ප්‍රචාරණය හා පරිභෝජන වහල්භාවය

23
අධිරාජ්‍යවාදයේ අවියක් වූ ‘ප්‍රචාරණය’
March 2, 2020
25
මිනිසුන්ගේ චින්තනය වෙනස් කළ නොහැකිද?
March 2, 2020
Show all

ප්‍රචාරණය හා පරිභෝජන වහල්භාවය

24

දැනුම සමාජය හා චින්තනය

24

         අධිරාජ්‍යවාදීන් වර්තමානයේ ලෝකයේ සමාජ චින්තනය පාලනය කරන්නේ හා හසුරුවන්නේ ප්‍රවෘත්ති ආයතන (භැඅි ්ටැබජහ) හා දැවැන්ත ජනමාධ්‍ය ආයතන මගින්ම පමණක් නොවේ. දැවැන්ත ඒකාධිකාරී චිත්‍රපට නිෂ්පාදන සමාගම්, රූපවාහිනී වැඩසටහන් නිපදවන දැවැන්ත සමාගම් මගින්ද මෙම කාර්ය කරයි. එහිදී රූපවාහිනී සමාගම් සුවිශේෂීය. මන්ද තම අරමුණු හා මතවාද සෑම නිවසකම මැද සාලයටම ගෙනවිත් නිවැසියන්ගේ ඔලු කුහර තුළට පහසුවෙන් ඇතුල් කිරීමට එමගින් අධිරාජ්‍යවාදීන්ටත්, ප්‍රාග්ධන හිමියන්ටත්, වෙළඳුන්ටත් පහසුකම ලැබෙන නිසාය.

‘රියලිටි ෂෝ’ හා ආත්ම ගෞරවය

      වර්තමානයේ ලොව පුරාම රූපවාහිනිය තුළ ඉතාම ජනප්‍රිය වැඩ සටහන් බවට පත්ව ඇත්තේ ‘රියලිටි ෂෝ‘ ලෙස හඳුන්වන සජිවී වැඩසටහන්ය. මේවා අපේ රටේද පවතින අතර ඒ සියල්ල බටහිරින් හා ඉන්දියාවෙන් කොපි කරන ඒවාය. බටහිර රටවලදී හා ඉන්දියාවේදී පවා මේවා විවිධ පරාස තුළ පැතිර පවතී. ප්‍රසිද්ධ පුද්ගලයන් ගෙන්වා ඔවුන්ගේ ජීවන වතගොත කථාකරමින් ඔවුන් අනුකරණය කිරීමට, ඔවුන් ලෙස තම ජීවිතය ගොඩනගා ගැනීම ජීවිතයේ ‘අරමුණ’ බවට පත්කිරීමට ඔවුන්ට වන්දනාමාන කිරීමට නරඹන්නන් පොළඹවන වැඩසටහන් රැසක් තිබේ. ඊට අමතරව විවිධ වැඩසටහන් හා තරග පවත්වා බහුජාතික සමාගම්වල අනුග්‍රහයෙන් ‘තෑගි’ ලබාදෙන වැඩසටහන්ද තිබේ. ඒවාට වැඩිපුර සම්බන්ධකර ගන්නේ කාන්තාවන්ය. නැතිනම් ළමුන්ය (කාන්තාවන්ද සමග). එසේම විවිධ හැකියාවන් පෙන්වීමට දෙනවායයි කියන සංගීත, නැටුම් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සහිත ‘තරු’ (ීඒර) තෝරන වැඩසටහන්ද තිබේ. මෙම ‘තරු’ වැඩසටහන් ලංකාවේද තිබේ. මේ සියල්ල මගින් සැබැවින්ම කරන්නේ, ‘තරු’ තේරීම හෝ යමෙක් ‘තරුවක්’ බවට පත්කිරීම නොව, ජනතාව මෝහනය කොට තබාගෙන ‘කෙටි පණිවිඩ’ සඳහාද ජනතාවගේ සාක්කුවට විද, වෙළඳ දැන්වීම් මගින් කෝටි ගණන් උපයමින් ජනතාවට ‘තරු’ පෙන්වීමය. ලංකාවේ මෙම ‘තරු’ ගණනාවකට අනවසරයෙන් අනුන්ගේ ගීත ගැයීම නිසා නඩුද වැටී ඇත.

      මෙහි බරපතළ කරුණ වන්නේ, මෙම වැඩසටහන්වලදී මානව ගරුත්වය බිඳ දමා මිනිසුන් රටක් ඉදිරියේ දුර්වලයන් බවට හෝ පරිභෝජන භාණ්ඩ වන්දනාමාන කරන ‘හිඟන්නන්’ බවට පත්කිරීමය. බටහිර රූපවාහිනී නාලිකාවල පෙන්වන මෙම සමහර වැඩසටහන්වල කාන්තාවන් සඳහා විවිධ තරඟ පැවැත්වෙන අතර ඉන් ජයගන්නා තැනැත්තියට ත්‍යාගයක් දෙනු ලැබේ. එය ඇත්තෙන්ම අත්‍යාවශ්‍යද නොවන, විශාල මිලක්ද නැති භාණ්ඩයකි. (සමහරවිට ප්ලාස්ටික් භාණ්ඩයක් විය හැක) එහෙත් එම ත්‍යාගය ‘දිනාගත්’ විට ‘ජයග්‍රාහී’ කාන්තාවෝ ප්‍රීතියෙන් උඩ පනිති. එකිනෙකා වැලඳ ගනිති. සමහරු සතුට දරාගත නොහැකිව හඬාවැලපෙති. අදාළ මාධ්‍ය ආයතනයට කෙළවරක් නැතිව ස්තුති කරති. ඒ ඇයි? ඉතාම සරල, වටිනාකමක් නැති භාණ්ඩයක් නොමිලේ ලැබුන විට (ත්‍යාගයක් සේ) මෙතරම් සතුටුවීමට මිනිසුන් පොළඹවා තිබෙන්නේ කෙසේද? ඒ තරමින් මිනිසුන්ගේ ආත්ම ගෞරවය බිඳදමා තිබෙන්නේ කෙසේද? ඒ ධනවාදය තුළ වෙළඳ භාණ්ඩ පරිභෝජනය මිනිසා ගෙනැවිත් තිබෙන තැනය. ලංකාවේ සමහර හා රූපවාහිනී හෝ ත්‍ඵ නාලිකාවකින් රු. 5,000ක් හෝ රු. 1000ක් දුන්විට උන්හිටි තැන් අමතක වී අදාළ නාලිකාවට පින් පමුණුවා එහි ප්‍රවර්ධනයේ කොටස්කාරයෙක් බවට නොදැනුවත්වම පත්වන්නේ, මේ මානසිකත්වය නිසාය. ධනවාදය තුළ හැම දෙයක්ම මිල කර තිබේ. මිල අධිකය. මිලදී ගැනීම දුෂ්කරය. එවිට යමක් ‘නොමිලේ’ ලැබීම හෝ තමන්ට ‘මුදලක්’ ලැබීම ධනවාදය තුළ විශ්මයජනක දෙයකි. එවිට ජනතාව ඉහත ආකාරයෙන් හැසිරෙති. මාධ්‍ය හිමිකරුවා එම හැසිරීම නැවත ‘මිල කොට’ බහුජාතික සමාගම්වලින් ලක්ෂ ගණනින් උපයති. අවසානයේ ත්‍යාගය ලද තැනැත්තා අසුවී තිබෙන්නේ වෙළඳ ගැටයකටය. එහෙත් කනගාටුවට කරුණ ඔහුට එය නොවැටහීමය. ඒ ‘ප්‍රචාරණය’ ඔහුව මුලාකොට තිබෙන නිසාය.

පරිභෝජන වහල්ලු

        ධනවාදය යනු ලාභය සඳහා වෙළඳ භාණ්ඩ නිපදවන හා එම භාණ්ඩ මිලදී ගැනීමට පුරුදු වූ මිනිසෙක්ද නිපදවන ක්‍රමයක් බව අප මීට ඉහත ලිපි මගින්ද සාකච්ඡා කර තිබේ. එහෙත් මෙම කරුණ හොඳින්ම වටහා ගැනීම සඳහා විවිධ පැතිවලින් ඒ වෙත ප්‍රවේශවීම අවබෝධය සඳහා හොඳය. ධනපති වෙළඳපොළ තුළ භාණ්ඩ වැඩිපුර විකුණා ගැනීම නිෂ්පාදකයාගේ පරම වුවමනාව වේ. ඒ වැඩිපුර ලාභ සඳහා වැඩිපුර විකිණිය යුතු නිසාය. එය එසේ වූ විට යම් භාණ්ඩයක් තමන්ට ප්‍රයෝජනවත් වුවත් නැතත්, අතේ මුදල් තිබුණත් නැතත් එම භාණ්ඩ මිලදී ගැනීමට පෙලඹෙන පාරිභෝගිකයෙක් අවශ්‍ය වේ. සාමාන්‍ය මිනිසා එවැනි පාරිභෝගිකයෙක් බවට පරිවර්තනය කිරීම පහසු කටයුත්තක්ද නොවේ. එම භාරදූර හා දුෂ්කර කාර්යය පහසුවෙන්ම ඉටුකරනු ලබන්නේ වෙළඳ ප්‍රචාරණය මගිනි. වෙළඳ ප්‍රචාරණය මිනිසාගේ සියලු සියුම් දුර්වල නිලයන් හඳුනාගෙන ඒවාට ආමන්ත්‍රණය කරනු ලබයි. එම ‘නිල’ කිතිකවනු ලබයි. එවිට සමාජය තුළ ජීවත් වූ සාමාන්‍ය මිනිසා ‘පාරිභෝගික වහලෙක්’ බවට පත්වේ. වෙළඳ ‘ප්‍රචාරණය’ මගින් රූපවාහිනිය උපයෝගී කරගෙන, සඟරා හෝ පුවත්පත් උපයෝගී කරගෙන මෙම පාරිභෝගික වහල්භාවයට පත් මිනිසුන් භාණ්ඩ මිලදී ගැනීමේ උමතුවකට පත් කොට අනාගතය උගසට තබා භාණ්ඩ මිලදී ගන්නා කෙනෙක් බවට පත් කෙරේ.

         ඔබේ නිවසේ තබා ඇති කිසිවිටක ප්‍රයෝජනයට නොගත් හා ප්‍රයෝජනයට නොගන්නා භාණ්ඩ වර්ග කොපමණ ඇත්දැයි විමසා බලන්න. එවැනි භාණ්ඩ රැසක් ඔබට හමුවනු ඇත. එහෙත් ඒවා ඔබ හෝ නිවසේ කිසිවෙකු විසින් ‘මිලට’ ගනු ලැබූ ඒවාය. තමන්ට අත්‍යාවශ්‍ය නොවන දෙයක් ඔබ මිලදී ගෙන තිබෙන්නේ ඇයි? වෙළඳ ප්‍රචාරණය සියුම් ලෙස ඔබට ඒවා මිලදී ගැනීමට පොළඹවා ඇති නිසාත් ඔබ ඊට අවනතව ඇති නිසාත්ය. සමහර භාණ්ඩයක් මිනිසුන් මිලදී ගන්නේ ඉන් ‘ලාභයක්’ ලැබෙන නිසාය. දෙකක් මිලදී ගත් විට එකක් නොමිලේ දීමේ වෙළඳ උපක්‍රමයට කෙනෙක් හසුවන්නේ ඉහත ‘ලාභයක්’ ලැබීමේ මනෝභාවය නිසාය. දෙකක් මිලදී ගත්විට එකක් ‘නොමිලේ’ ලැබේ නම් එය මාර ලාභයකි. එම නොමිලේ එක වෙනුවෙන් පාරිභෝගිකයා දෙවරක් නොහිතා දෙකම මිලදී ගනිති. අවසානයේ ලාභය අත්ව ඇත්තේ ඔහුට නොවේ. එම භාණ්ඩ තුනේම වටිනාකම දෙකකට ඇතුල්කොට භාණ්ඩ තුනක්ම විකුණාගත් නිෂ්පාදකයාටය. පාරිභෝගිකයා තමන්ට ප්‍රයෝජනයක් නැති භාණ්ඩ තුනක් රැගෙන ගොස් නිකරුනේ මුදල් වියදම් කර තිබේ. එකී මනෝභාවයට මිනිසා පත්කරනු ලබන්නේ වෙළඳ ප්‍රචාරණය විසිනි. එය ඉතාම රුදුරු එහෙත් සූක්ෂම වූවකි.

අර්බුදයට විසඳුම වෙනුවට…

          සමාජයක් තුළ ජීවත්වන මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් සැපිරීම, ඔවුන්ගෙන් ප්‍රමුඛ සේවාවන් ලබාදීම එම සමාජයේ රාජ්‍ය පාලනයේ වගකීමකි. සරල ලෙස පැවසුවහොත් මිනිසුන්ගේ වුවමනා ඉටුකිරීම සඳහා වන සේවාවන් ලබාදීම ආණ්ඩුවක වගකීමකි. එහෙත් ධනවාදයට එම සේවාවන් ලබාදිය නොහැක. සෑම පවුලකටම නිවාසයක්, පහසු ගමනාගමන ක්‍රමයක්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආණ්ඩුවක් විසින් ලබා දිය යුතු වුවත් ඒවා ලබාදීමට ධනවාදය අපොහොසත්ය. එවිට සිදුවන්නේ එම සේවාවන් නොලැබීමෙන් පීඩාවට පත්වන ජනතාව ඊට එරෙහිව සටන් කිරීමත් තම ජීවිතවලට අත්‍යාවශ්‍ය සේවාවන් හා අයිතින් සඳහා සමාජ ක්‍රමය වෙනස් කිරීම දක්වා, ආණ්ඩු පෙරළි දක්වා පෙරට ඒමත්ය. මෙය ධනවාදයට හිතකර නැත. එනිසා ධනවාදය, රජය විසින් සැපයිය යුතු පොදු සේවාවන් පෞද්ගලික දේවල් බවට පත්කර ඒවා තනි තනිව ලබා ගත හැකිය, ලබාගත යුතුය යන වැරදි මනෝභාවයට ජනතාව යොමුකරවයි. ඒ සඳහා ඔවුහු ‘ප්‍රචාරණය’ යොදාගනිති.

        උදාහරණයක් ලෙස ලංකාවේ ගමනාගමනය පිරිහී තිබේ. ගමනාගමන පහසුකම් නැත. එය ලබාදීමටද ආණ්ඩුවට හැකියාව නැත. එවිට වෙළඳ ප්‍රචාරණය ඒ සඳහා ඉදිරිපත් වේ. ඔබ ‘ගමන් යාමේ අපහසුවෙන්’ මුදා ගැනීමට ඔවුහු ඔබට අපූරු යෝජනාවක් කරති. ඒ ඔබේ ගමන් සඳහා ‘ඔබේම වාහනයක්’ ගැනීමය. එය කුඩා මොටර් රථයක් හෝ යතුරුපැදියක් විය හැක. වෙළඳ ප්‍රචාරණය ඔබට එහි ඇති වාසි රැසක් පවසමින් ඔබ ඊට පොලඹවයි. එහෙත් ඔබ අතේ මුදල් නැතිනම් එය කළ නොහැක. වෙළඳපොළ බලවේගයන්ට ඊටද විසඳුමක් තිබේ. ඒ ‘පහසු ගෙවීමේ ක්‍රමයට’ ‘අතේ ඇති මුදලට’ ඔබට වාහනය රැගෙන දීමට සමාගමක් ඉදිරිපත් වීමෙනි. ඒ අනුව ඔබ අනාගතයේ ඉපැයීමට බලාපොරොත්තු වන වත්කම් උගසට තබා පොලියද සහිතව ණයට වාහනයක් (ඔබේම වාහනයක්) මිලදී ගනියි. ඉන් ධනවාදයට වාසි රැසකි. දැන් ඔබ ප්‍රවාහන පහසුකම් ඉල්ලා ආණ්ඩුවට බනින්නේ නැත. පොදු ප්‍රවාහන සේවයක් සඳහා සමාජය වෙනස් කිරීමට කල්පනා කරන්නේද නැත. මන්ද ඔබේ ‘ප්‍රශ්නය’ ‘විසදී’ ඇතැයි ඔබ සිතන නිසාය. එය ආණ්ඩුවට වාසියකි. අනෙක් අතට වෙළඳපොළේදී රථවාහන සමාගම්කරුවෝ තම නිෂ්පාදනයක් ඔබට විකුණා ගැනීමට සමත්වී ඇත. එය ඔවුනට වාසියකි. එසේම ධනපති ණය දෙන සමාගමක් ඔබට පොලියට ණයක් ලබාදී ඇත. එය ඔවුන්ගේ ව්‍යාපාරයට වාසියකි. හැම දෙනාම ‘තමන්ට වාහනයක්’ ප්‍රතිපත්තියට ගොස් ණයට වාහන මිලදී ගත්විට මහමඟ වාහන තදබදය වැඩිවී නව අර්බුදයක් අලුතින් උපදී. වාහනය ගෙදර තබා ‘පයින් යාම’ හොඳයයි එවිට සිතේ. එහෙත් දැන් පාරිභෝගිකයා මෙම වෙළඳ උගුලට හසුවී අවසන්ය. ඔහු එම උගුලට හසුකර ගත්තේ අන් කිසිවෙකු නොව වෙළඳ ‘ප්‍රචාරණ’ යයි. මෙය නිවාස, අධ්‍යාපන වැනි සේවාවන්වලටද අදාළය. වෙළඳ ප්‍රචාරණය ධනවාදය තුළ භාණ්ඩ අලෙවි කරන්නෙක් පමණක් නොවේ. ධනවාදයට එරෙහිව නිර්මාණය විය හැකි ජනතා විරෝධයන් කැරලි හා සටන් දුර්වල කොට, ප්‍රශ්න විසඳා ගැනීමේ පොදු ක්‍රම වෙනුවට මිනිසුන් හුදකලා මාවත්වල අතරමංකොට ධනවාදය රැකදෙන්නෙක්ද වේ.

මේ අනුව පෙනෙන්නේ ධනවාදය තුළ ‘ප්‍රචාරණය’ ඉතා බලගතු අවියක් බවය. එය නිවැරදිව වටහාගෙන ඉන් මිදීමට අසමත් වුවහොත් ලෝකය වඩා යහපත් තැනක් බවට පත්කර ගැනීම වඩා දුෂ්කර විය හැක.

මිනිසා ධනවාදයේ චින්තන වහලෙක් නොවී නිදහස් හා නිවැරදි චින්තනයක් සහිත කෙනෙක් බවට පත් කළ යුත්තේත්, පත්විය යුත්තේත් මේ නිසාය.

Next –  මිනිසුන්ගේ චින්තනය වෙනස් කළ නොහැකිද?