවත්වාගෙන යාම සඳහා ලෙනින්ගේ නායකත්වයෙන් 1919දී පිහිටුවන ලද 3වැනි ජාත්‍යන්තරය හෙවත් කොමින්ටනය 1943 දෙවන ලෝක යුද්ධය නිමාවෙමින් තිබියදී ස්ටාලින් විසින් විසුරුවා හරින ලදී. ඒ තවදුරටත් ලෝක සමාජවාදී විප්ලවයට නායකත්ව සැපයීමට එවන් සංවිධානයක් අවශ්‍ය නැත යැයි කියමිනි. එහෙත් 1943 දී 3වැනි ජාත්‍යන්තරය හෙවත් කොමින්ටනය විසුරුවා හැරීමෙන් පසු 1947 දී ක්‍දපපසබදෙරප නමින් ස්ටාලින් විසින් සංවිධානයක් ගොඩ නගන ලදී. එයට අයත් රටවල් හා පක්ෂ වූයේ බල්ගේරියාව, චෙකොස්ලොවැකියාව, ප්‍රංශය, හංගේරියාව, ඉතාලිය, පෝලන්තය, රුමේනියාව හා යුගොස්ලාවියාවය. එහෙත්
    යුගොස්ලාවියා නායක ටිටෝ සමග ඇතිවූ මතභේදය නිසා 1948දී
    යුගෝස්ලාවියාව මෙම සංවිධානයෙන් නෙරපන ලදී. පසුව ස්ටාලින්ගේ මරණයෙන් පසු 1956දී කෲෂෙව් විසින් රුසියන් කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සමුළුවේදී මෙම සංවිධානයද විසිරුවා හරින ලදී.
    ලොව බොහෝ කොමියුනිස්ට් පක්ෂ රුසියානු උදව් මත පවත්වාගෙන ගිය අතර ඒවාට සිදුවූයේ සෝවියට් දේශයේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුමත කරමින් තම රටවල රුසියානු ශාඛා ලෙස කටයුතු කිරීමටය. පෙරළා එය බරපතළම ප්‍රතිරෝධයක් ඇති කළේය. සමාජවාදී සෝවියට් ජනතාවගේ ශ්‍රමය මඟින් මුළු මහත් ලෝක කොමියුනිස්ට් පක්ෂ හා සමාජවාදී රාජ්‍යයන් නඩත්තු කරන තත්වයක් ඇති විය. එපමණක් නොව සෝවියට් දේශය සමඟ විවිධ අවශ්‍යතාවයන් මත මිතුරු වෙසින් පෙනී සිටි ධනපති රාජ්‍යයන් නඩත්තු කිරීමටද සමාජවාදයේ පලදාව යෙදවිණි. මෙය සෝවියට් ආර්ථිකයට දරාගත නොහැකි බරක් බවට පත්විය.
  7. පංති සහයෝගිතාවය හා වාමාංශික ව්‍යාපාර මර්දනය
    ධනපති රටවල් සමග මිත්‍රත්වය ප්‍රධාන වීම තුළ එම රටවල සමාජවාදයට උදව් නොදීම හා ජාතික විමුක්ති අරගල හරහා ධනපති පංතියට බලයට ඒමට ඉඩ හැරීම ප්‍රධාන වරදකි. අධිරාජ්‍ය විරෝධී හා ෆැසිස්ට් විරෝධී නාමකරණයන් යටතේ ලොව පරිධියේ රටවල සමහර ධනපති පක්ෂවලට හා නායකත්වයන්ට “ප්‍රගතිශීලී”ලේබලය අලවා ඔවුන් සමග මිත්‍රව කටයුතු කරන ලදී. එම රටවල කොමියුනිස්ට් පක්ෂවලට උපදෙස් දී තිබුණේද ඉහත ප්‍රගතිශීලී ධනපති නායකයින් හා එක්ව කටයුතු කරන ලෙසය. මෙය ලෙනින්වාදයෙන් පීළි පැනීමක් වු අතර එය ලෝක විප්ලවයට හානිකර ලෙස බලපෑවේය. උදාහරණයක් වශයෙන් චීනයේ චියැංකායිසෙක් හා එකතුවීමට උපදෙස්දීම, ඉන්දියාවේ නේරු, ලංකාවේ බණ්ඩාරනායක, මිසරයේ අන්වර් සදාත් හා අප්‍රිකානු රටවල එවැනි නායකයින් හා මිත්‍රත්වය විසින් විප්ලවය සඳහා අරගලය පස්සට තැබීමට සිදුවීම ගත හැකිය. ඒ තත්වය කෙතෙක් දුර ගියාද කිවහොත් සෝවියට් හිතවාදී ධනපති ආණ්ඩු රකිමින් විප්ලවවාදි පක්ෂ මර්දනයට සහය දීම දක්වා අවස්ථාවාදය තීව්‍ර විය. ශ්‍රී ලංකාවේ 1971 අරගලයේ දි ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට සිරිමා බණ්ඩාරනායක රජයට සෝවියට් දේශයේ මඟ පෙන්වීම මත සමාජවාදී රාජ්‍යයන් කිහිපයක් උදව් උපකාර කිරීමද මෙවන් නිදසුනකි.
  8. සමාජවාදී කඳවුරේ භේදය සහ අසමගිය
    සමාජවාදී කඳවුරේ භේදය හා අසමගිය එහි බිඳවැටීමට විශාල ලෙස හේතු විය. මින් ප්‍රධාන භේදය වූයේ, 1961න් ඇරඹි 1963දී ප්‍රකාශයට පත් චීන – සෝවියට් මතභේදයයි. එය ලොව පුරා කොමියුනිස්ට් පක්ෂ දෙකඩ කළ අතර පසුව ඒවා එකිනෙකට සතුරුව කටයුතු කළේය. මෙය අවස්ථාව කොට ගෙන සෝවියට් දේශයට එරෙහිව චීනය යොදාගැනීම දක්වා දුර යාමට එක්සත් ජනපදයට හැකි විය. තවදුරටත් ට්‍රොට්ස්කිවාදය, ස්ටාලින්වාදය සහ යුරෝ කොමියුනිස්ට්වාදය වැනි වාදවලට ලොව වමේ ව්‍යාපාරය බෙදීමද වමට අවාසි සහගත විය. මෙහිදී සමාජ විප්ලවය වෙනුවෙන් නොව සෝවියට් හිතවත් කොමියුනිස්ට් පක්‍ෂ පවත්වාගෙන යාම සඳහා විශාල ලෙස වියදම් දැරීමට සෝවියට් දේශයට සිදුවිය.
    මේ සියල්ල හරහා සමාජවාදී සෝවියට් දේශය අසීමිත හා අනවශ්‍ය ආර්ථික බරකට උරදුන් අතර ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය බේද භින්න කොට එයට අයත් රටවල් තම අතකොළු බවට පත් කර ගනිමින් අනාරක්ෂිත තත්වයට පත් විය. මේ තත්වය සමාජවාදය බිද දැමීමට මාන බලමින් සිටි අධිරාජ්‍යවාදීන්ට වාසිදායක තත්වයක් උදා කළේය.
  9. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවල ප්‍රතිඵල
    සමාජවාදී කඳවුර බිද දැමීම සඳහා අධිරාජ්‍යවාදීහු නිතර කුමන්ත්‍රණය කළෝය. ඒ සඳහා සමාජවාදී කඳවුරේ දුර්වලතා හා භේදයන් ඔවුන් විසින් යොදාගන්නා ලදී. සෝවියට් කඳවුරට එරෙහිව අවි නිෂ්පාදනය කිරීම හරහා ඇතිවූ අවි තරගය නිසාද සමාජවාදී රටවල ජනතාව වෙනුවෙන් වෙන් කළ යුතු විශාල මුදලක් අවි සඳහා වෙන් කිරීමට සිදුවිය. සෝවියට් දේශය හා අනෙක් සමාජවාදී රටවලට ජාතිවාදය ඇතුල් කිරීමට උත්සාහ කිරීමද එහි බිඳවැටීමට රුකුල් දුන් කරුණක් විය. සමාජවාදී රාජ්‍ය බලය දුර්වල වන විටම සෝවියට් දේශය සමූහාණ්ඩු 15කට කැඩී ගියේත්, චෙකොස්ලොවැකියාව චෙක් සහ ස්ලොවැක් ලෙස වෙන් වූයේත් මෙහි ප්‍රතිඵල අනුවය. මේ අතර අධිරාජ්‍යවාදීන් විසින් සෝවියට් දේශයට හා සමාජවාදී රටවලට එරෙහිව දැවැන්ත ප්‍රචාරයක් ගෙන යෑම, බොරුකීම, ජනතාව මුළා කිරීම සිදු කරන ලදී. ඒ සඳහා ආගමික සංස්ථාවන් යොදා ගැනීම සිදු විය. මෙය පෝලන්තයේදි ඉතා හොඳින් සිදු විය. පෝලන්තයේ වෘත්තිය සමිති නායක ලෙස කටයුතු කළ පසුව ධනේශ්වර නායකයෙකු වූ ලේක් වැලේසා මෙහෙයවනු ලැබූයේ එවකට පෝලන්ත ජාතික පාප් වහන්සේ විසිනි.
    එමෙන්ම සමාජවාදී කඳවුර තුළ තිබූ ස්ටාලින් විරෝධය න්‍යායික විචෙචනයකින් එහාට ගෙන ගොස් එය සමාජවාදයට එරෙහි මතයක් බවට යොදාගන්නා ලදී. එක්සත් ජනපදය කියුබාවට එරෙහිව සම්බාධක පැනවීම හා 1961දී එය ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීම, 1983දී ග්‍රෙනෙඩාව ආක්‍රමණය කිරීම, නිකරගුවාවට එරෙහිව කොන්ට්‍රා කැරැලිකරුවන්ට උදව් කිරීම, ඇෆ්ගන්ස්තානයේදී සෝවියට් හමුදාවට එරෙහිව මුස්ලිම් අන්තවාදි සංවිධාන ගොඩ නැගීම ආදී ක්‍රියා රැසකින්ම අධිරාජ්‍යවාදීන්ගේ සමාජවාදයට එරෙහිව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් විය.
    පොදුවේ ගත් විට සමාජවාදී කඳවුරේ බිඳ වැටීම තේරුම් ගත යුත්තේ, අහම්බයක් හෝ පුද්ගල ද්‍රෝහිකමක් ලෙස නොව කලක් තිස්සේ ප්‍රමාණාත්මකව වර්ධනය වූ අභ්‍යන්තර හා බාහිර හේතු රැසක් නිසා සිදු වූවක් බවය. සමාජවාදය යනු සංක්‍රමණීය අවධියක් වන නිසා එය කොමියුනිස්ට් ක්‍රමයට යාමට පෙර අවස්ථාවාදයට ගොදුරුව සමාජවාදී මාවතින් පිට පැනීමෙන් හා ධනපති පංතියට අවස්ථාව සැලසෙන දුර්වලතා විසින් ඕනෑම මොහොතක බිඳ වැටීමේ හැකියාව තිබේ. මෙය ලෙනින් නිතර අවධාරණය කරන ලද්දකි. සමාජවාදී කඳවුරේ බිද වැටීමේදි න්‍යායික හා ප්‍රායෝගික වශයෙන් එහි ඇතිවු පිරිහීම සහ පීලි පැනීම මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ අඛණ්ඩ කුමන්ත්‍රණ හා පහරදීම මෙයට හේතු වූ බව අමතක කළ යුතු නැත. රුසියාවේ මෙන්ම යුරෝපයේ බොහෝ කොමියුනිස්ට් පක්ෂවලට අනුව රුසියාවේ සංශෝධනවාදය ආරම්භ වී ඇත්තේ කෘෂෙව්ගෙන් පසුවය. ලෙනින්වාදී අර්ථයෙන් බලන කළ සත්‍යය නම් සෝවියට් දේශයේ න්‍යායික පීලි පැනීම් ආරම්භ වන්නේ ස්ටාලින් පාලනය සමගය. පුද්ගලාභිවාදනය, නිලධාරිවාදය හා න්‍යායික පීලි පැනීම්වල ආරම්භක ලක්ෂය වන්නේ, ස්ටාලින්ගේ පාලනයයි. ඉන්පසු කෘෂෙව්ගේ සිට ගොර්බචෝෆ් දක්වා මෙම සංශෝධනවාදයන් විවිධ වේශයෙන් ඉදිරියට ගියේය. මෙම කාලය තුළ බිහිවූ බලාපොරොත්තු තැබිය හැකි නායකයා වූයේ යුරි ආන්ද්‍රපොව්ය. ඔහු සෝවියට් රහස් ඔත්තු සේවයේ (ණඨඊ) ප්‍රධානියා වශයෙන්ද බොහෝ කලක් සේවය කොට පළපුරුද්ද ඇති අයෙකි. 1982 නොවැම්බර් 12 ඔහු බලයට පත් විය. එහෙත් ඔහුගේ පාලනය වසරකට පමණ සීමා විය. එනිසා ඔහුගේ පත්වීමෙන් ප්‍රතිඵල ලබාගන්නට තරම් කාලයක් නොවීය. ඔහුගේ හදිසි මරණය පිළිබඳ ඇතැමුන් සැක පහළ කරන අතර එයද සෝවියට් දේශය බිඳ දැමීමේ කුමන්ත්‍රණයේම පියවරක් ලෙසද ඇතැම්හු සලකති.
    කෙසේ වෙතත් සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ එය මත පදනම්ව තිබූ නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල්ද බිඳවැටුණි. මෙම කුණාටුවේදී අරක්‍ෂා වීමට සමත් වූයේ සිය රටට අනන්‍ය වූ සමාජවාදී ක්‍රමයක් පවත්වාගෙන යමින් ස්වාධීනව තම දෙපයින් සිටි සමාජවාදී රටවල් කිහිපය පමණි.
    ඉහත අප සඳහන් කළ මාක්ස් ලෙනින්වාදයෙන් පිට පැනීමෙන් සිදුකළ වැරැදි භාවිතාවන් මෙන්ම අධිරාජ්‍යවාදයේ බලපෑම්ද හේතුවෙන් සමාජවාදී කඳවුර බිඳ වැටිණ. එය එසේ වුවද මේ වන විට ධනවාදය උත්තරීතර සමාජයක් බවට පත්ව නැත. සමාජවාදය විසින් එම ජනතාවට අවම වශයෙන් ලබාදුන් දෙයක්වත් ධනවාදය විසින් ඔවුනට මෙතෙක් ලබාදීමට සමත්ව නැත. එපමණක් නොව සමාජවාදය යටතේ ඔවුන් ලද ජීවිතයද ධනවාදය විසින් උදුරා සුනුවිසුණු කොට ඇත. එම තත්වය විසින් එම රටවල ජනතාව අත්විඳින්නේ ඛේදනීය තත්වයකි.

“සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය” කෘතිය මෙතනින් කියවන්න – (pdf)