සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 9, 2020
සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 10, 2020
Show all

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

04 – පරිච්ඡේදය

සමාජවාදී කඳවුර හා එහි ජයග්‍රහණයන්

1871 මාර්තු 18 දින ධනවාදී “දෙව්ලොව” කළඹවන ලදී. ලොව පළමු කම්කරු රාජ්‍යය වන පැරිස් කොමියුනය බිහිවූයේ එදිනය. එහෙත් විද්‍යාත්මක කොමියුනිස්ට්වාදයට නව අත්දැකීම් එක් කරමින් එය දින 72ක් වැනි කෙටි කලකින් බිඳ වැටුණි. ඉන් වසර 46 කට පසුව ලොව සමාජවාදී රාජ්‍ය පද්ධතියක් බිහිවීම ආරම්භ වන්නේ, 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සමඟය. ධනපති ලොව කැළඹූ එම විප්ලවයට නායකත්වය ලබා දෙන්නේ වී. අයි. ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් පක්ෂය විසිනි. පළමුවන ලෝක යුද්ධය නිමාවන විට සෝවියට් දේශය බිහිවූ අතර දෙවන ලෝක යුද්ධය අවසාන වන විට ලෝක සමාජවාදී කඳවුරක් නිර්මාණය විය. සැබවින්ම අධිරාජ්‍යවාදීන්ගේ ලෝක යුද්ධවල මූලික හේතුව ආර්ථික වශයෙන් අධිරාජ්‍යවාදී බලවතුන් අතර බෙදා අවසන් කළ ලෝකය යළි භෞමික වශයෙන් බෙදා ගැනීමය. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපක්‍රමික බව නිසාම අධිරාජ්‍යවාදී ක්‍රෑර අරමුණ වෙනුවට මානව සංවර්ධනයේ ඉදිරි ගමන්මඟ වෙත සුභවාදී පෙළගැස්මක් ඇති කරන ලදී. ලෝක යුද්ධය නැමැති මානව වර්ගයාට විනාශය ගෙනෙන අධිරාජ්‍යවාදී යුද්ධය වමේ උපාය උපක්‍රම හේතුවෙන් මානව වර්ගයා වෙත සමාජවාදය ගෙන එන ලදී. තම ආත්මාර්ථකාමී ඒකායන අරමුණ උදෙසා ආරම්භ කළ අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයට එරෙහිව සමාජවාදී විප්ලවීය රැල්ල ලෝකය වෙළා ගන්නට විය. එය ධනවාදය බියෙන් සලිත කරන දැවැන්ත කඩාවැදීමක් බව අවිවාදිතය. ලෝක ව්‍යාප්ත ධනේශ්වර ප්‍රාග්ධනයේ බල මහිමය අවමානයට හා පරාජයට පත් කරමින් නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාවගේ විමුක්තියේ මාවත විවර විය. ඒ තුළින් ධනවාදී ප්‍රාග්ධනයේ රැහැන්වලින් බැඳි පීඩිත ජීවිතවලට නව මාවතක් විවර විය. මානව චින්තනයද ඇතුළු මානව ශ්‍රමයේ නිමවුම්වල අපූර්වත්වය හා අසමසම බලය මේ යැයි විදහා දක්වන සමාජ ආර්ථික, විද්‍යාත්ම හා තාක්ෂණික ජයග්‍රහණයන් මෙන්ම දැවැන්ත සාහිත්‍යය කලා නිර්මාණ සහිත ආධ්‍යාත්මික ජයග්‍රහණයන්ගේ පිම්මක් ඇතිවිය. විප්ලවයේ ආරම්භයට පෙර දිළිඳු බවේ හා නූගත් බවේ පතුලෙහි සිටි ජනතාවන් සමාජවාදී ඉදිරි ගමන ආරම්භයත් සමඟම ස්වාධීන, නිවහල්, ගෞරවනීය මෙන්ම අභිමානවත් ජාතින් බවට පත් විය. අධිරාජ්‍යවාදය විසින් රටවල් යටත් කර සම්පත් කොල්ලකමින්, දැවැන්ත ශ්‍රම සූරාකෑමකට එම ජනතාව ගොදුරු කරගනිමින් යටත්විජිත අත්පත් කරගැනීමට හා පවත්වා ගැනීමට එරෙහිව සෝවියට් රුසියාව තම භෞතික හා ආධ්‍යාත්මික ජයග්‍රහණයන් අනෙකුත් ජාතීන් සමඟ බෙදා හදා ගත්තේය. ලොව පුරා ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන හා තාක්ෂණික කටයුතු නංවා ලීමට ආධාර හා දිරිමත් කිරීම් නොමසුරුව කළේය. එමෙන්ම පීඩිත ජාතීන්ට තම විමුක්තිය දිනා ගැනීමේ අරගලයන් උදෙසා ආධාර උපකාර කළේය. කියුබාවද සමාජවාදී සහ අධිරාජ්‍ය විරෝධී රටවල් වෙනුවෙන් තම හමුදා සහය, වෛද්‍ය සහය සහ උසස් අධ්‍යාපන පහසුකම් සැලසීම ආදී ජාත්‍යන්තර යුතුකම් ඉටු කිරීමට නොමසුරු විය.

රුසියාවේ විප්ලවයට පෙර තත්වය

සමාජවාදයේ ජයග්‍රහණයන් කෙතරම් විශිෂ්ට දැයි වටහාගත හැකි වන්නේ, පූර්ව විප්ලවීය සමාජ තත්වය වටහාගත් විටදීය. සැබවින්ම සමාජවාදී විප්ලවයට පෙර රුසියාවේ ජනගහනයෙන් අති විශාල ප්‍රමාණයක් අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කළේය. 1894 සිට 1917 දක්වා රාජ්‍ය පාලනය හෙබවූ දෙවන නිකලස් රජ සමයේ රුසියාවේ ඉඩම්වලින් තුනෙන් පංගු දෙකක්ම අයත්ව තිබුණේ උසස් පංතීන්ටය. රජ පවුල, පල්ලිය, රදල ඉඩම් හිමියන් සහ කුලාකයින් මීට අයත්ය. රටේ කෘෂිකාර්මික ඉඩම්වලින් තුනෙන් එකක් ඔවුන් සතු විය. 1913 වන විට රුසියානු ජනතාවගෙන් සියයට 82 කට වැඩි ප්‍රමාණය ග්‍රාමීය ජනතාව විය. 1897 වන විට රුසියාවේ ලිවීමේ කියවීමේ (සාක්ෂරතාවය) හැකියාව සියයට 24ක් තරම් ඉතා පහත් මට්ටමක විය. ධනේශ්වර ක්‍රමය පැවැත්මට පැමිණ තිබුණද ඉඩම් හිමියන් යටතේ ප්‍රවේණිදාසයෝද වූහ. රුසියානු ලේඛක ගොගොල්ගේ සුප්‍රකට ‘මළ මිනිස්සු’ නවකතාවේ රුසියාවේ මියගිය වහලුන්ගේ නාම ලේඛන එකතු කොට රජයෙන් වන්දි ගන්නා මියගිය මිනිස්සුන් පවා විකුණන මිනිසෙකු පිළිබඳව කියවේ. ඒ නවකතාව තුළ ගොගොල් දක්වන්නේ විප්ලවයට පෙර රුසියානු සමාජ යථාර්ථයයි. එවකට ගොවීහුද අන්ත දිළිඳු, අන්ත නූගත් පිරිසක් වූහ. එමෙන්ම ඉතාමත්ම නොදියුණු ශ්‍රම උපකරණ පරිහරණය කරන්නෝ වූහ. සී සෑම සඳහා ඔවුන් විසින් යොදා ගනු ලැබුයේ ලී නගුලය. එලෙස ඉතා මහත්සේ අසංවර්ධිතව තිබූ රුසියාව ඉන් වසර 30 – 40ක් ඇතුළත අභ්‍යවකාශය තරණය කළ පළමු ජාතිය බවට පත් කරන්නට සමාජවාදය සමත් විය. එය එසේ වන්නේ, අන් කිසිවක් නිසා නොව සමාජවාදයේ බල මහිමය නිසාය. මුළු මහත් සමාජවාදී කඳවුරේම අත්දැකීම වූයේ එයයි. සමාජවාදීි චීනය ලොව වැඩිම ජනගහනය සහිත රටය. එය බිලියන 1.38කි. එහි භූමි ප්‍රමාණය ලොව අන් රටවල් අතරින් තෙවන ස්ථානයයි. වඩා විශාලතම රාජ්‍ය වූයේ සෝවියට් දේශයයි. ඒ විලසින්ම විප්ලවයට පෙර කියුබාවද දුප්පත්කමින්, නූගත්කමින්, සෞඛ්‍ය ආරක්ෂාව නොමැතිකමින් පීඩාවට ලක්වූ, අධිරාජ්‍යවාදී සූරාකෑමට නතුවූ අසංවර්ධිත රටක් විය. එක්සත් ජනපද මුවවිටේ සිටිමින්, විවිධ සම්බාධක රැසකට මුහුණ දෙමින් කියුබාවද සමාජවාදී ජයග්‍රහණයන් රාශියක් අත්පත් කරගත් රටකි. භූමි ප්‍රමාණයෙන් (වර්ග කිලෝ මීටර 114,525ක්) ශ්‍රී ලංකාවට වඩා තරමක් විශාල සහ ජනගහනයෙන් ශ්‍රී ලංකාවට වඩා අඩු මට්ටමක (මිලියන 11ක් ) සිටින රටක් වුවද එය ලෝකය තුළ අති විශාල බලපෑමක් කරන රාජ්‍යයක් බවට පත්ව ඇත. 1976 වසරේදී සමාජවාදී විප්ලවය ජයගත් වියට්නාමයද අතිශයින්ම දරිද්‍රතාවයේ ගිලී සිටි රටකි. අති විශාල කාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය හා ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් සමග යුද වැදීමෙන් විනාශයට පත්ව තිබූ වියට්නාමය 1976 සිට සමාජවාදී විප්ලවය තුළ ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් පවතියි. ඒ අනුව සමාජවාදී විප්ලවය විසින් එම රටවල ජනතාවට අත්පත් කරදුන් ජයග්‍රහණයන් විවිධ කේෂ්ත්‍රයන් ඔස්සේ විමසා බැලීමට අප දැන් සූදානම්ය.

සමාජවාදය තුළ අධ්‍යාපනය

සමාජයක් දියුණු මට්ටමට ඔසවා තැබීමට නම් එහි ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහළින් තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. ධනවාදය තුළ මිනිසුන් යනු අතිරික්ත වටිනාකම් බිහිකරනු ලබන උපකරණයක් පමණකි. උග්‍ර රැකියා විරහිතභාවය හා පාදඩකරණය තුළ ධනවාදය විසින් මිනිසුන් අයාලේ යවනු ලැබ ඇත. සමාජය කෙරෙහි කලකිරුණු පුද්ගලයින් හා සමාජ විරෝධීන් බවට ඔවුන් පත්කරනු ලැබ ඇත. එයට ප්‍රතිපක්ෂව සමජවාදය තුළ ප්‍රමුඛතම හා වටිනාම සම්පත මිනිසාය. මානව සම්පත්වල ගුණාත්මකභාවය උදෙසා සමාජවාදී රාජ්‍යයන් තම සම්පත් හා ශක්තිය උපරිම ලෙසින් යොදවයි.
විප්ලවයට පෙර රුසියාවේ අධ්‍යාපනය පැවතියේ, අතිශයින්ම පහත් අඩියකය. ජනගහන තොරතුරුවලට අනුව 1897 වන විට රුසියාවේ සාක්ෂරතාවය සියයට 24කි. ඒ වන විට ග්‍රාමීය ජනතාව තුළ සාක්ෂරතාවය සියයට 19.6කි. 1917 වන විට (මිලියන 160කට මඳක් වැඩි) රුසියානු ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසකට කිසිදු සාක්ෂරතාවයක් නොවීය. සමාජවාදී විප්ලවයෙන් පසුව එනම් 1918 දී සෝවියට් සංගමය තුළ සිටින සියලු ජාතිකත්වයන්ට තම භාෂාවලින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇති බව සෝවියට් රජය විසින් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම සමාජවාදය පවත්වා ගැනීම සඳහා පුළුල් පරාසයක් තුළ පැතිරුණු අධ්‍යාපන ක්‍රමයක් අත්‍යවශ්‍ය සාධකයක් වශයෙන් පිළිගන්නා ලදී. ඒ අනුව මෙතෙක් ලිඛිත භාෂා නොතිබුණු සමහර ජන කොටස් සඳහා නව ලිඛිත අක්ෂර පවා හඳුන්වා දෙන ලදී. 1930 ගණන්වල රුසියාවේ සියලු දෙනාටම මූලික අධ්‍යාපනය ලබා දීමට කටයුතු සම්පාදනය කළ යුතු යැයි සෝවියට් ආණ්ඩුව නීතියක් පැනවීය. ඒ සමගම එය උදෙසා නව පාසල් පිහිටුවන ලදී. අධ්‍යාපනය ලබාදීම සමාජවාදී රජයේ පූර්ණ වගකීමක් වශයෙන්ම ගන්නා ලද හෙයින් සෝවියට් රුසියාව තම අධ්‍යාපනය වේගයෙන් ඉහළට ගෙන ඒමට සමත් විය. චිංගිස් අයිත්මාතව් විසින් ලියන ලද ‘ගුරු ගීතය’ කෘතියෙන් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් අධ්‍යාපනය නංවාලීම සඳහා වෙහෙස වන ආකාරය පෙන්නුම් කළේය. පාසලක් කිසිදා නොතිබුණු කිර්ගීසියාවේ එක්තරා ගමක (අයිලයේ) මුල්ලාවරුන් විසින් එක් කොටසකට පමණක් වරප්‍රසාදයක් කොට තිබු අධ්‍යාපනය සියල්ලන්ට හිමි කරලීම සඳහා අකුරු පවා හරි හැටි නොදත් දුයිෂෙන් නම් කොමියුනිස්ට්වාදී තරුණයෙක් ජනතාව කෙරෙහි වන අපරිමිත ස්නේහයෙන්, කොමියුනිස්ට්වාදී ගුණයෙන් යුක්තව කරනු ලබන කැපවීම හා පරිත්‍යාගයේ මහිමය ඉන් මොනවට ප්‍රකාශ වේ. මෙවන් උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් 1937 වන විට සෝවියට් දේශයේ සාක්ෂරතාවය සියයට 86 දක්වා ඉහළ නැග තිබිණි.
මෙම කාර්යයේදී කොම්සොමොල් තරුණ සාමාජිකයින් විසින් මිලියන ගණන් වූ අකුරු නොදත් වැඩිහිටි ජනතාවට විශේෂ පාසල් පවත්වා ඔවුනගේ සාක්ෂරතාවය වර්ධනය කිරීමට කටයුතු කරන ලදී. මෙහිදී සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මඟපෙන්වීම යටතේ වැඩිහිටි අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දෙන ලදී. ඒ මැදිහත්වීම් සියල්ල මත, බිඳ වැටෙන මොහොත වන විට සෝවියට් රුසියාවේ සාක්ෂරතාවය සියයට 99.4 කි. 1960 වසරේදී, පසුව පැටි්‍රස් ලුමුම්බා මිත්‍රත්ව සරසවිය ලෙස නම් කළ සෝවියට් ජාතික මිත්‍රත්ව සරසවිය ආරම්භ කරන ලදී. ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ තරුණ ජනයාට අධ්‍යාපනය ලබා දෙමින් තම ජාත්‍යන්තර යුතුකම ඉටුකිරීම මෙම සරසවිය ආරම්භ කිරීමේ ඒකායන අරමුණ විය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවර රෝහණ විජේවීර සහෝදරයාද අධ්‍යාපනය ලබන ලද්දේ මෙම පැටි්‍රස් ලුමුම්බා මිත්‍රත්ව සරසවියේය. සෝවියට් සමූහාණ්ඩුවට අයත් උස්බෙකිස්ථානය, තජිකිස්ථානය, කසකස්ථානය, තුර්ක්මේනියාව ආදිය විශේෂයෙන්ම මුස්ලිම් ජනයා ජීවත් වන ප්‍රදේශ විය. සාර් යුගයේ රුසියාවේ මෙම ප්‍රදේශවල සාක්ෂරතාවය සියයට 2ක් පමණ විය. රුසියන් සමාජවාදී විප්ලවයෙන් වසර 40ක් පමණ කාලය තුළදී මෙම ප්‍රදේශවල සාක්ෂරතාවය සියයට 98ක් දක්වා වර්ධනය කළේය. එවකට කිර්ගීසියානුවන්ට ලිඛිත භාෂාවක් නොවීය. ඔවුන් ජීවත්වූයේ තැනින් තැන ඇවිදින (සංචාරක) ජනතාවක් ලෙසිනි. සමාජවාදය විසින් 1960 ගණන් වන විට කිර්ගීසියානු ජනතාව තමන්ගේම භාෂාවෙන් තමන්ගේම විශ්වවිද්‍යාලයක ඉගනුම ලබන ජනතාවක් බවට උසස් කරන ලදී. පූර්ව සමාජවාදී රුසියාවේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, වෛද්‍යවරු, ගුරුවරුන් 410,000ක් පමණ විය. 1960 වන විට සෝවියට් අධ්‍යාපනය විසින් ඉංජිනේරුවන් පමණක් 1,080,000ක් උපදවා ගැනීමට සමත් විය. එනමුත් ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිටි ඉංජිනේරුවන් ප්‍රමාණය වූයේ 32,500ක් පමණි.
සාක්ෂරතාවය ඉහළ නැංවීම හා අධ්‍යාපනය, සාහිත්‍ය ආදිය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ඉහළින්ම ලැබීම හේතුවෙන් සෝවියට් දේශය පොත්පත්, සඟරා, විවිධ ප්‍රකාශන බහුල රටක් බවට පත්විය. බස් රථවල ගමන් කරන විට පවා සෝවියට් පුරවැසියකු පොතක් සඟරාවක් කියවීම සාමාන්‍ය දසුනක් විය. බස් රථවල සිටගෙන යන්නන් මොස්කව්හි දුලබ දසුනක් වූ නමුත් ඉඳහිට හෝ එවැන්නෙකු යන්නේ නම් ඔහුද පොතක්, සඟරාවක් කියවමින් යෑම බොහෝ දුරට දක්නට ලැබුණකි. සෝවියට් ජනතාවට පොත්පත්, ප්‍රකාශන කියවීමේ දැඩි පිපාසයක් විය. එහෙත් සාර් අවධියේ රුසියාවේ ජනතාව බහුතරයක් අකුරු නොදත්තවුන් විය.
මීළඟට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවෙන් ඔබ්බට සමාජවාදී චීනයට ගොස් එහි අධ්‍යාපනයේ මට්ටම විමසා බලන්නේ නම් 1949 චීන විප්ලවය සිදුවූ කාලය වන විට චීන ජනතාවගේ සාක්ෂරතාවය සියයට 20කි. සමාජවාදය යටතේ 2000 වසර වන විට චීන ජනතාවගේ සාක්ෂරතාවය සියයට 98.9 දක්වා වර්ධනය විය. 2007 දී චීන රජය අධ්‍යාපනයට උපායමාර්ගික ප්‍රමුඛතාවයක් දිය යුතු බව ප්‍රකාශ කරන ලදී. 2007 – 2009 රාජ්‍ය අයවැයෙන් ශිෂ්‍යත්ව සඳහා කරන වියදම තුන් ගුණයකින් වැඩි කරන ලදී. 2007 වන විට චීනයේ ප්‍රාථමික පාසල් 396,567ක්ද ද්විතීයික පාසල් 94,116ක්ද උසස් අධ්‍යාපන ආයතන 2,236ක්ද දක්වා එහි අධ්‍යාපනය වර්ධනය කරන ලදී. 2009 වසරේ ෑෂී් නම් වැඩසටහන මගින් සිදු කරන ලද අවුරුදු 15 සිසුන්ගේ අධ්‍යාපන තත්වය පිළිබඳව සමීක්ෂණයක් අනුව ෂැංහයි නගරය ගණිතය, විද්‍යාව විෂයන් පිළිබඳව සාක්ෂරතාවය අතින් ලොව හොඳම ප්‍රතිඵලය අත් කරගෙන ඇති බව නිරීක්ෂණය විය.
එමෙන්ම සමාජවාදී කියුබන් ජනරජයද අධ්‍යාපනයට රාජ්‍යයේ ප්‍රමුඛ ස්ථානයක් ලබා දුන්නේය. 1959 වන විට කියුබාවේ අවුරුදු 15 ට වැඩි ජනගහනයෙන් සාක්ෂරතාවය පැවතියේ සියයට 22කට පමණි. එයින් සියයට 66ක් ඉගෙන ගෙන තිබුණේ තෙවන ශ්‍රේණිය දක්වා පමණකි. එහෙත් අද වන විට කියුබානු ජනතාවගේ සාක්ෂරතාවය සියයට 97කටත් වඩා වැඩිය. 1959 විප්ලවයෙන් පසු කියවීමේ හැකියාව වර්ධනය හා කියවීමේ හුරුව ඇති කිරීම වෙනුවෙන් කියුබානු රජය විශේෂ වෙහෙසක් දරන ලදී. 1959 අප්‍රේල් මාසයේ අකුරු කියවීම පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 817ක් විවෘත කරමින් අධ්‍යාපනය තුළ මෙම පෙරළිය අරඹන ලදී. ඒ සඳහා ස්වේච්ඡා සේවක සේවිකාවන් 280,000ක් සහභාගි කරගත් සාක්ෂරතාවය නැංවීමේ ව්‍යාපාරයක් දියත් කෙරිණි. එක් වසරකින් එම ව්‍යාපාරය සාක්ෂරතාවයේ පහත් මට්ටම මුළුමනින් උපුටා දමන ලදී. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන කියුබාව ව්‍යවස්ථාවෙන් හා ප්‍රායෝගික වශයෙන් නිදහස් අධ්‍යාපනය සහතික කරන ලදී. පොත්පත්, පෑන්, පැන්සල් පවා ලබාදීම මෙයට අයත්ය. අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 13ක් එනම් ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් වෙන් කරනු ලබන රටවල් අතරින් එකක් බවට කියුබාව පත්වේ. ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම ගුරුවරුන් සංඛ්‍යාවක් සිටින්නේ කියුබාවේය. කියුබාව තුළ අද වන විට ශිෂ්‍යත්ව පදනමින් විදෙස් සිසුහු රාශියක්ද අධ්‍යාපනය ලබමින් සිටිති. මේ වන විටත් විවිධ ජාතීන්ට අයත් සිසුහු 3432ක් වෛද්‍යවරු ලෙස කියුබාව තුළ පුහුණුව ලබමින් සිටිති. මේ ශිෂ්‍යත්වයන් විශේෂයෙන්ම ලබා දී තිබෙන්නේ ලතින් ඇමරිකානු, අප්‍රිකානු සහ ආසියානු කලාපයේ සිසුන්ටය. විශ්වවිද්‍යාල සිසුහු පමණක් ලක්ෂ 7ක් දැනට කියුබාවේ ඉගනුම ලබති.
මෙලෙසින්ම අධ්‍යාපනය වෙනුවෙන් සමාජවාදී වියට්නාමය තබා ඇති ප්‍රමුඛතාවය මෙසේ ගෙන හැර දැක්වීමට හැකිය. වත්මන් සමාජවාදී වියට්නාමයේ සෑම ගමකම ප්‍රාථමික පාසල් ඇති අතර එම ගම්මානවලින් සියයට 95කම ද්විතීයික පාසලක් ඇත. වර්ෂ 2000දී වියට්නාමය පූර්ණ වශයෙන්ම එහි අකුරු නොහැකියාව දුරු කළ අතර ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමද සම්පූර්ණ කරන ලදී. 2010දී එය ද්විතීයික හා ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමද සම්පූර්ණ කරන ලදී. 1986 අධ්‍යාපනය සඳහා රාජ්‍ය අයවැයෙහි වාර්ෂික දායකත්වය සියයට 10ක් විය. 2000 වසරේදී වාර්ෂික අයවැයෙන් අධ්‍යාපනය කෙරෙහි වන දායකත්වය සියයට 15ක් දක්වා වර්ධනයවේ. 2009දී එම දායකත්වය සියයට 20ක් දක්වා වර්ධනය විය. (අයවැයෙන් අධ්‍යාපනයට සියයට 6ක වත් දායකත්වයක් ඉල්ලා ශ්‍රී ලංකාව තුළ කෙරෙන අරගලය හා ඒ පිළිබඳව රජය දක්වන ප්‍රතිචාරය මෙය සමඟ සංසන්දනය කොට බලන්න.) වත්මනෙහි වියට්නාම් ජනතාවගෙන් සියයට 25ක් අන්තර්ජාලය භාවිතා කරයි.
මේ අනුව ඉතා මැනවින් පැහැදිලි වන්නේ, සමාජවාදී රටවල අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දී ඇති බවත්, ජාතික සම්පත් වැඩි ප්‍රමාණයක් වෙන්කොට ඇති බවත් නිදහස් ජනතාවාදී අධ්‍යාපනයක් පවතින බවත් ඒ තුළින් එම රටවල නූගත්භාවය මුලිනුපුටා දමමින් අධ්‍යාපන මට්ටම ඉතා ඉහළට ඔසවා තබා ඇති බවත්ය. සමාජවාදයේදී වැඩකරන ජනතාව යනු ආර්ථික වශයෙන් රටක ප්‍රධානතම සම්පත ලෙස සලකනු ලබයි. එනිසා ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහළයාම පෙරළා සමාජවාදී නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් බලපායි. මේ තත්වය තේරුම් ගනිමින් අධ්‍යාපනය වෙනුවෙන් සමාජවාදී රටවල් වැඩි බර තැබීමක් කර ඇත.

සමාජවාදය තුළ කර්මාන්තකරණය

ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ජන ජීවිතය වඩා යහපත් කිරීම උදෙසා සමාජවාදය විසින් කර්මාන්තකරණය ඉතා ඉහළින් සැලසුම්කරණ ලදී. නිෂ්පාදනය දියුණු කිරීමෙන් තොරව සමාජවාදය පිළිබඳව සිතා ගැනීමටවත් නොහැකිය. සමාජවාදය තුළ අසමානතාවය දුරලනුයේ මිනිස් අවශ්‍යතා සපුරාලනු ලබන නිෂ්පාදිතයන් සුලබ කිරීම මඟිනි. එවිට ඒවා මිනිස් අවශ්‍යතාවයන් තෘප්ත කරන අතරම සම්පත් හිඟකම විසින් බිහිකරලන වරප්‍රසාද තත්වයන් දුරලයි. ඒ වෙනුවට මූලික සමාජවාදී මිනිස් අයිතිවාසිකම් සුරකිනු ලබයි. ඒවා ධනවාදය විසින් බලහත්කාරයෙන් පටවන අවශ්‍යතාවයන් මෙන් නොව වඩා යහපත් ජීවිතයක් උදෙසා මිනිසෙකුට අත්‍යවශ්‍ය වන ඒවාය. මේ සඳහා නිෂ්පාදනය දියුණු කිරීම යනු හුදු සංඛ්‍යාත්මක වැඩිකිරීමක් නොව සැලසුම් සහගත ලෙසින් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වැඩිකිරීමකි.
විප්ලවය සිදු වන විට රුසියාව කර්මාන්තමය වශයෙන් ඉතා නොදියුණු රටක් විය. එවකට පැවැති කර්මාන්තශාලාද ධනවත් රුසියානුවන් කිහිපදෙනෙකු සහ විදේශිකයන් සතු විය. ජර්මන්, ප්‍රංශ, බි්‍රතාන්‍ය, ස්වීඩන් ආදී රටවල ධනවත්හු රුසියාවේ ගල් අඟුරු ආකර, තෙල් ආකර, බැංකු පාලනය කළහ. එපමණක් නොව අධිරාජ්‍යවාදීන් විසින් රුසියාව ණය උගුලක සිරකර තිබුණි. එසේ අධිරාජ්‍යවාදීන් විසින් රුසියාවේ සම්පත් කොල්ලකෑම පිණිස මෙම ණය උගුල භාවිත කරන ලදී.
එම තත්වයට එරෙහිව 1918 සිට 1958 දක්වා සෝවියට් දේශය එහි කර්මාන්ත සංවර්ධන වේගය සියයට 10ක වර්ධන මට්ටමේ තබා ගත්තේය. මෙම කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ කාර්මික සංවර්ධන වේගය සියයට 3.2 වූ අතර බි්‍රතාන්‍යයේ සියයට 1.9ක් ද විය. එම වර්ධන මට්ටම ප්‍රංශයේද සියයට 3.2ක් විය. සමාජවාදය ආරක්ෂා කිරීමට නම් සමස්ත රුසියාවම විද්‍යුත්කරණය කළ යුතු යැයි ලෙනින් පෙන්වා දුන්නේය. විද්‍යුත්කරණය හරහා ජන ජීවිතය උසස් මට්ටමට පත්වන අතර නිෂ්පාදනයද වේගවත් සංවර්ධනයකට යොමුවේ. තවද විද්‍යුත්කරණය පසුපස තාක්ෂණික ඥානය රට තුළ ව්‍යාප්ත වේ. 1920දී ලෙනින්ගේ යෝජනාවක් අනුව අවුරුදු 10කින් විදුලිය කිලෝ වෝට් කෝටි 9000ක් නිපදවීම සඳහා සැලසුම් සකසන ලදී. බි්‍රතාන්‍ය ජාතික එච්.ජී. වේල්ස් විද්‍යා ප්‍රබන්ධකරුවා ලෙනින් සමග මේ පිළිබඳව සාකච්ඡා කළේය. පසුව ඔහු පැවසුවේ, ලෙනින් මනෝරාජ්‍යයක සිරවී ඇති බවය. ඔහු ක්‍රෙම්ලිනයේ සිට සිහින දකින්නේ යැයි වේල්ස් පැවැසීය. බි්‍රතාන්‍යයට තම කර්මාන්ත දියුණුව ලබාගැනීමට අවුරුදු 300ක් පමණ ගතවීම වේල්ස් එසේ සිතන්නට පෙළඹවූ කරුණ වන්නට ඇත. නමුත් සෝවියට් රුසියාව විසින් මෙම ඉලක්කය සම්පූර්ණ කරන ලදී. 1930 ගණන් වන විට සෝවියට් දේශය සතුව කිලෝ වොට් 48,000ක් සපයන විදුලි බලාගාර විය. 1958 දී එය කිලෝ වොට් කෝටි 233,000ක් දක්වා වැඩි විය. 1965 කිලෝ වොට් කෝටි 502,000ක් තරම් විදුලිය ප්‍රමාණයක් සෝවියට් දේශය නිපදවීය. ඒ තුළින් තාක්ෂණය හා කාර්මිකකරණය වඩා වේගවත් විය.
සාර් සමයේ අති බිහිසුණු බිමක් සේ සැලකුණු, සිරකරුවන් පිටුවහල් කළ ප්‍රදේශයක් වූ සයිබීරියාව සමාජවාදය යටතේ කර්මාන්ත පුරයක් බවට පත්විය. 1965 වන විට රුසියාවේ භාවිත යකඩවලින් සියයට 44ක්ද වානේවලින් සියයට 48ක්ද ගල් අඟුරුවලින් සියයට 50ක්ද තෙල්වලින් සියයට 30ක්ද විදුලි බලයෙන් සියයට 46ක්ද දැව නිෂ්පාදනයෙන් සියයට 45ක්ද සයිබීරියාවෙන් ලැබුණි.
මේ අතර චීනය අද ලෝකයේ කාර්මික බලවතාද නැද්ද යන විවාදය පවතී. එය එසේ වුවද පසුගිය කාලයේ චීනය තුළ ඔත්තු බැලීමට ඇමරිකාව විසින් එවනු ලැබූ ගුවන් යානයක් චීන හමුදාව විසින් අල්ලා ගන්නා ලදී. එහි තාක්ෂණය පිළිබඳව පරීක්ෂා කිරීමට යාමේ දී එම ඔත්තු බැලීමේ ගුවන් යානාවේ අමතර කොටස්ද චීනයේ නිෂ්පාදනය කරනු ලැබූ ඒවා බව අනාවරණය විය. වර්තමාන ලෝකයේ සැබෑ කාර්මික බලවතා කවුරුන්ද යන්න විසඳා ගැනීමට මින් රුකුලක් පහසුවෙන් ඔබට ලැබෙනු ඇත. චීනයද මේසා විශාල දියුණුවක් අත්පත් කරගත්තේ 1949 සිට ගෙවුණු වසර 60කට මඳක් වැඩි කාලය තුළය. ඒවා අන් කිසිවක් නොව සමාජවාදී ආර්ථික ජයග්‍රහණයන්ය. මේ වන විට ලොව නිපදවන සියලුම තාක්ෂණික සහ කාර්මික උපකරණ වැඩිම ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදනයන්ය. එමෙන්ම චීනය යනු මිනිසකු අභ්‍යවකාශයට යැවූ ලොව තෙවන රටයි.
තවද ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියට හිමිකම් කියන්නේද චීනයයි. පැයට කි. මි. 200ක වේගයෙන් දුම්රිය ගමන් ගන්නා මාර්ග කි.මි 9300ක් චීනය සතුය.
චීනය සහ ටිබෙටය යා කර ඉදිකරන ලද දුම්රිය මාර්ගය (ීනහ උ්හ) චිනයේ තවත් විශේෂ නිර්මාණයකි. නමුත් පෙරදි මෙය කළ නොහැකි දෙයක් බව ලෝකයේ බොහෝ රටවල් විසින් පවසනු ලැබිණි. එහෙත් සමාජවාදී චීනය එම අභියෝගය ජයගත්තේය.
වියට්නාමය සමාජවාදයට පෙර දරිද්‍රතාවයෙන් පෙළුණු එමෙන්ම පසුගාමී රටක් විය. ජනතාවගේ ජීවිතය පැවැති තත්වයෙන් ඉහළට ඔසවා තැබීමට සමාජවාදය සමත් විය. විප්ලවයට පෙර වියට්නාමයේ දුප්පත්කම හා සමාජවාදය තුළ එහි වෙනස්වීම පහත වගුවෙන් පැහැදිලි කර ගැනීම පහසුය.

වියට්නාමයේ දරිද්‍රතාවය පරාජය කිරීම

වසරසමස්ත ජනගහනයෙන් දුප්පතුන්
ප්‍රමාණය ප්‍රතිශතයක්
1986  75.0
199358.1
199837.4
200229.0
200425.0
200619.0
200716.0
200813.5
20109.5

සමාජවාදය තුළ කෘෂිකර්මය

සමාජවාදී විප්ලවයට පෙර රුසියානු කෘෂිකර්මය පැවැතියේ ඉතාමත් පහත් තත්වයකය. ඒ සඳහා දියුණු තාක්ෂණය භාවිත නොවුණු තරම්ය. ට්‍රැක්ටර් වැනි කෘෂි යන්ත්‍ර ග්‍රාමීය ප්‍රදේශවලට පැමිණියේ 1920 ගණන්වලින් පසුවය. ඉඩම් අයිතියද විශාල ඉඩම් හිමියන් අත වූ අතර සාමාන්‍ය ගොවීන් 300ක් සතු ඉඩම් ප්‍රමාණය සාර් රුසියාවේ එක් ඉඩම් හිමියකු සතු විය. ගම්බද ගොවීහු ඉතාමත් දුෂ්කර ලෙස පැල්පත්වල දිවි ගෙවූහ. සී සෑම සඳහා යොදා ගනු ලැබූයේ ලී නගුල්ය.සැබවින්ම කෘෂි නිෂ්පාදනය දියුණු කිරීම උදෙසා පළමුව එය කාර්මීකරණයට ලක්කළ යුතු විය. දියුණු තාක්ෂණය භාවිතා කළ යුතු විය. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කළ යුතු විය. නව විද්‍යාත්මක කෘෂිකාර්මික ක්‍රමවලට පිවිසිය යුතු විය. පසුගාමී කෘෂිකාර්මික රටවල එය එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා පළමු කොන්දේසිය වන්නේ, මහා පරිමාණ ගොවිපළ ඇති කිරීමය. ඉඩම්වලින් බහුතරයක් සුළු පරිමාණ ඒවා වන රටක එවන් කාර්යයක් අතිශය දුෂ්කර වීම අනිවාර්යයකි. එබැවින් සෝවියට් දේශය සාමූහික ගොවිපළ ආකෘතිය තුළින් සංක්‍රමණීය ගමන් මඟක් ඔස්සේ මහා පරිමාණ ගොවිපළ ගොඩනැගීම වෙත ගමන් කිරීම උපක්‍රමය කොට ගෙන කටයුතු කළේය. කෘෂි පර්යේෂණයන්ට ප්‍රමුඛත්වය, නවීන තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් සමාජවාදී රටවල අවශ්‍ය ආහාර නිපදවා ගත්තාක් මෙන්ම අතිරික්තය ලෝක වෙළඳපොළට එක් කරන ලදී. ඉන් කොටසක් සහෝදර සමාජවාදී රටවල් සමඟ සහනදායී ක්‍රමවලට බෙදා ගැනිණි.
සෝවියට් දේශය කෘෂිකර්මාන්තය වර්ධනය කිරීමේදි වැදගත් කරුණු කිහිපයක් ඉටු කරන ලදී. එම කරුණු කෙටියෙන් මෙසේ විමසා බැලිය හැකිය.

  1. කෘෂිකර්මාන්තය රජයේ ප්‍රමුඛතම කටයුත්තක් සේ සලකා කටයුතු කරන්නට විය.
  2. කෘෂි නිෂ්පාදනය වර්ධනය සඳහා ඉහළ තාක්ෂණය වැඩි වශයෙන් යොදවන ලදී. එහිදී තාක්ෂණික උපකරණ, දියුණු බීජ වර්ග, පොහොර සහ කෘෂි රසායන උපයෝගී කරගන්නා ලදී. පර්යේෂණ ආයතන පිහිටුවා කෘෂි පර්යේෂණ කාර්යය දියුණු කරන ලදී.
  3. එමෙන්ම කුඩා පරිමාණ ගොවියන් සමූහ ගොවිපළ ක්‍රමය දක්වා පරිවර්තනය වීමට උනන්දු කළේය. එසේ ගොඩනැගෙන සමූහ ගොවිපළවලට කෘෂි උපකරණ, තාක්ෂණික දැනුම, පොහොර සහ රසායන ද්‍රව්‍ය ලබා ගැනීමට රජය සහය දක්වන ලදී. තවද කුඩා පරිමාණ, සම්ප්‍රදායික හා අවිද්‍යාත්මක කෘෂිකර්මය අධෛර්යය කිරීමක්ද ඉන් සිදු විය. එනිසා විද්‍යාත්මක හා මහා පරිමාණ කෘෂිකර්මාන්තයේ වර්ධනය හේතුවෙන් කෘෂි නිෂ්පාදනයේ දැවැන්ත ඉහළ යාමක් සිදුවිය.
    1947 වන විට සෝවියට් දේශය තුළ කෘෂිකර්මය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ආයතන 111ක් ස්ථාපිත කරන ලද අතර ඒවාට තවත් ශාඛාවන්ද අයත් විය. එමෙන්ම එම ආයතන එකිනෙක හා සම්බන්ධව ආයතන ජාලයක් ලෙසින් කටයුතු කරන ලදී. එය 1963 වන විට කෘෂි පර්යේෂණ ආයතන 177ක් දක්වාද 1974 වන විට එය කෘෂි පර්යේෂණ ආයතන 222ක් දක්වාද වර්ධනය විය. සමස්ත සෝවියට් දේශයම ආවරණය වන පරිදි බිහිකරන ලද මෙම ආයතන පද්ධතිය තුළ පර්යේෂණ සේවකයින් 35,000ක් පමණ සේවය කරන ලදී. ඒ අතර ආචාර්ය උපාධිධාරීන් 850ක් ක්‍රියාකාරීව කටයුතු කළේය. මෙයින් පැහැදිලි වන්නේ, කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා සමාජවාදී සෝවියට් දේශය ගන්නා ලද සැලසුම් සහගත උත්සාහයේ ප්‍රමාණයයි.
    මේ අතර 1980 වන විට කෘෂිකර්ම ක්‍ෂේත්‍රය තුළ සේවය කළ සෝවියට් ජනතාව මිලියන 26ක් වූ අතර ඒ වන විට ඇමරිකානු එක්සත් ජනපදයේ කෘෂි ජනගහනය මිලියන 6ක් වැනි පහළ අගයක් විය. 1972 – 1975 කාල වකවානුවේ අස්වනු තත්වය ඉතා පහත් මට්ටමට වැටී තිබියදී වුවද ලොව විශාලතම ධාන්‍ය නිෂ්පාදකයා වීමට සෝවියට් දේශයට හැකි විය. ඉන් පසුව 1978දී සෝවියට් දේශය විසින් වාර්තාගත අස්වැන්නක් ලබාගන්නා ලදී. සෝවියට් දේශයේ ධාන්‍ය අස්වැන්න වැඩිවීම පිළිබඳ සංඛ්‍යා දත්ත සටහන පහත දැක්වේ.
    1976 – 1977 මෙට්ට්‍රික් ටොන් මිලියන 10.3
    1977 – 1978 මෙට්ට්‍රික් ටොන් මිලියන 18.4
    1978 – 1979 මෙට්ට්‍රික් ටොන් මිලියන 15.1
    1979 – 1980 මෙට්ට්‍රික් ටොන් මිලියන 30.4
    1980 – 1981 මෙට්ට්‍රික් ටොන් මිලියන 34.0
    1981 – 1982 මෙට්ට්‍රික් ටොන් මිලියන 45.0
    1982 – 1983 මෙට්ට්‍රික් ටොන් මිලියන 46.0
    පෙර නිසරු බිම් ලෙස අත්හැර දමන ලද බිම් රාශියක් සරුබිම් බවට බවට පත්කරන්නට සෝවියට් දේශය සමත් විය. ධාන්‍ය වගාව දැවැන්ත ලෙස වර්ධනය වීම නිසා කසකස්ථානය ‘සෝවියට් දේශයේ ධාන්‍යාගාරය’ ලෙසින් හැඳින්විණි. සෝවියට් දේශයේ මැදිහත් වීමට පෙර එම ප්‍රදේශයෙන් ලබා ගෙන තිබුණේ ධාන්‍ය අස්වැන්න ටොන් 1600 -1900ක් අතර ප්‍රමාණයක් විය. නමුත් සෝවියට් සමාජවාදයේ මැදිහත් වීම මගින් එහි වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 16 (16,000,000) දක්වා ඉහළ නංවන්නට සමත් විය.
    චීනයේ සමාජවාදී සමාජ විප්ලවය හේතුවෙන් එරට කර්මාන්තය මෙන්ම, කෘෂිකර්මාන්තයේද අති විශාල දියුණුවක් ලබා ගෙන තිබේ. පෘථිවියේ මිනිසුන් විසින් ආහාරයට ගන්නා සෑම ඇපල් ගෙඩි 6 කින්ම එකක් චීනයේ නිපදවන ලද්දක් බව වාර්තා වේ. එනම් ලෝක ඇපල් පරිභෝජනයෙන් 6න් එක් පංගුවක් සැපයෙන්නේ චීනයෙනි. මේ උදාහරණයට අනුව වුවද චීනය, ලොව කෘෂිකාර්මික කේෂ්ත්‍රයෙහි දරන ස්ථානය පැහැදිලි වේ. සමාජවාදී චීනයේ කෘෂි නිෂ්පාදන වර්ධනය පහත සඳහන් සංඛ්‍යා දත්ත වගුවෙන් තවදුරටත් පැහැදිලි ලෙස පෙන්වා දිය හැකිය..
කෘෂි නිෂ්පාදනයේ
වර්ගය
1949 නිෂ්පාදනය
(ටොන්)
1999 නිෂ්පාදනය
(ටොන්)
ධාන්‍ය113,180,000508,390,000
කපු444,000831,000
උක්2,642,00074,700,000
පලතුරු1,200,00063,376,000
මස්2,200,00059,609,000
ජලජ නිෂ්පාදන450,00041,220,000

සෝවියට් යුදමය ජයග්‍රහණ

ධනවාදී කඳවුරෙන් වටලනු ලැබ තිබූ සෝවියට් දේශය තම ආරක්ෂාව සමාජවාදය පිළිබඳව ආරක්ෂාව ලෙසම සලකා කටයුතු කළේය. එසේ නොවන්නට ධනපති කඳවුර විසින් සෝවියට් දේශය මෙයට බොහෝ කලකට පෙර බිඳ දමන්නට ඉඩ තිබුණි. දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට් ජර්මනිය පැරදවීමට ප්‍රබල වැඩ කොටසක් කරනු ලැබුයේ සෝවියට් දේශය විසිනි. එය ලෝක ඉතිහාසයට මහත්වූ සාමුහික ක්‍රියාදාමයක්ද, සටන්කාමිත්වයක්ද, ධෛර්යමත් බවක්ද, කැපකිරීමක්ද එක් කළේය. දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් දේශයට අහිමිවූ මිනිස් සම්පත අනෙකුත් යුද වැදණු රටවල් සමඟ සංසන්දනාත්මකව බලන කළ විශාල එකකි. ලෝක යුද්ධයේදී දිවි පිදූ සෝවියට් සෙබළු සහ ජනතාව ප්‍රමාණාත්මකව සලකන්නේ නම් මිලියන 20 කි. එනම් කෝටි දෙකකි. ඇමරිකාවට අහිමි වූයේ සෙබළු 405,000 කි. බි්‍රතාන්‍යයට සෙබළු 375,000 පමණක් අහිමි විය. දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය ඇමරිකානු හා බි්‍රතාන්‍ය සෙබළුන් සංඛ්‍යාවේ එකතුව සෝවියට් පෙරමුණේ කළ දිවිපිදීම් හා සංසන්දනයේදී
නොගිණිය හැකි තරම් සුළු අගයකි. සෝවියට් දේශයේ ජාතික ධනයෙන් සියයට 30ක් එම යුද්ධයෙන් ඔවුනට අහිමි විය. 70,000 කට අධික නගර සහ ගම්මාන සහ මුලින්ම විනාශයට පත් විය. රට යළි ගොඩනැගීමේ අභියෝගය කෙලෙස වී දැයි මෙම විනාශයේ ප්‍රමාණයෙන් මනාව පැහැදිලි වේ.
එහෙත් මෙවන් පසුබිමක සිටියදී පවා සමාජවාදී කඳවුර බිහිවීමෙන් පසුව එම රටවල ආරක්ෂාවට සහය දැක්වූයේ සෝවියට් දේශයයි. ඒ අනුව සමාජවාදී සෝවියට් දේශය ඉතා ඉක්මනින් ඉතා තියුණු යුද ශක්තියක් අත්පත් කරගන්නා ලද බව පැහැදිලි වේ. එරට විසින් ශක්තිමත් ගොඩබිම්, නාවික හා ගුවන් හමුදාවක් ගොඩ නගා ගන්නා ලදී. එමෙන්ම ඉතා දියුණු තාක්ෂණික උපකරණ රාශියක් සෝවියට් දේශය විසින් නිෂ්පාදනය කිරීමට සමත් විය. අන්තර් මහද්වීපික මිසයිල, යුද නෞකා, ගුවන් යානා, සබ්මැරීන් සහ න්‍යෂ්ටික අවි අභ්‍යන්තරව නිෂ්පාදනය කර ගැනීම අතින් සෝවියට් දේශය ලොව අන් රටවලට වඩා ඉදිරියෙන්ම විය. 1957 වසරේ ප්‍රථම අන්තර් මහාද්වීපික මිසයිලය නිපදවීමටද සමාජවාදී සෝවියට් රාජ්‍යය සමත් විය. එපමණක් නොව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් සහ නෞකාද සෝවියට් දේශය විසින් නිෂ්පාදනය කරන ලදී. එහෙත් සෝවියට් දේශය ඒවා විනාශකාරී ලෙස යොදා නොගත්තේය. සුප්‍රකට ස්වයංක්‍රීය ගිනි අවියක් වන ්ණ-47 නිපදවන ලද්දේ සෝවියට් දේශයයි. ලොව පුරා ප්‍රචලිත මිග් ප්‍රහාරක ගුවන් යානා, එමෙන්ම ඇන්ටනොව් ප්‍රවාහන ගුවන් යානා, දෙවන ලෝක යුද්ධයේදී ප්‍රහාරක කටයුතු සහ ප්‍රවාහන කටයුතු සඳහා සෝවියට් දේශය විසින් නිපදවන ලද දියුණු යානාවන් වේ.


සෝවියට් අභ්‍යවකාශ ජයග්‍රහණ

අප වසන පෘථිවියට ශක්තිය සපයන සූර්යයා තව වසර කෝටි පන්සියයකට ආසන්න කාලයක් පවතිනු ඇතැයි යන්න විද්‍යාත්මක සත්‍යයකි. ඉන් පසුව ශක්ති උත්පාදනය නතරව යාමෙන් සූර්යයා විනාශ වනු ඇත. ඒ වන විට මිහිකත ද එහි ශක්තිය නොලැබීයාමෙන් අජීවි ග්‍රහ ලොවක් බවට පත්වනු ඇත. ඉන් පසු මානව වර්ගයාගේ පැවැත්ම අවසන් වනු ඇතිද? මිනිසා විශ්වයේ හුදකලා සහ අසරණයෙකු ලෙසින් තම අනාගතය ගතකරයිද? එය එසේ නොවේ. මිනිසා නැමැති කිසිදා පසු නොබාන සුළු සත්වයා එම අභියෝගය නියත වශයෙන්ම ජයගනු ඇත. ඔහු විශ්වයේ විවිධ සම්පත් මිනිස් වර්ගයාගේ යහපත උදෙසා යොදාගනු ඇත. මිනිසා සතු විශ්වයේ රහස් සෙවීමේ නොසිඳෙන කුතුහලය විසින්ම එයට මංපෙත් සකසා ගනු ඇතැයි දාර්ශනික සුභවාදයක සිට දකින්නෙකුට නම් අරුමයක් නොවේ. එවන් මාවතක් වෙත මිනිසා තබන යෝධ පියවරක් වනුයේ අභ්‍යවකාශ තරණයයි. ධනවාදී ලෝකයට නම් එය ලාභය, තරගය හා යුදමය හේතු සමඟ බැඳුණු ආයෝජනයක් පමණි. සමාජවාදය එය යොදාගනුයේ ඉහත කී පුළුල් අරමුණෙනි. මානව වර්ගයාගේ ජයග්‍රහණය උදෙසාය.
සෝවියට් දේශය තම අභ්‍යවකාශ ගවේෂණ කටයුතු අරඹන ලද්දේ 1930 ගණන්වල සිටය. 1957 ඔක්තෝබර් 04 දින ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට වසර 40ක් පිරෙද්දී සෝවියට් දේශය විසින් ලොව ප්‍රථම කෘත්‍රීම චන්ද්‍රිකාව වන ස්පුට්නික් 1 කක්ෂගත කරන ලදී. මානව වර්ගයාගේ අභ්‍යවකාශ යුගය ඉන් ආරම්භ විය. දෙවනුව ස්පුට්නික් 2 මගින් ලයිකා නැමැති බැල්ල අභ්‍යවකාශයට යවමින් විශ්ව තරණයේ තවත් යෝධ පියවරක් සමාජවාදී සෝවියට් දේශය විසින් තබන ලදී. අභ්‍යවකාශය තරණය කරන ලද ලොව ප්‍රථම පෘථිවි ජීවියා ලෙස ලයිකා බැල්ල ඉතිහාසයට එක්වේ. ඒ, 1957 නොවැම්බර් 3වැනිදාය. එපමණක් නොව පළමු වරට මිනිසෙකු අභ්‍යවකාශ තරණයට යෙදවූයේද සෝවියට් දේශයයි. ඒ අනුව 1961දී වොස්ටොක් 1 අභ්‍යවකාශ යානය මඟින් යූරී ගගාරීන් අභ්‍යවකාශ ගත විය. ලොව පළමු වරට අභ්‍යවකාශ ගතවූ ප්‍රථම කාන්තාව වූයේද සෝවියට් දේශයේ වැලැන්ටිනා තෙරෙෂ්කෝවාය. ඇය 1963 වොස්ටොක් 6 අශ්‍යාවකාශ යානයෙන් අභ්‍යවකාශ ගත විය. මිනිසුන් රහිත යානයක් ප්‍රථමයෙන්ම අභ්‍යවකාශ ගත කරනු ලැබූයේද සෝවියට් දේශය විසිනි. එය ලූනා 2 යානය නම් විය. පළමු වරට මිනිසකු රහිත යානයක් හඳ මතට ගොඩබස්සවනු ලැබූයේද සෝවියට් දේශයයි. මේ සියල්ල මානව වර්ගයාගේ සුවිශේෂී ජයග්‍රහණයන් බව නිතැතින්ම පිළිගැනෙන දෙයකි.

සෝවියට් දේශයේ ක්‍රීඩා ජයග්‍රහණ

අධිරාජ්‍යවාදී බලවතකු වන ඇමරිකාව වැනි රටවල ආකාරයෙන් ප්‍රදර්ශනාත්මක ලෙස මිනිසුන් අභ්‍යවකාශයට යවා මහපොළවේදී ඔවුන් නොසලකා හැරීමක් සෝවියට් දේශයේ සිදු නොවීය. ඒ වෙනුවට පෘථිවියේද, අභ්‍යවකාශයේද සමස්ත මානව වර්ගයා දිනවීම උදෙසා සමාජවාදය උපයෝගී කරගන්නා ලදී. සමාජවාදී රටවල් ක්‍රීඩාව කෙරෙහි දක්වන ලද ආකල්පයෙන් එය මනාව පැහැදිලි වේ. රටක සංවර්ධනය, එහි දියුණුව සැඟවිය නොහැකි ලෙස මතුවී පෙනෙන ක්‍ෂේත්‍රයක් ලෙස ක්‍රීඩාව පෙන්විය හැකිය. අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද සමාජවාදී රටවල් වැඩි අවධානයක් යොමු කළේය. සෝවියට් දේශය, නැගෙනහිර ජර්මනිය, කියුබාව, චීනය වැනි රටවල් තුළ ක්‍රීඩකයින් ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී දක්වන ලද දස්කම් අති විශිෂ්ටය. අද සමාජවාදී කඳවුර තුළ ඉතිරිවී ඇති රටවල් කිහිපයක උදාහරණ වුවද එම යථාර්ථය ඔප්පු කිරීමට සාක්ෂි සපයයි. ක්‍රීඩාව මුදල් උපයන ව්‍යාපාරයක් කිරීම වෙනුවට ක්‍රීඩාව ශාරීරික හා මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ මෙන්ම හොඳ මිනිසෙකු
ගොඩනැගීමේ මාධ්‍යයක් ලෙස සමාජවාදී රටවල් සැලකීය. ඔවුන් විසින් ක්‍රීඩාව යොදා ගැනුණේ එම අරමුණෙන් යුතුවය.
ඔලිම්පික් තරගාවලිය යනු ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල වේ. අද එහි ප්‍රමුඛස්ථානයක සිටීමට සමාජවාදී චීනය සමත්ව සිටියි. සෝවියට් දේශය බිඳවැටීමට පෙර ඔලිම්පික් තරගාවලියේ අඛණ්ඩව ඉදිරි පෙළෙහි සිටීමට තරම් එම රට සමත් විය. සෝවියට් දේශය මුලින්ම ඔලිම්පික් තරගවලට සහභාගි වන්නේ 1952 දීය. එතැන් සිට සෝවියට් දේශය බිඳ වැටෙන තෙක් එහි පදක්කම් සටහන පහත දැක්වෙන පරිදි විය.

වර්ෂයපැවැත්වූ ස්ථානයරන්රිදීලෝකඩලබාගත්
ස්ථානය
1952හෙල්සින්ස්කි22301902
1956මෙල්බෝන්37293201
1960රෝමය43293101
1964ටෝකියෝ30313502
1968මෙක්සිකෝ29323002
1972මියුනිච්50272201
1976මොන්ට්‍රියෙල්49413501
1980මොස්කව්80694601
1984ලොස් ඇන්ජලීස් **
1988සියොල්55314601
* 1980 දී මොස්කව්හි පැවැත්වූ ඔලිම්පික් උළෙල ඇ.එ. ජනපදය විසින් වර්ජනය කළ නිසා මෙවර සෝවියට් දේශය සහභාගි නොවීය.

ලොව වැඩිම ඔලිම්පික් පදක්කම්ලාභීන් අතර සමාජවාදයේ බල මහිමයෙන් බිහි කළ ලැරිස්සා ලැට්යානිනා (පදක්කම් 18 යි), නිකොලොයි ආන්ඩ්‍රපෝෆ් (පදක්කම් 15 යි) ආදීන් වේ. මේ අතරට සමාජවාදී සෝවියට් දේශයේ සර්ජි බුබ්කා වැනි අනභිබවනීය ක්‍රීඩකයින්ද විය. රිටි පැනීමේ ක්‍රීඩාවේ ඔහු තරම් විශිෂ්ටයෙක් මෙතෙක් ලොව බිහිවී නැත. ඔහු රිටි පැනීමේ ඉසව්වෙන් තමන් තැබූ ලෝක වාර්තාවන්ම යළි යළිත් තමන් විසින්ම 35 වතාවක් බිඳ දමා ඇත. ලැරිස්සා ලැට්යානිනාද එවැනිම වූ ලෝකයේ අග්‍රගණ්‍ය ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකි. සෝවියට් දේශයේ පාසල්, කම්හල්, වැඩබිම් ආදී සෑම තැනකදීම නිරෝගි දිවියක් වෙනුවෙන් එම ජනතාව ක්‍රීඩා සහ ව්‍යායාම්වලට යොමු කරවනු ලැබිණි.
ක්‍රීඩා ක්‍ෂේත්‍රයේද මේ වන විට චීනය ඉදිරියට එමින් සිටින රටක් බවට පත්ව ඇත. 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේදී ලොව වැඩිම පදක්කම්ලාභියා වීමට චීනයට හැකි විය. ලෝකයේ සමාජවාදී කඳවුරේ බොහෝ රටවල් බිඳ වැටෙද්දී සමාජවාදයේ ධජය දරාගනිමින් චීනය තවමත් සමාජවාදී අපේක්ෂාවන් සහිතව ඉදිරියට යමින් සිටියි.
සමාජවාදී කියුබාවද ‘සියලු දෙනාටම ක්‍රීඩාව ’ යන තේමාව යටතේ එයට ප්‍රමුඛත්වයක් දී ඇත. හොඳ ක්‍රීඩකයින් පුහුණුකරුවන් ලෙස රටවල් 50කට වැඩි ප්‍රමාණයකට යවා ඇත. කියුබාවේ ක්‍රීඩාව පවතින උසස් මට්ටම මැනෙන උදාහරණයක් මෙසේය. 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට රටවල් 200ක් සහභාගි විය. කෝටි 122ක ජනගහනයකින් යුත් ඉන්දියාව පවා එහිදී ලබා ගනු ලැබූයේ 55වැනි ස්ථානයයි. එහෙත් කියුබාව රන් පදක්කම් 05ක්ද රිදී 03ක්ද ලෝකඩ 07ක් වශයෙන් සමස්ත පදක්කම් ප්‍රමාණය 15ක් ලබමින් 16වැනි ස්ථානය දිනාගත්තේය. 2016 ඔලිම්පික් සත්කාරක වරම් ලබා සිටි ජනගහනය කෝටි 20.5ක් වූ බ්‍රසීලය පදක්කම් සටහනේ 22 ස්ථානයට පත්විය. 2016 රියෝ ඔලිම්පික් උළෙලෙහි කියුබාව රන් පදක්කම් 5ක්ද රිදී පදක්කම් 2ක්ද ලෝකඩ පදක්කම් 11ක්ද ලබමින් 18 වන ස්ථානයට පත් විය. නමුත් ජනගහනයට සාපේක්ෂව (ඒක පුද්ගල) ඔලිම්පික් පදක්කම් ලැබීම වැඩිම දෙවන රට කියුබාවයි. තවද ජනගහනයට සාපේක්ෂව අන්තර්ජාතික (ඒක පුද්ගල ) පදක්කම් ලැබීමේ වැඩිම රට කියුබාවයි. කියුබාවේ මුදලට ක්‍රීඩා කිරීමට වඩා විනෝදය වෙනුවෙන් ක්‍රීඩා කිරීම දිරිගන්වයි. වෘත්තීය ක්‍රීඩකයින් සිටින නමුත් තරග පාවා නොදෙන, මුදලට විකිණෙන්නේ නැති ක්‍රීඩා සදාචාරයක් එරට සතුවේ.
මෙසේ ක්‍රීඩාව තුළින් නීරෝගිමත් ජනතාවක්, විශිෂ්ට ගණයේ මිනිසුන් බිහි කරලමින් සමාජවාදය, මුදලට නොවන මානවයාගේ සතුට, විනෝදය, යහපත් සෞඛ්‍යය ප්‍රමුඛ කොටගත් ක්‍රීඩාවක් ප්‍රචලිත කළේය. ඒ තුළින් සමාජය වෙත නව ආශ්වාදයක් හා ජවයක් එක් කරන්නට සමත් විය.

සෞඛ්‍ය තත්වය

සමාජවාදය ගොඩනැගීමේදීද, ඒ සඳහා නිෂ්පාදනය වැඩි දියුණු කිරීමේදීද ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව තීරණාත්මකය. මානව සම්පතෙහි කායික හා මානසික නිරෝගිභාවය නොමැති වූ තැන සමාජය දුබල වනවා මිස ධෛර්යයෙන් ඉදිරියට නොයයි. සෞඛ්‍ය සඳහා සමාජවාදී රජය දරනු ලබන වැය සහ වෙහෙස මඟින් මෙය තීරණය වේ. ධනවාදී රටවල සෞඛ්‍යය ඵලදායී සමාජ ආයෝජනයක් නොව පුද්ගලික ලාභය පදනම්වූ ප්‍රාග්ධන ආයෝජනයක් පමණකි.
කියුබාවේ විශේෂ ජයග්‍රහණයන් රාශියක් අතර සෞඛ්‍ය කේෂ්ත්‍රය යනු විශේෂයෙන්ම සැලකිල්ලට ලක්කළ යුතු එකකි. කියුබාවේ පෞද්ගලික රෝහල් හෝ සායන නොමැත. සෞඛ්‍ය වගකීම සහමුලින්ම රජය විසින් දරනු ලබයි. ආරම්භයේදී සෝවියට් දේශයේ ආධාර සහිතව කියුබාව තම සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වර්ධනය කරගත් අතර, අද වන විට ස්වාධීනවම එහි වර්ධනයක් ලබාගනිමින් සිටියි. කියුබාව තම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 7.3ක් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරයි. සෞඛ්‍ය තත්වය ඉහළ නංවා ගැනීම තුළ කියුබානු ජනතාව 1959 දී වසර 58ක් වූ ආයු අපේක්ෂිත කාලය දැන් වසර 78ක් දක්වා වර්ධනය කොට ගෙන තිබේ. ඒ පිරිමියෙකුට වසර 78ක් සහ ගැහැනියකට වසර 80ක් වශයෙනි. ලෝකයේ ළදරු මරණ අනුපාතය පහළම රටවල් අතරින් තෙවන ස්ථානය කියුබාවට හිමිව තිබේ. 1959 කාලයේ 1000 කට 93.9ක් වූ කියුබානු ළඳරු මරණ අනුපාතය මේ වන විට 1000 කට 4.2ක් දක්වා අඩු කර තිබේ. මේ වන විට බොහෝ ලතින් ඇමරිකානු රටවල ළදරු මරණ අනුපාතය කියුබාවේ මෙන් දස ගුණයක පවති. ඇමරිකා එක්සත් ජනපදයේ ළදරු මරණ අනුපාතය උපත් 1000කට 7ක් වශයෙන් කියුබාවට වඩා 2.8ක ඉහළ අගයක් ගනියි. 1957 කියුබානු ජනගහනය 1000,00කට (ලක්ෂය) වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් 128ක් වූ අතර මේ වන විට ජනගහනය ලක්ෂයකට වෛද්‍යවරුන් 627ක් සහ දන්ත වෛද්‍යවරුන් 94ක් වශයෙන් සිටියි. එහෙත් තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනය ලක්ෂයකට වෛද්‍යවරුන් සිටින්නේ 225ක් හා දන්ත වෛද්‍යවරුන් 54ක් පමණි. ජනගහන අනුපාතයට අනුව කියුබාවේ වෛද්‍යවරුන් සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයට වඩා දෙගුණය ඉක්මවයි. ඒක ශීර්ෂ වශයෙන් බැලුවද කියුබාව ලොව වැඩිම වෛද්‍යවරුන් සිටින රටයි. එය 850,00කි. ඉන් 15,400ක් කියුබාවේ ජාත්‍යන්තර යුතුකම ඉටුකිරීම වෙනුවෙන් රටවල් 66ක සේවය කරති. කැරිබියානු කලාපයේ ඉතාමත් හොඳින් ඒඞ්ස් පාලනය කළ රට වන්නේද කියුබාවයි. ඒඞ්ස් රෝගීන් ප්‍රමාණය 2003 දී ජනගහනයෙන් සියයට 0.05ක් වූ අතර, අනෙකුත් කැරිබියානු දූපත් වල එම ප්‍රතිශතය සියයට 1ත් සියයට 4ත් අතර ප්‍රතිශතයකි.
වසංගත රෝග පාලනය අතින්ද කියුබාව ඉහළින්ම සිටින අතර ඩෙංගු වැනි මාරාන්තික රෝග සහමුලින්ම මැඩ පැවැත්වීමට කියුබාව සමත් විය. සමාජවාදී කියුබාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන යන කේෂ්ත්‍ර දෙක අගය කිරීමෙන් වැළකීමට ධනේශ්වර ආයතනයන්ට පවා නොහැකිවී ඇත. ඊඊක්‍ ආයතනය “විශිෂ්ටතම මහජන සේවය පවතින රට කියුබාව ලෙස හඳුන්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තවත් විවිධ සංවිධාන රාශියක්, කියුබානු සෞඛ්‍ය තත්වය පැසසුමට ලක් කරයි.
සමාජවාදී වියට්නාමයේද සෞඛ්‍යය තත්වය වර්ධනය ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී. වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රමාණය 1995දී සියයට 51ක් වූ අතර 2010දී සියයට 18කි. ළදරු මරණ අනුපාතිකය 1990දී උපත් 1000කට මරණ 81කි. 2008 වසරේ දී එය මරණ 20 දක්වා පහත හෙළා ඇත. 1990දී මාතෘ මරණ සංඛ්‍යාව උපත් 100,000කට (ලක්ෂය) 223කි. 2007 වසරේදී එය උපත් 100,000 කට 56ක් බවට පහත හෙළා ඇත. වියට්නාම් ජනතාවගේ ආයු අපේක්ෂිත කාලය 1990 දී අවුරුදු 62කි. 2007දී එය අවුරුදු 72ක් බවට පත්කොට තිබේ.
මේ අතර උතුරු කොරියාවේ කර්මාන්ත ශාලා හා පතල් බිම් ආශ්‍රිතවද රෝහල් පිහිටුවා ඇත. එයින් බලාපොරොත්තු වන්නේ වැඩබිම් තුළදීම සෞඛ්‍ය දැනුම, රෝග වැළැක්වීම හා ප්‍රතිකාර ලබාදීමයි.
එනිසා සමාජවාදය නිරන්තරයෙන් නීරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාව තම සම්පත කොට සලකයි. ඒ අනුව සෞඛ්‍යය වෙනුවෙන් ජාතික ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කරයි. එබැවින් සමාජවාදය නිරන්තරයෙන් රෝග වැළැක්වීමේත්, රෝග සුවපත් කිරීමේත් කාර්යයේදී ජනතාවාදී ලෙස එහි ඉදිරියෙන්ම සිටියි.

නව මිනිසා ගොඩනැගීම

අධ්‍යාපනය, විද්‍යා, තාක්ෂණය, කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ක්‍රීඩාව, සාහිත්‍යය, කලාව ආදී ලෙස ඕනෑම ක්‍ෂේත්‍රයක් ඔස්සේ සෝවියට් දේශය විප්ලවයෙන් පසු ලබාගත් සමාජවාදී ජයග්‍රහණයන් රාශියක් පිළිබඳව උදාහරණ පෙන්වා දිය හැකිය. සෝවියට් දේශයේ පමණක් නොව මුළු මහත් සමාජවාදී කලාපයේම අත්දැකීම මෙයයි. අද අප අතර ඉතිරිවී ඇති සමාජවාදී රටවල් ගත්තද ඒ සඳහා බොහෝ උදාහරණ වෙයි. අද වන විට ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රට වන්නේ සමාජවාදී චීනයයි. 2008 ඔලිම්පික් තරගාවලියේදී වැඩිම පදක්කම්ලාභී රට වූයේද සමාජවාදී චීනයයි. ලොව වැඩිම ජනගහනය සහිත රට වන චීනය එම සියලු ජනතාවන්ට ආහාර, අධ්‍යාපනය ලබාදීමට සමත්ව ඇත. එසේම ලොව හොඳම සෞඛ්‍ය ආරක්ෂාවක් සහිත රටවල් අතුරින් කියුබාවට ලැබී ඇත්තේ ඉහළම තැනයි. එය කිසිවකුට අභියෝග කළ හැකි දෙයක් නොවේ. ධනවාදී කඳවුරේ මහත් සම්බාධකයන් හමුවේ මේ වන විටද කියුබාව නොසැලී තම සමාජවාදී ආර්ථිකය පරෙස්සමින් ජනතා හිතකාමීව පවත්වා ගනිමින් සිටියි.
සමාජවාදය භෞතික වශයෙන් ලබාගන්නා ජයග්‍රහණයන් අතර තවත් සුවිශේෂි මෙන්ම අත්‍යවශ්‍ය වූ කරුණක්ද ඇත. එය නම් සමාජවාදය උදෙසා වන නව මිනිසකු ගොඩනැගීම පිළිබඳව වුවමනාව හා ක්‍රියාකාරිත්වයයි. සමාජවාදී සංවර්ධනයේ අඛණ්ඩ හුයක් ලෙස නව මිනිසා බිහි කිරීම පිළිබඳව වුවමනාව දිවයයි. සමාජවාදය ජයග්‍රහණය කිරීම උදෙසා පෞද්ගලික දේපළ ක්‍රමය තුළ තම ආත්මාර්ථය හෙවත් ලාභය මත සිතන, මතන, ජීවත්වන මිනිස් අංශුවක් වෙනුවට මුළු මහත් මානව වර්ගයාගේ පොදු යහපත උදෙසා සිතන, මතන, කටයුතු කරනු ලබන සාමූහික චින්තනය සහිත මිනිස් යෝධයකු අවශ්‍යය. විශේෂයෙන්ම අධ්‍යාපනයද සාහිත්‍යයද, කලාවද, ක්‍රීඩාවද, මේ අරමුණ පෙරදැරි කරගෙන උපයෝගී කරගැනීම සමාජවාදයේ ක්‍රමවේදයයි. ෂවර්ස් කරපෙත්යාන් යනු වසර කිහිපයක් තුළ පිහිනුම් ලෝක වාර්තා 17ක් පිහිටවූ ක්‍රීඩකයෙකි. ඔහු ලෝක ශූරතා 11ක් ලැබූවෙකි. මොහු සෝවියට් සමාජවාදය විසින් ගොඩ නගන ලද නව මිනිසා කෙසේද යන්නට දැවැන්ත උදාහරණයකි. සැබවින්ම ඔහු ලෝක ශූරයෙකි. එමෙන්ම ශ්‍රේෂ්ඨ වීරයෙකි. ඒ ක්‍රීඩා ජයග්‍රහණයන්ගෙන් පමණක් නොව පිරිපුන් මනුෂ්‍යත්වයෙනි. ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකදී ඔහු එය මැනවින් තහවුරු කොට තිබේ. ඒ 1976 සැප්තැම්බර් 16 වෙනිදාය. එදින තම සොයුරු කාමො සමඟ ෂවාර්ෂ් කර්පෙත්යාන් යෙරෙවාන් ජලාශය අසල පුහුණුව පිණිස දුවමින් සිටියේයය ඔවුහු කිලෝමීටර් 20 සම්පූර්ණ කළා පමණි. එක් වරම මහා හඬක් නඟමින් ට්‍රොලි බස් රථයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් කරපෙත්යාන් සහ සොයුරා දුවමින් සිටි අසලින්ම ජලාශයට ඇද වැටිණ. ලොව දක්ෂතම ක්‍රීඩකයාටද වඩා ඉහළින් වන මානව ප්‍රේමියා ක්‍ෂණිකව ක්‍රියාත්මකව ගිලුණු බස් රථයේ සිටි මිනිසුන් බේරා ගැනීම සඳහා ජලාශයට පැන්නේය. කිලෝමීටර් 20ක් දිවයාමෙන් අධිකව උණුසුම්ව තිබූ සිරුරට ජලාශයේ අධික සීතල දරාගත නොහැකි තරම් විය. ජලාශය මීටර් 25ක් පමණ ගැඹුරු විය. බසය තිබූ ස්ථානයට ළඟාවීමට කරපෙත්යාන්ට මීටර් දහයක ගැඹුරට කිමිදෙන්නට සිදුවිය. ඔහු වහා ට්‍රොලි බසයේ පසුපස වීදුරුව සොයා ගත්තේය. ක්‍ෂණිකව එයට පා පහරක් එල්ල කොට ඔහු බසයේ සිරව සිටි මිනිසුන් පිටතට රැගෙන ඒම ආරම්භ කළේය. වීදුරුවට කැපී තම කකුලෙන් අධිකව ලේ ගලමින් තිබියදීම ඔහු ට්‍රොලි බසයේ සිරව සිටි මිනිසුන් ජලය මතු පිටට ගෙනවිත් තම සොයුරාට භාර කළේය. බස් රථයේ මඟීහු 52ක් සිටියෝය. කාලය ඉතා සීමිත බව ඔහුට වැටහිණ. එක් එක් මිනිසකු වෙනුවෙන් තත්පර 30ක් 35කට පමණ වඩා වැය කළ නොහැකි විය. එබැවින් ඔහු වෙහෙස නොබලා අඛණ්ඩව අධික වේගයෙන් තම කාර්යයේ නියළිණ. ජීවිතාරක්ෂක බෝට්ටුද වහා ඒ අසලට පැමිණියේය. වහාම එතනට බසය ගොඩ ගැනීම පිණිස දොඹකර යන්ත්‍ර පැමිණෙන විට කරපෙත්යාන් විසින් විනාඩි 20ක් තුළ මිනිසුන් 20ක් බේරාගෙන තිබිණ. අවසන අධික ලෙස රුධිරය ගලායාමෙන් හා අයිස් මෙන් වන ජලයේ පොර බැදීම විසින් වෙහෙසව ඔහු ක්ලාන්ත විය. කරපෙත්යාන්ද රෝහල් ගත කෙරිණ. ඔහුට නැවත සිහිය එන්නටද බොහෝ කලක් ගත විය. පසුව ගිලෙන්නට ගිය ‘මිනිසුන් බේරා ගැනීම වෙනුවෙන් වූ විශේෂ සම්මානයෙන්’ද ‘ගෞරවයේ පදක්කමෙන්’ද කරපෙත්යාන්ට ඔහුගේ වීර ක්‍රියාව වෙනුවෙන් පුදනු ලැබීය. 1985 පෙබරවාරි 19දා තවත් මෙවන් සිදුවීමක් වාර්තා විය. ඒ ඔහු තවත් වරෙක ගින්නට හසුවූ මිනිසුන් බේරා ගැනීම සඳහාද ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු අවස්ථාවයි. ඔහු මාර්ගයේ ගමන් කරමින් සිටියදී රුසියාවේ උස් ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබෙනු දක්නා ලදී. එහිදී මිනිසුන් බේරා ගැනීම වෙනුවෙන් ඔහු වහා ගින්න අතරින් ගොඩනැගිල්ල තුළට කඩා වැදිණ. ගින්නට හසුවූවන් බේරා ගැනීමට ගන්නා ලද උත්සාහයේදී දැඩි ලෙස ඔහුගේ සිරුර පිලිස්සී තිබිණ. ඒ, සමාජවාදය යටතේ හැදී වැඩුණු ක්‍රීඩකයාය. එනම් තම ජීවිතය පරදුවට තබා හෝ මිනිසුන් වෙනුවෙන් කැපවන සමාජවාදී මිනිසාය. මේ ඒ සඳහා පුළුල් සාක්ෂි බොහොමයක් අතරින් විශිෂ්ටතම වූ එක් උදාහරණයක් පමණි. එහෙත් ධනවාදී ලෝකයෙන් අපට හමුවන්නේ මුදල් වෙනුවෙන් ඕනෑම පහත් තත්වයකට වැටෙන ක්‍රීඩකයන්ය. ශ්‍රී ලංකාවේද ඒ සඳහා වන උදාහරණයන් බොහොමයකි.
කියුබාවේ ප්‍රකට බොක්සිං සූරයකුවූ ටියෝෆිලෝ ස්ටීවන්සන්ට මුදල් සඳහා ක්‍රීඩා කිරීමට ලද ආරාධනයකදී ඔහු දක්වන ලද ප්‍රතිචාරයද මීට වෙනස් කදිම උදාහරණයකි. “ඇමරිකානු ඩොලර්වලට වඩා කියුබානු ජනතාවගේ ආදරය මට වටී” යන්න ඔහුගේ ප්‍රතිචාරය විය. එයින් ප්‍රකට වන්නේ සමාජවාදය උදෙසා නිර්මාණය වන මෙම නව මිනිසාගේ ස්ථීර සාර සහ මිනිසාට ප්‍රේම කරන ගුණයයි. මුදල් මත ගොඩනගන ආත්මාර්ථකාමිත්වය ඔහුගේ ඇගයීම් නොවේ. ගොර්කි, ෂෝලහොව්, අයිත්මාතව් ආදී දක්ෂ සාහිත්‍යකරුවන් රැසක් සමාජවාදය තුළ නිර්මාණය විය. දාර්ශනික සුභවාදය, සාමූහිකත්වය, පෞද්ගලික ජයග්‍රහණ වෙනුවට සාමූහික ජයග්‍රහණ අපේක්ෂා කිරීම, සමාජ සංවර්ධනය පිළිබඳව අපේක්ෂාවන් ආදිය ඔවුහු භාවිතා කළ සමාජවාදී කලාව හා සාහිත්‍යය තුළ ගැබ් විය. එම කලා සාහිත්‍යමය බලපෑම් සමාජවාදී කලාපයට පමණක් නොව මුළු ලෝකයටම අද දක්වාත් ප්‍රබල බලපෑමක් සිදුකරයි.
සමාජවාදය ජනතාවට බොහෝ ජයග්‍රහණයන් ගෙන දුන්නද සමාජවාදී කඳවුර බිඳ වැටුණි. එයට හේතුව මාක්ස් ලෙනින්වාදයේ යල් පැන යාමක්ද? සමාජවාදය පිළිබඳ අත්හදා බැලීම්වල වරදක්ද? නැතිනම් ධනවාදයේ නිරවද්‍යතාවය තහවුරු කරන්නක්ද? යන්න විමසා බැලීම අපගේ කෘතියෙහි මූලික අරමුණයි. දැන් අප එම ඉලක්කය අරමුණු කොටගත් අධ්‍යයනයක් වෙත ප්‍රවේශ වෙමු.
මේ සියල්ල ගෙන බලන විට පැහැදිලි වන්නේ සමාජවාදය අතිශය සැලසුම් සහගතව, මධ්‍යගත මෙහෙයුමකින් යුක්තව තම රටවල ආර්ථිකය මෙන්ම ඒ හා බැඳුණු අධ්‍යාපනය, සාහිත්‍යය, සෞඛ්‍යය, ක්‍රීඩාව හා විද්‍යාත්මක දියුණුව ධනවාදයට වඩා බෙහෝ ඉදිරියෙන් මෙහෙයවමින් සිටි අතර පවතින සමාජවාදී රටවල්ද එසේ සිටින බවයි. එනිසාම එදා සෝවියට් දේශය, වර්තමානයේ චීනය ලෝකය තුළ ප්‍රබල භූමිකාවක් බවට පත්ව තිබේ. එමෙන්ම සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩාව ආදී විවිධ කේෂ්ත්‍රයන් ඔස්සේ වත්මන් කියුබාවද ලොව ප්‍රබල භූමිකාවක් ඉටුකරමින් සිටියි. ධනවාදයට වඩා මෙම රටවල ජන ජීවිතය එසවී තිබුණේ නම් ඒවා බිඳවැටුණේ ඇයි යනුවෙන් ප්‍රශ්නයක් ඇතිවිම ස්වභාවිකය. මෙයින් ඉදිරියට ඒ සඳහා වන නිවැරදි පිළිතුර සොයාගන්නට අපි උත්සාහයක් දරමු.

“සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය” කෘතිය මෙතනින් කියවන්න – (pdf)