වෙනස්වීමට බිය මිනිසා!

19
ඔබ සිතන්නේ හදවතින්ද? මොළයෙන්ද?
February 24, 2020
21
සමාජය තුළ හුදකලා වන මිනිසා
February 24, 2020
Show all

වෙනස්වීමට බිය මිනිසා!

20

දැනුම සමාජය හා චින්තනය

20

           අප ජීවත්වන වත්මන් සමාජය මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තරමින් පිරිහීමට ලක්ව ඇත. අර්බුදයට ගොස් ඇත. මෙම පිරිහුණු අසාධාරණ සමාජය වෙනස් කර වඩා හොඳ නව සමාජයක් සෑදිය යුතුය. ඒ සඳහා උත්සාහ දරන අයද සිටිති. එහෙත් ලෝකය තවම පැරණි මඟෙහිම ගමන් කරයි. ඒ, ඇයි? වත්මන් සමාජයේ හිමිකරුවන් වන ධනවාදීන් මෙම සමාජය මෙලෙසම පවත්වාගෙන යාමට විවිධ උපක්‍රම මගින් විවිධ ආයතන උපයෝගී කර ගෙන ක්‍රියාත්මක වේ. ඒ, එක් හේතුවකි. අනෙක් හේතුව නම් වෙනස් වීමට මිනිසා පොදුවේ දක්වන අකමැත්ත හා බියයි. සමාජය වෙනස් කිරීමට නම් ඊට පෙර බහුතරයක් ජනතාව සිතන ආකාරය, තීරණ ගන්නා ආකාරය වෙනස් කර ගත යුතු වේ. එහෙත් එයට බොහෝ මිනිසුන් කැමැති නැත. ඒ, ඇයි?

ගතානුගතික වීම හා නොවීම

           අප ජීවත්වන මානව සමාජය ප්‍රගතිය කරා ඉදිරියට ගොස් ඇත්තේ, සම්ප්‍රදායට කොටුනොවී වෙනස් ලෙස සිතු මිනිසුන් නිසාය. එහෙත් බහුතරය එසේ නොවේ. ඔවුහු සම්ප්‍රදායේ සිරකරුවන් වන අතර ගතානුගතිකත්වයේ වහල්ලු ලෙස ජීවත්වෙති. ලෝකයේ ප්‍රගතිය සඳහා දායකවූ වෙනස්ව සිතූ මිනිසුන් රැසක් අතර ගැලිලියෝ කවුරුත් දන්නා කෙනෙකි. ගැලිලියෝ වෙනස්ව සිතුවද පොදු ජනතාව එලෙස සිතුවේ නැත. ඔවුහු පල්ලියේ ඉගැන්වීම්වලින් හා ආගමික මතවාදයෙන් වෙනස්ව සිතීමට සූදානම් නොවූහ. ඒ, නිසා ගැලිලියෝට බොහෝ දුක්කරදරවලට මුහුණ දීමට සිදුවිය. ඉතාලි ජාතික බෲනෝද එලෙස වෙනස්ව සිතූ හා වෙනස්ව මත පළ කළ කෙනෙකි. එහෙත් බහුතර ජනයා එලෙස නොසිතූ නිසා ඔහුට පල්ලියේ තීරණය හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. අයිසෙක් නිව්ටන්, අයින්ස්ටයින්, කාල්මාක්ස් හා එංගල්ස් එලෙස වෙනස්ව සිතූ හා සමාජ ප්‍රගතිය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් කළ අය වූහ. වඩා හොඳ සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා මාක්ස් – එංගල්ස් ඉගැන්වූ ඉගැන්වීම් ලොව පීඩාවට පත් බහුතරය තවම පිළිගන්නේ නැත. තම පැරණි චින්තනයේ සිරගෙයින් මිදීමට ඔවුන්ට නොහැකිවී ඇත. ඒ, මිනිසා තුළ ස්වභාවයෙන්ම සම්ප්‍රදායට සිරවන හා ගතානුගතිකත්වයට කැමති ස්වභාවයක් පවතින නිසාය.

        මිනිසා හෝ මිනිස් සමාජය වෙනස් නොවීම පවතින්නේ නැත. එහෙත් පොදුවේ මිනිසුන් වෙනස් වන්නේ, එක්කෝ බොහෝ කාලයක් ගෙන ඉතා සෙමින් ක්‍රමිකවය; නැතිනම් මිනිසාගේ පීඩාව දරාගත නොහැකි මට්ටමකට පැමිණ එය පුපුරා යන විට හා මිනිසා වෙනස් කිරීමට තරම් බලවත් මිනිස් මැදිහත්වීමක් පිටතින් සිදුවන විටය. එතෙක් මිනිසුන් වෙනස් වීමටද බියේ සිටිති. වෙනස් වීමට හෝ වෙනස් කිරීමට යාම නැති කරදර ඇතිකර ගැනීමක් ලෙස සලකති.

ගෝර්කිට අනුව

           වෙනස්වීමට අකමැති මිනිසාගේ මෙම සමාජමය ස්වභාවය මැක්සිම් ගෝර්කි සිය ‘අම්මා’ නම් සුප්‍රසිද්ධ නවකථාවේ ආරම්භයේදීම විස්තර කර තිබේ. එය ගෝර්කිගේ වචනවලින්ම සඳහන් කරන්නේ නම් මෙසේය. පසුගාමී ධනවාදය තුළ දේවල් සිදුවන ආකාරය හා මිනිසුන් සිතන ආකාරය ගෝර්කි මෙලෙස සඳහන් කරයි.

“එකිනෙකා අතර තිබූ සබඳකම් කෝපයෙන් හා කුහක කමින් පිරී පැවති අතර එයද සුවකළ නොහැකි රෝගයක් සේ නිදන් ගත විය. කෝපය හා ක්‍රෝධය නැමති රෝගයත් සමගම උපන් මිනිස්සු එය පිය පුතු පරම්පරාවෙන් ලැබූ දායාදයක් කර ගත්තෝය.”

         එම සමාජයේ මිනිසුන් සිතන හැටි ගෝර්කි සඳහන් කරන්නේ මෙසේය. “ජීවිතයේ හැටි ඔහොම තමයි. සෙමෙන් ගලායන

      මඩගොහොරු මුසු දියකඳක් සේ ජීවිතය අවුරුදු එකතු කරමින් කොහේදෝ සෙමෙන් සෙමෙන් ගලා බසී. එය දිනපතාම එකම දෙයක් කිරීමටත්, එකම දෙයක් ගැන කල්පනා කිරීමටත්, එකිනෙකට දැඩි ලෙස වෙළුණු පැරණි පුරුද්දක් ලෙස පැවතිණි. මේ ක්‍රියාදාමය වෙනස් කිරීම සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවූහ. නොපැතූහ.”

       එහෙත් මෙම තත්වය වටහාගෙන ජීවිතයේ වෙනසක් කිරීමට කිසිවෙකු ඉදිරිපත්වූ විට මිනිසුන් හැසිරෙන්නේ කෙසේද යන්න ගෝර්කි දකින්නේ මෙසේය.

“තමන්ගේ අමිහිරි දුක්බර එහෙත් නිසොල්මන් දිවිපෙවෙත නැතිකර දමනු වස් අර මිනිසා මොනවා හෝ කරතියි ඔවුහු බියපත් වෙති. ජීවිතය හැමදාම එකලෙස තමන්ට පීඩාකරන්නේ යැයි සිතන මිනිස්සු, එය හොඳ අතට හැරෙතැයි කිසිදිනක කල්පනා නොකරන අතර, ඇතිවන වෙනස්වීම්වල එකම විපාකය මර්දනය වැඩිවීම යයි සිතති”

         1880 – 1900 දශකයේ රුසියාවේ මිනිසුන් සිතු ආකාරයත් අද අපේ රටවල පීඩිත පොදු ජනතාව සිතන ආකාරයත් එතරම් වෙනස් නැති බව ඉතා පැහැදිලිය. ඒ මිනිසාගේ චින්තනය වහල්භාවයටත් ගතානුගතිකභාවයටත් සියවස් ගණනක් තිස්සේ ගොදුරු කරනු ලැබ තිබූ නිසාය.

යකඩ දම්වැල් පැණි රස වූ විට

      මිනිසුන්ගේ මෙම ස්වභාවය වාසිදායක වන්නේ, ධනවාදයටත් ඉන් යැපෙන බලවේගයන්ටත්ය. ඒ නිසාම ධනවාදය තුළ මෙම මිනිස් ස්වභාවය සාධාරණය කරන විවිධ යෙදුම් හා කියමන්ද නිර්මාණ කරනු ලැබ තිබේ. “නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳය” යන කියමන එවැන්නකි. වෙනස් අත්දැකීමකට මුහුණදීමට ඇති බිය හා අකමැත්ත ඒ තුළ ගැබ්ව ඇත. “නුපුරුදු දීගෙට වඩා පුරුදු කනවැන්දුම හොඳය” යන කියමන තුළද මේ අදහස තිබේ. මෙවැනි වර්ගයේ ආප්තෝපදේශ ඕනෑ තරම් අපේ ජනශ්‍රැතිය තුළ ඇත. ඒවා සකසා තිබෙන්නේ, මිනිසාගේ මෙම දුබලතාවය සාධාරණය කර ගැනීම සඳහාය. මිනිසුන් එකම දේකට හුරුවූ විට ඊට ඇබ්බැහි වන ස්වභාවයක් තිබේ. මෙම ඇබ්බැහිවීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, එකම ජීවන රටාවකට, චර්යාවකට ඇබ්බැහිවීමේ සිට පීඩාවට අබ්බැහිවීම දක්වා සිදුවේ. “කාලයක් යනකොට යකඩ දම්වැල් පැණි රස වන්නේය”යි කියමනක් තිබෙන්නේද මෙම තත්වය තේරුම් ගැනීම සඳහාය. මෙයට සරල උදාහරණයක් ගන්නේ නම් යාචකයන්ගේ ජීවිතය ගතහැක. මිනිසෙක් යාචකයෙක් වන්නේ සමාජය තුළ ඔහු මුහුණ දෙන තත්වයන්ට, සමාජ කොන්දේසිවලට අනුවය. කිසිවකු යාචකයකු වීමට කැමැති නැත. එහෙත් යාචකයෙක් වී කාලයක් ගියවිට ඔහුට ඉන්මිදීමට නොහැක. එය හරියටම මත්ද්‍රව්‍යයට අබ්බැහිවීම වැනිය. යාචකයන් පුනරුත්ථාපනය කර සාමාන්‍ය සමාජයට මුදාහැරීමට උත්සාහ කරන විට ඔවුන් පුනරුත්ථාපන කටයුතුවලින් පලාගොස් යළි යාචක වෘත්තියේ යෙදෙන අවස්ථා බොහෝ තිබේ. ගණිකා වෘත්තියට ද මෙය තරමක් අදාළය. මුඩුක්කු පරිසරයක ජීවත්වන මිනිසුන් ඉන් ඉවත් කිරීමට උත්සාහ දැරීමේදීද මෙම අභියෝගය මතුවේ.

      මෙම සරල උදාහරණ මෙන්ම සමාජයේ පොදු උදාහරණ හා දේශපාලනයේ උදාහරණවලින් තහවුරු කිරීමට අප උත්සාහ කරන්නේ, මිනිසුන් වෙනස් කිරීමට නොහැකි වෙනස් නොවන වර්ගයක් බව නොවේ. එහෙත් මිනිසාගේ බහුතරය වෙනස් කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවය. ඒ, ඔවුන් තමා ජීවත්වන පරිසරයට, රටාවට හා එම රටාව සාධාරණීකරණය කරන මතවාදයන්ට ගොදුරුවී ඊට ඇබ්බැහි වන නිසාත් ස්වභාවයෙන්ම ගතානුගතික ලක්ෂණ ඔවුන් තුළ පිහිටන නිසාත්ය. එය සමාජ සංවර්ධනයට, සමාජයේ ප්‍රගතියට විශාල බාධාවක් වන අතර ජීවිතය වඩා යහපත් කර ගත හැකිව තිබියදී ජීවිතය වඩා යහපත් කර ගැනීමේ පැහැදිලි විද්‍යාත්මක මාර්ගයක් තිබියදී ඊට බියවන මිනිසා තම දුක්බර එහෙත් නිසොල්මන් ජීවිතයට අබ්බැහි වී එය වෙනස් කර ගැනීම සඳහා වෙනස් නොවීම ඛේදවාචයක් වේ.

      මෙම තත්වය නිසා සමාජය වෙනස් කිරීමට වෙහෙසෙන අය හෝ සංවිධාන බලාපොරොත්තු කඩකර ගැනීම හෝ මිනිසාට දොස් පැවැරීම කළ යුතු නොවේ. සමාජය වෙනස් කිරීමට මඟ පෙන්වන ඊට නායකත්වය දෙන අය කළ යුත්තේ මිනිසාගේ මෙම පොදු ස්වභාවය හඳුනා ගැනීමත් මිනිසාට වෙනස් වීමට බල කරන සමාජීය තත්වයන් හා සාධක හඳුනාගෙන එයට අනුව ක්‍රියාත්මක වීමත් මිනිසා ගතානුගතිකත්වයේන් මුදාගැනීමට තරම් සමත් බලයක් මතවාදීවත් සංවිධානාත්මකවත් බාහිරින් මිනිසා වෙත යෙදීමත්ය. මන්ද ලෝකයේ වෙනස් නොවන, වෙනස් කළ නොහැකි කිසිවක් නොමැති නිසාය.

Next – සමාජය තුළ හුදකලා වන මිනිසා