මිනිසුන්ගේ චින්තනය වෙනස් කළ නොහැකිද?

ප්‍රචාරණය හා පරිභෝජන වහල්භාවය
March 2, 2020
නියමුවා – 2020 මාර්තු
March 10, 2020
Show all

මිනිසුන්ගේ චින්තනය වෙනස් කළ නොහැකිද?

දැනුම සමාජය හා චින්තනය

25

        මෙම ලිපි මාලාව තුළදී පසුගිය ලිපි ගණනාවක් මගින් අපි එක් ප්‍රධාන කරුණක් සාකච්ඡා කළෙමු. ඒ සමාජයක සමාජ විඥානය හැසිරෙන ආකාරය පිළිබඳවය. මේ දිනවල ලංකාවේද මිනිසුන් හැසිරෙන ආකාරය පිළිබඳවද ඇතැමුන් තුළ විමතියක් මතුව තිබේ. සමාජයක් තුළ පැහැදිලිව පෙනෙන සත්‍යයන් පවතිද්දී මිනිසා උමතුවකින් මෙන් අසත්‍යය හා වැරැද්ද වැළඳගෙන කටයුතු කිරීම ගැන සමාජයේ බොහෝදෙනා කම්පාවී සිටිති. මේ මිනිසුන් කිසිවිටක වෙනස් කළ නොහැකිද යන පැනය පවා මතුව තිබේ. එහෙත් එය එසේ නොවේ.

        නිශ්චිත සමාජයක සමාජ විඥානය හා පුද්ගල විඥානය හසුරුවන, පාලනය කරන හා පවත්වාගෙන යන ප්‍රධාන සාධක කීපයක් මීට පෙරද අපි සාකච්ඡා කළෙමු. යළිත් සඳහන් කරන්නේ නම් ඒවා වනුයේ අදාළ සමාජයේ දේශපාලන ආධිපත්‍යය උසුලන දේශපාලන බලවේග, එම සමාජයේ ආර්ථික ආධිපත්‍යය උසුලන පංති බලවේග, විශේෂයෙන් ධනවාදය තුළ වෙළඳපොළ බලවේග, එසේම ඊට අනුව හැසිරෙන ආගමික හා සදාචාරමය සංස්ථාවන් හා මේ සියල්ලගේ මත ජනතාව වෙත රැගෙන යන ජනමාධ්‍ය හා ඊට අදාළ බලවේගද වේ.

සමාජයක් තුළ සිත ප්‍රමුඛද?

         කිසියම් සමාජයක් තුළ යම් සමාජ ක්‍රමයක් පවතිද්දී ඊට එරෙහි මතවාදයක් ප්‍රධාන මතවාදය ලෙස දිගටම පවත්වාගෙන යා නොහැක. දිගටම ප්‍රධාන මතය ලෙස සමාජ විඥානය තුළ පවතින්නේ පාලක කණ්ඩායම්වල ආධිපත්‍ය දරන පංති බලවේගවල මතයන්ය. ජාතිවාදය, ආගමික අන්තවාදය නිතර පෙරට එන්නේ, එකී පංති මතවාදයන් ගේ වුවමනාව සඳහාය. දේපළ හිමි පාලක පංති ඒවා නඩත්තු කරන්නේ, මිනිසුන් මිත්‍යාව තුළ ගිල්වා තබමිනි. එය එසේ නම් මෙම මිනිස් චින්තනය, සමාජ විඥානය වෙනස් කළ නොහැකි යයි ඉන් නිගමනය වේද? නැත. සමාජ විඥානය වෙනස් වන වෙනස් කළ හැකි දෙයකි.

         එක්තරා සමාජ ආර්ථික ක්‍රමයක් වෙනස් වී ඒ වෙනුවට නව සමාජ ආර්ථික ක්‍රමයක් ආදේශ වූ විට එම නව සමාජ ක්‍රමය සමාජයේ ආධිපත්‍යය දරන තත්වය තුළදී ඊට ගැලපෙන ලෙස සමාජ චින්තනය වෙනස් වේ. එය මානව ඉතිහාසය සනාථ කර තිබේ. ලංකාව උදාහරණයකට ගත් විට ලංකාවේ පූර්ව ධනවාදී සමාජය තුළ ජීවත්වූ මිනිසාගේ චින්තනය හැඩ ගැස්වූ මතවාද, ආචාරධර්ම, සිරිත් විරිත්, ආගමික ඉගැන්වීම් ආදී සියල්ල ධනවාදය තහවුරුවීම සමග වෙනස් විය. ධනවාදය තුළදීද මුල්කාලීන ධනවාදයට වඩා විවෘත ආර්ථිකය නිර්මාණය කිරීමෙන් පසු ගෙවුණ වසර 40ක කාලය තුළ සමාජ විඥානය හා පුද්ගල විඥානය විශාල වශයෙන් වෙනස් විය. එහිදී නව ආකල්ප, සිරිත් විරිත්, සදාචාරයන්, ආචාරධර්ම සමග පැරණි දේ ගැටුණද ක්‍රමානුකූලව පැරණි සිරිත් විරිත්, ආකල්ප අභිබවා නව දේ තහවුරු විය. ආගම් පවා අලුත් තත්වයට අනුව හැඩ ගැසී ඇති බව අපට පෙනේ. ඉන් තහවුරු වන්නේ කිසියම් සමාජ ආර්ථික ක්‍රමයක් තහවුරු වන විට ඊට අනුරූපීව සමාජ විඥානයද වෙනස් වන බවය. තනි වාක්‍යයකින් කිවහොත් කිසියම් නිශ්චිත සමාජයක ආධිපත්‍යය දරන හා රජයන අදහස් හා මතවාද වූ කලී එම යුගයේ ද්‍රව්‍යමය බලවේගය නියෝජනය කරන දේපළ හිමි පාලක පංතියේ අදහස් හා මතවාද වන්නේය.

සමාජ චින්තනය වෙනස් වන හැටි

           කෙසේ වුවත් මින් අදහස් වන්නේ, නිශ්චිත සමාජයක පවතින මතවාද හෙවත් සමාජ විඥානය එම සමාජය පවතිද්දී කිසි විටෙක වෙනස් නොවන බව නොවේ. පංති ප්‍රතිවිරෝධතා සහිත සමාජයක සමාජ විඥානය තුළ ආධිපත්‍ය දරන පංතියේ මතයට අමතරව අනාගත සමාජය නියෝජනය කරන බලවේගයන්ගේ මතයන්ද පවතී. එහෙත් ඒවා පොදුවේ පවතින්නේ ප්‍රධාන මතවාදයන් ලෙස නොවේ. උදාහරණයක් ලෙස ධනවාදී සමාජය තුළ අවිද්‍යාත්මක මිත්‍යා මත බහුල වශයෙන් පවතින අතරම ඊට එරෙහි විද්‍යාත්මක භෞතිකවාදී මතයන්ද පවතී. එහෙත් ඒවා හැම විටම ප්‍රධාන හා ආධිපත්‍යය දරන මතය වන්නේ නැත. එසේම මේ ප්‍රතිවිරෝධී මතවාදයන් අතර ගැටුමක්ද දිගටම පවතී. එසේ වුවත් කිසියම් අවස්ථාවක පවතින සමාජය බරපතළ අර්බුදයකට ගොස් ඒ තුළ තවදුරටත් මිනිසාට තම පැවැත්ම රඳවා ගැනීම නොහැකි වියවුල්කාරී තත්වයකදී එක් වරම අධිපති පංති මතවාදය දුර්වලවී ඊට එරෙහිව පැවති නව මතවාදය සමාජ විඥානය තුළ මොහොතකට ප්‍රධාන මතය වන අවස්ථා මතුවේ. සමාජයක් වෙනස් කිරීමට මිනිසුන් එක් වන්නේ එවන් අවස්ථාවලය. එම තත්වය උපයෝගී වී සමාජය වෙනස්ව අලුත් සමාජයක් බිහි වන තත්වයකදී එලෙස ප්‍රබල වූ නව මතවාදය දිගටම පවතින අතර එය එතැන් සිට ආධිපත්‍ය දරන මතය බවට පත්වේ. එසේ නොවී පැවති පැරණි සමාජයම යළි තාවකාලිකව හෝ තහවුරු වුවහොත් නව මතවාදය බිඳවැටී මිනිසා පැරණි මතවාදය තුළම ගිලීයාම සිදුවේ. සමාජ සංවර්ධනය සිදු වන්නේ එසේය.

සමාජ විඥානයේ දයලෙක්තිකය

            සමාජ විඥානය තුළ හා පුද්ගල විඥානය තුළ පවතින පැරණි, යල්පැනගිය, ප්‍රතිගාමී, අවිද්‍යාත්මක මතවාද, අදහස් හා චාරිත්‍ර වාරිත්‍රයන් වෙනස් වීමට බලපාන සාධක රැසක් පවතින අතර ප්‍රධාන සාධක දෙකක් පවතී. එනම් සමාජ විඥානය වෙනස්වීමේ දයලෙක්තිකයක් තිබේ. එක් අතකින් සමාජය තුළ පවතින ප්‍රගතිශීලී නව බලවේග විසින් නිරන්තරයෙන් හා අත්නොහැර කරනු ලබන මතවාදී අරගලය හෙවත් මතවාදී මැදිහත්වීමත්, ජනතාව තම ජීවිත අත්දැකීම් තුළින් ලබන පාඩම් ප්‍රමාණාත්මකව වර්ධනය වී එක් මොහොතක ගුණාත්මක තත්වයකට පත්වීමත්, එනම් ජනතාව ජීවන අරගලය තුළ ලබා ගන්නා අත්දැකීම සමග ප්‍රගතිශීලී බලවේගයන්ගේ මතවාදයන් සමපාත වීමත් සමග ජනතාව තුළ පවතින සමාජ විඥානය, ක්ෂණික පරිවර්තනයකට ලක්වේ. එබැවින් සමාජ විඥානය සමාජ ව්‍යාපාර විසින් සිදුකරනු ලබන මතවාදී හා අධ්‍යාපනික අරගලයක් මගින්ම පමණක් වෙනස් නොවන අතර අනෙක් අතට ජීවන අත්දැකීම් කොතරම් කටුක වුවත් එවැනි අරගලයකින් තොරව හුදකලාව ඉබේ වෙනස් වීමක්ද සිදු නොවේ. ඉන් පැහැදිලි වන්නේ, ජන විඥානය වෙනස් කිරීමට සමාජ ව්‍යාපාරයන්ගේ අඛණ්ඩ මතවාදී මැදිහත් වීමත්, ජනතාව ලබන පීඩාකාරී අත්දැකීම්වල එකතුවත් සමපාතවීම අවශ්‍ය වන බවය.

         ලොව කිසිදු සමාජයක්, රටක්, ජනතාවක් එකම මතයක් තුළ එකම ආකාරයෙන් සදාකාලිකව පවතින්නේ නැත. එසේම ඒවා වෙනස් කිරීමට ප්‍රගතිශීලී හා විප්ලවකාරී බලවේගයන්ට කොතරම් හදිසි වුවමනාවක් තිබුණත් එම හදිසිය විසින් පමණක්, එම මැදිහත්වීම මගින් පමණක් වෙනස් කළ හැකි වන්නේද නැත. ඒ සඳහා ජනතාව තම ජීවිතයෙන් ඉගෙන ගැනීම හා තවදුරටත් පැරණි ලෙසම පැවතීමට නොහැකි තත්වයක් උදාවීමද අවශ්‍ය වේ.

 මාක්ස්වාදයට අනුව…

             විෂය මූලිකව ජනතාව තම ජීවිතයෙන් ඉගෙන ගන්නා බවත් තවදුරටත් පැරණි මගේ යාමට නොහැකි තත්වයන් මතුවන බව හා එහිදී ජනතාවගේ චින්තනය වෙනස් කළ හැකි බවත් තේරුම් ගනිමින් සමාජය වෙනස් කිරීමට මැදිහත් වන බලවේග කළ යුත්තේ තම අරගලය දුර්වල නොකර නව උපක්‍රම හා නව විධික්‍රම මගින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමය. මෙයට අවුරුදු 160කට පෙර කොමියුනිස්ට් ප්‍රකාශනය ලියමින් ධනවාදය ගැන මාක්ස් හා එංගල්ස් සඳහන් කළ බොහෝ දේ දැන් සමාජය තුළ අප අත්විඳින නිසා එහි සත්‍යතාවය හොඳින්ම ඔප්පු වී තිබේ. ඒ අනුව මාක්ස් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ එක් තැනක සඳහන් කළ මෙම විග්‍රහයෙන් මෙම ලිපිය අවසන් කරමු.

“සිය පෞරාණිකවූත්, පූජනීයවූත්, ප්‍රාග් විනිශ්චයන් සහ මත සහිත පාෂාණිභූත යකඩ මල බැඳුණු සියලු සබඳතාවයන් විනාශවී යන අතර අලුතින් ඇතිවන සියලු සබඳතාවයන් අස්ථීකරණයට භාජනය වීමටත් පෙර ඒවා යල්පැන යයි. ඝන වූ හැම දෙයක්ම උණුවී වාතය බවට පෙරළෙයි. ශුද්ධ වූ හැම දෙයක්ම කෙළෙසෙන්නේය. අවසානයේදී මිනිසාට, තම ජීවන තත්වයන් සහ තම වර්ගයා සමග ඇති අන්‍යෝන්‍ය සබඳතාවයන් දෙස සන්සුන් සිතින් බැලීමට අවශ්‍යතාවයක් ඇතිවේ.”