සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 9, 2020
සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 10, 2020
Show all

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

03 – පරිච්ඡේදය

පසුගාමී රටක සමාජවාදය හමුවේ වන අභියෝග

සමාජ පසුගාමීත්වය යනු යම් රටක් ගෝලීය සමාජ සංවර්ධනයට සාපේක්ෂව එහි පසුපසින් ගෑටීමයි. ධනේශ්වර සමාජ ආර්ථිකය තුළ එහි පූර්ව සමාජයන්හි සමාජ ආර්ථික හා චින්තන මට්ටම් වැඩිපුර දක්නට ලැබේ නම් එය සමාජ පසුගාමීත්වයයි. එවන් පසුගාමී රටවල සමාජවාදය ගොඩනැගීමේදී විශේෂ වූ ගැටලු ගණනාවක් දක්නට ලැබේ. සමාජ සංවර්ධනයේදී දියුණු ධනපති රටවල් ධනවාදය තුළම කල් බලමින් සිටිද්දී පසුගාමී සංවර්ධනයක් සහිත ධනපති රටක සමාජවාදය ගොඩනගන විට මුහුණ දෙන ගැටලු මෙහි ප්‍රධාන වේ. එවිට ධනවාදී ලෝකය එවන් රටවල සමාජවාදය පරාජය කිරීම උදෙසා වට කොට පහර දෙනු ලබයි. කෙසේ වෙතත් එවන් පසුගාමීත්වය විසින් සමාජවාදය ගොඩනැගීමේදී මතු කරනු ලබන අභියෝගයන් ගණනාවක් දක්නට ලැබේ. ඒ අතරින් මූලිකම අභියෝගයන් කිහිපය මෙසේ සලකා බලමු.

1. නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයේ පහත් මට්ටම හෙවත් තාක්ෂණයේ පහළ මට්ටම හා ජනතාවගේ නොදියුණු බව

ඉහත කාරණා දෙකම එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් බලපෑම් කරනු ලබන සාධක දෙකකි. ඒ අනුව සමාජ සංවර්ධනයේ ඉදිරියෙන් සිටින, නිෂ්පාදන බලවේග වඩාත් සංවර්ධනය වූ රටක ජනතාවගේ චින්තනය හා සමාජමය විඥානය වඩාත් දියුණු වන අතර එවිට ජනතාව සංස්කෘතිකමය වශයෙන් ඉදිරියෙන් සිටී. එසේම එලෙස ජනතාව දියුණු ජනතාවක් වන විට ඊට අනුව නිෂ්පාදන බලවේග හා විද්‍යාව හා තාක්‍ෂණයද දියුණු වේ.

තාක්ෂණයේ පහළ මට්ටම

පසුගාමී සංවර්ධනයක් සහිත ධනවාදී රටවල නිෂ්පාදන උපකරණ හා බලවේග පවතින්නේ සාපේක්ෂව දුර්වල මට්ටමකය. එය සමාජවාදය ගොඩනැගීමේදී ප්‍රධාන අභියෝගයක් වේ. එවිට ධනවාදී නිෂ්පාදනය විසින් ඇති කරගත යුතුව තිබූ නිෂ්පාදන
බලවේගයන්ගේ වර්ධනයද සමාජවාදය මතට පැවරෙයි. නිෂ්පාදනයේ වන එවැනි පහත් මට්ටම විසින් දියුණු තාක්ෂණ භාවිතය වෙනුවට ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ක්‍රමයට වැඩි නැඹුරුවක් දක්වයි. එවන්වූ නිෂ්පාදන ක්‍රියාවලියක් විසින් එහි ශ්‍රම ඵලදායකත්වය අවම කරනු ලබයි. ශ්‍රමයේ ගුණාත්මක දියුණුව අඩාල කරනු ලබයි. එය සමාජවාදී ආර්ථිකයේ වර්ධනයට බාධාවක් බවට පත්වේ. තවද එම සමාජයේ වන පසුගාමීත්වය නිසාම ජනතාව තුළ වැඩි වශයෙන් අතීතකාමී ස්වභාවයක් ප්‍රකාශයට පත්වේ. එහිදී නවීන තාක්ෂණයට වඩා අතීත ශිල්පීය ක්‍රමයන් පිළිබඳව අධිතක්සේරුවක හා අධිනිශ්චය වීමක පවතී. එබැවින් ජනතාව පසුගාමී චින්තනය තුළ කොටුවීම විසින් පවතින ධනපති සමාජයේ චින්තන මට්ටමටවත් ඔවුන් පැමිණෙන්නේ නැත. මිනිස් වර්ගයාගේ නවතම විද්‍යාත්මක හා තාක්ෂණික සොයා ගැනීම් දෙස එවන්වූ පසුගාමී සමාජයේ මිනිසුන් බලන්නේ සැක සහිත ආකල්පයෙන්ය.
ඉහත කාරණය තහවුරු කරගැනීම පිණිස සමාජවාදී විප්ලවයට පෙර පැවැති රුසියාව උදාහරණයක් ලෙස සලකා බැලීමට හැකිය. සමාජවාදයට පෙර එරට ස්වයං රැකියාවල නියුතු ජනගහනයෙන් පහෙන් හතරක්ම කෘෂිකර්මාන්තයේ යෙදෙන්නෝ වූහ. එබැවින් කම්කරු පංතිය ප්‍රමාණයෙන් කුඩා වන අතර ගොවි ජනතාව ප්‍රමාණයෙන් වැඩි පිරිස බවට පත් විය. රටේ වැඩිපුරම පැවතියේ සුළු කර්මාන්ත හා සුළු පරිමාණ දේපළය. පූර්ව සමාජවාදී රුසියාවේ බොහෝ ප්‍රදේශවලට විදුලි බලය නොතිබිණි. එමෙන්ම කෘෂිකර්මාන්තයට ට්‍රැක්ටර් වැනි අත්‍යවශ්‍යම උපකරණ පවා නොතිබිණි. එබැවින් සාර් රුසියාවේ කාර්මීකරණය හා තාක්ෂණික භාවිතය ඉතා පහත්ම මට්ටමක විය. ඒ හේතුවෙන් සමාජවාදී ගොඩනැගීම් ආරම්භ කරන මුල් අවධිය වන විට රුසියාව තුළ තාක්ෂණය හා කාර්මිකකරණය ඉතාම ප්‍රාථමික මට්ටමක පැවැතුණි. යුද්ධය ආසන්නයේ රුසියාවේ ඉඩම්වලින් සෑම වර්ග කිලෝමීටර් සියයකටම දුම්රිය මාර්ග පැවැතියේ කිලෝමීටර් 0.4 කි. එවකට දියුණු ධනපති රටක්වූ ජර්මනියේ එය කිලෝමීටර් 11.7කි. මෙම තාක්ෂණයේ වූ දුප්පත්කමට සාපේක්ෂව රුසියන් සමාජය තුළ පැවැති පසුගාමී චින්තනය නිසාවෙන් එම ජනතාව සම්ප්‍රදායික ආකල්ප හා සිතුම් පැතුම්වලට වහල් වූවෝ වූහ. කාර්මිකකරණය හා නවීන තාක්ෂණය දෙස සැකයෙන් හා අද්භූත යමක් දෙස දකින මානසිකත්වයෙන් සිතා කටයුතු කරන සමාජයක් තුළ ජනතාව නොමඟ යැවීමේ හා මුළා කිරීමේ හැකියාව වැඩියෙන් පවතී. මෙම සමාජ පසුගාමීත්වය සමාජවාදය ගොඩනැගීමේදී එයට බාධා කරන විලංගුවක් විය.

ජනතාවගේ නොදියුණු බව

පසුගාමීත්වය යනු ධනේශ්වර විප්ලවය සම්පූර්ණ නොවීම විසින් ඇතිවන විකෘතිතාව හේතුවෙන් ඇති වන්නකි. පසුගාමීත්වය තුළ පසුකල වැඩවසම් හෝ ආසියාතික සමාජ විඥානය ප්‍රබල ලෙස බලපෑම් කරනු ලබයි. ධනේශ්වර සමාජ විඥානය සම්පූර්ණ නොවූ තත්වයක් තුළ ඔවුන් සැමවිටම සිතන්නේ, ධනේශ්වර සමාජ ක්‍රමයටද පසුපසින් සිටය. මෙය සමාජවාදය ගොඩනැගීමේදී විශාල බාධාවන් ඇති කරයි. ධනේශ්වර විප්ලවය විසින් ඉටුනොකළ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ලෙස ජාතික ගැටලුව නොවිසඳීම, ගම සහ නගරය අතර මහා පරතරය හා ප්‍රතිවිරෝධය අහෝසි නොකිරීම, කාන්තාවන් සඳහා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සමානත්වය ඇති නොකිරීම, කුල හා ප්‍රදේශීය බෙදීම් අහෝසි නොකිරීම ආදිය පවතී. එක් උදාහරණයක් ලෙසින් ‘ජාතික පීඩනය’ සලකන්නේ නම් පූර්ව සමාජවාදී රුසියාව තුළ රුසියානු ජාතිකත්වය සියයට හතළිස් තුනක් විය. එය මහ ජාතිය යන මානසිකත්වයෙන් යුතුව කටයුතු කළේය. තවද රුසියාවේ ඉතිරි සියයට පනස් හතම රුසියානු නොවන ජාතීන් ලෙස සිටි පිරිසයි. ඔවුහු සුළු ජාතීන් ලෙස පීඩාවට පත්වූහ. එනිසාම සාර් රුසියාව ‘ජාතීන්ගේ සිරගෙදර’ ලෙස හැඳින්විණි.
මෙවන් වූ පසුගාමීත්වය හමුවේ ධනේශ්වර විප්ලවයෙන් ඉටු නොවූ කාරණා සපුරාලීමේ වගකීමක් එම රටවල සමාජවාදී විප්ලවය ආරම්භයේදීම පැවරී තිබේ. එවිට සමාජවාදය
ගොඩනැගීමේ සමාජවාදී පියවරයන් පසුපසට යෑමක් හා පමාවීමක් සිදුවේ.

2. නිම නොවූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු

සමහර රටවල ධනේශ්වර විප්ලවය සිදුවූ විවිධ තත්වයන් තුළ එම විප්ලවය විසින් අවසන් නොකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ගණනාවක්ම ඉතිරිව පවතී. එම හේතුව නිසා ඇතිවන සමාජ
පසුගාමීත්වය පිළිබඳව ඉහතදී කථා කළෙමු. එලෙස නිමනොවූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු මොනවාදැයි සලකා බැලීම මෙන්ම සමාජවාදී සමාජ විප්ලවයේදි ඒවා මඟහැර යාමට හැකිද යන්න හෝ එසේ නොමැතිනම් එම නිමනොවූ ධනේශ්වර විප්ලවීය කටයුතු සපුරාලන්නේ කෙසේදැයි යන්න සලකා බැලිය යුතු වැදගත් කාරණයකි.
මේ ගෙවි යන්නේ, ධනේශ්වර විප්ලවයේ අවධිය නොව සමාජවාදී විප්ලවයේ අවධියයි. එනිසා යල්පැන ගිය ධනපති ක්‍රමය තවදුරටත් සංවර්ධනය වන්නේ නැත. එය දැන් තම වැහැරීම ආරම්භ කොට බොහෝ දුර ගෙවා ඇත. ධනවාදයට යළි ඉටු නොවූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සම්පූර්ණ කළ නොහැක. නමුත් සමාජ සංවර්ධනයේ ගමන් දිශාවට අනුව ධනේශ්වර විප්ලවය සම්පූර්ණ නොවූ තත්වය තුළ එය මගහැර සමාජවාදය වෙත යාමටද නොහැක. මේ ගැටලුව විසඳාගැනීම සඳහා ලෙනින් විසින් “ධනේශ්වර නොවන සංවර්ධන මාවත” යන්න පෙන්වා දෙන ලදී. ඉන් පැවසෙන්නේ, නිම නොකරන ලද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් එම රටවල සමාජවාදී විප්ලවය විසින් පවරා ගත යුතු බවයි; සමාජවාදී විප්ලවයේ ප්‍රමුඛ කටයුත්තක් ලෙසින් සලකා ඉටු නොවූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සපුරාලිය යුතු බවයි. එම ක්‍රියාවලියේම අඛණ්ඩ දිගුවක් ලෙසින් සලකමින් සමාජවාදය ගොඩනැගීමේ පියවරයන්ද පවත්වා ගත යුතුය. එහෙත් නිම නොවූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සමාජවාදය වෙත පැවරුන විට සමාජවාදයේ කාර්යය වඩාත් සංකීර්ණ වේ. එමෙන්ම වඩාත් දුෂ්කර වේ.

3. පසුගාමී රටක සමාජවාදයට එරෙහිව වන තර්ජන හා බලපෑම්

ධනපති ලෝකය සමාජවාදයට එල්ල කරන තර්ජනයන් කේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ දිවයයි. ඒ මතවාදීමය, සංවිධානමය, ආර්ථිකමය හා යුදමය වශයෙනි.
එහිදී මතවාදී ප්‍රචාරය ඉදිරියෙන්ම වේ. සමාජවාදයෙහි අනිවාරණීය බවත්, ජයග්‍රාහී බවත් වසන් කරලනු සඳහා අධිරාජ්‍යවාදය විසින් ඉතා ප්‍රබලව ප්‍රතිවිප්ලවීය මතවාදී ප්‍රචාරයන් ගෙන යනු ලැබේ. විශාල වශයෙන් මුදල් යොදවමින් හා ඒ සඳහා වන යාන්ත්‍රණයක් නඩත්තු කරමින් මෙම ප්‍රචාරයන් ගෙන යනු ලබයි. එවන් බොරු ප්‍රචාරයන් කීපයක් මෙසේය.
මූලිකවම සමාජවාදය තුළ නිදහස නැත යන්න හුවාදක්වයි. එයට අනුව සමාජවාදය යනු බලහත්කාරයෙන් වැඩගන්නා ක්‍රමයක් බව ප්‍රචාරය කරයි. ඇත්ත වශයෙන් සමාජවාදය තුළ වැඩ නොකර සිටීමට බාධාවක් නොමැත. වැඩ නොකරන අලසයින්ට සමාජවාදය තුළ අනුන්ගේ ශ්‍රමයෙන් යැපීම කළ නොහැකිය. ධනවාදය තුළ සිදුවන්නේ, මෙහි අනෙක් අන්තයයි. එක් අතකින් ධනවාදය තුළ ජනතාව රැකියා නොමැතිකමින් පීඩා විඳී. අනෙක් අතට කිසිවක් නොකරන අලස ධනපති පංතිය වැඩකරන මිනිසුන්ට හිමිවිය යුතු සම්පත් පැහැර ගෙන භුක්ති විදීමයි. ධනපති ක්‍රමය යනු දහදිය බිඳක් හෝ නොහෙළන අලස ධනපති සුළුතරය විසින් වැඩකරන බහුතරයක් ජනතාවගේ ශ්‍රමය කිසිදු ගෙවීමකින් තොරව පැහැර ගන්නා අසාධාරණ ක්‍රෑර සමාජ ක්‍රමයකි.


“ධනපති පංතිය තමනට ආධිපත්‍යය ලැබුණු හැම තැනකදීම රදලවාදී වූද, පීතෘ මූලික වූද, සරල ගැමි ජීවිතය අරභයා වූද සියලු සමාජ සබඳතාවයන් අහෝසි කර දැම්මේය. මිනිසා තම ‘ස්වභාවික අධිපතියන්ට’ බැඳ දමා තිබුණු සියලු රදල බන්ධනයන් තූ තූ කොට ඉරා දැමූ එය මිනිසෙකු හා මිනිසෙකු අතර නග්න ආත්මාර්ථකාමයද, නිර්දය ‘මුදල් ගෙවීමද ’ හැර අන් කිසිදු සබඳතාවයක් ඉතිරි නොකළේය. එය ආගමික භක්තියේ ස්වර්ගමය ප්‍රමෝදයන්ද, ධීර වීර උනන්දුවද, අවරසික අනුරක්තතාවයද, මමත්ව කේන්ද්‍රික ගණන් බැලීම නැමැති අයිස් වතුරෙහි ගිල්වා දමා ඇත. එය පෞද්ගලික වටිනාකම හුවමාරු වටිනාකම බවට පෙරළා ඇත. එමෙන්ම වරලත් දිනාගත් නිදහසවල් අසංඛ්‍යෙයක් වෙනුවට, හෘදය සාක්ෂියට කොහෙත්ම එකඟ නොවන එකම නිදහස වන ස්වාධීන වෙළදාම පිහිටුවාලීය. එක වචනයකින් කියතොත්, ආගමික හා දේශපාලන මායාවන්ගෙන් වසා තිබුණු සූරාකෑම වෙනුවට එය නග්න, අල්ලජ්ජි, සෘජු හා ම්ලේච්ඡ සූරාකෑමක් ආදේශ කළේය.”
(කොමියුනිස්ට් ප්‍රකාශනය)


සමාජවාදය අලසයින් බිහිකරනවා යන්න සමාජවාදය පිළිබඳව තවත් ධනපති ප්‍රලාපයකි. එයට හේතුව ලෙසින් ඔවුන් දක්වන්නේ පුද්ගලික දේපළ අහිමිවීමත් සමඟ මිනිසුන්ගේ ශ්‍රම කටයුතුවල යෙදීමේ උනන්දුව අඩුවන බවයි. ඔවුන් සැම විට පුද්ගලික ප්‍රතිලාභ බලාපොරොත්තු වන බවයි. කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ මාක්ස් පවසන්නේ ධනපති ක්‍රමයෙහි දැනටමත් දේපළ අහිමි කළ බහුතරයක් මිනිසුන් සිටින බවයි. එසේ නම් අලසකම වැඩිපුරම තිබිය යුත්තේ ධනපති ක්‍රමය තුළ බවයි.


“පෞද්ගලික දේපොළ අවලංගු කිරීමෙන් ඉක්බිතිව සියලු වැඩ හා ක්‍රියාකාරිත්වය නතර වනු ඇතැයි ද, සමස්ත ලෝකයේ අලසකම රජකරනු ඇතැයිද යනුවෙන් විරුද්ධත්වයක් ඉදිරිපත් කර ඇත.
මෙය මෙසේ නම් ධනවාදී සමාජය මීට බොහෝ කලකට පෙර විනාශවී යායුතුව තිබුණි. මන්දයත්, මෙම සමාජය යටතේ වැඩකරන්නාට කිසිවක් අයිති නොවන බැවිනි. අයිති කරගන්නා කිසිදු ශ්‍රමයක් වැය නොකරන බැවිනි. තවදුරටත් ප්‍රාග්ධනය නොපවතින නිසා වැටුප් ශ්‍රමයකුත් ඇති විය නොහැකි යැයි කියාපාන පුනරුක්තියට යට කියන ලද සියලු විරුද්ධත්වයන් සමාන වෙයි.”
(කොමියුනිස්ට් ප්‍රකාශනය )


ඉහත විවේචනයන්ට අමතරව සමාජවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති බවත් මහජන නියෝජිතයින් තෝරා පත්කරන්නේ නැති බවත් පවසමින් ධනපති මතවාදය මඟින් විවිධ බොරු ප්‍රචාරයන් පතුරුවා හරිනු ලබයි. එයට ඔවුන් පදනම් කරගනුයේ එම සමාජවාදී රටවල ධනේශ්වර සම්ප්‍රදායට අනුව බහුපක්ෂ මැතිවරණ නොතැබීමයි. බහු පක්ෂ ක්‍රමය යනු රැවටිල්ලකි. එයින් කෙරෙන්නේ පීඩිත පංතිය යම් නිශ්චිත කාලයකට සූරාකනු ලබන්නේ ධනපති පංතියේ කුමන කණ්ඩායමද යන්න තෝරා ගැනීමක් බව ලෙනින් විසින් පෙන්වා දී ඇත. බහු පක්ෂ ක්‍රමය නම් රැවටිල්ල නොවුණාට ජනතාව අතරින් පුළුල් ලෙස මහජන නියෝජිතයින් තෝරා පත්වන, දූෂණ නොමැති ජන්ද ක්‍රමයක් සමාජවාදී රටවල පවතී. ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා ධනවාදී ලෝකයේ මැතිවරණ ජයගනු ලබන්නේ ධනය හා ඒ නිසාම අත්පත් කරගන්නා බලය මඟින්ය. සමාජවාදය තුළ එය එසේ වන්නේ නැත. සැබෑ ජනතා කැමැත්ත මත මහජන නියෝජිතයින් තේරී පත්වේ. පත්කළ නියෝජිතයින් මහජනතාවට වග නොකියන්නේ නම්, පොදු දේපළ සොරාගන්නේ නම්, ජනතා විරෝධී ක්‍රියාවන්හි යෙදෙන්නේ නම් ඔවුන් ඊළඟ මැතිවරණයට පෙර ඕනෑම අවස්ථාවක ආපසු කැදවීමේ ජනතා අයිතියක් සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට ඇත.
‘සමාජවාදී රටවල් බාහිර ලෝකය හා සම්බන්ධ නැත’ යන්න තවත් එවැනිම වූ අසත්‍ය ප්‍රචාරයකි. එම ප්‍රචාරකයින් විසින් සමාජවාදී රටවල් බාහිර ලෝකයෙන් වෙන් කොට පවතින රහසිගත ලෝකයක් බව ඉස්මතු කොට දක්වයි. සෝවියට් දේශය ‘යකඩ තිරයකින් ’ බාහිර ලෝකය වසන් කර ඇතැයි යන කියමන ජනප්‍රිය යෙදුමක් බවට පත් කර තිබිණි. සමාජවාදය ජාත්‍යන්තර වශයෙන් සම්පූර්ණ වන විප්ලවයක් බැවින් සාමාන්‍යයක් ලෙසින්ම එය ජාත්‍යන්තර සබඳතා සහිත විප්ලවයකි. සමාජවාදය ප්‍රතිවිප්ලවයට වසන් කොට ආරක්ෂා කළද එය බාහිර ලෝකයට වසන් කර නැත. නමුත් සමාජවාදී රාජ්‍ය වෙත ධනවාදී විෂ බීජ ඇතුළුවීම වළකා ඇති බව සත්‍යයකි. එය වාරණයක් නොව අත්‍යවශ්‍ය ආරක්ෂාවකි.
‘සමාජවාදය තුළ පුද්ගලික ජීවිතයක් නැත’ යන්න තවත් ධනපති අවලාදයකි. ඔවුහු ජනතාව නොමඟ යැවීම සහ බිය ගැන්වීම සඳහා මෙවන් බොරු ප්‍රචාරයන් ගෙන යති. මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය පමණක් නොව සමාජ ජීවිතය පවා අහිමී වී ඇත්තේ ධනවාදය තුළය. සමාජවාදය මිනිසාගේ සමාජමය ජීවිතය ශක්තිමත් කරන අතර ඒ තුළ ඔහුගේ පෞද්ගලික ජීවිතයද ආරක්‍ෂා වේ.
සමාජවාදයට එරෙහිව සංවිධානාත්මකව බලපෑම් කිරීම පිණිස අධිරාජ්‍යවාදී රටවල්, එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර දේශපාලන සංවිධාන පවා අනියමින් පොළඹවා ගනු ලබන අතර සමහර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම විවිධ ආර්ථික සංවිධානයන් උදෙසා මුදල් යොදවමින් මැදිහත් වෙයි. මෙයට අමතරව නේටෝව වැනි යුදමය සංවිධාන මගින් සමාජවාදී රටවල් යුදමය වශයෙන් වටලෑමද සිදුකරයි. තවද පල්ලිය වැනි විවිධ ආගමික ආයතන මඟින් ජනතාව රවටමින් සමාජවාදයට එරෙහිව ඔවුන් පෙළඹවීම සිදු කරයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජවාදී රටවලට මානව හිමිකම් හෝ න්‍යෂ්ටික අවි පිළිබඳව බොරු චෝදනා ඉදිරිපත් කරමින් ආර්ථිකමය සම්බාධක පනවනු ලබයි. කියුබාව සහ උතුරු කොරියාව මේ තත්වය දැනටමත් අත්දකිමින් සිටියි. සමාජවාදී රටවල ආර්ථික මර්මස්ථාන විනාශ කිරීම සඳහා ඉතා පහත් සහ ක්‍රෑර කුමන්ත්‍රණයන් දියත් කරයි. කියුබාවේ කෙසෙල් වගාව වැනසීම උදෙසා ඇමරිකාව විසින් ගුවනින් හානිකර දිලීර ඉසීම වැනි ආර්ථිකය ඇද වට්ටන කුමන්ත්‍රණ සිදුකිරීම හා ඉන් නොනැවත අවසානයේ යුදමය මැදිහත් වීම් පවා සිදුකරයි. 1961 පරාජය කරනු ලැබූ කියුබන් ආක්‍රමණය එවන් පැහැදිලි නිදර්ශනයකි. 1983 ඔක්තෝබර් 25 දින ග්‍රෙනෙඩා ආක්‍රමණය වැනි ආක්‍රමණයන් තුළින් අධිරාජ්‍යවාදීන් විසින් සමාජවාදී විප්ලවය ජයගත් රටවල යළි බලය පෙරළා දැමීම සිදු කළේය.


න්‍යෂ්ටික අවි තරගය

ඉහත සඳහන් පරිදි එක් කලෙක සමාජවාදයට එරෙහිව අධිරාජ්‍යවාදී කඳවුරේ තර්ජන හා බලපෑම් හමුවේ එයට එරෙහිව ගෙනගිය අරගලය අවසානයේදී න්‍යෂ්ටික අවි තරගයක් දක්වා ඉහළ නැංගේය. දෙවන ලෝක යුද්ධය අවසන් වෙමින් පැවැතියේදී ඇමරිකාව විසින් ජපානය මත පරමානු බෝම්බ හෙළීම සිදු කරන ලදී. ඒ 1945 අගෝස්තු 6 වෙනිදා හිරෝෂිමාවටත් 1945 අගෝස්තු 9 වෙනිදා නාගසාකිවලටත් යන ආකාරයෙනි. ඇමරිකානු ඇස්තමේන්තු වලට අනුව හිරෝෂිමාවේ 70000ක් පමණද නාගසාකිවල 40,000 පමණද මියගිය අතර අද පවා එම ප්‍රදේශවල උපදින දරුවන් එම බෝම්බවල බලපෑම නිසා අංග විකලව හා ආබාධිතව උපත ලබයි. වර්ග කිලෝමීටර් 10 ක භූමි ප්‍රදේශයක් තුළ සියයට 68ක් ගොඩනැගීලි මුළුමනින්ම විනාශ විය. ඉතිරි ගොඩනැගිලිවලින් සියයට 24ක් කැඩී බිඳි යන ලදී. මේ වන විට ජපානය යටත්වී නොසිටියද පරාජය ලබමින් සිටියේය. එසේ තිබියදී ඇමරිකාව විසින් ජපන් ජනතාව ඉලක්ක කොට මෙම ප්‍රහාරය දියත් කරනු ලැබූයේ තම න්‍යෂ්ටික අවි අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කරගනිමිනි. එතැන් සිට අධිරාජ්‍යවාදයට මුහුණ දෙන සමාජවාදී සෝවියට් දේශයට ආරක්ෂාව උදෙසා න්‍යෂ්ටික අවි ස්ථානගත කරන්නට සිදුවිය. 1949 සමාජවාදී විප්ලවය ජයගත් චීනයද න්‍යෂ්ටික අවි නිපදවීමට එක් විය. ආරක්ෂක ක්‍රියා මාර්ගයක් ලෙස මෙය අත්හැරිය නොහැකි කටයුත්තක් වුවද න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ හා ස්ථානගත කිරීමේ තරගයේදී සමාජවාදය ගොඩනැගීම සඳහා යෙදවිය යුතු සම්පත් විශාල ප්‍රමාණයක් මේ සඳහා යෙදවිණි. මෙය සමාජවාදය ගොඩනැගීමට යම් බාධාවක් විය.


මේ අතර ලෝක සමාජවාදී විප්ලවය සම්පූර්ණ නොවීම හේතුවෙන් එක් රටකට හෝ කිහිපයකට හුදකලාව පරිවර්තනීය කාලපරිච්ඡේදයක් තුළ, දිගු කලක් කල් බැලීමට සිදුවීම බොහෝ ගැටලු නිර්මාණය කරන්නට විය. තවද සමාජවාදය ගොඩනැගීම උදෙසා ජනතාවගේ කැපකිරීම් සහ දරාගැනීම්වල විවිධ සීමාවන් පවතී. එම සීමාවන් ඉක්මවා යන මොහොතේ සිට ජනතාවගේ සිත් තුළ බලාපොරොත්තු හා විශ්වාසය වෙනුවට වැනෙන සුළු හා චපල බව ඇතිවේ. මේ තත්වය නිසා සතුරන්ට ජනතාව නොමඟ යැවීමේ හා ප්‍රතිවිප්ලවය සංවිධානය කිරීමේ අවස්ථාවන් වැඩිවේ. ඒ තුළින් සමාජවාදී රාජ්‍ය තුළ අභ්‍යන්තර හා බාහිර ගැටලු මතු කිරීමේ ඉඩ සැකසෙයි. නිර්ධන පංති ජාත්‍යන්තරයේ සහය නොමැති විටක මෙය වඩාත් අනතුරුදායක තත්වයක් බවට පත්වේ. ලෝක සමාජවාදී විප්ලවය නිම නොවූ තත්වයක් තුළ මෙහි වඩාත්ම වාසිය අත්වන්නේ ධනපති පංතියටය.
සියල්ල සලකා බැලීමේදී සමාජවාදය යනු කිසිදු නිදහසක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ, අලසයින් බිහිකරන, කිසිදු පෞද්ගලිකත්වයක් නොමැති ක්‍රමයක් ලෙසින් ධනපති ලෝකය හුවා දක්වනු ලැබීය. සමාජවාදයට එරෙහිව එවන් මතවාදීමය ප්‍රහාරයන්ට අමතරව ආර්ථිකමය, සමාජමය ආදි පාර්ශ්වයන් ඔස්සේද එකවර සිදුවූ ප්‍රහාරයන් බොහෝ විය. ඉන් නොනැවතී සමාජවාදයට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වන ධනපති සංවිධානයන් මගින් අවසානයේ යුදමය වැටලීම් දක්වා සංවිධානාත්මකව බලපෑම් කරන්නට විය. මේ සියල්ලෙහි තර්කානුකූල ප්‍රතිඵලය වශයෙන් න්‍යෂ්ටික අවි තරගය වැනි ආරක්ෂක ක්‍රියාමාර්ගවලට පොළඹවාලීම මගින් ආර්ථික වශයෙන් සමාජවාදය ගොඩනැගීමේ අරගලය වෙනත් දිසාවන්ට සිරකරන ලදී. මේ සියල්ල සමාජවාදයට එරෙහිව දැවැන්ත ප්‍රතිවිප්ලවීය ව්‍යාපෘති හා ක්‍රියාමාර්ග විය. එනිසාම මෙම තත්වය හමුවේ සමාජවාදය මුහුණ දුන් දුෂ්කර තත්වයන් ඉක්මවීම සඳහා වන උපක්‍රමික ක්‍රියාමාර්ගයන්ගේ අවශ්‍යතාවය පැන නැගුණේය.

පසුගාමී රටවල සමාජවාදය ගොඩ නැගීමේදී මුහුණ දෙන අභියෝග අභිභවනය සඳහා වූ ලෙනින්වාදී ක්‍රියාමාර්ග

පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවලදී සමාජවාදය මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් ලෙනින් විසින් සකස් කරනු ලැබීය. නව අභියෝග තුළ සමාජවාදය
ගොඩනැගීමත් ලෝක විප්ලවයත් සඳහා නව උපාය උපක්‍රම හා ක්‍රියාමාර්ග ගනු ලැබීය. ඒ සඳහා අනුගමනය කළ ප්‍රධාන ක්‍රියාමාර්ග මෙසේ විය.

  1. කොමියුනිස්ට් ජාත්‍යන්තරය සහ ජාත්‍යන්තරවාදයේ අත්‍යවශ්‍යතාවය
    ‘ප්‍රාග්ධනය ජාත්‍යන්තර ස්වරූපයක් දරන බැවින් එයින් විමුක්තිය ලැබීමේ නිර්ධන පංති අරගලයද ජාත්‍යන්තර ස්වරූපයක් දරයි’ යන මාක්ස්ගේ ඉදිරිපත් කිරීම අදටත් එලෙසම පවතී. තවද ඒ සඳහා සැබවින්ම විය යුත්තේ, බිහිවන සමාජවාදී රාජ්‍යයන් සියල්ලම එක් සංගමයකට එක්වීමයි. සෝවියට් සංගමය හා චීනය එලෙස එක් වූවා නම් ආසියාවේ හා යුරෝපය පුරා පැතිරි දැවැන්තම සමාජවාදී රාජ්‍ය එකමුතුව ලෙසින් එය ලෝක සමාජවාදී විප්ලවයට ප්‍රබල ශක්තියක් වන්නට ඉඩ තිබුණි.
    පසුගාමී රටක සමාජවාදය තහවුරු කිරීමේදී එයට ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍යය. දියුණු ධනපති රටවලදී මෙන් නොව පසුගාමී රටක සමාජවාදී විප්ලවයේ පැවැත්ම උදෙසා එහි හුදකලා නොවීම තීරණාත්මකය. බිහිවූ සමාජවාදී රට එහි ළදරු අවස්ථාවේ සිටම ධනපති පංතිය විසින් ආර්ථික වශයෙන්, මතවාදීමය වශයෙන්, සංවිධානමය වශයෙන් හා දේශපාලනමය වශයෙන් වටලෑමට පටන් ගනියි. ශක්තිමත් ජාත්‍යන්තරයක් පවතී නම් එහිදී සමාජවාදයේ උපකාරය සඳහා එහි ශක්තිය යොදාගත හැකිය. එවිට ධනවාදී රටවල් තුළ පවා එයට එරෙහිව එම රටවල නිර්ධන පංතීන් හා සංවිධාන හරහා බලපෑම් කළ හැකිය. විශාල හඬක් නැගිය හැකිය. නිදර්ශනයක් වශයෙන් ගන්නේ නම් වියට්නාම් විප්ලවය අවස්ථාවේ ජාත්‍යන්තරය දුබලව තිබියදී පවා ජාත්‍යන්තර සහය උපරිම වශයෙන් ගන්නා ලදී. එසේම තවදුරටත් ධනවාදී රටවල තිබෙන කොමියුනිස්ට් පක්ෂවල සහෝදරාත්මක සහයෝගය සමාජවාදය ගොඩනැගීමේදි ලබාගත හැකිය. ලෙනින්ගේ අවධිය වන විට දෙවන ජාත්‍යන්තරයද බිඳවැටී තිබුණි. එමෙන්ම එහි කාර්යභාරය අවසන්ව තිබුණි. එනිසාම ලෙනින්ගේ මූලිකත්වයෙන් 1919 දී තෙවන ජාත්‍යන්තරය ගොඩ නැගුණි. ඒ, ලෝක සමාජවාදයේ ජයග්‍රහණයන් උදෙසාය.
  2. ජාතික විමුක්ති අරගල සමාජවාදී විප්ලවය දක්වා පෙරට ගෙන ඒම
    20වන සියවසේ ආරම්භයේදීම රුසියාවේ සමාජවාදී විප්ලවය ජයගැනීමත් සමඟ ලොව පුරා යටත්විජිත ලෙස පැවති රටවල යටත්විජිතභාවයෙන් නිදහස් වීමේ නිදහස් අරගල හෙවත් ජාතික විමුක්ති අරගල ඇතිවිය. බොහෝ විට මේවායේ නායකත්වය ගනු ලැබුවේ එම රටවල දේශීය ධනපති පංතියය. මෙම රටවල කම්කරු පංති ව්‍යාපාරයන්ද බිහි වෙමින් තිබූ අතර ලෙනින්ගේ නායකත්වයෙන් යුත් 3වැනි ජාත්‍යන්තරයේ වැඩපිළිවෙළ වූයේ මෙම ජාතික විමුක්ති අරගල සමාජවාදී විප්ලවයෙන් කෙළවර කිරීම සඳහා මැදිහත් විය යුතු බවය. මෙය තේරුම් ගැනීම සඳහා ජාතික විමුක්ති අරගල යනු කුමක්ද යන්න වටහා ගැනීම අවශ්‍යය.
    ධනේශ්වර විප්ලවය ආරම්භ වන්නේ, 16වැනි සියවසේදී පමණය. ඒ එවකට පැවැති වැඩවසම් සමාජ ආර්ථික රටාව බිඳ දමමින්ය. ධනේශ්වර විප්ලවය විවිධ රටවල සිදුවූයේ ආකාර කිහිපයකින්ය. එම රටවල පවතින සමාජ ආර්ථික තත්වයන් මත එම ආකාරය කුමක්ද යන්න තීරණය විය. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය, ධනේශ්වර විප්ලවය, උත්තරාරෝපිත ධනේශ්වර විප්ලවය හා ජාතික විමුක්ති අරගලය ඒ ධනේශ්වර විප්ලවයේ ආකාරයන්ය. ප්‍රංශය වැනි ධනේශ්වර විප්ලවය මුළුමනින්ම සම්පූර්ණ කළ අවස්ථාවන්හි එය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක ආකාරය ගත්තේය.
    එමෙන්ම ධනේශ්වර විප්ලවය සම්පූර්ණ කළ එහෙත් රාජ්‍යත්වය, ඒ, හා බැඳි වෙනත් සම්ප්‍රදායික වැඩවසම් බල ආකෘති ආදිය ඉතිරි කරමින් එංගලන්තයේ වැනි රටවල ධනේශ්වර ක්‍රමය තහවුරු කරන්නේ ධනේශ්වර විප්ලවය යන ආකාරයෙන්ය. එය ප්‍රංශ විප්ලවයට වඩා වෙනස්වූ ආකාරයක් ගත්තේය. තවදුරටත් ශ්‍රී ලංකාව වැනි ආසියාතික සමාජයක් පැවැති රටවල විප්ලවීය තත්වයක් එම සමාජයන්හි අභ්‍යන්තරයෙන් පැන නැඟුණේ නැත. ඒ එම රටවල පැවැති මූලික හා අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්ගේ මන්දගාමිත්වය හේතුවෙනි. උපත ලද වහාම ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර ස්වභාවය හේතුවෙන් ලොව වටා පිම්මේ ගිය ධනේශ්වර ක්‍රමය මෙවන් වූ රටවලටද කඩා වැදුණි. එනිසා එම රටවල ධනේශ්වර ක්‍රමය ස්ථාපිත වන්නේ, උත්තරාරෝපිත ආකාරයටය. පිටතින් එලෙස සමාජ ආර්ථික ක්‍රමයක් බලෙන් පැටවිම විසින් එවන් රටවල සමාජයේ ඇති කළ විකෘතිතා අදටද පවතියි. එම රටවල පවතින අන්ත සමාජ
    පසුගාමීත්වයට හේතු වන්නේ මෙයයි. එය පැරැදවිය හැක්කේ, යල් පැනගිය ධනපති නිෂ්පාදන රටාව තුළ නොව නැවුම් සමාජවාදී සමාජ ආර්ථික ක්‍රමයකදීය.
    විශේෂයෙන්ම යටත්විජිත පීඩනයේ හා අධිරාජ්‍යවාදී බලපෑමට යටත්ව පවතින රටවල ජාතික විමුක්ති අරගලයන් පැන නැගුණේය. ඇමරිකානු ජාතික රාජ්‍යය පවා ගොඩනැගෙන්නේ ජාතික විමුක්ති අරගල ආකාරයෙන්ය. ධනේශ්වර ක්‍රමය පෘථිවි තලය මත පැන නැගෙන මුල් පැයේ ධනේශ්වර ජාතික රාජ්‍ය බිහිවීම ප්‍රගතිශීලී බවක් දැක්වීය. එතැන් පසු ධනේශ්වර ක්‍රමය යල් පනින්නට පටන් ගන්නා අතර ඉන් පසු එළැඹෙන්නේ, සමාජවාදයේ යුගයයි. එනිසාම අධිරාජ්‍යවාදය හා යටත්විජිත පීඩනයට එරෙහිව පැන නැඟි ජාතික විමුක්ති අරගලයන් ධනේශ්වර ජාතික රාජ්‍යයෙන් ඔබ්බට සමාජවාදයේ ජයග්‍රහණයෙන් අවසන් කිරීමේ කාර්යභාරයක් සමාජවාදී සමාජ විප්ලවයට පැවරිණි. මෙම අවධියේ එවන් හැකියාවක්ද පවතී. එතැන් සිට ලෙනින්ගේ මඟ පෙන්වීම වූයේ එම විමුක්ති අරගලයන් නිර්ධන පංතියේ නායකත්වයෙන් සමාජවාදය වෙත මෙහෙයවීමටය. මේ සඳහා තත්වයන් සකස් වන්නේ, ධනපති ක්‍රමය සමාජ ක්‍රමයක් ලෙසින් යල් පැන ඇති බැවිනි. එනිසා පැන නගින ජාතික විමුක්ති අරගලයන් හරහා ධනේශ්වර ජාතික රාජ්‍ය ගොඩනැංවීම හෝ ධනේශ්වර ක්‍රමය ප්‍රතිගාමී දිශාවට පරිවර්තනය කිරීම මහලු ධනපති ක්‍රමය තුළ තවදුරටත් කළ නොහැකි දෙයකි. සැබවින්ම මෙම යුගයේ සමාජ සංවර්ධනය උදෙසා තත්වයන් පෙළ ගැසී ඇත්තේ, ඉන් එහා වන සමාජවාදී සමාජය වෙත පිය නැඟීම පිණිසය.
    මේ අතර යටත්විජිතභාවයේ පවතින ධනපති රටවල
    පසුගාමීත්වය හේතුවෙන් ඒවායේ පංති ව්‍යුහය සංකීර්ණ විය. ඒ අනුව එම රටවල නිර්ධන පංතිය සාපේක්ෂව කුඩා වන අතර ගොවි ජනතාව ප්‍රමාණයෙන් විශාලය. අර්ධ නිර්ධන, සුළු ධනේශ්වර පහළ පංතික කොටස් වැනි නිර්ධන පංතියේ නොවන එහෙත් ධනපති පංතියෙන් පීඩාවට පත්වන වෙනත් පංතීන් තිබේ. එම නිසා මෙම නිර්ධන පංතිය නොවන අනෙක් පීඩිත පංතීන් එම පංතිය සමඟ විප්ලවීය
    බලවේගයක් ලෙසින් පෙළගැස්වීමේ අවශ්‍යතාවය පැන නගියි. තවද මෙම රටවල් අධිරාජ්‍යවාදීන්ගේ සෘජු සූරාකෑමට ලක්වෙමින් පවතින ඒවාය. එනිසාම එම රටවල අධිරාජ්‍ය ගැති දේශීය (පාලක) ධනපති පංතියට හා එම රටවල් සූරාකමින් සිටින අධිරාජ්‍යවාදයට එරෙහිව අරගලයන් පැන නැගීමේ හැකියාවක් පවතියි. එමෙන්ම ඒවා ජාතික විමුක්ති අරගලයන්සේ පෙළගැසීම සිදුවේ. එනිසා මෙම ජාතික විමුක්ති අරගලයන් සමාජවාදයෙන් අවසන් කිරීමට උපායමාර්ගය සකසා ගැනීම එම රටවල කොමියුනිස්ට් පක්ෂවල වගකීමයි. චීනය, උතුරු කොරියාව, වියට්නාමය මේ පිළිබඳව වන හොඳම නිදර්ශනයන්ය.
    ධනේශ්වර විප්ලවය සම්පූර්ණ නොවූ රටවල සමාජවාදය ගොඩනැඟීමේදී වන සුවිශේෂී තත්වයන් හා අභියෝගයන් නිසාම ඒ සඳහා වන සුවිශේෂී මාවතක් අවශ්‍යය. මෙම න්‍යායික ගැටලුව විසඳමින් ලෙනින් විසින් ‘ධනේශ්වර නොවන සංවර්ධන මාවත’ යන්න පසුගාමී ධනේශ්වර රටවල සමාජවාදය ගොඩනැගීමේදී නියමිත මාර්ගය බව පෙන්වා දෙනු ලැබිය.

ධනේශ්වර නොවන සංවර්ධන මාවත

සමාජවාදී විප්ලවය සඳහා ධනේශ්වර විප්ලවය ජයගෙන තිබිය යුතුය යන්න මාක්ස්වාදයේ පොදු න්‍යායික පිළිගැනීම විය. එහෙත් සෝවියට් සමාජවාදී රාජ්‍යය ගොඩ නැගීමෙන් පසු ඒ වන විටත් ධනේශ්වර විප්ලවය ජයගෙන නොතිබූ යටත්විජිත රටවල වූ විමුක්ති අරගල සමාජවාදයෙන් කෙළවර කිරීමේ කාර්යයට ඉහත පිළිගැනීම බාධාකාරී විය. ලෙනින් එය විසඳමින් නව තත්වයට අනුව නව න්‍යායක් බිහි කළේය. ඒ, ධනේශ්වර නොවන සංවර්ධන මාවත යන්නයි. ජාතික විමුක්තිය සඳහා අරගල කරන ධනේශ්වර සංවර්ධනය සම්පූර්ණ නොවූ හෝ ධනේශ්වර විප්ලවය සිදු නොවූ රටවලට, ධනේශ්වර විප්ලවය මගහැර කෙළින්ම සමාජවාදයට යා හැකි බව ඉහත න්‍යායෙන් තහවුරු කරන ලදී. නමුදු එය එසේ වන්නේ දියුණු සමාජවාදී රාජ්‍යයක උදව් ලැබීම සහ තවත් කොන්දේසි සම්පූර්ණ වීම තුළ පමණකි. මෙමගින් ජාතික විමුක්ති අරගල අනිවාර්යයෙන් ධනේශ්වර විප්ලවයෙන් කෙළවර වීම වළක්වා සමාජවාදී විප්ලවයට එකතුකර ගැනීමට යෝජනා විය.


“දැනට විමුක්තියේ මාවතෙහි (ගමන් කරමින්) සිටින සහ යුද්ධයෙන් පසුව ප්‍රගතිය කරා කිසියම් ඉදිරි ගමනක යෙදෙන නොදියුණු ජාතීන් ආර්ථික සංවර්ධනයේ ධනපති අවධියට අනිවාර්යනීය වශයෙන්ම එළඹිය යුතු යැයි ස්ථිර කොට කීම නිවැරදි සේ අපට සැලකිය හැකිද? අප එයට පිළිතුරු දුන්නේ, නැත යනුවෙනි. ජයග්‍රාහී විප්ලවවාදී නිර්ධන පංතිය එම ජාතීන් අතර ක්‍රමානුකූල ප්‍රචාරයක් ගෙනයයි නම්, එසේම සෝවියට් රාජ්‍යයන් තම ප්‍රයෝජනය සඳහා ඇති සියලුම මාධ්‍යයන් යොදාගනිමින් ඔවුන්ගේ ආධාරයට එන්නේ නම් එවැනි තත්වයක් යටතේ නොදියුණු රටවල් අනිවාර්යනීය වශයෙන්ම ධනපති සංවර්ධන අවධිය ඔස්සේ ගමන්කළ යුතුයැයි සිතාගැනීම වරදක් වනු ඇත.”
(ලෙනින්, තෝරාගත් කෘති, 11 වෙළුම, 55 පිටුව)

3. නිර්ධන පංති රාජ්‍ය බලය හා කම්කරු ගොවි සන්ධානය

තම පංති බලය අහිමිවීමෙන් පසු වියරු වැටෙන ධනපති කොටස්වල ප්‍රතිවිප්ලවීය ක්‍රියා වළකාලීම සඳහා නිර්ධන පංති රාජ්‍ය බලය ශක්තිමත් කිරීම අනිවාර්ය කාර්යයකි. එය ධනේශ්වර හෝ අවස්ථාවාදී දෘෂ්ටියක පිහිටා නොව නිවැරදි නිර්ධන පංතික දෘෂ්ටියේ පිහිටා පවත්වාගත යුතුය. එමෙන්ම කිසිදු මොහොතක කුමන හේතු මත හෝ එම නිර්ධන පංති රාජ්‍ය බලය ලිහිල් කළ යුතු නැත. එසේම එය ධනපතින් ප්‍රමුඛ වූ ප්‍රතිවිප්ලවයට එරෙහිව මිස පොදු ජනතාව උදෙසා නොවිය යුතුය. මෙහිදි නිර්ධන පංතියේ රාජ්‍ය බලය යන්නට හුදු පක්ෂයේ නිලධාරිවාදී ආඥාදායකත්වය ආදේශ වීමට ඉඩ ප්‍රස්ථා නොතැබීම පිළිබඳව පරෙස්සම් විය යුතුය. එසේම සැබෑ ලෙසම නිර්ධන පංතිය හා ගොවි ජනතාව නිර්ධන පංති රාජ්‍ය බලය උදෙසා හවුල් කරගත යුතුය. මක්නිසාද යත් නිර්ධන පංති ආඥාදායකත්වය යනු පංතියේ ආධිපත්‍යය මිස හුදු පක්ෂයේ නිලධාරිවාදී කොටස්වල ආධිපත්‍යය නොවේ. සමස්ත පීඩිත පංතිය අවි දරා සමාජවාදී රාජ්‍ය ආරක්ෂා කරන තත්වයට එය පළල් ලෙස අරුත් ගැන්විය යුතුය. ෆිදෙල් කස්ත්‍රෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පිළිබඳව කතා කරමින් පවසනුයේ කියුබාව යළි අධිරාජ්‍යවාදයට පරාජය කළ නොහැකි බවයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ, “අපේ රටේ සමස්ත ජනතාවම ප්‍රතිවිප්ලවයට එරෙහිව අවි දරා සිටිනවා” යන්නයි. සමාජවාදී කියුබාවට එරෙහිව පෙළගැසුණු අධිරාජ්‍යවාදීන්ගේ විවිධ කුමන්ත්‍රණයන්හිදී ඒවාට මුහුණ දෙමින් ඔවුන් එහි සත්‍යතාවය මනාව තහවුරු කොට තිබේ. නිර්ධන පංති රාජ්‍ය බලය මඟින් සමාජවාදය සුරැකීමේ හා ගොඩනැංවීමේ කාර්යයේදී කම්කරු ගොවි සන්ධානය ශක්තිමත් මිනිස් පවුරක් ලෙස ගොඩනැගීය හැකිය.

4. නිලධාරිවාදය පැරදවීම

නිලධාරිවාදය යනු පංතිය හා පක්ෂය අතර වන සමීප බැඳීම දුරස් කරන ප්‍රායෝගික වරදකි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ පැන නැගි නිලධාරිවාදය විසින් පක්ෂය ජනතාවගෙන් වඩ වඩාත් දුරස් කළේය. ප්‍රතිවිප්ලවවාදීන් විසින් තම අරමුණු උදෙසා යොදවා ගනු ලැබූයේ මෙසේ දුරස්වූ ජනතාවයි. එබැවින් නිලධාරිවාදය යනු සමාජවාදයට සතුරු භාවිතයකි. සමාජවාදය ගොඩනැංවීමේ කටයුත්තේදී නිලධාරිවාදය පැරදවීම ඉතා සුපරීක්ෂාවෙන් කළ යුත්තකි. සමාජවාදී අවධියේදී නිලධාරිවාදයේ නැගී සිටීම සඳහා බලපාන තත්වයන් අන් කවර කලෙකටත් වඩා ඉස්මතු වේ. ඒවා පහත ලෙස ගෙන හැර දැක්විය හැකිය.

  1. රාජ්‍ය බලයේ වගකීම පුද්ගලිකව ආරෝපණය කරගැනීම
    රාජ්‍ය බලය හොබවන නිසාම බලහත්කාරය හා වරප්‍රසාද ලැබීම ආදී නිලධාරි ලක්ෂණයන් වෙත පෙළඹිමට වන ඉඩකඩත්, අවස්ථාවත් සැලසෙයි. පසුගාමී මානසිකත්වය විසින් මේ සඳහා තවදුරටත් පෙළඹවීම් සිදුවේ.
  2. අවශ්‍ය තරමට පවතින සම්පත් හිඟකම
    සම්පත් හිඟකම විසින් ඒවා ලබාගැනීමේ තරඟකාරි පෙළඹවීමක් ඇතිවේ. එහිදි තම නිල බලය යොදාගනිමින් වරප්‍රසාදිතව කටයුතු කිරීමට කෙනෙකු පෙළඹවීමේ පරිසරයක් නිතතින්ම ඇතිවේ.
  3. ජනතාවගේ තුළ පවතින පසුගාමීත්වය හා උදාසීනත්වය
    සමාජ පසුගාමීත්වය නිසාම නිලධාරිවාදයට උදාසීන ලෙස ප්‍රතිචාර දැක්වීම හා නිලතල හා වරප්‍රසාද දරන්නන් උසස් කොට සැලකීම සිදුවේ. මෙම තත්වයට අකමැති නමුත් එයට එරෙහි වනවා වෙනුවට උදාසීනව ප්‍රතිචාර දැක්වීම්වලට සීමාවේ. වැඩිපුරම සිදුවන්නේ ‘ඒක එහෙම තමයි.’ යන ආකල්පයෙන් බලා සිටීමයි. එහෙත් එය සමාජ විරෝධයක් ලෙසින් කැටිවී පුපුරා යන විට එය සමාජවාදයද විනාශ කර දමයි.

නිලධාරිවාදය නැති කිරීම සඳහා නිශ්චිතවම කළ යුත්තේ සම්පත්වල හිඟකම පරදවමින් දැවැන්ත ලෙස නිෂ්පාදනය ඉහළ නැංවීමයි. එවිට ඒවා බහුල වන බැවින් තවදුරටත් වරප්‍රසාද බවට පත් වන්නේ නැත. නමුත් එය තරමක් දිගුකාලීන ක්‍රියාවකි. එනිසා කෙටිකාලීනව එය වළකාලිය හැක්කේ, නීති රීති මගින් හා සංස්කෘතිකමය ක්‍රියාවලියක් තුළය. පක්ෂය තුළ පක්ෂ විනය මඟින්ද, රට තුළ නීති රීති මඟින්ද, මෙය කළ යුතුය. සෝවියට් ව්‍යවස්ථාව තුළ පවතින ‘මහජන නියෝජිතයින් ඕනෑම අවස්ථාවක ආපසු කැදවීමේ බලය ජනතාවට ඇත.’ යන්න එක් නිදර්ශනයකි. අල්ලස, දූෂණය, ජාතික සම්පත් දේපළ වැනසීම ආදීයට බරපතළ දඬුවම් පැනවීම මෙහිදී වැදගත්වේ. සමාජවාදී රාජ්‍යයන් තුළ පොදු දේපළ සොරකමට සමාවක් නැත. එමෙන්ම අසමානතාවය සමාජවාදී අවධියට සාපේක්ෂව අවම කිරීම මඟින් නිලධාරිවාදයට පසුබිම සදන විෂයමූල තත්වය ඉවත් කළ හැකිය. කෙසේ හෝ නිලධාරිවාදය පැරදවීම සමාජවාදයේ පැවැත්ම උදෙසා වන ප්‍රමුඛතම සාධකයකි.

5. නවීන තාක්ෂණය ලබා ගැනීමේ උපක්‍රම

සමාජවාදය යනු මිනිසා මෙතෙක් ලබාගන්නා ලද ජයග්‍රහණයන් ඉදිරියට ගෙන යන හා ඉදිරියට නව ජයග්‍රහණයන් බිහි කරන්නකි. ධනේශ්වර සමාජයේ පවතින දියුණු සහ යහපත් දේවල්ද සමාජවාදය උදෙසා උපයෝගී කරගනියි. එනිසාම සමාජවාදය දැනට ධනේශ්වර ක්‍රමය දක්වා ලබා ඇති තාක්ෂණික දියුණුව ආරම්භයක් ලෙසින් යොදවා ගැනීමට පසුබට නොවේ. එහෙත් පවතින
පසුගාමීත්වය හා දුබලතාවය නිසාම තාක්ෂණය වර්ධනය කිරීම පිළිබඳව බරපතළ ගැටලු එවන් රටවල සමාජවාදය ගොඩනැංවීමේදී ඇතිවේ. එයට පිළියමක් ලෙසින් සෝවියට් විප්ලවයේදී ලෙනින් විසින් සිදු කරන ලද්දේ, විදෙස් සමාගම්වලට රට තුළ ඉදිකිරීම් හා නිෂ්පාදනයට ඉඩ දෙමින් ඔවුන්ගෙන් ඒවායේ තාක්ෂණය උරා ගැනීමයි. තවද තම රටේ පුද්ගලයින් විදේශවලට යවා තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනයක් ලබාදීමයි. එපමණකින් නොනැවතී රට තුළ විවිධ තාක්ෂණික පරීක්ෂණයන් සඳහා දිරිමත් කිරීම් කරන ලදී. ලෙනින් විසින් මුළු මහත් රුසියාවම විද්‍යුත්කරණයට ලක් කිරීම මෙහිදී ප්‍රධානතම නිදර්ශනයකි. ලෙනින් පුන පුනා පැවසූයේ, සමාජවාදී ආර්ථිකය හා සමාජවාදී ජීවිතය ගොඩනැගීමේදි මුළු මහත් රටම විද්‍යුත්කරණයට ලක් කිරීම අත්‍යවශ්‍ය හා අනිවාර්ය කොන්දේසියක් බවයි. එය කර්මාන්තවල වර්ධනයටද, තාක්ෂණික දියුණුවටද, ජනතාවගේ පසුගාමීත්වය පලවා හැරීමටද මාවත පුළුල් කළේය. කර්මාන්තයේදී මෙන්ම දෛනික ජන ජීවිතයේදී තාක්ෂණය උපයෝගී කරගැනීම පිළිබඳව ජනතාවගේ අත්දැකීම් පුළුල්වීමට මෙය රුකුලක් විය. අභ්‍යවකාශය පවා ජයගන්නා දැවැන්ත තාක්ෂණයන් වෙත සෝවියට් දේශය ඔසවාලීමෙහි ඇරඹුම මේ තුළින් සිදුවිය.

6. ජනතාව පෙරටුකොට දිනන සමාජවාදය

සමාජවාදී සමාජ විප්ලවයේදී බලය ගැනීමේ කටයුත්ත මෙන්ම සමාජවාදී පරිවර්තනයන් ජයගැනීම සඳහා ජනතාවගේ කැමැත්ත හා දායකත්වය තීරණාත්මකය. සමාජවාදය යනු හුදකලා කල්ලියක හෝ කණ්ඩායමක කුමන්ත්‍රණයක් නොවේ. එනිසා රට තුළ සාතිශය බහුතරයක සහය නොලැබෙන්නේ නම් සමාජවාදය මොහොතකදු පවතින්නේ නැත. මේ සඳහා ප්‍රබලම උදාහරණය කියුබාවයි. ඇමරිකා එක්සත් ජනපදයේ අත පොවන මානයේ සිටිමින් ඇමරිකාවේ විවිධ කුමන්ත්‍රණ හා ආක්‍රමණයන් මැද්දේ පවා සමාජවාදී කියුබාව රැකෙන්නේ, ජනතාව සමඟ අත්වැල් අල්ලා ගැනීමෙනි. ලෙනින්, ගොවි ජනතාව සිටින රටක ප්‍රමුඛතම කටයුත්තක් ලෙස ගොවිජන ගැටලුව විසඳීම සිදු කළේය. ඒ සඳහා සමාජවාදී රාජ්‍යයේ ‘පළමු පනත ලෙස ලෙනින් විසින්ම ඉඩම් පනත’ සකස් කරන ලදී. තවද සුළු නිෂ්පාදනය බිඳ වැටීම තුළින් භාණ්ඩ හිඟයක් ඇතිවීමේ අනතුර දුටු අවස්ථාවේ නව ආර්ථික සැලසුම් හරහා සුළු නිෂ්පාදනයට හා වෙළඳාමට ඉඩ සලසන ලදී. මෙය සමාජවාදයේ අත්‍යවශ්‍ය පසු බැසීමක් ලෙස ලෙනින් දුටුවේය. නමුත් එම තාවකාලික පසුබැසීමට ලෙනින් බිය වූයේ නැත. මේ සියල්ල තුළින් සතුරු ප්‍රතිවිරෝධයන් දුබල කිරීමට හා සමාජවාදී අවධිය තුළ කල් බලන කාලය අවම කරගැනීමට ඔහු උත්සාහ කළේය.
පීඩිත පංති කොටස් තුළින් මතුවන ප්‍රතිවිරෝධයන් අවම කරමින් සමාජවාදය සමග ජනතාවගේ විරසකයක් නොවනසේ කටයුතු කිරීම වැදගත්ය. එහිදී සමාජවාදයේ ප්‍රතිලාභ ජනතාවට වැඩි වැඩියෙන් ලැබෙනසේ සැලසුම් සැකසිය යුතුය. ඒ නිසාම ජනතාවට සමාජවාදයේ පලදාව තමන් උදෙසාම බව දැනෙන්නට වන්නේය. උදාහරණයක් සලකන්නේ නම් ප්‍රවාහනය සඳහා ජනතාව ගෙවන මුදලින් පොදු ප්‍රවාහන පහසුකම් වැඩි වන විට ජනතාව එම ප්‍රවාහනය තමන්ගේ කොට සලකා ආරක්ෂා කරයි. සෝවියට් දේශය සෑම වැඩබිමක් තුළම මාස්පතා සේවකයින්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරනු ලබන සායන පැවැත්වීය. ඔවුන් පෞද්ගලිකව ඒ සඳහා දුෂ්කරතා විඳිය යුතු වූයේ නැත. සමාජවාදී රජය නිරෝගිමත් ශ්‍රම බලකායක් යන ප්‍රතිලාභය උදෙසා කටයුතු කිරීම තම ප්‍රතිපත්තිය කොටගෙන සිටී.
සමාජවාදී පොදු දේපළ සුරැකීමත්, වර්ධනයත් තුළින් ජනතාවගේ ජීවිතය යහපත් වනවාට සාපේක්ෂව දිවි හිමියෙන් සමාජවාදය සුරැකීමේ වුවමනාවත් වර්ධනය වේ, සැබෑ නිර්ධන පංති රාජ්‍ය බලය තුළින් සතුරු පංතීන්ගේ ප්‍රතිවිරෝධතා අඩු කරලීම කළ යුතුය. එමෙන්ම ජාත්‍යන්තර සහය සමඟින් ලෝක සමාජවාදයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීම වැදගත්ය. ඒ සඳහා තෙවන ජාත්‍යන්තරය යළි පිහිටුවීම උදෙසා අරගලය හා මැදිහත්වීම් අත්‍යවශ්‍ය කාරණයකි. සමාජවාදී සමාජ විප්ලවය සම්පූර්ණ වනුයේ, ලෝක විප්ලවයක් ලෙසින් මිස ප්‍රාදේශීයකරණයට ලක්වූ විප්ලවයක් ලෙසින් නොවේ. එය ජාත්‍යන්තරවාදී විප්ලවයකි. ඒ සඳහා එක් එක් රටවල් විසින් සම්පූර්ණ කළ යුතු එම රටට අදාළ කොටසක් පවතී. ඒ ඔස්සේ සමාජවාදය ගොඩනැගීමේ වෙනස් අත්හදා බැලීම් සිදුවන්නට විය. ඒවා සිදුවීම් දාමයක් ඔස්සේ වෙමින් සමාජවාදී කඳවුරක් බිහිවිය. එය තුළ මිනිසාගේ ජීවිතය පොදුවේ ඔසවා තබන ජයග්‍රහණයන් බොහෝ විය.
මෙතෙක් කළ අධ්‍යයනය තුළ ඉතා පැහැදිලිව දක්නට ලැබෙන කාරණය වන්නේ, සමාජවාදය යනු පංති සමාජයක් වන ධනවාදයේ සිට පංති විරහිත කොමියුනිස්ට් සමාජය දක්වා වන සංක්‍රමණීය අවස්ථාවක් බවයි. එහි මූලික ප්‍රතිවිරෝධය හඳුනා ගනිමින් දැවැන්ත සමාජ ආර්ථික පරිවර්තනයන් ඔස්සේ පෙරට ගෙනයෑම සඳහා නිර්ධන පංතික රාජ්‍ය බලය යන්න අනිවාර්යයෙන්ම සපුරාලිය යුතු කොන්දේසියකි. සමාජවාදී විප්ලවය පෙරට ගෙනයාමේදී වන අභියෝග හමුවේ මාක්ස් ලෙනින්වාදය මත පිහිටා කටයුතු කිරීම නිර්ධන පංති පක්ෂයේ කාර්යභාරයයි. එහෙත් ධනපති පංතිය පරාජය වී ඇති නමුත් ඔවුන් කිසිදා තම කැමැත්තෙන් අත්හැර යන්නේ නැත යන්නද අනිවාර්යයකි. එනිසා ඔවුනට මුහුණ දීමේදී ජනතාව තීරණාත්මක සාධකය වේ. අවස්ථාවාදයට ගොදුරුවීම විසින් සමාජවාදයේ ජයග්‍රහණය උදෙසා වන අරගලය මංමුළාවට පත්විය හැකිය. කෙසේ වුවද ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය තෙක් මෙම පංති ගැටුම සහිතව නිර්ධන පංති රාජ්‍ය බලයේ මෙහෙයුම තුළ සමාජවාදය පසුබැසීම් හා ජයග්‍රහණයන් ඔස්සේ එහෙත් පෙරට යමින් පවතියි. සමාජවාදී කඳවුර බිහිවීම නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතියට මහත් ආශ්වාදයක් මෙන්ම බලාපොරොත්තුවක්ද විය. එහිදී
ප්‍රාග්ධනයේ වියගහෙන් ශ්‍රමය සදාකාලික විමුක්තිය වෙත ළඟා වන්නේ මෙම ජයග්‍රහණයන් ඔස්සේ බව පියවරෙන් පියවර පංතියට වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ වන්නට විය. (සමාජවාදී කඳවුරෙහි පසුබැසීම විසින් තාවකාලිකව එම තත්වය වෙනස්වී ඇත.) සූරාකෑම විසින් ජනිත පීඩනයට එරෙහිව ඒකපාක්ෂික හෝ කණ්ඩායම්වාදී හුදකලා පලායාම් සහිත විඥානවාදී පිළිතුරුවලින් මිදී සජීවී විප්ලවවාදී අරගලයන්ගෙන් ආශ්වාදයට පත් ලෝක පීඩිත ජනතාව ඉන් ලද ජයග්‍රහණයන්ද කළ අරගලයන්ද අතිමහත්ය. ඒ පිළිබඳව විමසා බැලීමක් දැන් අවශ්‍යය.

“සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය” කෘතිය මෙතනින් කියවන්න – (pdf)