සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 9, 2020
සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 9, 2020
Show all

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

02 – පරිච්ඡේදය

සමාජවාදය යනු කුමක්ද ?

සමාජවාදය පිළිබඳව නිවැරදි න්‍යායික විග්‍රහයකින් තොරව අපට ඉදිරියට යාමට නොහැකිය. එනිසා මෙතැන් සිට අපි මෙම අධ්‍යයනය ආරම්භ කරමු. සමාජවාදය පිළිබඳවද විවිධ වූ විග්‍රයන් පවතී. බොහෝ විට ඒවා මාක්ස් ලෙනින්වාදයෙන් බැහැරවූ විග්‍රහයන්ය. එසේම ධනපති හා අවස්ථාවාදි මතවාදයන් හා අවශ්‍යතාවයන්ද සමාජවාදී මුහුණුවරින් පෙනී සිටියි. එයින් සිදුව ඇත්තේ, සමාජවාදය පිළිබඳව විකෘති කරන ලද හා සාවද්‍ය හැඳින්වීම් තහවුරුවීමය. සමාජවාදය යන්න පිළිබඳව නිවැරදිව න්‍යායික අවබෝධයක්
ලබාගැනීම එහි භාවිතාවේදී මහත් සේ වැදගත්වේ.

සමාජවාදය සංක්‍රමණීය සමාජ අවධියකි

සමාජවාදය යනු ධනවාදී සමාජයෙන් පසුව පවතින තවත් එක් සමාජ ක්‍රමයක් නොවේ. සමාජවාදය තවත් එක් සමාජ ක්‍රමයක් ලෙසින් වරදවා වටහා ගැනීම විසින් එහි ඓතිහාසික කාර්යභාරය අවබෝධ කරගැනීම අපහසු කරයි. එමෙන්ම සමාජවාදය උදෙසා වන අනිවාර්ය කොන්දේසි අත්හැරෙයි. නිවැරදිව පවසන්නේ නම් සමාජවාදය යනු ධනවාදයේ සිට කොමියුනිස්ට් ක්‍රමය දක්වා වන සංක්‍රමණීය කාලපරිච්ඡේදයකි. සමාජවාදය යනු කොමියුනිස්ට් සමාජ ක්‍රමයේ පහළ අවධියයි. මෙම සමාජවාදී පරිවර්තන අවධියේදී පංති සහිත ධනපති ක්‍රමයේත් පංති රහිත කොමියුනිස්ට් ක්‍රමයේත් අංග ලක්ෂණ හා ස්වභාවයන් එක්වර එහි අඩංගු වේ. පංති සහිත සමාජයක් පංති රහිත සමාජයකට පරිවර්තනය වීම සඳහා දිගු කාලයක් ගැනීම ස්වභාවිකය. පංති අහෝසිවීම ඉබේ සිදුවන්නේ නැත. සමාජ නිෂ්පාදන ක්‍රියාවලියෙහි වර්ධනයේ නිශ්චිත අවධියකදී සමාජයේ සියලු අවශ්‍යතා සපුරාලිය හැකි මට්ටමකට සමාජ ධනය වර්ධනය වීම සිදුවේ. එම තත්වය විසින් පංති පැවැත්මේ විෂය මූලික පදනම බිඳ වැටීමේ හේතුවෙන් පංති අහෝසි වේ. එය කොමියුනිස්ට් සමාජ ක්‍රමයේ ඉහළ අවධියයි. නිර්ධන පංති රාජ්‍ය බලය ස්ථාපිත කිරීමේ සිට ඒ දක්වා මානව සමාජය ගෙවාලන සංක්‍රමණීය කාලය සමාජවාදී අවධිය ලෙසින් හැඳින්වේ. මේ පිළිබඳව ලෙනින් වරක් මෙසේ පැවසීය.

“ධනපති ක්‍රමය හා කොමියුනිස්ට් ක්‍රමය අතර ඒ දෙකෙහිම අංග ලක්‍ෂණ හා ගතිගුණ ඒකාබද්ධ කරගත් නිශ්චිත පරිවර්තනීය කාලපරිච්ඡේදයක් පවතින බවට න්‍යායික වශයෙන් සැකයක් තිබිය නොහැකිය. මෙම පරිවර්තනීය කාලපරිච්ඡේදය අභාවයට යන ධනපති ක්‍රමයත් වැඩීගෙන එන ළදරු කොමියුනිස්ට් ක්‍රමයත් අතර කෙරෙන අරගලයක කාලයක් විය යුතුය. නැතහොත්, වෙනත් වචනවලින් කිවහොත්, පරාජය කර ඇති එහෙත් විනාශ කර නැති ධනපති ක්‍රමයත් උපත ලබා ඇති එහෙත් තවමත් දුර්වලව තිබෙන කොමියුනිස්ට් ක්‍රමයත් අතර අරගලයක කාලයක් විය යුතුය.”
(ලෙනින්, තෝරාගත් කෘති, 10වන වෙළුම, 46 පිටුව)


“අප මෙහි දී (කම්කරු පක්ෂයේ වැඩපිළිවෙළ විග්‍රහ කිරීමේදී) සැලකිල්ලට ගත යුත්තේ, ස්වකීයමය පදනමක් මත සංවර්ධනය වූවක් නොවන, ඊට ප්‍රතිකූල වශයෙන්, ධනපති සමාජයෙන් උද්ගත වන ලෙසටම ගත්, කොමියුනිස්ට් සමාජයක් ගැනය. එනිසා එම සමාජය, ආර්ථිකමය, සදාචාරමය සහ බුද්ධිමය යන සෑම අතින්ම තම මව් කුස වූ පැරණි ධනපති සමාජයෙන් ගෙන ආ උපන් ලපවල මුද්‍රාව තවමත් දරන්නේය.”
(මාක්ස් – ‘ගෝතා වැඩපිළිවෙළ ගැන විවේචනය’)


මෙවන් සංක්‍රමණීය කාලපරිච්ඡේදයක් අවශ්‍ය වන්නේ, සමාජවාදී විප්ලවය තුළ වන සුවිශේෂී ලක්ෂණයන් නිසාමය. සමාජවාදී සමාජ විප්ලවයට පෙරාතුව පැවැති සමාජ විප්ලවයන් හා සමාජවාදී සමාජ විප්ලවයත් අතර පවතින්නේ මුළුමනින්ම වෙනස් ලක්ෂණයන්ය. ඉතිහාසයේ මෙතෙක් පැවැති සමාජ විප්ලවයන්ගේ කාර්යය බලය ලබාගැනීමත් සමගම සම්පූර්ණ වේ. ඉන්පසුව සූරාකෑම වෙනත් ආකාරයකින් පවත්වාගෙන යෑම හා පවතින පාලන ආකෘති අවශ්‍ය ලෙස වර්ධනය කරගැනීම සිදු කෙරේ. නමුත් සමාජවාදී සමාජ විප්ලවයේදී නව සමාජයක් ගොඩනැගීම ආරම්භ වන්නේ, බලය ලබාගත් අවස්ථාවේ සිටය. එයට හේතුව සමාජවාදී සමාජ විප්ලවය ඉතිහාසයේ ප්‍රථම වතාවට පංති අහෝසි කිරීම ඉලක්ක කොට ගත් එකක් වීමය. පංති අහෝසි කිරීම ක්ෂණික ක්‍රියාදාමයක් නොව පීඩිත පංතිය බලය ලබාගත් අවස්ථාවේ සිට සිදු කරනු ලබන ක්‍රමික ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා වූ සංක්‍රමණීය කාලපරිච්ඡේදයක් අත්‍යවශ්‍ය වේ.
මෙතෙක් පැවැති සමාජ විප්ලවයන්හිදී එක් පීඩක පංතියක් අතින් නැවත බලය ලබා ගනු ලැබූයේ තවත් පීඩක පංතියක් විසින්මය. වහල් සමාජය බිඳවැටීමෙන් පසු වහලුන්ද, වැඩවසම් ක්‍රමය බිඳවැටීමෙන් පසු ප්‍රවේණිදාසයන්ද බලය අත්පත් කරගත්තේ නැත. සැම විටම පීඩක පංතීන්ම බලයට පත් විය. සමාජ සංවර්ධන ඉතිහාසයේ ප්‍රථම වතාවට සමාජවාදී සමාජ විප්ලවයේදී පීඩක පංතිය අතින් පීඩාවට ලක් වූ පංතිය වන නිර්ධන පංතිය විසින් බලය අත්පත් කරගනු ලබයි. එලෙස බලයට පත් නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතීන් සිය පාලනය තුළ ධනවාදය අහෝසි කරමින් කොමියුනිස්ට්වාදය ගොඩනැගීම සිදුකරන්නේය. එය එක් රැයකින් කළ හැක්කක් නොවේ. එය තනි රටක් තුළ කළ හැක්කක්ද නොවේ. ඒ සඳහා සමස්ත ලෝක සමාජවාදී ව්‍යාපාරයම ජයග්‍රහණය කළ යුතුය. සැබෑ කොමියුනිස්ට් පක්ෂවල නායකත්වයෙන් එක් එක් රට තුළ සමාජවාදී පරිවර්තනයන් ඉටුකළ යුතුය. මෙලෙස සමාජවාදය නම් සංක්‍රමණීය කාලපරිච්ඡේදයක් අවශ්‍ය වන්නේ ඒ සඳහාය. මෙම සංක්‍රමණීය කාලය තුළ පරාජය වූ නමුත් තවමත් යළි බලයට පත්වීමේ අරමුණ සහිතව කටයුතු කරන ධනපති පංතිය වියරු ලෙස කටයුතු කරයි. මේ හේතුවෙන් සමාජවාදය ගොඩ නැඟීමේත් එය ආරක්ෂා කරගැනීමේත් කාර්යභාරයක් සමාජවාදී සමාජ විප්ලවය සතුය. සැබවින්ම “සමාජවාදය යනු පංති නැති කිරීමයි.” සමාජවාදී සමාජ විප්ලවයේ මෙම ස්වභාවය විසින් අනිවාරණීය ලෙසින්ම එය සංක්‍රමණීය කාලපරිච්ඡේදයක් වන්නේය.

“පංති නැති කිරීම සඳහා ප්‍රථමයෙන් ඉඩම් හිමියන් හා ධනපතියන් නෙරපා දැමීම අවශ්‍යය. අපගේ කර්තව්‍යයේ මෙම කොටස සාර්ථක කර තිබේ. එහෙත් එය එක කොටසක් පමණක් වන අතර, කර්තව්‍යයේ ඉතාමත් දුෂ්කර කොටස නොවේ. පංති නැති කිරීම පිණිස දෙවැනිව, සියලුදෙනාම වැඩ කරන්නන් බවට පත් කිරීම අවශ්‍යය. මෙය එක් වරම, එක මොහොතකින් කළ හැකි දෙයක් නොවේ. මෙය පමණ නොකළ හැකි තරම් දුෂ්කරය. ඒ සඳහා අත්‍යවශ්‍යයෙන්ම දීර්ඝ කාලයක් ගත වනු ඇත. එය මොන යම් හෝ පංතියක් නෙරපා දැමීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. එය විසඳිය හැක්කේ මුළු මහත් සමාජ ආර්ථිකයම සංවිධානාත්මක ලෙස නැවැත ගොඩ නැගීමෙනි.”
(ලෙනින්, තෝරාගත් කෘති, වෙළුම 10, පිටුව 52)

සමාජවාදයෙහි වන මූලික ප්‍රතිවිරෝධය

ඕනෑම ප්‍රපංචයකදි මෙන්ම සමාජවාදී සංක්‍රමණීය අවධියේද එහි වන මූලික ප්‍රතිවිරෝධයක් පවතී. එමෙන්ම එහි “ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය හා අරගලය” යන නියාමයද ක්‍රියාත්මකව පවතී. සමාජ චලනයන්ගේ ගාමකත්වය හා දිශානතිය තීරණය කරනු ලබන මූලික සාධකය එයයි. සමාජවාදී සංක්‍රමණීය අවධියේ මූලික කාර්යය පංති අහෝසි කිරීම බව මෙයට ඉහතදී පැවසුවෙමු. එහෙත් පීඩක පංතිය (ධනපති පංතිය) යටපත් කොට පීඩිත පංතිය (නිර්ධන පංතිය) අතට බලය ගත්තද ධනපති පංතිය ඉබේ අහෝසිවී නොයන්නේය. ඔවුහු පරාජයට පත් වුවද, පංතියක් ලෙස දුබලව නමුත් යළි අහිමි වු බලය ලබාගැනීමේ අරමුණ සහිතව කටයුතු කරති. පරාජයට පත් ධනපති පංතියේ ඒකායන අරමුණ හා ක්‍රියාකාරිත්වය යළි ධනවාදය ජයග්‍රහණය කොට එය තහවුරු කිරීම වේ. එනිසාම පරාජයට පත්කළ පංතිය අහෝසි කිරීම සඳහා වන නිර්ධන පංතියේ සවිඥානක සහ අරමුණු සහගත ක්‍රියාකාරිත්වයක් අවශ්‍යය. එහිදී නිර්ධන පංතිය විසින් තම පංතියේ පාලනය යොදාගනිමින් බලය පවත්වා ගැනීම හා තහවුරු කරගැනීම සිදු කරනු ලබයි. එපමණක් නොව ඉන් ඔබ්බට සමාජවාදී සමාජය ගොඩනැගීමේ ක්‍රියාවලියක්ද පවතී. මේ හේතුවෙන් සමාජවාදී සංක්‍රමණීය අවධියේදී එය තුළ වන මූලික ප්‍රතිවිරෝධය වන්නේ,
“පරාජය කළ එහෙත් විනාශ නොකළ ධනපති ක්‍රමයත්, උපත ලබා ඇති එහෙත් තවමත් ශක්තිමත් නොවන කොමියුනිස්ට් ක්‍රමයත් අතර ගැටුමයි.” සැබැවින්ම එය “මිය යමින් පවතින ධනවාදය හා උපත ලබා ඇති නමුත් තහවුරු නොකළ කොමියුනිස්ට් ක්‍රමය අතර වන ප්‍රතිවිරෝධයයි.” එය ප්‍රකාශයට පත්වන්නේ, නිර්ධන පංති පක්ෂය ප්‍රමුඛ පීඩිත පංතිය හා ධනපති පංතිය අතර ගැටුමක් ලෙසිනි. මෙය පංති අරගලයේ අවසාන ආකාරයයි. එහි උච්චාවචනයන් අනුව සමාජවාදයේ ජයග්‍රහණයන් හා පසුබැසීම් දක්නට ලැබේ.

සමාජවාදයෙහි සටන් පාඨය

සමාජවාදී ඉලක්ක සපුරා ගැනීම අරමුණු කරගත් සටන් පාඨ එය විසින්ම නිර්මාණය කරගනු ලැබේ. එහිදී සමාජවාදී සංක්‍රමණීය අවධියට හා කොමියුනිස්ට් සමාජයේ ඉහළ අවධියට අනුකූල ලෙස එම සටන්පාඨ සකස් වේ. සමාජවාදය යනු අංක ගණිතමය ලෙසින් සියල්ල සමානව බෙදීයාම නොවේ. සමාජවාදය තුළ පංති අහෝසි වීමට අදාළ පූර්ව තත්වයන් සැකසෙමින් පවතින නමුත් තවමත් පංති පවති. එනිසා විශේෂයෙන්ම ශ්‍රමයෙහි වන අසමානකම් පවතී. එවන් තත්වයක් තුළ අංක ගණිතමය ලෙස සමානත්වය ඇති කිරීම යනු අසමානතාවය තවදුරටත් වර්ධනය කිරීමකි. සියලු මිනිසුන් හට මූලික මිනිස් අවශ්‍යතාවයන් සමාන විය හැකි නමුත් ඒවා අවශ්‍ය වන ප්‍රමාණය එකිනෙකා අනුව වෙනස්ය. මිනිසුන් තිදෙනෙකු අතර සමාන ලෙස යම් ආහාර සලාක ප්‍රමාණයක් බෙදා දුන් විට එහි සමානතාවය පවතින්නේ නැත. එකිනෙකාට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය මෙන්ම එහි පෝෂණ අවශ්‍යතාවය හා රුචිකත්වයද වෙනස් විය හැකිය. එය තම පංචේන්ද්‍රයන්ගේ හුරුවට අනුව, ආහාර පිළිබඳව වන ආකල්පයන්ට අනුව, ආහාරයේ ගුණාත්මක බව අනුව සහ අවශ්‍යතාවය අනුව සකස් වන්නකි. එයින් පැහැදිලි වන්නේ තම ආහාර පිළිබඳව භෞතික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද ඔහුගේ ශරීරය තෘප්තිමත් විය යුතු බවය. සාමාන්‍ය වහරින් පවසන්නේ නම් කාගෙත් ආමාශයේ ප්‍රමාණය සමාන වන්නේ නැත. එබැවින් ඉරි ඇඳ, කොටු ඇඳ සකසාගත් හතරැස් සමාජවාදයක් නොමැත. එනිසාම කොමියුනිස්ට් අවධියේදී සමාජයේ පවතින්නේ සමාන අයිතියයි. සුදුසු ආහාරයක් ලැබීමේ, අධ්‍යාපනය ලැබීමේ, ආරක්ෂාව ලැබීමේ, තොරතුරු දැන ගැනීමේ, තම කොමියුනිස්ට්වාදි ශ්‍රමය වැගිරවීමේ සමාන අයිතියයි. අයිතීන් භුක්ති විඳීම පිළිබඳව සමාන හිමිකමයි.

සමාජවාදී අවධිය තුළ ධනපති පංතිය දුබලව නමුත් තවමත් පවතින බව අපි දැනටමත් දනිමු. ඔවුහු සමාජවාදය ගොඩනැගීම උදෙසා උරදෙනවා වෙනුවට එය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරති. මෙම ධනපති කොටස් සමාජවාදයේ ඵලදාව භුක්ති විඳිමින් හා විනාශ කරමින් සමාජවාදය උදෙසා නොව සමාජවාදයට එරෙහිව කරන කටයුතු වළකාලිය යුතුය. පංති රහිත කොමියුනිස්ට් අවධියේදී නම් නිෂ්පාදනයේ අති දැවැන්ත වර්ධනය නිසාම
“සැමගෙන් ඔහුගේ හැකියාවට අනුවත්, සැමට ඔහුගේ අවශ්‍යතාවයට අනුවත් ” යන ආදර්ශ පාඨය තුළ සමාජය හැසිරවේ. සමාජවාදයේදී සමාජ නිෂ්පාදන ක්‍රියාවලියට ශ්‍රම දායකත්වය ලබාදීම පුරවැසියා සතු සමාජ වගකීමකි. (රෝගින්, දුබලයන්, බාල වයස්කරුවන්ට මෙය අදාළ නොවේ.) සමාජවාදය යනු සමාජයේ පැවැත්ම හා වර්ධනය වෙනුවෙන් නිෂ්පාදන ක්‍රියාවලියට සැවොම දායක වන වැඩකරන ජනතාවගේ සමාජ ක්‍රමයකි. එම නිසා සමාජවාදී සංක්‍රමණීය අවධියේදී එහි ආදර්ශ පාඨය වන්නේ, “සැමගෙන් ඔහුගේ හැකියාවට අනුවත්, සැමට ඔහු කරන වැඩවලට අනුවත්” යන්නය. සමාජවාදයේදී සමාජයේ සාමාජිකයින් අතර නිෂ්පාදන භාණ්ඩ බෙදා හැරීම සහ ශ්‍රම කටයුතු වෙන් කර දීම විෂයෙහි ක්‍රියාත්මක වන තීරක සාධකය එයය.

“සමාන ශ්‍රම ප්‍රමාණයක් සඳහා සමාන නිෂ්පාදිත භාණ්ඩ ප්‍රමාණයක්” යන අනිත් සමාජවාදී ප්‍රතිපත්තියද දැනටමත් සාර්ථක වී ඇත. එහෙත් මෙය තවමත් කොමියුනිස්ට් ක්‍රමය නොවේ. අසමාන (ඇත්ත වශයෙන්ම අසමාන) ශ්‍රම ප්‍රමාණයන් සඳහා අසමාන පුද්ගලයන්ට සමාන නිෂ්පාදිත භාණ්ඩ ප්‍රමාණයන් දෙන ‘ධනපති අයිතිය’ තවමත් අහෝසි නොවන්නේය.”
(ලෙනින්, තෝරාගත් කෘති, වෙළුම 6 පිටුව 102)

නිර්ධන පංති රාජ්‍ය බලයේ අත්‍යවශ්‍යතාවය

ධනපති සමාජ ක්‍රමයක පවතින්නේ, ධනපති පංතියේ රාජ්‍ය බලයයි. එමෙන්ම සමාජවාදී සමාජ විප්ලවයට පූර්වයෙන් පැවැති වහල්, වැඩවසම්, ධනේශ්වර විප්ලවයන්හිදි නව පීඩක පංතිය විසින් බලය අත්පත් කරගැනිීමෙන් පසු එම විප්ලවයන්හි අවසානය සනිටුහන් කරන ලදී. එම විප්ලවයන්හිදී බලය අත්පත් කරගත් පංතියට එය තහවුරු කොට අවසන් කිරීම එතරම් අපහසු නැත. එය එතරම් පහසු වන්නේ, යළි බලය අත්පත් කරගනු ලබන්නේද තවත් පීඩක පංතියක් විසින් වන බැවිනි. ඔවුන් තවදුරටත් පංති සමාජයේ පවතින රාජ්‍යය යන ආකෘතිය වෙනස් කරමින් වැඩි දියුණු කරයි. රාජ්‍යය යන්නේ අඩංගුව එලෙසම පැවතියදී එහි ආකාරය වෙනස් කරයි. ඒ අනුව රාජ්‍යයේ හරය පංති පීඩක උපකරණයක් ලෙස එලෙසම පවතිමින් පෙනුම පමණක් වෙනස් වේ. රජය යන්න බලය අත්පත් කොට ගත් පංතියේ ආධිපත්‍යය පවත්වා ගන්නා උපකරණයයි. පූර්ව විප්ලවයන්හිදී සිදුවූයේ පුද්ගලික දේපළ හිමිකමේ ස්වරූපය පමණක් වෙනස් වීමයි. පුද්ගලික දේපළ ස්වරූපය වෙනස් වුවද එහි හිමිකම එලෙසම පවතී. තවද සූරාකන පංතිය හා සූරාකෑමේ ආකාරය වෙනස් වන නමුත් සූරාකෑම අහෝසි නොවී තවදුරටත් පවතී.
නමුත් සමාජවාදී සමාජ විප්ලවය සිදුවන්නේ, සූරාකන්නන්ට එරෙහිව සූරාකෑමට ලක්වන්නන්ගේ මැදිහත් වීමෙනි. එහිදී නිර්ධන පංතිය රාජ්‍ය බලය තමන් වෙත අත්පත් කරගනු ලැබුවද එය තහවුරු කිරීම සඳහා යම් කාලයක් ගතවේ. සමාජවාදී සමාජ විප්ලවයේදී සූරාකෑම අවසන් කිරීම පිණිස පුද්ගලික දේපළ සබඳතාවයන් අහෝසි කළ යුතුය. එයින් බිහිවන නව ආර්ථික ක්‍රියාවලිය හරහා නිෂ්පාදනය අති දැවැන්ත වර්ධනයක් කරා ගෙනයනු පිණිස යම් කාලයක් අවශ්‍ය වේ. මෙම කාලය අතරතුර ධනපති පංතිය නව සමාජයට එරෙහිව දියත් වන ප්‍රතිවිප්ලවය වෙනුවෙන් පෙනී සිටීම අනිවාර්යයකි. එහිදී ඔවුහු තමනට අහිමිව ගිය බලය යළි ලබාගැනීම උදෙසා මාරාන්තිකව සටන් වදිති. එනිසා නිර්ධන පංතියට සමාජවාදය රැක ගැනීම උදෙසා තමන්ගේ වූ රාජ්‍ය බලය තීරණාත්මක සාධකයකි.
නිර්ධන පංති රාජ්‍ය බලයේ කාර්යභාරය අනුව එහි පැති දෙකක් දක්නට හැකිය. එයින් එක් පාර්ශ්වයක් වන්නේ, ප්‍රතිවිප්ලවය පරදා සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා වන කාර්යයයි. එහි අනෙක් පැත්ත වනුයේ, නව සමාජ ක්‍රමය
ගොඩනැගීම සඳහා පංතියට දේශපාලන නායකත්වයක් සැපයීමේ අවශ්‍යතාවය හා කාර්යයයි. මේ අරමුණු දෙක සාර්ථක කර ගැනීම සඳහා අව්‍යාජ බොල්ෂෙවික් පක්ෂයක පරිණත නායකත්වයක් අවශ්‍යය. එමෙන්ම ඒ සඳහා නිර්ධන පංතියේ ආධිපත්‍යය හෙවත් ජනතාවාදී පාලනයක කාලයක් අවශ්‍ය වේ. එය නිර්ධන පංති රාජ්‍ය බලයේ අවධියයි.

“සූරාකන්නන්ගේ, ඉඩම් හිමියන්ගේ සහ ධනපතියන්ගේ පංතිය තවමත් අහෝසි වී නැත. නිර්ධන පංති ආඥාදායකත්වය යටතේ එය එක්වරම අහෝසිවීම බලාපොරොත්තු වීමටද නොහැක. සූරාකන්නන් තලා දමා ඇති නමුත්, ඔවුන් තවමත් විනාශවී නැත. ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ස්වරූපය ගත් ජාත්‍යන්තර පදනමක් තවමත් ඔවුන් සතුව ඇත. ඔවුහු තවමත් නිෂ්පාදන මාර්ග සමහරක් අර්ධ වශයෙන් රඳවාගෙන සිටිති. තවමත් ඔවුන් වෙත මුදල් ඇත. ඔවුහු පැතිර ගිය සමාජ සම්බන්ධතාවයන් සහිතව සිටිති. ඔවුන් පරාජයට පත්කර සිටින නිසා, ඔවුන්ගේ ප්‍රතිරෝධය සිය ගුණයෙන් සහ දහස් ගුණයෙන් බලවත්ව තිබේ.”
( ලෙනින්, තෝරාගත් කෘති, වෙළුම 10, පිටුව 55 )

“ධනපති හා කොමියුනිස්ට් සමාජ අතර එකක් අනිකට විප්ලවීය ලෙස පරිවර්තනය වන කාල සීමාවක්ද ඇත. මීට අනුරූපී වන දේශපාලන පරිවර්තනයේ කාල සීමාවක්ද ඇත. එය අන් කිසිවක් නොව නිර්ධන පංතියේ විප්ලවකාරී ආඥාදායකත්වය විය යුතුය.”
(කාල් මාක්ස් )

සමාජවාදී වැඩපිළිවෙළෙහි අභියෝග

ධනවාදයට එරෙහිව සමාජවාදය තහවුරු කිරීම සඳහා වන වැඩපිළිවෙළ නොයෙක් අභියෝගයන්ට ලක්වීම වරින්වර සිදුවිය. එම අභියෝගයන් අනුව එම වැඩපිළිවෙළෙහිද වෙනස්කම් කරන්නට මාක්ස්වාදයේ ගුරුවරු සමත් වූහ. ඔවුනගේ අත්දැකීම් ඔස්සේ සිතා බලන විට අපට මෙය වටහා ගැනීම පහසු වනු ඇත. සූරාකෑමේ මාධ්‍යය ප්‍රාග්ධනය බවට පත් කරගත් ධනවාදය පළමුවෙන්ම කරළියට පැමිණෙන්නේ, නිෂ්පාදනයේ ‘නිදහස් තරඟයක’ ස්වරූපයකිනි. තනි තනි ධනපති නිෂ්පාදකයන් අතර වූ නිදහස් තරගය විසින් අධිනිෂ්පාදන අර්බුදය නම් අර්බුදයට ධනවාදය ඇද දැමීය. එනිසා නිෂ්පාදනයේ යම් අරාජික බවක්ද දක්නට ලැබුණි. එය විසින් ධනේශ්වර ක්‍රමයේ දැවැන්ත අර්බුදයන් නිර්මාණය කරන ලදී. එම අවධියේදී සමාජවාදීි සමාජ විප්ලවය ලෝකයේ දියුණු ධනපති රටවලින් ඇරඹී ලෝකය පුරා එක විට පැතිරයාමේ හැකියාව මාක්ස් හා එංගල්ස් දෙදෙනා විසින් දක්නා ලදී. තාර්කිකව ගත් විට සමාජවාදය යනු ධනවාදයේ වර්ධනය විසින්ම ඇති බිහිකරගන්නක් වන නිසා එය බිහිවිය යුතුව තිබුණේ, ධනවාදය වඩාත් සංවර්ධනය වූ රටවලිනි. එහෙත් නිදහස් තරගය තුළ ධනවාදය අර්බුදයටයත්ම එය සමහන් කරගැනීම උදෙසා ගනු ලබන උපායමාර්ග හා උපක්‍රම හේතුවෙන් එය නව අවධියකට පත් විය. තනි තනි නිෂ්පාදකයන් අතර වූ නිදහස් තරගය වෙනුවට නිෂ්පාදනයේ ඒකාධිකාර බිහිවිය. එය ලෙනින් විසින් විග්‍රහ කළ පරිදි ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදයයි. මෙය ධනපති ක්‍රමයේ ගුණාත්මක වෙනසක් වූ අතර මෙම නව තත්වය තුළ සමාජවාදී විප්ලවයේ හැකියාව ධනවාදයේ කේන්ද්‍රයෙන් එහි පරිධියට මාරුවිය. අධිරාජ්‍යවාදී අවධියේ විශේෂතාවයන්ට අනුව සමාජවාදී සමාජ විප්ලවය ධනේශ්වර සංවර්ධනයේ පසුපසින් සිටින පරිධියේ රටවලින් ආරම්භ වීමේ හැකියාව මතු විය. ඒ හේතුවෙන් ධනපති සමාජ ක්‍රමයට විකල්පය වූ සමාජවාදය උදෙසා වන වැඩපිළිවෙළට නව අභියෝගයන් මතු විය. එයට අනුව සමාජවාදය උදෙසා වන වැඩපිළිවෙළෙහි ස්වභාවය වෙනස් විය යුතු බව ලෙනින් විසින් පැහැදිලි කරන ලදී. මේ හේතුවෙන් මාක්ස්ගේ හා ලෙනින්ගේ යුගයන් හිදී ඊට අනුරූපීව සමාජවාදය උදෙසා වැඩපිළිවෙළෙහි වන වෙනස්කම් ඇති විය. එම වෙනස්කම් හා එයට හේතු වූ කාරණා හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේදී වැදගත් වේ. ප්‍රථමයෙන් මාක්ස්ගේ යුගයේදී
අනුගමනය කළ සමාජවාදය උදෙසා වැඩපිළිවෙළ විමසා බලමු.

මාක්ස්ගේ යුගයේ සමාජවාදය උදෙසා වැඩපිළිවෙළ

මාක්ස්ගේ යුගයේදි ධනවාදය පැවැතියේ, එහි මුල් අවධියේය. ප්‍රාග්ධනයේ ක්‍රියාකාරිත්වය පැවැතියේ, නිදහස් තරගයක ආකාරයෙනි. නිදහස් තරගය තුළ අධිනිෂ්පාදන අර්බුදය ප්‍රබල ලෙසින් ප්‍රකාශයට පත්වූයේ, දියුණු ධනේශ්වර රටවලය. අධිනිෂ්පාදන අර්බුදය යනු එක් මොහොතක වැඩි ලාභයක් ලබාදෙමින් තිබූ නිෂ්පාදන කේෂ්ත්‍රයන්ට සියලු තනි තනි නිෂ්පාදකයින් කඩාවැදීම නිසා එම කේෂ්ත්‍රයේ නිෂ්පාදනය වැඩිවී, එහිම ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ තුළ මිල පහළ ගොස් ලාභය පහත වැටීම නිසා ඇතිවන අර්බුදයයි. මෙය නිෂ්පාදන අරාජිකත්වය දක්වා වර්ධනය වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ, අධිනිෂ්පාදනය විසින් නිර්මාණය කළ වැඩි නිෂ්පාදනයන් විනාශ කිරීම, කර්මාන්ත වසා දැමීම, රැකියා අහිමිවීම විසින් නිර්මාණය වන දැවැන්ත අර්බුදයකි. මෙහිදි මුළු ධනවාදී නිෂ්පාදනයම කඩාවැටී මුළු ධනවාදය එක තැන නතරවන තත්වයක් මතුවේ. එවිට ධනවාදය දුර්වල වේ. එබැවින් සමාජවාදී විප්ලවයට අවශ්‍ය විෂයමූල තත්වයන් මෝරා තිබුණේ එම රටවලය. එමෙන්ම දියුණු ධනපති රටවල සමාජවාදය ගොඩනැගීම පහසු කටයුත්තක් මෙන්ම වාසි සහගත එකක් විය. එයට හේතු ගණනාවකි.

සමාජවාදය යනු ධනවාදී සංවර්ධනයේ ඉහළ අවධියෙන් පසු විප්ලවීය අරගලයෙන් ගොඩනැගෙන කොමියුනිස්ට් ක්‍රමයේ සංක්‍රමණීය අවධියයි. සමාජවාදය ආරම්භ කිරීම වඩාත් පහසු වන්නෙත්, ඒ සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන බලවේග සංවර්ධනය වී තිබෙන්නේත් දියුණු ධනවාදී රටවලය. දියුණු ධනපති රටවල් මහා පරිමාණයෙන් කාර්මීකරණය වූ රටවල් නිසා ඒවායේ විප්ලවයේ ගාමක බලවේගය වන නිර්ධන පංතිය පසුගාමී රටවලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා බලයෙන් ඉතා ශක්තිමත්ය. එසේම දියුණුභාවයෙන් ඉහළය. දියුණු ධනපති රටවල ධනේශ්වර විප්ලවයේ තවදුරටත් සම්පූර්ණ කිරීමට තරම් තත්වයන් නොවන බැවින් එම රටවල සමාජවාදය
ගොඩනැගීම පහසුය. සුළු පරිමාණ දේපළවලට වඩා මහා පරිමාණ දේපළ, ඉතා වැඩි බැවින් පසුගාමී ධනේශ්වර රටකදී සමාජවාදය ගොඩ නැගීමේදී වන දුෂ්කරතා දියුණු ධනපති රටකදී මගහැරේ. තවද දියුණු ධනපති රටවල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය වීමෙන් ලොව පසුගාමී රටවල සමාජවාදය ජයගැනීමට එය රුකුලක්වේ.

මේ සියලු වාස්තවික තත්වයන් ගැඹුරින් විමර්ශනය කළ මාක්ස් විසින් ධනවාදයේ නිදහස් තරගයට අනුව සමාජවාදය ලොව පුරා එකවිට නැතිනම් දියුණු ධනපති රටවලින් ආරම්භ වන බව පැවසීය.

“කොමියුනිස්ට් ක්‍රමය නිෂ්පාදන බලවේගයන්ගේ සහ ඒ හා බැඳුණු ජගත් වෙළඳාමේ විශ්ව සංවර්ධනය පෙර හඟවන හෙයින් අනුභූතිකව එය සිදුවිය හැක්කේ ‘සියල්ල එකවිට’ නැතහොත් සමගාමීව කෙරෙන ඉදිරියෙන් සිටින ජනතාවගේ ක්‍රියාවක් වශයෙන් පමණි.”
(මාක්ස්-එංගල්ස් – ජර්මන් මතවාදය – උපුටා ගැනීම: අවස්ථාවාදයද ? නිර්ධන පංති ජාත්‍යන්තරවාදයද? රෝහණ විජේවීර)


ඒ අනුව මාක්ස්ගේ වැඩපිළිවෙළ වූයේ දියුණු ධනපති රටවලින් ආරම්භ වන සමාජවාදී විප්ලවයක් සඳහාය. එම වාස්තවික තත්වයන් වෙනස් වූ පසු ඉහත දැක්ම මාක්ස් අතින් වූ අත්වරැද්දක් ලෙස අවස්ථාවාදීන් විසින් දැකීම හිතා මතා කරනු ලබන මුළා කිරීමකි. ධනවාදයේ එම යුගයට අනුව මාක්ස් නිවැරදිය.

සමාජවාදය වෙනුවෙන් ලෙනින් යුගයේ වැඩපිළිවෙළ

එහෙත් 20වන සියවසේ ආරම්භයත් සමඟ නිදහස් තරගය තුළ වර්ධනය වූ ධනවාදය පියවරක් පෙරට යමින් ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදී අවධියට පා තැබීමත් සමඟ ධනවාදයේ වූ ඒ ගුණාත්මක වෙනසත් සමඟ මාක්ස්ගේ යුගයේ සමාජවාදී විප්ලවය සඳහා වූ දළ වැඩපිළිවෙළ වෙනස් විය. මෙම වෙනස හොඳින් විග්‍රහ කරගත් ලෙනින් තම යුගයවූ අධිරාජ්‍යවාදී යුගය මාක්ස්වාදීයට අනුව විග්‍රහ කරමින් නව වැඩපිළිවෙළක් සකස් කළේය.

ධනේශ්වර සමාජ ආර්ථික ක්‍රමය නිදහස් තරගය මගින් ඇතිවන අධිනිෂ්පාදන අර්බුදය හරහා ලෝක පරිමාණයෙන් අර්බුදයට යන්නටත්, එම අර්බුදය චක්‍රීය අර්බුදයක් ලෙසින් යළි යළිත් ප්‍රමාණයෙන් හා ගුණයෙන් විශාල වෙමින් පැන නගින්නට වීම හේතුවෙන් ඉන් මිදීමේ තාවකාලික මඟක් වෙත පිළිපන්නේය. එහිදී ප්‍රාග්ධන ඒකාධිකාරීන් මගින් නිෂ්පාදිත ප්‍රමාණය, ඒවායේ වර්ගය, මිල, හා වෙළඳපොළට නිකුත් කරන ප්‍රමාණයන් ආදිය පාලනය කිරීමේ අවධියකට පිළිපන්නේය. ඒ හේතුවෙන් අනෙකුත් සුළු ප්‍රාග්ධනයන් පරදවමින්, හීලෑ කරමින්, යටත් කරමින් හෝ විනාශ කරමින් දැවැන්ත ප්‍රාග්ධනයන් තව තවත් ශක්තිමත් කරන අධිරාජ්‍යවාදී අවධියට ධනවාදය එළැඹිණ. දැවැන්ත ප්‍රාග්ධන ඒකාධිකාරීන් විසින් ලෝකයේ සියලු දේ සූරාකමින් සියල්ල එක් ලක්ෂයකට ඒකරාශි කරන්නට විය. අනෙක් අතට මුල්කාලීන ධනවාදය හැඳින්වූයේ රාජ්‍ය නිර්බාධිත ධනවාදය ලෙසය. ධනවාදී නිෂ්පාදනයට රජය සෘජුව මැදිහත් වූයේ නැත. එහෙත් අධිරාජ්‍යවාදී අවධියේදී ප්‍රාග්ධනය සඳහා රාජ්‍ය මැදිහත්වීම වැඩිවිය. රටවල සම්පත් කොල්ලකෑම සඳහා වෙළඳපොළ අල්ලාගැනීම සඳහා අධිරාජ්‍යවාදී බලවත්හු එකිනෙකා සමඟ යුද වදින්නටද වූහ. ලෝක යුද්ධ නිර්මාණය වූයේ ඒ අනුවය. අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රයේ පවතින රටවල් විසින් පරිධියේ රටවල් සූරාකෑමට ලක් කිරීම නිසා එම රටවල අර්බුදය තව තවත් උග්‍ර වන්නට විය. පරිධියේ රටවල් සූරාකමින් එක් රැස් කරන ධනයෙන් දියුණු ධනපති රටවල කම්කරු පංතියට සුභසාධනය සලසන ලදී. ඒ තුළින් එම රටවල කම්කරු අරගල මොට කෙරිණි. පරිධියේ රටවල සිදුවූයේ මෙහි අනෙක් පැත්තයි. සම්පත් කොල්ලය හා ශ්‍රම සූරාකෑම උත්සන්න වූ බැවින් පරිධියේ රටවල අධිරාජ්‍යවාදී පීඩනය වඩාත් උත්සන්න වන්නට විය. මේ නිසා ලෙනින් අධිරාජ්‍යවාදය යනු ධනපති ක්‍රමයම බවත්, එය ධනපති ක්‍රමයේ ඉහළ අවධිය බවත්, එපමණක් නොව එයින් සමාජවාදයට අවශ්‍ය ද්‍රව්‍යමය තත්වයන් සකසන බවත් තර්කානුකූලව පෙන්වා දුන්නේය. මේ තත්වය මත ධනවාදයේ පරිධියේ රටවලින්, පසුගාමී සංවර්ධනයක් සහිත රටවලින් පවා (අධිරාජ්‍යවාදී දම්වැලේ දුබල පුරුක් තුළින්) සමාජවාදී විප්ලවය ආරම්භ විය හැකි බව ලෙනින් දුටුවේය. එහෙත් ලෝක විප්ලවය සඳහා දියුණු ධනපති රටවල විප්ලවය ජයගැනීමේ අනිවාර්ය බවද ලෙනින් අවධාරණය කළේය.

“සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය” කෘතිය මෙතනින් කියවන්න – (pdf)