ජනමාධ්‍ය හා සාවද්‍ය පරාවර්තනය

නියමුවා – 2020 සැප්තැම්බර්
September 14, 2020
The development of the revolution
September 17, 2020
Show all

ජනමාධ්‍ය හා සාවද්‍ය පරාවර්තනය

ජන මනස හෙවත් සමාජ විඥානය හැසිරෙන ආකාරය පිළිබඳ කරන අධ්‍යයනයකදී අපේ රටේ පැවැත්වූ 2020 මහ මැතිවරණය කදිම අවස්ථාවක් බව පෙනේ. එහිදී මුළු සමාජයකම (තුනෙන් දෙකක) සිතීම එකම අරමුණකට ගැනීමට සමාජයේ මත හසුරුවන්නෝ සමත්වූහ. මේ වනවිට ජන මනස හැසිරවීමේ ‘බලය’ ඩිජිටල් (ෘසටසඒක) තාක්ෂණය විසින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය විසින් අත්පත්කරගෙන තිබෙන්නේ ප්‍රාග්ධන හිමියන්ගේ සමාජ බලය කොතරම්ද යන්නද පෙන්වමිනි. ඒ අනුව එක් අතකින් ෆැසිස්ට්වාදී ලක්ෂණද අනික් අතින් වැඩවසම් චින්තනයද, ඒකාබද්ධ කරගත් ප්‍රතිගාමී දූෂිත කල්ලියක බලය ගැනීමේ දේශපාලන ව්‍යාපෘතිය රට රකින දේශප්‍රේමී ව්‍යාපෘතියක් ලෙස අර්ථ ගන්වා සමාජ විඥානය තුළ තහවුරු කිරීමට ජනමාධ්‍ය සමත්වූ හැටි අපි දුටුවෙමු. සමාජ විඥානය හැසිරවීමේලා වර්තමානයේ ජනමාධ්‍ය සතුව තිබෙන හැකියාව හා බලය හරිහැටි අවබෝධ කරගත යුත්තේ මේ නිසාය. එසේම මැතිවරණවලදී ප්‍රචාරක සමාගම් විසින් කරනු ලබන දැවැන්ත මතවාදී මැදිහත්වීමද ජනමතය හැසිරවීමේලා විශාල බලපෑමක් කරන බව පැහැදිලිය.

විසඳුම් වෙනුවෙන් අර්බුද හැදීම

සාමාන්‍යයෙන් දේශපාලනයේ සිදුවන්නේ අර්බුදවලට විසඳුම් ඉදිරිපත් කිරීම වුවද නූතන ප්‍රචාරක සමාගම් තමන් දිනවිය යුතු අපේක්ෂකයා දිනවීම සඳහා ඔහු විසඳුමක් ලෙස පෙනෙන අර්බුදයක් නිර්මාණය කොට එම අර්බුදය සඳහා විසඳුම ලෙස තම අපේක්ෂකයා ජන මනස තුළ අර්ථගැන්වීම සිදුකරනු ලබන අවස්ථාද තිබේ. පසුගිය කාලයේ බොලිවියාවේ ජනාධිපතිවරණයක් පදනම් කර නිර්මාණය කොට තිබෙන ‘ධමර ඊර්බා සි ක්‍රසිසි’ නම් චිත්‍රපටයෙන් පෙන්වන්නේද මෙම සත්‍යයය. එහිදී අදාළ ප්‍රචාරක සමාගම ජයග්‍රහණය කිරීමට අමාරුම අපේක්ෂකයා දිනවන්නේ ඔහුට ගැලපෙන අර්බුදයක් සමාජය තුළ නිර්මාණය කොට එය විසඳීමට හැකි එකම තැනැත්තා ඔහු බව තහවුරු කරමිනි.

අපේ රටේද පසුගිය ජනාධිපතිවරණයට පෙර සිදුවූ ‘පාස්කු ප්‍රහාරය’ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා බලපෑ ප්‍රධාන සාධකය වූ අතර එම ප්‍රහාරයේ සැබෑ අරමුණ කුමක්දැයි තවමත් රහසකි. මෙරට රාජපක්ෂවාදී සියලු ජනමාධ්‍ය රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම වෙනුවෙන් යොදාගත් ප්‍රබල සිදුවීම එය වූ අතර රට හැදීම සඳහා නොව ‘රට රැකීම’ සඳහා පාලකයෙක් අවශ්‍යය යන චින්තනය ජනමනස තුළ තහවුරු කිරීමට ඔවුහු සමත් වූහ.

සිතන ඉන්ද්‍රිය නොසිතනවිට

සමාජයක ජීවත්වන මිනිසුන් තාර්කිකව සිතන්නේ මොළයේ සිදුවන රසායනික ක්‍රියාකාරිත්වයක් ඔස්සේය. මිනිස් මොළය ‘සිතන ඉන්ද්‍රිය’ ලෙස හඳුන්වන්නේද ඒ නිසාය. එහෙත් ජනමාධ්‍ය බලවත්ව ඇති වර්තමාන යුගයේ දැන් වැඩිපුර ඇත්තේ තාර්කිකව සිතන මිනිසුන් නොව මාධ්‍ය ආයතනවල මෙහෙයවීම තුළ සිතන්නට පුරුදුවූ මිනිසුන්ය. වර්තමානයේ ජනමාධ්‍ය විසින් අත්පත් කරගෙන ඇති අනතුරුදායක හැකියාව වන්නේ සමාජයක් තුළ සාවද්‍ය පරාවර්තන ඇති කිරීමට ඇති හැකියාවය. තමන් ස්වාධීන ලෙස සිතන බව මිනිසුන් සිතා සිටියද සමාජයේ සාතිශය බහුතරයක් දැන් සිතන්නේ මහා ජනමාධ්‍ය ජාලාවක් විසින් තමන්ට සිතන්නට බලකරන විදිහටය.

සමාජය වෙත සාවද්‍ය පරාවර්තන හෙවත් යමක් වැරදි ලෙස අර්ථ ගැන්වීමේ මාධ්‍ය සතු හැකියාව පිළිබඳ ඉතාම පැහැදිලිව වරක් විස්තර කරනු ලැබුණේ ෆිදෙල් කස්ත්‍රෝ විසිනි. ඔහු පැවසුවේ “ජනමාධ්‍යවලින් කරන්නේ බොරුකීම පමණක් නොව සාවද්‍ය පරාවර්තනයක් ඇතිකිරීම බවත් බොරුව දැනුම මත ඍණාත්මකව බලපාන අතර සාවද්‍ය පරාවර්තනය චින්තනය මත ඍණාත්මකව බලපාන බව”යි. එහිදී වඩාත් හානිකර වන්නේ, සාවද්‍ය පරාවර්තන බව ෆිදෙල් පැවසීය. සාවද්‍ය පරාවර්තනයන් නිසා සිදුවන්නේ සමාජයක තාර්කික චින්තනය මොට වීමත් සමාජය එf`ඞ්රා පසුපස යන සත්ව රංචුවක් සේ තමන්ව හසුරුවන දේ ඔස්සේ පමණක් සිතීමය. මෙය සමාජයක ඉදිරි ගමනට හානිකරය.

කළු සුදු කිරීම හා සුදු කළු කිරීම

‘වැද්දාට ගොරක දඩමස් කිරීමටත්, දඩමස් ගොරක කිරීමටත් පුළුවන’ යන ජනවහරක් සමාජයේ පවතී. දැන් ධනේශ්වර ප්‍රාග්ධනය විසින් හසුරුවන දේශපාලන ව්‍යාපෘතිවලට මුළුමනින්ම සම්බන්ධ වූ ජනමාධ්‍ය මගින් සිදුකරන්නේද එයමය. වසර 10ක් අපේ රට තුළ දූෂිත පවුල් පාලනයක් පවත්වාගෙන ගිය රාජපක්ෂවරුන් හා ඔවුන් වටා සිටින දූෂිත කණ්ඩායම ‘රට රකින දේශප්‍රේමීන් ලෙසත් සිංහල බෞද්ධ ජනයාගේ ගැලවුම්කරුවන් ලෙසත් අර්ථ ගැන්වූ මෙම ජනමාධ්‍ය, ජ.වි.පෙ. අර්ථ ගැන්වූයේ රට ගැන හැඟීමක් නැති, ආගම් විරෝධී කුහක සංවිධානයක් ලෙසය. ඒ අනුව ‘කළු’ සුදු කිරීමටත්, සුදු ‘කළු’ කිරීමටත් ජනමාධ්‍ය සමත් විය. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සහරාන්ගේ කණ්ඩායමට ආරක්ෂක අරමුදලින් වැටුප් ගෙවීම ‘රට බේරාගැනීමට කළ දේශප්‍රේමී වැඩක්’ ලෙසත් ඊබ්‍රහිම් ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ සිටීම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසත් අර්ථ ගැන්වෙන්නේ මේ තත්වය තුළය.

දේවාල ගානේ ගොස් පොල් ගසන, ඉන්දියාවේ තිරුපති දේවාලයට පවා යන, බුදු දහමට අනුව මිත්‍යාදෘෂ්ටීන් පසුපස යන, පන්සිල් පද එකක්වත් නොරකින, රූපවාහිනී කැමරාවලට පමණක් පන්සල් යන රාජපක්ෂවරුන් හොඳම බෞද්ධ නායකයින් ලෙස අර්ථ ගැන්වීමටත් බුදුදහමේ හරයට අනුව ජීවත්වන ජ.වි.පෙ. බෞද්ධ විරෝධී ලෙස අර්ථ ගැන්වීමටත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවලට හැකිවී තිබෙන්නේ මේ තත්වය තුළය.

සතුරු මතවාද හා ජනමාධ්‍ය කරන මතවාදී බලපෑම කොතරම්ද යත් එය පොදු ජනතාවගේ මනස පමණක් නොව වමේ දේශපාලනය තුළ සිටින අයගේ මතයට පවා බලපෑම් කරමින් ධනපති දේශපාලනයට අනුව සිතන ලෙස වමේ කඳවුරේ අයද පොළඹවමින් සිටී.

මතවාදී අරගලයක් වෙත

මේ මොහොතේ අප වැනි රටවල ජනමාධ්‍ය යනු පවතින පිරිහුණු සමාජ ක්‍රමයේත්, පාදඩකරණයට ලක්වූ දේශපාලනයෙත්, ජාවාරම්කාරී ප්‍රාග්ධනයේත් පිළිබිඹුවක් වේ. ඒ නිසාම මේවාට දිගුකලක් බොරු කියමින් වැරදි පරාවර්තන ඇතිකරමින් පැවැතිය නොහැක. ධනපති දේශපාලනයත්, ජාවාරම්කාර ආර්ථිකයත් අර්බුදයට ගොස් කඩා වැටෙන විට මෙම ජනමාධ්‍යවල පදනම හා හැකියාවද අර්බුදයට ලක්වේ. ජනතාවකට ජනමාධ්‍ය විසින් කුමන සිහින පෙන්නුවද අර්බුදය උත්සන්නවීම විසින් යථාර්ථය වෙත පැමිණීමට ජනතාවට එක් මොහොතක බලකරන බව ඉතා පැහැදිලිය. ජීවත්වීම පිළිබඳ ගැටලුවට මුහුණදීමට පොදු ජනතාවට සිදුවන මොහොතක, ජනතාවට තවදුරටත් පැරණි ක්‍රමයට ජීවත්වීමට නොහැකිවන මොහොතක, ජනතාවගේ මනස තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීමට ජනමාධ්‍යවලට නොහැකිවන අතර පොදු ජනයා ඒවාට එරෙහිවද සටන්කරනු ඇත. එය ඉතා පැහැදිලිය.

එහෙත් මේ මොහොතේ ජනමාධ්‍ය මගින් ජනමතයට, සමාජයට කරනු ලබන අහිතකර හා හානිකර බලපෑමෙහි විශාලත්වය හා ප්‍රබලත්වය වටහා ගැනීම හා එම වැරදි පරාවර්තනයට හසුනොවී සිටීම තාර්කික හා නිවැරදි සමාජ සමාජ චින්තනයක් වෙනුවෙන් පෙනී සිටින හා අරගල කරන අයගේ වගකීම වන්නේය. ඒ අනුව දැන් අප ඉදිරිපිට ඇත්තේ, ජනමාධ්‍ය විසින් කෘත්‍රිම ලෙස නිර්මාණය කරන ව්‍යාජ සමාජ විඥානයේ මතයන්ට හසු නොවී සිටීමත් එම ව්‍යාජයන් පරාජය කිරීම සඳහා නිවැරදි විද්‍යාත්මක පදනමක සිට මතවාදී අරගලයට නව ජවයක් ලබාදීමත්ය. ජනමාධ්‍යවල වත්මන් හැසිරීම තේරුම් ගත යුත්තේ ඒ සඳහාය.

නියමුවා